රාවය

වීරවංශගේ සැරෙන් හෙළිවන බාලාංශය

වීරවංශගේ සැරෙන් හෙළිවන බාලාංශය

ටිරන් කුමාර බංගගමආරච්චි

පසුගිය බදාදා පොලිස් මූල්‍ය අපරාධ කොට් ඨාසය වෙත එන විමල් වීරවංශ මන්ත්‍රීවරයා එයට ඇතුළුවන්නට පෙර මාධ්‍ය අමතමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පතුරු ගසන අයුරු දක්නට ලැබුණි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නිතර නිතර යෑමට ඒමට ඇරියුම් ලබන වීරවංශ මහතා එසේ කිපීමත් කිපී බැණ වැදීමත් සාමාන්‍යයය. එහෙත් එහි ඇති අසාමාන්‍යය නම් රහසින්වත් පව් නොකළ සුදනකු ලෙස වීරවංශ මහතා කතා කලාවෙන්ම ජාමේ බේරා ගැනීමය. රාජපක්ෂ පාලන සමයේ හොරා කෑ සැම තම තමන් හොරා කෑ බව නො අදහති. ඒ අන් කිසිවක් නිසා නොව ඒ සැම දේ නීත්‍යනුකූල අයිතියක් බවට ඒ කාලයේ පෙරළා තිබුණු බැවිනි. ඒ නිසා මේ සැවෝම සුජාත පුත්‍රයන් ලෙස හැසිරෙති. මේවා මාධ්‍ය හරහා නරඹන මහජනතාව වුව වීරවංශලා කියනුයේ ඇත්තම නොවේද යන්න වුව විශ්වාස කළහැක්කේ මොවුන්ගේ රංගන එතරම් තාත්වික බැවිනි.

වීරවංශ මෙවර එෆ්සීඅයිඩී එකට කැඳවනුයේ මෝටර් රථ පරිහරණය කිරීම නිසා රජයට පාඩුවක් සිදුව ඇද්ද යන්න සම්බන්ධව කරුණු විමසීමටය. අදාළ මෝටර් රථය ලැබුණු ආකාරය සහ පසුව එය පරිහරණය කළ ආකාරය ප්‍රශ්න කෙරුණු බව පසුව ආරංචි එන දෑය.

කෙසේ වෙතත් පැවති කසුකුසුව නම් එදින වීරවංශ අත්අඩංගුවට ගනු ඇතැයි යන්නය. වීරවංශ සූදානම්ව ආවේද එයටමය. ඒ නිසා ඇතුළු වන විට ඔහු එෆ්.සී.අයි.ඩී.යට ඇති පදම් දෙහි කැපුවේය. ඊයේ යම් හෙයකින් වීරවංශ අත්අඩංගුවට ගන්නේ නම් එය ඔහුට කරන ලොකුම උපකාරය බව ඔහුගේ කතාවෙන් ඔප්පු විය. මන්ද මීට පෙර ඔහුට එල්ල වූ චෝදනා සමග ගළපන කල ඊයේ එල්ල වූ චෝදනාව පයිසයක් තරම් නොවටිනා බැවිනි. වීරවංශ වෙනදාට වඩා ඊයේ වීරයකු වන්නේ ඒ නිසාමය. එහෙත් ඔහු කටඋත්තර දී එළියට එන කල කියනුයේ වෙනම කතාවකි. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමාට සහ ජාතික නිදහස් පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබුණු වාහන සම්බන්ධයෙන් ප්‍රශ්න කළ බවය. ඊට තමා පැහැදිලිව පිළිතුරු ලබා දුන් බවත් නැවත 17 වැනි සෙනසුරාදා නැවත පැමිණීමට නියමිත බවත් ඔහු පැවසීය.

වීරවංශ මහතා එෆ්සීඅයිඩීය තුළට යෑමට පෙර නගන තර්කය දැන් අපටද ඇසිය හැකිය. එනම් වීරවංශ මීට පෙර චෝදනා ලද චෝදනා සුළුපටු නැත. එසේ නම් ඒවා හමුවේ මේ යහපාලනය මුනිවත රකිනුයේ ඇයි? හොර පාස්පෝට්, ඥාතීන්ට කෝටි ගණන් වටිනා නිවාස ලබාදීම මේවා සුළුපටු වැරදිද? කොමියුනිකේෂන් එකකින් පටන් ගෙන මෙතරම් ධන කුවේරයකු වන වීරවංශ ගැන මේ වාහනයක් අල්ලාගෙන කතා කරනවාට වඩා කතා කළයුතු දේ නැද්ද?
වීරවංශලාගේ වීර රංගන දකින විට හැඟෙනුයේ තවමත් රාජපක්ෂලා කොතරම් බලවත්ද යන්නය. යහපාලනයේ මන්දගාමීකම වීරවංශලාගේ අධිවේගී රංගනවලට තවමත් ඉඩ විවර කොට ඇත. වීරවංශලා පමණක් නොව රාජපක්ෂ යුගයේ සිටි නිලධාරීන්ද අදටත් චණ්ඩිපාට් පෙන්වනුයේ එබැවිනි. ඊට වීරවංශලාගේ කතාවකින්ම හේතු දැක්විය හැකිය.

වීරවංශ පවුලේ හොර උප්පැන්න, හොර හැඳුනුම්පත්, හොර ගමන් බලපත්‍ර ගැන කතා පරණය. ඒවාට කිසිවක් තවමත් සිදු නොවූ නිසා ඒවා මිනිසුන්ට අමතකවද යමින් තිබේ. ඒ පරණ කුණු ගොඩවල් බවට පෙරළෙමින් තිබේ.

නැවත මතක් කළයුත්තේ ඒ කිසිවක් තනිව සිදු නොවූ බවය. එකල මුළු යාන්ත්‍රණයම එක පයින් කැමති වී ඊට අවැසි ලෙස ක්‍රියා කළේය. අද ඒ නිලධාරීහුද අවංක රංගනයන්හි පෙනී සිටිති. එය රාජපක්ෂ පවුලේ ලොකු පුතා වූ වීරවංශට කළ නොහැකි කිසිවක් නොවීය. ඒ නිසා උපතද ඕනෑ ඕනෑ ලෙස වෙනස් කළේය. එය තමන්ට පමණක් නොව, පවුලටම අවැසි ලෙස හදා ගත්තේය. එහෙව් අය අද මහා උජාරුවෙන් අවංකකම ගැන කතා කරමින් සිටිති. මේ පරණ කතාව නැවත කීමට වටිනුයේ මට්ටු කළ නොහැකි ලෙස රාජපක්ෂ සමයේ කට්ටිය කට්ට වී ඇති නිසාය.

එදා වීරවංශලාගේ හොර ලියවිලි සම්බන්ධයෙන් මේ වනවිට අවංක නිලධාරීන්ද බැට කන නිසාය. එදා රෙජිස්ට්‍රාර් ජනරාල් වශයෙන් සිටි ඊ.එම්. ගුණසේකර මතද මේ චෝදනාව පැටවී තිබේ. ඒ ශෂී වීරවංශට ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලබාගැනීමට පහළ නිලධාරීයකුට ඔහු විසින් පැවරීම නිසාය. ඒ මාලිගාවත්ත මධ්‍යම ලේඛනාගාරයේ සහකාර රෙජිස්ට්‍රාර් ජනරාල් වශයෙන් සිටි සුමතිපාල හෙට්ටිආරච්චි වෙතය. ඔහුද එකල බලරාමුව ඇතුළේ ඉතාම ඕනෑකමින් මේවා ඉටුකර දී ඇති බව සැබෑය. ඒ අනුව ඔහුගේ මැදිහත්වීම මත ශෂී වීරවංශගේ උපන් දිනය වෙනස් කළ උප්පැන්න සහතිකය ලබාදී ඇත. ඒ මුල් ඇත්ත උපන් දිනය වන අංක 675320233ඪ වෙනුවට අංක 715344696ඪ දරන ව්‍යාජ හැඳුනුම්පත නිකුත් කරමිනි. එසේම අංක 1284124 දරන සත්‍ය විදේශ ගමන් බලපත්‍රය වෙනුවට අංක 3642817 දරන ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයද නිකුත් කර ඇත.

ඒ අනුව මෙය වීරවංශලා තනිව කළ හොරකමක් වංචාවක් නොවන බව ඕනෑම පොඩි එකෙකුට වුව වැටහෙන අතර, ඊට සම්බන්ධවූවන්ද මේ කිසිවක් අකමැත්තෙන් නොකළ බවද පැහැදිලිය.

මහ හොර තක්කඩින් මෙන්ම මේවාට අනුබල දෙන අයද ඒවා ප්‍රශ්න කරන්න ගෙන්වන විට හෘදයාබාධයන්ට ලක්වූහ. ඒ සුමතිපාල හෙට්ටිආරච්චිය. ඒ අනුව ඔහු අධිකරණය වෙනුවට රෝහල් ගතවිය. දැන් මේ දෙදෙනාගේ බලපෑම මත කොළොන්නාව අතිරේක රෙජිස්ට්‍රාර් ජනරාල් ඊ.ජී.ඩී. නිර්මිණි මහත්මියට තර්ජනය කරන බව වාර්තා විය. ඒ ඇය අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අදාළ අංශත් අගමැතිවරයාත් දැනුවත් කිරීම නිසාය. තමාගේ දුරකතන අංකයට තර්ජනය කරමින් මොවුන් (ඉහත දෙපළ) විසින් සකස් කළ ව්‍යාජ උප්පැන්න සහතිකය යළි පෙර පරිදි සකස් කරන ලෙසට බලකරමිනි.

එසේ නම් ලොකු හොරුන්ගේ සිට පොඩි හොරුන් දක්වාම රාජපක්ෂ පාලනයේ සෑම හොරෙකුම තවමත් වලිකනුයේ තමන් කළ තක්කඩිකම් වසාගන්නට ය. එය තර්ජනයන්ගෙන් හෝ කටින් බැණ වැදී හෝ කරමින් සිටී. අද එෆ්සීඅයිඩිය මෙතරම් කතා අසන තැනට තල්ලු වී ඇත්තේ එනම් හොරුන්ගෙන් වුව කුණු කතා අසනුයේ අන් කිසිවක් නිසා නොව එම ආයතන රාජපක්ෂ හොරුන් ඇරෙන්න යහපාලන හොරුන් අමතක කර ඇති නිසාය. ඒවා පිළිබඳ මාධ්‍යයට කයිවාරු නොගසා නියම කරුණු එෆ්සීඅයිඩීය වෙත භාර දෙන්නේ නම් ඔවුන් ඒවා පිළිබඳවද ප්‍රශ්න නොකරතැ’යි සිතිය නොහැකිය. ප්‍රශ්නය ඒකාබද්ධ විපක්ෂය කයිවාරු ගැසුවාට එවැනි නියම තොරතුරු කිසිවක් හෙළි කර නොමැතිවීමය.

මේ සැවොම චණ්ඩි වී ඇත්තේ මහජන දේපළ හොරාකමිනි. සෑම හොර චණ්ඩියෙකුම අද මාධ්‍ය ඉදිරියට ඇවිත් සමච්චල් කරනුයේ කාටද? මහජනතාවටම නොවේද? කොටින්ම යහපාලනයක් පැතූ ජනතාවටම නොවේද?