අවසන් ඇත් පන්තිය සොයා යටේතැන්නට

දඩස් දඩස් දඩ දඩාස් වළින් ගොඩ එන්නත් ඕනිය. කඳු මුදුනට ළංවෙන්නත් ඕනිය. කඳු වළල්ල මැදින් දඟර පාරක් එළලා ඒ පාරට ළඟින් ලස්සනට තේ දළු රටා මවලා. බස් එක මර හඬ දීගෙන් උඩට හදි හදිස්සියෙන් දුවනවා. මග නතර වෙනවා. පස්සට එනවා. ආයෙත් පටන් ගන්නවා. හරියට ජීවිතේ වගේ. මේ දවස්වල අලි රංචුව කොහේද ඉන්නේ? දැන් ගොඩ කලෙක ඉඳලා තුන්දෙනාගෙන් එක්කෙනෙයි ඉන්නේ මග ඇරිලාද කොහේද? කෝපි කෑල්ලේ ඉන්නවා කියලා ආරංචියි. මේ ලලිත් මිනිහ මට මගදි මුණ ගැහුණේ. ලලිත් හම්බන්තොට වැඩ කරල නිවාඩුවට ගෙදර යනවා. මමත් කාලයක් හිතේ මිට මොලවගෙන හිටිය ආසාවක් ලිහා දාන්න ලලිත්ගේ ගමටම යනවා.

බස් එක රක්වානේ ඉඳලා පොතුපිටියට යමින් ගමන්. වංගු පාරේ ගමන ටිකක් හෙමින්. රක්වාන, පොතුපිටිය, රඹුක වගේ ගම් සිංහරාජ කැලයට මායිම් වෙලා. සිංහරාජය නොයිඳුල් ලෝක උරුම වනපෙතක්. සිංහරාජ කැලයට මායිම් වෙච්ච තරමක් විතර දුෂ්කර මේ ගම්මාන සුවිශේෂයි. ගොඩාක් සාම්ප‍්‍රදායික ඇවතුම් පැවතුම් ජීවන විලාසිතාවන් එයාල තව තවත් නඩත්තු කරනවා. ඒ හින්දා සිංහරාජ කැලයට මායිම් වෙච්ච මේ ගම් සුවිශේෂයි. හැබැයි මේ ගමන යන මට මේ ගම් පොකුර සුවිශේෂ වෙන්නේ වෙනමම හේතුවක් නිසා – අපේ රටට පොහොසත් අලි-ඇත් පරපුරක් සිටිනවා. වැඩිපුර ඉන්නේ වියළි කලාපයේ අලි-ඇතුන්. තෙත් කලාපයෙත් අලි ඉන්නවා. එහෙම කිව්වම සමහරෙකුට ටිකක් අමුතුම හැඟීමක් එන්න පුළුවන්.

තෙත් කලාපයේ අලි

තෙත් කලාපයේ භූමි සීමා කලාප දෙකක අලි සමූහ දෙකක් ඉන්නවා. එක සමූහයක් ඉන්නේ සමනළ අඩවියේ-තවත් සමූහයක් ඉන්නේ මම දැන්මේ යන සිංහරාජයේ බටහිර-දකුණ සීමාවේ. හැබැයි මේ කාණ්ඩ දෙකේම ඉන්න අලි ග‍්‍රහණය ගොඩාක් සීමිතයි. එයාලගේ බෝවීමත් ගොඩාක් දුරට නැතිවෙලා-වඳවී යමිනුයි මෙයාල ඉන්නේ. හැබැයි තෙත් කලාපයට අනුවර්තනය වුණ මෙයාලා ගොඩාක් වෙනස් චර්යා රටා වියළි කලාපයේ අලින්ට වඩා පෙන්වනවා කියලා තමයි විද්වත් මතය. මේ අලි කතාබහ ඇතුළේම මගේ බස් එකත් යටේතැන්නට ඇවිල්ලා. අලි බැලිල්ලයි බලි බැලිල්ලයි දෙකම එපා වෙන්නේ නැහැ කියනවනේ. ඒ හින්දා මමත් සිංහරාජයේ අලි බලන්න රඹුක යටේතැන්නට පය තිබ්බා. ලලිත් පිටුපසින් ආවා.

යටේතැන්න

රක්වාන, පොතුපිටිය පාරේ පොතුපිටිය පැත්තට එනකොට කෝපි කෑල්ල, 5 කණුව, 3 කණුව පහුකළාම තමයි රඹුක යටේතැන්න අපිට හම්බවෙන්නේ. රඹුක කියපු ගමන් මතක් වෙන්නේ නිල් මැණික්. ලංකාවේ සුපිරිසිදුම නිල් මැණික් හම්බවෙන්නේ මේ කලාපයේදී තමයි. මැණික් සොයන එක පැත්තක දාලා යටේතැන්න කියන නම හැදුණේ කොහොමද? පැරැුන්නෝ කියන්නේ කඳු මුදුනට ගොඩවෙලා පල්ලමට බැස්සහම ඉස්සොරෝම හමුවෙන මේ තැන්න යටතැන්න යටේතැන්න වුණා කියලා. ඒකත් හරි ඇති.
යටේතැන්න දෙපැත්තම කඳු ශිඛර දෙකක්. එකක් සිංහරාජ කන්ද. අනෙක වළං කන්ද. ඇයි මේ කඳු වළල්ලට වළං කන්ද කියන්නේ. කාලයක් කහවත්ත දෙමුවාවත පැත්තෙන් වළං ගමට ගෙනහිල්ලා තියෙන්නේ මේ කන්ද මැදින් තමා. ඒ කාලේ වළං ගේන්නේ කඳ බැඳගෙන නේ. මෙහෙම කද බැඳගෙන වළං කන්ද මැදින් යටේතැන්න පැත්තට ගේනකොට මේ කැලය මැද තිබුණු ගලක් ඒකට හැමදාම බාධා කරලා තියෙනවා. මේ ගලනිසා වළඳක් බිඳෙනවමාලූ. වළං කදේ ඉස්සරහ බලාගෙන ආවහම පිටිපස්සේ කද ගලේ හැපෙනවාලූ. පිටුපස්ස බලාගෙන ආවහම ඉස්සරහ ගලේ හැපෙනවාලූ. ඒ හින්දා වළං බිඳෙන මේ කන්ද වළං කන්ද වුණා කියලා කියනවා.

යටේතැන්නේ විවාහ සිරිත

අලි බලන්න සිංහරාජයට ආපු මම තව ගොඩාක් වංහුං කද මල්ලක පැටලිලා. මේ පැරණි ගමේ විවාහ සිරිත කොහොමද? මම විපරම් කළා. මගේ කතාබහට මුලින්ම එකතු වුණේ විතානගේ විමලදාස මාමා. දැන් එයාගේ වයස අවුරුදු 70ක්. එයා පෝරු ගැහිල්ලට උපන් හපන් කියල ගමේ අය කතාවෙනවා. දෙයියන්ගේ රටේ විවාහ සිරිතේ සාම්ප‍්‍රදායික ලක්ෂණ තව තවත් මේ යටේතැන්නේ රැුකිලා තියෙනවා කියලා කියන ගමන් එයා කතාව පටන් ගත්තා.

‘‘දැන් පැරණි විවාහ සිරිත් විරිත් හැමතැනම කෙරෙන්නේ නැහැ. ඒත් මේ යටේතැන්න එහෙම නැහැ. අපි තවමත් මඟුල්-තුලා කතා කරන්නේ පැරණි සිරිතට.’’

දැන් මගේ ගෙදර ඉලන්දාරියෙක් ඉන්නවා කියමු අහල ගෙදරකින් මනමාලියක් එයා ගැන විමසලා කපුවෙක් එවනවා. අපි එතකොට කැමති නම් ඒ ගෙදරට ගිහින් ඒ දැරිවිය බලලා වටාපිටාවෙනුත් හොයලා පස්සේ දෙන්නා මුණගස්සලා එයාලගේ කැමැත්ත බලනවා. එයාලා කැමතිනම් මඟුල කෙරෙනවා. කොච්චර දෑවැද්ද දුන්නත් දෙන්න අකමැති නම් වැඬේ සිද්ධවෙන්නේ නැහැ. දැන් මඟුල කෑවා කියමුකෝ. දෙවැනි දවසේ නේ දෑවැදි එහෙම අරගෙන මනමාලිගේ නෑයෝ එන්නේ. ඒ එනකොට ගේ ඉස්සරහ රතු මල් පොකුරක් තිබුණොත් මඟුලේ ඉතුරු හරිය සතුටෙන් සමාදානයෙන් කෙරෙනවා. සුදු මල් පොකුරක් තිබුණොත් මඟුල අසතුටෙන් කෙළවර වෙනවා. ඒ කියන්නේ මනමාලි ගෙදර ඉන්න කාලේ පිරිසිදුවට ඉඳලා නෑ කියන එක. සමහර වෙලාවට ඉතින් දෙපාර්ශ්වය කතා කරලා සමාදානෙන් වැඬේ කෙළවර වෙන වෙලාවලූත් තියෙනවා. සමහර වෙලාවට මනමාලි ආපසු ගෙදර එක්කරගෙන යනවා.’’

මේ චාරිත‍්‍රය තවමත් මේ යටේතැන්නේ කෙරෙනවද? මම අහනවා. ඔව්. ඔව්. ඒවා අපි හරියටම බලනවා.

පෝරු චාරිත‍්‍රය

පෝරු චාරිත‍්‍රය ගැන කියන්න පොරුව ගැන දන්න කෙනෙක් වෙන්න ඕනි. ඒකටත් ඉතින් විමලදාස මාමම තමයි. එයා කොල්ලා කාලේ ඉඳලා පෝරු ගහන එක තමයි කළේ. අද පෝරු චාරිත‍්‍රය හරියට සහසුද්දෙන් කෙරෙන්නෑ කියලා තමයි මාමා කතාවට බැස්සේ.
‘‘මුලින්ම දෙකේ හතර ප‍්‍රමාණයේ බිමක් හදාගෙන. ඒක පිරිසිදු කරලා හඳුන් කිරිපැණි ඉහිනවා. ඊට පස්සේ ගහක් ඉරලා ගන්නවා. පෝරු ගහන්න ගන්නේ රුක්අත්තන ලීය. මුලින් ලී කෑලි මූට්ටු කරන එක කරන්නේ නැකතට. හොඳ වෙලාවක් බලලා. ඒක ගොඩාක් වටිනවා යුවළට. පෝරුව පල හතරට තමයි ගහන්නේ. දොරටු 4ක් තියෙනවා. ඒ හතරවරම් දෙවියන්ට. අපි පෝරුවේ චාරිත‍්‍රය කරන්නේ සිද්ධාර්ථ කුමාරයයි යශෝදරා කුමාරියයි විවාහ වුණු ක‍්‍රමයට තමයි. දැන් පෝරුවක් කියලා එකක් කඩෙන් ගේනවා. ඒක පල 4ත් නෑ. දොරටු 4ත් නෑ. මොකුත්ම නෑ. අනික එක පෝරුවක් ගහන්නේ එක මනමාලියටයි. ඒත් දැන් එක පෝරුවක මනමාලියෝ 100ක් 200ක් නග්ගනවා. මේවා වස් වදින වැඩ. ඒකනේ මහත්තයෝ ගොඩාක් කසාද බඳින පමාවෙන් ලිහෙන්නේ. අනික මේකත් කියන්න ඕනි අපිට පෝරු ගහන්න පුළුවන් පෝරුවට නගින්න බැරිවෙන්න. නැග්ගට පස්සේ කලන්ත දාලා වැටෙන්න වැඬේ කරන්න පුළුවන්. ඒක නිසා තමයි අපි පෝරුව ගහනකොට කාටවත් නොපෙනෙන්න පුංචි සඳුන් කෑල්ලක් ජීවන් කරලා පෝරුව ඇතුළට ගහන්නේ. මේ පෝරුව හරියට නියම වෙලාව අල්ලලා ගැහැව්වහම මනමාලි හරි මනමාලය හරි වැරැුද්දක් කරලා තියෙනවා නම් අෂ්ඨක කියන කොට කලන්තෙ දාලා වැටෙනවා. ඒත් දැන් ඒවා මොකුත්ම නැහැ.

පෝරුව ගහන්නෙත් කලාවකට. රුක්අත්තන ලීය වගේම පෝරු ගහන්න ගොක් කොළ, වේලිච්ච පොල් කොළ, තැඹිලි කොළ, කෙසෙල් කොළ, කෙසෙල් බඩ වගේ දේවල් ගන්නවා. කෙරෙන මඟුල වගේම පෝරුවත් ලස්සන වෙන්න ඕනි. එන අයගේ හිත යන්න ඕනි. ඒ නිසා හංස පූට්ටුව, මොනර පූට්ටුව ලියවැල වගේ කැටයම් රටා පෝරුව තව තවත් ලස්සන කරනවා. ඒ ලස්සනත් එක්ක පෝරුවට නගින නව යුවළ ලස්සන නම් පෝරුව සම්පූර්ණ වෙනවා කියලා තමයි කතාවට කියන්නේ.

වැඩිවිය පැමිණීම

වැඩිවිය පැමිණීමේ මඟුල නැත්නම් කොටහලූවත් තවම යටේතැන්න ගමේ සාම්ප‍්‍රදායිකයි. ගැහැනු ළමයෙක් වැඩිවිය පැමිණියම මුලින්ම කරන්නේ වෙලාව බලන එක. ඒ වෙලාව බැලිල්ලට අනුව පැල් 7ක ළමයා තවත් ගැහැනු කෙනෙක් එක්ක තනි කරනවාලූ. එක පැලක දවස් දෙකයි. මේ විදිහට පැල් 7ක තියනවද එක පැලක තියනවද කියලා තීරණය කරන්නේ නැකැත්කරු. එයා වෙලාව බැලූවහම තමයි මේක කියන්නේ. මේ කාලෙට ඒ ගැහැනු දරුවට පිරිමි පුළුටක්වත් දැකීම තහනම්. ඊළඟට නාවන්නේ කොරන්නේ වියන්, පිරුවට බැඳීම වගේ දේවල් කරන්නේ හේනේ මාමයි-හේනේ නැන්දයි- හේන නැන්දා ගැහැනු දරුවා නෑව්වට පස්සේ එයාට රෙදි කදකුයි, කෑම ජාති කදකුයි කද දෙකක් බැඳල දෙනවා. ඒක චාරිත‍්‍රයක්. ගැහැනු දරුවා නාවලා ගේ ඇතුළට එනකොට මුලින්ම පොලයක් බිඳිනවා. මේ පොලයක් මුලින්ම බින්දේ හේනේ නැන්දා කියලා තමයි මේ ගමේ පැරැුන්නෝ අපිට කියුවේ. ඒ පොලය දෙකට පැලෙන විදිහ ඒ කෑලි දෙක පොළොව මත හිටින විදිහ දිහා බලලා හේන මාමයි හේන නැන්දයි ගැහැනු දරුවාගේ අනාගතයන් ගැන කියනවලූ.

පොඩිහාමි නැන්දා

යටේතැන්නේ පොඩිහාමි නැන්දට දැන් අවුරුදු සීයක් වෙනවා. තවමත් එයා කෙල්ල වගේ ගමේ ගොඬේ ඇවිදිනවා. තමන්ගේ වැඩ තමන්ම කරගෙන දරු මුණුබුරෝ දහයක් පහළොවක් එක්ක සතුටින් ඉන්නවා.

‘‘මුලින්ම පාර කැපුවේ 56 අවුරුද්දේ බණ්ඩාරනායක මහත්තයාගේ කාලේ තමයි මහත්තයෝ. මම කෙල්ල කාලේ පන්නිලින් මෙහාට කරකාරේ ආවා. දැන් මම අවුරුදු 80ක් විතර මේ ගමේම තමයි. ඒ කාලේ හරිම අමාරුයි. ලෙඩක් දුකක් වුණාම පුටුවක තියල බැඳල තමයි රක්වානට ගෙනිච්චේ. අද ඉතින් මේ ළමයින්ට මොනවායින් අඩුවක්ද? කොස් පොල් තියෙනවා. ගොවිතැනත් බතක් කළාම කාල හිටියැකි.’’

පොඩිහාමි නැන්දා කැලේ පිපෙන හතුරු හතු කියන හතු වර්ගය ගැන මතක්කළා. ඒ කාලෙට ගමේ ඈයෝ සිංහරාජයට වදින්නේ පෝලිමේ. හතු කඩන්න. හත්ත රතුපාටයි. කිලෝ එකකට හතු තුනක් විතර අල්ලනවා කියලා තමයි කතාව. සිංහරාජයේ හැමදාම හතු කාලෙට හතු පිපෙන මණ්ඩි තියෙනවා. බටමණ්ඩිය, හොරගොල්ල හතුපොළ වගේ. ගෙදර ගෙනල්ලා සෝදලා කරලා පොල් මිරිස් බැදල උයනවා කියනවා-මස් හොද්ද පරාදයි කියලා තමයි පොඩිහාමි නැන්දා කියන්නේ.

මේ හින්දා මේ ගමේ මිනිස්සුන්ගේ ආහාර රටාවට සිංහරාජය ගොඩාක් උදව් දෙනවා. මෙයාලා හල් ගෙඩි වාරයට හල්ගෙඩි කඩාගෙන ඇවිල්ලා ඒක ගාලා කහට යන්න දියේ බැඳලා තියෙල පස්සේ හල් පිට්ටු, හල් හැලප වගේ දේවල් හදනවා. බෙරලියත් ඒ වගේම තමයි. බෙරලියත් හොර ගෙඩිය වගේ පිහාටු දෙකක් තියෙන පුංචි ගෙඩියක්. ඒකත් මෙයාල සුද්ද කරලා කොටලා පිටි කරලා පිට්ටු හදනවා. නැත්නම් වැලිතලප. මේ කෑම ගොඩාක් රසයි. ඒ වගේම ගොඩාක් රෝගවලට සුවයි. ඒ හින්දනේ පොඩිහාමි නැන්දා ශතකයක් ගහලත් හරි අපූරුවට නිරෝගීව ඉන්නේ.

කොහොමින් කොහොම හරි ආපු කාරියට වෙලාව හරි. යාන්තම් ඡුායාවක් විතර දකින්න පුළුවන් ගොම්මන. ඇයි මෙයා පාරට එන්න මෙච්චර පරක්කු වුණේ. ඒ එයාගේ හැටි. එයා අද යටේතැන්නේ හිිටියොත් හෙට කෝපි කෑල්ලේ නැත්නම් ලංකා ගම. නැත්නම් දෙල්වල කන්ද. මෙයා ගොඩාක් දුර ඇවිදිනවා. මෙයාලව නිරීක්ෂණය කරපු පරිසරයට හිතවත් අය කියන්නේ මෙයාලා දෙල්වල කන්ද, වැද්දාගල, ලංකාගම, කෝපි කෑල්ල, රඹුක, සූරියකන්ද, එනසාල් කන්ද වගේ කලාපවල නිතර සැරිසරනවා කියලා. සිංහරාජයේ අවසන් ඇත් පරපුර ගැන අරුක්ගොඩ ගමගේ පියසේන මාමා මතකය අවදි කළා.

‘‘මුලින්ම මේ අලි රංචුවේ 5 දෙනෙක් හිටියා. දැන් ඉන්නේ තුන්දෙනයි. එක්කෙනෙක් මැරුණා වයසටම. තව එක්කෙනෙක් අල්ලගෙන ගියා. දැන් ඉන්න මේ තුන්දෙනාගෙනුත් මේ ළඟකදි ඉඳලා ඉන්නේ එක්කෙනයි. එයා තමයි පණු දළයා. මෙයාව 2010 අවුරුද්දේ වෙන කැලයකට ගෙනියන්න කියලා අල්ලලා බැඳලා වාහනයටත් දැම්මා. ගමේ කට්ටිය මෙයාව ගෙනියනවට කැමති වුණේ නැහැ. පස්සේ නිදහස් කළා. හැබැයි එහෙම ගැට ගැහැව්වට පස්සේ දැන් මෙයා කරදර කරනවා. 2010ට පස්සේ දැනට මිනී 7ක් හරක් 100ක් විතර මරලා තියෙනවා. මේ අලි තුන්දෙනා විතරයි ලංකාවට සද්දන්ත කුලයේ අලින්ට ඉන්නේ. මෙතන ඉන්නේ අම්මයි, අයියයි, නංගියි. ඒ නිසා මෙයාලගෙන් බෝවීමකුත් නැහැ. මේ තුන්දෙනා මැරුණහම සිංහරාජයේ අලි පරම්පරාව ඉවරයි.’’

මිනිස්සුන්ට දැන් දැන් මෙයාලා ගොඩාක් කරදර කරනවා. ඒත් මිනිස්සු මෙයාලට තවමත් ගොඩාක් ආදරෙයි. මෙයා පාරට ආවහම මිනිස්සු මෙයාව බලන්න පෝලිම් ගැහෙනවා-ඇසට ඡුායාව විතරක්ම උරාගන්න අඳුරේ අපිත් හෙමිට පණු දළයා ළඟට ගියා.

මම පණු දළයා

මම පණුදළයා. එහෙම තමයි මිනිස්සු මාව දන්නේ. මට පුංචි දළ කෑලි දෙකක් තියෙනවා. මට මතක ඇති කාලෙක අපේ රංචුවේ 5 දෙනෙක් හිටියා. දැන් අපි තුන්දෙනයි. අම්මයි, නංගියි ළඟකදි ඉඳලා කොහෙට වහන් වෙලාද කියලා මම දන්නේ නැහැ. 2010දි මාව අල්ලලා ගැට ගහලා වාහනයකට දාගත්තා. එදා ඉස්කෝලේ යන නංගිලා මල්ලිලා පාරේ ඉඳගෙන ඉඳල තමයි මාව බේරගත්තේ. එදා මම ආයෙත් කැලයට ගියාට මම දැන් වෙනස් වෙලා. එදායින් පස්සේ මිනිස්සු දකින කොට වාහන දකින කොට මට පිස්සු වගේ. මම තනිකඩයෙක්. තනිකඩ ජීවිතයක තියෙන අමාරුව ඔයාලට අලූතින් කියන්න ඕනි නෑනේ. මට ඩිංග බැරිවෙන්න බෑ කේන්ති යනවා. හැම කෙනෙක්ම එන්නේ මාව කොටු කරන්න කියලා මට හිතෙනවා. ඔන්න මම පාර දිගේ කන්ද නැගල තේ වත්තට උඩින් පේන කන්ද පලාගෙන ආපු හඳ දිහා බලාගෙන මනමාලියක් ගැන හීන මවනවා. එතකොටම කොහෙන්දෝ පාත්වෙච්ච ත‍්‍රීවිලර් එකක් මට වෙට්ටුවක් දාලා හූ තියෙනවා. මට එතකොට යකා නගිනවා. මම අඩියට දෙකට එළවනවා. මම වෙලාවකට පාරට ඇවිල්ලා කැලේ දිහා බලාගෙන ඉන්නවා. එයාත් එක්ක කතා කරනවා. අපේ පරම්පරාව ආච්චි, සීයා, අම්මා, තාත්තා දුව පැන්න ඒ අතීතය එයා මට මතක් කරනවා. දැන් කාලය හරි මටත් යන්න. මම ඒක දන්නවා. ඒත් කොහාට යන්නද? මේ වංගු වංගු පාරවල් මගේ ඔළුව හොඳටම අවුල් කරලයි තියෙන්නේ.’’ පණු දළයාගෙන් අපි සමුගත්තා. එයා ආයෙත් කැලය දිහාට ඇස හැරෙව්වා. කැලය එයාව යටකර ගන්න බලාගෙන ඉන්නවා. එයා කවදාහරි කැලයට පරිදීවි. මට සිතෙනවා.