රාවය

ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

ලංකාවේ මානව හි මි ක ම් තත්ත්වය පිළි බඳව නිරන්තර උනන්දුවක් දක්වන්නියක් හා ජාත්‍යන්තර තලයේ අත්දැකීම් සම්භාරයක් ඇත්තියක් හැටියට හැටියට මාර්තුවල ජිනීවා මානව හිමිකම් සැසියේදී ලංකාව සම්බන්ධයෙන් වියහැකි දේ ගැන ඔබේ අදහස මොකක්ද?

මාර්තු ජිනීවාවල න්‍යාය පත‍්‍රය සැකසුණේ අද ඊයේ නෙවෙයි. 2012, 2013 දී ඉදිරිපත්වුණු යෝජනාවල ක‍්‍රියාත්මකභාවය කරා යන පියවරකුයි මේ මාර්තුවේ එන්නේ. මේ යෝජනාව එන්නේ ලංකාවේ ආණ්ඩුවේ නොහැකියාව ජාත්‍යන් තරයට පෙනී තිබෙන නිසා. අනෙක් අතට ඒක ජාත්‍යන්තරයෙන් විතරක් කෙරෙන ඉල්ලීමකුත් නෙවෙයි. ලංකාවේ යුද්ධයෙන් විපතට පත්වුණා වූ සියලූ දෙනාමත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන සියලූ බලවේගත්, මාධ්‍ය ව්‍යාපාරත්, සිවිල් සමාජ සංවිධානත් පශ්චාත් යුද සමයේදී ආණ්ඩුව විසින් අවධානය යොමුකළ යුතු කරුණු කීපයක් කෙරේ අවධානය යොමු නොකිරීම නිසා කළ ඉල්ලීම්වල ප‍්‍රතිඵලයක්. ආණ්ඩුව තමන් ක‍්‍රියාකාරීය කියලා පෙන්වන්න එල්එල්ආර්සී එක පිළිබඳ ජාතික සැලැස්ම පෙන්නුවා, ඒ යෝජනා ගැන කාර්ය සාධක බලකායක් පිහිටෙව්වා, නමුත් අපට පෙනෙනවා යටිතල පහසුකම් පිළිබඳ කාරණාව කෙරේ යොමුවුණා මිසක අවශ්‍ය දේශපාලන පරිවර්තනය හෝ මිනිස් අයිතිවාසිකම්වල වැඩි දියුණුවක් සිදුවුණේ නැතැ’යි කියන එක.

ඒත් මේ යෝජනාව අපි සන්තෝස වෙන කාරණාවක් නෙවෙයි, ශ‍්‍රී ලාංකිකයෙක් හැටියට කනගාටුදායක දෙයක්. මොකද, අපි විසඳාගතයුතු කාරණා ගැන අද වෙනකොට ජාත්‍යන්තරයට යන්න අපට සිදුවෙලා තියෙනවා.

යුද්ධයකට පස්සේ ඕනෑම රටක් ගැන පරීක්‍ෂණයක් පැවැත්වීම සාමාන්‍ය දෙයක්. නැගෙනහිර ටිමෝරය, සුඩානය, දකුණු අප‍්‍රිකාව වගේ රටවල් ගැන එහෙම වුණා. දකුණු අප‍්‍රිකාවයි නැගෙනහිර ටිමෝරයයි තමන්ගේම වූ සත්‍ය සෙවීමේ කොමිෂන්, අපරාධ සම්බන්ධ කොමිෂන් මගින් ඒ කාර්යය රට ඇතුළේම කළා. එහෙම නොවුණු හැම රටක් ගැනම ජාත්‍යන්තර වශයෙන් ඇතිකරගත් ප‍්‍රඥප්තීන් පරිදි බාහිර පරීක්‍ෂණ පවත්වලා යුද නීති උල්ලංඝනය, මානව හිමිකම් නීති උල්ලංඝනය පිළිබඳ පරීක්‍ෂණ කෙරුවා. මේක ලංකාව සම්බන්ධයෙන් විතරක් කරන කාරණාවක් හැටියට හුවා දැක්වීම වැරදියි. පළවෙනි අවුරුදු දෙකේදී අපව තල්ලූ කළේ අභ්‍යන්තරව පරීක්‍ෂණ පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටයි. ඒ ගැන ආණ්ඩුව නිසි පරිදි ප‍්‍රතිචාර නොදැක්වීම නිසා දැන් තුන්වැනිව බාහිර පරීක්‍ෂණයකට යන්න යෝජනා කෙරෙනවා.
ලංකාව තුළ මේ ප‍්‍රශ්නය විසඳාගන්න ආණ්ඩුව උනන්දුවක් දැක්වූයේ නැති බව බව පැහැදිලියි.

මම ඔබට උදාහරණයක් කියන්නම්. ලංකාව තුළ තියෙන ඉතාම වැදගත් යාන්ත‍්‍රණයක් තමයි මානව හිමිකම් කොමිසම. මම ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයාට විරුද්ධව මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පැමිණිල්ලක් දැම්මා, ගුවන්විදුලිය හරහා මට මරණ තර්ජන එල්ලකිරීම පිළිබඳව. ඒ පැමිණිල්ල විභාග කරන්න පෙබරවාරි 18වැනිදා නියමිතව තිබුණා. 17වැනිදා උදේ එහි නීති නිලධාරිනියක් මට දුරකථනයෙන් කියනවා, මානව හිමිකම් කොමිසමේ ධුරකාලය දීර්ඝ කිරීම පිළිබඳ ලිපිය 17වැනිදා වෙනකම් ජනාධිපති කාර්යාලයෙන් ඒ අයට නොලැබීමේ හේතුව උඩ 18 වැනිදා සිට මානව හිමිකම් කොමිසම නෛතික බලයක් නැති ආයතනයක් බවට පත්වෙනවා, ඒ නිසා මගේ පරීක්‍ෂණය දින නියමයක් නැතිව කල් යනවා කියලා. ඔන්න, මානව හිමිකම් කොමිසම කියන ජාතික යාන්ත‍්‍රණයෙන් පරීක්‍ෂණයක් බලා පොරොත්තු වුණ මට ලැබුණු දේ. මාර්තු මාසේ ලංකාවේ තත්ත්වය ගැන ජාත්‍යන්තරව කතාබහ වන්නට නියමිත පසුබිමකදී පවා ලංකාවේ දේශපාලන න්‍යාය පත‍්‍රයේ එවැනි ජාතික ආයතනයක ධුර කාලය ගැනවත් උනන්දුවක්් වුවමනාවක්් නැහැ.

මාර්තුවේදී ලංකාවට විරුද්ධව යෝජනාවක් සම්මත වෙන්න ඉඩක්් තියෙනවාද?

ලංකාවට විරුද්ධ යෝජනාවක් නෙවෙයිෟ ඒක අපි නිරන්තරයෙන් අවධාරණය කළ යුතු දෙයක්. මේ යෝජනාව මහින්ද රාජපක්‍ෂගේ පාලනය ගැන කතිකාවක්. නමුත් ආණ්ඩුව හිතනවා රට සමානයි තමන්ට කියලා. ඒ වගේම මේක ආණ්ඩුව පෙරළීමේ කුමන්ත‍්‍රණයකුත් නෙවෙයි. රටේ පාලනය වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විය යුතුයි, ක‍්‍රමවත් විය යුතුයි කියන එකයි ඉන් කියන්නේ. මුළු යෝජනා දිහා බැලූවොත් පෙනෙන්නේ ස්වාධීන කොමිෂන් සභා පිහිටුවන්න, මැරුණේ කවුද, මැරුවේ කවුද කියලා පරීක්‍ෂණ පවත්වන්න කියන එකයි. ඇයි ඒක කරන්න බැරි?

1989 ගණන්වල යූඑන්පී ආණ්ඩුව කාලේ වාසුදේවත් මහින්ද රාජපක්‍ෂත් එකතුවෙලා මේ විවේචනයම අරගෙන ගියාම යූඑන්පී ආණ්ඩුව අතුරුදන්වූවන්ගේ කොමිෂන් සභාවට ලංකාවට එන්න ඉඩ දුන්නා. යූඑන්පී ආණ්ඩුවට තිබුනා දැක්මක් මේ තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවක් හැටියට වගකිව යුතුයි කියලා. ආණ්ඩුවේ කිසි කෙනෙක් හිතුවේ නැහැ ඒක පෞද්ගලිකව තමන්ට එල්ලවූ චෝදනා හැටියට. ඒත් මේ ආණ්ඩුවේ ඉන්න වාමාංශිකයන් පවා මේ විවේචනය ගැන බලන්නේ ඒගොල්ලන්නට තැන නැතිවෙයි කියලා බයෙන් මහින්දව බේරාගන්නයි. මහින්දව බේරාගන්නයි කියලා ගිහින් ඔවුන් ආරක්‍ෂාකරගන්නේ ජාතිවාදී රාජ්‍යයක්. හමුදාවාදී විධායකයක් හා බලයක් නැති අධිකරණ පද්ධතියක්.

මහකොමසාරිස් නව නීදන් පිල්ලෙයිගේ වාර්තාව දැනටත් අනාවරණය වෙලා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?

ඒක කිසිම අලූත් දෙයක් නැති, වැදගැම්මකට නැති වාර්තාවක්. පහුගිය කාලයේ එල්එල්ආර්සී නිර්දේශවල තියෙන, ලංකාවේ ජාතික ක‍්‍රියාකාරී සැලැස්මේ තියෙන, සිවිල් සමාජය නිරන්තරයෙන් කියන දේවල්මයි ඒකේත් තියෙන්නේ. සහ හැමදාම කියන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඕනෑය කියන එක. මේකේ කිසිම තැනක නැහැ, ලංකාවේ ජාතික නායකයන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට ගෙනියන්න, ජනාධිපති තුමාව විදුලි පුටුවක තියන්න කියලා.

සංයුක්තව ලංකාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන් කුමක්ද?

මේ වෙනකොට ලංකාව සම්බන්ධයෙන් ලොකු විවාදයක් තියෙනවා. ලලිත් වීරතුංග මහත්තයා පහුගිය දිනවල ජිනීවා ගිහින් එල්එල්ආර්සී ක‍්‍රියාකාරී සැලැස්ම ගැන පැහැදිලි කළා. නමුත් උතුරේ ජනතාවට තමයි එල්එල්ආර්සී ක‍්‍රියාකාරිතවය ගැන ඇත්ත අත්දැකීම් තියෙන්නේ. උතුරේ ගොඩනැගිලි පාරවල් තියෙන බව ඇත්තයි. ඒත් ඒ මිනිස්සුන්ගේ එදිනෙදා ජීවිත ප‍්‍රශ්නවලට, ජීවනෝපාය ප‍්‍රශ්නවලට, කාන්තාවන් මුහුණ දීලා තියෙන ප‍්‍රශ්නවලට ලැබිලා තියෙන විසඳුම මොකක්ද? මේ සියල්ලෙන් පෙනීයන්නේ ලංකාවේ ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් විසඳුමක් නැහැ කියන එක. එවැනි තත්ත්වයක ජාත්‍යන්තර වශයෙන් සිද්දවෙනවා ජනතාව ඉල්ලා සිටින්නාවූ යුක්තිය ඉෂ්ටකරගැනීම සඳහා යම් බලපෑමක්, මීට වඩා ලොකු තෙරපුමක් කරන්න. ඒ තෙරපුම විවිධාකාරයෙන් එන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරිත්වයත් එක්කනේ මේ සියල්ල වෙන්නේ. මානව හිමිකම් කවුන්සිලය කියන්නේ ඒකේ එක මණ්ඩලයක්. ඒ මණ්ඩලය තුළ දැනට තියෙන යෝජනාව තමයි, ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඕනෑය කියන එක. එවැනි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලය තුළ සම්මත වුණාම කවුන්සිලයේම කමිටුවක් හෝ මහ කොමසාරිස්වරියගේ කාර්යාලය හරහා පත්කළ කමිටුවක් හරහා හෝ පරීක්‍ෂණ පවත්වලා මානව හිමිකම් කවුන්සිලයට වාර්තාවක් නැවත ලබාදෙන ලෙස ඉල්ලා සිටින්න පුළුවන් කිසියම් කාල වකවානුවක් තුළ. ඒ පරීක්‍ෂණයට සාක්කි දෙන්න පුද්ගලයන්ට යන්න පුළුවන්. මේක අලූත් දෙයක් නෙවෙයි, මොකද බන් කී මූන් මහත්තයා විසින් පත්කරන ලද විද්වත් කමිටුවටත් ඔහොම සාක්කි ආවා.

මම කියන්නේ මේක ලංකාව ගැන කාරණයක් විතරක් නෙවෙයි, ලෝක මානව හිමිකම් සංස්කෘතිය පිළිබඳ කාරණයක්. මානව වර්ගයාගේම මානව හිමිකම් සංස්කෘතිය පිළිබඳ අභියෝගයක්. මේ අවස්ථාවේදී ලංකාව ඒකට උදාහරණයක් පමණයි. සිරියාව, පලස්තීනය, සුඩානය තවත් උදාහරණ. ඇත්තටම මෙහිදී අභියෝගයට ලක්වෙලා තියෙන්නේ ලංකාවේ ස්වෛරීභාවය නෙවෙයි, ජාත්‍යන්තර මානව හිමිකම්වල ස්වෛරීභාවය. ඒ විදියට බැලූවාම මේක ලංකාවට ඇඟිලි ගැහීමක් නෙවෙයි, මහා පරිමාණ මානව හිමිකම් කාරණාවක්. ලංකාවේ ගැටුම්වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැහැර හැරීම් පවා මේ පරීක්‍ෂණයේදී එළිදරව් කළ යුතුයි. මානව හිමිකම් නීති උල්ලංඝනය වුණාද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් ජනතාවට සහන සැලසීමේදී පැහැරහැරීම් කර තිබෙනවාද, නියම තොරතුරු සංවිධානයට ගියේ නැද්ද වැනි කාරණා ගැනත් සොයා බැලිය යුතුයි. ඒවා ගැන ‘පෙට්රි වාර්තාව’, ඒ වගේම බන් කී මූන් මහත්තයාගේ ‘විද්වත් මණ්ඩල වාර්තාව’ වැනි වාර්තා දැනටත් තිබෙනවා. හැබැයි මේ වාර්තා අපේ රටේ කොමිසම්වල වාර්තා වගේම බන් කී මූන්ගේ හමස් පෙට්ටියේ තියෙන්නේ. ඒ අතින් මහින්ද රාජපක්‍ෂ වගේම බන් කී මූනුත් අද ඉන්නේ විත්ති කූඩුවේ.

දළ වශයෙන් අනුමාන කරන්න පුළුවන් එකක්, යුද්ධයේදී සිදුවුණු අපරාධ පිළිබඳ සාක්කි මත යම් විමර්ශනයක් වෙන්න පුළුවන්. මානුෂික නීති උල්ලංඝනය කිරීම් ගැන හොයන්න පුළුවන්. මම දකින්නේ ඒ වාර්තා හරහා ප‍්‍රතිසංස්කරණ වෙනුවෙන්, වෙනස් කිරීම් සම්බන්ධයෙන් වගේම දඬුවම් දීම් සම්බන්ධයෙන් යම් යෝජනා එන්න පුළුවන්. ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ අත්සන් කරලා නැති තත්ත්වයක් යටතේ වහාම ඒ පිළිබඳ පියවර ගන්න කියලා තෙරපුම් එන්න පුළුවන්.

ඒ කියන්නේ ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයට අදාළ රෝම ප‍්‍රඥප්තියට අත්සන් කරන්න කියලාද?

එවැනි තෙරපුමක් පවා එන්න ඉඩතියෙනවා. එහෙම නැත්නම් යුද අපරාධ පිළිබඳ චෝදනා විභාග කරන්න ක‍්‍රමයක් නැහැනේ. ලංකාවේ හමුදා අධිකරණ විසින්ම පවත්වපු අභ්‍යන්තර විමර්ශනවලට මොකක්ද වුණේ කියලා අපි හැමෝම දන්නවානේ. ඒ අනුව අයිසීසීඑකට අත්සන් කරන්න කියන එක එක් තෙරපුමක්. ඒ වගේම සම්බාධක හෝ යම් කොන්දේසි පනවන්න පුළුවන්.

ඒ වගේම මම දකින්නේ, ජාත්‍යන්තරය ලංකාවට ආදරෙයි. ඒ නිසා ඉතා නරක තත්ත්වයක් ඇතිවන එකක් නැහැ. මේක මහා කුමන්ත‍්‍රණයකුත් නෙවෙයි. පහුගිය වකවානුවේ අපි යන යන හැම රටකදීම අහන්නේ ඔබේ රට කොයිතරම් හොඳ රටක් හැටියට තිබුණාද, ඇයි ලංකාවට මෙහෙම වුණේ කියලායි. වංචාව දූෂණය මේ තරම් තියෙනවාද, ජනාධිපතිගේ මස්සිනා ඇත්තටම ප්ලේන් එකක් තමන්ට වුවමනා විදියට ගෙන්නාගත්තාද, ජනාධි පතිගේ පුතා රටේ අගනුවර පාරවල් වහලා රේස් පදිනවාද, ජනතාව ඒවාට විරුද්ධ වෙන්නේ නැද්ද කියලා ඒ අය අහනවා. ඔවුන්ට පුදුමයි. ලංකාවේ මීට ඉස්සෙල්ලා පාලනය කරපු පවුල් ගැන මෙහෙම ඕපාදූප ගිහින් තිබුණේ නැහැ. ජාත්‍යන්තරය ද්‍රෝහී විදියට ලංකාව වට්ටන්න යනවා කියලා ආණ්ඩුව නරක චිත‍්‍රයක් ඇන්දාට මම දැනුවත්ව ජාත්‍යන්තරය ඉන්නේ ලංකාව බේරාගැනීමේ පැත්තේ. හැබැයි බේරාගන්නවා කියන්නේ චීනයයි රුසියාවයි එකතුවෙලා මහින්ද රාජපක්‍ෂව බේරාගන්නවා කියන එක නෙවෙයි.

ඒ වගේම ද්විපාර්ශ්වීය ගනුදෙනු මත කොන්දේසි පැනවෙන්න පුළුවන්. ලංකාවට විවිධ ආධාර කරන රටවල ජනතාවගෙන් විවිධ ප‍්‍රශ්නකිරීම් මතුවෙන්න පුළුවන් මේ වගේ තත්ත්වයක් තියෙන ලංකාවට අපේ බදු මුදල්වලින් ආධාර දීම ගැන නැවත සලකා බලන්නය කියලා. එය ද්විපාර්ශ්වීය ගනුදෙනුවලට බලපාන්න පුළුවන්. විවිධ රටවල ලංකාවේ ආයෝජන සම්බන්ධයෙන් බලපෑම් ඇතිවන්න පුළුවන්. ඒක විශේසයෙන් ලංකාවේ ව්‍යාපාරික ප‍්‍රජාවට බලපාන දෙයක් වේවි.

ජා ත ්‍ය න් ත ර පරීක්‍ෂණ යක් සඳහා ලංකාවේ කැමැත්ත වැදගත් නැද්ද?

ලංකාවේ එකඟත්වය නැතිවුණත් ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන්න පුළුවන්. විමර්ශන කමිටුවට ලෝකේ ඕනෑම තැනක ඉඳගන්න පුළුවන්. මූන්ගේ විද්වත් කමිටුව ඉඳගත්තේත් එහෙමනේ. ඒ නිසා ලංකාවේ එකඟත්වය වැඩක් නැහැ. තමන්ට වෙච්ච අසාධාරණයන් ගැන, ඒවා කළේ කවුද කියන එක ගැන ඕනෑම කෙනෙකුට ඒකට නිල වශයෙන් තොරතුරු දෙන්න, සාක්‍ෂි දෙන්න පුළුවන්.

ඒ කමිටු වාර්තාව මත ඊළඟට විය හැක්කේ මොකක්ද?

ඒ මත නැවත නැවතත් යෝජනා එන්නට පුළුවන්. එකම දේ මේ වාර්තා නිසා ලංකාවේ ඊළඟට එන රජයන් පවා මානව හිමිකම් ප‍්‍රමිතීන් පිළිබඳ යම් බැඳතැබීමකට යටත් වෙනවා. ඒ අතින් මේකේ හොඳකම තමයි ලංකාව ජාත්‍යන්තර න්‍යාය පත‍්‍රයේ මුදුනේ තබාගන්නට හැකිවීම. ඒකමයි ලංකාවේ ආණ්ඩුවට ඕනෑ නැත්තේත්. උදාහරණයක් හැටියට අතුරුදන්කිරීම් අපරාධයක් හැටියට නීතිගත කිරීම් ලංකාවේ ඉදිරි කිසි ආණ්ඩුවකට නොකර සිටීමට බැරි විදියේ තත්ත්වයක් එනිසා ඇතිවෙලා තියෙනවා. ඒ වාගේම මම හිතන්නේ අනාගත කොමිසමක විමර්ශනයේදී ලංකාවේ මාධ්‍ය මර්දනය ගැන ඉතාම අවධාරණයෙන් කතාකළ යුතුයි කියලා. ලසන්තගේ ඝාතනය ගැන තොරතුරක් මේ ජාත්‍යන්තර පරික්‍ෂණයේදී එළියට ගන්න පුළුවන් නම් ඉතාම ලොකු දෙයක්. අපි ඉල්ලා හිටිය යුතුයි ඒ ගැන තොරතුරු දන්න අයට පරීක්‍ෂණයේදී ඉදිරිපත්කරන්නය කියලා.

එහිදී සාක්‍ෂි දෙන පුද්ගලයන්ගේ ආරක්‍ෂාව ගැන සහතිකයක් තියේවිද?

ජාත්‍යන්තර පරීක්‍ෂණ යේදී සාක්‍ෂි දෙන පුද්ගලයන් ආරක්‍ෂා කිරීම, අවශ්‍ය වන්නාවූ වියහියදම් දැරීම, වීසා පහසුකම් ලබාදීම යනාදිය ගැන ජාත්‍යන්තරයට වගකීමක් තියෙනවා.

ජිනීවාවලදී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවේ භූමිකාව කුමක් වෙයිද?

ඉන්දියාව 2013 යෝජනාවට පක්‍ෂව ඡුන්දය දුන්නානේ. ඒ නිසා මේ යෝජනාවටත් පක්‍ෂව ඡුන්දය නොදී බැහැ. ඒ මත පමණක් පදනම් වෙලා නෙවෙයි ඉන්දියාවේ භූමිකාව දෙස මම බලන්නේ. දැන් ඉන්දියාවේ බීජේපීය හා කොන්ග‍්‍රසය අතරවිශාල ගැටුමක් තිබෙනවා. බීජේපීයේ ප‍්‍රධාන සටන්පාඨය ‘අඛණ්ඩභාරත්’ හා ‘හින්දුත්වා’ කියන අදහසයි. මේ නිසා ඉන්දියාවේ ජනතා ව්‍යාපාර, මුස්ලිම් දේශපාලන බලවේග විශාල තැතිගැන්මකට ලක්වෙලා ඉන්නේ. මෝඩිගේ සියලූම දේශපාලන කතා ඉතාමත් ප‍්‍රචණ්ඩයි. ඉතාමත්ම වෛරය දනවන සුලූයි. මේ ගැටුම තුළ ඉන්දියාවේ මතුවන අනාගත දේශපාලන බලවේගය ලංකාවේ ජාතික ප‍්‍රශ්නයට, එක්සත් ජාතීන්ගේ යෝජනාවට යම් බලපෑමක් කරන්න පුළුවන්. දකුණු ඉන්දීය දේශපාලන ව්‍යාපාර ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලනවා, අමෙරිකාවත් එක්ක මේ යෝජනාවට සමඅනුග‍්‍රහය දක්වන්න කියලා. ඒ තෙරපුම වැඩියි. ඒ අතර බීජේපීයේ අඛණ්ඩභාරත් සටන්පාඨය අපට විශාල භයානක තර්ජනයක්. කොන්ග‍්‍රසය අපට විරුද්ධව පසුගිය වාරයේ ඡුන්දය දුන් නිසා කොංග‍්‍රසය පරද්දන්න මෝඩි එක්ක එකතුවෙන්න ලංකාවේ සමහර අය හිතනවා. අඛණ්ඩභාරත් කියන්නේ පැරණි භාරතය නමැති අර්ථයෙන් ‘නොකැඩුණු භාරතයක්’ කියන අදහස. ඒකට මුළු දකුණු ආසියාවම අයිතියි. එහිදී ඉන්දියාවේ ප‍්‍රාන්ත ආණ්ඩුත් නැතිවේවි. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ ස්වෛරී භාවයකුත් නැතිවෙයි. ලංකාවත් අඛණ්ඩ භාරතයේ කොටසක් වේවි.