රාවය

නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදාවේ අනුඛණ්ඩයක් – නීතිඥ සුනිල් වටගල

නාගරික සංවර්ධන අධිකාරිය යුද හමුදාවේ අනුඛණ්ඩයක් – නීතිඥ සුනිල් වටගල

ආණ්ඩුව මේ දිනවල ශීඝ‍්‍ර ලෙස කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගනිමින්ඉන්නවා. එයින් ආණ්ඩුව ඔප්පු කරනවා ඔවුන්ට ඕනෑම ඉඩමක් ලබාගත හැකියි කියලා. ඒ අයිතිය ආණ්ඩුව සතුද?

රටේ ඕනෑම තැනක ඕනෑම ඉඩමක් අත්පත් කරගැනීමේ නීතිමය බලය ආණ්ඩුවට තියෙනවා. හැබැයි ඒක හිතුමතේට ඕනෑ ඕනෑ විදිහට කරන්නත් බැහැ. ඒවාට අදාළ අණපනත් තියෙනවා. ඒවා පිළිපැදිය යුතුමයි. රජයේ ඉඩම් අත්පත් කරගැනීමේ ආඥා පනතක් තියෙනවා. එම පනතේ 2-1 වගන්තියත් 9-1 වගන්තියත් 10-1 වගන්තියත් අනුව කළයුතු පූර්ව ක‍්‍රියා රාශියක් තියෙනවා. ඒවා විධිමත්ව සිද්ධ කළායින් පසුවයි මේ ඉඩම් අත්පත් කරගතයුතු වන්නේ.

එහෙත් ඔබ අපි කතා කරන කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගැනීම මීට සපුරාම වෙනස්. ඒ තුළ නීතිමය රාමුවක් නැහැ. බලහත්කාරකමක් තියෙන්නේ. අද නාගරික සංවර්ධන අධිකාරිය තමයි කොළඹ නගරයේ ඉඩම් අත්පත් කරගන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය නෙමෙයි ඉඩම් අත්පත් කරගත යුත්තේ ඉඩම් අමාත්‍යාංශයයි. ඒ සඳහා අනුගමනය කළයුත්තේ ඉඩම් අත්පත් කරගැනීමේ ආඥා පනත මිසක් හමුදා බලතල නෙමෙයි.

ඉඩමක් අත්පත් කරගැනීමේදී මූලිකව සැලකිල්ලට ගතයුතු කරුණු මොනවාද?

භූමියට තියෙන අයිතිය සැලකිල්ලට ගතයුතු වෙනවා. ඔවුන්ට භූමිය පිළිබඳ සින්නක්කර අයිතියක් තියෙනවා නම් සින්නක්කර අයිතියට අදාළව නිසි තක්සේරුවක් ඔවුන්ට ලබාදිය යුතු වෙනවා. ඒ සඳහා පිහිටුවා ගත් තක්සේරු දෙපාර්තමේන්තුවක් තියෙනවා. ඒ හරහා ඒ දේ කළ හැකියි. ඒ තක්සේරුවට අනුව නිසි වන්දි ප‍්‍රදානයක් පිළිබඳ සැලකිල්ලට ගත යුතුයි. ඊට අමතරව ස්ථිර ගොඩනැගිල්ලක් නම් ඒ ගොඩනැගිල්ලේ අලාභ හානිය සම්බන්ධව සැලකිල්ලට ගතයුතු වෙනවා. ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ආඥා පනතේ 9 සහ 10-1 වගන්තිවල නිරවුල්ව දක්වලා තියෙනවා. මේ මුකුත් නැතිව අද රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා බව පවසමින් නාගරික සංවර්ධන අධිකාරී පනත, ඊට අමතර අණපනත් කිහිපයක් හරහා මේ පවරා ගැනීමේ කටයුත්ත කරනවා. ඒ අනුව ඉතාම පැහැදිලියි මේ පවරා ගැනීමේ කටයුත්ත පරිබාහිරව සිද්ධ වෙන බව. ඒකෙත් නරක තත්ත්වය අද නාගරික සංවර්ධන අධිකාරිය යනු යුද හමුදාවේ අණුඛණ්ඩයක් බවට පත්ව තිබීමයි. ඒ අනුව අද ඉඩම් අත්පත් කරගැනීම සිද්ධවෙන්නේ හමුදා බලඅධිකාරිය මගින් කියලා පැහැදිලිව කියන්න පුළුවන්.

ඒ සඳහා ඔවුන්ට බලය තියෙනවා නේද?

බැලූ බැල්මට එහෙම වුණාට එහෙම නැහැ. ඔය තත්ත්වය පැන නගින්නේ 2013 ජූලි 3 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් සම්මත කරපු ගැසට් පත‍්‍රයක් හින්දයි. 1817 කියන ගැසට් නිවේදනයට අනුව හැකියාව තියෙනවා කියලා මුළු දිස්ත‍්‍රික්ක විසිපහටම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාවට මැදිහත් වෙන්න. ඒ මැදිහත්වීම සිද්ධ කරන්න පුළුවන් වෙන්නේ මේ ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂණ පනතේ 12 වගන්තියට අනුවයි. හැබැයි මේ 12 වැනි වගන්තිය කියවලා බලපුවාම ඒ තුළ තියෙන්නේ වෙන අර්ථකථනයක්. ඒ තමයි යම්කිසි ප‍්‍රදේශයක ඇතිවන අවුලක් විසඳීමට එම ප‍්‍රදේශයේ පොලිසිය අසමත් නම් අන්න ඒ තැනට හමුදාවට යා හැකියි. හැබැයි දැන් වෙන්නෙ පොලිසිය අහක. හැමදේම කරන්නේ හමුදාව. අද ආණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව ඕනෑම තැනකට හමුදාව ඇතුළු කරනවා. ඒ ගිහින් ජනතාවට හමුදාවම කියනවා මේ ඉඩම් අත්පත් කරගන්න යන්නේ කියලා. ඒ වෙනුවෙන් වෙනත් නිවාසයක් දෙනවා කියලා. පොලිසිය බැටන් පොල්ලක් අරගෙන ගිහින් රාජකාරිය කරන තැන හමුදාව තුවක්කු අරගෙන ගිහින් කරනවා. මේක නරක තත්ත්වයක්.

මේ ක‍්‍රමවේදය කොළඹ නගරය පුරා සිද්ධ වුණා නේද?

ඔව්! මේක කොම්පඤ්ඤවීදියේ වුණා. ඇපල්වත්තේ වුණා. උතුරු කොළඹ වුණා. බේස්ලයින් මාවතේ වුණා. අද දෙමටගොඩට ඇවිත් තියෙනවා. හෙට ඕන තැනක සිද්ධවෙන්න පුළුවන්.

මොනතරම් නීතිවිරෝධී කීවත් මේ කටයුත්ත ආණ්ඩුව පහසුවෙන් කරනවා නේද?

කොම්පඤ්ඤවීදියේ නිවාස කැඩුවා. ඇපල්වත්ත නිවාස කැඩුවා. ඊට පස්සේ තමයි අභියෝග කළේ. ඒ වුණත් අධිකරණයෙන් මහා සාධාරණයක් වුණේ නැහැ. මෙන්න මේ තත්ත්වය බොරැුල්ල වනාතමුල්ලටත් එනවා. එතනදි ජනතාව සිද්ධියෙන් පස්සේ ක‍්‍රියාකිරීම හරහා ප‍්‍රතිඵල නැති හින්දා සිද්ධියට පෙර ක‍්‍රියා කරන තත්ත්වයට අද පත්වෙලා තියෙනවා. ඒක හොඳ ප‍්‍රවණතාවක්.

අපි වනාතමුල්ලේ ස්වභාවය කතා කරමු.

බොරැුල්ල වනාතමුල්ලේ ප‍්‍රදේශයෙන් අක්කර 72ක භූමියක් අත්පත් කරගන්න නියමිතයි. මේ විශාල භූමි ප‍්‍රදේශයක්. ඒ තුළ නිවාස 2500-3000 අතර තියෙනවා. මේ නිවාස ප‍්‍රමාණයෙනුත් අතිමහත් සංඛ්‍යාවක් ස්ථිර ඔප්පු තියෙන නිවසේ වටිනාකම මිලියන 10-20 වටිනාකමින් යුක්ත නිවෙස්. මේ අක්කර 72 සීමාව තුළ ස්ථිර ඔප්පු සහිත නිවාසවලට අමතරව රජයේ ඔප්පු ලද නිවාස තියෙනවා. මේ දෙකටම නැති කුටුම්බපත්ලාභීන් ඉන්නවා. ඒ කිසිවක්ම නැති අනවසර කියන පිරිස පවා වසර 30-40ක් මෙහි ජීවත් වූ අයයි. එතකොට මේ ප‍්‍රදේශය අත්පත් කරගන්න යන්නේ සතයක වන්දියක් නොදී බලහත්කාරයෙන් නීතිමය රාමුවෙන් පිටයි. ඕක තමයි වනාතමුල්ල තත්ත්වය. ඊට එරෙහි වනාතමුල්ල ජනතාව අද ඒකරාශී වෙලා ඉන්නවා.

රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා ඉඩම් අත්පත් කරගන්නේ නම් ඒ සංවර්ධන කටයුත්ත කුමක්ද කියලා දැනගැනීමේ අයිතිය ජනතාවට නැද්ද?

අවුරුදු ගාණක් පරම්පරා ගණනාවක් දිවි ගෙවපු භූමිය ඒ මිනිස්සු ඉවත් කරලා රජයට ගන්නවා නම් ඒ ඇයි කියලා දැනගැනීමේ සදාචාරමය අයිතියක් ඒ ජනතාවට තියෙනවා. මේ ජනතාව කොයිම මොහොතකවත් සංවර්ධනයට විරුද්ධ නැහැ. හැබැයි ඒ මොන සංවර්ධනයටද? එහෙම සංවර්ධනයකට යොදා ගන්නවා නම් දැනට ඔවුන් සතු දේපළවල වටිනාකමට වන්දි ඒ අය බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයි. මේ ගෙවල් එකවර ගොඩ නැගුණු දේවල් නෙමෙයි. වසර ගණනාවක් මහත් වෙහෙසක් දරලා ගොඩනගපුවා. එහෙමනම් ඒවා අතහරින්නේ ඇයි කියලා මිනිස්සු දැනගන්න ඕනෑ. ඒවා ලබාගන්නේ ඇයි කියලා ආණ්ඩුව දැනුවත් කරන්න ඕනෑ. පැහැදිලි ක‍්‍රියාවලියක් නම් මේ කිසිවක් සඟවන්න වුවමනා නැහැ.

ජනතාවගෙන් ලබාගන්න නිවසට නිවසක් ලබාදෙන බව ආණ්ඩුවේ පොරොන්දුව එය ප‍්‍රමාණවත්ද?

එහෙම වෙන්න බෑ. මුලින් කී නීති රාමුවට ආඥාවන්ට අනුවයි ඉඩම් අත්පත් කරගතයුත්තේ. ඒක තමයි ක‍්‍රමවේදය. මිලියන 10-20 වටිනා නිවසක් කඩාබිඳ දමලා පිටින් ගත්තාම වර්ග අඩි 380ක් වන ඇතුළතින් ගත්තාම වර්ග අඩි 350ක් විතර වන නිවසක් දෙනවා කියනවා. ඒකත් මූලිකව ලක්ෂයක් ගෙවලා ඉතිරිය අවුරුදු විස්සක් යන තෙක් රුපියල් 3960ක් මාස්පතා ගෙවන්න කියනවා. එතකොට මේක හතර බීරි කතාවක්නේ. මිලියන ගණන් වටිනා මේ ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අරගෙන මේ අයට පුංචි නිවසක් දෙනවා මේක මිලදී අරගෙන මේකට ගෙවන්න කියලා. මේ මානුෂික අයිතිය එහෙම පිටින්ම අතඇරලා දාලානේ.

මොන නීති කතා කළත් අවසාන තීන්දුව ආණ්ඩුවේ තීන්දුව බවට පත්වෙලා. මේ බලහත්කාරකමට ජනතාව බයවෙලා නේද?

හමුදාව මේ ක‍්‍රියාවලියට අතගැසීම හරහා ඔබ කියන බය ඉබේම ඇතිවෙනවා. ආරක්ෂක ලේකම්තුමා කියන්නේ අහවල් දවසට පෙර ගියේ නැත්නම් බලෙන් යවනවා කියලා. කොම්පඤ්ඤවීදිය, ඇපල්වත්ත, බේස්ලයින් මේ හැමතැනකම අවසානයේ කඩන බව ඔප්පු කළා. එහෙම කියලා ඕනෑම දෙයක් වෙන්න දීලා නිහඬව සිටිය යුතුද කියන පැනය අපි අතරේ තියෙනවා. කවුරුහරි විශාල ගලකට සියපාරක් ගැහැව්වොත් කැඩෙන බව දැනගෙන පහර දෙනවා නම් සියවෙනි පාරෙන් නොකැඩුණහොත් ඊළඟ පහර නොගහා ඉන්නවද? නැහැනේ. මේ නීත්‍යනුකූල නොවන ඩෝසර් කිරිල්ලට එරෙහිව ජනතාව නැගී සිටිය යුතුයි.

ඊට ජනතාවට උදව් අවශ්‍යයි නේද?

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ඒ සඳහා උදව් කරන්න බැඳිලා ඉන්නවා. ඒක ජනතාවට ලොකු හයියක්. මොකද අපිට එකම පිහිට නීතිය. ඒ හරහා සාධාරණයක් අපි බලාපොරොත්තු වෙනවා.

ආණ්ඩුව මේ හැම තැනකදීම මතුකරන ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි ‘අනවසර පදිංචිකරුවන්’ බව. අනවසර පදිංචිකරුවන් කියන එක ඕනෑම තැනක් ඩැහැගන්න ප‍්‍රමාණවත්ද?

අපි වනාතම ගනිමුකෝ. ආණ්ඩුව කියන විදිහට අනවසර අය පැත්තකින් තියමු. ඒ අයගේ නිවාස විතරක් කඩමු. එතකොට අනෙක් නීත්‍යනුකූල අයට ඉන්න ඉඩ තියෙනවාද? බොරුවක්නේ. මේ කරගෙන යන ක‍්‍රියාවලියම නීති විරෝධීයි. ඒ තුළ අවසරද අනවසරද ප‍්‍රශ්නයක් නැහැ. ඔක්කොම ඩෝසර් වෙනවා.

මේ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වගේම සුළු ව්‍යාපාරිකයන් ඉන්නවා. මේ ඉවත් කිරීම් හරහා ඔවුන්ගේ පැවැත්ම අඩාල වෙනවා.
මේ ඉවත් කිරීම නීත්‍යනුකූලව සිද්ධ වෙනවා නම් එවැනි අයට ‘කරුණාසහගත දීමනාව කියලා දීමනාවක් ලැබෙනවා. ව්‍යවස්ථාපිත වන්දි මුදල්වලට අමතරව තමයි කරුණාසහගත දීමනාව දෙන්නේ. මෙය ප‍්‍රධාන තක්සේරු විසින් තීන්දු කරනවා. මූලික වන්දියක් වත් නැතිව කරන ක‍්‍රියාවන්ට කරුණාසහගත දීමනා ලබාදෙන්නැ’යි කීම විහිළුවක්.

මේ තත්ත්වය වෙනස් කරගැනීම සඳහා කුමක් කළයුතුද?

මේ සඳහා ජනතා පෙළගැසීමක් අවශ්‍යයි. උගත්, බුද්ධිමත් පිරිසගේ මැදිහත්වීම අවශ්‍යයි. විශේෂයෙන් නීති පැත්තේ සහය අවශ්‍යයි. ඒ සඳහා නීතිඥ සංගමය පෙරමුණ අරගෙන තියෙනවා. ඕනෑම දෙයක් කරන ක‍්‍රමවේදයක් තියෙනවා. ආණ්ඩුවට ඕනෑම ඉඩමක් ගන්න බලය තියෙනවා. හැබැයි ඒ බලය පාවිච්චි කරන නීතිමය රාමුවකුත් තියෙනවා. එහි පිහිටා ක‍්‍රියා කළ යුතුවා සේ ම එසේ නොවන්නේ නම් මේ ජනතාව මෙහිම සිටිය යුතුය කියන තැනයි අපි ඉන්නේ. ඒ වෙනුවෙන් ජනතාවද පෙළගැසිය යුතුයි. කොම්පඤ්ඤවීදිය, ඇපල්වත්ත, බේස්ලයින් පාර, වෙච්ච දේ තොටළඟ මෙන්ම ඔබ ජීවත් වන භූමියටත් අත්වෙන්න පුළුවන්. ඒ නිසා මෙයට විසඳුමක් ඕනෑ කියන තැන අපි ඉන්නවා.