Monday, 21/8/2017 | 4:36 UTC+0
රාවය

රදලියගොඩ, පැල්පිට මුදාහැරීම ප්‍රශ්නයක්

තිවංක සපරමාදු

පසුගිය ජනාධිපතිවරණ සමයේදී අපේක්‍ෂක මෛත්‍රීපාල සිරිසේන අපකීර්තියට පත්කිරීම සඳහා දරුවකු සම්බන්ධ කරගෙන ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ සැලසුම් සහගතව විකාශය කරන ලද වැඩසටහන සම්බන්ධයෙන් පුද්ගලයන් සිවුදෙනකුට නඩු පැවරිය යුතු තත්ත්වයක් තිබියදීත් නීතිපතිවරයා විසින් එම පුද්ගලයන් සිවුදෙනා නඩුවෙන් මුදාහැරීමට තීරණය කිරීම නීති ක්‍ෂෙත්‍රයේ කතාබහට ලක්වී තිබේ.

මෙසේ මුදාහැර ඇත්තේ ජනක සිසිර කුමාර, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු විධායක අධ්‍යක්‍ෂ අනුෂ පැල්පිට, ස්වාධීන රූපවාහිනියේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සුදර්මන් රදලියගොඩ හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ කාර්යාලයේ නිලධාරියකුව සිටි නීතිඥ සේපාල රත්නායක යන සිවුදෙනාය.

කාන්තා හා ළමා කාර්යාංශය විසින් මෙම සිදුවීමට අදාළ විමර්ශන තොරතුරු නීතිපති දෙපාර්ත මේන්තුවට එවීමෙන් පසු එම ලිපිගොනුව පරීක්‍ෂා කළ රජයේ අධිනීතිඥවරයා සහ අධීක්‍ෂණය කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර යන දෙදෙනාම නිර්දේශ කොට ඇත්තේ සැකකරුවන් 11 දෙනකු අතරින් ඉහත කී 4 දෙනාද ඇතුළුව 8 දෙනකුට එරෙහිව නඩු පැවරිය යුතු බවත්, 3 දෙනකු මුදා හළ යුතු බවත්ය. ඔවුන්ට ජනාධිපතිවරණ පනතේ 80වන වගන්තිය හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩු පැවරිය හැකි බවත්ය.

මේ නිර්දේශය අනුව සැකකරුවන්ට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ තවත් නිලධාරිනියකට පවරා ඇති අතර, ඇයගේ නිර්දේශය අනුව ඉහත කී සිවුදෙනාට එරෙහිව චෝදනා ගොනු කොට නැත. මේ හේතුවෙන් නීතිපති උපදෙස් මත ඔවුන් නඩුවෙන් මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට සිදුවිය.

අපරාධ නඩු ක්‍ෂෙත්‍රයේ ඉහළ පළපුරුද්දක් ඇති අතිරේක සොලිසිටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර නඩු පැවරීමට නිර්දේශ කර තිබියදීත් මෙම නිලධාරිනිය මේ පුද්ගලයන් සිවුදෙනා මුදාහැරීම සැකයට තුඩු දී තිබේ. සිදුවීමට අදාළ 14 හැවිරිදි දරුවා බලහත්කාරයෙන් පැහැරගෙන විත් ඇත්තේ ජනක සිසිර කුමාර වන අතර, දරුවා රඳවාගෙන තිබී ඇත්තේ නීතිඥ සේපාල රත්නායකට රජයෙන් ලබාදුන් කොළඹ කැප්පෙටිපොළ මාවතේ නිල නිවෙසක බවට පැහැදිලි සාක්‍ෂි තිබෙන අතර, අදාළ වැඩසටහන සකස් කිරීමට සැලසුම් කරන ලද්දේ වජිර පැල්පිට වන අතර වැඩසටහන විකාශය කරන ලද්දේ සුදර්මන් රදලියගොඩ ප්‍රධානත්වය දැරූ ස්වාධීන රූපවාහිනිය විසිනි.

About