බිය ගන්වා වීරයන් වීමේ කලාව


victor

වික්ටර් අයිවන්

අතුරලියේ රතන හිමියන්ගේ ‘වස විස නැති රටක්’ යන තේමා පාඨය යටතේ කරළියට ගෙනා කෘෂිකර්ම වැඩසටහන දැන් බලවත් විවාදයට හේතුවී තිබෙන වැඩසටහනක් බවට පත්වී තිබේ. මුලදී මෙම වැඩසටහන ගැන ප්‍රශංසා හැර විවේචන නොතිබුණි.

විජේවීරගේ ආදර්ශය
එය මහජන මනසේ ලොකු භීතිකාවක් ඇති කොට ඉන්පසු මහජන අනුකූලතාව දිනාගැනීමට හැකිවන ආකාරයට සැලසුම් කළ වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් එය 71 කැරැල්ල සඳහා විජේවීර කරළියට ගෙනා වැඩසටහනට සමාන කළ හැකිය. විජේවීරද සන්නද්ධ නැගිටීමක අවශ්‍යතාව සිය අනු ගාමිකයන්ට යුක්ති සහගත කරන ලද්දේ ඇමරිකන් සැලැස්මක් අනුව ඇතිවන්නට යන හමුදා ආණ්ඩුවක් පිළිබඳ භීතියක් ඇති කිරීමෙනි. ඒ අදහස ඒත්තු ගැන්වීම සඳහා ඔහු ඉදිරිපත් කරන ලද සාක්ෂි අතර අසන්නන් කෙරෙහි වඩාත්ම බලපෑ සාක්ෂිය වූයේ බෙන්තර සංචාරක හෝටලය පිළිබඳ කතාවය. විජේවීර කීවේ එය සංචාරක හෝටලයක් නොව සංචාරක හෝටලයකට මුවාවී ඉදිකෙරෙමින් තිබෙන ඇමරිකන් යුද්ධ බලකොටුවක් බවය. එහි ඉදිකෙරෙමින් තිබූ දැවැන්ත ගල් තාප්පය වැනි තාප්පයක් බලකොටුවකට මිස සංචාරක හෝටලයකට අවශ්‍ය නොවන බව ඔහු කීවේය.

ඇමරිකන් අවශ්‍යතා මත හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ලංකාවේ ඇතිවිය හැකි විනාශය ඔහු විස්තර කරන ලද්දේ ඉන්දුනීසියාව නිදර්ශනයට ගනිමිනි. සුහර්තෝගේ හමුදා ආණ්ඩුව සුකර්නෝ ගේ ආධාරකරුවන් හා වාමාංශිකයන් ලක්ෂ ගණනක් මරා දැම්මේය. තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගත්තේය. ලංකාවේදී හමුදා ආණ්ඩුවක් ඇතිවුවහොත් ඉන්දු නීසියාවේ ඇතිවූ විනාශයට සමාන විනාශයක් ලංකාවේද සිදුවනු ඇති බව ඔහු කීවේය. ඔහුගේ එම විග්‍රහය මා ඇතුළු ඔහුගේ සියලු අනුගාමිකයන් තුළ උමතුවක් වැනි භීතිකාවක් ඇති කිරීමට හේතුවිය. අප සියලුදෙනාට අවශ්‍ය වූයේ එවැනි බිහිසුණු තත්ත්වයක් ඇතිවීම වළකා ගැනීමය.

අප සියලුදෙනා උපරිම මට්ටමින් භීතියට පත් කොට එක් අරමුණක් සඳහා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගනිමින් තමන්ගේ බලය අල්ලා ගැනීමේ වැඩසටහන ජයගැනීම විජේවීරගේ උපාය මාර්ගික අරමුණ වීයැයි කිව හැකිය. වෙන්න යන මහා නපුරු දෙයක් පෙන්වා ජනයා බියගැන්වූ විට එම නපුරු දේ ඇතිවීම වළකා ගැනීම සඳහා භීතියට පත් කළ නායකයා වටා ජනතාව පෙළගැසීම ස්වාභාවිකය. බර්ට්‍රන්ඞ් රසල් කියා ඇත්තේද අවනත වීමේ මූලික හේතුව බය වන බවය. විජේවීරගේ දෙවැනි කැරැල්ල තුළ සේ ම ප්‍රභාකරන්ගේ කැරැල්ල තුළද එම ධර්මතාව අඩංගු වී තිබුණි. ඒ අවස්ථා දෙක ගැන මෙහි කතා නොකරන්නේ මේ ලිපිය දීර්ඝවීම වළකා ගැනීම සඳහාය.

ගංගොඩවිල සෝම හිමි
ඉන්පසු ගංගොඩවිල සෝම හිමි අපවත් වූ අවස්ථාවේදීද ජාතික හෙළ උරුමය ව්‍යාපාරය එම ධර්මතාව ක්‍රියාවට නගා ලොකු දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමට සමත් විය. රුසියාවේදී අපවත් වන අවස්ථාව වන විට ගංගොඩවිල සෝම හිමියන් දක්ෂ ධර්ම දේශකයකු වශයෙන් බෞද්ධ ජනතාව අතර ලොකු පිළිගැනීමක් හිමිකරගෙන තිබුණේය.

එය ස්වාභාවික මරණයක් නොව බෞද්ධ විරෝධී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙන් සිදුවී තිබෙන සියුම් මනුෂ්‍ය ඝාතනයක් යන අදහස සමාජ ගතකිරීම සඳහා සැලසුම් කළ සියුම් වැඩසටහනක් එම අවස්ථාවේදී ක්‍රියාත්මක කිරීමට එම ව්‍යාපාරය සමත් විය. සියලු ජනමාධ්‍යද දැන හෝ නොදැන එම වැඩසටහන සමාජගත කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. සෝම හිමි අපවත්වීමේ පුවත බෞද්ධ ජනයා අතර ලොකු දුකක් හා කම්පනයක් ඇති කිරීමට හේතුවී තිබුණි. එය කුමන්ත්‍රණයක් නිසා සිදුවූ ඝාතනයක් බව මහජනයාට ඒත්තු ගැන්වීම මගින් ඒ සියලුදෙනා මහත් සැකයෙන් කෝපයෙන් හා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීම ඔවුන් දියත් කළ වැඩසටහනේ අරමුණ විය. ඒ මගින් ඔවුන් අපේක්ෂා කළේ 2004 පවත්වන්නට නියමිත පාර්ලිමේන්තු මැති වරණයෙන් උපරිම දේශපාලන අස්වැන්නක් නෙළා ගැනීමය. ඔවුන් ඒ වෙනුවෙන් ක්‍රියාවට නගන ලද වැඩසටහන කොතරම් සාර්ථක වීද කියතොත් හොඳ සිහියෙන් ක්‍රියාකරන තත්ත්වය නැති කොට බෞද්ධ ජනයා ආවේගයෙන් ක්‍රියාකරන තැනකට ගැනීමට සමත් විය. ඒ මගින් අපේක්ෂා කළ දේශපාලන අරමුණද ඔවුහු ඉටුකර ගත්තෝය. පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලද්දේ සෝම හිමියන්ගේ අභාවයේ උණුසුම මැකීයන්නට පෙරය. 2004 අප්‍රේල්වලදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඡන්ද 552724ක් ලබාගනිමින් පාර්ලිමේන්තු ආසන 9ක් දිනාගැනීමට එම ව්‍යාපාරය සමත් විය. එම ව්‍යාපාරය විසින් එහිදී දියත් කරන ලද ත්‍රාසජනක වැඩසටහන පිළිබඳ විස්තරාත්මක විග්‍රහයක් මාගේ ‘පන්සලේ විප්ලවය’ නමැති පොතට ඇතුළත්ය.

ග්‍රීස් යකා
උතුරේ යුද්ධය අවසන් කිරීමෙන් පසු 2011 වසරේදී තෝරාගත් දෙමළ, මුස්ලිම්, සිංහල හා උඩරට දෙමළ යන ප්‍රදේශ ගණනාවක ක්‍රියාත්මක කළ ‘ග්‍රීස් යකා’ සංදර්ශනයද ඒ ආකාරයෙන් ලංකාවේ ක්‍රියාත්මක වූ තවත් බිහිසුණු අත්හදා බැලීමක් ලෙස සැලකිය හැකිය. එය හොඳින් ප්‍රගුණ කළ ආරක්ෂක නිලධාරීන් කිහිපදෙනකු යොදා ගනිමින් කිසියම් ආරක්ෂක බලධාරියකු විසින් ක්‍රියාවට නගන ලද සංදර්ශනයක් ලෙස සැලකිය හැකිය. මෙම සංදර්ශනය පැවති ප්‍රදේශවල ජනයා කොතරම් භීතියට පත්වීද කියතොත් භීතියට පත් සමහර ප්‍රදේශවල පාරේ යන නන්නාඳුනන මිනිසුන්ට පවා පහර දෙන තත්ත්වයක් ඇතිවීම නිසා පුද්ගලයෝ කිහිපදෙනෙක් මරණයට පත්වූහ. එහෙත් එම ව්‍යාපෘතියේදී කුමන හේතුවක් නිසා හෝ එම සංදර්ශනය පිටුපස සිටි වීරයා කරළියට එන්න පෙර සංදර්ශනය අත්හිටුවන්නට සිදුවීම නිසා වීරයා කරළියට ඒමක් සිදුනොවීය.

ඉන්පසු අතුරලියේ රතන හිමියන් වස විස නැති රටක් යන තේමා පාඨය ඇතිව ඉදිරියට ගෙනැවිත් තිබෙන වැඩසටහනටද මහජනයා බියගැන්වීමේ වැඩසටහනක් සමඟ මහජනයා මුදාගැනීමේ වැඩසටහනක්ද ඇතුළත්ය. රජරට කලාපයේ පැතිර යමින් තිබුණු හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය මහජන හදවත් සසල කරන සාධකයක් බවට පත්ව තිබුණි. එම තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් මහජනයා බිය ගන්වා මහජන අවනතභාවය දිනාගන්නා වැඩසටහනක් බවට පත්කර ගැනීම සඳහා එම රෝගයට බලපෑ හේතු අර්ථකථනයකට ලක්කිරීමක් අවශ්‍ය විය. ඒ සඳහා බලපා තිබෙන හේතුව ලෙස අර්ථකථනය කෙරුණේ රසායන පොහොර හා කෘමි, වල් හා දිලීර නාශක නිසා පරිසරයට එකතු වී තිබෙන ආසනික්ය. ඒ අදහස සමාජ ගතකිරීමේ අරමුණින්ම අපූරු ගණයෙහිලා සැලකිය හැකි විද්‍යාත්මක පරීක්ෂණයක්ද සිදු කළේය. එම පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් එක් විද්‍යාඥයකු ප්‍රකාශ කළේ ආසනික් පිළිබඳ ඉඟිය පේනයක් බලන විට අයියනායක දෙවියන් විසින් දෙන ලද ඉඟියක් වන බවය. එම පේන බැලූ පේනකාරියද එම පරීක්ෂණ කණ්ඩායමේ සාමාජිකයකු ලෙස ක්‍රියා කළාය. එම පරීක්ෂණය විද්‍යාඥයන්ගේ හාස්‍යයට හා විරෝධයට හේතු වුවද පරීක්ෂණ කණ්ඩායමේ නිරීක්ෂණය සමාජගත කිරීමෙහිලා ජනමාධ්‍යද පුරෝගාමී කාර්යභාරයක් ඉටු කළේය. ඒ අනුව හේතු හඳුනාගත් වකුගඩු රෝගයට හේතුව පොහොර හා කෘෂි රසායන බව මහජනයා ප්‍රබල ලෙස පිළිගන්නා දෙයක් බවට පත්විය.

රතන හිමිගේ මාවත
රතන හිමියන් තමන් වහන්සේගේ ගැලවුම්කාර වැඩසටහන ඉදිරියට ගත්තේ ඉන්පසුවය. වස විස නැති රටක් යන තේමාව යටතේ කරළියට ගන්නා එම ගැලවුම්කාර වැඩසටහනට අනුව තුන් අවුරුදු කාලයක් තුළ රසායන පොහොර භාවිතය හා කෘෂි රසායන භාවිතය මුළුමනින් අහෝසි කොට ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ වස විසෙන් තොර සරුසාර කෘෂිකර්මයක් ඇති කිරීමට සමත් වේ. ඒ අරමුණ සඳහා ලංකාවේ භාවිත වූ වල්නාශකය ලෙස සැලකිය හැකි ග්ලයිෆොසෙට් තහනම් කරවා ගැනීමටද ඒ හිමියෝ සමත් වූහ. කෘෂි විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබෙන ආකාරයට මෙම වැඩසටහන නිසා කෘෂිකර්මයට විය හැකි විනාශය අතිවිශාලය. මෙම වැඩසටහන ගැන කෘෂිකර්ම විද්‍යාඥයකු වූද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූද ආචාර්ය සරත් අමරසිරි රාවයට ලියා තිබුණේ මෙම වැඩසටහන නිසා කෘෂි නිෂ්පාදනවල විශාල පහත වැටීමක්ද, ආහාර මිල අධික ලෙස ඉහළ යෑමක්ද, කෘෂිකර්මයෙන් ජීවත් වන ගොවි ජනතාවගේ ආදායම් පහළ වැටීමක්ද ඇතිවනු නොවැළැක්විය හැකි බවය. ඔහු එම ලිපියෙන් තවදුරටත් කියන්නේ රසායන පොහොරවල ගුණාත්මක භාවය නිශ්චිත ප්‍රමිතීන්ට අනුකූල නම් හා පොහොර භාවිතය නියමිත ප්‍රමාණයන්ට අනුව සිදුකරන්නේ නම් රසායන පොහොර මිනිසුන්ගේ හෝ අනෙකුත් ජීවීන්ගේ සෞඛ්‍යයට අහිතකර නොවන බවය.
ග්ලයිෆොසෙට් තහනම ගැන මහාචාර්ය ඕ.ඒ. ඉල්ලේපෙරුම ලියා තිබුණේ එම තහනම කෙරෙහි දේශපාලන කණ්ඩායමකගේ දේශපාලන අරමුණු බලපා තිබෙන බව බොහෝ නිදහස් මතධාරී විද්‍යාඥයන්ගේ මතය වන බවය. එම මහාචාර්යවරයා වැඩිදුරටත් කියා තිබුණේ එම තීරණය ගැනීමට පෙර කෘෂිකර්ම නිලධාරීන්ගෙන් හෝ වසර ගණනාවක් හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය ගැන පර්යේෂණ කළ විද්‍යාඥයන්ගෙන්ද කිසිදු අදහස් විමසීමක් නොකළ බවය.

ඉතිහාසය අමතක කිරීම
මහාචාර්ය බුද්ධි මාරඹේ ඉදිරිපත් කර තිබෙන තර්ක අතර ඉතාම වැදගත් තර්කයක් මෙසේය. කෘෂි රසායන පොහොර හෝ කෘමිනාශක පාවිච්චි නොකර කුඹුරු වගා කළ යුගයක් පූර්ව නූතන යුගයේදී පමණක් නොව නූතන යුගයේදීද තිබුණි. පනහේ දශකයේ අවසානය දක්වා ලංකාව කුඹුරු වගා කළේ රසායනික පොහොර හෝ රසායනික නාශක නැතිව තනිකර ඓන්ද්‍රීය පොහොරවලිනි. ඒ කාලයේ රටේ ජනගහනය මිලියන හයකි. ඓන්ද්‍රීය පොහොරවලින් ඒ කාලයේදී අපට නිපදවා ගත හැකිවූයේ රටේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 40ක් පමණය.

1951-52 වසරේදී ලංකාවේ කුඹුරු අක්කරයකින් නිමවුණු ජාතික සාමාන්‍යය බුසල් 31.27කි. කිලෝවලින් නම් කිලෝ 652.60කි. ඓන්ද්‍රීය පොහොර හා පාරම්පරික පළිබෝධනාශක පාවිච්චි කළ එම යුගයේ රට නිපදවූයේ සහල් අවශ්‍යතාවන්ගෙන් සියයට 50කටත් වඩා අඩු ප්‍රමාණයකි. ඉතිරිය ලබාගත්තේ සහල් ආනයනයෙනි.

ලංකාවේ වර්තමාන ජනගහනය මිලියන 21කි. වර්තමානයේ කුඹුරු අක්කරයක නිමවුණු ජාතික සාමාන්‍යය අක්කරයක් සඳහා කිලෝ 2154කි. ජනගහනය තුන් ගුණයකින් වැඩිවන විට වී අක්කරයක නිෂ්පාදනයද තුන් ගුණයකින් පමණ ප්‍රමාණයකින් වැඩිකර ගැනීමට හැකිවී තිබේ. රටක් වශයෙන් දැන් අප සිටින්නේ අපේ අවශ්‍යතාවන්ටත් වැඩියෙන් සහල් නිපදවන තත්ත්වයකය. එවැනි තත්ත්වයක් දිනාගැනීමට හැකිවූයේ පාරම්පරික සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවලින් ඉවත් වී නවීන ගොවිතැන් ක්‍රමවලට මාරුවීම නිසාය. ඓන්ද්‍රීය පොහොරවලට හා පාරම්පරික කෘමිනාශක ක්‍රමවලට හා පාරම්පරික බීජ වර්ගවලට සීමා නොවී වැඩි දියුණු කළ බීජ වර්ග, රසායන පොහොර, රසායන වල් දිලීර හා කෘමිනාශක යොදා ගැනීම නිසාය. නවීන ගොවිතැන් ක්‍රම අත්හැර පාරම්පරික බීජ වර්ග හා ඓන්ද්‍රීය පොහොර මත පදනම් වූ පාරම්පරික ගොවිතැනට ආපසු යතොත් නැවත අපට සිදුවනු ඇත්තේ රටට අවශ්‍ය සහල්වලින් කිසියම් කොටසක් ආනයනය කිරීමටය.
ග්ලයිෆොසෙට් තහනම ස්වයංපෝෂිත තත්ත්වයක තිබූ බඩ ඉරිඟු වගාව නැතිභංග කළේය. ඒ තත්ත්වය කුකුල් ගොවිපොළ කර්මාන්තයද දුර්වල කළේය. දැන් ලංකාව නැවත බඩ ඉරිඟු ආනයනය කරන රටක් බවට පත්ව සිටී. ග්ලයිෆොසෙට් තහනම තේ වගාව කෙරෙහි පමණක් නොව වෙනත් භෝග වගාවන් කෙරෙහිද විනාශකාරී ලෙස බලපානු නොවැළැක්විය හැකිය.

විසඳුම ඇත්තේ කොතැනද?
පොහොර භාවිතයේදී ඓන්ද්‍රීය පොහොරවලටද ලොකු වැදගත්කමක් ලැබෙන්නේය. එහෙත් රසායන පොහොරවලින් හා කෘෂිරසායනවලින් මුළුමනින් බැහැර වී ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ කෘෂිකර්මයක් රටට යහපත් වන්නේ නැත. එය ප්‍රායෝගික නොවන මනෝරාජික සිතිවිල්ලකි. එවැනි පරිවර්තනයක් ඇති කිරීමට දරන උත්සාහයක් රටට විශාල විනාශයක් ඇති කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. රසායන පොහොර හා කෘෂි රසායන අහිංසක නැත. වැරදි ලෙස භාවිත කළහොත් ඒවා ඇති කරන ප්‍රතිඵල අයහපත්ය. ඒවා වෛද්‍ය විද්‍යාවේ පරිහරණය කරන ඖෂධ වැනිය. පාවිච්චියේදී මාත්‍රාව වැදගත්ය. මාත්‍රාව නොසලකා වැඩිපුර පාවිච්චි කළහොත් ඇතිවන ප්‍රතිඵල විනාශකාරීය. ඒ නිසා අපි නවීන ඖෂධ අත්හැර පාරම්පරික ඖෂධවලට යන්නේ නැත. රසායන පොහොර හා කෘෂි රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප අනුගමනය කළ යුත්තේද එවැනි ප්‍රතිපත්තියකි.

රසායන පොහොරවල පමණක් නොව ඓන්ද්‍රීය පොහොරවලද වස විස ඇත්තේය. රසායන පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් ඇතත් ඓන්ද්‍රීය පොහොරවල තිබෙන වස විස අවම කිරීමේ හැකියාවක් නැත. ගොම පවා අහිංසක නැත. රසායන පොහොර භාවිතය මුළුමනින් නවතා ගොම පදනම් කරගත් ඓන්ද්‍රීය පොහොර මහා පරිමාණයෙන් නිපදවන තත්ත්වයකට ගියහොත් (එය කළ හැකි දෙයක් නොවේ) එය පරිසරය දුගඳ කිරීමට හේතුවනවා පමණක් නොව, රසායන පොහොරවලට වඩා ලොකු පරිසර දූෂණයක්ද ඇති කිරීමට හේතුවනු ඇත.

ඓන්ද්‍රීය පොහොර භාවිතය මුළුමනින් ප්‍රතික්ෂේප කිරීම අන්තවාදයක් වනවා සේ ම රසායන පොහොර හා කෘෂි රසායන මුළුමනින් ප්‍රතික්ෂේප කිරීමද අන්තවාදයකි. රටේ යහපතට හේතුවනු ඇත්තේ සමබර ප්‍රතිපත්තියකි.

රසායන පොහොර හා කෘෂි රසායනවලින් තොරව ඓන්ද්‍රීය පොහොරවලට පමණක් සීමාවූ සාර්ථක ගොවිතැන් ක්‍රමයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි ආණ්ඩුව කල්පනා කරන්නේ නම් ආණ්ඩුවට කළ හැකි හොඳම දේ අත්හදා බැලීම අසාර්ථක වුවහොත් ගොවීන්ට වන්දි ගෙවීමේ පදනමක් මත ඒ අත්හදා බැලීම සඳහා රතන හිමියන්ට තෝරාගත් දිස්ත්‍රික්කයක් භාරදීමය. ඒ හිමියන් එම දිස්ත්‍රික්කයේ සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත් වෙතොත් අන් සියලු දිස්ත්‍රික්කවල ගොවි ජනයාද රතන හිමියන්ගේ ක්‍රමය වැළඳ ගනු ඇත.

එසේ නොකොට මේ ආණ්ඩුව ගොඩනැගීමට දායක විය යන පදනම මත රතන හිමියන්ගේ මනෝරාජික වැඩසටහන ජාතික මට්ටමෙන් ක්‍රියාකරන තැනකට ගියහොත් විය හැක්කේ ලංකාවේ කෘෂිකර්මය නැත්තට නැතිවීමය.