රාවය

සයිමන් නවගත්තේගමගේ ලිවීම් මට එතරම් දැනුණේ නැහැ | නිශ්ශංක විජේමාන්න

සයිමන් නවගත්තේගමගේ ලිවීම් මට එතරම් දැනුණේ නැහැ | නිශ්ශංක විජේමාන්න

අනුරාධා කෝදාගොඩ

නිශ්ශංක විජේමාන්නගේ නවතම නවකතා ග්‍රන්ථය හඳ පළුව තනි තරුව පසුගිය දා ජනගත කරනු ලැබුවා.  මේ ඒ පිළිබඳව හා ඔහුගේ ලේඛන දිවිය පිළිබඳව කරන ලද දීර්ඝ සාකච්ඡාවක සංෂිප්ත සටහනකි.

ඔබගේ නවතම නවකතාව වන ‘හඳ පළුව තනි තරුව’ කෘතියෙහි අප කෙතරම් සංස්කෘතික, භාෂාමය වශයෙන් කලවම් ජාතියක් ද යන්න බොහෝ තැන්වල කියැවෙනවා. කෙසේ නමුත් අපිට සමාජයක් විදියට මේ පිළිබඳව තිබෙන්නේ අල්ප අවබෝධයක් සහ අපේ රටේ පාලකයන් ඇතුළු බොහෝ පිරිස් වරනගන්නට උත්සාහ කරන්නේත් අපි සිංහල – බෞද්ධ ශුද්ධ වූ හිමිකමක් ඇති ජාතියක් බව. මේ පිළිබඳව ඔබගේ අදහස තවදුරටත් විස්තර කළොත්..

හඳ පළුව තනි තරුව කෘතියෙහි මා තැනක ලිවුවා පාලකයකුට ෆැසිස්ට්වාදය පතුරුවන්න ඕනෑම ප්‍රබල වන බලවේගයක් ආයුධයක් ලෙස ගන්න පුළුවන් කියලා. මේ දක්වා අපේ රටේ පාලකයන් ජනතාව ඔවුන්ගෙන් බලාපොරොත්තු වූ ආර්ථික සමෘද්ධිය හෝ සමාජ සුභසාධනය ළඟා කරදීම වෙනුවට කළේ ජාතිවාදය ආගම්වාදය අවුලපු එක. මේ කෘතියේ කතා තේමාව සෘජුවම ආගම්වාදයට හෝ ජාතිවාදයට විරුද්ධව නිර්මාණය නොවුණත් අපි විවිධ සංස්කෘතීන්ගෙන් අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වී ඇති තරම මෙම නවකතාව හරහා මතුකිරීමේ වුවමනාවක් මට තිබුණා.

ඔබේ කෘතිය ඔබ හඳුන්වන්නේ කැලිග්‍රැෆියක් නැතිනම් චාරු ලේඛනයක් ලෙසයි. චාරු ලේඛන පිළිබඳව ඔබේ හැදෑරීම මොකක්ද? ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළේ ඇයි?

මම වෘත්තියෙන් චිත්‍ර ශිල්පියෙක්. චිත්‍ර කලාව හා සම්බන්ධ විෂය නිර්දේශය ගැන අන්‍යාගමිකයන්ට විශාල විවේචනයක් තිබුණා එය ලාංකික බෞද්ධ කලාව හා පමණක් ඈඳිච්චි විෂය නිර්දේශයක් පමණක් බවට. මෙයට පිළියමක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනා කළා ලාංකික ද්‍රවිඩ හා මුස්ලිම්වරුන්ගේ කලා භාවිතාවනුත් මෙම විෂයට එකතු කළ යුතු බව. එම යෝජනාවත් සමඟ අප බොහෝ දෙනෙක් ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට යොමු වුණා. කාලයත් සමඟ ද්‍රවිඩ සහ මුස්ලිම් ජාතීන්ට අයත් චිත්‍ර කලා මාදිලි විෂය නිර්දේශයන්ට එකතු වුණා. අනෙකුත් ජාතීන්ගේ චිත්‍ර කලා මාදිලි සොයායෑමේදී මුස්ලිම් ජාතිකයන්ට ආවේණික වූ කලා ශිල්පයක් වන චාරු ලේඛන ගැන මට දැනගන්න ලැබීමත් සමඟ මා ඒ පිළිබඳව අධ්‍යයනය කිරීමට පෙළඹුණා. ඉස්ලාම් ආගම තුළ කලාවට ඇති ඉඩ ඉතාම සීමිතයි. චිත්‍ර ඇඳීම සහ මූර්ති ඇඹීම පිළිබඳව එම ආගම තුළ තිබෙන්නේ විරෝධයක්. මූලධාර්මික ඉස්ලාමිකයන් ලොව පුරාම ආගමේ නාමයෙන් චිත්‍ර, මූර්ති විනාශ කරනවා අප දැක තිබෙනවා. සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව තුළ කලාව පිළිබඳව ඇත්තේ කැමැත්තක්. කොහොම වුණත් ආගම හෝ ජාතිය පැත්තකින් තියල බැලුවොත් ඕනෑම මානවයකුට චිත්‍ර ඇඳීමේ සහජ කැමැත්තක් මෙන්ම හැකියාවක් තිබෙනවා. ඉස්ලාම් ආගමික නියමයන්ට අනුව මිනිසුන් හෝ සතුන් ඇඳීම පාපයක් සහ එය දෙවියන්ට පමණක් කළ හැකි දෙයක් ලෙස අර්ථ ගන්වා ඇති නිසා ඔවුන් අකුරු මගින් චිත්‍ර ඇඳීමට පෙළඹුණා. කැලිග්‍රැෆි කියන්නේ එවැනි අකුරුවලින් චිත්‍ර ඇඳීමේ ක්‍රමවේදයකට. මෙය මුස්ලිම්වරුන් පමණක් නොවේ බොහෝ දෙනෙක් පාවිච්චි කළ කලා ශිල්පයක්. නමුත් මුස්ලිම්වරු මෙය හුඟාක් දියුණු කළා.

මගේ කෘතිය කැලිග්‍රැෆි කියන කලා මෙවලම භාවිත කරමින් අනෙකාගේ හදවත් හඳුනාගැනීමට කරන උත්සාහයක්. කැලිග්‍රැෆි යන්නට භාවිත කරන සිංහල වචනය අක්ෂර චිත්‍ර යන්නයි. සිංහලයට පරිවර්තනය වන ‘කුරියර්’ සඟරාව මෙය චාරු ලේඛන යන නම යොදා තිබෙනවා. මම චාරු ලේඛන කියන වචනයට කැමතියි. මාගේ මෙම චාරු ලේඛනයෙන් අකුරු සහ වචන මා ඔබට පෙන්වනවා, ඔබ ඉන් දැක්වෙන චිත්‍රය හඳුනාගැනීමට උත්සාහ කරන්න.

කෘතියේ එක් තැනක එන මුස්ලිම්වරුන් හා භික්ෂූන් අතර ඇති වන ඝට්ටනය මෑතකාලීනව අප රටේ සිදුවූ අන්තවාදී සිදුවීම් සිහිකරවනවා. කලා කෘතියක් හරහා මේ මොහොතේ පවතින සමාජ-දේශපාලන කාරණා විග්‍රහ කිරීම කෙතරම් වැදගත් යැයි ඔබ සිතනවාද?

මෑත කාලයේ සිදුවූ සමාජ-දේශපාලන සං සිද්ධීන් පුළුවන් තරම් මගේ නිර්මාණයන් තුළට ඇතුළත් කිරීමට මා උත්සාහ කරනවා. එම සිද්ධීන් සිදුවූ ආකාරයෙන්ම විස්තරාත්ම කව දැක්වීමට වඩා එහි ලාංඡනයන්, නැතිනම් එම සිද්ධීන් සලකුණු කර පෙන්වීමක් කිරීමට මා උත්සාහ කරනවා. එමගින් කියවන්නාට මතක් කරන්නේ මේ මොහොතේ අපි අනෙකාට සලකමින් සිටින ආකාරය පිළිබඳවයි. භික්ෂූන් වහන්සේලා අතලොස්සක් විසින් අප තුළ අපගේම අනෙකා පිළිබඳව ඇති කිරීමට උත්සාහ කරන මහා භීතිය ඉතාම හාස්‍යජනකයි. කෙසේවුවත් මාගේ මෙම කෘතියේ අරමුණ එම කෝලාහලය පිළිබඳව හරස්කඩක් පෙන්වීම නොවේ. මට අවශ්‍ය වන්නේ අපගේ අනෙකා කෙතරම් විචිත්‍රවත් මිනිසෙක්ද, ඔහුගේ ජනසමාජය අනෙකා සමඟ මිත්‍රත්වයට කෙතරම් ප්‍රිය කරන සමාජයක්ද යන්න පෙන්වීමටයි.

මේ කෘතිය හරහා ඔබ එක් කතාවක් කීමට වඩා කුඩා කුඩා කතා සහ සිද්ධි රාශියක් එකට අමුණන බවක් පෙනෙනවා. මෙය තරමක් හරුකි මුරකාමි නමැති ලේඛකයාගේ ආඛ්‍යාන රටාව සමඟත් ගැළපෙනවා. එවැනි ආඛ්‍යාන රටාවක් තෝරා ගත්තේ ඇයි?

හරුකි මුරකාමි මා ඉතාම කැමති ලේඛකයෙක්. ඔහුගේ ආඛ්‍යාන රටා මා නිරීක්ෂණය කර තිබෙනවා. නවකතාව ලිවීමට පෙර එය ඉදිරිපත් කරන ආකෘතිය නිශ්චය කර ගැනීමට මා බොහෝ කාලයක් ගත කළා. මෙහි මුල් පිටු තිහ සහ ඊට පසු කොටස ආඛ්‍යාන රටා දෙකක් භාවිත කර තිබෙනවා. මෙහි මුල් කොටස මුරකාමිගේ ‘කෆ්කා මුහුදු වෙරළේ’ නම් කෘතියේ ආඛ්‍යාන රීතිය සමඟ යම් සමානකමක් දැකිය හැකි වුවත් ඉන් පසුව මා එය අතහැර දමනවා. මා විශාල ප්‍රමාණයක් කතන්දර එක් කොට තිබෙනවා. කතා දෙකක් අතර සම්බන්ධය ගොඩනගන්න නැතිනම් සරනේරුව විදියට මා පාවිච්චි කළේ මේ කතාව පුරාවටම සිටින යුවතිය. මෙලෙස කතා විශාල ප්‍රමාණයක් භාවිත කිරීමෙන් මට කියන්නට ඕනෑ වුණේ මුස්ලිම් සහ සිංහල ජනසමාජ දෙකක ජිවත්වන අප අතර කොපමණ එකසමාන කතන්දර තිබෙනවාද, මේ පවතින නුරුස්සනකම් පිටුදැකිය හැකි වන ආකාරයේ කතන්දර කොපමණ තිබෙනවා යන්නයි. අපි එක් ජනසමාජයක ඉපිද අනෙක් ජනසමාජයේ ජිවත්වන අපේම අනෙකාට වෛර කරමින් ජිවත් වෙලා ඔහු ගැන කිසිදු අවබෝධයක් නොමැතිව, ඔහුගේ චිත්‍රය කියවීමට කිසිදු උත්සාහයක් නොගෙන, එය මඟහැර යනවා.

ඔබගේ ලේඛන දිවියේ ආරම්භය ගැන මතක් කළොත්..

මාගේ පියා වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පියන් කෙනෙක් හැටියට තමයි රස්සාව කළේ. ඔහු හොඳ කියවන්නෙක්. ඔහු අපවත් කුඩා කල සිටම කියවීමට හුරුකෙරෙව්වා. කෙසේ හෝ මා උසස් පෙළ කරන අවධියේදී දේශපාලන කුමන්ත්‍රණයක් හේතුවෙන් ඔහුගේ රැකියාව අහිමි වුණා. ඒ කාලේ මා විද්‍යා අංශයෙන් උසස්පෙළ කිරීමට පාසලේ හොස්ටල් එකේ නැවතිලා හිටියේ. පියාගේ රැකියාව අහිමිවීමත් සමඟ මට තනිවම උපයාගෙන ඉගෙනගැනීමට සිදු වුණා. මා වඩු කාර්මිකයෙක් ලෙස මාස තුනක් වැඩ කරලා ඒ ඉපැයූ මුදලින් නැවත පාසල් ගොස් උසස්පෙළ කළා. ඒ වැඩබිම මා මිනිසෙකු කළා. එතෙක් ජීවත්වූ ළමා මනසින් මුදවා මා මිනිසෙකු කිරීමට එම ජිවිත අත්දැකීමට හැකිවුණා. එතැන් සිට තමයි මගේ ලිවීමත් ආරම්භ වුණේ. විශ්වවිද්‍යාලයට යෑමට මට නොහැකි වුණත් විද්‍යා ගුරුවරයෙක් ලෙස කලකට පසුව පත්වීමක් ලබාගැනීමට හැකි වුණා. උසස්පෙළ සඳහා විද්‍යා විෂයන් තෝරා ගැනීමට සිදුවන්නේ චිත්‍ර විෂය සඳහා ගුරුවරයකු නොමැති වීමත් සාමාන්‍ය පෙළ හොඳින් සමත් ළමුන් හැමදෙනාම විද්‍යා සහ ගණිත විෂයයන් තෝරා ගැනීමත් නිසායි. කෙසේ හෝ මා විද්‍යා විෂය ඉගැන්වීම අතහැර චිත්‍ර ඉගැන්වීමට පටන් ගත්තේ මා තුළ විශාල විශ්වාසයක් තිබුණ නිසා, චිත්‍ර විෂය ඉගැන්වීමෙන් එතෙක් විශ්වවිද්‍යාලයට නොගිය මහියංගණේ ළමයි මට අනිවාර්යයෙන්ම යැවිය හැකි බවට. ඇත්තටම මා චිත්‍ර විෂය ඉගැන්වීමට ගත්තායින් පසුව මහියංගණෙන් විශාල වශයෙන් සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ළමුන් පැමිණියා.

වඩුකාර්මිකයෙක් ලෙස වැඩ කළ කාලයේ ඉඳන් දිනපොත් ලිවීමේ පුරුද්දක් මට තිබණා. එදිනෙදා හමුවෙන මිනිසුන් ගැන මා තබා තිබූ සටහන් පසුකාලීනව මාගේ ලේඛන දිවියට වැදගත් වුණා. මගේ ලේඛන දිවිය ඇත්තටම තනි අශ්වයකුගේ රේස් එකක් වගේ. මා ජිවත්වූ සමාජයේ මා සමඟ අදහස් හුවමාරු කරගැනීමට හැකි ලේඛකයෙක් හෝ කලාකරුවෙක් නැහැ. ඒ අර්ථයෙන් මා හුදෙකලාව ජීවත්වුණේ. ලේඛකයාත්, විනිශ්චයකරුවාත්, විචාරක යාත් සියල්ල මම. කුරුඹාපිටිය මහතා හමුවුණාට පස්සේ ඔහු මට ගාමිණී වියන්ගොඩගේ එකල පළ වූ රාග රිද්ම නමැති පරිවර්තන කෘතිය ලබා දී කිවුවා, මට ගැළපෙන ආඛ්‍යාන රටාවක් එහි තිබෙන බව සහ එය අධ්‍යයනය කරන ලෙස. එහි ආඛ්‍යාන රටාව මා පුදුමයට පත් කළා. අධියථාර්ථවාදී හෝ මායා යථාර්ථවාදී ආඛ්‍යාන රටා පිළිබඳව එතෙක් තිබු සැකසංකා එම පොත කියවීමෙන් නැතිව ගියා. මාගේ මුල් කෘති පිළිබඳව කළ බොහෝ විචාරවල මා මාකේස්ගේ ශෛලිය අනුකරණය කරන බව කීවත් ඒ වෙනකොට මා මාකේස්ව දැනගෙන හිටියේත් නැහැ. මා දැනගෙන හිටියේ යක්කු, පෙරේතයෝ වැනි දේවල යථාර්ථයෙන් ඔබ්බට ගිය අධිමානුෂීය ලක්ෂණ පිළිබඳව පමණයි. මගේ ලේඛන කලාවට චිත්‍ර කලාවෙන් ලද ආභාසයද විශාලයි. උදාහරණයකට ඩාලිගේ චිත්‍රවල ඇති අධියථර්ථවාදී ලක්ෂණ මා පුදුමයට පත් කළා.කොහොම වුණත් එකම ආකෘතියක හිරවී සිටීමට මා කැමති නැහැ. විවිධ ආකෘතින් අත්හදා බැලීමට මා කැමතියි.

මහියංගණය වැනි දුෂ්කර, හුදෙකලා ප්‍රදේශයක ජීවත්වීම ඔබගේ නිර්මාණකරණයට වාසිසහගත වුණාද?

එය වාසි සහ අවාසි දෙකම මිශ්‍රිත තත්ත්වයක්. කතාකරන්න, ශාස්ත්‍රීය සාකච්ඡාවකට අනෙකකු නැතිවීම විශාල අවාසියක් විදියට නිර්මාණකරණයේදී මට දැනිලා තිබෙනවා. එම හුදෙකලාව තුළම මට කියවීමට සහ ලිවීමට වාරණයකින් තොරව, බාධාකිරීමකින් තොරව විශාල ඉඩක් සැලසෙනවා. මෙය ලේඛකයෙකුට ඉතාම වාසිසහගත දෙයක්. මේ නිසා මට නිර්භයව, කිසිවකුගේ මැදිහත්වීමකින් තොරව ලිවීමට හැකි වුණා යැයි මා සිතනවා. කිසිදු මතවාදයක් බාධකයක් ලෙස මා ඉදිරියේ නැහැ. කොළඹ කේන්ද්‍රීය කියවීම්වලින් මා දුරස්වී සිටීම වාසි සහගත ලෙස මගේ නිදහස් චින්තනයට බලපෑ බව මා විශ්වාස කරනවා.

ඔබේ නිර්මාණකරණයට විවිධ දර්ශනවාදයන්ගෙන් යුත් කොළඹ කේන්ද්‍රීය විචාර සහ පුද්ගලයන් කෙතරම් දුරට බලපෑමක් වුණාද?

මට තදින්ම බලපෑම් කළ අවස්ථාවක් තමයි, දීප්ති කුමාර ගුණරත්නගේ කලාව හා විසංයෝජනය සහ පෘථිවිකරණය සහ හෙජමොනිය කියන කෘතීන්. අවාසනාවකට මට එම කෘතීන් දෙකේම සම්පූර්ණ හරයන් ග්‍රහණය කර ගැනීමට බැරි වුණා. මොකද එය කියවා ගැනීමට අනෙකකු අවශ්‍යයි. දීප්ති මාගේ නිර්මාණ සම්බන්ධයෙන් දැක්වූ සමහර දේ මා ඔහු පෙන්වා දෙන තෙක් නොදැන සිටි දේවල්. ඔහු විසින් පෙන්වා දෙන ලද ඇතැම් කාරණා මා සැකෙන් බැලූ අවස්ථා තිබුණා. කෙසේ හෝ ඔහුට පෙර එවැනි විචාර කලාවක් මා දන්නා තරමින් ලංකාවේ සිදුවූයේ ඉතා අල්ප වශයෙන්. කොහොම වුණත් මා විචාරවලට වඩා සෑම විටම කියවූයේ කතන්දර පොත්.

ඔබගේ නිර්මාණකරණයට බලපෑම් කළ දේශීය සහ විදේශීය ලේඛකයන් කවුරුද?

මුල් කාලයේදී ජීබී සේනානායකගේ ආඛ්‍යාන රටාවට මා ඉතාම ඇලුම් කළා. ඒත් යම් වෙලාවක ඔහුගේ ලිවීමේ එකාකාරී බවක් මට දැනුණා. ලේඛනයේදී මා අකමැතිම කාරණයක් තමයි එකම රටාව භාවිත කිරීම. මා නිතරම මාගේ ලිවීමේ රටාව වෙනස් කිරීමට උත්සාහ කරනවා. හෙමිංවේගේ ‘මහල්ලා සහ මුහුද’ මා ඉතාම ප්‍රිය කළ කෘතියක් සහ එහිදී ඔහු භාවිත කළ අවමකරණ ලක්ෂණය හඳුනා ගැනීමට මා එය අධ්‍යයනය කරමින් කිහිපවිටක්ම කියවූවා. කැමූගේ ‘පිටස්තරයා’ත් මා විශාල කාලයක් අරගෙන අධ්‍යයනය කළ පොතක්. සයිමන් නවගත්තේගමගේ සංසාරාරණ්‍යයේ දඩයක් කාරයා මා ඉතා කැමති පොතක්. පසුකලකදී ඔහුගේ ලියවීම් මට එතරම් දැනුණේ නැහැ. ඒවී සුරවීරගේ කෙටිකතාත් මා ඉතා ප්‍රිය කරනවා. අවසාන කාලයේදී මාකේස්ගේ කෘති මට තදින් බලපානවා. ඔහුගේ ‘කරුමක්කාර කතාවක්’ ලිවීමේදී එය ලියා ඇති තැතිගන්නා සුලු ස්වභාවය, අවසානයේදී පාඨකයා ඔහු කෙතරම් ප්‍රකම්පනයට පත් කරනවාද යන්න මා මවිතයට පත් කළා. ඒ ලිවීමට මා ඉතා කැමතියි.

පරිවර්තන කෘති කියවීමෙන් විදේශීය ලේඛකයාගේ ලේඛන කලාව නිශ්චිතවම හැදෑරිය හැකියැයි ඔබ හිතනවාද?

ඔව්, ඒ පිළිබඳ සැක සංකා මට ඇති වෙලා තිබෙනවා. ‘හුදෙකලාවක සියවස’ පරිවර්තන කෘති දෙකක් මා කියවූවා. ඊට පසු මා එහි ඉංග්‍රීසි පොත මිලදී ගත්තා. මගේ ඉංග්‍රීසි දැනුමේ පරිමාව අනුව සහ පරිවර්තන කෘතීන්ගේ මතකයෙන් මා එහි මුල් පිටු දෙක පරිවර්තනය කළා. ඇත්තටම ඔබ කියනවා මෙන් පරිවර්තන කෘති පමණක් කියවීමෙන් අපට විශාල ප්‍රමාණයක් මඟ හැරෙනවා.