රාවය

දුමින්දගේ නඩු තීන්දුව; අධිකරණයේ පිබිදීම සහ ගෝඨාභයගේ චරිතය

දුමින්දගේ නඩු තීන්දුව; අධිකරණයේ පිබිදීම සහ ගෝඨාභයගේ චරිතය

මහාචාර්ය සරත් විජේසූරිය

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් ඝාතනය වන්නේ හිරු එළිය හොඳින් පැවති අවස්ථාවකය. ඒ සිදුවීම ඇසින් දුටුවෝ සිටියහ. ඔවුන් මුනිවත රැක්කේ, එකල රාජ්‍ය පාලනයේ සොබාවය ගැන තිබුණ අවබෝධය නිසා විය යුතුය. වහලුන් ලෙස මිස නිදහස් පුරවැසියන් ලෙස ජීවත්වීමට අවකාශයක් නොතිබුණ රාජ්‍ය පාලනයකි ඒ වන විට පැවතුණේ.

භාරත ලක්ෂ්මන් ඇතුළු පිරිසක් ඝාතනය කෙරෙන්නේ පොලීසිය බලා සිටියදීමය. පොලීසිය නිහඬව සිටියේ දුමින්ද සිල්වා ඒ වන විට ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී ධුරය හෙබවූ නිසා විය හැකිය. ඊටත් වඩා ප්‍රබල හේතුවක් ලෙස දුමින්ද සිල්වා ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රාණමිත්‍රයෙකු වී සිටීම ද දැක්විය හැකිය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන චරිතයටද කීර්තිනාමයක් නැත. එය වෙනත් කාරණාවකි. එනමුත් දේශපාලන බලය හේතු කොට ගෙන මිනිහෙකුට තවත් මිනිහෙකු මරා දැමීමට නොහැකිය. මිනීමරුවෙකුට වේවා, අපරාදකාරයෙකුට වේවා, දඬුවම් දිය යුත්තේ අධිකරණයක් මගිනි. භාරත ලක්ෂ්මන්ගේ ඝාතනය සාපරාධී මනුෂ්‍ය ඝාතනයක් ලෙස නීති ගරුක පුරවැසියන් දකින්නේ ඒ සංදර්භය තුළ පිහිටමිනි.

මහින්ද රාජපක්ෂට බලය හා ධනය නැතිව සිටි අවධියේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ප්‍රාණමිත්‍රයෙකු වී සිටි බව කුප්‍රකට රහසකි. මහින්ද රාජපක්ෂ වෙනුවෙන් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොකළ දේ කුමක්දැයි මහින්ද රාජපක්ෂටවත් කියන්නට නොහැකි බවය පැවසෙන්නේ. ඒ බව ඇත්ත නම්, භාරත ලක්ෂ්මන්ගේ ඝාතනය හා සම්බන්ධ නඩුව දියවෙන්නට හැරීම අතිශයින් ශෝචනීය වේ.

භාරත ලක්ෂ්මන්ගේ දේශපාලන වැඩබිම වූයේ කොළොන්නාවයි. අතීතයේදී ශ්‍රීලනිපයේ ප්‍රබලයෙකු වූ ටීබී ඉලංගරත්නගේ ආසනය වූයේ ද කොළොන්නාව නමුත් කාලයාගේ ඇවෑමෙන් මේ ආසනය එජාපයේ බලකොටුවක් වූ බව බව ප්‍රකටය. ශ්‍රීලනිපයෙන් කිසිවෙකුට දේශපාලනය කිරීමට කොළොන්නාවේ තත්වයක් නොතිබුණ අවධියේ භාරත ලක්ෂ්මන් ශ්‍රීලනිපයේ බලය තහවුරු කිරීමට පෙරමුණ ගත් පුද්ගලයෙකු ලෙස සැලකේ.

දුමින්ද සිල්වා දේශපාලන කරළියට පැමිණෙන්නේ එජාපයෙනි. දුමින්ද සිල්වා ශ්‍රීලනිපයට එකතු වන්නේ මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට නොවේ. ඊට මුල් වන්නේ තම පවුලේ ව්‍යාපාරවල ආරක්ෂාව සලසා ගැනීම බව නොරහසකි. කෙසේ වෙතත් පළාත් සභාවෙන් දේශපාලනය පටන්ගත් ඔහු ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ, ශ්‍රීලනිපයේ ප්‍රබලයන් අබිබවමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබා ගනිමිනි.

ශ්‍රීලනිපයට එකතු වන දුමින්ද සිල්වාගේ හා ගෝඨාභය රාජපක්ෂගේ දෑස් හමුවන්නේ සංසාර පුරුද්දක් නිසා වන්නට ඇත. ඉක්බිතිව පෞද්ගලික ආරක්ෂක සේනාවක් සමඟ දුමින්ද සිල්වා කුඩා රාජ්‍යයක් පාලනය කරන සමින්දාර්වරයෙකු ලෙසින් වැජඹිණි.

මහින්ද රාජපක්ෂ තමා වෙනුවෙන් හා ශ්‍රීලනිපය වෙනුවෙන් කැපවුණ චරිතයක් ලෙස පිළිගැනෙන භාරත ලක්ෂ්මන්ගේ දේශපාලන වැඩබිමට දුමින්ද සිල්වා පත් කිරීම ශීලාචාර කටයුත්තක් ලෙස සැලකිය නොහැකිය. ඔහු ඒ අවිනීත කටයුත්ත කළේ ඇයි? යම් ප්‍රශ්නයක් එතන සැඟව තිබේ. එය දුරදක්නා නුවණකින් කළ කටයුත්තක් ද විය හැකිය. ඒ කුමක් ද? එය නම්, කිසියම් ඉතිහාසයක් අවසන් කර දැමීමේ අවශ්‍යතාව විය හැකිය.

දුමින්ද සිල්වා කොළොන්නාවේ සංවිධායක තනතුරට පත් කිරීම සමඟින් භාරත ලක්ෂ්මන්ගේ දේශපාලන භූමිකාව නිම වේ. නැතහොත් ඝාතනය වේ. මහින්ද රාජපක්ෂගේ සැබෑ චරිතය කියවීමට ඔහු බොහෝ දෙනෙකු සම්බන්ධයෙන් ඉවහල් කර ගත් මේ ක්‍රමවේදය අධ්‍යයනය කිරීම ඉතා වැදගත්ය. ඒ ක්‍රමවේදය නිසි අන්දමින් අධ්‍යයනය කළහොත් ඉන් රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ ජුගුප්සාජනක සාහසිකත්වය ද මැනවින් අනාවරණය වනු නියතය.

ආදාහනය සහ සුවපත් කිරීම

භාරත ලක්ෂ්මන් වෙඩි වැදීමෙන් පසුව රැගෙන යන්නේ ජාතික රෝහලටයි. දුමින්ද සිල්වා රැගෙන යන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලටයි. එය තීරණය කළේ කවුරුන් ද? එතැන යම් බලවතෙක් නිසැකවම සිටි බව පැහැදිලිය. විස්මය නම්, දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට රැගෙන යන විට ගෝඨාභය රාජපක්ෂ එහි සැපත්වී සිටීමය.

භාරත ලක්ෂ්මන්ගේ දේහය ඔහුගේ දේශපාලන වැඩබිම තුළ දී ආදාහනය කෙරිණි. ඔහු හා පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධ අධිකරණ ක්‍රියා මාර්ගයක් ආරම්භ වුව එය රාජපක්ෂකරණයට අභිමත සංදර්ශනයක් විය. භාරත ලක්ෂ්මන්ගේ ආදාහනය සමඟින් ඔහුගේ මෘත දේහය පමණක් නොව ඔහු හා සම්බන්ධ ඉතිහාසය ද ආදාහනය කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දුමින්ද සිල්වා අසාමාන්‍ය ස්වරූපයකින් සිංගප්පූරුව බලා රැගෙන යන්නේය. ජේආර් ජයවර්ධන රජයේ සිටි ජාතික ආරක්ෂක අමාත්‍යවරයා වූ ලලිත් ඇතුලත්මුදලි පාර්ලිමේන්තුවේ දී බෝම්බ ප්‍රහාරයකින් බරපතළ ලෙස තුවාල ලබා සිටියදී උන්හිටි ගමන් වෙනත් රටකට ගෙනගියේ නැත. ඔහුට මූලික ප්‍රතිකාර කෙරෙන්නේ ජයවර්ධනපුර රෝහලේදීය. දුමින්ද සිල්වා සිංගප්පූරුවට ගෙන යන්නේ ජයවර්ධනපුර රෝහල, ඔහුට ප්‍රතිකාර කිරීමට තරම් තත්වයක නොතිබුණ නිසා නොවන බව පැහැදිලි කරුණකි. එසේ කරන්නේ ඔහු එක පැයකට හෝ නාමිකව හෝ අත්අඩංගුවට නොගැනීම සඳහාය. ගෝඨාභයගේ බල සම්පන්නභාවය පමණක් නොව, රාජ්‍ය බලය අවභාවිත කිරීම සම්බන්ධවද ඒ එක් නිදසුනකි. ‘නීතිය යනු මමය යන්න’ ගෝඨාභය පෙන්නුම් කළ සැටිය ඒ.

සිංගප්පූරුවේ දී සැපවත් දිවි පෙවතක් දුමින්ද සිල්වා ගතකරන අන්දම දුටු පුද්ගලයන් ඒ ගැන කිසිවක් කතා නොකළේ රාජපක්ෂ ආණ්ඩුවේ සුදුවෑන් සංස්කෘතිය ඒ වන විට සක්‍රියව පැවතුණ නිසාය. සෑහෙන කාලයකට පසුව උන්හිටි ගමන් දුමින්ද සිල්වා ලංකාවට පැමිණ නවලෝක රෝහගේ දැඩි රැකවල් මැද විරාජමාන විය. අතීතයේ සිදුවුණ කිසිවක් අමතක පුද්ගලයෙකුගේ චරිතයක් නිරූපණය කරන්නේය. උන්හිටි ගමන් ඔහුට ඇප ලැබෙන්නේය. ඇප ලැබීමට උසාවියට යන්නට තරම් සෞඛ්‍ය තත්වය හොඳ නැති නිසා, රෙජිස්ට්‍රාර්වරයා රෝහලට පැමිණ අත්සන් ලබා ගන්නේය. ඒවා විශද කරන්නේ රාජපක්ෂ පාලනය තුළ විනිසුරුවරුන්ට අත්කර තිබුණ ඉරණමයි.

ඇප ලද සැණින් ඔහු රෝහලෙන් පිටතට පැමිණ මහජනයා අමතන්නේය. ඔහු හාස්කමකින් සුවපත් වුණ බව ඔහුගේ පවුලේ මාධ්‍ය ඔස්සේ රටට දන්වා සිටියේය. උසස් පොලිස් නිලධාරීහු ඔහුගේ නිවසට ගොස් ඔහුට ආචාර කරති. ඒ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා නිසා විය හැකිය. පොලීසිය පත් කර තිබුණ පහත් තත්වය ඒ ක්‍රියාවෙන් සනාථ කෙරිණි. ඇප ලැබීමෙන් අනතුරුව, භාරතගේ ඝාතනය සිදුවන විට සිටි දුමින්ද සිල්වාට වඩා නීරෝගි හා තෘප්තිමත් පෙනුමකින් යුතු නිදහස් ජීවිතයක් ගතකරන පුද්ගලයෙකු කාටත් දැකබලා ගන්නට හැකි විය. ඒ ක්‍රියාදාමය ඔස්සේ පුරවැසියන්ට පමණක් නොව, නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට නිකුත් කළ සංඥා බරපතළය. මේ රටේ පුරවැසියන්ට වටහා ගැනීමට සිදු වුණේ නීතිය යුක්තිය අතුරුදන් කළ රටක ජීවත්වීම උරුමව තිබෙන බවයි.

වෛද්‍ය වෘත්තිය

ලංකාවේ උසස්ම වෘත්තියක් වූ වෛද්‍ය වෘත්තිය, ඉසිවරුන් මෙන් කැපවුණ සේවාවක් ඉටු කළ හා ඉටු කරන වෛද්‍යවරුන්ගෙන් පොහොසත් වෘත්තිය සතු කීර්තිය හා පෞරුෂය පළුදු කරමින්, ශ්‍රී ජයවර්ධනපුර රෝහල දුමින්ද සිල්වාට ලබා දෙන ලද වෛද්‍ය වාර්තා සමඟ‘න් ඉතිහාස ගත වන්නේය. වෛද්‍ය වාර්තා ලබා දෙන්නේ, ‘යන්තං සන්තං’ වෛද්‍යවරුන් නොව, ස්වකීය වෘත්තියේ ඉහළම අසුන්වල ගෞරවනීය චරිත ලෙස බුහුමනට ලක්වුණ වෛද්‍යවරුන් හෝ වරියන් බව කිව යුතු නැත. අධිකරණය නොමඟ යවමින් වෛද්‍ය වාර්තා නිකුත් කිරීම මොන තරම් අපරාදයක් ද? කිසිවෙකු ඒ ගැන වචනයක් විවෘතව ප්‍රකාශ කළේ නැත. ගෝඨාභය රාජපක්ෂ ඒ වන විට ආරක්ෂක ලේකම් පදවියේ රාජකාරි කර තිබෙන අන්දම හේතුවෙන් පැවතුණ මර බිය ඊට එක හේතුවක් ලෙස සැලකිය හැකිය. ආණ්ඩුව දුමින්ද සිල්වා වෙනුවෙන් මේ සා විශාල කැපවීමක් කිරීමට හේතුව කුමක් ද? භාරත ලක්ෂ්මන් මොන අන්දමේ කෙනෙකු වුවත්, ඔහු සහ පිරිසක් ඝාතනය කිරීම සාපරාධීය. ඔහු ඝාතනය කළ පුද්ගලයාට රාජ්‍ය බලය අවභාවිත කරමින් රැකවරණය ලබා දීම ඊටත් වඩා සාපරාධී කටයුත්තකි.

අධිකරණ වෘත්තිය

දුමින්ද සිල්වාගේ නඩුව විමසූ විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා සියලු චූදිතයන් නිදාස් කොට නිදහස් කිරීමට තීන්දු කළ විට, අනෙක් දෙදෙනා ලබා දෙන තීන්දු හේතුවෙන් අධිකරණයට හිමි වුණ ගෞරවය අමරණීය වන්නේය. හුස්ම ගන්නට අවශ්‍ය පිරිසිදු වාතාශ්‍රය අහිමිව ජීවත් වූ රටක මනුෂ්‍යයන්ට නිදහසේ හුස්ම ගන්නට අවශ්‍ය පිරිසිදු වාතාශ්‍රය උරුම කරදීමට එය සමානය. එය මොන තරම් භාග්‍යයක් ද? තමන් ජීවත් වන රට, නීති ගරුක රටක් බවට පත් කිරීමට, ශීලාචාර රටක් බවට පත් කිරීමට, හෘදය සාක්ෂියට එකඟව ඒ තීන්දු ලබා දුන් විනිසුරුවන් අමරණීය වන්නේය. එසේ පැවසීමේ සාධාරණත්වය කුමක් ද?

අපේ අධිකරණ පද්ධතිය සරත් නන්ද සිල්වා දූෂණය කළ බව නොරහසකි. මොහාන් පීරිස් කළ හරිය ද සුළු පටු නොවේ. මහින්ද රාජපක්ෂ, ‘යහමින් පදම් වූ මෙහොතක’ තලු මරමින් පවසා තිබෙන්නේ තමන් නඩුකාරයන්ට අත දිගහැර යහමින් සලකා තිබෙන අන්දම ගැන පුරාජේරුවකි. ඒ පුවත් ලොමු දැහැගැන්වෙන පුවත්ය. ඒ පුවත් අනුව විශද වන්නේ; හෙළි වන්නේ, මොනම නඩුවකින්වත් රාජපක්ෂවරුන් වැරදිකරුවන් නොවන තත්වයකට රටේ අධිකරණය පත් කර තිබෙන බවයි. එබඳු සංදර්භයක භාරත ලක්ෂ්මන්ගේ නඩුව විභාග කොට, යුක්තිය පසිඳලූ විනිසුරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකු නීති ගරුක පුරවැසියන්ට නිකුත් කර තිබෙන සංඥාව ජීවත්වීමේ ආශාව දල්වන්නකි. ඒ නිර්භීතවූ ද, ස්වාධීනවූ ද, තීන්දු හේතුවෙන් නීති ගරුක පුරවැසියන්ගේ ශරීරවලට ලැබී තිබෙන්නේ ජීවයකි. එවැනි නිර්භීත විනිසුරුවන්ට නිසැකවම සොබා දහමේ ආරක්ෂා උරුමය. ඔවුන් තම දෙමාපියන්ට පිං පිණිස පින්කම් කළ යුතු නැත. ඔවුන්ගේ දරුවන්ට දීප්තිමත් ජීවිත උරුම වනු නියතය.

සෑම අපරාදයක් සම්බන්ධව පොදු ජන විඥානයෙන් මතු වෙන විනිශ්චයක් තිබේ. ඒ විනිශ්චය යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය ඔස්සේ ලබා දෙන තීන්දුව නොවන තත්වයන් අපමණය. එනමුත් පොදු ජන විඥානයේ විනිශ්චය බලසම්පන්නය. ඒ විනිශ්චය කාලයේ වැලිතලාවට යටව යන බව ද සොබාවයයි. එහෙත් අපරාදය සම්බන්ධ සත්‍යය මියැදෙන්නේ නැත. මනුෂ්‍ය ඝාතන හා සම්බන්ධ නඩු විභාග කොට චූදිතයන් අධිකරණයෙන් ඉතිහාසය පුරා නිදහස් වී ඇතත්, මනුෂ්‍ය ඝාතනයක් සිදු වී නැතැයි කිව නොහැකිය. මෙළොව එළිය ලබන දරුවෙකුට මවක් නැතැයි කිව හැකි ද? පියෙක් නැතැයි කිව හැකි ද?

අපරාද විමර්ශන

ඇස් පනා පිට සිදුවුණ අපරාද සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නිතරම චෝදනා ලබන්නේ පොලීසියයි. එය යුක්ති යුක්ත නොවන බව මගේ අවංක හැඟීමයි. ඊට හේතුව නම් අපේ පොලීසිය දේශපාලන බලවතුන් කාලයක් තිස්සේ වහල් සේවයක තරමට පොලීසිය පහතට දමා කටයුතු කිරීමයි. එනමුත් තාජුඩීන්ගේ ඝාතනය වැන ඝාතන සම්බන්ධ සොබාවික ලෙස දිරාපත් වන්නට ඉඩ හැර තිබුණ නඩු යළි විභාග කිරීමට පටන් ගත් නිදහස් වාතාවරණයක් තුළ දී අපේ අපරාද විමර්ශන අංශවල තත්වය විදහා දැක්වුණ අන්දම ප්‍රශස්තය.

දූෂණ හා අපරාද සම්බන්ධව නීති ගරුක පුරවැසියන් කොතරම් කෑ ගැසුවත්, නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒවා පිළිබඳ සිදු කර තිබෙන හා සිදු කරන්නා වු විමර්ශන අතිශයින් තීරණාත්මකය. ඒ විමර්ශන නිසි ලෙස හා ස්වාධීනව විභාග කිරීමේ භාරධූර වගකීමේ කටයුත්තේ දී විනිසුරුවන් හෘදය සාක්ෂියට එකඟව, ප්‍රතිපත්ති ගරුකව, විනිසුරු අසුනේ වාඩි වීමට අසමත් තත්වයක නම් නීති ගරුක පුරවැසියන්ගේ අපේක්ෂා භංගවන්නේ අසුරු සැණෙකිනි. එසේ නොවේවා යන්න නීති ගරුක පුරවැසියන්ගේ ප්‍රාර්ථනාවයි.

සිවිල් බලය

භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධ යුක්තිය ඉටු කර ගැනීමට ඔහුගේ දියණිය හිරුණිකා තමන් සන්තක කර ගත් සිවිල් බලය ඉවහල් කර ගත්තේය. ඇයට කළ හැකි උපරිම දේ එයයි. යුක්තිය පසිඳලීමේ කටයුත්තේ දී විනිසුරුවන්ය ගෞරවනීය වූයේ. සිවිල් බලය ඉවහල් කර ගෙන කෙනෙකුට යුක්තිය වෙනුවෙන් කෑ ගැසීමට හැකිවීම යහපත් තත්වයක් නොවේ. එය අධිකරණයේ පාරිශුද්ධතාවට තරම් නැත. ඒ තත්වය වෙනස් විය යුතුය. කාටත් සාධාරණව යුක්තිය ඉටු වන රටක් තුළ සිවිල් බලය වැදගත් නොවිය යුතුය.

මානව ධර්මතා හා සංස්කෘතික හර පද්ධතීන් අවප්‍රමාණ වුණ රටක, අසාමාන්‍ය බලයක් විධායකය සතු වුණ රටක, නිර්භීතව ජීවත්වීමට හා රාජකාරි කිරීමට නොහැකි වීමටත් වඩා තවත් නරක තත්වයක් දක්නට ලැබිණි. එය නම් වැදගත් වෘත්තියන් දැන හෝ නොදැනුවත්වම තමන්ගේ මිල නියම කර ගැනීමය. මහින්ද රාජපක්ෂ අරලිය ගහ මන්දිරයේ සිට විනිසුරුවන්ට දූර කථනයෙන් ආමන්ත්‍රණය කර තිබෙන අවස්ථා ගණනාවක් ගැන අසන්නට ලැබේ. ඒ හැම අවස්ථාවකම ඔහු වචන භාවිත කර තිබෙන ස්වරූප දෙකක් ගැන කියැවේ. එක ස්වරූපයක් වන්නේ මිත්‍රශීලී ප්‍රවේශයයි. අනෙක් ස්වරූපය වන්නේ, භීතිකාවක් දැල්වීමයි. මේ දෙකෙන් වඩාත් සරුඵල නෙළා ගෙන තිබෙන්නේ මිත්‍රශීලී ප්‍රවේශය ඔස්සේ බවය දැන ගන්නට තිබෙන්නේ.

මෙහිදී පුරවැසියන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අසන්නට ඇත. ඒ කුමක් ද? කිසිම සිවිල් බලයක් නැති පුරවැසියෙකු යුක්තිය ඉටු කර ගන්නේ කෙසේ ද?
මේ අවාසනාවන්ත තත්වයෙන් අධිකරණය නිදහස් කර ගත යුතුය. එබැවින් අද දවසේ නීති ගරුක පුරවැසියන් හැකි තරම් සංවිධානය වෙමින් රටේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් කැපවීම රටේ අනාගතය වෙනුවෙන් අත්‍යාවශ්‍ය බව වටහා ගත යුතු වන්නේය.