Untitled-1

Untitled-1

අධිකරණයේ කීර්තිය හා වර්ණකුලසූරියගේ අපකීර්ති කදම්බය


jana

කේ ඩබ්ලිව් ජනරංජන

නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් පෙනීසිටීම යළිත් අරඹා ඇත. අධිකරණයේ ගෞරවය හා ස්වාධීනත්වය වෙනුවෙන් හේමන්ත වර්ණකුලසූරිය මහතා පෙනීසිටීම ගැන ඒ වෙනුවෙන් අවංකව පෙනීසිටින්නවුන්, තම සිත්වල අපුලක් හිරිකිතයක් ඇතිකරගත යුතු නැත. අබුද්දස්ස කාලයේ කුකුළන් වෙනුවෙන් පෙනී සිටින්නේ හිවලුන් නිසාය.

පසුගිය සෙනසුරාදා උදේ පැවැත්වුණු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිත රැස්වීමේදී (බාර් කවුන්සිලයේදී) වර්ණකුලසූරිය මහතා කතාකරමින් කියා ඇත්තේ, අධිකරණයේ ස්වාධීනත්වයට හානිකර විදියට හා විනිසුරුවරුන් බිය කරන අන්දමින් රාවය පුවත්පත හා සමහර වෙබ් අඩවි හැසිරෙන බැවින් ඊට එරෙහිව නීතිඥ සංගමය මැදිහත්වී පියවරක් ගත යුතු බවය. තවදුරටත් වර්ණකුලසූරිය මහතා කියා ඇත්තේ භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ විසම්මුතික තීන්දුවක් දුන්, විනිසුරු මණ්ඩලයේ සභාපති ශිරාන් ගුණරත්න රාවය පුවත්පත හා වෙබ් අඩවි නිසා බියට පත්වී සිටින බවත්, ඔහුගේ පෞද්ගලික දුරකථනය, කාර්යාල දුරකථනය හා කාර්යාලයේ අනෙක් සියලු දුරකථන ‘ටැප්’ කර ඇති බවත්, ඔහුගේ ඊමේල් ලිපිනයද ‘හැක්’ කර ඇති බවත්ය. ඉන්පසු පසුගිය බදාදා රාත්‍රී හිරු රූපවාහිනී චැනලයේ පැත්ත ගියත් ඇත්ත කියන ප්‍රවෘත්ති විකාශයෙන්ද ඔහුගේ විශේෂ ප්‍රකාශයක් පළමු ප්‍රවෘත්තිය සේ විකාශය කෙරුණි. එහිදී ඔහු තවදුරටත් කීවේ, ‘අපි බොහෝම අමාරුවෙන්- නීතිඥ සංගමය අධිකරණයේ ස්වාධීනත්වය ගොඩනැගීම සඳහා ගෙන ගිය පෙරළිය විනාශ වන්නට මේ නිසා ඉඩ ඇති බව’යි. මේ ‘විකල්ප පත්තර හා වෙබ් මෆියාව’ නිසා ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ, මහාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරන් බියට පත්වී නීත්‍යනුකූලව දිය හැකි තීන්දු පවා නොදෙන බවද ඔහු එහිදී කීය.

මේ ප්‍රකාශයෙන් පැනනගින පළමු ප්‍රශ්නය වන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් වර්ණකුලසූරිය මහතා ‘බොහෝම අමාරුවෙන් කළ කාර්යය’ කුමක්ද යන්නයි. මහින්ද රාජපක්‍ෂ කාලයේ අධිකරණයේ ස්වාධීනත්වයට එලව එලවා පහර දෙන විට, ඒවාට එරෙහිව නීතිඥ සංගමයත් නීතිඥ ප්‍රජාවත් රටේ මහජනතාවත් දිවි නොතකා පාරට බසින විට වර්ණකුලසූරිය මහතා පැයක්වත් ඒ පිරිස අතර සිටි බවක් නම් අපට පෙනී නැත. ඉතින් ඔහු බොහෝම අමාරුවෙන් කළ කාර්යයක් ගැන කියන විට නැවතත් ඇතිවන්නේ මෙහි පළමු ඡෙදයේ කී ආකාරයට පිළිකුළකි. අපුලකි. හිරිකිතයකි.

ඊට අමතරව වර්ණකුලසූරිය මහතා, නීතිඥ සංගමයේ සභාපතිවරයාට යවන ලදැයි කියන විවෘත ලිපියක් 28 බදාදා දි අයිලන්ඞ් පුවත්පතේ පළවිය. එහිදී ඔහු කියන්නේ, අධිකරණයට අපහාස කරන රාවය වැනි මෙවැනි මාධ්‍යවලට අපරාධවලට දෙන දඬුවම් දී, මෙවැනි දේ ඉදිරියේදී කරන්නට නියමිත අයටද පාඩමක් කියා දෙන ලෙසය.

හේමන්ත වර්ණකුලසූරිය මහතා මේ පෙනී සිටින්නේ භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩුවේ ප්‍රධාන විනිසුරු වෙනුවෙනි. ඔහුගේ ප්‍රකාශවලට ඉහළ ප්‍රමුඛත්වයක් දී වාර්තා කරන්නේ එහිදී මරණ දඬුවමට ලක්වූ දුමින්ද සිල්වා මහතාගේ සහෝදරයාට අයත් හිරු චැනලයයි. මේ චැනලයට භාරත ලක්‍ෂ්මන් ඝාතනයක් ගැන කිසිවක් වාර්තා වී නැති අතර, සිදුවී ඇත්තේ ‘මුල්ලේරියාවේ සිදුවීමක්’ පමණක් බව රූපවාහිනී බලන්නෝ දනිති. හේමන්ත වර්ණකුලසූරිය මහතා, භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති මූලික (ලඝු නොවන) පරීක්‍ෂණයේදී සැකකාර දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනීසිටි නීතිඥයා බව කවුරුත් දනිති. දැන් ඔහු පෙනීසිටින්නේ එම නඩුව මහාධිකරණයේදී ඇසුණ විට, එහි විනිසුරු මඬුල්ලේ සභාපතිධුරය දැරූ ශිරාන් ගුණරත්න මහතා වෙනුවෙනි. භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමවූ චූදිතයෝ පස්දෙනා, කිසිදු චෝදනාවකට වැරදිකරුවෝ නොවෙති’යි කියමින් නිදොස් කොට නිදහස් කළේ මේ විනිසුරුවරයායි. තුන්දෙනකුගෙන් සැදි විනිසුරු මඬුල්ලේ එක් විනිසුරුවරයකු එක් තීන්දුවක සිටින විට, අනෙක් විනිසුරුවරු දෙදෙන වෙනස් තීන්දුවක පිහිටා සිටියහ. ඔවුහු කීවෝ දුමින්ද (මහේස්ත්‍රාත් අධිකරණයේදී වර්ණකුලසූරිය මහතාගේ සේවාදායකයා) ඇතුළු පස්දෙනෙකු වරදකරුවන් බවයි. දැන් නීතියෙන් වලංගු වන්නේ බහුතර දෙදෙනාගේ තීන්දුව මිස සුළුතර එක්කෙනාගේ තීන්දුව නොවේ.

මේ කරුණු කියවන විට පැනනගිනු ඇත්තේ වර්ණකුලසූරිය මහතා ඇත්තටම පෙනීසිටින්නේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්ද? නැතිනම් තමන්ගේ ධනවත් සේවාදායකයා වෙනුවෙන්ද? යන්නයි. තමාගේ සේවාදායකයා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වුණත්, මිනීමරුවකු වුණත්, ස්ත්‍රී දූෂකයකු වුණත් ඔහු වෙනුවෙන් පෙනීසිටීමටත් ඒ වෙනුවෙන් සාධාරණයැයි පෙනෙන ගාස්තුවක් අයකිරීමටත් ඕනෑම නීතිඥවරයකුට අනුල්ලංඝනීය අයිතියක් තිබේ. එය නීති වෘත්තියේ මූලික ආචාර ධර්මයකි. මේ කතාවට අදාළ නැති උදාහරණයක් දැක්වුවොත්, සුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු වන, දැන් මරණීය දඬුවම නියම වී සිටින වෙලේ සුදාගේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්‍ෂණවලදී, ඔහුගේ සගයකු වන වසන්ත මෙන්ඩිස් නමැත්තකු විසින් වෙලේ සුදාගේ මුදල් පරිහරණය කර ඇති ආකාරය ගැනද සොයා බැලෙයි. එහිදී හෙළිවන අන්දමට, එම කාරණය සම්බන්ධයෙන් නීති උපදෙස් දීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50ක මුදලක් ප්‍රකට බැංකුවක ගිණුමක තැන්පත් කරන ලෙස වයිබර් පණිවුඩයක් මගින් නීතිඥවරයකු උපදෙස් දී ඇත. ඒ වසන්ත මෙන්ඩිස්ගේ සමීප කාන්තාවක වන රත්ගම අයේෂා නමැත්තියටය. ඒ ආකාරයෙන්ම වෙලේ සුදාගේ ගිණුම්වලින්ද රුපියල් ලක්‍ෂ 60ක් එක් නීතිඥවරයකුගේ ගිණුමට ලැබී ඇති බව පොලිසිය හෙළිකරගෙන තිබේ. මේ ආකාරයෙන් රටේ නමගිය අපරාධකරුවන් වෙනුවෙන් පෙනීසිටින අවස්ථාවලදී ඉතා ඉහළ මුදලක් ගාස්තු වශයෙන් අය කරගන්නා නීතිඥවරුන් ලංකාවේ සිටින බව සියල්ලෝ දනිති.

මේ අතර, 2007-2009 කාලයේදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිදුවූ යුරෝ 94,313ක (රුපියල් මිලියන 9ක) මුදලක් අතුරුදන්වීමක් ගැන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් පවත්වා නඩු පැවරීම සඳහා එහි වාර්තාව දැන් නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති බව වාර්තා වෙයි. එහි ගොනු අංකය සීආර්1/214ය. අදාළ කාලයේ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළේ හේමන්ත වර්ණකුලසූරිය මහතාය.

ඕනෑම සේවාදායකයකු වෙනුවෙන් පෙනීසිටීමට නීතිඥවරුන්ට ඇති ඉහත කී ආකාරයේ අයිතියක් වර්ණකුලසූරිය මහතාටද තිබෙන නමුත්, මරණ දඬුවම නියම වී ඇති තම සේවාදායකයාගේ සුබසිද්ධිය වෙනුවෙන් අධිකරණ ස්වාධීනත්වයේ පිරුවටයක් පටලවාගෙන, නීතිඥ සංගමයත් අධිකරණයත් දඩමීමා කරගෙන, රටේ ස්වාධීන මාධ්‍ය දඩයම් කිරීමට නම් ඔහුට අවසරයක් නොලැබෙන බව සටහන් කළ යුතුය. නීතිඥ සංගමයේ රැස්වීමේදී ඔහු විනිසුරුවරයා පිළිබඳ ප්‍රශ්නය නඟන විට පළමුවෙන්ම, තමා එම නඩුවේ එක් පාර්ශ්වයක් වූ දුමින්ද සිල්වා වෙනුවෙන් පෙර පෙනීසිට ඇති බවක් ඔහු සභාවට කී බවක් වාර්තා වන්නේද නැත.

වර්ණකුලසූරිය මහතා කියන්නේ රාවය හා වෙබ් අඩවි නිසා ඒ විනිසුරුවරයා බියවී නීත්‍යනුකූලව දෙන්නට හිටි තීන්දුවද නොදුන් බවක්ද? රාවයට බියවී නම්, ශිරාන් ගුණරත්න මහතාත් දිය යුත්තේ දුමින්ද සිල්වා වරදකරු කරන තීන්දුවම නොවේද? එහෙත්, ඔහු තමා ගත් තීරණයේ නොසැලී සිටිමින් දුමින්ද සිල්වා ඇතුළු සියල්ලන් නිදහස් කළේය. ඉන් කියැවෙන්නේ වර්ණකුලසූරිය කියන විදියට ශිරාන් ගුණරත්න විනිසුරු බියවී නැති බව නොවේද? රාවය නිසා බියවී ශිරාන් ගුණරත්න මහතාද බහුතරයට එකතුවී දුමින්ද සිල්වා නිදහස් කළායැ’යි කීවා නම් වර්ණකුලසූරිය මහතාගේ තර්කයට පදනමක් තිබේ.

ඒ අතර, තමාගේ කිසිම දුරකථනයක් ටැප් කර ඇති බවවත්, ඊමේල් හැක් කර ඇති බවවත්, ශිරාන් ගුණරත්න විනිසුරුවරයා මේ වන තෙක් පොලිසියට පැමිණිල්ලක්වත් කර නැත. තමාට සිදුවූ හානියක් ගැන පළමුව පැමිණිලි කළ යුත්තේ හානියට පත්වූ පාර්ශ්වයයි. ශිරාන් ගුණරත්න මහතා එවැනි පැමිණිල්ලක් කළේ නම් පොලිසියට ඒ ගැන විමර්ශනයක් ආරම්භ කරන්නට හැකියාව තිබේ. ඒ පරීක්‍ෂණයේදී දුරකථන ටැප් කළ බව හේමන්ත වර්ණකුලසූරිය මහතා දැනගත්තේ කෙසේද යන්නත් ඔහුට ඒ බව කිව්වේ කවුද යන්නත් සොයාගත හැකි වනු ඇත. ඒ ගැන පරීක්‍ෂණයට පොලිසිය විදුලි සංදේශ නියාමන කොමිසමේද සහාය ගනු ඇත. එහිදී වර්ණ කුලසූරිය මහතාටද ඒ විමර්ශනයට සහාය විය හැක්කේ, ඔහු මෛත්‍රීපාල ජනාධිපතිවරයා විසින් මේ වන විට විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂවරයකු හැටියට පත්කර ඇති බැවිනි. ඉතින් කළ යුත්තේ, වහාම පොලිසියට පැමිණිල්ලක් කොට ඒ ගැන විධිමත් පරීක්‍ෂණයක් ආරම්භ කිරීමය. එය නොකොට, පුවත්පත්වලට විවෘත ලිපි ලියමින්, නීතිඥ සංගමයට බලහත්කාරකම් කිරීම හරහා අධිකරණයට අපහාස කර ඇති බවට යෝජනා සම්මතකොට ගෙන මාධ්‍ය හීලෑ කරන්නට වර්ණකුලසූරිය මහතා කටයුතු කරන විට, එය අධිකරණයේ ස්වාධීනත්වය මුවාවෙන් රටේ අපරාධවලට දඬුවම් නියමවී සිටින පාතාල අපරාධකරුවන් ගලවාගැනීමේ වංක චේතනාවෙන් කරන මාධ්‍ය සංදර්ශනයක් පමණක් වන බව කිව යුතුය.

හේමන්ත වර්ණකුලසූරිය මහතා, සිය හැසිරීමෙන්ම තමා වරින්වර පෙනීසිටින්නේ කා වෙනුවෙන්දැ’යි අතීතයේදී පැහැදිලි කර දී තිබේ. එක් අවස්ථාවකදී ඔහු පෙනීසිටියේ තමාගේ නිලමැදිරියේදී සැකකරුවෙකුගේ බිරිඳ දූෂණය කළ, වංචා සහගතව අධිකරණ විනිසුරු ධුරයකට පත්වූ කුප්‍රකට ලෙනින් රත්නායක වෙනුවෙනි. ඒ ගැන වික්ටර් අයිවන් මහතා සිය ‘නොනිමි අරගලය’ පොතේ 189 පිටුවේ මෙසේ කියයි. ‘සන්ඬේ ටයිම්ස් පුවත්පතට ‘හල්ෆ්ට්ස්ඩෝප් හිල්’ කොලම මුඞ්ලියර් නම් ආරූඪ නමින් ලියන නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව කෙරුණු පරීක්‍ෂණ දෙක ගැන 1999 අගෝස්තු 8 සන්ඬේ ටයිම්ස් පුවත්පතට දීර්ඝ විවරණයක් කර තිබුණි. ..රාවය ලෙනින් රත්නායකගේ පළමු ස්ත්‍රී දූෂණ සිද්ධිය වාර්තා කළ අවස්ථාවේදී මෙම කොලම යටතේම සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලියන දීර්ඝ විවරණයක් මගින් මෙම ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයා කොන්දේසි විරහිතව ආරක්‍ෂා කර තිබුණේද නීතිඥ හේමන්ත වර්ණකුලසූරියය. ඔහු කර තිබුණු එම විවරණය මහේස්ත්‍රාත්වරයාට විශාල ආරක්‍ෂාවක් ලබාදීමට හේතුවී තිබුණු අතර අධිකරණ සේවා කොමිසමට, ඔහුට එරෙහිව ඉදිරිපත්වූ චෝදනාවලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීමට ශක්තිමත් පසුබිමක් ලැබී තිබුණේද ඒ ලිපිය නිසාය.’ (189, 2002)

මෙන්න, හේමන්ත වර්ණකුලසූරිය ඒ ලිපියේ ලියන වචන: ‘රාවය පුවත්පත මේ පුවත ප්‍රථම වරට ප්‍රසිද්ධ කළ අවස්ථාවේදී මෙය කියවපු බොහෝ දෙනකු එය අවඥාවෙන් බැහැර කළහ. මෙය මේ රටේ පවතින ස්වාධීන අධිකරණයේ ගරුත්වය හා අපක්‍ෂපාතීත්වය විනාශ කිරීම සඳහා රාවය විසින් කරගෙන යන කුමන්ත්‍රණයක් බව බොහෝදෙනාගේ මතය විය. අපක්‍ෂපාතී අධිකරණයක ගරුත්වය කෙළෙසුණහොත්, එම අධිකරණය කෙරෙහි ප්‍රජාව තුළ ඇති විශ්වසනීයත්වය විනාශ වුවහොත්, එයින් විප්ලවීය සමාජයකට මුල පිරිය හැකි බවද, දැනට ශේෂව ඇති එකම ශිෂ්ට සම්පන්න ස්ථානයද විනාශ කිරීමට කරන ලද කුමන්ත්‍රණකාරී පරිශ්‍රමයක් බවද සමහරු කියා සිටියහ.’ වර්ණකුලසූරිය 1999දී පමණ අධිකරණයේ ස්වාධීනත්වය ගැන කියන මේ කතාව හා අද ඔහු හිරු චැනලයෙන් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කියන කතාව අතර කිසිම වෙනසක් නැත. එකම වෙනස, එදා ඔහු ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයකු වෙනුවෙන් ඒ කතාව කීමත්, අද භාරත ලක්‍ෂ්මන් ඝාතනයේ සේවාදායකයා වෙනුවෙන් එයම කීමත් පමණි. රටේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන සහතික ගත යුත්තේ මෙවැනි මහත්වරුන්ගෙන්ද? (වර්ණකුලසූරිය මහතා සිය මුඞ්ලියර් කොලම අඩංගු පොතක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටද පිළිගැන්නුවේය.)

අධිකරණය විවේචනය කිරීම

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ යුක්තිය පසිඳලීමේ හෙවත් අධිකරණ බලයේ පරම බලධාරියා රටේ මහජනතාවයි. අධිකරණ පද්ධතිය විසින් ක්‍රියාවේ යොදවන්නේ රටේ ජනතාවගේ ඒ අධිකරණ බලයයි. ඒ අධිකරණ බලය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය උසාවි හැදීම, නඩත්තුව, විනිසුරුවරුන්ට හා අධිකරණ කාර්ය මණ්ඩලයට වැටුප් හා වෙනත් වරප්‍රසාද සඳහා වියදම් කිරීම ආදි යටිතල පහසුකම් සපයන්නේ රටේ ජනතාවගේ බදු මුදලෙනි. ඒ නිසා රටේ අධිකරණ පද්ධතිය හැසිරෙන ආකාරය ගැන ප්‍රශ්න කරන්නට විවේචනය කරන්නට රටේ මහජනතාවට ශුද්ධවූ අයිතියක් තිබේ. රාවය පාවිච්චි කරන්නේ ඒ අයිතියයි. එහෙත් ඒ අයිතිය අධිකරණයට අපහාසයක් නොවන ආකාරයෙන්, ගෞරවනීයව පාවිච්චි කිරීමට රාවය හැමදාම දැනුවත්ය. අවාසනාවකට අධිකරණයේ ස්වාධීනත්වයත්, කීර්තිනාමයත් විනාශ කරමින් එයට අපහාස කරන්නේ එහි සාමාජිකයන් වන අය විසින්මය. ඒ අතර විනිසුරුවරු සැලකිය යුතු පිරිසක් සිටිති.

ආසන්නතම උදාහරණය තිළිණ ගමගේය. අලි හොරකමක් ගැන පැහැදිලි චෝදනා එල්ලවී තිබියදීත් ඔහු විනිසුරු අසුනට නැගී අනෙක් මිනිසුන් නීති කැඩීම ගැන නඩු විභාග කළේය. ඔහුට එය කරන්නට ඉඩදී අධිකරණ සේවා කොමිසමද මර නින්දේ සිටියේය. සීඅයිඩීය ඔහු අත්අඩංගුවට ගන්නට එන විට ඔහු කට්ටි පැන අතුරුදන් වුණේය. අන්තිමට තමාගේ හිතවත් මහේස්ත්‍රාත්වරයකුගේ විශේෂ සැලකිල්ල ඇතිව උසාවියෙන් ඇප ලබාගත්තේය. මේ ලජ්ජා සහගත සිද්ධියෙන් වුණත් අධිකරණයේ ස්වාධීනත්වයට කිර්තිනාමයට හානියක් නැති බව තමාට හිතෙන නිසා වන්නට, හේමන්ත වර්ණකුලසූරිය ඒ ගැන කතා කළේවත් නැත. එහෙත්, තමන්ගේ වෘත්තිය පත්වී ඇති පහත් තත්ත්වය ගැන තමන්ටම ලජ්ජාවක් ඇතිවී අධිකරණ නිලධාරීන්ගේ (පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ) සංගමය පවා තිළිණ ගමගේ විනිසුරු අසුනෙන් ඉවත්කරන ලෙස අධිකරණ සේවා කොමිසමෙන් ලිඛිතවම ඉල්ලුවේය. කොමිසම හිටියේ මර නින්දේය. අන්තිමට, තිළිණ ගමගේ අනිවාර්ය නිවාඩු යැව්වේ රාවයත් කළ අඛණ්ඩ මැදිහත්වීම නිසා බව අපි ගෞරවයෙන් කියමු. අධිකරණයට අපහාසයක් වන්නේ අලි හොරකමක් ගැන චූදිතයකු නඩු ඇසීමද? නැතිනම් එවැන්නකු විනිසුරු අසුනෙන් බස්වන ලෙස රාවය කළ හඬනැගීමද? රාවය කිසි දිනෙක අධිකරණයට අපහාස කොට නැත. අධිකරණයට අපහාස කරනවුන් හෙළිකොට අධිකරණය පිරිසිදු කරගැනීම වෙනුවෙන් මැදිහත්වීම හැර.

විනිසුරුවරුන්ට ඇත්තේ විවෘත බලපත්‍රයක් නොවේ. එක පැත්තකින් ඔවුන්ගේ හැසිරීම හා තීන්දු ඉහළ අධිකරණවල විමසුමට භාජනය වේ. ඒ වාගේම පාර්ලිමේන්තුවේ විමසුමටද ලක්වෙයි. ඒ වාගේම රටේ මහජනතාවගේ විමසුමටද ලක්වෙයි. එනිසා විනිසුරුවරුන් බිය විය යුතුය: ඒ වරදෙහි බැඳෙන්නටය. සල්ලි හෝ වෙනත් අනුග්‍රහයන් නිසා වැරදි තීන්දු දෙන්නටය. තමන්ගේත් අධිකරණයේත් ගෞරවය ආරක්‍ෂා කරගනිමින් රටේ නීතිය ඉදිරියට ගෙනයන සාධාරණ තීන්දුත්, ඒ තීන්දු දෙන විනිසුරුවරුනුත් රාවයේ ගෞරවයට පාත්‍රවී ඇත්තේ වරක් දෙවරක් නොවේ. අපි නිර්ලෝභීව ඒ විශිෂ්ටයන් අගය කරමු. එහෙත්, අධිකරණ ස්වාධීනත්වයේ නාමයෙන් දූෂිතයන්, අපරාධකරුවන් ගලවාගැනීමට එන හෝ නීතියේ කන්‍යාව දූෂණය කරන්නට එන හෝ පුද්ගලයන්ට සපුරා විරුද්ධ වෙමු. ඊයේ පෙරේදා, මහියංගණ මහේස්ත්‍රාත්වරියගේ පටන්, කනිෂ්ක විජේරත්න, තිළිණ ගමගේ, උපාලි අබේරත්න, ලෙනින් රත්නායක හරහා සරත් එන් සිල්වා වැනි අන්ත දූෂිතයන් දක්වා රාවය කළ හෙළිදරව් කිරීම් ඒ ගැන සාක්‍ෂි දරනු ඇත.

අප අවසානයේ උපුටා දක්වන්නේ අධිකරණයේ ස්වාධීනත්වය ගැන හදිසියේ මතක්වූ හේමන්ත වර්ණකුලසූරිය ගැන වර්ණකුලසූරියගේම ෆේස්බුක් පිටුවේ පෝල් ප්‍රනාන්දු නම් මහතකු තබා ඇති කමෙන්ටුවකි. එය මෙසේය. ‘ඔහු (හේමන්ත) කියන්නේ ඇත්තද නැත්තද කියන්න ඔහුට ප්‍රබල සාක්‍ෂි නැහැ. හැබැයි ඔහු මහින්දගේ ගැත්තෙක්. ඒ කාලේත් මේවා වුණා. මේ කාලේත් වෙන්න පුළුවන්. ඒ කාලේ නොඇරුණ කට මේ කාලේ කුමකටද? මුදල්වලට පහත් වැඩ කරනවුන් කුමන වෘත්තියක යෙදුණත් ගෞරවය ලැබිය යුතු නැත.’