රාවය

කොළඹ වැසියන් ඉවත්කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ මඟපෙන්වීම්

අඩු ආදායම්ලාභීන් හෝ පැල්පත් වාසීන් ලෙස හඳුන්වමින් කොළඹ නගරයේ විවිධ ස්ථානවල ජීවත් වන ජනතාව බලහත්කාරයෙන් ඉවත් කිරීම මේ දිනවල නැවත වරක් කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්වී ඇත

කොළඹ බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ ජනතාවට එම ස්ථානවලින් ඉවත් වන ලෙසට නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියෙන් නියෝග ලැබී තිබීමත්, මේ ආකාරයට ඉවත් කර ඇති ‘මිහිඳු සෙන්පුර’ පදිංචිකර ඇති ජනතාවගේ වත්මන් තත්ත්වයත් ඊට මූලිකවම හේතූන්ය.

බොරැුල්ල වනාතමුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බහුතරයක් ප‍්‍රකාශ කරන්නේ ඔවුන් අනවසර පදිංචිකරුවන් නොවන බව හා ඔවුන්ට ලබාදීමට නියමිත නිවාස ඔවුන්ගේ වත්මන් ජීවන පැවැත්මට කිසිසේත්ම ප‍්‍රමාණවත් නොවන බවය. මිහිඳු සෙන්පුර වැසියන්ගේද දුක්ගැනවිල්ල ඊට වෙනසක් නොවන අතර ඔවුන් ගෙවූ සරු ජීවිතය නිදහසේ දිගහැර ගන්නවා වෙනුවට තවදුරටත් හකුළා ගන්නට සිදුවී ඇති බව ඔවුන්ගෙන් නැගෙන ප‍්‍රධාන චෝදනාවය.

මේ දෙපිරිසෙන්ම නැගෙන දුක් අඳෝනාවන්ගේ හරය වන්නේ ඔවුන් නොඉල්ලූ හා බලාපොරොත්තු නොවූ ජීවිතයකට බලහත් කාරයෙන් ඔවුන් ඇදදමා ඇති බව හා ඇදදැමීමට නියමිත බවය.

දැනට පවත්නා නීතිය අනුව පොදු සංවර්ධන කාර්යයන් සඳහා පෞද්ගලික දේපළක් හෙවත් ඉඩමක් රජයට පවරා ගතහැකි අතර ඒ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ නීතියේ ඇති විධිවිධාන යොදාගත යුතුය. එසේම රජයේ ඉඩමක යම්කිසි පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් බලහත් කාරයෙන් හෝ අනවසරයෙන් පදිංචිව සිටින්නේ නම් රජයේ සන්තකය ආපසු භාරගැනීමේ ක‍්‍රියාවලිය යටතේ නීති ප‍්‍රකාරව එම කටයුතු සිදුවිය යුතුය.

එහෙත් දැනට කතාබහට ලක්වෙමින් පවතින කොළඹ නගරයේ වැසියන් ඔවුන් පදිංචි ස්ථානවලින් ඉවත්කිරීම මේ ආකාර දෙකටම සිදුනොවන බව අප දන්නා සත්‍යයය. එම කටයුතු සිදුකරනු ලබන්නේ එක් ආකාරයකට පමණය. ඒ හමුදා බලහත්කාරය යෙදවීම යන ක‍්‍රමවේදය අනුව පමණය.

මෙම බලහත්කාරී හමුදා මෙහෙයුම සාධාරණීකරණය කිරීම සඳහා ආණ්ඩුව පාර්ශ්වයෙන් හෙවත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ පාර්ශ්වයෙන් ගෙනහැර දක්වන තර්කය වනුයේ මේ ජනතාව අනවසර පදිංචිකරුවන් බවය. මුඩුක්කු හෝ පැල්පත්වල ජීවත් වන ජනතාව බවය. එහෙත් සත්‍යය ඊට බොහෝදුරට වෙනස්ය. මෙසේ ඉවත් කර ඇති ජනතාවගෙන් මෙන්ම ඉවත් කිරීමට නියමිත ජනතාවගෙන් බොහෝ පිරිසකට ඔවුන් ජීවත් වූ නිවාසවලට ඔවුන්ගේම කියා කුමන හෝ හිමිකමක් තිබී ඇත.

එමෙන්ම මේ බොහෝ නිවාස පැල්පත් හෝ මුඩුක්කු නිවාස නොවේ. වර්ග අඩි 500කට වඩා විශාල ඉඩ ප‍්‍රමාණයක් මෙන්ම ජලය වැසිකිළි වැනි පහසුකම් එක් එක් නිවාස සඳහා වෙන වෙනම තිබී ඇත. එම නිසාම පැල්පත් හෝ මුඩුක්කු යන හංවඩුවට මෙම නිවාස දැමීමද අසාධාරණය. ඇත්ත වශයෙන්ම පැල්පත් යනු කුමක්දැ’යි හඳුනාගැනීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යායුත්තේ කොළඹ නගරයේ වගුරු බිම්වල හා ඒ ආශ‍්‍රිතව ලෑලිවලින් නිමවා ඇති නිවාස දැකබලා ගැනීම සඳහාය.

කොළඹ නගරය පිරිසිදු හා ලස්සන නගරයක් කිරීම සඳහාත්, එහි වෙසෙන දුප්පත් මිනිසුන් සංවර්ධනය කිරීම සඳහාත් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරම්භය ලබා ගත යුතුව තිබුණේ එම පැල්පත් නිවාසවලින්ය. එහෙත් කොළඹ ලස්සන කිරීමේ සටන් පාඨය ආරම්භ වී ඇත්තේ කොළඹ අවලස්සනම තැන්වලින් නොව යම් මධ්‍යම පාන්තික ජීවන රටාවක් තිබූ මිනිසුන් ඉවත් කිරීමෙන්ය. මේ ඉවත්කිරීම්වලදී සලකා බැලිය යුතු අනිවාර්යය සාධක කිසිවක් සලකා බලා තිබුණේ නැත. වනාතමුල්ලේ වැසියන් එම ස්ථානවලින් යන්නට බෑයැ’යි කියන්නේත්, මිහිඳු සෙන්පුර වැසියන් ඔවුන්ගේ අලූත් ජීවිතය පිළිබඳව මැසිවිලි නගන්නේත් මේ අනිවාර්යය සලකා බැලීම් නොසැලකූ නිසාය. හමුදා බලහත්කාරය පමණක් එකම ක‍්‍රමවේදය ලෙස සැලකූ නිසාය.

එහෙත් යම් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් ඔවුන්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් සිටින ස්ථානයෙන් ඉවත් කර නැවත පදිංචි කිරීමේදී සලකා බැලිය යුතු හා අනුගමනය කළයුතු සංවේදී කාරණා ගණනාවක් තිබෙන බව අප දන්නා කරුණුය. මේ සඳහා මිනිස් අයිතිවාසිකම්වලට ගරු කරන ලෝකය නීතිරීති පවා ඇති කරගෙන ඇත.

ශ‍්‍රී ලංකාව වැනි රටවල සිදුවන මේ කරුණු කාරණා පිළිබඳව දන්නා නිසාමදෝ ආසියානු සංවර්ධන බැංකුව ඔවුන්ගේ ආධාරයෙන් ශ‍්‍රී ලංකාව තුළ සිදුකරන සංවර්ධන ක‍්‍රියාදාමවලදී අනුගමනය කළයුතුයැ’යි සඳහන් කරුණු ගණනාවක් පිළිබඳව එකඟතාවන්ට පැමිණ ඇත. ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය එම එකඟතාවන් ‘සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීමේ ජාතික ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සහ ඉඩම් අත්කර ගැනීම’ යනුවෙන් එළිදක්වා ඇත. ඒ ඉඩම් අත්කර ගැනීම, වන්දි ගෙවීම, නැවත පදිංචි කිරීම හා ආදායම් යළි ස්ථාපිත කිරීම යන ක‍්‍රියාවලියට අදාළව මාර්ගෝපදේශක වශයෙන්ය.

එම මාර්ගෝපදේශ සකසා ඇත්තේ යහපාලනය සඳහා රජයේ නිලධාරීන්ට මගපෙන්වීමක් වශයෙන්ය.
කෙසේ වෙතත් එම මාර්ගෝපදේශ සංග‍්‍රහයේ හැඳින්වීමෙන්ම සඳහන් කරන්නේ ඉඩම් අත්පත් කරගැනීම් මගින් මහජනතාව භෞතික වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද අවතැන් වන බවයි. එමෙන්ම බලපෑමට ලක්වන ප‍්‍රජාවට මෙන්ම ඔවුන්ගේ දේපළවලට අහිතකර ප‍්‍රතිඵල ගෙන දෙන බවයි. විශේෂයෙන් සඳහන් කරන්නේ සිය කැමැත්තෙන් තොරව නැවත පදිංචි කිරීමේ ක‍්‍රියාවලිය නිසා දුප්පත්කම වැඩිවීම් අවදානමක් පවතින බව පෙනී යන බවයි. ඒ නිසාම ඉඩම් අත්කර ගැනීමට පෙර එවැනි පවුල් ඉපැයූ ආදායම හා ජීවනෝපායන් නැවත ස්ථාපනය කරගැනීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණුකර ගැනීමට උපකාර කළ යුතු බවයි. තවද ජීවනෝපායන් සඳහා වන්දි ගෙවීම සහ සංවර්ධන අවස්ථාවන් තීරණය කිරීමේ ක‍්‍රියාවලියේදී අදහස් විමසීම තුළින් බලපෑමට ලක්වූ පුද්ගලයන් සම්බන්ධ කරගැනීම වැදගත් බවද එහි අවධානයට ලක් කර තිබේ.

කොළඹ වැසියන් ඉවත්කිරීමේදී මේ මූලික කරුණු පිළිබඳව කිසිදු අවධානයක් යොමුකර නැති බව පැහැදිලිය. නැවත පදිංචි කිරීමේදී මිහිඳු සෙන්පුර වැනි ගැටලූ ඇතිවී ඇත්තේ ඒ නිසාය. නැවත පදිංචි කිරීම නිසි ලෙස සිදුවී නොමැති අවස්ථාවල අයහපත් ප‍්‍රතිඵල ගැන සඳහන් කරමින් එම මාර්ගෝපදේශ සංග‍්‍රහය කියන්නේ ‘ඉඩම් නිවාස හා රැුකියා අහිමිවීම නිසා බලපෑමට ලක්වන පවුල්වල දිළිඳුබව වැඩිවීම, ළදරු හා කාන්තා මරණ වැඩිවීම, ආහාර අනාරක්ෂිතභාවය, පොදු දේපළවලට හා රජයේ සේවාවන්ට ළඟාවීමේ අපහසුතාව සහ පවත්නා සමාජ සම්බන්ධතා බිඳවැටීම ප‍්‍රධාන වශයෙන් සිදුවන බවයි.’

එම නිසාම නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍යතාවක් ඇති සියලූ සංවර්ධන ව්‍යාපෘති සඳහා නැවත පදිංචි කිරීම පිළිබඳවද සැලසුමක් සකස් කිරීම අවශ්‍ය වන බවද, අරමුදල් ලැබෙන මූලාශ‍්‍ර ගැන තැකීමක් නොකොට අගතියට පත්වන පවුල් ගණන 20කට වඩා වැඩිවන ව්‍යාපෘති සඳහා නැවත පදිංචි කිරීම පිළිබඳවද ක‍්‍රියාත්මක සැලැස්මක් සකස් කිරීම ප‍්‍රතිපත්තිමය අවශ්‍යතාවක් බවද එහි දැක්වේ.

ව්‍යාපෘති විස්තරය, ඉඩම් අත්කර ගැනීමේ හා නැවත පදිංචි කිරීමේ විෂය පථය, අධ්‍යයන ක‍්‍රමවේදය, නැවත පදිංචි කිරීමේ ප‍්‍රතිපත්ති හා නීතිමය රාමුව, ව්‍යාපෘති බලප‍්‍රදේශය තුළ සමාජයීය ආර්ථික තොරතුරු සහ බලපෑමට ලක්වූ පුද්ගලයන්ගේ විස්තර, ව්‍යාපෘති බලප‍්‍රදේශයේ සිතියමක් නැවත පදිංචි කිරීම සැලසුම් කිරීමට අදාළ තොරතුරු ලබාදීම අදහස් විමසීම හා සහභාගිත්ව ප‍්‍රවේශයන්, දුක්ගැනවිලි විසඳීමේ යාන්ත‍්‍රණය, ඉඩම් අත්කර ගැනීමේ බලපෑම් හිමිකම් හා හිමිකම් ලේඛනය, අවදානමට ලක්වූ කාණ්ඩායම්වලට ඇතිවන බලපෑම් හා ඔවුන්ගේ හිමිකම්, නැවත ස්ථානගතකිරීමේ සැලසුම්, ආදායම් ප‍්‍රතිස්ථාපනය හා වෙනත් සහන, නැවත පදිංචි කිරීමේ වියහියදම් හා මූල්‍ය සැලසුම්, ආයතනික විධිවිධාන, ක‍්‍රියාත්මක සැලැස්ම විපරම් සහ ඇගැයීම් ක‍්‍රියාවලිය යන කරුණු එම සැලැස්ම තුළ අන්තර්ගත විය යුතු බව එහි දැක්වේ.
එහෙත් නැවත පදිංචි කිරීමේදී, ඉවත් කිරීමට නියමිත කොළඹ වැසියන් සම්බන්ධයෙන් මේ කරුණු ක‍්‍රියාත්මක නොවන බව පැහැදිලිය.