රාවය

කවි ලෝකයේ සිටින එකම හිඟන්නා මමයි | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

කවි ලෝකයේ සිටින එකම හිඟන්නා මමයි | නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්

ළහිරු කිතලගම

දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ පුවත්පත් කවි පිටු අතරේ සිය ප්‍රතිභාව පෙන්වූ නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්, නූතන කවිය වෙනස් ඉසව්වක් කරා රැගෙන ගිය කවියෙකි. ඔහුගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය මයෙ අම්මේ යමු යංඩ නමින් සැප්තැම්බර් 15 සවස 2ට කුලියාපිටිය, මීගහකොටුව ශිල්ප ශාලිකාවේ දී ජනගත කෙරේ.

ඔබ ජීවිතය දැනවීම හෝ හැඟවීම සඳහා කවිය තෝරා ගත්තේ ඇයි?

මගේ ජීවිතය ම හරස්පද ප්‍රහේලිකාවක්. එය කොහොම පුරවාගෙන ගියත් අවසානයට පුරවන්න බැරි, උත්තර නැති කොටු කීපයක් ඉතිරි වෙනවා. ජීවිතේ බොහෝ දේවල් මම පුරවගත්තේ, එහෙම නැත්නම් උත්තර හොයා ගත්තේ කවියෙන් හෝ කෙටිකතාවෙන්. එහෙම නැත්නම් විශේෂාංගවලින්. මගේ අසහාය විප්ලවවාදී කවියා චන්ද්‍රකුමාර වික්‍රමරත්න. ඔහුගේත් මගේත් ජීවිත දිහා බලද්දී එතරම් වෙනස්කම් නැහැ. වෙනසකට තියෙන්නේ ඔහු විප්ලවවාදී ජීවගුණයෙන් අනූන වීමයි. ඒ පැත්තෙන් අපි ඉන්නේ ඔහුට වඩා ගොඩක් පහළින්. අපි අපේ ජීවිත ගැන ලිව්වා. අපි ලැබූ පීඩාවන්, සමාජ අසාධාරණයන්, දරිද්‍රතාව ගැන අපි ලිව්වා. ඒවා තනිකර ම මිනිසුන්ගේ විලාපයන් හෝ සටන් ස්වරයන් විය හැකියි. බලනකොට ඒවා කවි වෙලා. සමාජයේ බොරුව සීතලට තියෙනකොට හංගලා තිබුණ උණුසුම් සත්‍යය ඒ තැන්වලින් එළියට අරගෙන අපි මිනිසුන්ට කිව්වා. බලනකොට ඒවා කෙටිකතා නැත්නම් විශේෂාංග වෙලා. අදටත් මං ලියන්නේ ජීවිතය හා අත්දැකීම්. බලනකොට ඒවා සමාජයට බද්ධ වෙලා. ඒ නිසා මා තෝරාගත් කේන්ද්‍රීය ඉලක්කගත මාධ්‍යයක් නැහැ. මම සාමාන්‍ය විදියට ලියාගෙන යනවා. මිනිසුන් එයින් කම්පිත වෙනවා. අර මුලින් කීවා වගේ වෙලාවකට ඒවා අමු කවි. හැබැයි ඒ ලියාගෙන යන දෙයෙහි මට ඉලක්කයක් තියෙනවා. නැවතුමක් නොතිබුණත් දැක්මක් හා බද්ධ වුණ අරමුණක් තියෙනවා. හිතේ ඔඩුදුවන හිත පාරවන කතාවෙන් උපදින ඒ කවිය තුළ පීඩිත පංතියේ, නිර්ධන පංතියේ හදගැස්ම ඒකාත්මික වෙලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මම ලියන්නේ පීඩිත පංතිය වෙනුවෙන්. මොකද ඔවුන්ගේ හඬ ඈතට ගෙනියන්න ස්පීකර් නැහැ. ඇත්තටම මේ රටේ දුක් විඳින මිනිස්සුන්ගේ හදගැස්ම හා වේදනා, හඬ ප්‍රතිරාව වෙනුවෙන් පෙනී සිටීම ගැන ධර්මසිරි රාජපක්‍ෂට ස්තූතියි. සුනිල් මාධවට, පරාක්‍රම කොඩිතුවක්කුට, රත්න ශ්‍රී විජේසිංහට, චූලානන්ද සමරනායක යන සියලු දෙනාට ස්තූතියි.

මගෙ කවියක් පත්තරේක පළවුණා ම පළමුවෙන් ම මට කතා කරන්නේ කවියෙක්. කියන්න සතුටුයි ඒ ක්‍රමය මම විසින් ම විනාශ කරගත්තා. අදටත් මාව තේරුම් ගන්න කිසිම කෙනෙකුට බැහැ. දැන් මගේ කවියක් පත්තරේක යනවා දැක්කොත් ඉස්සරවෙලාම කතා කරන්නේ ඈත ලැයිමක නගරයක, වතු යායක කුස්සි හෝදන තරුණයෙක්. කුඩ හදන, යතුරු කපන, සපත්තු මහන නිර්ධන පංතික සගයෙක්. පාරෙ සිඟමන් යදින දෙවියෙක්, ඇඟළුම් කම්හලක සහෝදරියක්, කෙකිවලින් පොල් කඩන දුප්පත් තරුණයෙක්, අභිසාරිකා සහෝදරියක්, පාර අතුගාන අම්මෙක්, නාට්ටාමි සහෝදරයෙක්, එහෙමත් නැත්නම් කුණු අදින කාණු හෝදන සහෝදරයෙක්. මං කවියෙන් උපයාගත් මහා ධනය නම් මේ පීඩිත මිනිසුන් විතරයි. මගේ ඇසුරත් ඔවුන් සමඟයි. සමාජයේ ඔවුන්ට කාත් කවුරුත් නැහැ. ඔවුන්ගේ ජීවිත හා පීඩාවන් ගැන බොහෝ දුරට කතා කිරීමට අපේ මිනිසුන් ලැජ්ජයි. ඔවුන්ගේ ජීවිත සමග කරට අත දමාගෙන සංවාදගත වීමට අපේ මිනිසුන්ට හිරිකිතයි. ඔවුන් හරි අපිරිසිදුයි කියලා ශුද්ධ වූ සමාජය හිතනවා ඇති. ඒ අපවාද ලබන මිනිසුන් වෙනුවෙනුයි මගේ කවිය පෙනී සිටින්නේ.

දශක කිහිපයක සිට ලියන ඔබේ කවියේ උප්පත්තිය සිදු වන්නේ කෙසේද?

අපේ තාත්තා යුද හමුදාවේ මේජර් කෙනෙක්. මම පහේ පංතියේදී අපේ තාත්තා අම්මාවයි, මාවයි දාලා යනවා. ගිහින් වෙන විවාහයක් කර ගන්නවා. පහේ පංතියේ බුද්ධාගම් පොත අරන් එන්නම් කියලා ගිය තාත්තා මුස්ලිම් අම්මා කෙනෙකුට පුංචි අම්මා කියන්න මට සලස්සනවා. තාත්තා දීපු මුද්ද අම්මා මාත් එක්කම ගිහින් අලුත් ජෝඩුවට ආපහු දීලා එනවා. මොකද ඒකේ නිලභාවයක් අම්මාට නොතිබුණ නිසා. ඒ කියන්නේ අපේ තාත්තා අපේ අම්මාව කසාද බැඳලා නැහැ. අදටත් මගේ උප්පැන්නේ තාත්තා කෙනෙකුගේ නමක් නැහැ. අම්මාගේ වාසගමෙන් මම ඉන්නේ. ඒ නිසා මං අවජාතකයෙක්. ඒ මගේ මුල් නම. මම ඒ නමට හරි ආදරෙයි. කඳුළු වටකුරු ඒකයි.

තාත්තාගේ වෙන්වීමත් සමඟ අම්මායි මායි ගොඩක් අසරණ වුණා. අම්මා ඒ දවස්වල හරි ආඩම්බරකාරී වගේම අසනීපකාරී. අපේ අම්මා අකුරක්, කලාවක් මෙලෝ මළදානයක් දන්නේ නැහැ. අම්මා ඉගෙනගෙන හිටියා නම් සමහර විට අද ඔබ කවිවලින් දකින මේ මාව ඉපදෙන්නේත් නැහැනේ. ඉතින් අම්මා හරියට දුක් විඳවිඳ මට ඉගැන්නුවා. අම්මා කුලී වැඩ කළා. අන්නාසි කොටුවල වැඩට ගියා. කොහු මෝලවල වැඩට ගියා. කසිප්පු වික්කා. අරක්කු බොන්න ආව මිනිසුන් අම්මාගේ තනෙන් ඇද්දා. මට මතකයි මම ඒ මිනිස්සුන්ට හිරමනෙන් ගැහුවා. කවදාවත් අපේ අම්මා චීත්තේ ගැලෙව්වේ නැහැ. මොන තරම් දුප්පත් වුණත්, නැතිබැරිකම් තිබුණත්, අම්මාගේ චීත්තේ වතුසුද්ද මල් හැලෙන්නවත්, පරවෙන්නවත් අම්මා ඉඩ දුන්නේ නැහැ. මම මේ හැමදේම දරාගෙන උහුලාගෙන හැමදාම පංතියේ පළමුවැනියා වුණා. මම මුලින්ම පාසල් ගියේ දියකළමුල්ලේ ශ්‍රීපති විදුහලට. අපේ ගේ තිබුණේ දණ්ඩගමුවෙ වාද්දුව වත්තේ. චන්දන ලියනආරච්චි මට පහළ පංතියේ. එයාව ජනගායනා තරගවලට එක්ක යන්න කියලා ප්‍රින්සිපල් භාර දෙන්නේ මට. අපි දෙන්නා දියකළමුල්ලේ ඉඳන් කනදුල්ලෙ ධර්මරාජෙට පයින්ම යනවා. ඩබ්ලියු ඒ අබේසිංහ මහත්තයා ඒ කාලේ කොමියුනිස්ට් පක්ෂයේ. රාජා අයියා කියලා අබේසිංහ මහත්තයාගේ යාළුවෙක් හිටියා දණ්ඩගමුවෙ. රාජා අයියා අබේසිංහ මහත්තයාගෙන් ගෙනෙන හැම පොතක්ම මම කියෙව්වා. ගොඩාක්ම තිබුණේ සෝවියට් සඟරා. ඉතින් පුංචි කාලේදිම ලෙනින් ගැන, මාක්ස් ගැන කියෙව්වා.

මට ඒ දවස්වල තිබුණේ එක ඇඳුමයි. හැම තැනකටම ඇන්දේ ඉස්කෝලෙ යුනිෆෝම් එක. මට බුද්ධාගම ඉගැන්නුවේ කුලියාපිටියේ සුමිත්‍රා මිස්. ඒ මිස් මට ඉගෙනගන්න උපකාර කළා. ඇඳුම් පැළඳුම් අරන් දුන්නා. ඊට අමතරව පොත් පෑන් ගන්න මම හැම උදේකම ගෙවල් ගානේ ගිහින් පොල් ගස් බඩ ගෑවා. ඒ වැඩ ඉවර වෙලා මම ඉස්කෝලේ ගියා. අම්මායි මමයි බඩගින්නේ හිටපු වාර අනන්තයි. ගස් බඩ ගාන එකට අම්මා මට බැනපු වාර ගණන අනන්තයි. ඒත් අපි දෙන්නා කොහොම හරි ජීවත් වුණා. මම ඉස්කෝලේදී ඩෙස් එකයි පුටුවයි වෙන් කරගෙන අනෙක් ළමයින්ට ටික් ඈතට වෙලායි හිටියේ. මොකද මං ගාව කාටවත් ඉන්න බැහැ ගස් ගඳ නිසා.

මගේ යාළුවා නිශාමනී කියල ගෑනු ළමයෙක්. එයා ඉගෙන ගත්තේ කොහුමෝලක කොහු බත් ඇදලා හොයාගත්ත සල්ලිවලින්. එයා ළඟ මට්ට ගඳ ගහනවා කියලා එයාවත් මං ළඟට දැම්මා. ගඳගහන මං හැමදාම පළවෙනියා, ගඳගහන නිශාමනී දෙවෙනියා. සුවඳ රෝස මල් සහ සමන් පිච්ච තුන හතර පහ. ඒ කාලේදී තමයි මගේ කවි ඉපදෙන්නේ. මං හිතන්නේ මගේ මුල්ම කවිය පළ වුණේ රාවය පත්තරේ නැත්නම් යුක්තිය පත්තරේ. බරපතළ දේශපාලන කාරණයක් මං ව්‍යංගයෙන් ලිව්වා. මුළු ඉස්කෝලෙම ඇවිස්සුණා. හයේ පංතියේ කවිය උසස් පෙළ ළමයින්ට තේරුම් කරලා දෙන්න ප්‍රින්සිපල්ට සිද්ධ වුනා. ඉන් පස්සේ මම දිගටම ලිව්වා.

මෙතෙක් කල් කෘතියක් පළ නොකළේ?

ලිවීම හැරුණුකොට ගෙන පොත් කිරීම සුවිශේෂ උවමනාවක් වුණේ නැහැ. මම කවි සුවිශාල ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඒ හැම එකක්ම ලංකාවේ ජාතික පත්තර, විකල්ප පත්තරවල පළ වුණා. ගොඩක් කවි අස්ථානගත වෙලා. ඒවා මම එකතු කළේ නැහැ. මේ මෑතක ලියපු කවි පමණක් පොතක අලවලා තියනවා. පොතක් නොකළ නිසා මාගේ කවි ගැන කතාබහක් ඇති වුණෙත් නැහැ. සමහර විට කතා බහ කළ යුතු කවි මා ලියා නොතිබෙන්න ඇති.

ඇත්තමට ප්‍රවීණයන්ට වඩා පොතක් එළි නොදක්වපු ආධුනිකයන්ගේ බොහෝ නිර්මාණ මට මුණගැහිලා තියනවා. ඒවා ප්‍රශස්තයි. පුදුමාකාරයි. ලංකාවේ ප්‍රවීණයන්යැයි කියා ගන්නා පුද්ගලයන් තරම් කුහක මිනිස්සු මං මිනීපෙට්ටියකදීවත් දැකලා නැහැ. ඔවුන් චරිත බවට පත් කළේ ආධුනික කවීන්ගේ ශ්‍රමය කියලායි මම හිතන්නේ. ආධුනිකයන් ඔවුන් වටා ආසක්ත වීම ඔස්සේ නොයෙක් ගුරුකුල බිහි වුණා. කවි ලෝකයට වඩා මට මරණාධාර සමිතියක් ලස්සනයි. කවි ගැන විචාර කරන විචාරකයෝත් එහෙමයි. කලාතුරකින් මේ අතර සුවඳමල් වැනි මිනිසුන් හමු වෙනවා. ඉතින් කවියෙකුට හොඳ පිට කොන්දක් අවශ්‍යයි. සම්මාන, සහතික, කවි උත්සව, ගුරුකුල, දේශන, සම්මන්ත්‍රණ අතරින් කවිය සිරගත නොවී නිදහස්ව පොදු ජනතාව වෙත පියඹා යා යුතුයි. කවියා පීඩිත පංතියට වගකිව යුතුයි.

මම බොහෝ විට කවි ලියන්නේ සමාජයෙන් කොන්වෙලා සිටින මිනිසුන් වෙනුවෙනුයි. ඒ පීඩාවට පත් මිනිසුන් මාව කියවනවා. ඒ සම්මානය මට හොඳටම ඇති. ඔවුන් මහපාරෙදි මාව සිප ගන්නවා. මට ඒ ආදරය ඇති. අපි එකතුවෙලා නගරසභාවේ කුණු ට්‍රැක්ටරේ උඩ කහට බොනවා. ඒ සංවාදය හොඳටම ඇති.

ජීවිතය කවිය මත කේන්ද්‍රගත කළේ කොහොමද?

මගේ ජීවිතේ සැකසී තිබෙන්නේ අහිමිවීම් මත. මගේ තනිකඩ නිවස්නය දැනට මාස කීපයකට පෙර කුලියාපිටිය අධිකරණයේ දී සින්න වුණා. තාත්තා අපිව දාලා ගියායින් පස්සේ දණ්ඩගමුවෙ අපි හිටිය කුලී නිවසින් වතුහිමියො අපිව එලෙව්වා. ගෙවල් කුලී ගෙවන්න අපිට වත්කමක් තිබුණේ නැහැ. මමයි අම්මායි අම්මාගේ උපන් ගම වන නාගොල්ලාගොඩට ආවා. ඉන් පස්සේ ඉටිකොළ ගහලා කූඩාරමක් අටවාගෙන අම්මායි මායි ඒකේ ජීවත් වුණා. මම සාමාන්‍ය පෙළ සමත් වුණේ අපිව මහපාරට ඇදලා දාපු දවසේ. ඉන් පස්සේ මම අර දරමඩුවේ ඉඳගෙන උසස් පෙළට ඉස්කෝලේ ගියා. උසස් පෙළ කරන කාලේදී ජවිපෙට සම්බන්ධ වුණා. අවුරුදු පහක් පමණ රැඳවුම් කඳවුරුවලයි, වධකාගාරවලයි, පුනරුත්ථාපන කඳවුරුවලයි ඉඳලා නිදහස් වුණා. ඉතින් මම මිනිසුන් සඳහා වන මේ කටුගෑම නැවැත්තුවේ නැහැ. අතිශය දුෂ්කර අවස්ථාවේත් මම මගේ යුතුකම කළා. මට එහෙම කරන්න මගේ ජීවිතය බලකරලා තිබුණා. මම රස්සා ගොඩක් කළා වගේම ගොඩකින් දොට්ට දාලා තියනවා. කාලයක් ගුවන් හමුදාවේ ඉංජිනේරු අංශයේ හිටියා. ජේවීපී කාරයෙක් කියලා එන්අයිබී රිපෝට් එකෙන් අයින් කළා. මම පත්තරවලට ලියපු දේවල් ඒකට හේතු වුණා. මගේ දේවල් අහිමි වෙනවා කියලා මම ඇත්ත කටුනොගා හිටියෙ නැහැ.

මම මාධ්‍යවේදියෙක් විදියට මාස කීපයක් හිටියා. පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු ලෙස වැඩ කළා. අඳින්න ඇඳුනුයි, දාන්ඩ සපත්තුයි නැති හින්දා පළවෙනි පඩිය ගන්නත් කලින් නතර වුණා. මාස් සමූහ ව්‍යාපාරයේ ආයතනයක් තියෙනවා කුලියාපිටියේ ස්ලිම්ටෙක්ස් ගාමන්ට් කියලා. ඒ ගාමන්ට් එකේ පිඟන් හේදුවා. මං ඒ දවස්වල මාක්ස්ගේ ප්‍රාග්ධනය අරන් දෙන්න කියලා ලංකාදීප පත්තරේට ලිපියක් ලිව්වා. ඒක දැකලා කළමනාකරු මාව එළියට දැම්මා. මේ දේවල් එක්ක තමා කවිය ජිවිතය මත කේන්ද්‍ර වෙන්නේ. ජීවිතය වටා කවිය ලියැවෙන්නේ.

දරිද්‍රතාව මත ම කවි බිහිවෙන්නේ ඇයි?

ඇත්තට ම මං හරිම දුප්පත් මනුස්සයෙක්. දුප්පත් අය කවි හෝ නිර්මාණ කරන්නේ හදවතින්. ධනවත් හෝ මධ්‍යම පාන්තික අය කවි හෝ නිර්මාණ කරන්නේ ඔළුවෙන්. අපි ලියන්නේ අත්දැකීමෙන්. සමහරු ලියන්නේ අතගෑමෙන්. කවි ලෝකයේ සිටින එකම හිඟන්නා මමයි. ඒක ඔබ මා ගැන සොයා බැලුවොත් පෙනේවි. කිසිම දෙයක් මා සන්තකව නෑ. මේ ඇත්තමයි. මට හංගන්න හෝ ලැජ්ජා වෙන්න කාරණයක් නෑ. ලැජ්ජාව ධනපතියන්ගේ ආයුධයක්. මම මමමයි. තනි පුද්ගලයෙක් නිසා මට වගකියන්න වෙලා තියෙන්නේ මටමයි. මම අත්වින්දේ අනුවේදනීය දුක්ඛිත ජීවිතයක්. ඒ අත්දැකීම් තමයි මගෙන් ගොඩගලන්නේ. ඒ නිසා තමයි මම මගේ ජීවිතය වෙනස් කර නොගන්නේ. මගේ ජීවිතය වෙනස් වුණොත් හෘදය සාක්ෂියට එකඟව මට මගේ දුක්විදින පරම්පරාව ගැන ලියන්න බැරි වෙයි. සැප විඳිමින් දුක ගැන ලියන්න මම කැමති නැහැ. ඒක කවිය නෙමෙයි.