Saturday, 19/8/2017 | 5:15 UTC+0
රාවය

මිනී ගොඩ ගෙන තැන තැන දැමීම

ටිරන් කුමාර බංගගමආරච්චි

මේ කාලයේ මාධ්‍ය පවතිනුයේ දේශපාලන පක්ෂ හෝ දේශපාලකයන් ඍජුව හා වක්‍රව ලබාදෙන ප්‍රවෘත්ති මතය. මේ ඝෝෂා නගන බොහෝ ප්‍රවෘත්ති මත පවතිනුයේ සරල දේශපාලනයේ සිල්ලරකමය. එදාවේල පිරිමසා ගන්නා මාධ්‍ය කලාවට මෙය නියම ලතාවක් වී ඇත.

පසුගිය මහ මැතිවරණයේදී වැඩිපුරම කතාබහ තාජුඩීන්ගේ මරණය ගැනය. ඡන්ද ඉල්ලන ඡන්ද අපේක්ෂකයකුටත් වඩා තාජුඩීන් ප්‍රවෘත්ති තුළ පමණක් නොව මහමග තාප්පවලද ඇලීගැලී සිටියේය. ඡන්දය කට ළඟ තාජුඩීන් ඝාතකයන් අත්අඩංගුවට ගැනෙතැයි වත්මන් ආණ්ඩු යාන්ත්‍රණයම පැළකළ බොරු පැළය වූ අතර මාධ්‍යද එය මනාව ආහාරයට ගත් අතර ජනතාවටද අනඅනා කැවීය. මහ මැතිවරණය අහවර වී වසරක් ගෙවී ඇතත් තාජුඩීන් ඝාතකයන් ඇල්ලිල්ලක් ද තවමත් නැතිය. සීසීටීවී කැමරාවල සියල්ල සුපැහැදිලිව සටහන් වී ඇතැයි කී රාජිත සේනාරත්න ඇමතිවරයා මෑතකදී එන කැනඩා වාර්තාව බලා කියනුයේ දර්ශනවල පැහැදිලි දසුන් නොමැති බවය. මේ දෙබිඞ්ඩන්ගේ කෙප්ප දෙන දෙන ආකාරයට වළඳනවාද පොදුවේ ජනතාවටත් කවනවාද යන්න අද මාධ්‍යම මාධ්‍යයෙන් ඇසිය යුතු තැනට ගාල්වී ඇත. එය එසේ වුවත් තවමත් එවැනි විචිකිච්ඡාවක් හෝ මාධ්‍ය තුළ ඇතිවී ඇත්දැයි සිතිය නොහැකි තරම්ය.

රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමූ යහපාලනයේ ප්‍රධාන තුරුම්පු අතර රගර් ක්‍රීඩක තාජුඩීන්ගේ මරණය විය. රාජපක්ෂ සමයේ මියගිය එකම කෙනා තාජුඩීන් නොවුවද යහපාලන දේශපාලනයට එය එකම එක විය.

තාජුඩීන්ගේ දේහය ගොඩගත් යහපාලනය එය මාධ්‍ය සංදර්ශනයක් කොට නැවත වළ දැමීය. එය රාජපක්ෂලා බියගන්වන්නට අවතාරයක් කරගත්තේය. දේශපාලන අවමංගල්‍ය අධ්‍යක්ෂවරුන් වූ යහපාලන ආණ්ඩුව තාජුඩීන්ගේ සෙවණැලි පෙන්වා රාජපක්ෂලා බියවද්දමින් ඡන්ද යැදීය. එහෙත් අදටත් තාජුඩීන්ට සාධාරණයක් වීද? තාජුඩීන්ගේ මරණය ගැන සෙවීම යහපාලන ආණ්ඩුව ආ විගස අතට ගත් මොහොතේත් එයට සාධාරණයක් ඉටුනොවන විචිකිච්ඡාව ලියුම්කරුට තිබූ අතර එය අදද එසේම බව කිව යුතුය. කා හෝ අත්අඩංගුවට ගැනීම කාට හෝ දඬුවම් දීම සාධාරණය නොවන බව නොකිවමනාය. තාජුඩීන් මැරීම තුට්ටු දෙකේ මැරයෙකු කළද වැදගත් වනුයේ මැරයාට ආවේශ වූයේ කවුද යන්නය. අප ලිහාගත යුත්තේ, අවසානයේ දැනගත යුත්තේ එයය.

ජානක සහ සිසිත

තාජුඩීන් සමග කතා කළ යුතු තව කතා ගොඩක් අතර වැදගත් කිහිපයක් පවතී. 2012 සැප්තැම්බර් 27 වැනිදා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ අරගලයට සමගාමීව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නුවර සිට කොළඹට ආ පාගමන අතරතුර මියගිය මරණද වැදගත්ය. ඒ මරණ දෙක ඝාතනයන් බව සිතිය හැකි කරුණු ඕනෑ තරම් විය. එදින අත්පත්‍රිකා ගෙනඒම සඳහා පාන්දර 3ට පමණ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි කැලණිය සරසවියේ සිව්වන වසර ජානක ඒකනායක හා රුහුණු සරසවියේ පළමු වසර සිසිත ප්‍රියංකර මියගියේ ඉඹුල්ගොඩ හන්දියේදීය. හදිසි අනතුරක් ලෙස හදිසියේ මැවූ චිත්‍රය වුවද ඊට යටින් එහි වහන් වූ රහසක් ඇතැයි පෙනේ. ඒ වෙනුවෙන් යම් හඬක් නැගුණද කාලයත් සමග එය වැසීගියේ එයට ඈඳිය හැකි මිනීමරු මුහුණට සාටකයක් නොමැති වූ නිසා විය හැකිය. නැතහොත් ඒ මිනීමරු මුහුණු යහපාලන දේශපාලනයේ මිතුරු මුහුණු වී ඇති නිසාද විය හැක. කුමක් නිසා හෝ ඒ මරණ දෙක පොළොවටම පස්විය.

එක්නැළිගොඩ

තාජුඩීන්ගේ මරණය රාජපක්ෂ ආණ්ඩු සමයේ හුදු අනතුරක්ම වන විට ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් වීම සටන්කාමී පාඨයක් විය. සන්ධ්‍යා එක්නැළිගොඩ රාජපක්ෂලා කොතරම් දරුණු වුවද සිය ස්වාමිපුරුෂයා ඔවුන්ගෙන්ම ඉල්ලා සිටින තැනට සටන්කාමී විය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? අද සන්ධ්‍යාගේ හඬ කෝ? එහි තිබූ ප්‍රබලකම කොහිද? රාජපක්ෂලාගේ කාලයේ අතුරුදන් වූ එක්නැළිගොඩට යහපාලනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබාදිය යුතු නැද්ද? එසේ නැතිනම් දැන් සියල්ල අහවරද? දැන් සැමට විසඳුම් ලැබී ඇත්ද? මේ මහින්ද පාලනය නොව යහපාලනය නිසා මුනිවත රැකිය යුතුද?

අනෙක් ගොඩ

මේ අයට අමතරව මියගිය රොෂේන් චානක, ධීවරයන්ගේ භූමිතෙල් අරගලය තුළ මියගිය ඇන්ටනිත් දේශපාලනය කරන්නට උතුරට ගොස් මියගිය ලලිත් හා කූගන්ගේ මරණ මරණ නොවේද? ඒවා සොයා බලා සාධාරණය කළ යුතු නැද්ද? රතුපස්වල වතුර ඉල්ලා වෙඩි කෑ අයට සාධාරණයක් විය යුතු නැද්ද? එපමණක් නොව මේ ජනප්‍රිය කතා නොව රාජපක්ෂ පාලන සමයේ අතුරුදන් කළවුන් බොහෝ බව ප්‍රසිද්ධ රහසකි. සුදු වෑන් භීතිකාව හරහා වූ ත්‍රාසජනක ක්‍රියා හෙළිකළ යුතු නැද්ද? වරද කොතැන කාට සිදුවුවද එය වරදමය. රටේ ඉහළතමයා කළද ඔහුට සම්බන්ධ පහළම දේශපාලකයෙකු කළද වරදමය. මට්ටක්කුලියේ හා බ්ලූමැන්ඩල් ප්‍රදේශවල අතුරුදන් වූ ප්‍රියශාන්තලා මෙන්ම උතුරේ අතුරුදන්වූවන් ගැනද නගන හඬ අවංක විය යුතු නැද්ද?

එහෙත් තාජුඩීන් තරම් විකිණිය හැකි ලාබදායී කතා නොවේද ඒ කිසිවක්. ගොඩගත යුත්තේ, කර තබාගෙන යා යුත්තේ සාටක පළඳින මරණ පමණද? සෙසු සියල්ලම වූයේත් සාටක සෙවණේම නොවේද?

හැත්තෑ එකේ සිට සීරුමාරු වන දේශපාලනය තුළ ගොඩගන්නේ නම් පිදුරුතලාගල කඳුවැටිය තරම් උස් කඳු ගොඩ ගැසිය හැකිය. එහෙත් මියගියවුන්ගේ පවුල්වල අඬනවුන්ට ඇඟිල්ලෙන් ඇන ඇන නැවත නැවත හැඬවීම හැර කළ කෙංගෙඩියක් වේද? සූරියකන්දේ කඳුළු තවමත් රාජපක්ෂලාට සතුටු කඳුළු වී ඇත. තාජුඩීන්ලා යහපාලනයට පාලනය පහසු කරන්නේය.

යහපාලනයට පාර කැපුණේ තාජුඩීන් නිසාම පමණක් නොවේ. ඒ අතරට ජානකලා, සිසිතලා. ලලිත්. කූගන්ලා, එක්නැළිගොඩ, ප්‍රියශාන්තලා, ඇන්ටනිලා මෙන්ම ලසන්ත වික්‍රමතුංගලාත් තව බොහෝ අයත් වූහ. ඒ මරණ යහපාලනයට පිබිදෙන්නත්, රාජපක්ෂලා මැලවෙන්නටත් උපකාරී විය. එසේ නම් ඒවා හරහා තවදුරටත් ඡන්ද නොකර සාධාරණය ඉටුකළ යුතු නැද්ද?

කොයි පාලනයේ වුව මිනිසුන් මැරිය හැකිය. කොයි පාලනයත් පවතින්නේ මැරීමෙන්ය. මැරුණුවුන් ගොඩගැනීමෙන්ය. තිත තැබිය යුත්තේ මේ දෙකටමය. එක් ආණ්ඩුවකින් මරා දැමූවුන් අනෙක් ආණ්ඩුව තම කාලය අවසන් වන තෙක්ම ගොඩගනිමින් වළ දමමින් සාධාරණය ඉටු කරන බවට අසාධාරණ රංගනයක යෙදීම මරා දැමුවාට වඩා අපරාධයක් බව කිව යුතුව ඇත. දැනට සිදුවෙමින් පවතිනුයේ ඒ අපරාධයය. මීට පෙරද මෙය සිදුවිය. එහෙත් යහපාලනයෙන් වුව එය අවසන් විය යුතුය. එසේ වනු නොපෙනේ. ඝාතකයෝ හැම ආණ්ඩුවේම ඇත. එබැවින් ඝාතනවලට සාධාරණය ඉටුවන්නේ හරිම හෙමිහිටය. කොටින්ම ඉටු නොවන තරම්ය. ඝාතනයන් කරනුයේද දේශපාලකයන්මය. ඒවා ගොඩගනුයේද දේශපාලකයන්මය. ඒවාට සාධාරණය කරන බව කියනුයේද ඔවුන්මය. කියන කරන සැරේට ඒවා ඒ සැටියෙන් ජනතාවට කියා අහකට වීම මාධ්‍යයේ වැඬේද? තාජුඩීන්ගේ මරණය කර තබාගෙන යහපාලනයද කරනුයේ සූදු ගැසීමකි. අනෙක් මරණ හමුවේද ආණ්ඩුව කරනුයේ බූරුවා පිටියක් දමා ගැනීමය. එබැවින් අප කතා කළයුත්තේ කැනඩාව පරීක්ෂා කළ සීසීටීවී කැමරාවල අපැහැදිලි දසුන් නොව යහපාලන ආණ්ඩුවේ ඩබල් ගේම් ගැනය. අවමංගල්‍ය අධ්‍යක්ෂ භූමිකාවන් පිළිබඳවය. අප ඒවායේ දැන්වීම් නොවිය යුතුව ඇතිවා සේ ම මල්වඩම් යවා ශෝකය ප්‍රකාශ කොට මුනිවත රැකිය යුතුද නොවේ. මේ මරණවලට සාධාරණයක් වන්නට නම් ඊට අවකංවම සාධාරණය ඉටු කළ යුතුය. අවශ්‍ය එයය.