කොළඹ වරාය නගරය මහජන අවශ්‍යතාවක්ද?

කොළඹ වරාය අසල මුහුද ගොඩකර ඉදිකිරීමට නියමිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය (Colombo Port
City Project) පිළිබඳව වූ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසට විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය පෙබරවාරි දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රශ්නයක් අසනු ලැබීය. ඊට පිළිතුරුදෙමින් අග‍්‍රාමාත්‍ය දිමු ජයරත්න පැවසුවේ ඒ සඳහා ඉදිරි දිනක පිළිතුරු සපයන්නට බලාපොරොත්තු වන බවය. එම පිළිතුරු පෙබරවාරි 18 දිනට ඉදිරිපත් කරනවා නම් වඩාත් හොඳ බව එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කළේය. එහෙත් අග‍්‍රාමාත්‍යවරයා පවසා තිබුණේ පිළිතුරු ඉල්ලා ඇති බවත් ලැබුණු විගස ඉදිරිපත් කරන බවත්ය.

එම ප‍්‍රශ්නය විපක්ෂ නායකවරයා පෞද්ගලිකව දැනුම්දීමෙන් පසු ඇසූ ප‍්‍රශ්නයක් වන අර එම නිසා එම අවස්ථාවේදී අග‍්‍රාමාත්‍යවරයාට ඒ සඳහා ඉදිරිපත් කරන්නට පිළිතුරු නොතිබූ බව පිළිගැනීමට සිදුවේ. එහෙත් පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළත් කර අසනු ලබන ප‍්‍රශ්නවලටද පිළිතුරු නොදී මාස ගණන් කල් ලබාගන්නා ආණ්ඩුවක් විපක්ෂ නායකවරයාගේ ප‍්‍රශ්නයට ඔහු ඉල්ලූ දිනයට පිළිතුරු ලබාදේවියැ’යි සිතීම උගහටය. එමෙන්ම එසේ නියම දිනයේදී පිළිතුරු ලබා දුන්නද කරුණු වසන්කිරීමෙන් තොරව මේ ආණ්ඩුව පිළිතුරු ලබාදේවිද යන්නද සැකසහිතය. ඒ ආණ්ඩුව පාර්ලිමේන්තුවේදී අසනු ලබන බොහෝ තීරණාත්මක ප‍්‍රශ්නවලට නියමාකාර පිළිතුරු ලබානොදෙන බව පෙනෙන්නට තිබෙන නිසාය.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කර තිබුණේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව මාධ්‍ය ඔස්සේ විවිධ කරුණු වාර්තා වන බවද, ලංකා ඉතිහාසයේ වැඩිම බිම් ප‍්‍රමාණයක් ගොඩකිරීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකරන නිසා ලංකා ඉතිහාසයේ විශාලතම ව්‍යාපෘතිය මෙය වන බවය. ඒ නිසාම දැවැන්ත ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව ව්‍යවස්ථාදායකය (පාර්ලිමේන්තුව) දැනුවත් කරලීමත් පාර්ලිමේන්තුවේ අදහස් විමසීමත් සිදුකරන හෙයින් එම ව්‍යාපෘතියේ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසය.

රට තුළ ක‍්‍රියාත්මක වූ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කිරීම මීට පෙර සිදුවූ බවත්, ඊට උදාහරණ වශයෙන් මහවැලි සංවර්ධන ව්‍යාපාරය, ගම්උදාව, ඇඟලූම් කර්මාන්ත 200 වැඩසටහන, ඉරණවිල, සමනළ වැව, කණ්ඩලම හෝටලය, ශ‍්‍රී ජයවර්ධනපුර අගනුවර, නව පාර්ලිමේන්තු සංකීර්ණය, අධ්‍යාපන විද්‍යාපීඨ, රූපවාහිනී විකාශ ආරම්භ කිරීම, දළදා මාලිගාවේ රන්වියන හා ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය වැනි ව්‍යාපෘති හඳුන්වාදිය හැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී ප‍්‍රකාශ කර තිබුණි.

විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අසා තිබුණේ, මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට හේතුව කුමක්ද? මුහුද ගොඩකරමින් මෙම ව්‍යාපෘතිය සිදුකරන්නේ ඊට අවශ්‍ය ඉඩම් කොළඹ නගරයෙන් සොයා ගැනීමට නැති නිසාද? මෙම නගරය ඉදිකිරීම වෙනුවෙන් වැයවන සම්පූර්ණ මුදල කීයද? ඒ මුදල් සොයා ගන්නේ කෙලෙසද? ව්‍යාපෘතිය සඳහා ටෙන්ඩර් හා යෝජනා කැඳවූවාද? එසේ නම් ඒවා ප‍්‍රසිද්ධියට පත් කළ දින හා මාධ්‍ය කවරේද? එසේ නැතිනම් මේ සඳහා ආයෝජකයන් හා සමාගම් තෝරාගත්තේ කවර පදනමක් මතද? මෙම නගරය ඉදිකිරීමෙන් පසු ශ‍්‍රී ලංකා රජය කොපමණ ඉඩම් ප‍්‍රමාණයක් තම සන්තකයේ තබාගන්නවාද? ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමේ බලය පවරා ඇත්තේ කවර අධිකාරියකටද? ලබාදී ඇති බදු සහන කවරේද? ඒවා ලබාදී ඇත්තේ කවර නීතියක් යටතේද? ව්‍යාපෘතියෙන් රටට ලැබෙන වාණිජ හා ආර්ථික ප‍්‍රතිලාභ මොනවාද? මේ නගරය තුළ සාමාන්‍ය පොදු ජනතාව වෙනුවෙන් ඉදිවන හෝටල්, අවන්හල් හෝ තට්ටු නිවාස තිබෙනවාද? තිබෙනවා නම් ඒ මොනවාද? ව්‍යාපෘතිය සඳහා සිදුකරන මුහුද ගොඩකිරීම නිසා වෙරළ සංරක්ෂණයට හා පරිසරයට හානි සිදුවනවාද? පාරිසරික බලපෑම පිළිබඳව හා ව්‍යාපෘතියට අදාළ අනෙක් කරුණු පිළිබඳව පිළිගත් ආයතන මගින් වාර්තා ලබාගත්තාද? එම ප‍්‍රශ්නවලට අදාළ ව්‍යාපෘතියට සම්බන්ධ වාර්තා හා ලිපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද යන්නය.

මේ ප‍්‍රශ්න සඳහා ආණ්ඩුව විසින් ලබාදෙන පිළිතුරු කෙසේ වෙතත් පොදු මහජනයාගේ දැනගැනීම සඳහා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අප සතුව ඇති තොරතුරු හෙළිදරව් කිරීම වැදගත්යැ’යි සිතේ.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කරනු ලබන්නේ මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඒ අමාත්‍ය මණ්ඩල සංදේශ අංක MP&H/2013/21 වශයෙන්ය.

එහිදී කියන්නේ කොළඹ වරාය දේශීය සහ ජාත්‍යන්තර සබඳතා සහිත ප‍්‍රධාන කේන්ද්‍ර නගරයක් ලෙස ප‍්‍රතිරූපයක් ඇති කිරීම සඳහා මෙම වරාය නගරය නිර්මාණය කරන බවය. ඒ සඳහා හෙක්ටයාර 233ක භූමියක් ගොඩකිරීමට නියමිත බවය.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ආශ්චර්යමත් කරුණ වන්නේ ඉල්ලා නොසිටින ලද යෝජනාවක් සී/ස චයිනා කොමියුනිකේෂන් කන්ස්ට‍්‍රක්ෂන් සමාගම විසින් ශ‍්‍රී ලංකා රජයට ඉදිරිපත් කර තිබීමය. එයින් පෙනීයන්නේ ශ‍්‍රී ලංකාවට හෙවත් රාජපක්ෂ පාලනයට මේ මොහොතේ අවශ්‍ය කුමක්ද යන්න චීනය හොඳාකාරවම දන්නා බව හා ශ‍්‍රී ලංකාවේ ඉල්ලීමට පෙර ඒ සඳහා චීනය යෝජනා ඉදිරිපත් කරන බවය.

ව්‍යාපෘතිය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන අතර ආයෝජන වෙනුවෙන් ලබාදෙන බදු සහන ශ‍්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ලබාදෙනු ඇත. ඒ අනුව ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඒ සඳහා බදු සහන ලබාදී ඇත. ඒ යටතේ සංස්ථාපිත ආදායම් බද්ද හෙවත් ලාභය සහ ආදායම මත ආදායම් බදු ගෙවීම වසර 25ක කාලයකට නිදහස් කර ඇත. එමෙන්ම එම වසර 25ක කාලයකට අදාළව හා ඉන්පසුව වසරක කාලයකට අදාළව කොටස් හිමියන් වෙත ලබාදෙන ලාභාංශ, ලාභාංශ මත බද්දෙන් නිදහස් කර ඇත. මීට අමතරව රඳවා ගැනීමේ බද්ද උපයන විට ගෙවීමේ බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද ඉදිකිරීම් හා කර්මාන්ත සහතික අරමුදල් බද්ද, නිෂ්පාදන බද්ද සෙස් බද්ද, ජාතිය ගොඩනැගීමේ බද්ද, රේගු බද්ද යන බදු යටතේ ව්‍යාපෘතිය සඳහා බදු සහන ලබාදී තිබේ.

ව්‍යාපෘතිය සඳහා ගොඩ කරනු ලබන හෙක්ටයාර 233ක් වූ මුළු ඉඩම් ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 170ක ප‍්‍රමාණයක් විකිණිය හැකි ඉඩම් ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි හෙක්ටයාර 63ක ප‍්‍රමාණය පොදු පහසුකම් යටතට ගැනෙන ජල තීරුව මාවත් හා උද්‍යාන සඳහා වෙන්කර ඇත. ව්‍යාපෘතියේ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1337ක් වශයෙන් ඇස්තමේන්තු ගතකර ඇති අතර ව්‍යාපෘතිය යටතේ සුඛෝපභෝගී හෝටල්, නිවාස සංකීර්ණ, සාප්පු සංකීර්ණ, නවීනතම කාර්යාල, රුවල් නැව් මධ්‍යස්ථාන හා ධාවන පථ ඉදිකිරීමට නියමිතය.

ව්‍යාපෘති යෝජකයා වන චීන සමාගමට විකිණිය හැකි ඉඩම් ප‍්‍රමාණයෙන් හෙක්ටයාර 108ක ප‍්‍රමාණයක් ලබාදෙන අතර ආයෝජනයට අදාළ ණය මුදල පියවා ගැනීම, අලෙවි ප‍්‍රවර්ධන වියදම් හා ලාභය වශයෙන් එම ඉඩම් විකිණිය හැකිය. එමෙන්ම මෙම ව්‍යාපෘතියේ ඉඩම් වටිනාකම හෙක්ටයාරයකට ඇමරිකානු ඩොලර් මිලියන 24ක් වශයෙන් සඳහන්ය. ඒ අනුව මෙම වරාය නගර ව්‍යාපෘතිය තුළ ඇති පර්චසයක් රුපියල් ලක්ෂ 80ක පමණ මිලක් වනු ඇත.

මේ සියලූ කරුණු අනුව පැහැදිලිවන්නේ කොළඹ වරාය නගරය යනු රටේ පොදු මහජන අවශ්‍යතාවක් නොවන බව හා රාජපක්ෂ පුතුන්ගේ මෝටර් ධාවන පථ වැනි විනෝදකාමී කටයුතු සඳහා පහසුකම් සැපයීමට ඉදිකරනු ලබන ව්‍යාපෘතියක් බවය.