රාවය

අතුරුදන්වූවන් ගැන නොනිමි වැළපීම

අතුරුදන්වූවන් ගැන නොනිමි වැළපීම

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

පසුගිය යුද සමයේ, පශ්චාත් යුද සමයේ මෙන්ම ඊට ඉහත කාලවකවානුවලදී ද දේශපාලන හැලහැප්පීම් මධ්‍යයේ පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලද පුද්ගලයන් සිංහල, දමිළ හෝ මුස්ලිම්යැයි ලේබල් ගැසිය නොහැක. ජාති, ආගම්, කුල භේදයකින් තොරව යම් යම් කාලවකවානු තුළ මනුෂ්‍ය ජීවිත අතිවිශාල ගණනකට සිදුවූයේ කුමක්දැ’යි අද වනතුරු ද අනාවරණය වී නොමැත.

ඇතැම් මව්වරු තම පුතුන් සුදුවෑන් රියක දමාගෙන රැගෙන ගිය අයුරු සිහිකරමින් තවමත් වැළපෙති. නැවත නොපැමිණි ස්වාමි පුරුෂයන්, දරුවන් හා පියවරුන්ගේ ඡායාරූප දෙස බලමින් තවත් පිරිසක් වැළපෙති, සුසුම් හෙළති. තවමත් ඒ බොහෝ දෙනා තරයේම විශ්වාස කරන්නේ තම පවුලේ අතුරුදන් කරන ලද අය අදත් ජීවතුන් අතර බවය.

‘මගේ පුතාලා දෙන්නාම 2008 පෙබරවාරි හතරවැනිදා හවස 4.30ට විතර සුදු වෑන් එකකින් අරන් ගියා. සිවිල් ආව කට්ටියක් නේවි එකෙන් කියලා හැඳුනුම්පත් පෙන්නලා පුතාලා දෙන්නා එක්ක පොඞ්ඩක් කතා කරන්න ඕනෑ කියලා පාරට එක්ක යනවා කීවා. ඒ එක්ක ගිය ගමන් ආයේ එවුවේ නැහැ.’
තම පුතුන් දෙදෙනාම පැහැරගෙන ගිය අයුරු ත්‍රිකුණාමලයේ රාමක්‍රිෂ්ණන් ලලිතා සිහි කරයි. පුතුන් රත්‍රං බඩු ව්‍යාපාරයේ යෙදුණ බවත් අතුරුදන් වීමට පෙරද කප්පම් ඉල්ලා දුරකථන ඇමතුම් ලැබුණ බවත් ඇය පවසයි. කප්පම් නොලැබුණහොත් තම පුතුන් එල්ටීටීඊ සංවිධානයේ ඔත්තුකරුවන් බව ආරක්ෂක අංශවලට පවසන බවද එම ඇමතුම් හරහා දැනුම්දුන් බව ද ඇය කියා සිටින්නීය.

‘පුතාලා ගෙනිහින් අවුරුද්දකට පස්සේ නැවත ඒ පුද්ගලයාගෙන්ම දුරකථන ඇමතුමක් ලැබුණා. ලක්ෂ දහයක් බැංකු ගිණුමකට දැම්මොත් එදා රෑ ම පුතාලා ගෙනැවිත් දෙන බව කිවුවා. මම ඒ මුදල තැන්පත් කළා. ඒත් දරුවෝ දෙන්නා ආවේ නෑ.’ ඇය කඳුළු සලයි.

එපමණක් නොව ඊට පෙර රුපියල් දසදහසක දුරකථක පෙරගෙවුම් පත් මිල දී ගෙන ඒවායේ රහස් අංක පවසන ලෙස ද එම පුද්ගලයාගෙන් ම ඇමතුම් ලැබුණ බව ඇය පවසන්නීය. ඇය සූරන ලද එම පෙර ගෙවුම්පත් රාශිය ද පෙන්වයි. පුතුන් නැවත දැක ගැනීමේ අරමුණින් ඇය එම ඉල්ලීම් සියල්ල ඉටු කර ඇත. අතුරුදන් වන විට ඇගේ පුතුන් වයස විසි හතරේ සහ දහ නවයේ පසු වූ අය වෙති. වැඩිමහල් පුතුගේ එක් දරුවකුට ඒ වන විට වයස අවුරුද්දකි. එමෙන් ම ඔහුගේ බිරිඳ ඒ වන විට ද ගැබිණියකි. දෙවන දරුවා කෙදිනකවත් තම පියා දැක නොතිබුණි. රාමක්‍රිෂ්ණන් ලලිතාගේ සැමියා ද අසූ හය වසරේ දී අතුරුදන්ව ඇත.
ත්‍රිකුණාමලයේ නාගේන්ද්‍රන් ආශා ද පවසන්නේ එවැනිම කතාවකි. ඇය පවසන්නේ තම පුතු පැහැර ගෙන යෑමට කටයුතු කරන ලද්දේ ද ඉහත සිදු වීමට සම්බන්ධ පුද්ගලයා විසින්ම බවයි.

‘මගේ පුතා නාගේන්ද්‍රන් ප්‍රදීපන්. ඔහු විදේශගත වෙලා ඉඳලා තමයි ඇවිත් හිටියේ. 2008 මැයි විසිපස් වැනිදා ඔහු අධිකරණ භූමියේ සිටින අවස්ථාවක නාවික හමුදාවේයයි පවසමින් හැඳුනුම්පතක් පෙන්වා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව කියලා ත්‍රිකුණාමලය හමුදා කඳවුරට ගෙන යනවා ඔහුගේ මිතුරා දැක තිබෙනවා. පස්සේ ඒ පුද්ගලයා ලක්ෂ පහළොවක කප්පම් මුදලක් ඉල්ලුවා. එය දුන්නොත් පුතා ගෙනත් දෙනවා කීවා. පැමිණිලි කළොත් පුතාවයි මාවයි දෙන්නාම මරනවා කීවා. මම ඒ මුදල ඔහුට ගෙවුවා. ඒත් පුතාව නැවත එවුවේ නැහැ.’

ඇය පවසන්නේ එම පුද්ගලයා නාවික හමුදා බුද්ධි අංශයේ යයි පවසමින් මෙවැනි කටයුතුවල නියැලුණු බවයි. ඉන් පසු එම පුද්ගලයා පිළිබඳ ඇය ත්‍රිකුණාමලය පොලීසියට පැමිණිලි කර තිබේ. ඒ අනුව ත්‍රිකුණාමල පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන නඩු පවරා සැකකරුවකු ලෙස අවුරුද්දක කාලයක් බන්ධනාගාරගත කර තිබූ බව ද එහෙත් එම නඩුව අතරමඟ සාක්ෂි පැහැදිලි නැතැයි කියමින් ඉල්ලා අස්කර ගත් බව ද නාගේන්ද්‍රන් ආශා පවසයි.

තම පුතෙකු ද ඉහත පැවසූ පුද්ගලයාගේම මැදිහත් වීමෙන් 2007 වසරේ ඔක්තෝබර් පළමු වැනිදා පැහැරගෙන ගිය බව ත්‍රිකුණාමලය උප්පුවේලිහි පදිංචි අන්නාමලෙයි මුරුගයියා ප්‍රකාශ කරයි. ඔහුගේ පුත්‍රයා කෙසෙල් වෙළෙඳාමේ යෙදී සිට ඇත. පැහැරගෙන යෑමට පෙර කීප වරක් නිවසට පැමිණි එම පුද්ගලයා කරුණා කල්ලියේ බව පවසමින් ලක්ෂ දෙකක කප්පම් මුදල් ඉල්ලා එය නොලැබුණහොත් ව්‍යාපාර කිරීමට තියා ගමේවත් ඉන්න නොදෙන බවත් කකුල්වලට කොට දමා ගැනීමට සිදුවේ යයි ද පවසා තර්ජනය කළ බව ද ඔහු පවසයි.

‘දවසක් ඒ කෙනා තවත් කෙනෙක් එක්ක මොටර් සයිකලේකින් ඇවිත් පුතා කොහෙද කියලා මගෙන් ඇහුවා. ඒ සයිකලේ අංකෙත් මගේ ළග තියනවා. මම කිවුවා පුතා ඥාති ගෙදරක ගිහින් කියලා. ආව ගමන් සල්ලි ගෙනත් දෙන්න ඕනෑ කීවා. පුතා ආවාම මම ඔහුව උප්පුවේලි පොලීසියට යැව්වා පැමිණිල්ලක් දාන්න කියලා. ඒත් පොලීසියෙන් පැමිණිල්ල භාර ගන්න බෑ කිවුවා.’

අන්නාමලෙයි මුරු ගයියා පවසන්නේ ඉන් පසු දිනක නිවස අසල දී පුතාගේ බිරිඳ ද බලා සිටිය දී තම පුතා හිසට පිස්තෝලයක් තබා සුදු වෑන් රථයක් තුළට තල්ලු කර දමා ගෙන ගිය බවයි. ‘එතැන පොලිස් පොයින්ට් එකක් තිබුණා. පොලිස් නිලධාරීන් දෙන්නෙකුයි ග්‍රාම ආරක්ෂක හතර දෙනෙකුයි ඒකේ හිටියා. ඒ අයත් සිදුවීම දැකලා තිබුණා. පුතාගේ බිරිඳ ඒ අයට කෑ ගහලා තිබුණා එයාව බේරගන්න කියලා. ඒත් ඒ අය ඒ වෙලාවේ කියලා, අපට බැහැ පොලීසියකට ගිහින් පැමිණිලි කරන්න කියලා.’

මීට වසර ගණනාවකට පෙර අහිමි වූ තම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඔවුහු බොහෝ ආයතන වෙත පැමිණිලි ඉදිරිපත් කරමින්ද යම් හෝ තොරතුරක් ලබාගත හැකි මඟක් සොයමින්ද තවමත් වෙහෙසෙති. පසුගියදා පාර්ලිමේන්තුවේදී විවිධ අදහස් උදහස් මධ්‍යයේ සම්මත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (ඕඑම්පී) පිහිටුවීමේ පනත සම්බන්ධවද ඒ මිනිසුන් තුළ පවතින්නේ ගැටලු රාශියකි.

‘ඕඑම්පී අපේ ඉල්ලීම නෙමෙයි. ඒ අය කතා කරන්නේ අතුරුදන් වූ අය ගැනයි. අපේ අය අතුරුදන් වුණේ නෑ. බලහත්කාරයෙන් අතුරුදන් කළා.’ මේ අතුරුදන් පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් බොහෝදෙනකු කෑ ගසා කියූ වදනකි.

‘අපට තවම ඒ ගැන පැහැදීමක් නෑ. අපේ භාෂාවෙන් මේ යාන්ත්‍රණය සිදුවෙනවාද, ඒ අයට අපේ භාෂාව කොතරම් වැටහෙනවාද, අපේ ගැටලුවලට කොහොම ඇහුම්කන් දේවිද කියලා අපි දන්නේ නෑ.’ රාමක්‍රිෂ්ණන් ලලිතා එලෙස විමසයි.

බොහෝ විට ඔවුන්ට තම ගැටලු ඉදිරිපත් කිරීමට ගිය ආයතනවලදී මුහුණදීමට සිදුවූ හා සිදුවන භාෂා ගැටලුව පීඩනයට පත්ව සිටින ඔවුන් ඉදිරියේ තිබෙන්නා වූ තවත් එක් විශාල බාධකයකි. එබැවින් නව යාන්ත්‍රණය ගැනද ඔවුන් තුළ පවතින්නේ දෙගිඩියාවකි.

‘අපි වෙනුවෙන් කතා කරන ආයතන තියනවා. ඒ විතරක් නෙමෙයි අපේ ප්‍රදේශවල මන්ත්‍රීවරු කතා කරනවා. පාර්ලිමේන්තුවේ කතා කරනවා. ජාත්‍යන්තර මට්ටමිනුත් පණිවුඩ ගෙනෙනවා. ඒ නමුත් විසඳුම් ක්‍රියාවලිය ඉතාම ප්‍රමාදයි.’ ඒ නාගේන්ද්‍රන් ආශා ය.

වසර ගණනාවක් තිස්සේ වාර ගණනාවක් ආයතන වෙත යමින් හා තොරතුරු පවසමින් පැමිණිලි ගොනුකරමින් ඔවුන් මේ වනවිට හෙම්බත්ව සිටිති. එබැවින් තවත් කාර්යාලයක් ඇතිවීම හරහා තමන්ට නිශ්චිත විසඳුමක් ලැබේ යැයි ඔවුන් තුළ එතරම් විශ්වාසයක් නැත. ‘බලහත්කාරයෙන් අතුරුදන් වීම් හේතුවෙන් බොහෝ කාන්තාවන් හා දරුවන් පීඩාවට පත් වී සිටිනවා. ඔවුන් පීඩාවට පත් වෙනවා වගේම ලිංගික ප්‍රචණ්ඩත්වයන්ට ලක් වෙනවා. ඒ අයගේ ජීවිත ඉතාම ඉක්මනින් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි. ඕඑම්පී වැනි ආයතනවල තිබෙන්නේ වින්දිතයන්ගේ සැබෑ අදහස් නෙමෙයි. වෙනත් අයගේ අදහස්. ඒ නිසා ඕඑම්පී එකට වින්දිතයන් ද ඇතුළත් විය යුතුයි. ඒ අයගේ නියෝජනයක් එහි තිබිය යුතුයි.’

උතුරු පළාත් සභා මන්ත්‍රීනී ශශිදරන් ආනන්දි එලෙස පවසයි. ඇය පවසනුයේ එවැනි ආයතනයක් පිහිටුවීමේදී ගැටලුව පිළිබඳ හරියාකාර අවබෝධයක් නොමැති පුද්ගලයන් පවා ඊට විවිධ අදහස් හා යෝජනා ඇතුළත් කරමින් මැදිහත්වීම සැබෑ ගැටලුවට විසඳුම් සෙවීමට සුදුසු පිළිවෙත නොවන බවයි.

‘අපට වන්දි ඕනෑ නෑ. අපිට ඕනෑ අපේ අයට මොකද වුණේ කියලා දැනගන්න. වන්දි දෙන්න ඕනෑ ඒ අය ජීවතුන් අතර නැත්නම්. එහෙම දෙයක් දන්නේ නැතුව කොහොමද වන්දි ගැන කතා කරන්නේ.’ මේ අතුරුදන් වූ පුද්ගලයන්ගේ ඥාතීන් පිරිසක් එක් හඬින් පැවසූ වදනකි.