මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

 

ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්පත් වාර්තාකළ අන්දමට ඔහුගේ ප‍්‍රකාශය මෙසේය.

‘පොළොන්නරුවට (ඇමැති පේෂල ජයරත්නට) මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡුන්දයට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස්කිරීමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි.
මම සෞඛ්‍ය ඇමැතිකම ගන්නකොට මගේ මිත‍්‍ර ඇමතිවරු දෙන්නෙක් කිව්වා, ඇමැතිතුමා මේකේ ලොකු වෙනස්කම් කරන්න යන්න එපා, එහෙම වුණොත් වැඩකරන්න අමාරුයි කියලා. ඒ කියමන අහලා මම ලොකු වෙනස්කම් නොකර පුංචි පුංචි වෙනස්කම් කළා. ඒ කිව්ව දේ අහන්නේ නැතිව මම ලොකු වෙනස්කම් කරන්න ගියා නම් පේෂල ඇමතිතුමාට සිද්ධවුණ දේ මටත් සිද්ධ වෙනවා.’
මෛත‍්‍රීපාල සිරිසේන ඇමැතිවරයා මේ කියන්නේ උතුරුමැද පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති පේෂල ජයරත්නගේ ධුරය වෙනස්කොට පසුගිය කාලයේ ඔහුට වෙනත් ඇමති ධුරයක් ලබාදීම ගැනය. එහෙත් ඊට පසු ඔහු පවසන දේ ලංකාවේ මේ මොහොතේ ක‍්‍රියාත්මක වන රාජ්‍ය පාලනය ගැන අප කවුරුත් දන්නා ඇත්තක් නැවත තහවුරු කරයි.

ඔහු මේ ආණ්ඩුවේ සිටින ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයකු වන බව කවුරුත් දනිති. එසේම, නියම ශ‍්‍රී ලංකාකාරයෙකුයැ’යි කිවහැකි බිම් මට්ටමේ සිට ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් සමග යහපත් සම්බන්ධයක් දක්වන දේශපාලනඥයෙකි. පසුගිය මහ මැතිවරණයේදී ඔහු ප‍්‍රචාරක ව්‍යාපාරය හැසිරවූයේ අගමැති ධුරයට ඔහු පත්වනු ඇතැ’යි යෝජනා කරමිනි. එහෙත් එය නොලැබිණ. දිමු ජයරත්න මහතාටම අගමැතිධුරය ලැබිණි.
සිරිසේන මහතා කියන දේ ඉතා පැහැදිලිය. ඔහු කියන්නේ, තමා සෞඛ්‍ය ඇමති ධුරයේ සිට සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොකු වෙනස්කම් කරන්නට ගියා නම්, පේෂල ඇමැතිවරයාට වූ දෙයම සිදුවන්නට ඉඩ තිබුණු බවයි. එනම් ඇමැති ධුරය ඔහුගෙන් නැවත පවරාගැනීමට ඉඩ තිබුණු බවයි. ඇමැතිධුර ලබාදෙන්නේ ජනාධිපතිවරයා විසිනි. එම ඇමැතිධුර නැවත ලබාගත හැක්කේද ජනාධිපතිවරයාටම පමණකි. ඒ බලය ඇති අන් කිසිවෙක් නැත. ඇමැති සිරිසේන මේ කියන්නේ, ලොකු වෙනස්කම් කරන්නට ගියා නම් ජනාධිපතිවරයා ඔහුගේ ඇමතිධුරයත් නැවත පැහැරගන්නට ඉඩ තිබුණු බව නොවේද? සාධාරණ මනසක් ඇත්තකුට ඒ ප‍්‍රකාශය අනුව පැහැදිලි වන්නේ ජනාධිපතිවරයා සිටින්නේ සිරිසේන ඇමතිවරයාට ලොකු වෙනස්කම් කරන්නට ඉඩනොදෙන පිරිසගේ පැත්තේ බවය. සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයට අදාළව ඒ වෙනස්කම් කරන්නට ඉඩනොදෙන පිරිස කවුද? අපට තේරෙන දැනෙන විදියට නම්, ඖෂධ සමාගම් මාෆියාව, වෛද්‍ය මාෆියාව, නිලධාරී මාෆියාව, පෞද්ගලික රෝහල් මාෆියාව වැනි දේ ලංකාවේ සෞඛ්‍ය සේවයේ මහජනයාට හිතකර වෙනස්කම් කරන්නට ඉඩ නොදෙන බලවේගයෝ වෙති. දැන් එසේනම් සිරිසේන ඇමතිවරයා කියන්නේ ජනාධිපතිවරයා ඒ බලවේගවල නියෝජිතයකු ලෙස සිටිමින් වෙනස්කම් කිරීමෙන් තමන් වළක්වනු ලබන බවද?

සිරිසේන ඇමතිවරයා මෙවැනි ප‍්‍රකාශයක් කළ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අවස්ථාවක ඔහු කීවේ ඇමැති හැටියට තමා ඖෂධ මාෆියාවට එරෙහිව වැඩකරන විට මරණ තර්ජනද තිබෙන බවයි. මේ කියන්නේ අගමැතිකමටද සුදුසු රටේ ජ්‍යෙෂ්ඨතම ඇමැතිවරයෙකි. ඔහුට මරණ බය දැනෙන්නට තරම් බලවත් වන ඒ බලවේග සිටිය යුත්තේ කා සමගද? ඔහුට පහළින් විය නොහැකිය. අනිවාර්යයෙන්ම ඉහළින් විය යුතුය. අනෙක් අතට රටේ ජ්‍යෙෂ්ඨතම ඇමතිවරයකුට මරණ තර්ජන ඒ තරමට තිබෙනවා නම්, ඔහුට මරණ බයක් ඒ තරමට දැනෙනවා නම්, ඒ රටේ පවතින ආණ්ඩුව ගැන අප තේරුම්ගත යුත්තේ කෙසේද?

ශ‍්‍රීලනිපයේ මැසිවිල්ල

සිරිසේන මහතාගේ ප‍්‍රකාශයෙන් අනාවරණය වන අනෙක් අදහස වන්නේ රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව තුළ බිම් මට්ටමේ ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයන්ගේ හා ජ්‍යෙෂ්ඨයන්ගේ මැසිවිල්ලය. මේ වන විට ආණ්ඩුවේ වැඩි බලයක් හා වැඩි ප‍්‍රමුඛතාවක් ලැබී තිබෙන්නේ එජාපයෙන් එහි ආවුන්ටත්, ශ‍්‍රීලනිප නොවන වෙනත් පක්‍ෂවල අයවලූන්ටත් බව හොඳින් පෙනෙයි. බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත‍්‍රික් කණ්ඩායමේ නායකකමට ජාතික හෙළ උරුමයේ අපේක්‍ෂකයකු පත්කිරීමත් ඔහුගේ වේදිකාවට රාජපක්‍ෂ පවුලේ නියෝජිතයකු ගොඩවීමත් සාමාන්‍ය ශ‍්‍රීලනිපාක්‍ෂිකයන් දකින්නේ තමන්ගේ පක්‍ෂයට රාජපක්‍ෂවරුන්ගෙන් කෙරෙන කෙණෙහිලිකම් වශයෙනි. එහෙත්, ඔවුහු ප‍්‍රසිද්ධියේ කිසිවක් නොකියති. රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ සියලූ පක්‍ෂවලට සලකන්නේ තමාගේ බලය දිගටම රඳවාතබාගැනීමේ වුවමනාව මත බව සියල්ලෝ දනිති.

වයඹ වූ දේ බස්නාහිරත්

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී එජාපයෙන් පැමිණි ඇමති ජොන්ස්ටන්ගේ පුත‍්‍රයා පළමු තැනට දිනවීම ජනාධිපතිවරයාගේ කැමැත්ත විය. ඔහු ඒ සඳහා ප‍්‍රසිද්ධියේ ආධාර කරන ප‍්‍රතිපත්තියක්ද පවත්වාගෙන ගියේය. ජනාධිපතිගේ නැකැත්කරු අනාවැකි කිව්වේද ජොන්ස්ටන් ඇමතිගේ පුත‍්‍රයා දිනවන පැත්තටය. එහෙත්, එජාපයෙන් පැමිණි රාජපක්‍ෂ ආශිර්වාදය ලත් ජොන්ස්ටන්ට එරෙහිව වයඹ පැරණි ශ‍්‍රීලංකාකාරයෝ සියල්ලෝම එක් පෙරමුණකට ආහ. ඔවුන්ට සිටි ශක්තිමත් අශ්වයා වූයේ එජාපයෙන්ම පැමිණි දයාසිරි ජයසේකරය. හැකි වැර යොදා ඔහු දිනවීම මගින් රාජපක්‍ෂ ව්‍යාපෘතියත් ජොන්ස්ටන් ඇමතිවරයාත් පරාජය කිරීම මේ පිරිසගේ වුවමනාව විය. වාර්තාගත වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් දයාසිරි ජයසේකර මහතා ජයග‍්‍රහණය කිරීමේ එක්තරාආකාරයකට පුදුම එළවනසුලූ රහස එයයි.
ආරංචිවන අන්දමට බස්නාහිර පළාත් සභාවේ කොළඹ දිස්ත‍්‍රික්කය තුළද එවැනි පැරණි ශ‍්‍රීලනිපකාරයන්ගේ හා වාමාංශිකයන්ගේ මෙහෙයුමක් මේ වනවිට ක‍්‍රියාත්මක වෙයි.