Monday, 21/8/2017 | 3:51 UTC+0
රාවය

‘ක්‍රිකට් ඒඞ්’ සහ කට්ටියගේ කේස්

ඒ. වික්‍රමසූරිය

එක අත්තේ වසනුයේ එක වර්ගයේ කුරුල්ලෝ යැයි කතාවට කියති. මෙවර ක්‍රිකට් නිලවරණයේදී අර්ජුන රණතුංග පරාජය කරන්නට එතෙක් ප්‍රතිවාදීන්ව සිටි තිලංග සුමතිපාල සහ ජයන්ත ධර්මදාස අත්වැල් බැඳගන්නට විය. කලක් ක්‍රිකට් පරිපාලනයේ විරුද්ධවාදීන් වූ මේ දෙපළට බලය සඳහා එකට හිඳ ගැනීමට මහා කජ්ජක් නොවීය. අප කෙසේ කීවද මේ එකම වර්ගයේ කුරුල්ලන්ය.

බලයට එලෙස එක් වුවද යටින් යටි කුට්ටුකම් මේ දෙපළගේ පසුගිය කාලය පුරාම විය. තිලංගගේ නායකත්වය තුළ ජයන්ත ධර්මදාස දෙවැනියා වනවිට ඔහු සැමවිටම කළේ ඔහුට හිතවත් පිරිස අල්ලාගෙන මාධ්‍ය හරහා තමන් ස්වාධීන පුද්ගලයෙක් බවට පෙන්වන්නට පිඹුරු සැකසීමය. ඒ නිසාම ජයන්ත – තිලංග ගැටෙයි. ජයන්ත එළියට යන්නට නියමිතයි වැනි පුවත් කනින් කොනින් ඇසෙන්නට විය. මේවා පැළ කරනුයේ ජයන්තලාමය. ඒ තිලංග හමුවේ ඔහුගේ නොහැකියාව වසා ගන්නටය. තමන් සුදනා වන්නටය.

එහෙත් මොවුහු කිසිවිටෙකත් ක්‍රිකට් ආයතනය හැර නොයති. තිලංග මෙන් ම ජයන්තද ක්‍රිකට් යනු ඔවුන්ගේ පැවැත්ම යන්න සිහි තබාගෙන සිටිති. එබැවින් දෙදෙනාම මූණ එල්ලා ගෙන හෝ සභාව ඉදිරියේ විරිත්තමින් සිටී. මේ නාටක කෙළවරක් නොවනුයේ පවතින හැම ආණ්ඩුවක්ම මේ වෙස් මුහුණුකාරයන්ගේ හිත මිතුරන් වීම නිසාය.

මෙවර ක්‍රිකට් නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර කටයුතු කළේ තිලංග දිනවීම පරම යුතුකම කොට සලකාය. ඔහු තිලංගගේ ජයග්‍රහණයෙන් පසු හැසිරුණේ පොඩි ළමයකු මෙනි. එය එතරම් නොවන බව අපි එදාම ලියූවෙමු. එහි සිඟිති බව අත්විඳින්නට වනුයේද අනාගතයේදී බව සිහිකැඳවූයෙමු. එහෙත් තේරුම් ගැනීම වෙනුවට මානය විදහා දක්වන ඇමැත්තා වෙනම රංගනයක් ඉදිරිපත් කළේය. ඒ නිසාම ක්‍රිකට් ආයතනය ක්‍රීඩා අමාත්‍යාංශයට වඩා උඩින් යන්නට විය. එහි සභාපති මෙරට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක වනවිට ඔහු ක්‍රිකට් ආයතනයේ හැසිරෙනුයේද එම විලාසයෙන්මය. නියෝජ්‍ය කතානායක කෙනකු ක්‍රිකට් පුටුවට මෙතරම් කෑදර ඇයි? ඇමතිවරු ක්‍රිකට් පුටුවට මේ තරම් කෑදර ඇයි? මහා ව්‍යාපාරිකයන් ක්‍රිකට් පුටුවට මේ තරම් පෙරේතකම් කරනුයේ ඇයි? ඒ අන් කිසිවක් නිසා නොව ක්‍රිකට්වලට ඇති ධනයත් බලයත් නිසාය. රේස් බුකියකින් ලබාගන්නට බැරි ජයග්‍රහණ ක්‍රිකට් ආයතනයෙන් ලබාගත හැකි සේ ම රෝහලකින් ලබාගත නොහැකි සුවය ක්‍රිකට් ආයතනයෙන් ලබාගත හැකියැ’යි මොවුන් අදහති. මේ නොසන්සිඳෙන පිපාසාව එබැවිනි.

දැන් කීමට සිදුව ඇත්තේ මේ එක අත්තේ වහන කෑදර කුරුල්ලෝ දිගුකාලීනවම මේ වාගේ රැඳෙන්නට ඔප්පු සකස් කර ගැනීම් පිළිබඳවය. ‘ක්‍රිකට් ඒඞ්’ ව්‍යාපෘතිය එවැන්නකි. මේ හෙට දවසේ ක්‍රිකට් ආයතනය අබිබවා මූල්‍ය උපද්දන ආයතනයකි. එයට අවශ්‍ය සියලු මාර්ග දාසලා, පාලලා පාදාගෙන අවසන්ය. ඕනෑම දෙයක් කරන්නට ඉඩ හැර බලා සිට පසුව කෑ මොර දෙන කීකරු ක්‍රීඩා ඇමැත්තෙක් ඇති නිසා සියල්ල ලේසි පහසු වී ඇත. අස්සයා පැන ගිය පසු ඉස්තාලය වැසීමට ක්‍රීඩා ඇමති අතිදක්ෂය.

අපි ‘ක්‍රිකට් ඒඞ්’ වෙත එමු. ඇපයෙන් සීමිත සමාගමක් ලෙස ‘ක්‍රිකට් ඒඞ්’ (ගරන්ටි) ලිමිටඞ් 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වනුයේ මේ වසරේ මැයි මස 16 වැනිදාය. ඊට අදාළව ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයන් දසදෙනකු අත්සන් කොට ඇත. දැනට ක්‍රිකට් විධායක කමිටුවේ සිටින නිසා මෙම අත්සන් යෙදුවද එහි ඇති අපූර්වත්වය නම් මේ අත්සන් තැබීමේදී දැනට දරන ක්‍රිකට් තනතුරු පදනම් කර නොගෙන අත්සන් යෙදීමය. ඒ වෙනුවට තම තමන්ගේ ව්‍යාපාරික බලය ඊට යෙදීමය. කොටින්ම මෙම සාමාජිකයන් දසදෙනාගෙන් නවදෙනකුම ඊට අත්සන් යොදනුයේ ව්‍යාපාරිකයන් ලෙසය. ඒ අනුව පැහැදිලිවම පෙනෙනුයේ මේ අයට මෙය ක්‍රිකට් ආයතනයෙන් ගලවා ඉවතින් තබා ගැනීමේ වුවමනාව ඇති බවය. ක්‍රිකට් පෙන්නා හම්බ කර ගන්නාමුත් එය තම හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑම මෙහි අරමුණය. ක්‍රිකට්වලට සමගාමීව එම තනතුරුම මෙහි තනතුරු දැරුවහොත් හෙට වෙනත් පිරිසක් ක්‍රිකට් තනතුරුවලට ආ කල ඔවුහු ඉබේටම ‘ක්‍රිකට් ඒඞ්’හි සාමාජිකයන් වනු ඇත. එවිට එතෙක් සිටි පාලකයන්ට නියතවම එෆ්සීඅයිඩීයට යාමට සිදුවනවා ඇත. මේ සියල්ල දුරදිගට කල්පනා කළ වත්මන් පාලකයෝ ‘ක්‍රිකට් ඒඞ්’ සමාගමට ක්‍රිකට් අනන්‍යතාවයෙන් මිදී ව්‍යාපාරික සෙයියාවෙන් පෙනී සිටී නම් පමණක් නොව එම තනතුරු ජීවිතාන්තය දක්වා බුක්ති විඳින ආකාරයටත් සකස් කර ගන්නේය. එසේ නම් මේ ගොන්නු ටික හැරෙනුයේ පොල් පැලේ කන්නට බව වටහා ගන්නට අමුතු දැනුමක් අවැසිද?

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුණ්‍ය කටයුතු ශ්‍රී ලංකා ක්‍රිකට් නමින්ම සිදු නොකර ‘ක්‍රිකට් ඒඞ්’ (ගරන්ටි) සමාගමක් බවට පත් කළේ ඇයි? ඒ කොට එයට පත්කරන සාමාජිකයන් යාවජීව සාමාජිකයන් බවට පත් කළේ මන්ද? හෙට දවසේ වත්මන් ක්‍රිකට් ආයතනයේ විධායක සාමාජිකයන් මුළුමනින්ම ඉවත්ව ගියද ‘ක්‍රිකට් ඒඞ්’ හී මොවුන් ජීවත් වන තාක් සාමාජිකයන්ය. මේ නම් මොනතරම් නරුමකමක්ද? තිලංග සුමතිපාල මහතා ‘ක්‍රිකට් ඒඞ්’ හි අත්සන් තබනුයේ නියෝජ්‍ය කාතානායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී යන තනතුරු උලුප්පාලමිනි. මේ සියලුදෙනාගේම අදහස ‘ක්‍රිකට් ඒඞ්’ තම පෞද්ගලික බූදලයක් කරගෙන හෙට දවසේ ක්‍රිකට්වලින් හෝ ඉවත්ව මෙය ව්‍යාපාරයක් කර පවත්වාගෙන යෑමටය.

සියල්ල සිදුවූ පසු මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා කියනුයේ එය වැරදි වැඩක් බවත් එය වහාම නිවැරදි කරන්නට තමා ඔවුන්ට දැනුම් දුන් බවත්ය. ක්‍රිකට් බලධාරීහු ක්‍රීඩා අමාත්‍යවරයා එතරම් මායිම් නොකරන බව මුලසිටම පැහැදිලිය. තිලංග සභාපති ලෙස පත්වූ කල ක්‍රීඩා ඇමතිවරයා ඔහු සිප වැළඳ ගනිමින් නැටූ නාඩගමේ ප්‍රතිඵල මෙබඳුය. අද ක්‍රීඩා ඇමතිවරයා කෑමොර දුන්නද තිලංග පියවරක් ආපස්සට ගනිතැ’යි සිතිය හැකිද? බදාගැනීම් සිප ගැනීම් අමතක කොට ක්‍රීඩා ඇමති වහාම මේ තත්ත්වය වෙනස් කළ යුතුය. ඔවුන්ට දැනුවත් කළායැ’යි ප්‍රසිද්ධියේ කීමට ලඝු නොවී එය නැවත වෙනස් කළායැ’යි මාධ්‍ය සාකච්ඡා පවත්වා ප්‍රකාශ කළ යුතුව ඇත.

ක්‍රිකට් ආයතනය යනු අන්ත දූෂිත ආයතනයකි. මේ නිලධාරීන්ට වසර ගණනාවක සිට පුටු මාරුකර ගනිමින් ක්‍රිකට් කාබාසිනියා කළේය. අදටත් සිටිනුයේ ඔවුන්මය. හෙට ක්‍රිකට් අතහරින්නටවේයැ’යි සිතා ඔවුහු අපූරු දැලක් එලූහ. ඒ ‘ක්‍රිකට් ඒඞ්’ ය. මේ තත්ත්වය මෙලෙසම යාමට ඉඩ හැරියහොත් ‘ක්‍රිකට් ඒඞ්’ ක්‍රිකට් ආයතනයට වඩා බලසම්පන්න වී එය හරහා ක්‍රිකට් ආයතනය පාලනය වන තැනට තල්ලු වනු නියතය.

එංගලන්ත සංචාරය තුළදී මෙය ආරම්භ කරන විට ක්‍රීඩා ඇමැත්තාද ඒ මුල් සාකච්ඡාවල සිටි අයෙක් විය. අද ඔහු මුකුත් නොදන්නා ගාණට කෑමොර දෙන්නේ එදා මේ සියල්ලට මෙලෙස වන්නට වටාපිටාව නිර්මාණය කරමිනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුදලින් රුපියල් මිලියන දෙකක් ගෙන ආරම්භ කළ මේ වැඩසටහනට එංගලන්ත සංචාරය අතරතුරදී බැරවී ඇත්තේ රුපියල් 41,610.29ක මුදලක් පමණි. එහෙත් කල්යත්ම මේ තත්ත්වය වෙනස් වී මෙය ලාභ ලබන තත්ත්වයක් නිර්මාණය කරනවා නියතය.

මේ ප්‍රශ්නය මෙලෙස එන විට ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා කියනුයේ කිතුලට ගිය මිනිහා කියන කතාවමය. ‘අපි මේක දිසියේ කරන්න ගිහිල්ලා යාවජීව (Lifetime Members) සාමාජිකයන් ලෙස නම් වෙලා මේක තමයි අවුල යන්නය. මේ හදිසිය පුදුමාකාරය. මොහාන් කියන පරිදි මෙතැන නීතිමය අවුලක් ඇත. එය මුලදී නොසිතුණු බවද ඔහු පවසයි. මමත් පිළිගන්නවා යාවජීව සාමාජිකයන් වීම නිවැරදි නෑ. මොකද අපි පරිපාලනයෙන් ඉවත් වන විට ඊළඟට එන පරිපාලනයට අපි ඉඩ දෙන්න ඕනෑ. ඒ නිසා අපි මේක නිවැරදි කරන්න කටයුතු කරනවා යන්නය. මෙලෙස කියනුයේ ක්‍රිකට් ආයතනයේ ලේකම්ය. මේ බබ්බු සිතෙනුයේ රටේ ජනතාව හරක් කියා විය යුතුය. මෙහි ඇති දෙකොණින් සිනහා යන කාරණය නම් මේ තත්ත්වය දැක තිලංගද බැණ වැදී ඇති බව මොහාන් කීමය. එනම් මේ සිදුව ඇත්තේ බරපතළ වරදක්. එය වහාම නිවැරදි කළ යුතුයි යනුවෙන් තිලංගද කියනුයේ නම් මෙය මෙලෙස හැදුවේ කවුද? නියෝජ්‍ය කතානායකලා මේවාට අත්සන් යොදනුවේ කියවා බලා නොවේද? ලේකම් බබා අත්සන් යෙදුවෙත් නොදැනුවත්ද? මේවා හදනුයේද මේ තොත්ත බබාලාමය. දැන් ඒ අයම එහි අඩුවක් ඇතැ’යි අපට බනිති.

මේ කම්බ හොරුන් සමග ක්‍රිකට් සංවර්ධනය කෙසේ වනු ඇත්දැ’යි අමුතුවෙන් කිවයුතු නැත. මේ සියල්ලට හිටපු සහ සිටින ආණ්ඩුද වගකිව යුතුව ඇත. අගමැතිවරයා ක්‍රිකට් කණ්ඩායම තම නිවෙසට කැඳවා සංග්‍රහ කරනු ගෙවුණු සතියේ ප්‍රසිද්ධ පුවතක් විය. ඒ සංග්‍රහ සැබෑ වැඩදැයි වනුයේ ක්‍රිකට් පරිපාලනයද අවංක වුවහොත් පමණය. එයට මීට වඩා යාන්ත්‍රණයක් අවැසිව ඇත. අගමැති මුල සිටම ක්‍රිකට්වලට අතපොවන බවට කතා මැවුණද ඔහු ඉන් බැහැර විය. එහෙත් ක්‍රිකට් පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයද අධීක්ෂණය කළ යුතු තැනක අප අද ඇත. එසේ නොවුණහොත් මේ සුදු අලියා මෙල්ල කිරීම ලේසි පහසු නොවනුවා ඇත.