සතුරකු කරගත් ඉන්දියාව

Editorialඑළැඹෙන මාර්තුවේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ අනුග‍්‍රහයෙන් ලංකාවේ රජයට එරෙහිව ඉදිරිපත් කරන්නට යන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීම පිළිබඳ වූ යෝජනාවට ඉන්දියාව කුමන ප‍්‍රතිචාරයක් දක්වාවි ද යන්න තවමත් නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් වී නැත. දැනට ඉන්දියාවේ නිල ප‍්‍රතිචාරය වන්නේ යෝජනාවේ අඩංගු වන වචන අනුව සලකා බලා තමන්ගේ ස්ථාවරය ගැන තීරණයක් ගන්නා බව ය. එය ඇත්තකි. රාජ්‍යයන් අතර සහයෝගයෙන් කෙරෙන කටයුතුවලදී එලෙස වචන ගැන පවා අවධානය යොමු වීම සාමාන්‍ය දෙයකි. 2013 වසරේදී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට ද ඉන්දියාවේ සහයෝගය ලබාගන්නට එහි වචනවල කිසියම් වෙනස්කම් කරන්නට සිදු වූ බව මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන්දියාවේ නිල ස්ථාවරය අනාවරණය නොවූවත් ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්විය යුතුයැ’යි කියැවෙන යෝජනාවට එරට සහාය දෙන්නට බොහෝ ඉඩ ඇති බව එංගලන්තයේ ටෙලිග‍්‍රාෆ් පුවත්පත ද පසුගිය දා වාර්තා කළේය. අපේ‍්‍රල් මාසයේ දී පැවැත් වීමට නියමිත ඉන්දියානු මහ මැතිවරණයේ දී තමිල්නාඩු ප‍්‍රාන්තයේ දමිළ ජාතික ඡුන්ද පදනම සලකා බලා කොන්ග‍්‍රස් පක්‍ෂය එවැනි තීරණයකට එළැඹීම පුදුමයක් නොවේ. අනෙක් අතට, මේ වන විට අග‍්‍රාමාත්‍ය ධුරයට පවා නාම යෝජනා වී සිටින ජෙයලලිතා ජෙයරාම්, තමිල්නාඩු මහ ඇමතිනිය ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවේ දේශපාලනයට බලපෑම් කරන මට්ටම අනුව ද ඉන්දියාව එවැනි තීරණයකට එළැඹීම පුදුමයක් නොවේ. එහෙත්, වැදගත් ම කාරණය ලෙස වාර්තා වන්නේ අමෙරිකානු යෝජනාවට සම අනුග‍්‍රාහකයකු ලෙස ඉන්දියාව සහභාගි විය යුතු බවට ඉන්දියාවේ අභ්‍යන්තර දේශපාලන බලවේග තුළින් ම එනවායැ’යි කියැවෙන තෙරපුමයි. ඒ තෙරපුමට නම්‍යශීලිභාවයක් ඉන්දීය ආණ්ඩුවෙන් ලැබුණහොත්, අමෙරිකාව සමග එක් වී ලංකාව සම්බන්ධයෙන් යෝජනාව ගෙන එන්නේ ඉන්දියාව වනු ඇත්තේ ය. එය එසේ වුවහොත් හුදු අධිරාජ්‍යවාදී වුවමනාවක් ලෙස ජිනීවා යෝජනාව පතුරු ගසන ලංකාවේ ජාතිකවාදීන්ට තම සටන්පාඨ ද වෙනස් කර ගැනීමට සිදු වනු ඇත.

ඉන්දියාව, තමන්ගේ අභ්‍යන්තර දේශපාලන වුවමනා එපාකම් අනුව ජාත්‍යන්තරයේ හැසිරීම තර්කානුකූල ය. එය ඔවුන්ගේ අයිතියකි. එහෙත්, කනගාටුවෙන් වුව ද කිව යුත්තේ, ඉන්දියාව එවැනි ස්ථාවරයකට තල්ලූ කරන්නට ලංකාවේ වර්තමාන ආණ්ඩුව ද විශාල මෙහෙයක් කර ඇති බව ය.

එකක්, ඉන්දියාව දිගින් දිගටම රැුවටීමෙනි. යුද්ධයෙන් පසු දෙමළ ජනතාවට දහතුන ප්ලස් දේශපාලන විසඳුමක් දෙන බව ඉන්දියාවට කීවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ම මිස අන් කෙනෙක් නොවේ. දහතුන ප්ලස් කෙසේ වෙතත්, උතුරු පළාත් සභා මැතිවරණය පැවැත්වීමටත් කෙතරම් කාලයක් ගත කරන ලදදැ’යි ඉන්දියාව හොඳින් දනියි. පළාත් සභා මැතිවරණය පවත්වන්නට පෙර 13වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කිරීමට හෝ බලය අඩු කොට දුර්වල කිරීමට හෝ ලංකාවේ ආණ්ඩුව ගත් උත්සාහය ද ඉන්දියාව හොඳින් දනියි. එය වැළැක්වුණේ එක් අතෙකින් ඉන්දියාව ද කළ බලපෑම් නිසා ය. පසුව අකමැත්තෙන් පැවැත්වූ පළාත් සභා මැතිවරණයෙන් විශිෂ්ට අනුමැතියක් ලද දෙමළ ජාතික සන්ධානයට දැන් ලංකාවේ ආණ්ඩුව පරිපාලනමය වශයෙන් කරන විවිධ කෙනෙහිලිකම් ද ඉන්දියාවට හොඳින් පෙනෙයි. පසුගිය දා උතුරු ප‍්‍රධාන ඇමති සීවී විග්නේශ්වරන් කීවේ ලංකාවේ ආණ්ඩුවෙන් උතුරු පළාත් සභාවට කිසිදු මෙහෙයක් සිදු නොවන බව ය. අද වනතුරුත් උතුරේ දෙමළ ජනතාවට පිළිගත හැකි දේශපාලන බලයක් ලබා දෙන්නට අසමත් වීම තුළ අප සමග තරහ වන්නට ලංකාව ඉන්දියාවට ඉතා හොඳ හේතු සපයා දී තිබේ.

දෙවනු ව, දැනුවත්ව ම, ලංකාවේ භූමියත්, ආයෝජන ඉඩකඩත්, ආණ්ඩුවේ ප‍්‍රධාන සැලකිලිත් ඉන්දියාවේ තරගකාරයකු වන චීනයට නොමසුරු ව විවෘත කිරීමෙන් ලංකාව තමා කෙරෙහි ඉන්දියාවේ සැකය හා නොපහන් බව තවත් වැඩි කරගත්තේ ය. එ පමණක් නොව ඉන්දියාව අමෙරිකාව සමග සහයෝගයෙන් වැඩ කරන තැනකට පත් කළේ ය. එකම ක්‍ෂෙත‍්‍රයේ දී චීනය හා ඉන්දියාව තරග කරන විට ලංකාව වැඩි නැඹුරුවක් දැක්වූයේ චීනය කෙරෙහි බව පසුගිය කාලයේ පැහැදිලි ව පෙනුණි.

ඉන්දියාව හා ලංකාව අතර ධීවරයන්ගේ ප‍්‍රශ්නය ද මෙතෙක් කල් පැවතුණේ එකට එක කිරීම් හැටියට ය. දෙපාර්ශ්වයේ ධීවරයන්ගේ මැදිහත් වීමෙන් දැන් කිසියම් සංහිඳියාවකට පත් ව ඇත්තා වුව ද තවමත් රටක් හැටියට ලංකාව වරින්වර එකටෙක කරනු දක්නට ලැබෙයි.

මෙනයින්, ඉන්දියාව ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක වන තැනකට තල්ලූ කරනු ලැබුවේ ලංකාව විසින් ම බව අප තේරුම් ගත යුතු වෙයි. එහෙත් තවමත් ඒ බව අවබෝධ කොට ගෙන, අසීරු අවස්ථාවක දී වුව ද පරතරය අඩු කර ගැනීමට දූරදර්ශී පියවර ගන්නට ලංකාවට වුවමනාවක් හෝ දැක්මක් හෝ තිබෙන බවක් පෙනෙන්නට නැත.