අනාගත ව්‍යසනයක වගඋත්තරකරු ආණ්ඩුවයි

 

මේ දිනවල ප‍්‍රධාන මාතෘකාව සුපුරුදු පරිදි ‘ජිනීවා’ය. පසුගිය දිනවල විවිධ ජනහමුවලදී ජනතාව ඇමතූ ජනාධිපතිතුමා බාහිර රටවල් සමග එක්වී ලංකාවේ පාලනය බිඳ හෙළන්නට කුමන්ත‍්‍රණය කරන දේශද්‍රෝහීන් ගැන පුන පුනා පැවසුවේය. ලංකාවේ ජනතාවට වුවමනා විදියට පාලකයන් පත්කර ගැනීමට හා ජීවත්වීමට ඉඩ තිබිය යුතුයැ’යිද කී ජනාධිපතිතුමා බටහිර තානාපති කාර්යාල වලට ලංකාවේ ආණ්ඩුව බිඳදැමීමේ වුවමනාවක් ඇතැ’යිද කීවේය. ජනකාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප‍්‍රධානීන් මෙසේ රස කරමින් ජිනීවා ගැන කියන්නේ එළැඹෙන පළාත් සභා මැතිවරණ දෙකෙහිදී ජයග‍්‍රහණය තමන්ට ලබාගැනීමට බව විවාදයක් නැත. හරියටම ගණන් බලා ජිනීවා කවුන්සිල සැසිවාරයේ ලංකාවට එරෙහි යෝජනාව සම්මත වීමට නියමිත මාර්තු 28ට හෝ 29ට සමීප දිනයක් ඡුන්දයට ලැබෙන ලෙස පළාත් සභා දෙක විසුරුවා හරින ලද්දේද ඒ සඳහාය. ආණ්ඩුව සිතන්නේ ජිනීවා පරාජයත් සමගම, මීළඟට ‘ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයාත් විදුලි පුටුවට ගෙනයන්නට නියමිතය’ යනුවෙන් මතයක් සමාජය තුළ වපුරා ඒ සානුකම්පිත ඡුන්දයෙන් තමන්ට ජයග‍්‍රහණය කළ හැකිය කියාය. එහෙත් තත්ත්වය මුළුමනින්ම අනිත් පැත්තට හැරීමට ඉඩක්ද නැත්තේ නොවේ. ජිනීවා පරාජයත් ඉන්පසු එළැඹිය හැකි විවිධාකාර නරක ප‍්‍රතිඵලත් අත්විඳින්නට ලංකාවට සිදුවූයේ රාජපක්‍ෂ රෙජිමයේ වැඩ නිසායැ’යි ඡුන්ද දායකයන් සිතන්නට පෙළැඹුණහොත් හෝ පෙළඹුවහොත් හෝ ආණ්ඩුවේ උපායමාර්ගය කණපිට හැරවෙන්නේය. ඒ වෑයම ගතයුත්තේ විරුද්ධ පක්‍ෂ විසිනි.

ලොකුම දේශද්‍රෝහියෝ

ජනාධිපතිතුමා දැන් දේශද්‍රෝහීන් ගැන කියයි. ජනාධිපතිතුමා කියන අර්ථයෙන් ලංකාවේ තවමත් ජීවත්වන ලොකුම ද්‍රෝහීන් දෙදෙනා මහින්ද රාජපක්‍ෂ හා වාසුදේව නානායක්කාර බව රටම දන්නේය. 1990දී එවකට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් කරන ලද තරුණ සංහාරය ගැන තොරතුරු ලංකාවෙන් පිටත ජාත්‍යන්තරයට, ජිනීවාවලට ගෙනයෑමේ ‘දේශද්‍රෝහීකම’ කරන ලද්දේ ඔවුන් දෙදෙනා විසිනි. රහස් ගමන දැනගත් ආණ්ඩුව එවකට පොලිසියේ සිටි ආණ්ඩු හිතැ’ති සමුද්‍රජීව නම් පොලිස් නිලධාරියකු යොදවා, මහින්දගේ හා වාසුදේවගේ ලිපිගොනු ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත්තේය. අත්අඩංගුවට ගත් ලිපිගොනුවල තිබූ දේ ගැන සම්පූර්ණ විස්තර සඳහන් වාර්තාවක් පොලිසියෙන් නිල වශයෙන් ඉල්ලාගෙන මහින්දත් වාසුදේවත් ජිනීවා මානව හිමිකම් කොමිසමට ගොස් ඒවා පෙන්වූහ. මේ දෙදෙනා එවකට තිබුණු එජාප ආණ්ඩුවට පෙනුණේ දේශද්‍රෝහීන් හැටියටය. එහෙත් ඒ කාලයේ ආණ්ඩුවේ මර්දනයට ලක්ව සිටි දේශපාලන ව්‍යාපාරවලටත්, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්ටත්, සාමාන්‍ය මිනිසුන්ටත් පෙනුණේ මහින්දත් වාසුදේවත් මිනිස් අයිතීන් වෙනුවෙන් පෙනීසිටි ගරුකටයුතු සටන්කරුවන් දෙදෙනකු ලෙසය. දැන්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් කඩකළේයැ’යි චෝදනා වන්ට ලක්ව සිටින මහින්ද රාජපක්‍ෂ වූකලි එහෙව් පැරණි මානව හිමිකම් සටන්කරුවෙකි. එහෙත් අද ඔහුටත් ඔහුගේ රජයටත් ‘මානව හිමිකම්’ යනු පේන්නට බැරි දෙයකි.

දැන් අවුරුදු තුනක් තිස්සේ මාර්තු මාසයට හා සැප්තැම්බර් මාසයට ජිනීවා ගැන මේ කතාබහ එන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව දිගින් දිගටම යෝජනා සම්මත වන බැවිනි. 2012 මාර්තු මාසයේදී මානව හිමිකම් කවුන්සිලය ලංකාවට එරෙහි පළමු යෝජනාව සම්මත කළේය. එය හැඳින්වුණේ ‘උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාව ක‍්‍රියාත්මක කිරීම’ යනුවෙනි. ඒ යෝජනාව පිළිගනිමින් ලංකාව උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීම සඳහා වන ‘ජාතික ක‍්‍රියාකාරී සැලැස්මක්’ කෙටුම්පත් කළේය. 2012 ජුලි මාසයේදී එම ක‍්‍රියාකාරී සැලැස්ම අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදි. ඒ යටතේ සැලැස්මේ ක‍්‍රියාකාරිත්වය පිළිබඳ සොයාබැලීමට නියාමන කමිටුවක්ද පත්කැරුණු අතර එහි ප‍්‍රධානියා වන්නේ ජනාධිපති පෞද්ගලික ලේකම් ලලිත් වීරතුංගය. එහෙත් ප‍්‍රමාණවත් ආකාරයෙන් එම සැලසුම් ක‍්‍රියාත්මක කරන්නට ලංකාවේ ආණ්ඩුව අවංකභාවයක් හෝ සැලකිල්ලක් නොපෙන්වූ නිසා 2013 මාර්තු මාසයේදී ලංකාවට එරෙහි දෙවැනි යෝජනාව ජිනීවාහිදී සම්මත විය. එය හැඳින්වූයේ ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිසන්ධානය හා වගවීම ප‍්‍රවර්ධනය කිරීමේ යෝජනාව’ වශයෙනි. දැන් තුන්වැනි යෝජනාවක් එන්නේ, පසුගිය වාර දෙකෙහිදීම ලංකාවට ලබාදුන් අවස්ථාවන්ගෙන් නිසි ප‍්‍රයෝජන නොගැනීම නිසා බව පැහැදිලිය. මේ යෝජනා දෙකෙන් කියැවෙන සමස්තය ප‍්‍රධාන කරුණු දෙකකට වෙන් කළ හැකිය. පළමුවැන්න උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ අවංකභාවයෙන් යුතුව ක‍්‍රියාත්මක කිරීමය. දෙවැන්න, යුද්ධයේ අවසන් කාලයේදී වුණායැ’යි චෝදනා නැගී තිබෙන මානව හිමිකම් කඩවීම් හා මානුෂීය නීති උල්ලංඝනයන් ගැන පිළිගත හැකි හා ස්වාධීන පරීක්‍ෂණ පැවැත්වීමය. මෙතෙක් කල් ලංකාවට අවසර ලැබුණේ එම කටයුතු දෙක සඳහා තමන්ගේම වූ සැලැස්මක් අනුව තමන්ම ක‍්‍රියාත්මක වී ඒ බව ලෝකයාට පෙන්වාදීමටය. එහෙත් ලංකාව එය නොකළේය.

ව්‍යසනය පෙන්වා ඡන්ද ගැනීම

මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නට යන තුන්වැනි යෝජනාව ගැන තවමත් හරිහැටි දන්නේ නැත. එම යෝජනාවෙන් පසු ලංකාවට අත්විය හැකි නරක ප‍්‍රතිඵල මොනවාදැ’යි තවමත් දන්නේද නැත. එහෙත්, නරක දෙයක් සිදුවන්නට ඉඩ ඇතිය යන අදහස ආණ්ඩුවද හොඳින් දැනසිටියි. එහෙත් ඛේදය වන්නේ ඒ නරක දෙය පෙන්වා ජනතාවගෙන් ඡුන්දය ලබාගෙන තවදුරටත් බලයේ සිටීමේ නිහීන ආශාවෙන් ආණ්ඩුව පෙළීම මිස ඥානාන්විතව ඉන් ගැලවීමේ මාර්ගයට යොමුවන්නට තරම් අවංකභාවයක් ආණ්ඩුවට නොමැතිවීමයි.

තුන්වැනි යෝජනාවෙන් ලංකාව ගැන සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවකු පත්කිරීමට යෝජනා කැරෙනු ඇති බවත්, ඔහුගේ/ඇගේ නිර්දේශ මත ඉදිරි පියවරගනු ඇති බවත් එක් අතෙකින් දැනගන්නට ලැබේ. එහෙත් පිළිගතහැකි දේ නම්, කවුන්සිලය හරහා එන යෝජනා බොහෝ ඇල්මැරුණු ඒවා විය හැකි බවය. කවුන්සිලයේ සාමාජික රටවල දේශලපාලන වුවමනා එපාකම් මත ඒ යෝජනාවේ හැඩරුව තීරණය වේ. සාමාජිකයන් බොහෝ දෙනකු එකඟවන යෝජනාවක් ඒ බොහෝ දෙනාට වුවමනා පරිදි ප‍්‍රහාරාත්මක බවෙන් අඩු වීමට හොඳටම ඉඩ තිබේ.

අවදානම පිටතිනි

එහෙත් අවදානම ඇත්තේ කවුන්සිලයට පිටතිනි. කවරක් හෝ වේවා එම කවුන්සිල යෝජනාව පදනම් කරගෙන අමෙරිකාව හා මිතුරු වෙනත් බලවත් රටවල් ලංකාව කෙරෙහි දක්වන්නට ඉඩ ඇති පෞද්ගලික ප‍්‍රතිචාරය එම අවදානමයි. ඉරානයට විරුද්ධව එක්සත් ජාතීන්ගේ තුළ යෝජනාවක් සම්මත කරගැනීමට අසමත්වූ අමෙරිකාව පසුව එරටට එරෙහිව තම පෞද්ගලික සම්බාධක ක‍්‍ර‍්‍රියාවට නැංවීය. තම මිතුරු රටවලින් ඒ අනුව කටයුතු කරන ලෙසද අමෙරිකාව ඉල්ලීය. ඒ සම්බාධක නිසා ඉරානයට සිදුවූ හා තවමත් සිදුවන හානිය සුළුපටු නැත. ඉරාන ගුවන් තොටුපොළවලට විදේශ ගුවන්යානා බස්සනු නොලැබීමේ සිට ඉරාන තෙල් ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබීම දක්වාවූ බලවත් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දෙන්නට ඉරානයට සිදුවිය. අමනොඥ ලෙස ඒ පියවරවලට එකටෙ’ක කළ, ඉරාන ජාතිකාභිමානයෙන් පමණක් සියල්ල කළහැකියැයි සිතූ ලංකාවේ මහින්ද රාජපක්‍ෂට බොහෝ දුරට සමානවූ ඉරානයේ හිටපු ජනාධිපති මොහොමඞ් අහමඩිනෙජාඞ් නිසා මේ හානිය දෙගුණ තෙගුණ විය. වර්තමාන ඉරාන ජනාධිපතිවරයාටත් විදේශ ඇමැතිවරයාටත් මේ ඉරණම ආපසු හරවන්නට බලවත් වෙහෙසක් ගන්නට සිදුවී තිබේ. පසුගියදා ප‍්‍රංශ ව්‍යාපාරිකයන් පිරිසක් ඉරානයේ ඇති ව්‍යාපාරික අවස්ථා සොයාබැලීමට යෑම පවා අමෙරිකාව දකින්නේ තමන්ගේ වැඩපිළිවෙලට පටහැණි ක‍්‍රියාවක් ලෙසය.

ඉරානය වැන තමන්ගේම වූ විශාල තෙල් සම්පතකින් හෙබි රටක් පවා බලවත් දුෂ්කරතාවකට ඇදදමන්නට අමෙරිකාටත් එහි මිතුරු රටවලටත්, සමාගම්වලටත් හැකි නම්, ලංකාව ගැන කියනු කවරේද? ජීඑස්පී ප්ලස් සහනය නැතිවන්නට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා ඇතුළු ලංකාවේ බලවතුන් වහසි බස් දෙඩූ ආකාරයත්, එම සහනය අපෙන් ගිලිහීම නිසා අද වන විට ලංකාවේ ඇඟලූම් කර්මාන්තයට ඇතිවී තිබෙන විශාල බාධකත් පමණක් සැලකිල්ලට ගත්විට වුවද තත්ත්වයේ බැ?රුම්කම පැහැදිලි වනු ඇත.

අමෙරිකාවට යටත්විය යුතු නැත

මානව හිමිකම් කවුන්සිලයේදී විය හැකි අනතුරක් වළක්වාගැනීමට කළ යුත්තේ අමෙරිකාවට යටත්වීම නොවේ. පළමුව මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා විසින්ම පත්කරන ලද උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කිරීමය. දෙවනුව ලංකාව ජාත්‍යන්තර සමාජයේ සාමාජිකයකු වශයෙන් සිටිමින් පිළිගෙන ඇති මානව හිමිකම් ප‍්‍රමිතීන් හා සම්මුතීන් ලංකාව තුළ පුරවැසියන්ට අදාළවන සේ හරිහැටි ක‍්‍රියාත්මක කිරීමය. ඒ මොනවාදැ’යි පසුගිය කාලයේ වුවමනාවටත් වඩා කතාබහකොට තිබේ.

ලංකාවේ ජනතාවගේ මානව අයිතිවාසිකම් රැුකීම භාරව ඇත්තේ රජයටය. 1948 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය පිළිගැනීමෙන්ම ලංකාව ඒ වගකීමට බැඳීසිටියි. ඊට පසු ජාත්‍යන්තර සම්මුතියෙන් ඇතිකරගන්නා ලද ගිවිසුම් හා ලියැවිලි රාශියක් මත මේ බැඳීම තව තවත් දැඩිවී තිබේ. ලංකාවට අනුව මානව හිමිකම් යනු අමෙරිකානු යටත්විජිත වාදයක් නොවේ. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගෙන ඇති, ජනතා පරමාධිපත්‍යයේද කොටසක් වන, විධායකයට ඇතුළත්වන රටේ සියලූ පාලන ආයතන ගරුකළ යුතු, ආරක්‍ෂා කළයුතු හා වර්ධනය කළයුතු කොන්දේසි සමූහයකි. අනෙක් අතට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 33ඊ ව්‍යවස්ථාව අනුව, රටේ ජනාධිපති වරයාද ‘ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙනත් නීතියක විධිවිධානවලට අනුව ජාත්‍යන්තර නීතිය, චාරිත‍්‍ර වාරිත‍්‍ර හෝ භාවිතය අනුව තමාට නියමිත හෝ බලය ලැබී ඇති දේ කිරීමට’ බැඳී සිටියි. මේ විවිධාකාර බැඳීම් මත ලංකාවේ ජනතාවගේ මානව අයිතිවාසිකම් රැුකීමේ වැදගත්ම වගඋත්තරකරු ලංකාවේ ආණ්ඩුවයි.

දුගී ප‍්‍රවේශය

ජිනීවා අවදානම සම්බන්ධයෙන් ලංකාවේ ප‍්‍රවේශය අතිශය දුගීය. එහි එක් පෙරමුණක් වන්නේ අමෙරිකාවට, එංගලන්තයට දෑත බදා පහරදීමයි. එම රටවල මානව හිමිකම් කැරැුට්ටුව ගැන පැහැදිලි ප‍්‍රශ්න ඇත. අප කිසිසේත් ඒවා අනුමත කළ යුතු නොවේ. එහෙත් ඔවුන්ට පහරදීමෙන් ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාවක් පරාජය කරන්නට හැකියාවක් ලැබේයැයි සිතීම මුලාවකි. ලංකාව තවදුරටත් කියන්නේ, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත් වුවහොත් ලංකාව තුළ මහත් ජන කැළඹීමක් ඇතිවිය හැකි බවය. ජන කැළඹීමක් ඇතිවන්නේ නම් ඒ කාට විරුද්ධවද? ලංකාව තුළ සිදුවන ජන කැළඹීම් අමෙරිකාවට වැදගත් වන්නේ කෙසේද? ඇත්ත නම්, ආණ්ඩුව හා ඔවුන්ගේ ගැත්තන් විසින් වුවමනාවෙන්ම කැළඹීමක් ඇතිකළහොත් මිස එවැන්නක් සිදුවීමට ඉඩක් නැති බවයි. අනෙක් අතට එවැනි ජන කැළඹීමක් කියාපාන්නේ නැවත වටයකින් මේ ආණ්ඩුවේම අසමත්භාවය මිස අන් යමක් නොවේ.

ජාත්‍යන්තර පරීක්‍ෂණ යක් සිදුවුවහොත් ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවේ කළ කටයුතු ගැනද සොයාබලන්නට සිදුවන බව ජනාධිපති ලේකම්වරයා පසුගියදා වොෂින්ටන්හිදී කීවේය. මේ තර්කයෙන් කෙරෙන්නේ පැත්තක සිටින ඉන්දියාවද පටලවාගෙන අමෙරිකාව හා ඉන්දියාව අතර විරසකයක් නිර්මාණය කොට ප‍්‍රශ්නය තවදුරටත් පැටලූණු නූල්බෝලයක් බවට පත්කරගැනීමක් මිස අන් යමක් නොවේ.

අවාසනාවකට ලංකාවේ දේශපාලන නායකයන් පමණක් නොව, ඊනියා උගත්තුද, ජනමාධ්‍යද ආණ්ඩුවේ මේ දුගී ප‍්‍රවේශය ගැන ප‍්‍රශස්ති ගායනා කරති. ඉන් රටට අවැඩක් වන බව ආණ්ඩුවට පෙන්වා නොදෙති. පසුගිය කාලයේ ලංකාවේ ජාතික පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තල, අවශේෂ පුවත් හා විග‍්‍රහයන් මැනැවින් සලකා බලන විට මේ තත්ත්වය හොඳින් පෙනේ. ආණ්ඩුව යන්නේ වැරදි පාරක බවත්, එහි ප‍්‍රතිඵලය රටත් රටේ ජනතාවත් අඳුරු අගාධයකට ඇදදැමීම බවත්, අමෙරිකානු විරෝධයෙන්, දේශපේ‍්‍රමයෙන් හෝ ජාතිකාභිමානයෙන් ඒ ව්‍යසනයට පිළිතුරු සොයාගන්නට නොහැකි බවත්, ඒ ව්‍යසනය තමන්ගේ බලකාමය සඳහා ඡුන්ද කොල්ලයක් බවට පත්කරනොගත යුතු බවත්, එවැනි ව්‍යසනයකට ලංකාව බලහත්කාරයෙන් ඇදදැමීම ගැන මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වගකිව යුතු බවත් කියන්නට කිසිවෙකු සිටින බවක් නොපෙනේ.