රාවය

ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

ලංකාවේ නායකයන්, සිය රටේ ජනතාවට හා රටවලට එරෙහිව කරන එදිරිවාදිකම්වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතුයැ’යි ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා ලංකාවේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු නවදිල්ලියේදී හමුවූ අවස්ථාවකදීය.

එළැඹෙන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉන්දියාව කෙසේ කටයුතු කරනු ඇත්දැ’යි දැනගැනීමට ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

එහිදී තවදුරටත් ඔහු කියා ඇත්තේ, ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඉන්දියාවේ සහයෝගය ලබාගැනීමට අවශ්‍ය නම්, රට තුළ සංහිඳියාව ඇතිකිරීම සම්බන්ධයෙන් ලංකාව යම් කාර්යභාරයක් ඉටුකළයුතු බවය.

‘ලංකාව වුවමනාවට වඩා හැඟීම්බර නොවිය යුතුයි. එසේම ලෝකයත් වුවමනාවට වඩා ප‍්‍රතිචාර නොදැක්විය යුතුයි. කල් පවත්නා සාමයක් ඇතිකිරීමට අවශ්‍ය වන දේවල තුලනයක් පවත්වාගැනීමට ලංකාව සැලකිලිමත් විය යුතුයි. ඔබ තෝරාගතයුතු එකම මඟ මේක යැයි බලකරන්නට අප කිසිවකුට බැහැ. අපට කළ හැක්කේ ඒ සඳහා තිබිය හැකි මාර්ග ගැන පෙන්වාදීම පමණයි. අප නිශ්චිතව යමක් කිවහොත්, එනයින්ම අප ඔබට උදව්කිරීමේ හැකියාව දියාරු කරගන්නවා. ඔබට උදව්කිරීමට නම්, ‘මෙන්න ලංකාව කර ඇති දේ’ යනුවෙන් අපට ලෝකයා ඉදිරියේ කිව හැකි දෙයක් ඔබ කළ යුතුයි. ලෝකයේ බොහෝ රටවලට හේතුව තේරුම්ගන්න පුළුවන්. අප ඔවුන්ට හේතුව පැහැදිලි කළ යුතුයි.’ ඔහු පවසා තිබේ.

‘අපි විවිධ මාර්ග සොයාගෙන අපේ කැපවීම, අපේ සීමා හා අපේ ධාරිතාව ගැන ලෝකයට කියා ඔවුන් අප ගැන තේරුම්ගැනීම බලාපොරොත්තු විය යුතුයි. එසේ නැතිව සමාවට කාරණා වත්, අප වගකිවයුතු නැති බව වත්, පලායෑමක්වත් ගැන නොකිව යුතුයි.’ කුර්ෂිඞ් මහතා පවසා තිබේ. තම රට සිටින්නේ අසීරු හා තීරණාත්මක මැතිවරණ කාලයක බවත්, එවැනි කාලයක ජනතාවට යමක් තේරුම් කිරීම අපහසු දෙයක් බවත් කුර්ෂිඞ් මහතාගේ අදහසයි.

වීසා පහසුකම ලංකාවට නැහැ

පසුගියදා ඉන්දියාව සිය රට තුළට පිවිසෙන සංචාරකයන්ට ඉන්දීය දේශසීමාවේදී ක්‍ෂණික වීසා ලබාගැනීමේ පහසුකම් රටවල් එකසිය අසූවකට බලපාන සේ පුළුල් කලේය. රටේ සංචාරක කර්මාන්තය නැංවීමේ අරමුණෙන් මේ තීරණය ගත් බව ඉන්දීය සැලසුම් ඇමති රජීව් ශුක්ලා මාධ්‍යයට පවසා තිබිණි. ඒ වන තුරු ඉන්දියාවට පිවිස වීසා ගැනීමේ පහසුකම් සපයා තිබුණේ පින්ලන්තය, පිලිපීනය, සිංගප්පූරුව සහ ජපානය ඇතුළු රටවල් එකොළහකට පමණකි.

එහෙත් ලංකාව මේ වීසා පහසුකම පුළුල් කළ රටවල් 180 අතර නැත. ලංකාව ඇතුළුව මේ වීසා පහසුකම ලැබී නොමැති අනෙක් රටවල් වන්නේ, පකිස්තානය, සුඩානය, ඇෆ්ගනිස්තානය, ඉරාකය, ඉරානය, නයිජීරියාව සහ සෝමාලියාවයි. ඒ ගණන අටකි. මේ රටවලට ක්‍ෂණික වීසා පහසුකම නොදීමට හේතු ඉන්දියාව පැහැදිලි කර නැති නමුත්, රටවල් ලැයිස්තුව සලකන විට ඒවා බොහොමයක්, ඉන්දියාව සමග එදිරිවාදිකම් පවත්වන හෝ ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් වන හෝ අමෙරිකාව විසින් විවිධ සම්බාධකයන්ට යටත්කොට තිබෙන හෝ ලෝකයේ අපරාධකාරී රටවල් ලෙස නම් දරා තිබෙන හෝ රටවල් බව පෙනෙයි. ඒ ගොඩෙහිම ලා ලංකාව සැලකීමෙන් ඉන්දියාව ලංකාව කෙරෙහි දක්වන මිතුරුකමේ තරම පිළිබිඹු වන බව පැහැදිලියැ’යි දේශපාලන විචාරකයෝ කියති.

මේ තත්ත්වය විශේෂයෙන් ඉන්දියාව හා ලංකාව අතර ව්‍යාපාරික ගමන්වල යෙදෙන ලංකාවේ ව්‍යාපාරිකයන්ට අහිතකර ලෙස බලපා තිබේ. ඒ බව ඉන්දීය කර්මාන්ත සංසදයද පිළිගනියි. ඉන්දීය කර්මාන්ත සංසදයේ දකුණු හා මධ්‍යම කලාපය භාර අධ්‍යක්‍ෂ මනීස් මෝහන් මහතා ලංකාවේ මාධ්‍යකරුවන් පිරිස හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කර ඇත්තේ දෙරට අතර ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීමට මෙම තීරණය අහිතකර ලෙස බලපානු ඇති බවයි. විශේෂයෙන් ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුම (සීපා) ක‍්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් තිබෙන අවස්ථාවක මෙවැනි තත්ත්වයක් ඇතිවීම නරක දෙයක් බව මෝහන් මහතා පැවසූ බවද මාධ්‍ය වාර්තා කරයි.

සමස්ත ඉන්දීය සංචාරක ආයතන සම්මේලනයේ විධායක කමිටුවේ බෂීර් අහමඞ් බීබීසීයට පවසා තිබුණේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය වැනි රටවලට වීසා පහසුකම ලබානොදීම කෙසේ වෙතත් ලංකාවට එම පහසුකම සැලසීම ඉන්දීය සංචාරක කර්මාන්තයට හා ආර්ථිකයටද උපකාරයක් බවයි.

‘විවිධ අරමුණු මත බොහෝ ලාංකිකයන් ඉන්දියාවට එනවා. සාප්පු සවාරිවලට, නෑදෑයෝ බලන්න, බෙහෙත් ගන්න ආදී වශයෙන්. ඔවුන්ටත් දේශසීමාවේදී සංචාරක වීසා සැපයීම අපේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු වෙන්න උපකාරි වෙනවා.’ අහමඞ් පවසයි. ඒ අතර නවදිල්ලියේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ප‍්‍රදීප් කාරියවසම් බීබීසීයට පවසා තිබුණේ වීසා නිකුත්කිරීමේ ප‍්‍රතිපත්තිය තීරණය කිරීම ඒ ඒ රටේ අභ්‍යන්තර කාරණයක් බවයි.

යුරෝපා සංගමයත් ලංකාවට එරෙහිව

ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ස්වාධීන සහ විශ්වාසදායී පරීක්ෂණයක් සඳහා එළැඹෙන මාර්තු මානව හිමිකම් සැසියේදී ක‍්‍රියාකාරීව සහය පළ කරන බව යුරෝපා සංගමයද කියයි. බෙල්ජියමේ බ‍්‍රසල්ස්හිදී රැුස්වූ යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී යුරෝපා සංගමය ක‍්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමට යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ කවුන්සිලය මෙලෙස රැුස්වී තිබේ.

මේ අතර දෙමළ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්ඩායම නමැති බි‍්‍රතාන්‍ය සංවිධානය පසුගියදා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් හමුවී ලංකාවට එරෙහි යෝජනාව ගැන බි‍්‍රතාන්‍යයේ සහාය ලබාගැනීම සඳහා දැනුවත් කිරීමක් කරඇතැ’යිද වාර්තා විය. එහිදී තමන් මීට පෙරද ඉල්ලා ඇති ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් ඇතුළු නිලධාරීන්ට රටවලට ඇතුළුවීමට නොහැකිවන සංචාර තහනමක් හා විවිධ රටවල තිබෙන ඔවුන්ගේ වත්කම් හා දේපළ තහනම් කිරීමේ පියවරක්ද යෝජනාවට ඇතුළු කරන ලෙස දෙමළ සර්ව පාක්‍ෂික පාර්ලිමේන්තු කණ්ඩායම බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා තිබේ. තවත් ප‍්‍රමාද කිරීමකින් තොරව එක්සත් ජාතීන්ගේ නිර්දේශ ලංකාවේ ක‍්‍රියාත්මක කරන ලෙස ලංකාවට බලකෙරෙන කොන්දේසි යෝජනාවට ඇතුළු කළ යුතු බව මේ කණ්ඩායමේ අදහසයි.

මාධ්‍ය නිදහසෙන් ලංකාව තවත් පහළට

දේශසීමා රහිත මාධ්‍යවේදියෝ (Reporters Without Borders) ජනමාධ්‍ය සංවිධානය විසින් 2014 වර්ෂයට අදාළ ලෝක ජනමාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකය (World Press freedom Index ) දැන් එළිදක්වා තිබේ. එහිදී රටවල් 180ක ජනමාධ්‍ය නිදහස, මාධ්‍යවලට එරෙහි මර්දනය හා ඊට අදාළ කරුණු සැලකිල්ලට භාජනය කොට තිබේ. එම රටවල් 180 අතුරෙන් ලංකාවට ලැබී ඇත්තේ 165වැනි ස්ථානයයි. 2013 වසරේ දර්ශකයේ ලංකාව සිටියේ 163වන ස්ථානයේය.

හතරවැනි වරටත් එහි පළමු ස්ථානය ලබාගෙන ඇත්තේ පින්ලන්තයයි. දෙවැනි හා තෙවැනි තැන් හිමිකරගෙන ඇත්තේ නෙදර්ලන්තය හා නෝර්වේය. පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීද දර්ශකයේ අවසන් හෙවත් නරකම ස්ථානයේ පසුවන්නේ එරිත‍්‍රියාවයි. කෙසේ වෙතත්, ලංකාව මානව අයිතිවාසිකම් සම්බන්ධයෙන් බලවත් අර්බුදයකට මුහුණ දී සිටින මේ අවස්ථාවේදී මාධ්‍ය නිදහස ක‍්‍රමයෙන් දුර්වල වන තත්ත්වයක එය සිටින බව තහවුරු කරන ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයද රටට අහිතකර ලෙස බලපාන බව කිවයුතු නැත.

සාක්‍ෂිකරුවන් රකින පනත ලහිලහියේ

ජාත්‍යන්තර සමාජය හා ලංකාවේ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම විසින් වහා නීතිගත කළ යුතුයැ’යි නිර්දේශකොට ඇති සාක්‍ෂිකරුවන් ආරක්‍ෂාකිරීමේ පනතට අදාළ කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් කෙටුම්පත්කොට මීළඟ පියවර සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත යැවීමට සූදානම්ව පවතින බව වාර්තාවෙයි. යුද්ධයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධ පරීක්‍ෂණවලදී ඒවායේ සාක්‍ෂි දෙන සාක්‍ෂිකරුවන්ගේ හා වින්දිතයන්ගේ ආරක්‍ෂාව සඳහා මෙවැනි නීතියක් තිබීමේ අවශ්‍යතාව ගැන ලංකාව තුළින් මෙන්ම විදේශ රටවල්වලින්ද අවධාරණයන් කෙරුණු අතර ලංකාවේ ආණ්ඩුව එවැනි නීතියක් ඇතිකිරීම වුවමනාවෙන්ම මෙතෙක් පැහැර හැරියේය. මෙම පනත් කෙටුම්පත ආණ්ඩුව සාමාන්‍යයෙන් හැඳින්වූයේ ‘හදිසියේ කළ නොහැකි කාර්යයක්’ ලෙසය. කෙසේ වෙතත් එළැඹෙන මාර්තුවේදී උද්ගතවිය හැකි නරක තත්ත්වයන් සලකා බලා මේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙනඒමට ආණ්ඩුව ක‍්‍රියාකරමින් සිටින බව වාර්තාවෙයි.

නඩුවලදී සාක්‍ෂිදෙන පුද්ගලයන්ට හා වින්දිතයන්ට ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් ඇතිවුවහොත් එම තර්ජනයේ තරම සැලකිල්ලට ගෙන ඔහුට හෝ ඇයට ආරක්‍ෂාව සැපයීම සඳහා ක‍්‍රියාතත්මක වන සාක්‍ෂිකරුවන්ගේ ආරක්‍ෂාව සඳහාවූ මධ්‍යස්ථානයක් රජය විසින් පිහිටුවීමට මෙම පනතින් විධිවිධාන සැලැස්වෙයි.

පබා විනාඩි 140ක්ම පාර්ලිමේන්තුවේ

2012 මැයි සිට 2013 අගෝස්තු දක්වා මාස 15ක කාලය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි උපේක්‍ෂා ස්වර්ණමාලි පාර්ලිමේන්තුව තුළ පලදායක කටයුතුවලට වැයකර තිබෙන්නේ විනාඩි 140ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ ක‍්‍රියාකාරකම් ගැන විමර්ශනය කරන ප්බඑයරසගජදප වෙබ් අඩවිය කියයි.

වෙබ් අඩවියේ නිරීක්‍ෂණයන්ට අනුව, ආණ්ඩුවේ පිරිමි මන්ත‍්‍රීවරුන් සමස්තයක් ලෙස විනාඩි 1525ක් ව්‍යවස්ථාදායක කටයුතුවලට සහභාගිවන විට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරියන් ඒ සඳහා වැයකොට ඇත්තේ විනාඩි 608කි. විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විනාඩි 1037ක් එම කටයුතු සඳහා වැය කරන විට විපක්‍ෂයේ මන්ත‍්‍රීවරියන් වැයකොට ඇත්තේ විනාඩි 409කි.

ඒ අතර එම වෙබ් අඩවිය ලංකාවේ පාර්ලිමේන්තු කටයුතුවලදී සක‍්‍රියම මන්ත‍්‍රීවරයා ලෙස හඳුන්වන්නේ රවි කරුණානයක මහතාය. පිළිවෙලින් බුද්ධික පතිරණ, දයාසිරි ජයසේකර, දිනේෂ් ගුණවර්ධන හා අනුර කුමාර දිසානායක අදාළ කාලය තුළ වඩාත් සක‍්‍රිය ලෙස ව්‍යවස්ථාදායක කටයුතුවලට සහභාගිවූ මන්තී‍්‍රවරු පස්දෙනා වෙති. පාර්ලිමේන්තුවේ අඩුම දායකත්වයක් දක්වා ඇති මන්ත‍්‍රීවරයා වන්නේ අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පීඑච් පියසේනය. ඔහු හැරුණු විට පිළිවෙලින් අම්පාර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆයිසාල් කාසිම්, මාතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේමාල් ගුණසේකර, කොළඹ දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දුමින්ද සිල්වා හා වන්නි දිස්ත‍්‍රික් මන්ත‍්‍රී මුතාලි ෆාරුක් අඩුම දායකත්වයක් දැක්වූ අනෙක් මන්ත‍්‍රීවරුන් ලෙස වෙබ් අඩවිය විස්තර කරයි.

ඉවත්කළ නීති විදුහල්පති ජනපති ළඟ

නීති විදුහල් ශිෂ්‍යයකු ලෙස සිටි තම පුත‍්‍රයාගේ විභාග කටයුතුවලට අදාළව අක‍්‍රමිකතා සිදුකළේයැයි චෝදනා ලැබීම නිසා අගවිනිසුරුවරයා විසින් ධුරයෙන් ඉවත්වන ලෙස නියම කැරුණු හිටපු නීති විදුහල්පති ඩබ්ලිව්ඞී රොද්‍රිගු මහතා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්‍යක්‍ෂ ලෙස පත්කරගනු ලැබ තිබේ. 2013 දෙසැම්බර් 31වැනිදා සිට ඔහු නීති විදුහල්පති ධුරයෙන් අනිවාර්ය නිවාඩු යැවුණු අතර, 2014 ජනවාරි 29 වැනිදා ඔහුට ජනාධිපතිවරයා විසින් නව පත්වීම දී තිබේ. තම පුත‍්‍රයාට අමතරව ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂ නීති විදුහලේ ශිෂ්‍යයකුව සිටි අවස්ථාවේදී ඔහුටද විවිධාකාර විශේෂ සැලකිලි දක්වන ලදැ’යි රොද්‍රිගු මහතාට චෝදනා එල්ලවී තිබිණි.