සුදුවතුර ආර ආරණ්‍යය සරණ ගිය මොනරාගල පොලිසිය

නිමල් අබේසිංහ

“බිරිඳ දරුවන් ඉඩම් දන්දී ලතවෙන සිරිසඟබෝ” මැයෙන් යුතුව සැප්තැම්බර් 29 දින රාවය පුවත්පතේ පළවූ ලිපියේ තමන්ගේ ප්‍රකාශය නිවැරදි නොවන බැවින් එය නිවැරදි කරන ලෙස නුවරඑළියේ ආර්.එම්.එස්.එල්. රාජපක්ෂ මහතා ලියුම්කරුගෙන් දුරකතනය ඔස්සේ ඉල්ලා සිටියේය. ඒ අනුව රාජපක්ෂ මහතා විසින් නිවැරදි කරන ලද කතාව මෙසේය.

ඇත්ත සිද්ධිය

“මගේ මතකයේ හැටියට 2018 වසරේ සැප්තැම්බර් 27 දින තමයි අපේ දුව මොනරාගල සුදුවතුර ආර ආරාමයේ සිට එක්කන් ආවේ. ඇය නුවරඑළියේ කන්දේඇළ ආරාමයේ සිට මෙහෙණින් වහන්සේත් එක්කල තමයි මොනරාගල යැව්වේ. මම හිතන්නේ දවස් 27ක් විතර එයා එහෙ හිටියා. කොහොමටත් අපි එයාව ගෙදර එක්කන් එන්න තමයි හිතන් හිටියේ. ඒකට හේතුව තමයි අපිට එයාව බලන්න දෙන වෙලාව කතා කරන්න දෙන වෙලාව එයාල සීමා කිරීම.

ඔය අතරේ හදිසියේම ලොකු මෑණියෝ අපට දුරකතනයෙන් කතා කරල කීවා පරිවාස එකෙන් ආරාමයට එනවා. ඒ නිසා දෙමාපියන්ට එන්න කීවා කියලා. අපි එහෙම ගියාම මැණියෝ කීවා දරුවා කැමති නම් එක්කන් යන්න කියලා. අපි කීවේ ආරාමයට ප්‍රශ්නයක් නිසා පරිවාස එකට කටඋත්තරයක් දීලා එක්කන් යන්නම් කියලා. ඒත් දුව ආරාමයෙන් යන්න බැහැයි කීවා. අපි එයාට කීවා ඔයා තවම පොඩියිනෙ, ලොකු වුණහම ආරාමයට එන්න පුළුවන් කියලා. ඒත් කැමති වුණේ නෑ. පොලිස් කාන්තාවො දෙන්නෙක් බලෙන් ත්‍රීවීල් එකකට දාගෙන මොනරාගල පොලිසියට එක්කන් යනව කියල තමයි ඒ අය ළමයව ගෙනාවේ. මගට ඇවිල්ල ඒ අය දරුවා අපට භාර දුන්නා. ළමය අරන් එනකොට ආරාමයේ සිටිය මෑණියො සියලුදෙනාම හයියෙන් කෑගහල ඇඬුවා. ළමයව එක්කන් යන්න එපා කියල. මම මේ ගැන පොලිසියට හෝ පරිවාස එකට කිසිම පැමිණිල්ලක් කරල තිබුණේ නෑ.

පොලිසියේ කැත වැඩ

රාජපක්ෂ පවසන කතාවේ විදියට ඔහු පොලිසියට හෝ පරිවාස දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර නැතත්, කිසියම් අයකු මේ ගැන පැමිණිල්ලක් කර ඇති බව පැහැදිලිය. එසේ නොවේ නම් සුදුවතුර ආර ආරාමයට ගොස් මොනරාගල පොලිසියේ නිලධාරීන් දරුවා රැගෙන එන්නේ නැත. මොනරාගල පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් මේ ගැන විමසූ විට පැවසුවේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් ලැබුණු දැනුම්දීමක් මත තම නිලධාරීන් එහි ගිය බවය. මොනරාගල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ සැරයන් මාරසිංහද පැවසුවේ එයමය. මෙහිදී මොනරාගල පොලිසිය ක්‍රියාකර ඇත්තේ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් ලෙසටද නැතිනම් කිසිවකුගේ බළල් අතක් ලෙසටද යන බරපතළ ප්‍රශ්නය පැන නගී.

මේ දැරිවියගෙන් හෝ දෙමාපියන්ගෙන් ප්‍රකාශ මොනරාගල පොලිසිය සටහන් කරගත්තේදැයි අපි නොදනිමු. එසේ සටහන් කර ගත්තද නොගත්තද දැරිවිය අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍ය නිලධාරියකු ඉදිරියට පමුණුවා අනතුරුව සිය බල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියට ඉදිරිපත් කළ යුතුමය. පොලිසිය එය සිදුකර නැති බව ඉතා හොඳින්ම පැහැදිලිය. මේ පිළිබඳව මොනරාගල මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් හා කාන්තා කාර්යාංශයේ සැරයන්වරයාගෙන් විමසූ විට අපි නීතියේ විදියට වැඩ කරල තිබෙනවා යැයි පැවසුවේ උජාරුවෙනි.

මෙම සිද්ධියේදී මොනරාගල පොලිසිය නීතියට අනුව කටයුතු කළ ආකාරය මෙය නම් අනෙක් වැඩත් නීතියේ විදියට කරනු ඇත්තේ කෙසේදැයි සිතාගත හැකිය.
මෙම සිද්ධිය සැලකිල්ලට ගතහොත් මෙම පැමිණිල්ල පොලිස් පොතේ ලියැවී ඇත්තේ නීතියේ මූලිකාංගවලට අනුකූලවද යන සැකයද මතුවේ. එවිට මසක් පාසා පොලිස් ස්ථානය පරීක්ෂාවට එන සහකාර පොලිස් අධිකාරිවරයාගේ අවධානයෙන් මෙම පැමිණිලි විභාගය ගිලිහී යෑම සිදුවේ. සැබැවින්ම මෙම සංසිද්ධිය සාමාන්‍ය සිද්ධියක් ලෙස මොනරාගල පොලිසියේ පොලිස් පොතේ ලියැවී තිබේ නම් ළමා හා කාන්තා අංශය භාර නිලධාරියා හෝ නිලධාරිනියද අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා මෙන්ම මූලස්ථාන පොලිස් ස්ථානාධිපතිවරයාද වගකිවයුතු වනු ඇත.

අතලේ දේවමිත්ත හිමියන් අධිපතිත්වය දරන මෙවැනි ආරණ්‍ය සේනාසන ගණනාවක් තිබේ. ඒ දහම් අමා භාවනා මධ්‍යස්ථානය, හොරාම්බුව, කුඹුක්කන මොනරාගල. දහම් අමා ආරණ්‍ය සේනානසනය, කන්දෙඇල මීපිලිමාන, නුවරඑළිය. ශ්‍රී විශුද්ධාරාමය, ලුනාව, මොරටුව. රාවණා ඇල්ල. ආරණ්‍ය සේනාසනය, කුරුඳුගොල්ල මකුල්ඇල්ල බණ්ඩාරවෙල. තපෝවන සෙනසුන සූරිය වැලෑන, බූන්දල, හම්බන්තොට. විපස්සනාරාමය, ටොප්පාස් නුරවඑළිය යන ස්ථානයන්හිය. මේ ස්ථාන සියල්ලෙහි ප්‍රධානියා වන්නේ අතලේ දේවමිත්ත හිමියන්ය.

ආරාමයක්ද වඩුමඩුවක්ද?

හොරොම්බුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටින හොරොම්බුවේ සුනීත හිමියන් සමග දුරකතනය ඔස්සේ කළ කතාබහේදී එම ස්ථානයේ යාන්ත්‍රික කියත් 3ක් තිබෙන බව ප්‍රකාශ විය. ආරණ්‍ය සේනාසනයකට යාන්ත්‍රික කියත් අවශ්‍යවන්නේ කුමටදැයි ඇසූ විට එහිමියන් පැවසුවේ ආරණ්‍යයේ වැඩ සඳහා ඒවා තබාගෙන ඇති බවය. මේවායින් වැඩ කරන්නේ කවුරුන්ද ඇසූවිට ඇතැම්විට ආරණ්‍යයේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා සහ ආරණ්‍යයට පැමිණෙන බාස්ලා ඒවායින් වැඩ කරන බවය. එහිදී සුනීත හිමියන් පැවසුවේ ආරාමයක අලුත්වැඩියා කිරීම් ඉදිකිරීම් කරගැනීමට භික්ෂූන්ටද කළ හැකි බවට බුදුන් ද වදාරා ඇති බවය. එසේ නම් මේවා ආරාමද වඩු මඩුද යන ප්‍රශ්නය මතුවේ. එමෙන්ම මේ ආරණ්‍යයන්හි වෙසෙන සාමණේර භික්ෂූන් වහන්සේලා බර වැඩට යොදවන බවටද තොරතුරු තිබේ. කන්දේඇල ආරණ්‍යයේදී සිමෙන්ති කොට්ට තුනක් සහිත කරත්තයක් තල්ලු කරගෙන ගිය සාමණේර භික්ෂුවක් අනතුරට ලක්වී තුවාල ලබා නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලැබූ අවස්ථාවක් ගැනද තොරතුරු තිබේ.

භික්ෂුවක හෝ භික්ෂුණියක ආරණ්‍යගත වන්නේ සියලු ආශාවන් ප්‍රහීන කරගනිමින් සිය ආධ්‍යාත්මික විමුක්තිය උදාකර ගැනීම උදෙසා වුවත් මේ ආරණ්‍යවල එවන් වාතාවරණයක් තිබේද යන්න සැකයකි. එහි සිදුවන දේවල් පිළිබඳ කල්පනා කරද්දීය. දැන් නැවත අරුණ ද සිල්වාගේ සිද්ධිය දෙසට යොමුවුවහොත් මේ වනවිට ඔහුගේ බිරිඳ, 17 හැවිරිදි පුත්‍රයා සහ 15 හැවිරිදි දියණිය පැවිදි දිවියට ඇතුළත්ව සිටිති. ඒ සඳහා අරුණ ද සිල්වා සහ බිරිඳ ලිඛිත අවසරයද දී තිබේ. එහෙත් ශ්‍රී ලංකාවේ නීතියේ හැටියට වයස අවුරුදු පහළොව දක්වා වූ දරුවකුට අනිවාර්ය අධ්‍යාපනය ලබාදිය යුතුය. මේ වනවිට ඇයගේ ඒ මූලික අයිතිය කඩවී තිබේ. එයට වගකිවයුත්තේ කවුද?

ආගමික ස්ථාන සම්බන්ධ නීතිමය කටයුතු සිදුකිරීමේදී පොලිසිය බොහෝවිට කටයුතු කරන්නේ ඇල්මැරුණු ස්වභාවයකිනි. ඇතැම්විට එම ආගමික ස්ථානයන්හි නායකකාරකාදීන්ගේ බලපුළුවන්කාරකම්, දේශපාලන හා සිවිල් සබඳකම් පසුබිම අනුව ඒ තත්ත්වය තවත් දියාරු විය හැකිය. එවැනි විටක නීතිමය කාර්යයක් සිදුවද්දී එහි බරසාර බව සැහැල්ලු කිරීමට කටයුතු කිරීමේ ස්වභාවයක් පවතී. ඊට හොඳම උදාහරණය සුදුවතුර ආර ආරණ්‍ය සේනාසනයේ උක්ත සිදුවීම සම්බන්ධයෙන් මොනරාගල පොලිසිය ක්‍රියාකර ඇති ආකාරයය.

පැමිණිලි නැත්නම් පොලිසියට වැඩ බැරිලු

සුදුවතුර ආර ආරණ්‍ය සේනාසනයේ දවස් 27ක් සිටි දැරිවිය අධිකරණ වෛද්‍ය නිලධාරියාට හා අධිකරණයට ඉදිරිපත් නොකර දෙමාපියන්ට භාර දුන්නේ කෙසේදැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට එහි ප්‍රකාශකයකු මොනරාගල පොලිසියෙන් තොරතුරු විමසා අප වෙත පැවසුවේ මෙම දරුවා මහණ කිරීම සඳහා දෙමාපියන් විසින් ආරාමයට භාර දුන් දැරිවියක බවය. පසුව එම අයම කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව එය මොනරාගල පොලිසියට දැනුම්දීමෙන් පසුව ඒ පිළිබඳ විභාගයක් කර අදාළ අයගේ ප්‍රකාශ සටහන් කරගෙන ළමයා දෙමාපියන්ට භාරදී ඇති බවය.

වයස අවුරුදු 13ක දැරිවියක දෙමාපියන්ගෙන් අපහරණය කර දින 27ක් තබාගෙන තිබියදී මොනරාගල පොලිසිය නීතිය හරිහැටි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ගන්නා ක්‍රියාමාර්ගය කුමක්දැයි ඇසූවිට ඔහු පැවසුවේ පැමිණිල්ලක් නැතිව තමන්ට කිසිවක් කළ නොහැකි බවය.
නීතිය නවන්න පුළුවන් යැයි පැවසූ පොලිස්පතිවරයෙකු සිටිය රටේ පහළ නිලධාරීන් නීතිය උඩ, උඩ පිනුම්, යටි පිනුම්, බඩ පිනුම් ගසන ආකාරය ගැන මෙයටත් වඩා උදාහරණ කුමකටද?

අවශ්‍ය නම් දැන් මොනරාගල පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරිවරයාගේ සිට කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, මොනරාගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති, පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, සහ වැඩබලන පොලිස්පති ආදී වන සියලුම උසස් නිලධාරීන්ට මොනරාගල පොලිසිය ක්‍රියාත්මක වූ ආකාරය ගැන විධිමත් පරීක්ෂණ පැවැත්විය හැකිය. පොලිස් කොමිසම සහ මානව හිමිකම් කොමිසමද ක්‍රියාත්මක විය හැකිය.

අරුණ ද සිල්වාගේ බිරිඳ සිය නිවෙස හා ඉඩම් අරුණ කෝදාගොඩ නමැති පුද්ගලයාට අලෙවි කර ඇත්තේ රුපියල් ලක්ෂ 120කට වුවත් ඔප්පුවේ සඳහන් මිල රුපියල් ලක්ෂ 20ක් බව මීට පෙර ලිපියේද අපි ලීවෙමු. ඒ තෑගි ඔප්පුවකිනි. එම ඔප්පුවේ සඳහන් වන්නේ අරුණ කෝදාගොඩ නමැති ගැනුම්කරුවා ලොකු ගෝණදුවගේ චාමරී මනෝෂා ක්‍රිෂාන්ති පෙරේරා (දැන් මාලබේ භද්‍රාණි මෙහෙණිය) සහෝදරයකු (Her Brother) ලෙසටය. ඉන් ඇඟවීමට උත්සාහ කරනුයේ ඔවුන් දෙදෙනා ඥාති සහෝදරයන් බවද? එසේම මාලබේ භද්‍රාණි මෙහෙණිය විසින් තලංගම පොලිස් ස්ථානාධිපතිවරයාට 2019 ජූලි 28 දාතමින් යුතුව එවා ඇති ලිපියේ සඳහන් වන්නේ තම ඉඩම අරුණ කෝදාගොඩ මහතාට 2019 පෙබරවාරි 03දා පැවරූ බවත් නීත්‍යනුකූල පැවරීම 2019 මැයි 23 දින සිදු කළ බවත්ය. එම ලිපියේ ඉඩම විකිණුවේ හෝ පැවරුවේ කිනම් මුදලකටද යන්න සඳහන් කර නැත. මේවාද ශාසනයට බැඳුණු අයකුගෙන් සිදු නොවිය යුතු දේවල් නොවේද?