සිල්රෙද්දෙන් දඩයමේ යන ගම්මන්පිල

 

උදය ගම්මන්පිල මහතා ජාතික හෙළඋරුමයේ නීතිය පිළිබඳ බුද්ධිමතාය. එසේම පක්‍ෂයේ අන් සියල්ලන්ටම වඩා තම දේශපාලනයේ පිරිසිදුකම ගැන උදම් අනන්නාය. දැන් ඔහු තමාගේ දේශපාලන සිල් ඇඳුමේ කුණු තලියක් තවරාගෙන සිටියි. ඒ ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ තම මැතිවරණ වේදිකාවට කැඳවාගැනීමෙන්ය.

පුළුවන් දෙයක් කරපල්ලා

ලංකාවේ පවතින නීතිය අනුව රාජ්‍ය සේවයේ මාණ්ඩලික නිලධාරියකුට දේශපාලන මතයක් ප‍්‍රකාශකිරීමට, දේශපාලන වේදිකාවට ගොඩවීමට අයිතියක් නැත. එසේ නියම කරඇත්තේ රාජ්‍ය සේවය දේශපාලනිකකරණයෙන් මුදවාගැනීමටය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ගම්මන්පිල මහතාගේ දේශපාලන වේදිකාවට ගොඩවිය. ඒ ‘පුළුවන් දෙයක් කරපල්ලා. මම නීතිය කඩනවා.’ කියන ස්වරයෙන් බව හොඳින් පෙනෙන්ට තිබේ. වර්තමාන ලංකාවේ දේශපාලන බලයේ හා හිතුවක්කාරකමේ සැබෑ තත්ත්වය එයයි.

තමා ගම්මන්පිලගේ දේශපාලන වේදිකාවට මේ ගොඩවූයේ දෙවැනි වතාවට බවද රාජපක්‍ෂ මහතාම ඒ උත්සවයේදී කීවේය. මීට පෙර මැතිවරණයකදී ඔහු දේශපාලන වැඩ කරන විටද එය වළක්වන ලෙස පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් වුණේය. කොමසාරිස්වරයා කළේ ඒ පැමිණිල්ල ජනාධිපති ලේකම්වරයා වෙත යැවීමය. මන්ද, ආරක්‍ෂක ලේකම්වරයා පත්කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් වන නිසාය. ජනාධිපති ලේකම්වරයා ඒ පැමිණිල්ල ජනාධිපතිවරයාට පෙන්වූවාදැ’යි කියන්නට බැරිය. එහෙත් කිසිවක් සිදු නොවුණි.

දැඩි විරෝධයක්

ගෝඨාභය රාජපක්‍ෂ මහතා දෙවැනි වරටද මෙවර රටේ නීතිය ප‍්‍රසිද්ධියේ කඩකළේය. එහෙත් මෙවර තත්ත්වය වෙනස්ය. නැවත වරක් ඒ ගැන පැමිණිල්ලක් මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත්ව තිබෙනවා පමණක් නොව ආණ්ඩුවේ හැර රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ සියල්ලද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන වැඩ ගැන කොමසාරිස්වරයාට සිය විරෝධය බලවත් ලෙස පළකරන තැනකට ගොස් තිබේ. ඒ හැරුණු විට සමාජයේ බුද්ධිමත්, ශීලාචාර හා නීතිගරුක පිරිස්වල දැඩි විරෝධයටද එය හේතු වී තිබේ. තමාගෙන් කරනු ලබන සෑම විමසීමකදීම කොමසාරිස්වරයා පැහැදිලිව කියන්නේ අමාත්‍යාංශ ලේකම්වරයකුට දේශපාලනය කිරීමට අයිතියක් නැති බවය. දැන් රටේ නීතිගරුක මිනිසුන් බලා සිටින්නේ මහදවල් නීතිය කැඩූ ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ලැබෙන ප‍්‍රතිචාරය දෙසය.

මේ නීතිය කැඞීමෙහි වැදගත් වගකිවයුතු අනෙක් පාර්ශ්වය ජාතික හෙළ උරුමයේ අපේක්‍ෂක උදය ගම්මන්පිලය. ඔහු කියන විදියට ඔහු පෙනීසිටින්නේ දූෂණයෙන්, අයුතු බලය පාවිච්චිකිරීමෙන් තොර පිරිසිදු ශීලාචාර දේශපාලනයක් වෙනුවෙනි. ඒ නිසා, සල්ලිකාරයන්ගේ සාක්කුවට නොවැටී ජනතා හිතවාදී පිරිසිදු දේශපාලනයක් කිරීමට මහජනතාවගෙන් රුපියල් සීය බැගින් එකතුකිරීමේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයක්ද ඔහු පවත්වාගෙන යයි. එහෙත්, මේ සියලූ ඊනියා සිල්වත්කම් අස්සෙන් දැන් පෙනෙන්නට පටන්ගෙන ඇත්තේ ඔහුද මේ ජරාජීර්ණ දූෂිත කුණුගොඬේ තවත් කැබැල්ලක් පමණක් බවය.

දැන දැන නීති කැඞීම

ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමාත්‍යාංශ ලේකම්වරයකු ලෙස දේශපාලනය කිරීමට බැරි බව ගම්මන්පිල හොඳින් දනියි. ඔහු නිතරම කියවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවත්, ආයතන සංග‍්‍රහය අනුවත් එය ඉතා පැහැදිලිය. දැන් සිදුවී ඇත්තේ ඒ සියල්ල හොඳින් දැනගෙන නීතිය කැඞීමය. නීතිය ආරක්‍ෂාකරනවායැ’යි කියමින් නීතිය කැඞීමය. එපමණක් නොවේ. තමන් කළ නීති විරෝධී ලජ්ජාසහගත කාරිය සාධාරණීකරණයටද ඔහු නොපැකිළෙයි. පසුගිය සතියේ ඔහු රාවයට කියා තිබුණේ අමාත්‍යාංශ ලේකම්වරුන් ජනාධිපතිවරයා විසින් පත්කරන නිසා, ඔවුන්ගේ තනතුරු දේශපාලන තනතුරු වන බවය. මේ නම්, නීතිය දන්නා කෙනකු හැටියට පෙනීසිටින පුද්ගලයකුගේ කෛරාටික ප‍්‍රකාශයකි. ජනාධිපතිවරයා පත්කළ පමණින් ඒවා දේශපාලන තනතුරු වන්නේ නම්, අගවිනිසුරුගේ සිට සියලූ පුද්ගලයන්ට ප‍්‍රසිද්ධ දේශපාලනය කළ හැකි විය යුතුය. ගම්මන්පිල මහතා එයින් කළේ තම නොදන්නාකම ප‍්‍රකාශකිරීමක් නොවේ. හොඳින් දන්නා දෙයක් විකෘතිකර තමන්ගේ අවස්ථාවාදීත්වය ප‍්‍රකාශකිරීමකි.

කෙසේ වෙතත් සිදුවූ වරද ගැන ඔහු පසුව කනගාටුව පළකළේය. එහෙත් ඒ වුවද අවංකව නොවන බව පෙනෙන්නේ ඒ අවස්ථාවේදීද අමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උපුටා දක්වමින්, අමෙරිකාවේ රාජ්‍ය, විදේශ වැනි ලේකම්වරුන් ඍජු දේශපාලන තනතුරු වන බවත් ලංකාවේ තත්ත්වයද ඊට සමාන වන බවත් ඔහු කී බව මාධ්‍ය වාර්තාකර ඇති නිසාය. අමෙරිකාවේ ක‍්‍රමය ලංකාව සමග කිසිම පෑහීමක් නැත. අමෙරිකාවේ සිටින්නේ ඇමතිවරු නොවෙත්. ඒ වෙනුවට ලේකම්වරුය. ජනාධිපතිවරයා විසින් පත්කෙරන ඔවුහු ඒ ඒ දෙපාර්තමේන්තුවල දේශපාලන නායකයෝය. හෙවත් ලංකාවේ ඇමතිවරුන්ට සමානය. එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා එවැන්නෙක් නොවේ. අමාත්‍යාංශයක ලේකම්වරයෙකි. ඔහු පත්වන්නේ ජනාධිපති වරයාගේ සහෝදරයා නිසා බවද, එය දේශපාලන වශයෙන් කරන ලද පත්වීමක් බවද ඇත්තය. එහෙත්, ඔහුගේ ධුරය අමාත්‍යාංශයක ලේකම් ධුරයකි. එහිදී ඔහු හැසිරිය යුත්තේ රාජ්‍ය පරිපාලනයේ මූලධර්ම අනුවය. තමන් රාජපක්‍ෂ පවුලේ නිසා හෝ දේශපාලන පත්වීමක් ලද නිසා හෝ රාජපක්‍ෂ මහතා දේශපාලනය ප‍්‍රසිද්ධියේ කරන්නට ගියොත්, අනෙක් අමාත්‍යාංශ ලේකම්වරුන්ට, මාණ්ඩලික නිලධාරීන්ට ඔහු දෙන ආදර්ශය කුමක්ද? තමා මෙන් රිසි සේ රටේ නීතිය කඩන්නට උසිගැන්වීමක්ද?

මැතිවරණ වරදක්

ගම්මන්පිල මහතා කරඇත්තේ, මැතිවරණ වරදකි. ඒ වරද ඔහුට ඡුන්දය ඉල්ලීමට ඇති නීත්‍යනුකූලභාවය දුර්වල කරනවා පමණක් නොව, තේරීපත්වුණු පසු ඔහුගේ පත්වීම අවලංගු කරගතහැකි වන අන්දමේ නීති කෘත්‍යයකට වුවද යාහැකි තරම් බලවත් මැතිවරණ වරදක් බව අපගේ නිරීක්‍ෂණයයි.

ඕමල්පේ හාමුදුරුවන්ගේ බණ

ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා නැගි වේදිකාවේ තවත් හෙළඋරුම අපේක්‍ෂකයකු වන නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ මහතාද සිටියේය. එනයින් ඔහුද, ඒ මැතිවරණ වරදේ හවුල් කාරයෙකි. ඊට අමතරව ජාතික හෙළ උරුමයේ සභාපති ඕමල්පේ සෝභිත හිමිද සිටියේය. සෝභිත හිමි පසුගිය කාලයේ වඩාත් ප‍්‍රසිද්ධ වූයේ අගමැති වරයාගේ අනුග‍්‍රහයෙන් කුඩු කන්ටේනරයක් ගෙන්වීයැ’යි චෝදනා කොට අගමැතිවරයාට එරෙහිව රටේ නීතිය ක‍්‍රියාත්මක කරකන්නටයැ’යිද, අගමැති ධුරයෙන් ඔහු පහ කරන්නටයැ’යිද කරන ලද මහත් කලබැගෑනිය නිසාය. එහිමියන් ඒ අවස්ථාවේදී කීවේ, රටේ නීතිය කාටත් එක සේ ක‍්‍රියාත්මක විය යුතු බවය. දැන් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමග එකම වේදිකාවක සිටීමෙන් එහිමියන්ද රටේ නීතිය කැඞීමට බලවත් දායකත්වයක් ලබාදී තිබේ. ඒ හිමියන් අගමැති දිමු ජයරත්නට එරෙහිව එල්ල කල තර්ජනාං ගුලිය දැන් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට එරෙහිවත් එල්ල කරන්නේද? නීතිය කැඩූ නිසා ඔහුද ඉල්ලා අස්විය යුතුයැ’යි ප‍්‍රකාශ කරන්නේද?

හක්කේ බුදුරැුස්

සාමාන්‍යයෙන් නීතිය කඩන්නවුන් තවත් වරක් නීතිය කැඞීම, වරදක් වන නමුත් එතරම් අමුත්තක් ලෙස සමාජයට තේරුම්යන්නේ නැත. එහෙත් පැය විසිහතරේම සදාචාරය මත මාරාන්තික ලෙස හැසිරෙන්නවුන් දැන දැනම නීති කැඞීම එලෙස සරල දෙයක් නොවේ. රටේ මහජනතාව වඩාත් පරෙස්සම් විය යුත්තේ හක්කේ බුදුරැුස් බොක්කේ දඩමස් සහිත ඔවුන්ගෙන්ය.