Untitled-1

Untitled-1

විග්නේශ්වරන්ට සවන් දෙන්න


kathu

මේ මොහොතේ ද්‍රෝහියා විග්නේශ්වරන් ය. දකුණේ සමාජය කෙළවරක් නැති ව විග්නේශ්වරන්ට පහර දෙමින් සිටියි.
එහෙත් ඔහු කියන්නේ කුමක් ද?
ඔහු කියන්නේ, තමා කටයුතු කරන්නේ දකුණේ සිංහල ජනතාවටවත් බුද්ධාගමටවත් විරුද්ධ ව නොවන බව ය. දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් බව ය. දෙමල ජනතාවගේ අයිතීන් ගැන කතා කරන විට තමා ජාතිවාදියකු ලෙස හංවඩු ගැසෙන බව ද ඔහු කියයි.

විග්නේශ්වරන් ප්‍රමුඛ දෙමළ ජනතාවගේ ඉල්ලීම් මොනවා ද? පසුගිය සෙනසුරාදා පැවැති මහජන උද්ඝෝෂණයේ දී ඔවුන් ඉල්ලා සිටියේ මොනවා ද? එකක්, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට කියා ය. දෙවැන්න, සිංහල ජනතාව සැලසුම් සහගත ව උතුරේ පදිංචි කිරීමෙන් වළකින ලෙස ය. තුන්වැන්න, දෙමළ ජනතාවගෙන් ආරක්‍ෂක කඳවුරු හා රජයේ වෙනත් ක්‍රියාකාරකම් සඳහා පවරා ගත් ඉඩම් නැවතත් ඔවුන්ට ම ලබා දෙන ලෙස ය. සිව්වැන්න, අතුරුදන් වී ඇති දෙමළ මිනිසුන් සම්බන්ධයෙන් සොයා බලන ලෙස ය. ඊට අමතර ව තවත් කිහිපයකි.

මේ ඉල්ලීම් හුදෙක් විග්නේශ්වරන්ගේ ජාතිවාදී ඉල්ලීම් නොවන බව ඉතිහාසය ගැන මතක ඇතියවුන්ට සිහි කැඳවෙනු ඇත. මේ සාමාන්‍ය දෙමළ ජනතාව සෑහෙන කාලයක සියට ඉල්ලන දේ ම ය. එපමණක් නොව, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සටන ගැන සාධාරණ ප්‍රතිචාර දක්වන දකුණේ ප්‍රගතිශීලීන්ගේ ද ඉල්ලීම් ය.
2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුව මේ වන තෙක් අවුරුදු හතක් ගෙවී තිබේ. ඒ අවුරුදු හතෙන් අවුරුදු පහක් ම බලයේ සිටියේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවයි. ඒ අවුරුදු පහ තුළ දෙමළ මිනිසුන්ගේ මේ ඉල්ලීම් වෙනුවෙන් ඇඟට දැනෙන කිසිවක් කරන්නට රාජපක්‍ෂ ආණ්ඩුව සමත් වුණේ නැත. ඔවුන් සිතුවේ යටිතල පහසුකම් සම්පූර්ණ කළ පමණින් දෙමළ ජනතා අභිලාෂයන් ඉටුවනවා කියා ය. මේ ආණ්ඩුව පත්වී ද අවුරුදු එකහමාරකට වැඩි කාලයක් ගත වී තිබේ. ඒ කාලය තුළ දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධයෙන් යම් සාධනීය පියවර ගෙන තිබෙන නමුත්, අනෙක් හැම දෙයක් ම මෙන් ම ඒවා අතිශය මන්දගාමී ය. අකාර්යක්‍ෂම ය. ඉතින්, දෙමළ ජනතාවට ඒ ගැන කනස්සල්ලක් විරෝධයක් ඇතිවීම අසාධාරණ නොවේ. සිංහල ජනතාවට වුව ද ආණ්ඩුවේ ගමන ගැන සෑහීමක් නැති නිසා ය.

ඒ අතර ජීඑල් පීරිස් වැනි රාජපක්‍ෂ හිතවාදීන් කියන්නේ, මහින්ද රාජපක්‍ෂගේ කාලයේ උතුරේ මහජනතාව එකතු වී මෙවැනි ඉල්ලීම් නොකළ බව ය. කඩසාප්පු වසා දමා විරෝධතා නොදැක්වූ බවය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ශක්තිමත් පාලනය නිසා බව ද, දැන් රටේ ශක්තිමත් පාලනයක් නැති නිසා, වෙන ම රාජ්‍යයක් ඉල්ලීමට දෙමළ මිනිසුන් පාරට බැස ඇති බව ද ඔහුගේ මතයයි.

ඒ ගැන කිව යුත්තේ, දෙමළ මිනිසුන්ට පාරට බැස විශාල උද්ඝෝෂණ පවත්වන්නට ලැබීම ම, මරබියෙන්, අතුරුදන් කිරීමේ බියෙන් තොර ව උද්ඝෝෂණ කරන්නට අවකාශයක් ලැබීම ම වුව ද රට ලබාගත් ජයග්‍රහණයක් බවයි. ඒ ජයග්‍රහණය ලබා ගත්තේ රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමෙනි. රාජපක්‍ෂ ආණ්ඩුවට උද්ඝෝෂණ කරන, විරෝධතා දක්වන මහජනතාවක වැදගත්කම පෙනුණේ නැත. එවැනි අවස්ථාවලදී ඔවුන්ට තිබුණු එක ම පිළිතුර වුණේ මර්දනය හා මර්දනයයි. එහෙත්, දැන් පවතින ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ දකුණේ රාජපක්‍ෂවාදීන්ට මතු නොව, විශ්වවිද්‍යාල සිසුන්ටත්, උතුරේ දෙමළ ජනතාවටත් සිය ප්‍රජාතන්ත්‍රවාදී අදහස් දැක්වීමේ අවස්ථාව උදා වී තිබේ. එය වුව ද බරපතළ වෙනසකි.

වැදගත් වන්නේ දෙමළ ජනතාවගේ පණිවුඩය තේරුම් ගැනීමයි. බැලූ බැල්මට ම අසාධාරණ නොවන ඔවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ පිළිතුරු දීම ආණ්ඩුවේ වගකීමයි. මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පත් කරන්නට උතුරේ දෙමළ ජනතාව දැක්වූ දායකත්වය සුළුපටු නොවේ. ඔවුන් එවැනි දායකත්වයක් දැක්වූයේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් තම ඉල්ලීම් හා අභිලාෂයන් ගැන ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වාවි ය යන බලාපොරොත්තුවෙන් බව අමුතුවෙන් කීමට දෙයක් නැත.
ආණ්ඩුව ඒ සංඥාව තේරුම් ගත යුතු ය.