රාවය

වනාතේ මහ දවල් මෙහෙයුම

වනාතේ මහ දවල් මෙහෙයුම

වහා ගිනි ඇවිලෙනසුලූ තත්ත්වයක තිබූ වනාතේ ජීවිතවලට පළමු ගිනි පුපුර විසිකිරීම නොබෝදා සිද්ධ විය. ඒ දවස සෙනසුරාදාය. පෙබරවාරි මාසයේ පහළොස්වැනිදාය. ඒ අනුව රාත‍්‍රියෙහි කළ දෑ දහවලෙත් හොර රහසේ කළ දෑ එළිපිටත් කිරීමට මේ රටේ හයිකාරයන් මේ දිනවල ලහිපිට සූදානමින් පසුවන බව නොරහසකි.

සමරවීර සුනිල් යනු වනාතමුල්ල පදිංචිකරුවෙකි. ඔහු පැහැර ගනු ලැබුවේ මහ දහවලේදීය. බොහෝවුන් බලා සිටියදීමය. සුනිල් නාඳුනන මුත් කවුරුන් හෝ දන්නා පිරිසක් සුනිල් පැහැරගත්තේ සුනිල් නිහඬ කොට වනාතේ සෙසු ජීවිතවලටද ලොකු පණිවුඩයක් සැපයීමට බව බැලූ බැල්මට පෙනෙන්නට ඇති දෑය.

සුනිල් සමරවීර යනු සාමාන්‍ය මිනිසෙකි. කඩයප්පන් විකුණාගෙන ජීවිකාව ගැටගසා ගන්නා මිනිසෙකි. මෙවන් මිනිසකු පැහැරගෙන යෑම මාධ්‍ය එක දෙකකට ඇරුණු කොට අනෙක්වාට සතපහකට නොවැදගත් පුවතක් බවට පත්වී තිබුණි. සුනිල් පැහැරගෙන ගියේය. ඒ උදේ දහයට පමණය. හවස්වරුවේ ඔහු නිදහස් කොට තිබුණි. එබැවින් දැන් කතා කළයුතු දෙයක් ඉතිරි වී ඇද්ද? සාම්ප‍්‍රදායික කතාබහෙන් එහාට තලූනොමරන විපක්ෂයට සුනිල් පැහැරගැනීම තවත් සුදුවෑන් සිද්ධියකි. එහෙත් මහ දවාලෙහි පැහැරගත් සුනිල් පැහැරගත්තේ සුදුවෑන් එකකින් නොව පැජරෝ එකකිනි. එයද සුනිල් පවසන ආකාරයට මෙරුන් පාටය. පැහැර ගැනීම යනු සුදුවෑන්ම නොව ඕනෑම එකකින් කළහැකි බව සුනිල්ගේ සිද්ධිය කියාපාන්නේය.

තමන්ගේ නිවාස රැුකගැනීම වෙනුවෙන් කතා කළ සුනිල් මහතා පැහැර ගැනීමට ගොදුරු වු විට වනාතමුල්ල ජනතාව වීදි බැස්සෝය. මේ එකමුතුව නොවන්නට මේ පාඩම දේශපාලකයන්ට නොපෙන් වන්නට සුනිල්ද එක්නැළි ගොඩගේ සමාගමේ සාමාජික යෙකු වීමට තිබූ ඉඩකඩ එමටය. ජනයා පාරට බැසගත් සැණින් ක‍්‍රියාත්මක වන පොලිසිය පොලිස් බලය උපරිම පෙන්නුවද වනාතේ ජනයාගේ එකම අරමුණ වූයේ පැහැරගෙන ගිය සුනිල් ලබාදෙන තෙක් පිටතට අඩියක් නොඔසවන බවය. පොලිසියේ උසස් නිලධාරියෙකු ජනතාවට පොරොන්දු වන්නේ විනාඩි හතළිස්පහෙන් සුනිල් ලබාදෙන බවය. හොරා පොලිස් සෙල්ලම පැහැදිලිය. නිරවුල්ය. එහෙත් කුමක් කරමුද? ඡුන්දය කට ළඟ තියාගෙන ආණ්ඩුව මිනිසුන් උස්සයිද? මේ සැහැල්ලූවට යාප්පුවට ඇසිය හැකි ප‍්‍රශ්නයකි. ඒ අනුව සුනිල්ගේ පැහැරගැනීම සුනිල්ගේම රංගනයක් බවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකගේ සිට ජාතික නිදහස් පෙරමුණේ මුසම්මිල් දක්වා පිරිස මොර දෙන්නට වූහ.

වනාතමුල්ලේ සුනිල් පැහැර ගැනීම සුළුකොට තැකිය හැකි ප‍්‍රශ්නයක් නොවේ. මේ චිත‍්‍රයේ බියකරුකම මේ මිනිසුන් දැක්කේ අද ඊයේ නොවේ. තම රැුහේ කවරකු හෝ මේ ඉරණමට මුහුණ දෙන බව ඔවුහු ටක්කෙටම දැනසිටියෝය. ඒ අනතුර කල්තබාම නිතර නිතර දැනුම් දුන් නිසාය. සුනිල් රැුගෙන ගිය සැණින් වීදි බසිනුයේ ඒ නිසා විනා පටු දේශපාලන අරමුණකට නොවන බව ආණ්ඩුව නොදන්නේ වුව මේ ප‍්‍රශ්නය ගැන දන්නා අය දනිති. ලාල්කාන්ත හෝ එජාපය හෝ ඒ ක්ෂණිකව එතැනට යෑම මුසම්මිල්ට ප‍්‍රශ්නයක් වුවද අපට ප‍්‍රශ්නයක් නොවන්නේ දේශපාලනික අරුතින් වුව මුසම්මිල්ලාට මෙය ප‍්‍රශ්නයක් නොවුණාට වනාතේ ප‍්‍රශ්නය මේ අයට ප‍්‍රශ්නයක් වූ නිසාය. හොඳින් බැරි තැන මේ ප‍්‍රශ්නය නරකින් විසඳන තැන උදාවන බව වනාතේ ජනයා මෙන්ම මොවුන්ද දැන සිටි නිසාය.

වනාතේ ජනයා වීදි බැසීම නොවන්නට සුනිල් නැවත නොඑනු ඇත. සුනිල් ඉල්ලා කෑ ගැසූ වනාතේ ජනයාට රතුපස්වල ජනයාට මෙන් නොසැලකුවේ නම් ඡුන්දය එක් පැත්තකින් ළඟ නිසාත් ඊට ආසන්නයේ ජිනීවා අර්බුදයද කලඑළි බැස ඇති නිසාත් බව සිතිය හැක. ඊට අමතරව දකුණු අත කරන දේ වම් අත නොදන්නා නිසාද විය හැකිය. ගිනි අව්වේ කළ මේ වැඬේ ඕනෑවටත් වඩා දියාරු වූ නිසාද විය හැකිය. ඒ කෙසේ වෙතත් මේ අවසන නොව ආරම්භයය.

ආණ්ඩුවට ඇත්තේ මේ මොහොත බේරාගැනීමේ උනන්දුවකි. කොතැනක හෝ වැරදුණ බව ඔවුහු දනිති. ඒ නිසා සුනිල් හවස්වරුවේ ගෙදර ආවේය. පැහැරගෙන නොගියේ නම් මුදාහැරියේ කෙසේද යන්න ගැටලූවකි. සුනිල් මිදී ආමුත් සුනිල් පැහැරගත් වුන් නිදැල්ලේය. එසේ නම් වනාතේ ජනයාට නිදැල්ලේ එහා මෙහා යා හැකිද? දහවලේ වූ දේ රාත‍්‍රියෙහි නොවනු ඇතිද?

මේ කිසිසේත් සුළුකොට තැකිය හැකි ප‍්‍රශ්නයක් නම් නොවේ. අද වනාතේ මිනිසුන් එදාට වඩා නොසන්සුන්ය. සුනිල් හරහා සැමට ලොකු අවවාදයක් දී ඇත්තේය. එනම් ඕනෑම වෙලාවක ඕනෑම දෙයක් කළහැකි බවය.

සුනිල් සමරවීර සාමාන්‍ය මිනිසෙක් වුවත් මේ වනවිට අසාමාන්‍ය කතාවක් කියා හමාරය. ඒ සාමාන්‍ය විරෝධයක් වුව මේ මොහොතේ මේ පොළොවේ වලංගු නැති බවය. වතුර ඉල්ලූවද වෙඩිය. තම ඉඩම ගත්තද අවසානයේ ගුටිය. කටපියාගෙන සිටින තරමට හොඳය. එහෙත් කිසිවක් ඉතිරි නොවනු ඇත. පැහැරගත්තවුන් සුනිල්ගෙන් උපන් දිනය අසා ඇත. එයට පිළිතුරු දුන් පසු ඔවුන් දී ඇති පිළිතුර වී ඇත්තේ ‘උඹ අද ඉඳලා ඒ උපන් දිනය අමතක කරන්න ඕනෑ. මොකද උඹේ උපන් දිනය පටන් ගන්නේ අද ඉඳලා.’ සුනිල් පැහැරගෙන ගියද අතුරුදන් නොවූ බව සැබෑය. එහෙත් මේ කතාව බොහෝ දේ නොකියයිද?

2014 පෙබරවාරි 17 සවස 2ට, වනාතමුල්ල 51 වත්තේදී මාධ්‍යයට කරුණු දක්වමින් පැහැර ගැනීමට ලක්වූ සමරවීර සුනිල් කළ කතාව:

‘‘මම වනාතමුල්ල නිවාස සමිතියේ ඉන්නවා. ඒක නියෝජනය කරනවා. අපේ පැත්තේම හිටපු ප‍්‍රසාද් කියලා කෙනෙක් මේ ව්‍යාපෘතියේ තනතුරක් දරනවා. ඔහු ඇවිත් මට කිව්වා ඔය සමිතියෙන් අයින් වෙලා අලූත් මහල් නිවාසයට යන්න ඔයාට ගෙවල් දෙකක්ම අරගෙන දෙන්නම් කියලා. මම කිව්වා බෑ කියලා. මගේ පවුලේ දහතුන් දෙනෙක් ඉන්නවා.

මේ සිද්ධිය වෙන්න දවස් දෙකකට කලින් ගෝඨාභය මහත්තයා මේ නිවාස බලන්න ආපුවාම මගේ ගේ දිහා බලාගෙන හිටියා. ප‍්‍රසාද්, බි‍්‍රගේඩියර් දෙන්නාම මොනවද මාව පෙන්නලා කිව්වා. ගෝඨාභය මහත්තයා මගේ ළඟට ඇවිත් කිව්වා මට තමුන් එක්ක කතා කරන්න ඕනෑ කියලා. මම කිව්වා මම වගේ පුංචි මිනිහෙක් එක්ක සර්ට කතා කරන්න දෙයක් තියෙනවද කියලා. අනෙක ඒක හරිත් නැහැනේ සර් කියලා මම කිව්වා.
නෑ. නෑ. තමුන් ඕන ප‍්‍රශ්නයක් අහනවා කියලා ගෝඨාභය මහත්තයා කිව්වා.

මම ඇහැව්වා සර් මිලියන හතක් මේ ගෙයක් වටිනවා නම් ඇයි අපට මිලියනයකට දෙන්නේ කියලා. ඒකට සර්ලට කේන්ති ගියා. බි‍්‍රගේඩිර්, ගෝඨාභය මහත්තයාට මම ගැන කේලම් කිව්වා. මමත් ඒ මහත්තුරු මෙහේ ඇවිල්ලා දාන පාට් කිව්වා. අන්තිමට ගෝඨාභය මහත්තයා ඒ අය කියන එක පිළිගත්තා. පිළිඅරගෙන කිව්වා මම කිව්වොත් කිව්වා. ප‍්‍රභාකරනුත් ඉවර කරපු මිනිහෙක් මම. මට මේවා වැඩක් නෑ කියලා.
මම කතා කරනකොට සද්ද වැඩියි. ඒ මගේ කන ඇහෙන්නේ නැති හින්දා නෙමෙයි, මම කතා කරන හැටි. මම කතා කරන කොටත් අතපය විසිවෙනවා. මට අතපය විසිනොකර කතා කරපං උඹේ කට වැඩියි කියලා බි‍්‍රගේඩියර් කිව්වා. එතකොට ගෝඨාභය මහත්තයා ඇහැව්වා උඹ යූඑන්පීකාරයා නේද කියලා. මම කිව්වා ඔව්. ඒත් සර් මේ පාර දෙන්නේ ජේවීපී එකට. මොකද අපිට මෙච්චර ප‍්‍රශ්නයක් වෙලාත් මාස දෙකක් ගියා ආවේ ජේවීපී එකේ සුනිල් මහත්තයා විතරයි. ඒ කළගුණ සලකනවා කියලා. හයියෙන් හයියෙන් දේවල් කිව්වා. කවුරුත් ආවේ නෑ. ළඟටවත්. මගේ අක්කා විතරයි හිටියේ. ඔය ප‍්‍රශ්නය හින්දා තමයි මාව සෙනසුරාදා මාළු කඬේ ළඟ ඉඳලා පැන්නුවේ. කළු ග්ලාස් දාපු පැජරෝ එකක් මගේ පිටිපස්සෙන් ඇවිත් ඉස්සර කරලා නවත්වලා එක්කෙනෙක් බැහැලා ඇවිල්ලා ඇහැව්වා උඹෙ නම මොකක්ද කියලා. මම කිව්වා සුනිල් කියලා. එතකොට කිව්වා අර ජීප් එකේ ඉස්සරහ ඉන්න මහත්තයටත් උඹගේ නම කියපං ගිහින් කියලා. එහෙම කියලා ජීප් එක ළඟට යනකොට දොර ඇරලා මාව දාගත්තා. දාගත්ත ගමන් මගේ නහය බුරියට ගැටෙන විදිහට නවලා ගැටගැහැව්වා. කටත් වැහැව්වා. ඇසුත් වැහැව්වා. වහලා සීට් එක යටට දාලා එක්කෙනෙක් මගේ පිටට කකුලකුත් තියා ගත්තා.

සෑහෙන වෙලාවකට පස්සේ මාව ගේකට ගෙනිච්චා. ගෙනිහිල්ලා ඉටි පැදුරක ඉන්දවලා ප‍්‍රශ්න කළා. කටේ රෙද්ද ලිහලා ප‍්‍රශ්න කළා. උඹ කුඩු ගංජා අරක්කු විකුණනවා නේද කියලා ඇහැව්වා. කොහොමහරි ඔහොම සිද්ධි ගණනාවක් වුණා. හවස මේ අයගේ ෆෝන් රිං වුණා. බොරු නම් කිව්වේ. සිරිපාල, ඥානපාල වගේ බොරු නම් කියලා මට තේරුණා. ඊළඟට මගෙන් ඇහැව්වා උඹගේ උපන් දිනය කවද්ද කියලා. මම කිව්වා 1951-09-10 වැනිදා කියලා. එහෙනම් අද ඉඳලා ඒක අත ඇරපං. අද ඉඳලා උඹගේ උපන් දිනය අද දවසට තියාගනින් කිව්වා.
ඒ කියලා මාව එක්කගෙන ගිහිල්ලා නෑව්වා. මට කිව්වා උඹ එනකම් දැන් මාධ්‍ය බලාගෙන ඉන්නවා. උඹ කියන්න ඕනෑ උඹ අසූ ගණන්වල කුඩු වික්කා කියලා තේරුණාද? මම හා කිව්වා. මම එහෙම කිව්වා. මම අරක්කු ටිකක්වත් බොන්නේ නැහැ. මම සිගරට් විතරයි බොන්නේ. කුඩු, ගංජා, අරක්කු මම කවදාවත් බොන්නේ නෑ. තව ඕනතරම් දේවල් තියෙනවා කියන්න. මම බොරු රඟපෑමක් කළා කියන හින්දායි මේ ටික කිව්වේ.තව කියන්න දේවල් තියෙනවා. මට ජීවත්වෙන්න ඕනෑ නිසා කියන්නේ නැහැ. ඇත්ත පරීක්ෂණයක් කරනවා නම් මට හඳුනාගන්නත් පුළුවන් මාව එක්කගෙන ගිය අය. මම හෙටත් වනාතේ ජනතාව වෙනුවෙන් අපේ ප‍්‍රශ්න වෙනුවෙන් කතා කරනවා.

දුමින්ද සිල්වා අනාථ කළ වනාත
වනාතමුල්ලේ සුනිල් පැහැරගෙන යෑමත් සමග ආවේශ වූ වනාතේ ජනයා වීදි බැස්සේ සුනිල් නිරුපද්‍රිතව ඉල්ලාය. මේ හඬට කන් දෙන්නට මොවුන්ගේ ඡුන්ද යදින ආණ්ඩුවේ කිසිවෙක් නොවීය. එහෙත් හදිසියේ ප‍්‍රාදුර්භූත වූයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාය. මේ ආණ්ඩුවේ අලූත්ම ගැටලූ විසඳන්නාය. මේ නිවාස ව්‍යාපෘති ආරම්භයේදී මුල්ගල් තියන්නට යන්නේද දුමින්දය. ඔහු එදින වනාතට යන්නේද සියල්ල සමනය කොට ලකුණු දාගන්නටය. එහෙත් වන්නේ වෙනකකි. එය දුමින්ද සිල්වා නොව ඒ ආණ්ඩුවේ කවුරු ඒ තැනට ගියද අත්විඳින කරුමයකි. දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාව එදින ජනයා ආමන්ත‍්‍රණය කළේ සුරතල් නාමයකිනි. එය අපි නොලියමු. ඒ විතරක් නොව පරුෂ වචනයෙන් බැණවදිමින් ජල බෝතල් ප‍්‍රහාරද, ගල්ප‍්‍රහාරද දුමින්ද සිල්වාට එරෙහිව සිදුවිය. දුමින්ද සිල්වා වනාතේදී අනාථ වූ තරමද ඉතිහාසයේ ලියා තැබීම වැදගත් වනුයේ වත්මන් දේශපාලනයේ ලොකු අතුවල එල්ලී සිටින ගෙඩිවලටද ජනතාව ගල් ගසන්නට නොපැකිළෙන බව සිහිකැඳවිය යුතු බැවිනි. ජනතාව සැබෑ ලෙස පෙළ ගැසෙන්නේ නම්, එදාට ඕනෑම ඒකාධිපතියෙකු බලපුළුවන්කාරයෙකු මෙල්ල කළ හැකි බව දුමින්ද සිල්වා හරහා වනාතේ මිනිස්සු සනාථ කොට ඇත.