හමුදාව වැරදිකරුවන් ආරක්ෂා නොකළ යුතුයි | ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා

කේ. සංජීව ඡායා/සමීර වීරසේකර

ඔබ පසුගිය දිනයක ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශයක් කරලා තිබුණා. ඔබේ ඇඟිල්ල දිගුවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසට.

මම හමුදාපති විදිහට වැඩ කරන කාලේ මම කළේ යුද්ධ කරන එක. මට එතැන වැදගත් වැඩ කොටසක් තිබුණා. මේ කාලේ දකුණේ ඝාතන සිද්ධ වුණා. ජනමාධ්‍යවේදීන්ට පහර දුන්නා. සුදු වෑන්වලින් මිනිස්සු පැහැර ගත්තා. මේවා ගැන කිසිදු පරීක්ෂණයක් විමර්ශනයක් වුණේ නැහැ. අපිට දක්ෂ නිලධාරීන් ඉන්න පොලිසියක් තියෙනවා. සමහර වෙලාවට මිනීමරුවෝ පැය 24න් අත්අඩංගුවට ගැනීම් සිද්ධ වෙනවා. මෙහෙම පොලිසියක් තිබිලාත් මේ ඝාතන, පැහැර ගැනීම් ගැන පරීක්ෂණ සිද්ධ වුණේ නැහැ. ලසන්තගේ සිදුවීම ගත්තත් ඒක එහෙමයි. ඉතින් ඒ කාලේ තිබුණ මේ අපරාධ රැල්ල පිටුපස හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හිටපු පාලකයාගේ හස්තය තිබුණා කියලා මම තරයේ විශ්වාස කරනවා.

මේ දේවල් මෙහෙම සිද්ධ වෙන අතරේ මාව සිරගත කළානේ. ඊළඟට මොකද්ද කළේ මෙයාලා. මේවා මගේ පිටේ පටවන්න උත්සාහ කළා. ඒත් ඒවා හරි ගියේ නැහැ. මේ සේරම දේවල් එක්ක මගේ හෘදය සාක්ෂිය මට නැවත නැවතත් කියනවා මොවුන් මේ ඝාතනවලට පැහැර ගැනීම්වලට සම්බන්ධයි කියලා.

එහෙත් මම හමුදාපති විදිහට ඉන්න කාලේ මේ අපරාධ ගැන විපරම් කරන්න කාලයක් මට තිබුණේ නැහැ. ඒක මගේ රාජකාරියත් නොවෙයි. මම මගේ රාජකාරිය 200%ක් නිවැරදිව කරන්න උත්සාහ කළ, ඒක කළ මිනිහෙක්. මම මගේ අවධානය සම්පූර්ණයෙන්ම යුද්ධය දිහාට දීලා තිබුණ කාලෙක තමයි ලසන්ත ඝාතනය වෙන්නේ. මට හිතෙන්නේ මේ ඝාතනයට හිටපු පාලකයාගේ, ආරක්ෂක ලේකම්වරයාගේ ආශීර්වාදය ලැබෙන්න ඇති.

මේ ඝාතන සහ අතුරුදන්කිරීම් ගැන පරීක්ෂණ මෙහෙම දිගටම යනකොට ඒ පරීක්ෂණ යොමුවෙන්නේ හමුදා බුද්ධි අංශය වැනි යුදහමුදා කණ්ඩායම් තුළට. ඔබ හමුදාපති ලෙස වැඩ කරන මේ කාලයේ ඔබේ අණට පිටින් වැඩ කරන පිරිස්, කණ්ඩායම් හමුදාව ඇතුළේ සිටියාද?

මේ යන පරීක්ෂණවල සාර්ථකත්වය ගැන තක්සේරුවක් දෙන්න මට බැහැ. ඒක දන්නේ පරීක්ෂණ මෙහෙයවන අය. අනික මේ නඩු ඉවරවෙලා තවම කවුරුවත් වැරදිකරුවන් වෙලාත් නැහැ.

හැබැයි මට මේ ටික තියන්න පුළුවන්. මම යුද හමුදාපති විදියට වැඩ භාරගත්තාට පස්සේ එතකොට හිටපු බුද්ධි අංශ ලොක්කා කපිල හෙන්දාවිතාරණ මම අයින් කළා. මේ විදියට මම බුද්ධි අංශයේ උඩින්ම හිටපු අය අයින් කරලා ඒ තැන්වලට සටන් බිමේ පළපුරුද්ද තියෙන අය දැම්මා. ඒ අලුතින් පත්කළ අය අතරේ කාලතුවක්කු, පාබල වගේ රෙජිමේන්තුවල අයත් හිටියා. එහෙම මම යුද හමුදා බුද්ධි අංශය ප්‍රතිසංවිධානය කළාට පස්සේ මම අයින් කළ ඔය නිලධාරීන් ගෝඨාභය රාජපක්ෂ ළඟට ගියා. කපිල හෙන්දාවිතාරණ ගෝඨාභයත් එක්ක එකතු වෙලා ජාතික බුද්ධි ප්‍රධානියා කියලා නමක් දාගෙන වැඩ කළා. මේ අය මෙතැන කළේ ගෝඨාභයට ගැතිකම් කළ එක. මේ කණ්ඩායමට නොයෙක් තැන්වල තවත් ගැත්තෝ හිටියා. එයාලාට එක තැනකින් ගැත්තෝ හතඅටක් සොයා ගන්න එක අමාරු වුණේ නැහැ. ඉතින් මට මගේ හෘදය සාක්ෂිය තියනවා මේ කණ්ඩායම මේවා පිටුපස්සේ ඉන්න ඇති කියලා.

මේවා මම දැනගෙන හිටියාට මට මේවාට විරුද්ධව වැඩ කරන්න කාලයක් තිබුණේ නැහැ. මට ඊට වඩා වැදගත් වැඩක් තිබුණා. ඒ යුද්ධය ඉවර කරන එක. අනික ආරක්ෂක ලේකම් කරන දේවල් පාලනය කරන්න මට බලයක් ඇත්තේත් නැහැ. මම ඒවා ප්‍රශ්න කරන්න ගියා නම් මට යුද්ධ කරන්න වෙන්නේ නැහැ, ගෙදර තමයි යන්න වෙන්නේ.

මේ වැරදිවලට වගකිවයුත්තේ හමුදාවේ සුළු පිරිසක්. මේ සුළු පිරිස නිසා යුද හමුදාව විශාල අපකීර්තියකට ලක්වෙලා ඉවරයි, මේ වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්න පොලිසියට සහායදීම තමයි දැන් හමුදාව කළයුත්තේ. මේ අපකීර්තියෙන් හමුදාවට යම් ප්‍රමාණයකට හරි ගැලවෙන්න පුළුවන් ඒකෙන් පමණයි. එහෙත් හමුදාව මේ පරීක්ෂණවලට තවමත් නිසි සහායක් දෙන්නේ නැහැ.

හමුදාව වැරදිකරුවන් ආරක්ෂා නොකළ යුතුයි කියලා මම හැම වෙලාවෙම කියනවා. මේ පරීක්ෂණවලට අවශ්‍ය සහාය හමුදාව දෙන්නේ නැත්නම් ඒකට ක්‍රමවේද තියෙනවා. මම දන්නවා ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්තුමා මේ ගැන අවධානයෙන් ඉන්නේ. ඕනෑම වෙලාවක ඔවුන් වෙත පැමිණිලි ඉදිරිපත් කරන්න පුළුවන්. අනික මම හිතන්නේ නැහැ යුද හමුදාවට මේ පරීක්ෂණවලට සහාය නොදී ඉන්න පුළුවන් කියලා. එහෙම දෙයක අවශ්‍යතාවක් යුද හමුදාපතිටත් තියෙනවා කියලා මම හිතන්නේ නැහැ. හැබැයි එහෙම තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක සාකච්ඡා කරලා බේරාගන්න ඕනෑ.

ලසන්ත ඝාතනයට යොදාගෙන තියෙන්නේ විශේෂ අවියක් කියලා කතාබහක් තියෙනවා. මෙවැනි විශේෂ අවි ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තිබුණාද? ඒවා පාවිච්චි කළ විශේෂ කණ්ඩායම් හමුදාව ඇතුළේ හිටියාද?

මේ වගේ විශේෂ අවි ලෝකේ පුරාම තියෙනවා. හැබැයි මෙවැනි අවි අපි ගෙනාවාද කියලා මට නිච්චියක් නැහැ. සාමාන්‍යයෙන් හමුදාවට මොන දේ ගෙනාවත් ඒක ලේඛනගත වෙනවා. ටින් කටර් එකක් ගෙනාවත් එහෙමයි. ඒ නිසා එහෙම විශේෂ අවියක් පිළිබඳව සැකයක් තියෙනවා නම් ඒක හොයා බලන්න අමාරු නැහැ.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයාත් වරින්වර මාධ්‍ය ඔස්සේ වක්‍රව කියනවා ලසන්තගේ ඝාතනයට ඔබ සැකයි කියලා. අනික ඔබගේ යුද හමුදා නායකත්වයත් ඔහු ප්‍රශ්න කරනවා. ඔහු කියන්නේ හමුදා මූලස්ථානය ආරක්ෂා කරගන්න බැරිවුණු ඔබ කොහොමද සාර්ථකව යුද්ධයක් මෙහෙයවන්නේ කියලා?

ඔහු එහෙම කියනවා නම් තමන්ගේ ආරක්ෂාව සලසාගෙන පාරේ යන්න බැරිවුණු මිනිහා කියලා මටත් කියන්න පුළුවන්. අනික තමන් පාවිච්චි කරපු වෙඩි නොවදින රථයේ ශක්තිය ගැනවත් ඔහු දන්නේ නැහැ. ඔහු කියනවා ග්‍රෙනේඞ් එකක් වැදුණත් බුලට් පෘෆ් කාර් එකකට ඩැමේජ් වෙනවා කියලා. ඒක වැරදියි. සාමාන්‍යයෙන් කිලෝ 20කවත් අධිබල පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණයක් කාර් එකට හේත්තු කරලා පුපුරවන්න ඕනෑ.

අනික ඔහු යුද හමුදාවේ ලෙෆ්ටිනන් කර්නල් කෙනෙක් විදියට ඉඳලා රාජකාරිය නිසි විදිහට කළේ නැහැ කියලා යුද අධිකරණයට ගෙනියන්න හදන කොට රංජන් විජේරත්නට වැඳලා අවසර අරන් රට ගිය මිනිහා.

එයා හමුදාවෙන් ඉවත් වෙලා රට යනකොට එල්ටීටීඊ එකට මෝටාර් බෝට්ටුවක්වත් තිබුණේ නැහැ. ඉතින් අවුරුදු 15කට පස්සේ ඇවිල්ලා දියුණු එල්ටීටීඊ එකට විරුද්ධව යුද්ධය මෙහෙයෙව්වා කියලා කියන්නේ කොහොමද?

අපි සටන් පෙරමුණේ හැම නිලයක්ම දැරුවා. අවුරුදු 30-40ක් යුද්ධ කළා. යුද්දෙට බයේ රට පැන්න මිනිහෙක් ආයෙත් ඇවිල්ලා යුද්ධ කරන්න ඉගැන්නුවා කියනවා නම් ඊට වැඩිය විහිළුවක් තවත් තියෙනවාද?

මට බොරු නඩු දාලා තියෙන කොට මගේ නීතිඥයෝ උසාවියේදී ඔය මනුස්සයාගෙන් ඇහැව්වා ඇයි හමුදාවෙන් ඉවත් වුණේ කියලා. ඒකට උත්තරේ තමයි පුද්ගලික හේතුවක් කියන එක. එතකොට රට ගැන යුද්ධය ගැන කිසි කැක්කුමක් නැතිව තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවකට තමයි හමුදාවෙන් ඉවත් වෙලා රට ගියේ. මෙහෙම මිනිස්සු තමයි දැන් යුද්ද කළා කියලා කෑගහන්නේ. රණවිරුවන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරනවා කියන්නේ.

‘ගෝඨාස් වෝර්’ කියලා කාලෙකට කලින් පොතක් ලියවුණා. දැන් ‘රෝඞ් ටු නන්දිකඩාල්’ කියලා පොතක් ඇවිත් තියෙනවා. මේ ලියැවෙන්නේ ඔබ නායකත්වය සැපයූ යුද්ධය ගැන. හැබැයි මේ පොත් දෙකේම ඔබගේ භූමිකාව පිළිබඳව සඳහනක් නැහැ.

නන්දිකඩාල් පොත ගැන කතා කළොත් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ යටතේ සේනාංකාධිපතිවරු 20ක් හිටියා. ලක්ෂ දෙකක හමුදාවක් හිටියා. එතැනින් 6000කට තමයි ඔය පුද්ගලයා අණ දුන්නේ.

අපි මාන්කුලම් කිළිනොච්චිය, අලිමංකඩ අල්ලාගත්තාට පස්සේ තමයි ඔය සේනාංකය මම පෙරමුණට ගත්තේ. ඒ දාලත් ටික කාලෙකින් මට තේරුණා මේ වැඬේ මේ මනුස්සයා යටතේ හරියට වෙන්නේ නෑ කියලා. ඊළඟට මිනිහාට තිබුණ බලසේනා තුනෙන් දෙකක් ගලවලා අටවැනි කාර්ය සාධක බලකාය කියලා මම ඒක බි්‍රගේඩියර් රවිප්‍රියට දුන්නා. ඇත්තටම කියනවා නම් මිනිහා තමයි යුද්ධය ඔය කියන අවසන් අදියරට අරගෙන ආවේ. මෙයා අන්තිමට හැංගිලා හිටියා. මගේ කෝල් එකකටවත් ආන්සර් කළේ නැහැ. මොකද මම අහන ප්‍රශ්නවලට මිනිහාට උත්තර නැහැ. මිනිහා මට ආන්සර් කළේ නැති වුණාට මම රවිප්‍රිය එක්ක දිගටම කතා කළා. අනික එක මොහොතක ඔය මනුෂ්‍යයාට යුදබිමේ තත්ත්වය පාලනය කරගන්න බැරිව මම ජනරාල් ඩයස් එතනට යැව්වා. ඊළඟට විශේෂ බලකාය යැව්වා. එතකොට විශේෂ බලකායේ හිටියේ නිර්මාල් ධර්මරත්න. ඒවා මොකුත් ලියන්නේ නැතුව තමයි ඔය බොරු ලියලා තියෙන්නේ.

ඔබ හමුදාපති වුණාට ඔබ යටතේ හිටිය සේනාංකාධිපතිවරුන් පාලනය කළේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියනවා.

එයාගේ අමුතු යටිකූට්ටු වැඩ තිබුණා. ඒ වගේ වැඩ එයා යුද හමුදාව ඇතුළේ ඉන්නකොටත් කළා. කනිෂ්ඨ අය අල්ලාගෙන ප්‍රශ්න ඇති කළා. ඒ නිසා තමයි සිංහ රෙජිමේන්තුවේ අය ගැහැව්වේ. අන්තිමට සිංහ රෙජිමේන්තුවෙන් යන්න වුණා. එයාගේ ඔය වැඬේ නිසා ඒ දවස්වල මිනිහාත් එක්ක හිටපු ඔෆිසර්වරු හතර දෙනෙකුට ගෙදර යන්න වුණා.

ඒ වගේම තමයි මගෙන් මොකවත් අහන්නේ නැතිව යුද්ධය ඉවර වෙන්න මාස තුනක් තියෙද්දී ජගත් ඩයස් ජර්මනියට යවන්න හැදුවා. ඊළඟට යුද්ධය ඉවර වෙන්න මාස දෙකක් තියෙද්දී මගේ මෙහෙයුම් අධ්‍යක්ෂ උදය පෙරේරා මැලේසියාවට යැව්වා. මගේ අතක් කැඩුවා වගේ. මගේ ඔළුවෙන් තමයි මම ඔය ලක්ෂ දෙකම මෙහෙයව්වේ. මගේ හැම නියෝගයක්ම උදය පෙරේරා හරහා තමයි යුද පෙරමුණට ගියේ. දැන් යුද ජයග්‍රහණය ගැන කතා කළාට ඔය වගේ වගකීමක් නැති වැඩ තමයි වැඩිපුර කළේ.

සුදු කොඩි ප්‍රශ්නය ගැනත් කතා කරමු.

ඔය සුදු කොඩි කතාව යුද පෙරමුණේ හිටිය මාධ්‍යවේදීන් දෙන්නෙක් තමයි මට කිව්වේ. මේ පුද්ගලයා මගේ නිලධාරියකුට මෙහෙම උපදෙසක් දුන්නා, ඒ නිලධාරියා ඒ උපදෙසට අදාළව නියෝග නිකුත් කළා කියලා. මෙහෙම දෙයක් මාධ්‍යවේදීන් මට කිව්වා කියලා තමයි මම ෆ්‍රෙඞ්රිකා ජෑන්ස්ට කිව්වේ. අන්තිමට ඒ කාන්තාව මට විරුද්ධව නඩුවක් හදන්න රාජපක්ෂවරුන්ට උදව් කළා. ඒකයි වුණේ. හැබැයි ඒ මාධ්‍යවේදීන් එදා මට කියපු ඒ කතාවට අදාළ සාක්ෂි මම ළඟ දැනටත් තියෙනවා. ඒ සාක්ෂි වෙලාව ආවාම මම එළියට දානවා.

එදා ඒ නිලධාරියා මගේ සෙබළුන්ට මේ පුද්ගලයාගේ නියෝගයට අනුව නියෝග නිකුත් කරන කොට ඔය මාධ්‍යවේදීන් එතන හිටියා. ඒ හිටියේ නිකන් නෙවෙයි කැමරාත් අටවගෙන. ඉතින් ඒ සාක්ෂි මම ළඟ තියෙනවා.

හැබැයි මගේ සෙබළුන් ඔය නියෝග පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔය කියන දේවල් සිද්ධ වුණේ නැහැ.

අවසන් වශයෙන් කියන්න පසුගිය රජයේ පුද්ගලයන්ට විරුද්ධව කෙරෙන පරීක්ෂණ ගැන, නීතිය ක්‍රියාත්මක වීම ගැන ඔබේ අදහස?

අපේ නීතියේත් නීති ක්ෂේත්‍රයේත් අඩුපාඩු ගොඩාක් තියෙනවා. පසුගිය පාලකයෝ මේ තැන්වලට දැම්මේ තමන්ගේ ගැත්තෝ. ඔවුන් ගොඩනගපු සමහර දේවල් තවමත් ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා රහස් පොලිසියට හරි එෆ්සීඅයිඩී එකට හරි ලේසියෙන් කරන්න පුළුවන් දේවල් අමාරු වටරවුම් මාර්ගවලින් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ තැන්වල ඉන්න රාජපක්ෂ හෙංචයියෝ මේවා පස්සට අදිනවා. හැබැයි හෙමින් හරි මේ ක්‍රියාවලිය ඉදිරියට යනවා පෙනෙනවා.