Untitled-1

Untitled-1

අගමැති ඔබට සතුටුයි ද දැන්


Tiran

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ දිනවල පොඩි කතාවක් මහා ලොකුවට කර තබාගෙන යනු පෙනේ. ඒ පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කරන කතාවකින් අගමැතිවරයාගේ අමුතු පිබිදීමක් ඇතිවන නිසාවෙනි. නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඔලිම්පික් ගිය නඩය ගැන ප්‍රශ්න කිරීමත් සමග අගමැතිවරයා එකවර නින්දෙන් පිබිදී ඒ ගැන සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ප්‍රකාශ කිරීම මේ පුංචි කතාවය. අගමැතිවරයා කී නිසා දෝ එය මහා ලොකු කතාවක් වී ඇත. කෙසේ වෙතත් අගමැතිවරයා වාචිකව කී මෙම කතාව ලිඛිතව මාධ්‍ය හරහා සමාජගත වීමත් සමග ක්‍රීඩා අමාත්‍යාංශයද අවංක වීමට උත්සාහ කර ඇත. අගමැතිගේ වාචික ප්‍රකාශයට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා ‘රියෝ’ ගිය අයගේ නම් ලැයිස්තුවක් සකස් කොට වාර්තාවක් යවා ඇතැයි පැවසේ. ලේකම්වරයා මාධ්‍යයට කියා තිබුණේ ‘කිසිම ප්‍රශ්නයක් නෑ. අගමැතිවරයා අපෙන් ඊට සහභාගි වු අයගේ ලැයිස්තුවක් වාචිකව ඉල්ලා තිබුණා. අපි ඒක යැව්වා. රියෝ ඔලිම්පික් උළෙලට හතළිස් දෙනකු ගියා කිව්වාට ඒ ගණන තිස් ගණනක් විතරයි. ඒ ගිහිල්ලා තිබෙන්නේ ඉතා සුදුසු අය. ඒ හින්දා ඒ ගිය ශ්‍රීලංකා කණ්ඩායම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට අපි සෑහීමකට පත් වෙනවා.’ ඒ ලේකම්ගේ කතාවයි.

එසේ නම් දැන් සියල්ල හරි නොවේද? අප අගමැතිගේ කතාව පුංචියැයි කීවේ මේ නිසාය. ප්‍රශ්නයට පිළිතුර ලැබී ඇත. ඉතින් තව කුමක්ද? ක්‍රීඩා ඇමතිගේ අනුමැතිය මේ ගිය නඩයට අනිවාර්යය. එසේනම් තමා අනුමැතිය දුන් නඩය නුසුදුස්සන් වේද? මේ කුමන තකතිරු කතාවක්ද? අමාත්‍යාංශ ලේකම් පවා ගිය එම සංචාරය සුදුස්සන් ගියේ නැතැයි ඔහු කියනුයේ කෙසේද? අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහභාගි වූ පිරිස හරියට කීමට නොහැකි ය. එය තිස් ගණනකි. පුංචි එකෙකුගෙන් වුව මිනිසුන් කොපමණ ගියාද යන්න ඇසුවහොත් නිශ්චිත පිළිතුර දෙනු ඇත්තේ මිනිස් සහභාගිත්වය අඩමානව පැවසිය යුතු නැති නිසාය. එහෙත් ලේකම්ට තිස් ගණනකි. දැන් අගමැති මේ විහිළු කතා ඇසීමෙන් පසු අපට ඇසිය යුත්තේ ඔබට සතුටුයිද දැන් යන්න විනා වෙන කුමක්ද?

රට සවාරි යෑමේදී යන්නන් වාලේ හිතවතුන් එක්ක යනුයේ දයාසිරි විතරද? අගමැති යන සංචාරවලට කී දෙනෙක් යනවා ඇත්ද? ඒ ගැන කමිටු පත්කොට සොයනුයේ කවුද? ජනපති යනවිට කොපමණ යනවා ඇත්ද? ඒවා අප දැනගත යුත්තේ ඊළඟ ආණ්ඩුව ආ විටද?

මාධ්‍යවේදීන් පුහුණුකරුවන් විදියට ගිය රියෝ ගමන ගැන වැඩිපුර කතා වූයේ ගියවුන් ගැන හැර ක්‍රීඩාව ගැන කතා කරන්නට අපට නැති නිසාය.
දයා ගමගේ ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනුයේ නව දෙනෙක් සහභාගී වී එකුදු පදක්කමක් හෝ අප නොගෙනේම ගැනය. මේ ඇමැත්තන්ගේ ළාමකකම ගැන කතා නොකර සිටීම වැදගත් ය.

දැන් නැවත පරණ කතාව අලුත් කරනුයේ නම් අගමැතිවරයා මෙවැනි දෑ මීට පෙර දැන නොසිටියේ ද යන පැනය ඇසිය යුතුව ඇත. අගමැතිගේ දේශපාලන භාවිතාව සෑහෙන පරණය. මේ ක්‍රීඩා ගමන් බිමන් ඔහු නොදන්නේද? අද ක්‍රීඩාව වළපල්ලට වැටී ඇති බව ඔහු නොදන්නේද? ක්‍රීඩා අමාත්‍යාංශය ට්‍රැවල් එජන්සියක් වී ඇත්තේ අද ඊයේද කියා ඔහු නොදන්නේද? මේ සංගම් කාබාසිනියන් වසර ගණන් ක්‍රීඩාව කන බව ඔහු නොදන්නේද? ඇත්ත තමා මේ කමිටු ගැන කීම වාර්තා ඉල්ලීම විහිළු වීමය.

ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ අපද එකඟය. මේ රියෝ ගියේ සුදුස්සෝමය. ක්‍රීඩාවේ විනාශකාරයෝ අවුරුදු ගණන් ක්‍රීඩාවේ ලගිති. එබැවින් ඔවුන් තරම් තවත් සුදුස්සෝ වෙත්ද? ඉදින් දැන් මේ සුදුස්සන් මෙරට ක්‍රීඩාව හෙට සිට ඉහළටම ගෙන එන හැටි සැමට බලා සිටිය හැකිය. අගමැතිටත් එය දැකිය හැකිය. ජනපතිවරයා දයාසිරි ජයසේකර තරම් ක්‍රීඩා ඇමතිවරයෙක් නැතැයි කියන විට අගමැතිවරයා වාර්තා ඉල්ලන විට දයා ගමගේ ප්‍රතිඵල බලාපොරොත්තු වන විට අපි කුමක් කරමුද?
අත්පොඩි තලමුද? හූ තබමුද? දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමතිවරයා හරහා ක්‍රීඩාව රියැලිටි වී ඇති නිසා අපට ඉහත දෙකම එකවර කළ හැකිය.