කොල තුනේ සූදු කෙලින ජනාධිපති කොමිසමක්

නිමල් අබේසිංහ

දෙදහස් පහළොව වසරේ සිට 2018 දක්වා ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳ සෙවීමට පත්කළ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම අපූරු තොවිලයක් පසුගියදා නැටුවේය. ඒ ‘ලක්දනවි’ ආතුරයාට වැසී සිටි ප්‍රේතයන් කුම්භාණ්ඩයන්, යකුන් පලවා හරිමින් කහ වතුරෙන් නාවා පිරුවට අන්දවා සියලු රෝග පීඩා දුක් කන්දරාවන් පළවා හරිමිනි. මේ තොවිලයේ ආවඩන්නන් වූයේ ජනමාධ්‍යය. එහෙත් මේ තොවිලයෙන් නම් ආතුරයා පිරිසිදු කළ නොහැකි බව අවධාරණය කරමු.

කිලුටු වුණු විනිසුරෙක්

මෙම ජනාධිපති විමර්ශන කොමිසමේ සභාපතිවරයා විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්නය. උපාලි අබේරත්න යනු විනිසුරු දිවියේ යහපත් ඉතිහාසයක් ඇත්තෙකු නොවේ. ඔහුට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. අධිකරණ කටයුතු වලදී ඔහු අවනීතිකව ක්‍රියාකර ඇති අන්දම එකල රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වූ වික්ටර් අයිවන් දිගින් දිගටම ලියා ඇත. ඒ පිළිබඳව තවදුරටත් දැනගනු කැමැත්තන්ට වික්ටර් අයිවන් විසින් ලියා රාවය ප්‍රකාශනයක් ලෙසින් පලකරන ලද ‘නොනිමි අරගලය’ පොත පරිශීලනය කිරීමෙන් දැනගත හැකිය. කොමිසමේ සභාපති විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න සහ කොමිසමේ සමාජික විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය සමරසිංහ විසින් මෙසේ සෝදා පිරිසිදු කළ ලක්දනවි නම් ආයතනයයි. එසේ කිරීමට ප්‍රස්තුත කාරණය වන්නේ කෙළවරපිටියේ ඉදිකිරීමට යෝජිතව තිබූ මෙගා වෝට් 300ක ද්විත්ව චක්‍රීය විදුලිබලාගාරය සම්බන්ධයෙන් ලක්දනවි සමාගම ඉදිරිපත් කළ ලංසුව සාධාරණ බවත් එනිසා ලක්දනවි සමාගමට එම ටෙන්ඩරය හිමිවිය යුතු බවත් අවධාරණය කිරීමටය.

ප්‍රථමයෙන් සඳහන් කළ යුත්තේ මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර තලයේ ප්‍රසම්පාදනයක් විනා පන්සලක මල් වට්ටි වෙන්දේසියක් නොවන බවය. ටෙන්ඩර් විවෘත කරන ලද්දේ 2017 අප්‍රේල් 19 දිනදීය. මේ සඳහා ජාත්‍යන්තර තලයේ ලංසුකරුවන් 9 දෙනකු ඉදිරිපත් විය. ඉන් එක් අයෙකු (ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සහ එස්කේ ඉංජිනියරින් කන්ට්‍රක්ෂන් සමාගම) ප්‍රතික්ෂේප විය. එයට හේතුව ටෙන්ඩර් පත් බහාලීමට තිබූ කාලයට වඩා විනාඩි දෙකක කාලයක් ප්‍රමාද වී එකී ජාත්‍යන්තර සමාගමේ නියෝජිතයා පැමිණීමය. විරෝධතාවය දක්වා ඇත්තේ ද ලක්දනවි සමාගමය. ඉතිරි ආයතන අටෙන් දෙකක් (කොරියා සදන් ෆවර් සහ හයිෆ්ල්ස් ලිමිටඞ්) ප්‍රතික්ෂේප වන්නේ ප්‍රසම්පාදන ලංසුවල තිබූ සුළු තාක්ෂණික දෝෂ හේතුවෙනි. එබැවින් මේ සමාගම් දෙකෙහි මිල ගණන් විවෘත නොකරම ප්‍රතික්ෂේප වන අතර සැබවින්ම ඒ සමාගම් ඉදිරිපත් කර තිබූ මිල ගණන් විවෘත කළේ නම් දැනට ඉදිරිපත්ව ඇති අවම මිල ගණන් වලටත් අඩු වීමට ද ඉඩ ඇත.

ඉතිරි ලංසුකරුවන් 6 දෙනාගෙන් තවත් ලංසුකරුවකු ප්‍රතික්ෂේප වන්නේ ඔවුන් ඉදිරිපත් කළ මූල්‍ය යෝජනාවේ මුද්‍රිත පිටපතක් අඩංගු නොවීම හේතුවෙන්ය. ඉතිරි ලංසුකරුවන් පස්දෙනාගෙන් සිව් දෙනෙකුම ප්‍රසම්පාදන කොන්දේසි ප්‍රකාරව ආදාළ ව්‍යාපෘතියට අවශ්‍ය උපකරණ ආනයනයේදී වැය වන සියලු බදු අයකිරීම් ද අන්තර්ගත කර විදුලි ඒකකයක් සඳහා තමන් අය කරන මිල සිය ලංසුවල ඇතුළත් කර තිබුණි. එහෙත් ලක්දනවි ආයතනය සිය ලංසුව ඉදිරිපත් කර තිබුණේ මෙකී බදු අයකිරීම් රහිතවය. සැබෑව නම් එයම ලක්දනවි ආයතනයේ ලංසුව ප්‍රතික්ෂේප වීමට ප්‍රමාණවත් නොවේද? ප්‍රසම්පාදන යෝජනාවන් සඳහා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ උපදේශන සංග්‍රහයේ මෙසේ සඳහන් වේ.
‘ඒ අනුව ලංසුකරුවන්ගේ යෝජනා රජයේ ආයතන හෝ රජයෙන් ලැබෙන ඕනෑම වරප්‍රසාද, අනුග්‍රහය හෝ ඇපකරයන් භාර ගැනීම හෝ විශ්වාසය රැඳවීමක් නොකෙරේ. එවැනි ඕනෑම උපකල්පනයක් ද්‍රව්‍යමය අපගමනයක් ලෙස සැලකිය හැකි අතර එම යෝජනාව ප්‍රතික්ෂේප වීමට හේතුවිය හැකිය.’

එමෙන්ම ‘කෙරවලපිටිය 300 MW /HFO /LNG  යුගදනවි බලාගාරයේ ඉදිකිරීම් සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම’ යන මැයෙන් යුතුව රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් පී අල්ගම විසින් නිකුත් කර ඇති ලිපියේ පාද සටහන ද මෙහිලා වැදගත්ය.

එය මෙලෙසය. ‘අදාළ උපදෙස්, රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ 2006 (ද්‍රව්‍ය හා වැඩ) සහ ප්‍රසම්පාදන අත්පොත 2006 හි දක්වා ඇති ක්‍රියා පටිපාටිය සහ මාර්ගෝපදේශ අදාළ විෂය යටතේ සංශෝධන සහ රජයේ ටෙන්ඩර් ක්‍රියා පටිපාටිය 11 (සංශෝධිත සංස්කරණය ජනවාරි 1998) යන අදාළ විෂය යටතේ හා චක්‍රලේඛ යටතේ වන සංශෝධන ක්‍රියපිළිවෙල හා උපදෙස් ලෙස යොදා ගැනේ.’ යනුවෙන් සඳහන මෙහිදි අතිශය වැදගත් වුවත් මේ ගැන අවධානයක් දක්වා නැත.

ලක්දනවි සුදුසුකම් ලැබීමත් ප්‍රශ්නයක්

ශ්‍රී ලංකා ජනාධිපති නමින් වූ ලිපි ශීර්ෂයේ, මෙගා වොට් 300ක සංයුක්ත චක්‍රීය ද්විත්ව ඉන්ධන ස්වාභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු ප්‍රදානය කිරීම පිළිබඳ කමිටු වාර්තාව යන මැයෙන් 2019 මාර්තු 01 දින නිකුත් කර ඇති වාර්තාවේ සඳහන ද මෙහිදී අතිශය වැදගත් වේ.
එහි අංක 4 යටතේ වන සඳහන මෙලෙසය.

‘Lakdhanavi ආයතනය එකතු කළ අගය මත බද්දෙහි  (VAT) සහ ජාතිය ගොඩ නැගීමේ බද්දෙහි  (NBT) බලපෑම් ඔවුන්ගේ මුල් යෝජනාවේ සඳහන් කර නැත. සියලුම ලංසුකරුවන් බදු ඇතුළත් කර මූල්‍ය යෝජනා ඉදිරිපත් කිරීම අවශ්‍ය වූ බැවින් Lakdhanavi ආයතනය සුදුසුකම් ලත් ලංසුකරුවකු වූයේ කෙසේද යන්න පැහැදිලි නැත.’

ලක්දනවි ආයතනයේ ලංසුව ප්‍රතික්ෂේප වීමට මෙයටත් වඩා තවත් උදාහරණ අවශ්‍ය නැත. එහෙත් කොමිසම මේ ප්‍රශ්නය අරභයා සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ අපට දකින්නට ඇත්තේ හිස් මාස්ටර් වොයිස් පන්නයේ ප්‍රශ්නය. එයට හේතුව කුමක් විය හැකිද යන්න කොමිසමේ සභාපතිවරයාගේ අතීත කෙරුවාවල් දන්නා අයට අපහැදිලි නොවනු ඇත.
මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සියලුම විදුලි ඒකක මිල ගණන් සංසන්දනය කිරීම සඳහා යොදා ගන්නේ අවම මිල ගණන් ඉදිරිපත් කළ ආයතනයේ මිලය. VAT හා NBT බදු එකතු නොකර විදුලි ඒකකයක් සඳහා මිල ගණන් ඉදිරිපත් කළ (අවම මිල ගණන් ඉදිරිපත් කළ) ලක්දනවි ආයතනයේ මිල ගණන් සමඟ අනෙකුත් ලංසුකරුවන්ගේ මිල ගණන් සංසන්දනය කිරීම කොතරම් අසාධාරණ ද යන ප්‍රශ්නය මෙහිදි මතු වේ. එය ජනාධිපති කොමිසම සැලකිල්ලට ගෙන නැත. තාක්ෂණ කමිටුව ද ඒ ඒ ලංසුකරුවන්ට ලබා දුන් ලකුණු ප්‍රමාණය ගැන සැක සංකා මතුවීම සධාරණය. එහිදී ලකුණු දී ඇත්තේ මූල්‍ය යෝජනාවට 25%ක් හා යෝජිත ඒකක මිලට 75%ක් ලෙසටය. එහිදි ලක්දනවි සමාගම ඉදිරිපත් කර තිබූ බදු රහිත ඒකකයක මිලට 75%ක්ම ලබා දී තිබේ. මෙය නම් අරුම පුදුමයකි. තාක්ෂණ කමිටුව ලංසුකරුවන් සඳහා ලබා දී ඇති ලකුණු මෙසේය.
දෙවැනි ලංසුකරු 66.93%, තෙවන ලංසුකරු 62.11%, සිව්වන ලංසුකරු 70.37%, හයවන ලංසුකරු 75%, අටවන ලංසුකරු 68.84%යි ලෙසිනි. මේ ලකුණු දීම සඳහා පාදක කරගෙන ඇත්තේ අවම ලංසුව ඉදිරිපත් කළ ආයතනයේ ලංසුවය. අවම ලංසුව තබා ඇති ආකාරය දන්නා අයකුට මේ විහිළුවට සිනාසෙන්නේ කුමන පැත්තෙන් දැයි කිව හැකිද?

කොලේ හංගා ගැසීමක්

මෙම ව්‍යාපෘතියට අදාලව විදුලි බලාගාරය ඉදිකිරීමට යන වියදම ලෙස ලක්දනවි සමාගම දක්වා ඇත්තේ ඩොලර් මිලියන 175කි. එහෙත් මෙම ලංසුවට අදාළව බැංකු ණය ලබා ගැනීම සම්බන්ධව ලක්දනවි සමාගම යා කොට ඇති ලිපියේ මෙම බලාගාරයට යන සමස්ත වියදම ලෙස ඩොලර් මිලියන 330ක් බව සඳහන් කර ඇත. එය මෙම ව්‍යාපෘතියට ජර්මන් බැංකුවකින් බැංකු ණය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ ලියවිල්ලය. එසේම මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් වන ඉදිකිරීම් සඳහා පර්මනියෙන් ආනයනය කිරීමට අපේක්ෂිත යන්ත්‍ර සූත්‍ර වෙනුවෙන් වැයවන මුදල ඩොලර් මිලියන 190ක් බවද ලංසුව සමග යා කොට තිබූ ලිපියේ සඳහන්ය. අපගේ අංක ැ057 දරණ 2017 අප්‍රේල් 12 දාතම සහිතව ජර්මන් බැංකුවෙන් නිකුත් කර ඇති ලිපියට අනුව මේ තොරතුරු සනාථ වේ.

මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ තාක්ෂණික කමිටුව ලක්දනවි යෝජනාව සාධාරණිකරණය කිරීම සඳහා පාදක කරගත් ජාත්‍යන්තර වාර්තාව ගලපා ගන්නේ චීනයේ ඉදිකිරීමක මිල ගණන්ය. එය එසේ වුවත් මෙවැනි බලාගාරයක් ආසියාතික රටක ඉදි කරන්නේ නම් ඒ සඳහා වැයවන මුදල අවම වශයෙන් ඩොලර් මිලියන 300ක් වත් වන බව එම වාර්තාවේම සඳහන්ය.

කතාවකට අදාළ ව්‍යාපෘතියේ කාරක ප්‍රාග්ධනය ඩොලර් මිලියන 22කි. මෙය සියලුම ලංසුකරුවන්ට බලපාන පොදු කොන්දේසියකි. එබැවින් මෙම ඩොලර් මිලියන 22ක මුදල ව්‍යාපෘති වියදමට ඇතුළත් කිරීම අනිවාර්යය වේ. මෙහිදී ලක්දනවි ආයතනය කර ඇත්තේ මෙම ඩොලර් මිලියන 22ක කාරක ප්‍රාග්ධනය ව්‍යාපෘති වියදමට ඇතුළත් නොකර ඉදිරි ණයක් ලෙස පවත්වාගෙන ගොස් අවුරුදු 20කින් පසුව (ප්‍රසම්පාදන කොන්දේසි ප්‍රකාරව) විදුලිබලාගාරය විදුලිබල මණ්ඩලයට පැවරෙද්දී (ව්‍යාපෘති කොන්දේසි අනුව විදුලි බලාගාරය ලංකා විදුලිබල මණ්ඩලයට පැවරීම අනිවාර්ය වේ.) එම ණය බරද විදුලි බල මණ්ඩලයට පැටවීමය.

මෙය ලක්දනවි ආයතනය ඉතා සූක්ෂම අයුරින් සිදුකළ වංචාවක් ද වේ. මේවා ජනාධිපති කොමිසමේ සභාපතිවරයා සහ කොමසාරිස්වරයකු වන විජය සමරසිංහට නොපෙනීම ද පුදුම සහගතය.

හිස් මාස්ටර්ස් වොයිස්

මෙම විදුලිබලාගාරය ඉදිකිරීමට යෝජිත භූමියේම එනම් අල්ලපු වැටෙහි ලක්දනවි සමාගම හා වෙස්ට් කෝස්ට් සමාගම ද්විත්ව චක්‍රීය විදුලිබලාගාරයක් ඉදිකර තිබේ. එය ද මෙගාවොට් 300ක විදුලිබලාගාරයකි. එය ඉදිකරනුයේ මෙයට වසර 9කට ඉහතදීය. එදා ලක්දනවි ආයතනය මේ බලාගාරය සඳහා ඉදිරිපත් කළ ලංසුව ඩොලර් මිලියන 225කි. එහෙත් ව්‍යාපෘතිය අවසන් කරන අවස්ථාව වන විට ව්‍යාපෘති වියදම ඩොලර් මිලියන 325 දක්වා ඉහළ ගොස් තිබුණි. එහෙව් පසුබිමක ඒ හා සමාන විදුලි බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් (එනම් වසර හතකට පසුව) ඩොලර් මිලියන 175ක ලංසුවක් එම සමාගමම ඉදිරිපත් කිරීම එක අතකින් විහිළුවකි. කුමන පැතිකඩකින් බැලුවද එය විශ්වාස කළ නොහැකි තත්ත්වයක් ද වේ. ඉදින් මෙම නව ඉදිකිරීම් සඳහා ලක්දනවි සමාගම ඉදිරිපත්කර තිබෙන නව මිල ගණන්, ප්‍රසම්පාදනයට අදාළව කටයුතු කළ තාක්ෂණ කමිටුව, ප්‍රසම්පාදන මණ්ඩලය, අභියාචනා මණ්ඩලය, ප්‍රසම්පාදන කොමිසම දක්වාම ගොස් විවිධ ගැටුම්කාරී තත්ත්වයන් ද මතු වී තිබේ. කනගාටුවට මෙන්ම විශ්මයජනක කාරණාව වන්නේ ජනාධිපති විමර්ශන කොමිසමට මෙම අතීත සිද්ධීන් මෙන්ම ලක්දනවි ආයතනය විසින් ආරම්භයේ සිටම සටකපට අයුරින් ක්‍රියාකර තිබෙන බව අවබෝධ නොවීමය. එය කොමිසම විසින් සිතාමතාම මගහැර ගොස් මාධ්‍ය සංදර්ශන පවත්වමින් ලක්දනවි ආයතනය පාරිශුද්ධ කිරීමට ගත් උත්සාහයක් හෙවත් ‘හිස් මාස්ටර්ස් වොයිස්’ පන්නයේ උපක්‍රමයක් බව කොමිසම ක්‍රියාකර ඇති ආකාරයෙන් පැහැදිලි වේ.

ලක්දනවි සමාගම මෙන්ම කෙරවලපිටියේ මේ වන විටත් ඉදිකර ඇති මෙගා වොට් 300ක විදුලිබලාගාරය සම්බන්ධ වෙස්ට් කෝස්ට් සමාගමේද මව් සමාගම වන්නේ එල්. ටී. එල්. හෝල්ඩින්ස් සමාගමය. මේ සමාගමේ මුළු අයිතියෙන් 63%ක් ඇත්තේ ලංකා විදුලිබල මණ්ඩලයටය. ලක්දනවි සමාගම හා අනුබද්ධ වෙස්ට් කෝස්ට් සමාගම ලංකා විදුලිබල මණ්ඩලයට කෙරවලපිටිය විදුලි බලාගාරයෙන් විදුලි ඒකකයක් අලෙවි කරනුයේ රුපියල් 33ක් වැනි මුදලකටය. විදුලිබල මණ්ඩලය හදිසි විදුලි අවස්ථාවන් පිරිමහ ගැනීම සඳහා පෞද්ගලික විදුලි බලාගාරයන්ගෙන් විදුලි ඒකකයක් මිලදී ගන්නා මිල රුපියල් 28ත් 30ත් අතර මුදලකි. පූර්ණකාලීනව විදුලිය සපයන ආයතනයක් වන ලක්දනවි ආයතනය මේ වන විටත් එයට වැඩි අධික මිලක් අය කිරීම අහස පොළව නුහුලන අපරාධයකි. එසේ පවසන්නේ මේ වංචාවෙන් ලබාගන්නා මුදල් එම සමාගම්හි ප්‍රධානීන් විසින් මහා පරිමානයෙන් ගසාකන බවට සාක්ෂි තිබෙන බව අප දන්නා බැවිනි. එවැනි සාපරාධි ගසා කෑම් පිළිබඳව මේ ලියුම්කරුම රාවය පුවත්පත ඔස්සේ සාක්ෂි සහිතව හෙළිදරව් කර තිබේ.

බිලියන පනහක පොල්ලක්

මෙහිදී මතුකළ යුතු තවත් ප්‍රශ්නයක් තිබේ. මේ වන විටත් විදුලිබල මණ්ඩලයට විදුලිය අලෙවි කරන වෙස්ට්කෝස්ට් (ලක්දනවි සමාගම) සිය පැරණි ව්‍යාපෘතියේ විදුලි අලෙවි කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලයෙන් එක් ඒකකයකට ආසන්න වශයෙන් රුපියල් 33ක මිලක් තීරණය කර තිබියදී නව ව්‍යාපෘතියෙන් නිපදවන විදුලි ඒකකයක් සඳහා රුපියල් 14.98ක් යෝජනා කරන්නේ කෙසේද? මින් පැහැදිලි වන්නේ පැරණි ව්‍යාපෘතියේ විදුලිය විකිණීමෙන් ඔවුන් අධික ලාභයක් ලබන බවය. එය එසේ නොවේ යැයි කීමට ඔවුන්ට කිසිදු ඉඩක් නැත. මෙයින් සනාථ වන තවත් ප්‍රධාන කරුණක් වන්නේ ලක්දනවි සහ වෙස්ට්කෝට් සමාගම වසර ගණනාවක් මුළුල්ලේ විදුලිබල මණ්ඩලයට විදුලිය අලෙවි කර වංචා සහගතව විශාල මුදල් සම්භාරයක් උපයාගෙන ඇති බව නොවේද? ඔවුන් මේ මුදල් උපයාගෙන ඇත්තේ ආණ්ඩුවටත් රටේ ජනතාවටත් කොකා පෙන්වමින් බව, ජනාධිපති විමර්ශන කොමිසමට අවබෝධ නොවීම ඒ මුදල්ම කිසියම් අයුරකින් ඒ අය අතටත් සන්තෝෂම් ලෙසින් පත් වී ඇති නිසා ද යන සාධාරණ සැකයක් මතු වීම ද නොවැලැක්විය හැකිය.

ලක්දනවි සහ වෙස්ට් කෝස්ට් සමාගම මේ මොහොත වන විටත් විදුලිබල මණ්ඩලයට තවත් බරපතළ ගණයේ වංචාවක් සිදුකරමින් සිටී. ඒ කෙරවලපිටිය විදුලි බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට තත් සාමාගම සමගම ඇතිකරගත් ගිවිසුම් කොන්දේසි කඩකිරීමය. කෙරවලපිටිය විදුලිබලාගරයෙන් විදුලිය මිලදී ගැනීම ආරම්භ කර වසරක් ගෙවීමෙන් පසුව බලාගාරයේ ඉන්ධන දහන ප්‍රමිතීන්ට අනුව සත්‍ය වශයෙන් වැයවන දහන අගයන් හා සසඳා යම් වාසියක් විදුලිබල මණ්ඩලයට හිමිවේ නම් එහි මූල්‍යමය වටිනාකම විදුලිබල මණ්ඩලයට ප්‍රේෂණය කිරීමට (ලක්දනවි) වෙස්ට්කෝස්ට් සමාගම එකඟ වී ඇත. මේ පිළිබඳ වන කාර්ය සාධන වාර්තා (ලක්දනවි) වෙස්ට්කෝස්ට් සමාගම විසින් විදුලිබල මණ්ඩලයට යැවීමට තවමත් කටයුතු කර නැත. විදුලිබල මණ්ඩලය විසින් මේ පිළිබඳව තොරතුරු වාර 20කට ආසන්න සංඛ්‍යාවක් වෙස්ට්කෝස්ට් සමාගමෙන් ඉල්ලා සිටියත් එය පැහැර හැර තිබේ. එබැවින් මේ ගැන විදුලිබල මණ්ඩලයේ ගණනය කිරීම් අනුව වෙස්ට්කෝට් සමාගම වෙතින් විදුලිබල මණ්ඩලයට ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 50ක් ඉක්මවා ඇති බව තහවුරු කරගෙන ඇත. මේ පිළිබඳ වාර්තාවක්ද රාවය පුවත්පතේ පළවිය.

ලක්දනවි සමාගම හා වෙස්ට්කෝස්ට් සමාගම ද අයත්වන එල්.ටී.එල්. හෝල්ඩින්ස් සමාගමේ අයිතියෙන් 63%ක් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වුවත් මෙම සමාගම්වල ප්‍රධානීන් වන යූ. ඩී. ජයවර්ධන, මරික්කාර් ඇතුළු පිරිස් විදුලිබල මණ්ඩලයත් රටේ ජනතාවත් සමග මේ මොහොත වන විටත් කෙළිමින් සිටින්නේ කොල තුනේ සූදුවය. එනම් මේ දෙපිරිසටම කිසිදු දිනෙක රූප කොළය පෙන්වන්නේ නැත. රූප කොළය සඟවා ඇහි කොළ පෙන්වමින් විදුලිබල මණ්ඩලයේත්, රටේ ජනතාවගේත් මුදල් කොල්ල කෑම තවමත් ජයටම කරගෙන යති. විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්න, හා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති විජය සමරසිංහ වැන්නවුන්ද මේ නීල හොරුන්ට උඩගෙඩි දෙති. අවාසනාව වන්නේ රටේ ජනාධිපතිවරයා ද මේ ප්‍රශ්නයේදී නීලකාස රෝගය වැළඳුනෙකු සේ ක්‍රියා කිරීමය. මේ විදියට ගියොත් රටේ කලදසාව කුමක් විය හැකිද?