Untitled-1

Untitled-1

බලය උදෙසා ජනතාව සමඟ ක්‍රීඩා කිරීම


sarath-wijesooriya

මහාචාර්ය සරත් විජේසූරිය

දේශපාලන පක්ෂයක සංවත්සරය ඉහළින් පැවැත්වීම ඔස්සේ අපේක්ෂා කරන්නේ පක්ෂයේ අභිවෘද්ධිය ද? පක්ෂයේ බලය විදහා පෑම ද? පක්ෂ සංවත්සරය ජනතා අභිලාෂයන් මුදුන් පත් කිරීමට අදාළ න්‍යාය පත්‍රයක් ඔස්සේ පැවැත්වෙන්නේ ද? බැලූ බැල්මටම පෙනෙන්නේ වත්මනෙහි පවත්වන පක්ෂ සම්මේලනයන් කාලය, ශ්‍රමය හා ධනය නාස්ති කිරීම් බවයි. ඒ තත්වයට හේතුව අවලස්සණ බල අරගලය නෙවෙන්නේ ද?

ශ්‍රීලනිපය හා එජාපය මෙවර වාර්ෂික සම්මේලන පවත්වන්නේ රාජ්‍ය බලය අතැතිවය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම රාජ්‍ය බලය අතැතිව මීට පෙර පක්ෂ සම්මේලන පවත්වා නැත. රාජ්‍ය පාලනයට වරමක් හිමි පක්ෂ දෙකම, පක්ෂ සම්මේලන ඔස්සේ විදහා දක්වන්නේ අනාගතය වෙනුවෙන් බලය සන්තක කර ගැනීමේ කැපවීමය. එය එක අතකින් හාස්‍යජනකය.

පක්ෂ සම්මේලනයක දී පක්ෂයේ ශක්තිය විදහා දැක්වීම අනිවාර්ය ලක්ෂණයකි. එය පාක්ෂිකයන් තුළ ආත්ම විශ්වාසය ගොඩ නැඟී‘මට ද අවශ්‍ය වේ. විශාල ධනයක් හා කාලයක් කැප කොට විශාල ජනතාවක් කිසියම් ස්ථානයකට එකතු කළ පමණින් පක්ෂයක ශක්තිය විදහා දැක්වෙන්නේ ද?

රටේ ජනතාව

දේශපාලන පක්ෂයක කවර කටයුත්තකට හෝ ස්වකැමැත්තෙන් හෝ උවමනාවෙන් සහභාගි වන ජනතාවක් සැබවින්ම අද නැති බව පැහැදිලි කාරණාවකි. අතීතයේ සිටි බව නම් සත්‍යයකි. දේශපාලන පක්ෂයක් වෙනුවෙන් ජනතාව එකතු කිරීම අද මුදල් වියදම් කිරීම ඔස්සේ සිදු වන්නකි. ඒ තත්වයට ජනතාව පත්කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම වග කිව යුතුය. මේ පසුබිම හේතුවෙන් අද ගම් දනව්වල දේශපාලනය කිසියම් අන්දමකට පාදඩකරණය වී තිබෙන බව ද පෙනේ.

කිසියම් දේශපාලන පක්ෂයක සම්මේලනයට සහභාගි වන පුද්ගලයන් ඒ පක්ෂයේ සාමාජිකයන් ද? මේ ගැන අධ්‍යයනයක් කළ පුද්ගලයෙකු මට මුණ ගැසිණි. ඔහු ඉතා වැදගත් කරුණු තුනක් පැවසීය.

ඔහු පැවසූ එක් කරුණක් වූයේ, දේශපාලන පක්ෂයක කවර කටයුත්තකට හෝ සහභාගිවන පුද්ගලයන් අතර, ‘මුදල්’ යන සාධකය හෝ වෙන යම් දෙයක් ලැබීම යන කාරණාව හෝ මුල් කර නොගෙන ඒකරාශී වන පුද්ගලයන් සිටින්නේ, ජනතා විමුක්ති පෙරමුණට බවයි. සංඛ්‍යාත්මකව දුර්වල වුවත් එය වාමාංශික පක්ෂවලට ද තවමත් අදාළ බවය ඔහු පැවසුවේ.

දෙවන කරුණ ලෙස ඔහු දැක්වූයේ, ලංකාව පුරාම අද වන විට ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම අවශ්‍යතා වෙනුවෙන්, පක්ෂ දෙකටම පොදුවේ සහභාගි වන්නාවූ පුද්ගලයන් සිටින බවයි. එය ‘මෑන් පවර්’ සේවයට සමාන තත්වයක් ලෙස හැඳින්වීමට ද හැකි බව පැවසිණි. ලැබෙන දේ මතය ඔවුන්ගේ සහභාගිත්වය තීරණය කෙරෙන්නේ. ඔවුන්ට පොදු ලක්ෂණය ලෙස දැක්වූයේ දිළිඳුකමයි. දෛනික වැටුපකට වැඩ කරන පුද්ගලයෙකුට දෛනික වැටුපට සමාන මුදලක් ද, කෑම බීම ද ලැබෙන විට, දවසේ වැඩ පැත්තකට දමා ‘විවේකී හා විනෝදාත්මක සතුටක්’ උදෙසා ඕනෑම පාට කමිසයක් අඳින්නට සූදානම් වන්නේ දිළිඳුකම මෙන්ම අසරණකම නිසා බව අසන්නට ලැබිණි. ඉතා අඩු පහසුකම් නිවාසවල ජීවත්වන ඇතැම් පුද්ගලයන්ගේ නිවෙස්වල පක්ෂ දෙකෙන්ම ලැබුණ ඇඳුම් හා හිස් වැසුම් තිබෙන අන්දම ඔහු වීඩියෝ පටයකින් මට පෙන්වා සිටියේය. මේ පුද්ගලයා වැඩි දුරටත් විස්තර කළේ ඇනකොටා ගැනීම්වලින් තොරව, සුහදශීලීව ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේම වැඩවලට සහභාගිවන පුද්ගලයන් දක්නට ලැබීම වත්මන් දේශපාලනයේ දක්නට ලැබෙන අලුත් ප්‍රවණතාවක් බවයි. මේ සාධක පවසන්නේ, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක බලය උදෙසා ජනතාව පත් කර තිබෙන ශෝචනීය තත්වය නොවන්නේ ද?

තුන්වන කාරණාව ලෙස අසන්නට ලැබුණේ, කෑම බීම සහ මුදල් ද දෙමින් ජාතිවාදය එන්නත් කිරීමයි. දිළිඳු පුද්ගලයන්ට නායකත්වය දෙන, ඔවුන් ඒකරාශී කරන බොහෝ පුද්ගලයන්ට, දේශපාලන විඥානයක් නැති බව ඔහු මනාව විස්තර කළේය. ඒ පුද්ගලයන් ද දේශපාලනය උදෙසා ලබා තිබෙන එන්නත ජාතිවාදයයි. මේ පුද්ගලයා පැවසූ ලොමු දැහැගන්වන කරුණ වූයේ, දිළිඳු ජනතාව ඒකරාශී කර ගන්නා සෑම පක්ෂයකම නියෝජිතයන් තම පසුබිම් වර්ණය ලෙස ජාතිවාදය විදහා දක්වන්නේය යන්නයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම පොදු ශෝචනීය වූ මේ යථාර්ථය පැහැදිලි කරමින් මේ පුද්ගලයා පෙන්වා දුන්නේ ඡන්දය ලබා ගැනීමේ දී, මැතිවරණයක් පවත්වන ආසන්නම අවස්ථාවේ දී, ලබා දෙන හා ලැබෙන දේ මත ඡන්දය ලබා ගැනීමට හැකි තත්වයක් ඉදිරියටත් වැඩී වර්ධනය වන බවයි. මේ වූ කලී දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අවිනීත අන්දමින් දූෂණය කර දැමීමක් නොවේ ද? බලය උදෙසා ක්‍රීඩා කිරීමට දේශපාලනඥයන් ජනතාව පන්දුවක් බවට පත් කර ගෙන තිබෙන අන්දම සනාථ කරන්නේ, රටේ ජනතාවගෙන් බහුතරයකට අද දේශපාලනය කෙරේ ගෞරවයක් නැති බව නොවේ ද?

සමාජයට නායකත්වය

රටේ ප්‍රධාන පක්ෂ දෙකම අද වන විට තමන්ගේ පාක්ෂිකයන්ට අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දීමෙන් වියුක්ත දේශපාලනයක නිමග්නව සිටීම ඛේදයකි. දේශපාලන පක්ෂයක් වශයෙන් සමාජයට අධ්‍යාපනයක් ලබා දීමේ දැක්මකින් ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව ද කිව යුතුය. නිතරම වාගේ, ටිල්වින් සිල්වා හෝ අනුර කුමාර දිසානායක හෝ ලාල් කාන්ත ප්‍රසිද්ධ දේශන පවත්වන අන්දම ගැන පෝස්ටර් දක්නට ලැබේ. ඒ ඇතැම් දේශන මා අසා ඇත. මා ඒවායේ දකින පොදු දුබලතාව නම්, සමාජයට අධ්‍යාපනයක් ලබා දීමේ ස්වරූපයෙන් වියුක්ත වීමයි. හුදෙක් පක්ෂයේ ප්‍රචාරණ කටයුත්තක බවට ඒවා ලඝු වීමයි. ඊට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ ජන විඥානය පෝසත් කිරීමට අවශ්‍ය ‘දේශපාලන දැනුමක් ඇති මානව සම්පත’ අද විරල වීම යයි සිතමි. මෙය රටේ දේශපාලන සංස්කෘතියේ බරපතළ කඩා වැටීමකි.

අපේ ආණ්ඩුවක්

අපේ ආණ්ඩුවක් පිහිටුවන බව පවසන්නේ ශ්‍රීලනිපයයි. අපේ ආණ්ඩුවක් පිහිටුවීම උදෙසා එජාපය ද වැඩ කරන තත්වයක් තිබේ. අපේ ආණ්ඩුවක් යනුවෙන් සිහින දකින්නේ, සම්මුතිවාදී ආණ්ඩුවකට අකමැත්ත නොවේ ද?

ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක නියෝජනය කරන මහජන නියෝජිතයන්ගෙන් බහුතරයක් ගැඹුරු හැඟීමකින් සම්මුතිවාදී ආණ්ඩුවක් ඔස්සේ රටේ සංකීර්ණ ප්‍රශ්න විසඳීමට එකඟ නොවන සංදර්භයක ඉදිරි දේශපාලන ප්‍රතිසංස්කරණවලට අත්වන ඉරණම කුමක් විය හැකි ද? රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක පුළුල් අන්දමින්, සාමූහික ස්වරූපයකින් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධ අධ්‍යාපනික වැඩසටහනක්, ජනතාව සවිඥානක කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට කල්පනා කරන බවක් ද පේන්නට නැත. මේ අවුල් තත්වය ලිහා ගැනීමට නොහැකි වී තිබෙන්නේ, මහින්ද රාජපක්ෂගේ තුරුලේ යෙහෙන් වැජඹුණ පුද්ගලයන්ගේ බලකාමය නිසා බව මේ වන විට පැහැදිලිය.

සම්මුතිවාදී ආණ්ඩුව නොයිවසීමට හේතුව කුමක් ද? එහි වැඩි බලයක් එජාපය සතුවීම වන්නට පුළුවන. එජාපයේ දේශපාලන දැක්ම, රටේ ආර්ථිකය ගොඩ නැඟීමට ගමන් ගන්නා මාවත, ශ්‍රීලනිපයේ fදා්ෂදර්ශනයට ලක් වේ. මෙහිදී ඇසිය යුතු බරපතළ ප්‍රශ්නයක් තිබේ. ඒ ප්‍රශ්නය නම්, රාජපක්ෂ ආණ්ඩුව විනාශ කළ ආර්ථිකය ගොඩනැඟීම සඳහා ශ්‍රීලනිපයට අද තිබෙන න්‍යාය පත්‍රය කුමක් ද? යන්නයි. සැබවින්ම කිසිම න්‍යාය පත්‍රයක් නැත.

ලෝක ප්‍රජාව මත දීර්ඝ කාලයක් තිස්සේ යැපුණ රටක්, දිනෙන් දින දිළිඳු වුණ දේශපාලන සංස්කෘතියක් පවතින රටක්, අනාගතය වෙනුවෙන් ගොඩ නැඟී‘මට හැඟීම් බර ප්‍රකාශවලින් නොහැකිය. ඒ සඳහා දියුණු වැඩපිළිවෙළක් අවශ්‍යම වේ. ඒ සඳහා මේ වන විට වැඩපිළිවෙළක් යෝජනා කර තිබෙන්නේ එජාපය බව පැහැදිලිය. එජාපයේ ආර්ථික දැක්ම නොයිවසීම දේශපාලනික කාරණාවකි. එහෙත් අද පවතින තත්වය නම් ආර්ථික දැක්ම හා දේශපාලනික දැක්ම අතර අන්තරයක් මොනම ආකාරයකින්වත් පවත්වා ගත නොහැකිවීමයි. මේ බැරෑරුම් ලෙස අවබෝධ කර ගත යුතු තත්වයකි.

රටේ අනාගතය වෙනුවෙන් වැදගත් සාධකය වන්නේ, 2020 දී පිහිටුවන ආණ්ඩුව ශ්‍රීලනිපයේ ආණ්ඩුව ද, එජාපයේ ආණ්ඩුව ද යන්න නොවේ. මේ පක්ෂ දෙකම ආණ්ඩු පිහිටුවා ඇත. රට පාලනය කර ඇත. පක්ෂ දෙකම රටේ ජනතාවගේ දියුණුව උදෙසා කළ දේවල් ගැන අද නීති ගරුක පුරවැසියන්ට තෘප්තිමත් වීමට නොහැකිය.

ප්‍රධාන දේශපාලන පක්ෂ පක්ෂ දෙකෙන් එකකට පමණක් රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා රාජ්‍ය පාලනයක නිමග්න වීමට ඉදිරියට හෝ වරමක් ලැබෙන්නේ නැත. එය පැහැදිලිය. එය ඉතිහාසය ද අවධාරණයෙන් පව සන්නකි. රටේ අනාගතය වෙනුවෙන් පක්ෂ දෙක එක ගමනක් යන්නට නිර්භීත විය යුතුය. ඒ ගමනේ දී පක්ෂයක් විනාශ වීම හෝ පක්ෂයක් මතු වීම යන කුකුස තුළ කිසිවෙකු භිරාන්ත විය යුතු නැත. එය තීන්දු කරනු ලබන්නේ පක්ෂයේ ශේෂ පත්‍රය විසිනි. එබැවින් නායකයන් දෙපළ සමාජයට නායකත්වය දීම වෙනුවෙන් පොදු න්‍යාය පත්‍රයක් සකස් කර ගත යුතුය. එය සකස් කර ගැනීම දැනටමත් ප්‍රමාද යයි සිතමි.

නායකයන්ගේ වගකීම

රටේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇති කිරීම උදෙසා අවශ්‍ය වැදගත් කාරණාවක් වන්නේ වත්මන් ආණ්ඩුව ජනතාවගේ විශ්වාසයට බඳුන් වීමයි. ජනතාව තුළ විශ්වාසයක් නැති නම්, ආණ්ඩුව කෙරේ ගෞරවයක් ද නැත. ගෞරවනීය නොවන ආණ්ඩුවකට දේශපාලන ප්‍රතිසංස්කරණ උදෙසා අවශ්‍ය යහපත් අන්දමක ජන වරමක් ලබා ගැනීමට නොහැකිය. මෙය සරල කාරණාවක් නොවේ.

ආණ්ඩුව ප්‍රථමයෙන් රටේ නීති ගරුක පුරවැසියන්ගේ ගෞරවය දිනා ගත යුතුය. ජනවාරි 08 වෙනිදා වෙනසට දායක වුණ සිවිල් සමාජයේ විශ්වාසය ගොඩ නඟා ගැනීම ඒ සඳහා අවශ්‍ය වන්නේය. ආණ්ඩුව අවිචාරවත් ගමනක් යන්නේ, මොනවා වුණත් වෙනත් විකල්පයක් සිවිල් සමාජයට දැන් නැත යන මුග්ධ මානසිකත්වයෙන් නම් ආණ්ඩුවට අනාගතයක් නැත.

මේ ආණ්ඩුව වෙනස් කළ නොහැකිය. සැබෑවකි. ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැර නොහැකි බැවිනි. යළි පවත්වන මැතිවරණයක දී ද ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට මොනම විදිහකටවත් තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට වරමක් ලැබෙන්නේ නැත. මේ ආණ්ඩුවේ කටයුතු බරපතළ අන්දමින් විවේචනය කළත්, රටේ නීති ගරුක පුරවැසියන් යළිත් රාජපක්ෂවරුන්ට රාජ්‍ය පාලනයට මාවතක් විවර කර ගැනීමට ඉඩ තබන්නේ ද නැත. ඉදිරි කාලය තුළ මහින්ද රාජපක්ෂගේ ප්‍රතිරූපය දියවීයාම වැළැක්වීමට නොහැකිය. මොනම අන්දමකින්වත් මහින්ද රාජපක්ෂට යළි රාජ්‍ය පාලනයට අවස්ථාවක් ලැබෙන්නේ නැත. ඒකාබද්ධ විපක්ෂයේ බහුතරයකගේ දේශපාලන අනාගතය ද තීරණාත්මකය. අවසන් මොහොතේ දී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන්නන් ජනාධිපති වරයාගේ හෝ අග්‍රාමාත්‍ය වරයාගේ දෑත් ශක්තිමත් කිරීමට නැඹුරු වීම ද අනිවාර්ය වේ. මහින්ද රාජපක්ෂ උර මත තබා ගෙන ගොස් දේශපාලන බලය සන්තක කර ගැනීමට උත්සුකව සිටින සියලු දෙනාගේම ඉරණම තීරණාත්මකය. ඔවුන් කිසියම් මොහොතක අද දවසේ ඇඳගෙන සිටින ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් හෙට දවසේ ඇඳ ගන්නවා ඇත. නැතහොත් දේශපාලනිකව කුණුවී ගමන නිම කරනු නියතය. එබැවින් නායකයන් දෙපළගේම වගකීම වන්නේ. ‘අපේ ආණ්ඩුවක්’ යන සටන් පාඨය ඉවත දැමීමය. රනිල් වික්‍රමසිංහ මහතා දැනටමත් ඒ ආස්ථානය ගෙන සිටින බව පෙනේ. ජනාධිපතිවරයාට ඒ ආස්ථානය ගැනීමට තිබෙන බාධා අප්‍රමාණ බව පෙනේ. කෙසේ වෙතත් ඒ බාධා ජය ගැනීම අවශ්‍ය වන්නේය.

රටේ ආර්ථිකය ගොඩ නැඟීමේ බාරධුර වගකීමට උරදිය යුත්තේ අග්‍රාමාත්‍යවරයායි. රටේ ආර්ථිකය ගොඩ නැඟීම සමඟ සහ සම්බන්ධතාවකින් යුක්ත දේශපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කළමනාකරණය කිරීමේ භාරධුර වැඩ කොටස තිබෙන්නේ ජනාධිපතිවරයාටයි. එබැවින් රාජ්‍ය බලය උදෙසා පක්ෂය ජයග්‍රහණය කිරිමේ න්‍යාය පත්‍රය දෙදෙනාම බැහැර කළ යුතුය.

මෙහිදී අවධාරණයෙන් පැවසිය යුතු කරුණක් තිබේ. එය නම්, සිවිල් සමාජය නියෝජනය කරන නීති ගරුක පුරවැසියන්ගෙන් සැලකිය යුතු පිරිසක් අදටත් කැමැත්ත දක්වන්නේ නිර්පාක්ෂිකව රාජ්‍ය පාලනය වෙනුවෙන් තම පාර්ශ්වයේ සහාය පළ කිරීමටයි. බොහෝ දෙනෙකුට යම් දේශපාලන පක්ෂයක් සමඟ සම්බන්ධතාවක් ඇතත්, මේ මොහොත තුළ නිර්පාක්ෂිකව කටයුතු කිරීමේ ස්ථාවරයකය සිටින්නේ. එබැවින් අවධාරණයෙන් පවසා සිටින්නේ මේ අවස්ථාවේ සිවිල් සමාජය, රටේ නීති ගරුක පුරවැසියන්, ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හෙට දවසේ රාජ්‍ය බලය වෙනුවෙන් ජනතාව ඒකරාශී කරමින් කරන ක්‍රීඩාවට කාලය, ශ්‍රමය හා ධනය වැය කිරීම පිළිකුළෙන් හෙළා දකින බවයි. ඊට හේතුව අද ප්‍රධාන පක්ෂ දෙකටම රාජ්‍ය පාලනයට තව පැහැදිලි කාලයක් තිබීමයි. ගොන් පොර සටන් රටවැසියන්ට අවැසි නැත. රට වැසියන්ට අවශ්‍ය වන්නේ ශීලාචාර දේශපාලන සංස්කෘතියකි. ඊට අවශ්‍ය නායකත්වය ලබාදීම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පරම වගකීමයි.