ප‍්‍රභූන්ට ඉඩ දී පුරවැසියන් කාණුවට බැසිය යුතු නැත.

ආණ්ඩුව ම කියන පරිදි දැන් ලංකාවේ යුද්ධයක් නැත. යුද්ධය පැවැති කාලයේ ප‍්‍රභූ ආරක්‍ෂාව පිළිබඳ සාධාරණ ප‍්‍රශ්නයක් තිබියේ වුවත්, දැන් එවැන්නක් ද නැත. එවැනි නිදහස් සමාජයක ප‍්‍රභූන්ට තිබිය යුත්තේ අත්‍යවශ්‍ය මට්ටමට වූ ආරක්‍ෂක විධිවිධාන පමණෙකි. එහෙත් තවමත් බොහෝ ප‍්‍රභූහු මෙන් ම ප‍්‍රභූන් ලෙසින් පෙනී සිටින්නෝ ද මහමඟ ගමන් ගන්නෝ එහි අයිතිය තමන්ගේ ලෙස සලකා ය. ඔවුන් මහමඟ ගමන් කරන විට අන් සියලූ අවශේෂ ජනීජනයා හැකි තරම් ඉවත් වී ඔවුන්ට ඉඩ සැලසිය යුතු ය. හැකි නම් කාණුවලට වුව ද බැසිය යුතු ය.

මේ පීඩාව තවමත් මේ රට අත්විඳිමින් සිටියි. එහි අලූත්ම උදාහරණය හිටපු සිසු නායකයකු වූ නීතිඥ උදුල් පේ‍්‍රමරත්නට පසුගිය දා කොළඹ මහමඟක දී මුහුණ පාන්නට වූ සිදුවීමයි. ඔහු තමන්ට මහමඟ ඉඩ නොදුන්නේයැ’යි කියමින්, ප‍්‍රභූ රියක් පසුපස ආරක්‍ෂාව සලසමින් ගිය ඩිෆෙන්ඩර් රථයක සිට බැස ආ සිවිල් ඇඳුමෙන් යුත් ආරක්‍ෂක නිලධාරියෙක් පේ‍්‍රමරත්න මහතාගේ පාදයකට හා හිසට සිය අවියෙන් පහර දී නැවත වාහනයට නැගී ගියේ ය. ඒ මොහොතෙහි මහමඟ යමින් සිටි දහස් ගණනක් මහජනතාව ඉදිරිපිට මේ ප‍්‍රභූ ආරක්‍ෂකයා පේ‍්‍රමරත්න මහතාට එල්ල කළ ප‍්‍රහාරය වනාහි මේ රටේ සාමාන්‍ය ජනතාව අද මුහුණ දෙන රාජ්‍ය බලහත්කාරයේ හා පීඩනයේ ම සජීවී සංකේතයක් වැන්න.

පේ‍්‍රමරත්න මහතා ශාරීරික ප‍්‍රහාරයකට ද මුහුණ දෙමින් අත්විඳි ඒ පීඩනය එදිනෙදා මහමඟ පාපැදිවල සිට විවිධ වාහනවලින් ගමන් කරන අයට නම් සාමාන්‍ය පොදු ගුණාකාරයකි. ඉදිරිපසින් හා පසුපසින් ආරක්‍ෂක රථ පිරිවරාගෙන පැමිණෙන ප‍්‍රභූන්ට ඉඩ දී මහමෙඟන් කැළෑවට පනින්නට ඔවුන්ට සිදු වෙයි. මංසන්ධිවල, වාහන තදබද වී තිබෙන අවස්ථාවල දී පවා, තම වාහන එහෙ මෙහෙ කර ප‍්‍රභූන්ට ඉඩ සලසා දෙන්නටත්, එය කළ නොහැකි නම්, ඩිෆෙන්ඩර් රථවලින් එළියට ඔළුව දමා ගෙන සිටින ආරක්‍ෂකයන්ගේ විවිධාකාර ඇනුම් බැනුම්වලට හා අවමන්වලට මුහුණ දෙන්නටත්, සමහර විට පේ‍්‍රමරත්න මහතාට මෙන් ශාරීරික ප‍්‍රහාරයන්ට භාජනය වන්නටත් මහමඟ ගමන්කරන්නන්ට සිදු වෙයි. ඒ අතර, මේ ඊනියා ප‍්‍රභූහු ගමන්කරන්නෝ මුළුමනින් මාර්ග නීති කඩකරමින්, සමහර විට විරුද්ධ මං තීරුවේ ය. අනෙක් වාහන සියල්ලට අනතුරුදායක ලෙස ඉස්සර කරමිනි. මේ වන විට පළාත් සභා මැතිවරණවල අපේෂකයන්ට පවා මේ ප‍්‍රභූ රෝගය බෝ වී තිබේ. අද ඔවුහු ද මහ මඟ යන්නෝ නිල නොලත් මැරයන් රැුසක් පිරිවරාගෙන බැලූ බැලූවන් බිය ගන්වමින් මාරාන්තික හදිසියකිනි.

කිසිදු ප‍්‍රභූවරයකුට මහාමාර්ගයේ නීති උල්ලංඝනය කරමින් ගමන් කරන්නට නීතිමය අවසරයක් නැතැ’යිද, ඔවුන්ගේ රථ පෙළ ගමන් කළ යුත්තේ ද අන් අයට අවහිරයක් නොවන පරිදි මාර්ග නීති අනුව ම බව ද මීට පෙර අවස්ථාවක දී, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පවසා තිබේ. එහෙත්, මේ ප‍්‍රභූන් හා ඔවුන්ගේ ආරක්‍ෂකයන් ඒ මඟපෙන්වීම් බැ?රුම් ලෙස සලකන බවක් නොපෙනෙයි.

කෙසේ වෙතත්, සමාජයක් ලෙස මේ පීඩනය අප තවදුරටත් ඉවසිය යුතු නැත. ආරක්‍ෂාව පිළිබඳ ගැටලූ ඇත්තටම තිබුණු කාලයේ ප‍්‍රභූ ආරක්‍ෂාව වෙනුවෙන් මේ රටේ ජනතාව ඕනෑවටත් වඩා වන්දි ගෙවා ඇත. එසේ ම මහමඟ දී රටේ අනෙක් ජනතාවත් මේ ප‍්‍රභූ වර්ගයාත් එක සමාන මිස වෙනස් අය නොවෙති. කිසිවකුගේ බලහත්කාරයක් නිසා මහමෙඟන් ඉවත්වන්නට හෝ කාණුවලට බසින්නට හෝ වගකීමක් රටේ මහජනයාට නැත. එනිසා, මේ නීති කඩකරන්නන් හා අහිංසක මහජනතාවට බලහත්කාරය පාන්නන්ට එරෙහි ව සිටීමේ වගකීම ද සමාජය භාරගත යුතු ය.