Untitled-1

Untitled-1

දේශපාලනඥයන් තමන්ටම බෙදාගැනීම හෙවත් දුරකථන දීමනාව


Parliment

ලසන්ත රුහුණගේ

රාජ්‍ය පාලනයට අදාළ තීන්දු තීරණය ගනු ලබන්නේ විධායකය හෙවත් ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින්ය. සාමාන්‍යයෙන් සතියකට වරක් පැවැත්වෙන තීන්දු තීරණ ගැනීමේ කැබිනට් මණ්ඩල රැස්වීම් අඟහරුවාදා හෝ බදාදා දිනවල පැවැත්වේ. එම රැස්වීම්වලදී ගනු ලබන තීන්දු තීරණ බදාදා හෝ බ්‍රහස්පතින්දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත්කරනු ලැබේ. මෙසේ ප්‍රකාශයට පත්කරන කැබිනට් මණ්ඩල තීරණ පිළිබඳ ජනමාධ්‍ය එතරම් උනන්දුවක් නොදක්වන අතර මුද්‍රිත මාධ්‍ය බොහෝ විට එම කැබිනට් මණ්ඩල තීරණ පළකරනු ලබන්නේ පුවත්පතේ ඇතුල් පිටුවක ඉඩ ඉතිරිවූ ස්ථානයක් පිරවීමක් වශයෙන්ය. එසේ වුවද කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ඉතා උනන්දුවෙන් ආවරණය කිරීමට ජනමාධ්‍ය පෙළඹෙන අතර ඊට හේතුවන්නේ තත්කාලීන මාතෘකා පිළිබඳව ප්‍රශ්න කිරීමට ඉඩ ලැබීමත් එම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඊට සහභාගිවන දේශපාලනඥයන් හා රජයේ නිළධාරීන් ලබාදෙන පිළිතුරු කැබිනට් මණ්ඩල තීන්දු තීරණවලට වඩා ජනමාධ්‍යවලට දිනපතා ප්‍රවෘත්ති සඳහා වැදගත් වන නිසාත්ය.

ඉදහිට අවස්ථාවකදී හැර බොහෝ විට කැබිනට් මණ්ඩල තීන්දු තීරණ ජනමාධ්‍යයට අවැදගත් වී ඇත්තේ ඇයි? එකී තීන්දු තීරණ බොහෝමයක් පුවත් මැවීම සම්බන්ධයෙන් හෝ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධයෙන් එතරම් වැදගත් නොවන තොරතුරු වීම නිසාය. එයින් අදහස් වන්නේ පුවත් මැවීමට සමත් හා ජනතාවගේ තොරතුරු දැනගැනීමට අදාළ තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය නොගන්නා බව නොවේ. කැබිනට් මණ්ඩලය පුවත් මැවීමට අදාළ හා ජනතාවගේ තොරතුරු දැනගැනීමට අදාළ බොහෝ තීන්දු තීරණ ගන්නේය. එහෙත් ප්‍රශ්නය වන්නේ කැබිනට් මණ්ඩල තීන්දු තීරණ ප්‍රකාශයට පත්කිරීමේදී පුවත් මැවීමට අදාළ ජනතාව දැනගත යුතු බොහෝ තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් නොකිරීමය. එම තීන්දු තීරණ කැබිනට් මණ්ඩලය විසින් සඟවා තබා ක්‍රියාත්මක කිරීමය. කැබිනට් මණ්ඩලය විසින් ඔවුන්ගේ තීන්දු තීරණ වශයෙන් ප්‍රකාශයට පත්නොකරන ලද එහෙත් ඔවුන් විසින් තීන්දු තීරණ ගන්නා ලද ජනතාව දැනගත යුතු ආන්දෝලනාත්මක කැබිනට් මණ්ඩල තීන්දු ගණනාවක් අප විසින් මේ ආණ්ඩුවට අදාළව ද පසුගිය කාලයේදී හෙළිදරව් කරනු ලැබූ බව අප පාඨකයන්ට නැවත නැවතත් අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

පසුගිය සතියේදී පුවත්පතේ ප්‍රධාන පුවත වශයෙන් අප විසින් හෙළිදරව් කරනු ලැබූයේ කැබිනට් මණ්ඩල ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශයට පත් නොකරන ලද ඒ ආකාරයේ කැබිනට් මණ්ඩල තීන්දුවකි. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුරකථන පහසුකම යටතේ මසකට රුපියල් 50,000ක මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩලය තීන්දු කර එය ගෙවමින් පවතින බවය. මෙම නව කැබිනට් මණ්ඩල තීන්දුවට පෙර දුරකථන පහසුකම යටතේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරයකුට ලැබී තිබුණේ ස්ථාවර දුරකථන දෙකක් සඳහා ගාස්තු හා ජංගම දුරකථනයක් සඳහා ගාස්තුය. පාර්ලිමේන්තු මහලේකම්වරයාගේ නමින් ලබාගන්නා ස්ථාවර දුරකථන දෙකක් මන්ත්‍රීවරයකුට හිමිවී ඇති අතර එම දුරකථන බිල්පත් ගෙවා ඇත්තේ පාර්ලිමේන්තුව විසින්ය. එම ක්‍රමයේදී සාමාන්‍යයෙන් ස්ථාවර දුරකථන දෙක සඳහාම එක් මන්ත්‍රීවරයකුගේ මාසික බිල බවට දළ වශයෙන් රුපියල් 15000ක පමණ මුදලක් පාර්ලිමේන්තුවට වැය වී ඇත. ඊට අමතරව ජංගම දුරකථන බිල වශයෙන් රුපියල් 2000ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ගෙවා ඇත.

එහිදී කැබිනට් මණ්ඩලය විසින් සිදුකර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් ප්‍රශ්නයට පිළියමක් වශයෙන් අදාළ ස්ථාවර දුරකථන හා ජංගම දුරකථන ගාස්තු වශයෙන් මසකට රුපියල් 50,000ක මුදලක් එක් මන්ත්‍රීවරයකුට ලැබීමට සැලැස්වීමය. මන්ත්‍රීවරයා තම භාවිතයට ලබාගන්නා ස්ථාවර දුරකථන ඔහු විසින්ම ලබාගෙන ඊට අදාළ බිල්පත් හා ජංගම දුරකථනයේ බිල්පත් එම මුදලින්ම ගෙවීමට මන්ත්‍රීවරයාටම ඉඩප්‍රස්ථාව ලබා දීමය.

කැබිනට් මණ්ඩලයේ එම තීන්දුව සිය තීන්දුවක් වශයෙන් මාධ්‍ය හරහා ජනතාවට කියන්නට අපේ කැබිනට් මණ්ඩලයට සදාචාරමය බියක් ඇත. ඒ ඔවුන් විසින්ම ඔවුන්ට බෙදාගන්නවා යන්න ජනතාවට කීමේ උභතෝකෝටිකය නිසාය. මන්ද දැනටමත් රටේ ආර්ථික අර්බුදය හමුවේ පටි තදකරගන්නා ලෙස ජනතාවට ආණ්ඩුව ආයාචනා කර ඇති බැවින්ය. රජයේ බදු ආදායම ඉහළ නැංවීම සඳහා 15%ක වැට් බදු ප්‍රතිශතයක් යම් කාලයට දරා ගන්නා ලෙසට ආණ්ඩුව මේ වනවිටත් ප්‍රසිද්ධ ආයාචනයක් කර ඇති තත්ත්වය තුළය.

කෙසේ හෝ පසුගිය සතියේ අපගේ මුල් පුවතින් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දුරකථන ඇමතුමක් ලබාදෙමින් අපගේ මුල් පුවත පිළිබඳව විමසා සිටියේය. ඔහුට අපගේ මුල් පුවත පිළිබඳව තවත් මන්ත්‍රීවරයකු කියා තිබුණි. අපට කථාකළ මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ඔවුන්ට ලැබෙන වැටුප් හා දීමනා ජීවත්වන්නට බැරි තරම්ය. මන්ත්‍රීවරයකු වශයෙන් ඔහුට ලැබෙන්නේ රුපියල් ලක්ෂයක පමණ මුදලක් බව ඔහු කීවේය. සිය වැටුප් හා දීමනා වැඩි කරන ලෙස කරන ලද ඉල්ලීම අනුව දුරකථන දීමනාව රුපියල් 50000ක් කර එය මන්ත්‍රීවරුන්ටම ලබාදීම සිදු කර ඇත. එම මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීම අනුව ඔහු සිය දරුපවුල නඩත්තු කළ යුතුය. පාක්‍ෂිකයන්ගේ මඟුල්, අවමඟුල්වලට ගොස් තුටුපඬුරු ලබාදිය යුතුය. කාර්යාලයක් නඩත්තු කළ යුතුය.

ලැබෙන වැටුප් දීමනා හා අනෙකුත් පහසුකම් ප්‍රමාණවත් නොමැති නම් ඒ පිළිබඳව ප්‍රසිද්ධ සාකච්ඡාවක් ඇති කරන ලෙස අපි එම මන්ත්‍රීවරයාට කීවෙමු. ඒ සමඟම අප ඔහුට අවධාරණය කළේ අපද ඇතුළුව මේ රටේ මිනිසුන් පැවති පාලනය පෙරළා දමා යහපාලන බලාපොරොත්තු ඇතිව නව ජනාධිපතිවරයෙකු හා ආණ්ඩුවක් බලයට පත්කළේ පැවති දේශපාලන සංස්කෘතියම ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යෑමට හෝ වර්ධනය කිරීමට නොවන බවය. දේශපාලන පක්ෂ කාර්යාල නඩත්තු කිරීමට හෝ මඟුල් අවමඟුල් උත්සවවලට තුටුපඬුරු දීමට මහජන මුදල් වැය කළ යුතු නැති බවය.

ඔහු වැඩිදුරටත් සංගප්පුරුව ඇතුළු ආසියාවේ දියුණු රටවල් කිහිපයක් නම් කරමින් කීවේ, එම රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ශ්‍රී ලංකාවේ මුදලින් ගණනය කිරීමේදී රුපියල් ලක්ෂ 5ත් 7ත් අතර වැටුප් ලැබෙන බවය. අප ඔහුට කීවේ එම රටවල මන්ත්‍රීවරුන්ගේ වැටුප් එම ප්‍රමාණයයැයි කියන විට රටේ අනෙකුත් සේවකයන්ගේ වැටුපද, එම මන්ත්‍රීවරුන්ට වැටුපට අමතරව වෙනත් පහසුකම්ද ලැබෙනවාද නැද්ද යන්නද කිව යුතු බවය.

එමෙන්ම මැතිවරණවලට විසඳුම් කළ මුදල් හෝ වියදම් කිරීමට ණය වූ මුදල් පියවා ගැනීමට තමා වැනි මන්ත්‍රීවරුන්ට නොහැකි වී ඇති බවද, අප යෝජනා කරන ආකාරයට ඉදිරියේදී ව්‍යාපාරිකයන්ට පමණක් දේශපාලනය කළ හැකිවනු ඇති බවද ඒ අනුව මන්ත්‍රීවරුන්ට හොරුයැයි කීමේ ඵලක් නැති බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය. අධික වියදමක් දරන මනාප ඡන්ද ක්‍රමයෙන් ඈත්වී කොට්ඨාස ක්‍රමය වැනි ඉතාම සුළු මුදලකින් ඡන්දයක් කළ හැකි ක්‍රමයකට ප්‍රතිපත්ති හැදීම ඔවුන්ගේ කටයුත්තක් බව ඊට පිළිතුරු වශයෙන් අපි කීවෙමු. ඔහු කීවේ සුළු පක්ෂ ඊට අකමැති බවය. අප කීවේ සුළු පක්ෂවලටද අසාධාරණයක් නොව බහු පක්ෂ නියෝජනයක් සහිත මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීම කළ හැකි බවය. හොරකම් කරන සෑම අයෙකුම ආදයම් මදි නිසා සොරකම් කරනවායැයි කීවොත් කරන්නේ කුමක් දැයි ඇසුවෙමු.

කෙසේ හෝ මේ නිසාම ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනට භූක්ති විඳින වැටුප් දීමනා හා අනෙකුත් පහසුකම් පිළිබඳව බදු ගෙවන ජනයාගේ දැනගැනීම සඳහා සාකච්ඡාවක් ඇති කළ යුතුමය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහා දැනට ගෙවනු ලබන මාසික වැටුප රුපියල් 54,285 කි. පාර්ලිමේන්තු සැසිවාරයන්ට සහභාගිවීම හා එහි කාරක සභාවන්ට සහභාගිවීම වෙනුවෙන් දිනකට රුපියල් 500ක දීමනාවක් හිමිවේ. දුරකථන බිල්පත් වෙනුවෙන් මසකට රුපියල් 50,000ක් හිමිවේ. බස්නාහිර පළාතට අයත් කොළඹ, ගම්පහ හා කළුතර යන දිස්ත්‍රික්කවල මන්ත්‍රීවරුන්ට මසකට ඉන්ධන ලීටර් 283ක ගාස්තුව වශයෙන් දළ වශයෙන් රුපියල් 35,000ක පමණ මුදලක් හිමිවේ. (මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය බස්නාහිර පළාතෙන් එපිට වන්නට වන්නට මෙම ඉන්ධන දීමනාව වැඩිවේ.) එපමණක් නොවේ, මන්ත්‍රීවරයකුට වසර පහකට වරක් සම්පූර්ණයෙන්ම තීරු බදු රහිත වාහන බලපත්‍රයක් හිමිවේ. එම තීරු බදු රහිත බලපත්‍රය මඟින් ඩොලර් 62,500ක තීරු බදු රහිත වාහනයක් ගෙන්විය හැකිය. එම බලපත්‍ර යටතේ ගෙන්වන වාහනය දේශීය වෙළෙඳපොළ මිල රුපියල් කෝටි 3ක් 4ක් අතර මිලක් වන්නේය. මේ තීරුබදු රහිත බලපත්‍ර මන්ත්‍රීවරුන් බොහොමයක් විසින් විකුණනු ලබන අතර වත්මනේ එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2ක් පමණවේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බොහොමයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන් වන බැවින් ඔවුන්ට පෞද්ගලික වාහන ප්‍රශ්නයක් පැනනඟින්නේ නැත. ඔවුන් නියෝජනය කරන අමාත්‍යාංශයෙන් එක් වාහනයක් වෙනුවට වාහන කිහිපයක් ඉන්ධනද රියදුරන්ද සහිතව ඔවුන්ට ලැබෙන්නේය. අමතරව අමාත්‍යාංශ අධීක්ෂණ මන්ත්‍රීවරුන්ටද ඔවුන් අධීක්ෂණය කරන අමාත්‍යාංශයෙන් ඉන්ධනද සමඟ වාහන පහසුකම් ලැබෙන්නේය.

මන්ත්‍රීවරුන්ගේ පහසුකම් එතැනින්ද නවතින්නේ නැත. ඔවුන්ට වසර පහක පාර්ලිමේන්තු ධුර කාලයෙන් පසු විශ්‍රාම වැටුපකට හිමිකම් කීමේ අවස්ථාවද ලැබෙන්නේය. අමතරව මන්ත්‍රීවරුන්ට පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද ලැබෙන්නේ ය. ඒ රියදුරු, කාර්යාල කාර්ය සහායක, යතුරු ලේඛක, මන්ත්‍රී ලේකම් හා පර්යේෂණ සහකාර වශයෙන්ය. මේ තනතුරුවලට අදාළ අය නම් කරන්නේ මන්ත්‍රීවරයාය. ඔවුන්ට වැටුප් ගෙවන්නේ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන්ය. අප දන්නා විදියට එම තනතුරුවලින් බොහොමයකම සිටින්නේ අදාළ මන්ත්‍රීවරයාගේ පවුලේ සමාජිකයන්ය. අමතරව බස්නාහිර පළාත් නොවන සෑම මන්ත්‍රීවරයකුටම පාර්ලි මේන්තුවේ කටයුතුවලට සහභාගිවීම සඳහා නිල නිවසක් ලැබෙන්නේය. ඇමතිවරයෙකු වූ විට පළාත කුමක් වූවද නිල නිවසක් ලැබෙන්නේය.

මන්ත්‍රීවරයකු, අමාත්‍ය වරයකු, රාජ්‍ය අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය ඇමතිවරයකු වූ විට ඊටත් අමතරව පාර්ලිමේන්තු වැටුපේ වැඩිවීමත් ලැබෙන්නේය. වාහන, දුරකථන, ඇතුළු අනෙකුත් පහසුකම් අදාළ අමාත්‍යාංශයෙන්ද ලැබෙන් නේය. අමතරව තවත් අමාත්‍ය පෞද්ගලික කාර්ය මණ්ඩලයක්ද ලැබෙන්නේය. ඒ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් හා මහජන සම්බන්ධතා නිලධාරී වශයෙන්ය. මේ පිරිස නම් කිරීමේ බලයද අමාත්‍ය ධුර දරන මන්ත්‍රීවරුන්ට ලැබෙන අතර අදාළ අමාත්‍යාංශ විසින් එම පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප් හා අනෙකුත් පහසුකම් ගෙවනු ලබයි.

මේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම අදාළ අමාත්‍යාංශයෙන් වාහනයක්ද ඉන්ධනද රියදුරකුද ලැබෙන්නේය. එහිදී පෞද්ගලික ලේකම්ට මසකට ඉන්ධන ලීටර් 240ක් හෙවත් දළ වශයෙන් රුපියල් 30,000කට ආසන්න ඉන්ධන දීමනාවක්ද, අනෙකුත් අයට මසකට ඉන්ධන ලීටර් 218ක් හෙවත් රුපියල් 25,000කට ආසන්න ඉන්ධන දීමනාවක් ද ලැබේ. දුරකථන පහසුකම් ආදිය ඊට අමතරවය. ඉන්ද නවතින්නේ නැත. මේ පෞද්ගලික කාර්ය මණ්ඩලයද මන්ත්‍රීවරුන් මෙන්ම වාසනාවන්තය. වසර පහක කාලයකින් පසු ඔවුහුද විශ්‍රාම වැටුප් හිමිකම් ලබන අය බවට පත්වන්නෝය. නිකම්ම නොවේ. ඔවුන්ගෙන් පසු ඔවුන්ගේ වැන්දඹුවන්ටද අනත් දරුවන්ටද එම විශ්‍රාම වැටුප් ලැබෙන්නේය. ඉතින් මේ අමාත්‍ය කාර්ය මණ්ඩලවල බොහෝ අයද අදාළ අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයන් බව අප දන්නා රහසක්ය. එම නිසාම මන්ත්‍රීවරුන්ගේ වැටුප්, දීමනා හා අනෙකුත් පහසුකම් දුරකථන දීමනා ලෙස හඟවා මන්ත්‍රීවරුන්ගේ වැටුප් හොර ක්‍රමයට හොර රහසේ වැඩි කිරීමකින් තොරව බදු ගෙවන මහජනයාද දැනුවත් කරන සාකච්ඡාවකින් සිදුකළ යුතුය. යහපාලනයයැයි අර්ථ දැක්විය හැක්කේ එවන් ක්‍රමවේදයන්ටය.