රාවය

යුක්තිය ඉක්මනින් ඉටු කිරීම

යුක්තිය ඉක්මනින් ඉටු කිරීම

 

භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව සමාජය තුළ නීතියේ පාලනය ගැන නැවත උනන්දුවක් හා පිබිදීමක් ඇති කරන්නට සමත් වී තිබේ. ඊට එක් හේතුවක් වී තිබෙන්නේ සාපේක්‍ෂ ව ඉක්මනින් එම නඩුව අසා තීන්දුව දීම යි. එය කළ හැකි වූයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් ඉදිරියේ නඩුව විභාග කිරීම නිසා බව පැහැදිලි වෙයි.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කෙරෙන්නේ සමාජයේ විශේෂ කතාබහට ලක් වූ සිදුවීම් පිළිබඳ නඩු විභාග කිරීමට ය. එක් පැත්තකින් විනිසුරුවරුන් තිදෙනකු සිටින විනිශ්චයාසනයකට තනි විනිසුරුවරයකු අසුන් ගන්නා අධිකරණයකට වඩා, සමාජයෙන් එන පීඩනය දරා ගෙන තමන් ඉදිරියේ තිබෙන සාක්‍ෂි පදනම් කරගෙන පමණක් තීන්දුව දීම පහසු වෙයි. අනෙක් අතින් අදාළ සිදුවීම පිළිබඳ අවධානය සමාජයෙන් ගිලිහී නොයන තරමේ කෙටි කාලයක් තුළ එහි තීන්දුව දීමට හැකි වෙයි. ‘ප්‍රමාද වී යුක්තිය ඉටු වීම යුක්තිය ඉටු නොවීමකි’ යන අදහසට අනුව යුක්තිය ප්‍රමාද නොවී ඉටු කර ගැනීමට හැකිවීම එහි වැදගත් ලක්‍ෂණයකි. මෙහි දී අභියාචන අවස්ථා එකක් පමණක් තිබීම ද වැදගත් කාරණයක් ලෙස සටහන් කළ යුතු ය.

සාධාරණ කාලයක් තුළ යුක්තිය ඉටු වීම සමාජය නීතිය ගැන තබා ඇති විශ්වාසය නොකඩා පවත්වා ගැනීමට හේතු වේ.
මේ තත්ත්වය වැදගත් වන්නේ පසුගිය කාලය පුරා සිදු වූ වංචා දූෂණ සම්බන්ධයෙන් සලකා බලන විට දී ය. පසුගිය පාලන කාලයේ සිදු වූ විවිධ අපරාධ, මහා පරිමාණ මූල්‍ය වංචා ආදිය ගැන විශාල මහජන අවධානයක් දිනා ගත් නඩු විභාග කරන්නට අනවශ්‍ය කාලයක් ගත වන අන්දම මේ දිනවල පැහැදිලි ව පෙනී යයි. එම වංචා අපරාධවලට අදාළ ව පසුගිය කාලයේ ආරම්භ කරන ලද අපරාධ විමර්ශන කටයුතු අවසන් වෙමින් දැන් දැන් එම අපරාධවලට අදාළ චෝදනා පත්‍ර ගොනු වනු දක්නට ලැබේ. එහෙත් එම චෝදනා පත්‍ර ගොනු කැරෙන්නේ සාමාන්‍ය අධිකරණ පද්ධතියේ පවතින අධිකරණ ඉදිරියේ දී ම ය. මහජන අවධානයට පාත්‍ර වූ එම චෝදනා සම්බන්ධයෙන් නඩු ඇසෙන්නේ ද, එදිනෙදා එම උසාවිවල ඇසෙන නඩු කටයුතු අතරතුර දී ම ය. එහි ප්‍රතිඵලය වන්නේ මහජන අවධානයට ලක් වූ එම නඩු විභාග අසාධාරණ කාලයක් ඇදී යෑම යි.

මේ තත්ත්වය මඟ හරවා ගැනීමට එම විශේෂ නඩු විභාග කිරීම සඳහා පවතින අධිකරණ පද්ධතියට ම වෙන ම අධිකරණයක් එකතු කරන ලෙස විවිධ පාර්ශ්වවලින් යෝජනා ඉදිරිපත් වී තිබේ. ඒ යෝජනාව කරන අය අතර ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන්ගේ සිට වෘත්තිකයන් හරහා සිවිල් පුරවැසියන් දක්වා විශාල පිරිසක් සිටිති.

ඒ අධිකරණය, පවතින අධිකරණ පද්ධතියට තවත් එකක් හෝ දෙකක් එකතු කිරීමක් විනා අලුත් නීතියක් යටතේ විශේෂ අධිකරණයක් ඇති කිරීමක් නොවේ. භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වෙන ම අධිකරණයක් නඩුව එදිනෙදා අසා ඉක්මන් තීන්දුවක් දුන්නා සේ මේ නඩු ද දිනපතා අසා ඉක්මනින් අවසන් කිරීමට වෙන ම අධිකරණයක් පිහිටුවීමකි. දැනටත් අපේ අධිකරණ පද්ධතියේ එවැනි විශේෂ විෂයන් ගැන නඩු අසා තීන්දු දීමට වෙන ම අධිකරණ පිහිටුවා තිබේ.
මේ ආණ්ඩුව බලයට පත්වුණේ ඊට පෙර ආණ්ඩුවේ දූෂිතයන්ට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක කරන බව පොරොන්දු වෙමිනි. ඒ සඳහා තමන්ට ඇති දේශපාලන අධිෂ්ඨානය ආණ්ඩුව දැන් පෙන්විය යුතු ය. එය පෙන්විය හැක්කේ පසුගිය පාලන සමයේ කළාක් මෙන් පුද්ගලයන් අල්ලා හිර කොට පසුව චෝදනා සෙවීමේ කැලෑ උසාවි ක්‍රමයට පරස්පර ව සාධාරණ නඩු විභාග මත ඒ අපරාධයන්ට ලක්වූවන් වගකීමට යටත් කිරීමෙනි. හැකි ඉක්මනින් යුක්තිය ඉටු කිරීමෙනි.
ඒ සඳහා අධිකරණ පද්ධතියේ සුදුසු වෙනස්කම් කිරීම පිළිබඳ ව ආණ්ඩුව බැරෑරුම් ව සලකා බැලිය යුතු ය.