අර්බුදය මට පෙනෙන හැටි

ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක අළලා මා පසුගිය ලිපියෙන් ආරම්භ කළ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට අවශ්‍ය වී ඇතත් මා දේවල් දකින ආකාරය සමහර පාඨකයන්ගේ කුකුසට හේතුවී තිබෙන නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක් ඔස්සේම එම සංවාදය ඉදිරියට ගෙනයෑමට බලාපොරොත්තු වෙමි.
 
මේ මෑතකදී පාඨකයෙක් මට මෙසේ කීවේය. ‘ඔබ විධායක ජනාධිපති ක‍්‍රමයේ ඇති බිහිසුණුකම හා එහි කොල්ලකාරී බව තියුණු ලෙස කියා දුන් විචාරකයෙක්. එහිදී අපගේ දේශපාලන චින්තනය කෙරෙහි ඇති කරන ලද බලපෑම විශාලයි. දැන් එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලූ විරුද්ධ පක්ෂ විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කරනවා. ඉදිරි ජනාධිපතිවරණයේදී ඒ සියලූ දේශපාලන පක්ෂවල පොදු එකඟතාවකින් පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කොට මහින්ද පරාජය කොට විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට අපේක්ෂා කරනවා. එහෙත් එම ක‍්‍රියාමාර්ගය ඔබේ ආකර්ෂණයට හේතුවී නැහැ. ඒ තුළ පරස්පර විරෝධයක් තිබෙනවා නොවේදැ’යි ඔහු මගෙන් ප‍්‍රශ්න කළේය. මම ඔහුට කරුණු පැහැදිලි කරදෙන්නට උත්සාහ කළෙමි. මගේ එම කරුණු පැහැදිලි කිරීම ඔහුගේ තෘප්තියට හේතුවීදැ’යි මම නොදනිමි.
විධායක ජනාධිපති ක‍්‍රමය රටක් වශයෙන් අප මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය තුළ තිබෙන වැදගත් සාධකයක් වුවත් එය ඒ කෙරෙහි බලපා තිබෙන එකම සාධකය නොවන බවත් රටේ සියලූ ජනවර්ග ඇතුළත් වන ලෙස ශ‍්‍රී ලාංකික ජාතියක් හා ප‍්‍රමාණවත් තරමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන සාක්ෂරතාවක් සහිත සමාජයක් ඇති කරගැනීමට අසමත්වීම ඒ කෙරෙහි බලපා තිබෙන තවත් වැදගත් සාධක දෙකක් බවත් ඇතිවී තිබෙන අර්බුදය මුළු එකක් වශයෙන් ගෙන එය ජයගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් හෝ භාවිතයක් හිමි කරගත් දේශපාලන නායකයන් හෝ විකල්ප දේශපාලන ව්‍යාපාර රටේ නැති බවත් ඒ තත්ත්වය ඉදිරියේ සමාජයක් වශයෙන් අප සිටින්නේ ඇතිවිය හැකි සිදුවීම් පාලනය කළ හැකි තැනක නොව සිදුවීම් පසුපස ගාටන තැනක බවත් ඒ තත්ත්වය ඉදිරියේ මෙම අර්බුදය කෙළවර විය හැක්කේ අරාජිකත්වයකින් බවත් මම කියා සිටියෙමි. ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක ගැන ලියන ලද ලිපිය කියවූ පාඨකයෙක්ද ඒ හා සමාන අදහසක් මා වෙත පළ කළේය. ඔහු කීවේ එය හොඳ විග‍්‍රහයක් වුවත් ඒ තුළ අනවශ්‍ය තරම් සර්ව අසුභවාදයක් ඇත්තේදැ’යි කියන හැඟීමක් තමා තුළ ඇතිවූ බවය. අප මනුෂ්‍යයන් වශයෙන් දේවල් නරක ආකාරයකින් අවසන් වනවා දකින්නට අකමැතිය. මොන මොන ආකාරයකින් හෝ තිබෙන නරක අපගේ තෘප්තියට හා ආස්වාදයට හේතුවන ආකාරයකින් කෙළවර වනවා දකින්නට කැමතිය. එහෙත් දේවල් හැමවිටම එසේ සිදුවන්නේ නැත. තිබෙන නරක නරකම ආකාරයකින් කෙළවර වන අවස්ථාද පවතී.
 
මට පෙනෙන අන්දමට අප ගමන් කරමින් සිටිනුයේ ඉතිහාසය විසින් නියම කරන ලද අන්ධ ගමනකය. ඉතිහාසයේ ගමන් මග එක්තරා විශාල ප‍්‍රමාණයකට හසුරුවා ගැනීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් සමග වන හික්මීමක් මෙම අර්බුදය ආරම්භයේ සිට එහි අවසාන අදියරේ සිටින අද දක්වා අපට නොතිබුණේයැ’යි කිව හැකිය. වැඩවසම් ක‍්‍රමයක සිට ධනේශ්වර ක‍්‍රමයකට මාරුවීම අපගේ ඉදිරි ගමනේ වැදගත්ම ආරම්භක සංධිස්ථානය ලෙස සැලකිය හැකිය. ඒ නිසා අපට නවීන සංවිධාන ක‍්‍රම හා ශිල්ප ක‍්‍රමය සහිත නවීන ආර්ථික ක‍්‍රමයක් ලැබුණේය. ඒ නිසා පන්ති සම්බන්ධතාවලද මහා වෙනස්කම් ඇති වූයේය. නවීන අර්ථයෙන් වන ජාතික රාජ්‍ය ක‍්‍රමයක් සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක්ද අපට ලැබුණේය. එහෙත් අප ඉදිරියට යන්නට උත්සාහ කළේ නවීන ජාතික රාජ්‍යයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය එක්සත් ජාතියක් ඇතිකර ගැනීමෙන් හා ලැබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයේ යහපැවැත්ම සඳහා අවශ්‍ය ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ප‍්‍රමාණවත් තරමේ සාක්ෂරතාවක් ඇති බහුත්වවාදී ආකල්ප සහිත නවීන සමාජයේ ඇතිකර ගැනීමෙන් තොරවය.
 
චින්තන අර්බුදය
 
අප ජාතිය මුහුණ දී තිබෙන චින්තන අර්බුදයේ ස්වභාවය හා එහි ඓතිහාසික වටාපිටාව මා විසින් ලියා පළකොට තිබෙන ‘ජාතියේ ඛේදවාචකය’ නමැති පොත් පිංචෙන් සැකෙවින් සලකා බලා ඇත්තෙමි. ජාතිය ගොඩනැගීම පිළිබඳ ප‍්‍රශස්ත දැක්මක් හෝ චින්තනයක් ඇති දේශපාලන නායකයෝ අපට නොසිටියෝය. සිංහලයන්ගේ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලය. ලංකාවේ දමිළයන්ගේ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැක්කේ ආරුමුගම් නාවලර්ය. ඒ දෙදෙනාටම ලංකාවේ ජාතිය ගොඩනැගීම පිළිබඳව ප‍්‍රශස්ත දැක්මක් නොතිබුණි. අනගාරික ධර්මපාල අනවශ්‍ය තරමට සිංහල බෞද්ධයන්ට බර තබා ක‍්‍රියා කළ නායකයකු වන විට ආරුමුගම් නාවලර් අනවශ්‍ය තරමට දෙමළ හින්දුන්ට බර තබා ක‍්‍රියාකළ නායකයෙක් විය. ධර්මපාල සිංහල සමාජයේ තිබූ කුලභේදය ඉවසුවේය. නාවලර් දෙමළ සමාජයේ තිබූ කුලභේදය අනුමත කළේය. නාවලර්ගේ ජාතිය සමන්විත වූයේ දෙමළ හින්දුන්ගෙනි. ධර්මපාලගේ ජාතියට බෞද්ධ නොවන සිංහලයන්ට හෝ සිංහල නොවන හා බෞද්ධ නොවන වර්ගවලට එකතුවීමේ හැකියාවක් නොතිබුණි. ලංකාවේ ආරම්භක සිංහල ජාතික නායකයන් සියලූදෙනාම පාහේ අනගාරික ධර්මපාලගේ අනුගාමිකයන් වූ අතර ලංකාවේ ආරම්භක දෙමළ ජාතික නායකයෝ සියලූදෙනාම පාහේ ආරුමුග නාවලර්ගේ අනුගාමිකයෝ වූහ.
 
බුද්ධාගමද ලංකාවේදී සිංහල වර්ගයාට සීමාවූ ආගමක් බවට පත්ව තිබීම නිසා මේ අර්බුදයට ආලෝකයක් ලබාදීමේ හැකියාව එයද අහිමි කරගෙන තිබුණේය. මාක්ස්වාදයද පන්තියට බර තබන ලද දහමක් වීම හේතු කොටගෙන මෙම අර්බුදයට ආලෝකයක් ලබාදීමේ හැකියාව ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයටද නොතිබුණි. මාක්ස්වාදීන්ට වැදගත් වූයේ ජාතිය ගොඩනැගීම නොව පන්තිය ගොඩනැගීමය. ඔවුන්ට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පෙනුණේද ප‍්‍රජාතන්ත‍්‍රවාදී සළුපිළි පැළඳ ගත් ඒකාධිපති ක‍්‍රමයක් ලෙසය.
 
පූර්ව නිදහස් යුගයේ පැවති සියලූ දේශපාලන ව්‍යාපාර අතුරින් ජාතිය ගොඩනැගීම පිළිබඳව ප‍්‍රශස්ත හා දියුණු දැක්මක් ප‍්‍රකාශ කළ එකම සංවිධානය ලෙස සැලකිය හැක්කේ යාපනේ දෙමළ අධ්‍යාපනඥයකු වූ හැන්ඩි පෙරිනිපනායගම්ගේ නිර්මාණයක් ලෙස සැලකිය හැකි යාපනේ තරුණ සංගමය පමණය. එම ව්‍යාපාරය අදහස් කළ ජාතියට සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් යන සියලූ ජනවර්ග ඇතුළත් විය. කුලභේදයට තිබෙන පිළිගැනීම අහෝසි කිරීම වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටි එකම ව්‍යාපාරයද එය විය. දෙමළ ජාතික නායකයන් ඩොනමෝර් කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් වර්ගයට බර තබන නියෝජන ක‍්‍රමයක් වෙනුවෙන් පෙනී සිටින විට එය ජාතිය භේදභින්න කරන විෂඝෝර ක‍්‍රමයක් ලෙස සලකා යාපනේ සංගමය ඔවුන්ගේ එම වැඩපිළිවෙළ ප‍්‍රසිද්ධියේ හෙළා දැක්කේය. යාපනේ තරුණ සංගමය සිංහල භාෂාව ඉගෙන ගන්නා ලෙස දෙමළ ජනතාවගෙන් ඉල්ලා සිටියා පමණක් නොව සිංහල භාෂාව උතුරේ පාසල්වල උගන්වන තත්ත්වයක් ඇති කරලීමටද සමත් වී තිබුණි.
 
යාපනේ තරුණ සංගමය ගාන්ධිවාදයට බර තබා ක‍්‍රියා කළ ව්‍යාපාරයක් විය. එහෙත් ගාන්ධිවාදයේ කාබන් කොපියක් ලෙස ක‍්‍රියා කළා මිස ගාන්ධිවාදයේ නිර්මාණශීලී දේශීය සහවාදයක් බවට පත්වීමට අසමත්වීම තුළ උතුරේ ඉතා බලවත් තත්ත්වයක් හිමි කරගෙන සිටි එම ව්‍යාපාරය ඉක්මනින්ම මහජනයාගෙන් ඈත්වූ ව්‍යාපාරයක් බවට පත්වූයේය. ඔවුහු තමන්ට හිමිව තිබූ බලවත් තත්ත්වය ආරක්ෂා කරගනිමින් තවදුරටත් ශක්තිමත් ලෙස ඉදිරියට ඒමට සමත් වූවෝ නම් සමහරවිට ජාතිය පිළිබඳව අපගේ ආකල්ප මීට වඩා වෙනස්වන්නට ඉඩ තිබුණි.
 
නිදහසට ආවේණික සීමා
 
අප නිදහස හිමිකර ගත්තේද බහුජනතා ක‍්‍රියාකාරී තත්ත්වයකට ගැනීමෙන් නොව සටකපට ආකාරයකටය. නිදහස දිනාගැනීම සඳහා අරගලයක් කරන තැනකට ගියේ නම් හා ඒ සඳහා බහුජනයා සම්බන්ධ කරගන්නා තැනකට ගියේ නම් ජාතිය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සාක්ෂරතාව පිළිබඳ ප‍්‍රශ්නය සමහරවිට මීට වඩා වෙනස් ආකාරයකට විසඳෙන්නට ඉඩ තිබුණි. එවැනි අරගලයක් සඳහා බහුජන ක‍්‍රියාකාරීත්වය අත්‍යවශ්‍ය කොන්දේසියක් වන තත්ත්වයක් තුළ කුලභේදය, වර්ග භේදය හා ආගම් භේදය නොපිළිගන්නා සමාජයේ බහුත්වවාදී ආකල්ප වර්ධනය වන පසුබිමක් තුළ සමාන ගෞරවයකින් යුතු එක්සත් ජාතියක් ඇතිවන්නට සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාක්ෂරතාවෙන් පොහොසත් සමාජයක් ඇතිවන්නටද ඉඩ තිබුණේය. එහෙත් නිදහස දිනාගැනීමේ සංසිද්ධිය ඊට වෙනස් ආකාරයකින් සිදුවීම නිසා එම තත්ත්වය දිනාගැනීමේ හැකියාවද ජාතියට අහිමි වූයේය.
 
අවසානයේ නිදහස ලැබීමෙන් පසු අප ඉදිරියට යන්නට උත්සාහ කළේ එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ඇතිකර ගැනීමෙන් තොරවය. සියලූ වර්ගවලට ආගම්වලට හා කුලවලට අයත් නායකයන් මහජන ආකර්ෂණය දිනාගැනීමට උත්සාහ කළේ තමන් අයත් වර්ගයට, ආගමට හෝ කුලයට බර තබා ක‍්‍රියාකරන භේදකාරී පිළිවෙතක් ඔස්සේය. සිංහල නායකයෝ සිංහල වර්ගයාටද, දෙමළ නායකයෝ දෙමළ වර්ගයාටද, මුස්ලිම් නායකයෝ් මුස්ලිම් වර්ගයාටද බර තබා ක‍්‍රියාකරන වර්ගවාදී පිළිවෙතක් අනුගමනය කළෝය. එම තත්ත්වය අන්තර් වාර්ගික, අන්තර් ආගමික හා අන්තර් කුල සම්බන්ධතා විකෘති කළේය. එම තත්ත්වය ජාතික රාජ්‍ය ක‍්‍රමය සේ ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයද විකෘති කිරීමට හේතුවිය.
 
මෙම විකෘති ක‍්‍රියාකාරීත්වය 1977 තෙක්ම ඉදිරියට ගමන් ගනිමින් තිබුණේ හෙමින් හෙමින් ලැසි ගමනකින් වීයැ’යි කිව හැකිය. ඒ කාලයේ සුනම්‍ය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් තිබීම විකෘති කරන ක‍්‍රියාවලියේ ලැසි ගමනට බලපෑ එක් ප‍්‍රබල හේතුවක් වීයැ’යි කිව හැකිය. තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය වෙනුවට නීතියට ඉහළින් සිටින විධායක ජනාධිපතිවරයකු වෙත රාජ්‍යයේ සකලවිධ බලය ලබාදෙන විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇතිකිරීමත් සමග විකෘතිකරණ ක‍්‍රියාවලිය ඉතා වේගයෙන් හා මහා පරිමාණයෙන් සිදුවන ක‍්‍රියාදාමයක් බවට පත්විය.
 
ඊට පෙරද අවලස්සන දේවල් සිදුවී තිබුණි. එහෙත් ඒවා සිදුවූයේ එක දිගට නොව විටින් විට ඉඳහිටය. ඒ නිසා ජාතික රාජ්‍යයේ, ආණ්ඩු ක‍්‍රමයේ, සමාජ ක‍්‍රමයේ හා සමාජ මනසේ විකෘතියක් ඇතිවී නම් එය සිදුවී තිබුණේ එක්තරා ප‍්‍රමාණයකට පමණය. එහෙත් 1977දී ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයක් ඇතිකිරීමෙන් පසු අවලස්සන දේවල් සිදුවීම කලින් කල සුළු වශයෙන් නොව නිරන්තරයෙන් වේගයෙන් හා මහා පරිමාණයෙන් සිදුවන දෙයක් බවට පත්වී ජාතික රාජ්‍ය ආණ්ඩු ක‍්‍රමය, සමාජ ක‍්‍රමය හා සමාජ මනස ඒවාට ඔරොත්තු නොදෙන තරම් වේගයකින් විකෘති කෙරෙන මහා පරිමාණයේ ක‍්‍රියාදාමයක් බවට පත්විය.
 
විකෘති ගමනක මුදුනට පැමිණීම
 
ඇති කරගත් නව ආණ්ඩු ක‍්‍රමය තුළ ආණ්ඩු වෙනස්වීම ඉතා කලාතුරකින් හා අහම්බෙන් සිදුවන දෙයක් බවට පත්වූයේය. ඒ සමග විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට තිබෙන සාධාරණ ඉඩ ප‍්‍රස්තා අහිමි වී විරුද්ධ පක්ෂයට අල්ලාගෙන සිටීම පවා ඉතා දුෂ්කර දෙයක් බට පත්වූයේය. මැර බලය රාජ්‍ය බලයට අනුයුක්ත වැදගත් අංගයක් බවට පත්කර ගනිමින් ඔවුන් රාජ්‍යයෙන් යැපෙන රාජ්‍යයෙන් රැුකවරණය ලබන පිරිසක් බවට පත්කර ගත්තේය. ශිෂ්‍ය උද්ඝෝෂණ හා කම්කරු උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා යොදාගනු ලැබුවේ එම බලයයි. ආණ්ඩු බලය රට පාලනය කරනවාට අතිරේකව රටේ වස්තුව කොල්ලකන වැදගත් මාර්ගයක් බවට පත්වූයේය. රාජ්‍ය නායකයා නීතියට යටත් නැති නීතියට ඉහළින් සිටින තත්ත්වයක් ඇතිවීම තුළ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඒ වෙනුවට රාජ්‍ය නායකයාගේ ආධිපත්‍යය රජයන ක‍්‍රමයක් ස්ථාපිත විය. සංවරණය හා තුලනය සඳහා තිබෙන සමස්ත ආයතන ක‍්‍රමයම බිඳ වැටී දූෂණය දෝර ගලන මහා ගංගාවක් බවට පත්වෙමින් ආර්ථිකයේ නොවැදගත් තත්ත්වයක තිබූ කළු ආර්ථිකය රටේ ආර්ථිකයේ බලවත්ම අංශය බවට වර්ධනය විය. විරුද්ධ පක්ෂවලට තිබෙන පිළිගැනීම බිඳ වැටී ත‍්‍රස්තවාදය ආණ්ඩු විරෝධී අරගලයේ හා යුක්තිය සඳහා කරන අරගලවල ප‍්‍රධාන ස්වරූපය බවට පත්විය.
මේ නව පරිවර්තනයත් සමග බොහෝ දේවල් සිදුවූයේද ඊට පෙර දේවල් සිදුවූ ආකාරයට වෙනස්ව විකාරරූපී ආකාරයටය. මෙම දේශපාලන ක‍්‍රමය ස්ථාපිත වන ආරම්භක කාලයේදී එසේ සිදුවූ දේවල් සමහරක් මෙසේය.
 
ඊට පෙර බලයේ සිටි සිරිමා බණ්ඩාරනායකගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු නියෝජනය ආසන අටකට සීමා වන ලෙස 1977 මැතිවරණයෙන් අතුගෑවී ගොස් තිබියදී රාජ්‍යයේ සකලවිධ බලය හිමිකරගත් අසහාය නායකයා බවට පත්ව සිටි ජනාධිපති ජයවර්ධනගේ හිතේ සිරිමා බණ්ඩාරනායක ගැන ලොකු බයක් තිබුණි. ඔහු ඇගේ ප‍්‍රජා අයිතිය අහිමි කිරීමේ අරමුණ ඇතිව පත්කළ ජනාධිපති කොමිසම අභියාචනාධිකරණය විසින් බලරහිත කරනු ලැබුවද ඔහු තමාට තිබුණු පාර්ලිමේන්තුවේ හහෙන් පහේ බලය යොදාගනිමින් එම අධිකරණ නියෝගය නිෂ්ප‍්‍රභ කොට ඇගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළේය.
 
රුපියල් තුන්සියයක පඩි වැඩිවීමක් ඉල්ලා ඒකාබද්ධ වෘත්තීය සමිති ව්‍යාපාරය 1980 ජූලිවලදී වැඩවර්ජනයක නිරත විය. ආණ්ඩුව වැඩ වර්ජනය තහනම් කොට වැඩ වර්ජනයට එකතු වූ රජයේ සේවකයන්ගේ රැුකියා අහිමි කළේය. මීට පෙර ලෝක යුද්ධයක් පැවති කාලයේ පවා කම්කරුවන් වැඩ වර්ජනය කර ඇතත් ඔවුන්ගේ රැුකියා අහිමි කරන පිළිවෙතක් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව හෝ නිදහසින් පසු බලයට පත් කිසිදු ආණ්ඩුවක් අනුගමනය කර නැත. රජය ප‍්‍රකාශ කළ සංඛ්‍යා ලේඛන අනුව වැඩ වර්ජනයට සම්බන්ධවීම නිසා රක්ෂාවලින් දොට්ට දැමූ අයගේ සංඛ්‍යාව 40,000කි. වෘත්තීය සමිති ප‍්‍රකාශකයන්ගේ මතය අනුව ඒ ගණන 80,000ත් 100,000ත් අතර වේ. ඒ සමග රටේ වෘත්තීය සමිති ව්‍යාපාරය බොහෝ දුරකට නාමපුවරුවලට සීමාවූ ව්‍යාපාරයක් බවට පත්විය.
 
1981 ජූනි මාසයේ පැවති යාපනේ දිස්ත‍්‍රික් සංවර්ධන සභා ඡුන්දයේදී උතුරේ දෙමළ අන්තවාදී ව්‍යාපාරවලින් එල්ල වූ අභියෝග ඉදිරියේ ආණ්ඩුව මැතිවරණ කොමසාරිස්වරයා සතුව තිබූ මැතිවරණ පැවැත්වීමේ බලය හදිසි නීතිය යටතේ ආණ්ඩුව වෙත පවරා ගනිමින් එහි ඡුන්ද මධ්‍යස්ථානවල සිටි මැතිවරණ කොමසාරිස්වරයා විසින් පත්කරන ලද ඡුන්දපොළ භාර නිලධාරීන් 150ක් ඔවුන්ගේ රාජකාරිවලින් ඉවත් කොට කොළඹින් ගෙනා මැරවරයන් ඒ රාජකාරී කටයුතු සඳහා යොදා ගත්තේය. එම අවලස්සන ක‍්‍රියාදාමය අවසන් වූයේ යාපනේ පුස්තකාලයද ගිනි තැබීමෙනි.
 
ලංකා සංස්කෘතියේ ඇතිවෙමින් තිබූ පරිහානිය පිළිබඳව 1982 ජූලි 22 වැනි දින බෞද්ධ මහා සම්මේලන ශාලාවේදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර දේශනයක් පවත්වමින් සිටියදී එහි කඩා වැදුණු ආණ්ඩුවේ මැර පිරිසක් දේශනය පවත්වමින් සිටි එදිරිවීර සරච්චන්ද්‍රයන්ට සේ ම එහි සිටි බෞද්ධ භික්ෂූන්ටද පහර දුන්හ. පසුදින කර්මාන්ත ඇමති සිරිල් මැතිව්ගේ සහායකයකු ලෙස හඳුනාගත් පියසේන ජයවීර නමැති පුද්ගලයකු ජනමාධ්‍යවලට ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කරමින් රජයේ ප‍්‍රතිපත්තිවලට පහරදීම වැළකීම සඳහා සරච්චන්ද්‍රයන්ගේ දේශනය නැවැත්වීම සඳහා උත්සාහ කිරීමේ වගකීම තමා වෙත භාර ගත්තේය.
 
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සකස් කර තිබූ ආකාරයට ධුරය දරන ජනාධිපතිවරයකු දෙවැනි ධුර කාලයක් සඳහා තරග කළ යුතුව තිබුණේ පළමු ධුර කාලය සම්පූර්ණ වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමාවක් තුළය. 1982 අගෝස්තුවලදී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද සංශෝධනයක් (තුන්වැනි සංශෝධනය) මගින් ඒ සඳහා පැවති කාල නියමය ඉවත් කොට පළමු ධුර කාලයේ අවුරුදු හතරක් සම්පූර්ණ වීමෙන් පසු තමා කැමති කවර අවස්ථාවක හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීමේ හැකියාව ජනාධිපතිට ලබා දුන්නේය. එම නීතිය සම්මත වූ දිනයේදීම දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කළේය. ජනාධිපතිවරයා දෙවැනි ධුර කාලය සඳහා ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළේ තමන්ට තරගයක් දිය හැකි බලවත්ම නායිකාවගේ ප‍්‍රජා අයිතිය අහිමි කර තිබූ තත්ත්වයක් ඉදිරියේය. සියලූ විරුද්ධ පක්ෂ සමගි කිරීමේ ශක්තිය ඇති නායකයකු විරුද්ධ පක්ෂයට නොසිටි අතර එම මැතිවරණයෙන් ප‍්‍රකාශිත ඡුන්ද සංඛ්‍යාවෙන් 52.91%ක් ලබාගනිමින් නැවත තේරී පත්වීමට ජනාධිපති ජයවර්ධන සමත් විය.
 
ප‍්‍රචණ්ඩ මාවතට තල්ලූවීම
 
ඉන්පසු සිදුවූ දේ ඉතාමත් බිහිසුණුය. පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවහොත් පාර්ලිමේන්තුවේ තමන්ට තිබෙන හයෙන් පහේ බලය පමණක් නොව තුනෙන් දෙකේ බලයක්වත් ලබාගත නොහැකි තත්ත්වයක් ඇතිවිය හැකි බව ජනාධිපතිවරයා දැන සිටියේය. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයකට යනවා වෙනුවට ජනමත විචාරණයකට යාහැකි ලෙස ව්‍යවස්ථාව සංශෝධනය කරගනිමින් හයෙන් පහක බලයක් තිබූ පරණ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයකින් දීර්ඝ කරගැනීම සඳහා වන ජනමත විචාරණයකට යමින් එය යාන්තමින් ජයගැනීමට සමත් විය. සියලූ විරුද්ධ පක්ෂ එක්සත්ව ජනමත විචාරණය පරාජය කිරීම සඳහා මුළු වැර යොදා ක‍්‍රියාකරන තැනකට ගියේ නම් එය පරාජය කිරීමේ හැකියාව විරුද්ධ පක්ෂවලට තිබුණද වර්තමානයේ මෙන් ඔවුන් කුළල් කාගන්නා තත්ත්වයක සිටීම නිසා ජනාධිපති ජයවර්ධනගේ එම විනාශකාරී වැඩපිළිවෙළ පරාජය කිරීමට ඔවුහු අසමත් වූහ.
 
එය එතෙක් පැවති දූෂිතම මැතිවරණයවීයැ’යි කිව හැකිය. එසේම එය රටේ යම් පමණකට හෝ තිබුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය බොහෝ දුරකට මරා දමන වැඩපිළිවෙළක් ලෙසද සැලකිය හැකිය. ජනමත විචාරණයක් නොපවත්වා පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් ආණ්ඩු පක්ෂය නැවත වරක් ජයගනු ඇතත් ඊට තිබූ අතිවිශාල බලය හීනවී එය බහුතර බලයක් පමණක් තිබෙන ආණ්ඩුවක් බවට පත්වන්නට ඉඩ තිබුණේය. ආසන 8කට සීමාවී තිබූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 75කට වැඩි සංඛ්‍යාවක් හිමිකර ගන්නට ඉඩ තිබුණි. ජනතා විමුක්ති පෙරමුණට කිසියම් ආකාරයක පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීම මගින් ප‍්‍රචණ්ඩ වැඩපිළිවෙළකට තල්ලූවීමට තිබුණු ඉඩ ඇහිරෙන්නට ඉඩ තිබුණි. දෙමළ නියෝජනයේදී අන්තවාදී ව්‍යාපාර මධ්‍යස්ථ ව්‍යාපාර අතින් පරාජයට පත්වීම මගින් අන්තවාදී ව්‍යාපාරවලට ඉදිරියට යෑමට තිබෙන ඉඩකඩද ඇහිරෙන්නට ඉඩ තිබුණි.
 
මෙසේ මේ ආකාරයට ගමන් ගනිමින් තිබුණු අශෝභන ගමන කෙළවරක් නැති තරමට ලේ වගුරුවන ප‍්‍රචණ්ඩ මාවතකට තල්ලූ කරන ප‍්‍රධාන කඩඉම බවට පත්වීමට 1983දී ඇතිවන කළු ජූලිය සමත් විය. එය සිංහල ප‍්‍රදේශවල ජීවත් වූ දෙමළ ජනයා වෙත එල්ල කෙරුණු නින්දාසහගත හා ම්ලේච්ඡු ප‍්‍රහාරයක් විය. එය මෙතරම් දුර දිග යන බිහිසුණු ක‍්‍රියාදාමයක් බවට පත්වනු ඇතැ’යි ආණ්ඩුව කල්පනා කරන්නට නැතත් එය ආණ්ඩුවේ අනුදැනුම ඇතිව සිදුවූ ක‍්‍රියාදාමයක්ය යන්න මගේ මතයයි.
 
ඒ වනවිටත් ඊලමක් ගැන සිහින දකින තරුණ සුළු පිරිසක් උතුරේ සිටියද ඔවුන්ට මහජන පිළිගැනීමක් තිබුණේම නැති තරම්ය. එහෙත් කළු ජූලියේ ඛේදජනක අත්දැකීම් නිසා යක්ෂාවේශ වූ තත්ත්වයකට පත් උතුරේ තරුණයන් පළිගැනීමේ අදහසින් බුරුතු පිටින් සන්නද්ධ කණ්ඩායම්වලට එකතු වන තත්ත්වයක් ඇතිවී ප‍්‍රචණ්ඩ මාවත උතුරේ ප‍්‍රධාන දේශපාලන ප‍්‍රවාහය බවට පත්වන තත්ත්වයක් ඇතිවිය. එසේම කළු ජූලිය අසල්වැසි ඉන්දියාවට ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසිය හැකි තත්ත්වයක් ලබා දුන්නේය. එම තත්ත්වය පසුව ප‍්‍රචණ්ඩ මාවත තෝරාගත් උතුරේ සන්නද්ධ ව්‍යාපාරවල පැවැත්ම ශක්තිමත් කිරීමට හේතුවිය.
 
අනෙක් අතට ආණ්ඩුවේ කළු ජූලියේ වගකීම ජනතා විමුක්ති පෙරමුණ මත පටවමින් එය තහනම් කිරීම නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට යොමුවී සිටි ජවිපෙ නැවත ප‍්‍රචණ්ඩ මාවතකට තල්ලූ කරන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග ක‍්‍රමයෙන් ප‍්‍රචණ්ඩ අරගල මාවත සිංහල දකුණේද ප‍්‍රධාන ධාරාව බවට පත්වන තත්ත්වයක් ඇතිවී උතුර හා දකුණද ප‍්‍රචණ්ඩ අරගලවලින් පිරුණු හා රට කෙළවරක් නැති තරමට ලේ වගුරුවන තත්්ත්වයක් ඇති කිරීමට හේතුවිය. මෙම ප‍්‍රචණ්ඩ කැරලි මර්දනය කිරීම සඳහා ආරක්ෂක හමුදාවල සංඛ්‍යාත්මක බලය විශාල ප‍්‍රමාණයකට වැඩි කරන්නට සිදුවිය. ඒ සමග දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට තමන්ගේ පුද්ගලික හමුදා ඇති කරගැනීමට ඉඩදෙමින් රටේ අපරාධකාරයන් ඒ පුද්ගලික හමුදාවන්ට අනුයුක්ත කළ පිරිසක් බවට පත්කර ගැනීමට සිදුවිය. ඒ නිසා රටේ අපරාධකාරයන් හා දේශපාලකයන් එකට එකතු වී එකට වැඩ කරන තත්ත්වයක් ඇතිවිය. ඒ නිසා තමන්ට ආරක්ෂාව ලබාදෙන අපරාධකරුවන්ට රැුකවරණය හා ආරක්ෂාව ලබාදෙන්නන් ලෙස ක‍්‍රියාකිරීමට දේශපාලකයන්ට සිදුවිය.
 
ඒ නිසා එක් අතකින් රාජ්‍යයේ ආරක්ෂාව හෝ දේශපාලන අරමුණු හෝ වෙනුවෙන් ආයුධ අතට ගෙන සටන් කරන හෝ මිනිසුන් මරන අයගේ සංඛ්‍යාවේ අතිවිශාල වර්ධනයක් ඇතිවිය. ජේවීපී කැරැුල්ල පරාජය කොට තවත් අවුරුදු ගණනාවකට පසුව එල්ටීටීඊ කැරැුල්ල පරාජය කරන අවස්ථාව වනවිට ත‍්‍රිවිධ හමුදාවට අනුයුක්ත අයගේ සංඛ්‍යාව 4,00,000ක් දක්වා ඉහළ ගොස් තිබුණේය. ග‍්‍රාම ආරක්ෂකයන්ගේ සංඛ්‍යාව හා ජේවීපී කැරැුල්ල හා එල්ටීටීඊ කැරැුල්ලට එකතු වූ අයගේ සංඛ්‍යාව සමග දේශපාලකයන්ගේ පුද්ගලික හමුදාවලට එකතු වූ මැරවරයන්ගේ සංඛ්‍යාවද එකතු කළ විට සමහරවිට විවිධ අරමුණු සඳහා ආයුධ අතට ගත් අයගේ සංඛ්‍යාව 6,00,000කටත් වැඩිවිය හැකිය. රටේ අපරාධකාරයන්ට හා ඔවුන් කරන අපරාධවලට දේශපාලන රැුකවරණය ලැබෙන තත්ත්වය තුළ පත්කරගෙන සිටින අයගේ සංඛ්‍යාවේද විස්මයජනක වර්ධනයක් ඇතිවී තිබේ. 2013 නොවැම්බර්වලදී සිලෝන් ටුඬේ පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට ලංකාවේ ලියාපදිංචි අයිආර්සීකාරයන්ගේ සංඛ්‍යාව 555248කි. අයිආර්සී කාරයන් ලෙස සැලකෙන්නේ අපරාධ වැරදි දෙකකට වැඩි ගණනකට වරදකරුවන් වූ පුද්ගලයන්ය. අවුරුදු 20ට වැඩි ජනගහනය 14304211ක් ලෙස සැලකුවහොත් වැඩිහිටි ජනගහනයේ හැම 26 දෙනකුටම කෙනෙක් අයිආර්සීකාරයෙකි. අයිආර්සීකාරයන් ගණයට වැටෙන පුද්ගලයන්ගෙන් 90%ක් පිරිමින් ලෙස සැලකුවහොත් හැම වැඩිහිටි පිරිමින් 13 දෙනකුටම එක් අයෙක් අයිආර්සීකාරයෙකි. එය ශ‍්‍රී ලංකාව ගමන් ගනිමින් තිබෙන දිශාව පෙන්නුම් කරන හොඳ මාපයකි.
(ඉතිරි කොටස ලබන සතියේ)