මිලියන 218ක චෙක් මාරු කළ අබේසිංහ කෝ?


Lasantha-Ruhunage

ලසන්ත රුහුණගේ

සොරකම, වංචාව හා අල්ලස එළිපිටම කරන යුගය ආරම්භ වූයේ ජේආර් හඳුන්වාදුන් විවෘත ආර්ථික ක්‍රමයත් සමඟ බව ප්‍රචලිතය. විවෘත ආර්ථික ක්‍රමයේ ආරම්භයත් සමඟම විශේෂයෙන්ම දේශ පාලනඥයන් සහ ඉහළ රාජ්‍ය නිළධාරීන් ඉහත කී දුර්ගුණාංගවලට බියක් දැක්වූ බවක් දක්නට ලැබුණේ නැත. තමාගේ හෝ තම බිරිඳගේ නමට රජයට අයත් ඉඩම් දේශපාලනඥයන් ලියා ගත්තේ ඒ නිසාය. ඊට නොදෙවෙනිව රාජ්‍ය නිළධාරීන් කටයුතු කළේ ද ඒ නිසාය.

මේකී සොරකම් වංචාවන් හා අල්ලස් ගැන දේශපාලනඥයන් හා රාජ්‍ය නිළධාරීන් හෙළිදරව්වන්නට පටන්ගත් විට ඔවුහු එම කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේද සොයාගන්නට වූහ. දේශපාලන වේදිකාවලට නැඟ අපි සොරකම් කළා නම් ඔප්පු කරන්න යැයි දේශපාලනඥයන් කෑමොර දෙන්නේ සොරකමට වංචාවට හා අල්ලසට ඔවුන් විසින් ප්‍රගුණ කර ඇති නව කුසලතාවන් නිසාය.

මේ වනවිට කිසිදු දේශපාලනඥයෙකු හෝ ඉහළ රාජ්‍ය නිළධාරියෙකු තමන්ගේ නමට, තම බිරිඳගේ හෝ පවුලේ සමාජිකයන්ගේ නමට තමන්ට ඔප්පුකර පෙන්විය නොහැකි දේපළ තබාගන්නේ නැත. ඒ සඳහා ඔවුන්ට වෙනත් පිරිසක් සිටින්නේය. ඒ ඔවුන් අවට සිටින විශ්වාසවන්තම මිතුරන් හෝ සේවක සේවිකාවන්ය. මේ ආකාරයට සොරකමෙන් වංචාවෙන් අල්ලසෙන් උපයා ගන්නා දේපළ අද ඇත්තේ මේ පිටස්තර පුද්ගලයන්ගේ නමටය. දේශපාලනඥයන්ගේ කෑමොරදීම ඇත්තේ මෙම පිටස්තර පුද්ගලයන් හඳුනාගන්නා තෙක් පමණි.

Lasantha

හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂගේ ඥාති නැන්දනියක වන ඬේසි ෆොරස්ට්ගේ දේපළද එයාකාරය. ඇයට එම දේපළ මිලදී ගැනීමට මුදල් ලැබී ඇත්තේ නන්නාඳුනන පුද්ගලයකු ගෙනැවිත් දුන් මැණික් පාර්සලයක් නිසාය. ඬේසි ෆොරස්ට් දුන් කටඋත්තරයට අනුව ඇය කියා තිබුණේ තමා නිවසේ සිටින විට නාඳුනන පුද්ගලයකු මැණික් පාර්සලයක් ගෙනැවිත් දුන් බවත්, ටික දිනකින් තවත් නාඳුනන පුද්ගලයකු පැමිණ මුදල් පාර්සලයක් දී මැණික් පාර්සලය රැගෙන ගිය බවත් ය. මේ ලැබුණ මුදල් පාර්සලයෙන් දේපළ ඇය මිලදී ගත් බවත්ය. මෙවැනි පට්ටපල්බොරු වලංගු වන්නේ එකී ඬේසි ෆොරස්ට් නම් යෝෂිත රාජපක්ෂගේ ඬේසි ආච්චි අසූවිය ඉක්මවා දැන් කල්ගත කරන බැවින්ය.

එහෙත් ඬේසි ආච්චිවන් අසූවිය නො ඉක්මවා ඇති අනුන්ගේ දේපළ තම නමට තබාගෙන සිටින අයට නම් මේ ආකාරයේ පට්ටපල් බොරු කිව නොහැකිය. මන්ද අකල් මරණයක් සිදුනොවේ නම් ඔවුන්ගේ ජීවිතය තව වසර ගණනක් හෝ දශක ගණනක් පවතින්නට හැකි බැවින්ය. එම නිසාම උපයාගත්තේ කෙසේදැයි ඔප්පුකර පෙන්විය නොහැකි අනුන්ගේ දේපළ තමන්ගේ නොවන බව කීමට මේ විශ්වාසවන්ත හිතේෂි වන්තයන් අද පෙළඹී ඇත. රාජපක්ෂ පුතුන් සතු සී.එස්.එන් නාලිකාවට අයත් යැයි සැලකෙන බැංකු ගිණුමක තිබු රුපියල් මිලියන ගණනන් රාජසන්තක වන්නේ ඒ නිසාය. වෙනත් අයගේ නමින් ඇති බැසිල් රාජපක්ෂලාට අයත්යැයි කියන මාතර බ්‍රවුන්ස්හිල් ඉඩම හා මල්වානේ මන්දිරයත් රාජසන්තක වීමට නියමිතව ඇත්තේද ඒ නිසාය. අමතරව මහින්ද රාජපක්ෂ ළඟ සිටි ශරීරාරක්ෂයන්ගේ හා වෙනත් රාජ්‍ය නිළධාරීන්ගේ නමින් ඇති බැංකු ගිණුම් පරීක්‍ෂා කරමින් සිටින්නේ ඒ නිසාය.

දේපළ හෝ බැංකු ගිණුම් නොවන ආකාරයටද හොරකමෙන් වංචාවෙන්, අල්ලසෙන් සොයාගත් මුදල් අත ඇති මුදල් වශයෙන්ම තබාගෙන සිට ඇති බව ද මේ වන විට අනාවරණය වෙමින් පවතී, එම මුදල් කා ළඟද කොහේද ඇත්තේ යන්න තවමත් පරීක්‍ෂණ මට්ටමේ පැවතියද හොරකමෙන් වංචාවෙන් අල්ලසෙන් චෙක්පත් හරහා ලැබුණු මුදල් අදාළ බැංකුවලින් මාරුකරගත් පුද්ගලයන් පිළිබඳව මේ වනවිට පරීක්ෂණ කණ්ඩායම්වලට තොරතුරු හෙළිදරව්වෙමින් පවතී.

ඊට අදාළව අප වෙත තොරතුරු ලැබී ඇති එක් කථාවක් වන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලයේ පරිපාලන නිලධාරියකු වශයෙන් කටයුතු කළ ඒ.එච්.එම්.බී. අබේසිංහ නමැති පුද්ගලයකු මුදල් බවට පත්කර ඇති චෙක්පත් දහඅටක කතාවය. මෙම චෙක්පත් 18 මගින් ඔහු මුදල් බවට පත්කර ඇති මුදල රුපියල් මිලියන 218කි. (රු. 218,825,000) එම මුළු මුදලට අයත් චෙක්පත් නිකුත්කර ඇත්තේ සමාගම් 12ක් හා පුද්ගලයකුගේ නමට ඇති බැංකු ගිණුම් මඟින්ය. එම ගිණුම් ලංකා බැංකුව, සම්පත් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා කොමර්ෂල් බැංකුව යන බැංකුවලට අදාළව තිබී ඇත. පුදුමයකට මෙන් රුපියල් දෙලක්ෂ පනස්දාහක එක් චෙක්පතක් හැරුණු විට (එය මුදල් චෙක්පතකි) රුපියල් මිලියනයේ සිට රුපියල් මිලියන 55 දක්වා පරාසයක විහිදී පවතින ඉහළ අගයක පවතින අනෙක් සියලුම චෙක්පත්ද මුදල් චෙක්පත් ලෙස (පුද්ගලයකුට බැංකු කවුන්ටරයකින් මුදල් බවට පත්කරගත හැකි) එම සමාගම් විසින් නිකුත් කර තිබීමය. ඒ මගින්ම පෙනී යන්නේ මෙම චෙක්පත් අල්ලස් ලෙස හෝ කොමිස් මුදලක් ලෙස අදාළ සමාගම් විසින් ලබාදී ඇති බවය. එමෙන්ම අදාළ බැංකුද එවැනි විශාල මුදල් ප්‍රමාණයක් කිසිදු පැකිලීමකින් තොරව මුදල් චෙක්පත්වලට ගෙවා ඇති බවය.

මහාමාර්ග අමාත්‍යාංශය සමඟ විවිධ සේවා සඳහා කොන්ත්‍රාත් ලබා ගත් ආයතන විසින් මෙම චෙක්පත් නිකුත් කර ඇතැයි ප්‍රකාශ වන අතර ඉදිකිරීම් සමාගම් රාශියක් ඒ අතර තිබීම එම කරුණ සනාථකරයි. අමතරව හෝටල් දෙකක නම් ද එම ලැයිස්තුවේ සඳහන් වන අතර ඔවුන් එම මුදල් ගෙව්වේ කිනම් කරුණක් අරභයාද යන්න පැහැදිලි නැත. කෙසේ හෝ මේ ආකාරයට මුදල් ගෙවා ඇති බවට ප්‍රකාශවන සමාගම් වන්නේ, සෙනුරා සිවිල් ඉංජිනියරින් පෞද්ගලික සමාගම, කොමුන් ඉංජිනියරින් සර්විස් පෞද්ගලික සමාගම, සෙල්ටෙක් ගෲප්, නවලෝක කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි පෞද්ගලික සමාගම, සී.එම්. එල්. එම්.ටී.ඩී. කන්ස්ට්‍රක්ෂන් කොම්පැණි පෞද්ගලික සමාගම, ජනිත් ජයසෙල හොටෙල්, එල්. එම්. කුරුප්පු, මාග ඉංජිනියරින් පෞද්ගලික සමාගම, මවුන්ට් ලැවිනියා හොටෙල්, කන්සල්ටන් ඉංජිනියරින් කන්ෂ්ට්‍රක්ෂන් පෞද්ගලික සමාගම, රයිගම් මාර්කටින් සර්විස් පෞද්ගලික සමාගම, ඉන්ටර්නැෂනල් කන්ස්ට්‍රක් ෂන් කන්සොටියම් හා සෙනොක් වින්ඞ් පවර් පෞද්ගලික සමාගම යන ආයතනය.

මෙම ලැයිස්තුව බැලූ විට පෙනෙන්නේ ජනතාව නම් වශයෙන් නොදන්නා සමාගම් පමණක් නොව නමින් දන්නා ජනප්‍රිය සමාගම්ද අල්ලස් හෙවත් කොමිස් මුදල් කාට හෝ පුද්ගලයකුට හොර පාරෙන් ගෙවා ඇති බවය. පසුගිය කාලයේ ජනප්‍රිය ලෙස කියවුණු ටෙන් පර්සෙන්ට් කථා සත්‍ය බව පෙනෙන්නේ මෙවැනි කථා හෙළිදරව් වන විටය.

මෙම ගනුදෙනු සිදු වී තිබුණ කාලයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා, කවුරුත් දන්නා කූප්‍රකට ගාමිණී සෙනරත්ය. රාජපක්ෂවරුන්ගේ නියෝජිතයා ලෙස එකල ඔහු නොසිටි තැනක් නොවීය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේද, ලංකා හොස්පිට්ල් ලිමිටඞ්හිද රජය විසින් ඉදිකරනු ලැබූ හෝටල් ව්‍යාපෘතිවලද ඔහු සිටියේය. ඉතින් ඉහත සඳහන් චෙක්පත් මුදල් බවට පත්කර ඇති පුද්ගලයා සේවය කර ඇත්තේ ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේය. ඔහුට එම කාර්යාලයට පත්වීම ලැබී ඇත්තේ පරිපාලන නිළධාරී තනතුරේ වැඩ බැලීම සඳහාය. එම පත්වීම තිබියදීම ඔහු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විසින් 2010 දෙසැම්බර් 21 දින සහිත ලිපියකින් එම වසරේ නොවැම්බර් 19 දින සිට රාජ්‍ය කළමනාකාර සහකාර නිළධාරියකු ලෙස ජනාධිපති කාර්ය මණ්ඩලයටද පත්කර තිබී ඇත. ඒ බව විගණකාධිපතිට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජනාධිපති පෞද්ගලික ලේකම්, ප්‍රධාන ගණකාධිකාරි ඇතුළු අයට පිටපත් මගින් දැනුම් දී ඇත. එසේ වුවද මෙම අබේසිංහ නමැත්තා එකල වැඩිපුරම රාජකාරී කර ඇත්තේ අරලියගහ මන්දිරයේය. අද ඔහු ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී කාර්යාලයේ දක්නට නැත.

කෙසේ හෝ පසුගිය අණ්ඩුව සමයේ මහාමාර්ග අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ ජනාධිපති මහින්ද රාජපක්ෂය. ඒ ආරක්‍ෂක අමාත්‍යධුරයටත්, මුදල් අමාත්‍යධුරයටත් අමතරවය. පසුගිය ආණ්ඩුව වැඩිපුරම සිදුකළේ ද රටේ පාරවල් හැදීමය. ඒ සඳහා රජයේ අරමුදල් භාවිත කරමින් මගනැගුම යටතේ සමාගම් තුනක් ඇති කර තිබුණේය. ඒ මගනැගුම රෝඞ් කන්ස්ට්‍රක්ෂන් එකියුන්මන්ට් පෞද්ගලික සමාගම, මගනැගුම කන්සල්ටන්සි ඇන්ඞ් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, සර්විස් පෞද්ගලික සමාගම හා මගනැගුම ඉමල්ෂන් ප්‍රොඩක්ෂන් පෞද්ගලික සමාගම යන ඒවාය. මාර්ග සංවර්ධන කටයුතු බොහෝ විට කෙරුණේ එම සමාගම් හරහාය. ලාභය කා ළඟදැයි තවමත් කවුරුත් දන්නේ නැත. රාජපක්ෂවරු එම සමාගම් ගැන ප්‍රශ්න කරන විට එකල පාර්ලිමේන්තුවේදී කීවේ සමාගම් පනත යටතේ ලියාපදිංචි පෞද්ගලික සමාගම් බැවින් රජයට ඒ ගැන වගකීමක් නැති බවය. ඒ නිසාම පසුගිය මාර්ග සංවර්ධන කටයුතු සහ ඊට අදාළ සේවා කිනම් කොන්දේසි යටතේ කාහට ලබාදුන්නේ ද යන්න දන්නේ රාජපක්‍ෂවරුන් පමණය. අප මෙම ලිපියෙන් සාකච්ඡා කරන ඉහත සඳහන් චෙක්පත් අනිවාර්යෙන්ම එම කොන්දේසිවල ප්‍රතිඵලයක් බවට විවාදයක් නැත.