රාවය

බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

එල්ලන දිනයත්, නිදහස් වන දිනයත් නොදත් ඔවුහු දිනක පැය විසිහතරෙන් පැය විසිතුනහමාරක්ම අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරයක සිරවෙති. තමන් එල්ලන්නයැ’යි ඔවුහුම ඉල්ලති. බන්ධනාගාර නිලධාරියෝද, ඇමති වරයෝද කලින් කලට, මාරුවෙන් මාරුවට ඔවුන් එල්ලන්නට ඉස්තරම් කඹ ආනයනය කරති. අලූගෝසු තනතුරේ පුරප්පාඩුද පුරවති. එහෙත් නොඑල්ලති.

ලංකාවේ බන්ධනාගාර පද්ධතිය

දකින, පෙනෙන දේ තුළ නොපෙනෙන දේ මෙන්ම ඇසෙන, අසන දේ තුළ නෑසෙන බොහෝ දේද ඇත. බන්ධනාගාරය ගැනද සිවිල් සමාජය දකින දේ හා ඇසෙන දේ සහ පවතින තත්ත්වය අතර පරතරයක් පවතී. සමාජ වුවමනාවන් මත පවත්වාගෙන යන බන්ධනාගාර නඩත්තු වියදම් දරන්නේද සමාජය විසින්මය. දැනට ලංකාව තුළ ලොකු, කුඩා බන්ධනාගාර 23ක් ඇත. උසාවි ආශ‍්‍රිත සිරමැදිරි 32ක්ද එළිමහන් සිරකඳවුරු 10ක්ද ස්ථාපිතව ඇත. ඒ තුළ ආසන්න වශයෙන් සිරවුණු සිරකරුවන් ගණන 21,000කි. පසුගිය දෙසැම්බර් 31 වැනිදාට මරණීය දණ්ඩනය නියමව සිටි සිරකරුවන් ගණන 427කි. ජීවිතාන්ත සිරදඬුවම් හිමි ගණන 284කි. ඔවුන්ගෙන් අයකුට දෛනික නඩත්තු වියදම ආසන්න වශයෙන් රුපියල් 300ට වැඩි අගයකි. සිරකරුවන් සහ බන්ධනාගාරයත් පාලනය කිරීම සඳහා සිටින බන්ධනාගාර නිලධාරීන් ගණන 4500කි.

මරණ දඬුවම

මිනීමැරුම්, ස්ත‍්‍රී දූෂණ යන බරපතළ ගණයේ වැරදිවලට මෙන්ම මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් දෙකකට වඩා ළඟ තබා ගැනීම සහ එම වැරදි සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පුවීම මගින් දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වන වගන්තිය ප‍්‍රකාරව යමෙකුට මරණ දණ්ඩනය හිමිවිය හැකිය. අධිකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා විසින් නියම කරන ලද දිනයකදී නියම කරන ලද බන්ධනාගාරයකදී සහ නියමිත වේලාවකදී අදාළ වැරදිකරුවාගේ ප‍්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා තබනු ඇත.

එහෙත්, එවැනි නීතියක් හා දඬුවමක් අදටත් පැවතුණද ඒ අනුව අධිකරණයෙන් මරණ දණ්ඩනය නියම කෙරුණද වර්ෂ 1976 ජූනි 23 වැනිදායින් පසුව එල්ලා මැරුවෙක් මෙරට නැත. එදා මෙදාතුර වසර 37ක් පුරාම මරණ දඬුවම ලැබූවන්ගෙන් බන්ධනාගාර පිරුණා මිසක මරණ දඬුවම ක‍්‍රියාත්මකවීම හෝ මරණ දඬුවම නීති පොතෙන් ඉවත් කිරීම හෝ ඔවුන් නිදහස් කිරීමක් සිදු නොවීය.

මරණ දඬුවම ජීවිතාන්ත වීම

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ 34 වන වගන්තිය ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා ජනරජයේ කවර වූ හෝ අධිකරණයකදී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට සමාව ලබාදීමේ බලය ප‍්‍රකාරව එල්ලා මැරීමේ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් දක්වා පරිවර්තනය විය. ඒ අනුව මරණ දඬුවම හිමිවූවන් එල්ලන තුරු බන්ධනාගාරයට යැවුණු අතර එල්ලීමක් සිදු නොවීමත්, එවකට මරණ දඬුවම ජීවිතාන්ත සිරදඬුවමක් බවට පත්වීමත් හේතුවෙන් මරණ දඬුවම හිමිවූවන්ට වසර 4කට පසුව ජීවිතාන්ත සිරදඬුවමක් බවට ස්ථිර විය.

ජීවිතාන්ත, විසි අවුරුදු සහ නිදහස් වීම

ජීවිතාන්ත සිර දඬුවමෙන් පසුව ගෙවෙන ඉදිරි වසර 4 තුළ වැරදිකරුගේ යහපත් කල්කිරියාව මත ජීවිතාන්ත සිරදඬුවම අවුරුදු 20ක නිශ්චිත සිරදඬුවමක් බවට පරිවර්තනය කැරිණි. එම නිශ්චිත දඬුවම් කාලය තුළ සිරකරුගේ යහපත් කල්කිරියාව මත මරණීය දඬුවම හිමි නොවූ වරදකරුවකුට හිමිවන දඬුවම් කාලයට ලැබෙන දඬුවම් කාලය අඩුවීම් හිමිවිය. ඒ අනුව යහපත් කල්කිරියාව පදනම්ව වසරකට මාස 4ක කාලයක් දඬුවම් අඩුවීමකට හිමිකම් කීය. බන්ධනාගාර නීතිය අනුව සිරකරුවකුට හිමිවන සමා කාලයෙන් පසුව ‘නිදහස’ උපයා ගැනීමට මරණීය දණ්ඩනය නියම වී ජීවිතාන්ත සිරදඬුවම් ලද ඉන් අනතුරුව විසි අවුරුදු සිරදඬුවම් ලද සිරකරුවකුට අවස්ථාව යහපත් කල්කිරියාව මත උදාවිය. ඔවුන් කළ වරදට දඬුවම එල්ලා මැරීම විය. එල්ලා මැරීම නැති තැන ඔවුන් ජීවිතාන්ත සිරදඬුවමකට පරිවර්තනය විය. එතැනින් ඔවුන්ගේ යහපත් කල්කිරියාව මත පදනම්ව ඔවුන්ට නැවත වරක් ‘නිවැරදි’ වීමට අවස්ථාව හිමිවිය. කළ වරදට දඬුවම් ලබමින්ම නිවැරදිවූ ඔවුහු අවසානයේ වසර 12ත් 14ත් කාලයකදී නිවැරදිවූවකු ලෙස බන්ධනාගාරයෙන් එළියට ආවෝය.

සමාව ප‍්‍රදානය සීමාවීම

1990 දශකයේ අගභාගය වනවිට මෙරට අපරාධ රැුල්ලක් ඇති බවට සමාජ මතයක් ගොඩනැගීමත් සමග මරණීය දණ්ඩනය නියමවූවන්ට ලබා දුන් ජීවිතාන්ත සිරදඬුවම් පරිවර්තනය එවකට සිටි ජනාධිපතිවරයා විසින් නවතා දමන ලදි. විද්‍යාත්මක අධ්‍යයනයකින් තොරව මෙරට අපරාධ රැුල්ලට ප‍්‍රතිකර්මයක් ලෙස මරණ දඬුවම ලැබූවන්ට සමාව ප‍්‍රදානය කිරීමේ සීමා 1999 මාර්තු 4 වැනිදා සිට ජනාධිපති නියෝග අනුව අත්හිටුවන ලදි.

බන්ධනාගාරයේ සිටින්නේ භයානක අපරාධකරුවන්ද

බන්ධනාගාරයේ සිටින්නේ භයානක අපරාධකරුවන්ය. ඔවුන්ට නිදහස හිමි නොවිය යුතුය. බරපතළ වැරදි කළවුන් එල්ලා දැමිය යුතුය. නොඑල්ලනවුන් තව තවත් සිරකළ යුතුය. මේ සමාජයේ මතයි. එහෙත් බන්ධනාගාර සංඛ්‍යා ලේඛනවලට අනුව බන්ධනාගාර ජනගහනයෙන් අඩක්ම සැකකරුවන්ය. ඔවුන් අපරාධයක් කළ බවට සැක කරන අය විනා අපරාධය සිදුකළ අපරාධකරුවන්යැ’යි තීරණය කළ අය නොවෙති. එයින් තවත් 49%ක්ම උසාවියෙන් තමනට නියම කළ දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ අයයි. ඔවුන් බන්ධනාගාර ගතවී තිබෙන්නේ කළ සුළු වරදට නියම වූ දඩය ගෙවා ගැනීමට හැකියාවක් නොමැතිවීම නොහොත් තමන්ගේ ආර්ථික නොහැකියාව නිසාය. ඒ සිරදඬුවමක් ඔහු විඳිය යුතු නිසා නොවේ. බන්ධනාගාර ගතකරන සිරකරුවන්ගෙන් 36%කට ආසන්න පිරිසක්ම මත්ද්‍රව්‍ය ආශ‍්‍රිත වැරදිකරුවන්ය. සරල සිංහලෙන් කුඩු බොන්නන්ය. තවත් 25%කට ආසන්න පිරිසක් සුරා බදු වැරදි එනම් කසිප්පු ළඟ තබාගැනීම හේතුවෙන් බන්ධනාගාර ගතවූ අයයි. එකී නොකී සියල්ල අතරින් 46%කට වඩා වැඩි පිරිසක් සිරකරුවන් ලෙස බන්ධනාගාර ගතව සිටින්නේ මාස 6කට වඩා අඩු කාලයකි. ඒ ඔවුන් බරපතළ වැරදි කළවුන් නොවන නිසාවෙනි. රටේ සිදුවන අපරාධවලින් පොලිසියට පැමිණිලි කරන්නේ 40%කටත් වඩා අඩු පිරිසකි. ඒ පිරිසෙන් බරපතළ අපරාධ ගැන සැකකරමින් අධිකරණය හමුවට ගෙන ආවද අධිකරණයෙන් වැරදිකරුවන් වනුයේ 4%කි. නිදොස් කොට නිදහස් වන ඉතිරි 36% දෙනා අතර ස්ත‍්‍රී දූෂක අකුරැස්සේ සාරුවා සුනිල්ලාද, තංගල්ලේ සම්පත් විදානපතිරණලාද, දුමින්ද සිල්වලාද සිටිය හැක. මෙවැනි වටාපිටාවක බන්ධනාගාරයේ සිටිය යුතු අය වැඩිදෙනෙකු එළියේ සිටින්නේත්, එළියේ සිටිය යුතු අය බන්ධනාගාරයේ සිටින්නේත් ඒ නිසාය.

බන්ධනාගාර තදබදය හා සිරකරුවන්

ලංකාවේ ඉපැරණි පාදඩ, සුරාබදු, මෝටර් රථ, වන අපරාධ, සත්ව හිංසාව, ගිනි අවි ආදී ආඥා පනත්ද 1986 වසරේදී පැනවූ අන්තරාය ඖෂධ පාලක පනත වැනි ‘ව්‍යවස්ථාපිත වැරදි’ පදනම් කරගෙන අතිවිශාල පිරිසක් බන්ධනාගාර ගතකිරීම සමාජයට අවශ්‍ය අපරාධ යුක්තිය ඉටුකිරීම ලෙස සෑහීමකට පත්විය නොහැකිය. බන්ධනාගාරය තමන්ට දරාගත නොහැකි පිරිසක් දරා ගැනීමට සිදුවීම ‘බන්ධනාගාර තදබදය’ ලෙස අර්ථ දැක්විය හැක. මේ තදබදය සඳහා විසඳුම් සෙවීමට පාලකයන් හා සිවිල් සමාජය සාර්ථක උත්සාහයක් නොගත් බව පැහැදිලිය. එහි හානිකර හා පීඩාකාරී ප‍්‍රතිඵල භුක්ති විඳීමට සිදුව ඇත්තේ බන්ධනාගාර තුළ රඳවා සිටින සිරකරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලටය. ඒ ඔවුන් සමාජය තුළ දුර්වල කණ්ඩායමක් වන බැවිනි. නිදහස හෝ දඬුවම හිමි නොවන තැන එම පීඩනයේ උච්චතම අවස්ථාව දිවි තොර කරගැනීමය. නැතිනම් පැනයෑමය. එහෙත් ඒවා අමතක කිරීමට පහසුම මග මත්වීමය. ඒ සඳහා අවශ්‍ය පහසුකම් බන්ධනාගාරය තුළම එමට ඇත. මත්වීමෙන් බන්ධනාගාරය තුළින් ඉටුවිය යුතු නිවැරදි වීම සිදු නොවනු ඇත. බන්ධනාගාරයට ආ සිරකරුවා නැවත නැවත වරදෙහිම බැඳෙමින් බන්ධනාගාරය තුළම සිටිනු ඇත. ඔවුන් අතරින් ‘මදනි’ හෙවත් ‘මරණ දණ්ඩනය නියමවූවන්ගේ’ තත්ත්වය ඊටත් වඩා අන්ත දුක්ඛිතය. ඔවුන්ට දඬුවමද හිමි නැත. නිදහස්වීමද හිමි නැත. ජීවිත බලාපොරොත්තුවක් නැති ඔවුහු සිරගෙයින් පැනයන්න උත්සාහ දරති. බැරි තැන ජීවිතයෙන් පැන යන්න උත්සාහ දරති. ඒ දෙකම නැති තැන සියල්ල පහසුවෙන් අමතක කරන්න ඔවුහු මත්වෙති. ඒ පීඩනයේ උච්චතම අවස්ථාව පසුගියදා බෝගම්බර සිරගෙදර වහළට නැගි මරණීය දණ්ඩනය නියමවූවන්ගෙන් පුපුරා ගියේය.

මතු සම්බන්ධයි