Untitled-1

Untitled-1

පිට්ටනි හැදීම සහ ඩෙඟා නැටීම


wicramasooriya

ඒ. වික්‍රමසුරිය

මහින්ද රාජපක්‍ෂ පාලනය මෙරට ක්‍රීඩාව වළ පල්ලට ඇද දැමුවේ සමස්ත ක්‍රීඩාවම තම දරුවන්ගේ විනෝදයක් බවට පෙරළීම නිසාය. එකල ක්‍රිකට් යනු රාජපක්‍ෂ පුතුන්ට ඕනෑ හැටියටය. රගර් ඔවුන්ගේමය. කොටින්ම ක්‍රීඩා අමාත්‍යාංශයම ඔවුන් සන්තකයේම පැවතුණි. අලුත්ගමගේ එවිට නමට ක්‍රීඩා ඇමතිය. ක්‍රීඩාව අරබයා කරන්නට දෙයක් තමන්ට නැති තැන ඔහු රට වටා පිට්ටනි හදන තැනට සෙල්ලම හරවා ගත්තේය. ඉන් ඔහුට වැරදුණේ නැත. ඔහු එම ක්‍රීඩාවෙන් ජයකෙහෙළි නැංවීය.

මෙය බැලු බැල්ලමට කදිම ඉල්ලමකි. සල්ලා උනන උල්පතකි. නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණය අලුත්ගමගේගේ වාසනාව විය. දැන් දයාසිරි ජයසේකරත් තෝරාගෙන ඇත්තේ ඒ සෙල්ලමමය. එනම් පිට්ටනි හැදීමේ ක්‍රීඩාවය. එය ක්‍රීඩා ඇමති කෙනකුට පරම්පරා ගණනාවක් ගොඩ යා හැකි සෙල්ලමකි. ඒ සෙල්ලමේ කදීමට නියැලෙන්නැයි කියනු හැර වෙන කුමක් කියමුද?

දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමති ධුරය භාරගැනීමත් සමඟ ඔහු මෙරට දොළොස්වැනි ක්‍රීඩා ඇමතිවරයා බවට පත්විය.
හෙට්ටිපොළ මහජන ක්‍රීඩාංගණයේ එදා ක්‍රීඩකයකු වු දයාසිරි ජයසේකර නම් කුඩා කොලුවා පාසල් සමයේ ක්‍රීඩා කිහිපයකින්ම කුසලතා දැක්වුවෙක්ය. නාරම්මල මයුරපාද විද්‍යාලයේදී වොලිබෝල්, ක්‍රිකට් ක්‍රීඩා කර ඇති ඔහු පාර පුරා පොලු කරකවමින් තමන් වුෂු කර ඇතැයි ද පාර පුරා කියමින් ගියේය. මේ සියල්ලෙන් කියනුයේ ක්‍රීඩා ඇමතිකමට ඔහු සුදුසු බවද? ක්‍රීඩාව කර තිබීමත් ක්‍රීඩාවෙහි පරිපාලනය කිරීමත් දෙකකි. හිටපු ප්‍රවාහන ඇමති කුමාර වෙල්ගම ලංගමය භාරගනිද්දී කීවේ තමන් ඇන්දීම කාටවත් කළ නොහැකි බවත් තමන් බසයේ මොකක්දෝ බටයකින් රිංගා එළියට ආ කෙනකු බවත්ය. අන්තිමට ඔහු නතර වූයේ ලංගමය කාබාසිනියාකර ය. ඒ නිසා පාසලේ ක්‍රීඩා කිරීම, විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කිරීම ක්‍රීඩා ඇමති වීමට එකම සුදුසුකම නොවේය. එහෙත් ක්‍රීඩා කර තිබීම ක්‍රීඩකයකුගේ දුක හඳුනා ගැනීමට කදිම මෙවලමකි. අපට දයාසිරි ඇමතිවරයාට කීමට ඇත්තේ එය වූවොතින් කදිම බවය.

අප ආපස්සට යා යුතුව ඇත. දයාසිරි ජයසේකර දොළොස් වැනි ක්‍රීඩා ඇමතිවරයා ලෙස වැඩභාර ගනිමින් කයිවාරු දුසිම් ගණන් ඇද බෑවේය. ඔහු කියූ කිහිපයක් මෙසේය.

තමන්ගේ ඇමතිකම ක්‍රීඩාවට අදාළ වුවත් තමන් සමඟ සෙල්ලම් බෑ කියාත් තමන් පස් අවුරුදු සැලැස්මක් ක්‍රීඩාවට නගන බවත් සියලු දෙනා එක්වී ක්‍රීඩාව ගොඩනැංවිය යුතු බවත් ඔහු එදා පැවසීය.

නායකයකුට අමතරව නළුකමට වුවද සුදුසු ඔහු විසින්ම ගොස් ක්‍රීඩා පිට්ටනි අත ගගා නරඹනා ඡායාරූප ද එකල පළවිය. ක්‍රීඩා නිලධාරීන්ගේ වැටුප් ප්‍රශ්නය කඩිනමින් විසඳන බවටද පොරොන්දු විය.

නව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවද එයින් මෙරටට ඇති අනතුරුද ගැන මොන මොනවාදෝ කී ඇමති අවසාන වශයෙන් කීවේ, “තමන් කිසිසේත්ම මපට් කෙනකු වන්නට සූදානම් නැති බවත් මෙය තමන් ටෙස්ට් කරන්නට දුන් ඇමතිකමක්” බවත්ය.

අමතක වන්නට පෙර තව දෙයක් කිව යුතුය. කතාකාරයකු වන ඔහු ජාත්‍යන්තර පන්නයේ කතාවක්ද කීවේය. එනම් ලංකාව තිබෙන්නේ ලෝකය ඇතුළත මිසක් ලෝකය තිබෙන්නේ ලංකාව තුළ නොවන වගය. එය මීට පෙර කිසිවකු දැන නොසිටි ඔහු සොයා ගත් ගැඹුරකි.
ඔහු එදා කළ කී දේ ගැනම හිතන්නේ නම් ලිවිය යුතු දෑ බොහෝය. ඒවා නැවත ලිවීම අවැඩක් නොවන්නේ එවා කාලයත් සමග පුද්ගලයන් තේරුම් ගැනීමට උපකාරී වන බැවිනි.

ක්‍රීඩා අමාත්‍යාංශය බාර ගන්නට පෙරද ක්‍රීඩා ක්‍ෂේත්‍රය පිළිබඳ අධ්‍යයනය කළ බව පවසන ඔහු අද ජාත්‍යන්තර ඔලිම්පික් නීතිරීති කඩපාඩම්යැයි කියන තැනට තල්ලු වී ඇත. එසේනම් ඔහුට දැන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ විභාගය ලිවිය හැකිය. තමන් මූණ බලා හෝ ඉපැරණි හිතවත්කම් මත කටයුතු නොකරන බවද එහිදි අවධාරණය කළේය.

දෙවසරක් ගෙවෙන තැන ලාංකිකයා ක්‍රීඩාවෙන් යුක්ත ජාතියක් :ීචදරඑසබට භ්එසදබ* කරන බවටද පොරොන්දු විය.
දැන් කාලය ශීඝ්‍රයෙන් ගෙවී යමින් පවතී. එහෙත් කයිවාරු මිස වැඩ වන බව නොපෙනේ. රට සවාරි මිස දුටු වෙනත් දෙයක් නොවීය. තවම සුගතදාස පිට්ටනියද අවසන් කළ නොහැකිව ඇත.

සංදර්ශන කතා අතින් දයාසිරි ජයසේකර එස්.බී. දිසානායකටත් ඉදිරියෙනි. ක්‍රීඩාව ගැන කයිවාරුවෙන් අලුත්ගමගේද පරාජය කොට ඇත. වැඩ අතින්ද ඒ සැමට වඩා ඔහු පරාදවී ඇත. ක්‍රීඩා පනත වෙනස් කිරීමේ පන්දුව දමමින් ඔහු රට සවාරි යමින් සිටී. ආ විගස කළේද එයමය. දැනුදු සිදු කරමින් සිටිනුයේ එයමය. මේ පනතට අනුව දශක ගණනාවක්ම ක්‍රීඩා කළ අපට මේ පනත නුසුදුසු වූයේ මෑත කාලයේ දිය. අලුත්ගමගේ මේ අලුත් වගන්ති ගෙනාවේ එළවන්නට බැරි පෙරේත කුම්භාණ්ඩයන් එල වන්නටය. එයම පසුව වෙනම අවනඩුවක් වූයේද ඒ බහිරවයන්ගේ නැගීමෙනි. තවමත් ක්‍රීඩා පනත කපා කොටා වෙනස් කරමින් අලුත් මාදිලි ගෙනෙනුයේ සැමදා ක්‍රීඩාව විනාශ කරන මියෙන තෙක් ක්‍රීඩාවේ ලගින්වුන් ආරක්‍ෂා කරන්නටය. මේ තත්ත්වය අද මුදලට හෙට ණයට මෙන් කල් අරමින් ඇදගෙන යනු පෙනේ.
සෙසු ක්‍රීඩා ඇමැත්තෝ මෙන්ම දයාසිරිද හිතවත්කම් නාමධාරීන් හමුවේ ව්‍යාජ කතාකාරයෙකු වී ඔවුන්ම රැකගන්නා ක්‍රීඩා ඇමැත්තෙකු වී ඇත. තව අවුරුදු කීයක් ගෙවුණද මෙරට ක්‍රීඩාව මෙලසමය. මෙහි දියුණු කිරීමේ වුවමනාවක් ඇමති සතුව නැත. ඔහුට ඕනෑ බොරු සෝබන නටමින් කාලය ගෙවන්නටය.
ප්‍රථම වතාවට ක්‍රීඩකයා සමඟ පුහුණුකරුවකු රියෝ රැගෙන ගිය බව කයිවාරු ගසන ඇමති එය තේරීම් කමිටුව කොතරම් තර්ක විතර්ක කොට අමාරුවෙන් ලබාගත්තක්ද බව නොදනී. එහෙත් එහි ලකුණු තමන් නමට දමා ගනිමින් සිටී.

ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ බහුතරයට අනුව ඇමති කතාකාරයෙකු පමණි. ඔහු පිරිස් ගෙන්වා කතා පවත්වන්නට රුසියෙකි. සාක් ක්‍රීඩා උළෙලේදී සංගම්වලට අතදිග හැර මුදල් දුන් ඇමති ඒවාට කළ දේ ගැන අදාළ සංගම්වලින් වාර්තා ඉල්ලූ මුත් එය ලබා දුන්නේ කවුද? කිසිවෙක් මේ කතාකාරයා මායිම් නොකරති. ඒ කිසිවක් අපට අදාළ වුව ක්‍රීඩා ඇමතිට අදාළ නැත්තේ ඔහු මේ කරනුයේ සෙල්ලමක් නිසාය. එනම් ක්‍රීඩාව දියුණු කරන බව කියමින් කාලය කා දැමීමේ සෙල්ලමය. ඉන්දියාවේ ගොස් බැරි වූ රියෝ ගොස් නොහැකි වූ දේ යාපනයේ ගොස් පැමිණ කරනු ඇත්ද? එක් අතකට ඔහු ක්‍රීඩාව දියුණු කරතැයි බොරු බලාපොරොත්තු රඳවා ගනුයේ ඇයි? එයම මුලාවක් නොවේද?

හම්බන්තොට වරායෙන් පලක් ඇතැයි කියා ගලක් නැතැයි කී දයාසිරි හෙට දවසේ තමන් වැඩ භාර ගනිද්දීත් ක්‍රීඩාවක් මෙරට නොතිබුණ බැවින් දැන් එවැන්නක් ඇතිකළ යුතුයි සිතන්නේ ඇයිදැයි ඇසුවද අප පුදුම විය යුතු නැත.