අර්බුදය මට පෙනෙන හැටි

දැන් අපට ඉහත විස්තර කළ සමාජ -ආර්ථික හා දේශපාලන වටාපිටාව තුළ හිංසනය රජකරන තත්ත්වයක් ඇතිවී එය දීර්ඝකාලීන පැවැත්මක් ඇති සංසිද්ධියක් බවට පත්වෙමින් එම විශේෂ වටාපිටාව ආර්ථිකය පමණක් නොව සමාජයේ පන්ති, වර්ග හා ආගම් හා කුල සම්බන්ධතා විකෘති කරමින් එය පෙරළා සමාජ මානසිකත්වය විකෘති කිරීමට හේතුවූ ආකාරයක් සලකා බැලිය හැකිය.

මීට පෙරද සැකෙවින් විග‍්‍රහ කර ඇති පරිදි නිදහසේ සිටම ගිය ගමන තුළ කිසියම් ආකාරයක විකෘතියක් තිබුණි. එම විකෘතිය ආණ්ඩු ක‍්‍රමයට සේ ම සමාජ ක‍්‍රමයටද බලපෑවේය. 1977දී නව ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමෙන් පසු එම විකෘති ගමන උච්චතම තත්ත්වයකට පත්වීමක් සිදුවීයැ’යි කිව හැකිය. 1977න් ආරම්භ වන එම ඓතිහාසික පරිච්ෙඡ්දය අවසන් වන්නේ ජේවීපී ප‍්‍රචණ්ඩත්වය පරාජය කිරීමෙන් පසු ඉතිරි වී තිබූ එකම ප‍්‍රචණ්ඩ ව්‍යාපාරය ලෙස සැලකිය හැකි ප‍්‍රභාකරන්ගේ කොටි සංවිධානය 2009 වසරේදී අවසන් වශයෙන් පරාජය කිරීමත් සමගය. එහෙත් ඒ සමග ගමනේ තිබූ විකෘතිය නිවැරදි කරගන්නවා වෙනුවට සිදුවන්නේ වඩා විකෘති වඩා විනාශකාරී ගමනකට මුලපිරීමය.

මෙම වෙනස් ඓතිහාසික කාලපරිච්ෙඡ්ද දෙකට ආවේණික මූලික ගතික ලක්ෂණ තේරුම් ගැනීම වැදගත්ය. දැන් අපට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අර්බුදයේ නියම ස්වභාවය තේරුම්ගත හැකිවනු ඇත්තේ එවිටය.

වෙනස් නොවන ආණ්ඩුව

පළමු ඓතිහාසික කාලපරිච්ෙඡ්දය අතුරු කාල පරිච්ෙඡ්ද දෙකකින් සමන්විතය. ඉන් පළමු කාලපරිච්ෙඡ්දයට අයත්වන්නේ 1977 සිට 1985 දක්වා වන කාලයයි. ඒ කාලයේ හිංසනය මුදාහරින එකම ප‍්‍රභවය බවට පත්ව තිබුණේ ආණ්ඩුවය. 1977 නව ආණ්ඩුක‍්‍රමය නිර්මාණය කළ නිර්මාතෘවරයා ඒ මගින් අපේක්ෂා කළේ විරුද්ධ පක්ෂවලට වෙනස් කළ නොහැකි එක දිගට දීර්ඝ කාලයක් බලයේ සිටින පාලක පක්ෂයක් සහිත ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීමය. ඔහු එහිදී ආදර්ශයට ගත් බව පෙනෙන්නේ සිංගප්පූරුව හා මැලේසියාවය. පාලක පක්ෂයට පොදු වස්තුව කොල්ලකන්නට ඉඩ දෙන ක‍්‍රමයක් ඇති කරන්නට ඇත්තේ පාලක පක්ෂය රට පාලනය කරනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන කොල්ල කල්ලියක් බවට පත්වූ විට එම අයිතිය හිමිකරගත් කොල්ල කල්ලිය තමන්ට ලැබී තිබෙන එම වරප‍්‍රසාදිත තත්ත්වය ආරක්ෂා කරගැනීම සඳහා ප‍්‍රතිකල්ලියකට බලයට පත්වීමට ඉඩ නොදීම පිණිස ජීවිත පරදුවට තබා ක‍්‍රියාකරන තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බැවින් එයින් ආණ්ඩු පක්ෂයට ලැබෙන ජීවයෙන් තමන් අපේක්ෂා කළ වෙනස් නොවන ආණ්ඩු සිහිනය සැබෑ කරගැනීමට එයද වැදගත් සාධකයක් ලෙස ක‍්‍රියාකරනු ඇතැ’යි විශ්වාස කළ නිසා විය යුතුය. ජේ.ආර්. ජයවර්ධනගේ පරමාදර්ශී වීරයා වූයේ නැපෝලියන්ය. කුලී හමුදාවන් යොදාගැනීම මගින් ඔහු ලැබූ විස්මයජනක යුද ජයග‍්‍රහණයන් කෙරෙහි යුද්ධය පිළිබඳව ඔහුට තිබුණු ශිල්පීය දැනුමට අතිරේකව තමන්ගේ සෙබළුන් අල්ලා ගන්නා රාජ්‍යයන්හි තිබෙන ධනය කොල්ලකෑමට ඔවුන්ට ලබාදී තිබූ අයිතිය නිර්භීත ලෙස සටන් කිරීමට ඔවුන්ට ජීවය ලබාදෙන වැදගත්ම සාධකය ලෙස ක‍්‍රියා කළේය. ජේ.ආර්. ජයවර්ධන සිය වීරයා යුද්ධය සඳහා යොදාගත් එම සාධකය රාජ්‍ය පාලනය සඳහා යොදාගත්තේයැ’යි කිව හැකිය.

ජේ.ආර්. ජයවර්ධන විටින් විට අවුරුදු පහකට වරක් ආණ්ඩු වෙනස්වීම දැක්කේ රටේ ප‍්‍රගතියට තිබෙන ලොකුම බාධාව ලෙසය. එක දිගට ඉතාමත් දීර්ඝ කාලයක් බලයේ සිටින ආණ්ඩුවකට ලොකු ප‍්‍රගතියක් ඇති කළහැකියැ’යි ඔහු විශ්වාස කළේය. වෙනස් නොකළ හැකි ආණ්ඩුවක් පිස්සු නටන තත්ත්වයකට පත්වුවහොත් ඒ රටට ඇතිවිය හැකි විනාශය ඔහු සැලකිල්ලට නොගත්තේය.
වෙනස් නොවන ආණ්ඩුවක් සඳහා විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය බෝඞ් ලෑලිවලට පමණක් සීමාවුණු තත්ත්වයක තබාගැනීම අවශ්‍ය බවත්, ඒ සඳහා විරුද්ධ පක්ෂ ක‍්‍රියාකාරීන් බියගන්වා ඔවුන් බියෙන් සසල වූ මානසිකත්වයක තබාගැනීම අත්‍යවශ්‍යවේයැ’යි ජනාධිපතිවරයා විශ්වාස කළ බවක්ද පෙනෙන්නට තිබේ.

තමන් ලබන මැතිවරණ ජයග‍්‍රහණයකින් පසුව පොලිසියට සතියක් නිවාඩු දෙන බව ඔහු මැතිවරණ රැුස්වීම්වලදී ප‍්‍රකාශ කර තිබුණි. ඒ මගින් අදහස් කළේ සමගි පෙරමුණු ආණ්ඩු කාලයේ පළිගැනීම්වලට භාජනය වූ පාක්ෂිකයන්ට පෙරළා පළිගැනීමට අවස්ථාවක් ලබාදෙන බව දැනුම්දීමය. ඒ අනුව මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශ වූ වහාම වාගේ ජයග‍්‍රාහී පාක්ෂිකයෝ විරුද්ධවාදීන්ට පහරදීමට එය අවස්ථාවක් කරගත්තෝය. මැතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශ වූ දිනයේදීම සිදුවූ දේශපාලන පසුබිමක් ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 07කි. එදින ගිනි තබන ලද ගෙවල් සංඛ්‍යාව 37ක් වූ අතර පහරදීම් හා මංකොල්ලකෑම් 415ක් වාර්තා විය. මැතිවරණ ප‍්‍රතිඵල පිටවූ සතියේ පමණක් සිදුවූ ගිනි තැබීම් හා පහරදීම් සංඛ්‍යාව 1400කි.

පරිමාවේ තරම වෙනස් වුවද මීට පෙරද ආණ්ඩු වෙනසක් ඇති කිරීමට හේතුවූ මැතිවරණවලින් පසුව මෙවැනි අශෝභන සිද්ධීන් සිදුවිය. එහෙත් ශ්‍රේෂ්ඨ නායකයන් ලෙස සැලකිය හැක්කේ එවැනි අශෝභන දේවල්වල අඛණ්ඩතාව ඉදිරියට ගෙනයන්නන් නොව ඒ අශෝභන ගමන් මග වෙනස් කරන්නන්ය. වඳුරන්ට දැලි පිහි දුන් විට ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය පාලනය කිරීම අපහසුය. ජේ.ආර්. ජයවර්ධනට අවශ්‍ය වී තිබුණේ ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ට එල්ල කරන පහරදීම්වලට පමණක් ඒ පහරදීම් සීමාකරන්නට වුවත් නීතිය අතට ගත් ආණ්ඩු පාක්ෂික මැරවරයන් ශ‍්‍රීලනි පාක්ෂිකයන්ට පහර දෙනවාට අතිරේකව දෙමළ ජනතාවට පහරදීමට හා ඔවුන්ගේ වස්තුව කොල්ලකෑමටද එය අවස්ථාවක් කරගත්තේය. වැඩියෙන්ම පහරදීමට ලක්වූයේ ඉන්දීය සම්භවයක් තිබූ වතුකරයේ දෙමළ ජනතාවය. ඒ තත්ත්වය පාලනය කිරීම සඳහා ආණ්ඩුවට 1977 අගෝස්තු 17 වැනිදා සිට 24 දක්වා සමහර ප‍්‍රදේශ සඳහා ඇඳිරි නීතිය පනවන්න සිදුවිය. එම සතිය තුළ සිදුවූ මංකොල්ලකෑම් සංඛ්‍යාව 20776කි. වාර්තාගතවී තිබෙන ගෙවල් ගිනි තැබීමේ සංඛ්‍යාව 8088කි. තුවාල සිදුකිරීමේ සංඛ්‍යාව 40,000කි. සිදුවී තිබුණු ස්ත‍්‍රී දූෂණ සංඛ්‍යාව 284ක් වන අතර මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 100කි.

මැර බලය ආයතනගත කිරීම

ඉන්පසු එළැඹෙන කාලයේදී විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය සංගම්වල බලය ලබාගැනීමට පාලක පක්ෂය දරන ලද උත්සාහය අසාර්ථකවීමෙන් පසු ආණ්ඩු විරෝධී ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කළ හැම විශ්වවිද්‍යාලයකම පාහේ ශිෂ්‍ය ක‍්‍රියාකාරීන්ට මැරවරයන් යොදා පහර දෙන ලදි. කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන්ට එල්ල වූ එවැනි මැර ප‍්‍රහාරයකදී ශිෂ්‍යයන්ගෙන් එල්ල වූ ප‍්‍රතිප‍්‍රහාරයකදී එක් මැර නායකයකු මරණයට පත්වූ අතර මියගිය එම පුද්ගලයාගේ අවමංගල්‍ය උත්සවයට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනද සහභාගි විය.

1980 මේ ආරම්භය වනවිට ශිෂ්‍ය ක‍්‍රියාකාරීත්වය ඉක්මවා ගිය වෘත්තීය සමිති ක‍්‍රියාකාරීත්වයක් පෙන්නුම් කෙරුණු අතර ආණ්ඩුව එම වෘත්තීය සමිති මැඬලන්නට උත්සාහ කළේද මැර බලය යොදා ගනිමිනි. 1980 ජූනි 5 වැනි දින රුපියල් 300ක පඩි වැඩිවීමක් ඉල්ලා දහවල් කෑම පැයේදී ක‍්‍රියාත්මක වූ පිකටින් ව්‍යාපාරයකට එරෙහිව ස්ථාන ගණනාවකදීම මැර ප‍්‍රහාර එල්ල වූ අතර රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව ඉදිරිපිට සිදුවූ පිකටින් ව්‍යාපාරයකට එරෙහිව එල්ල වූ මැර ප‍්‍රහාරයක් නිසා පිකටින් කරමින් සිටි කම්කරුවන් ගණනාවක් තුවාල ලැබූ අතර එම මැර ප‍්‍රහාරයට ලක්වූ එක් පුද්ගලයෙක් (සෝමපාල) ජීවිතක්ෂයට පත්විය. 1980 ජූලි වර්ජනයට සහභාගි වූ සියලූ සේවකයන් රැුකියාවලින් දොට්ට දැමීම සිදුවූ වෘත්තීය සමිති මර්දනයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැකිය. ආණ්ඩුවේ නිල සංඛ්‍යා අනුව ඒ නිසා රැුකියා අහිමිවූවන්ගේ සංඛ්‍යාව 40,000කි. වෘත්තීය සමිති මතය අනුව ඒ සංඛ්‍යාව එමෙන් දෙගුණයක් විය හැකිය. ඒ නිසා ඇතිවූ පුරප්පාඩු පුරවන ලද්දේ ආණ්ඩු පාක්ෂිකයන්ගෙනි.

ඉතාමත් පුංචි පිරිසකට සීමාවූ උතුරේ සන්නද්ධ කල්ලිවල ක‍්‍රියාකාරීත්වයද ආණ්ඩුව හිසරදයක් වී තිබූ අතර නිසි ඉදිරි දැක්මකින් තොරව යුද හමුදාව යොදා ඒවා මර්දනය කිරීමට දරන උත්සාහයන් තුළ එම සන්නද්ධ කල්ලිවල ක‍්‍රියාකාරීත්වයද වර්ධනයවෙමින් තිබුණි. ඉන්පසු 1983දී ඇතිවන කළු ජූලිය එතෙක් ප‍්‍රතිප‍්‍රහාරයන්ට ලක් නොවී ආණ්ඩු විරෝධී ව්‍යාපාර මර්දනය කිරීමට ආණ්ඩුවට ලැබී තිබුණු ඒකාධිකාරී අයිතිය අහිමි කිරීමට හේතුවන ලෙස උතුරේත් දකුණේත් ආයුධ සන්නද්ධ ව්‍යාපාර ඇතිවී ඒවා පෙරළා ආණ්ඩුවට පහරදෙන වටාපිටාවක් ඇති කළේයැ’යි කිව හැකිය. මේ වෙනස ඇතිවීම ආරම්භවන්නේ 83 කළු ජූලිය විසින් ඇති කරන ලද මහා විනාශයත් සමගය.
කළු ජූලියේදී කොළඹ නගරයේත් ඉන් පිටත සිංහල ප‍්‍රදේශවලත් ජීවත් වූ දෙමළ ජනතාවට එල්ල වූ ප‍්‍රහාරය ඉතා දැවැන්ත වූවා සේ ම ඉතා කුරිරු වීයැ’යි කිව හැකිය. ආණ්ඩුවේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඒ නිසා සිදුවූ මරණ සංඛ්‍යාව 471කි. සිදුවී තිබූ දේපළ ගිනි තැබීම් සංඛ්‍යාව 8077කි. කොල්ලකෑම් සංඛ්‍යාව 3835කි. සිදුවූ තුවාල කිරීම් සංඛ්‍යාව 3769කි. කොළඹ නගරයේ පමණක් තාවකාලික අනාථ කඳවුරු 12කට එකතු වී සිටි දෙමළ අනාථයන්ගේ සංඛ්‍යාව 64,000කි.

කළු ජූලිය දෙමළ ජනතාව අතර ඇති කරන ලද කම්පනය දැවැන්තය. රට අතහැර විදේශ ගතවීමට හැකියාවක් තිබූ සියලූදෙනා රට අතහැර ගියේයැ’යි කිව හැකිය. අනාථයන් ලෙස ඉන්දියාවට පලාගිය අයගේ සංඛ්‍යාව 150,000ක් පමණ වනවිට යුරෝපීය රටවලට පලාගිය අයගේ සංඛ්‍යාව ඊටත් වඩා වැඩිවිය. ඒ මගින් දෙමළ ප‍්‍රශ්නය ජාත්‍යන්තරයට ලක්වූ ප‍්‍රශ්නයක් බවට පත්වූයේය. ඒ නිසා ලංකාවේ කටයුතුවලට ඇඟිලි ගැසීමේ බලයක් ඉන්දියාවට ලැබුණි. සිදුවූ එම නින්දාසහගත සිද්ධීන්ගේ කම්පනයට හා කෝපයට පත් දෙමළ තරුණ තරුණියන් ආයුධ සන්නද්ධ අරගලයක් මගින් දෙමළ ඊලමක් ඇතිකර ගැනීමේ අරමුණ වෙනුවෙන් පෙනී සිටි දේශපාලන කල්ලිවලට තොග ගණනින් එකතු වූ අතර ඉන්දියාව එවැනි සන්නද්ධ කල්ලිවලට තම භූමිය පාවිච්චි කරන්නට ඉඩදෙමින් ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා ආයුධද ලබා දුන්නේය.

ආණ්ඩුව 83 ජූලි කලබල හේතුවක් කරගනිමින් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කළේය. 6 වැනි සංශෝධනය මගින් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු නියෝජනයද අහිමි කළේය. ප‍්‍රධාන ධාරාවේ විරුද්ධ පක්ෂවල ක‍්‍රියාකාරීත්වය බෙලහීන කිරීම මගින් ආණ්ඩුවට එරෙහිව උතුරේත් දකුණේත් සිදුවන ප‍්‍රචණ්ඩ කැරලි දෙකකට දොරටු විවෘත කළේයැ’යි කිව හැකිය.
පක්ෂ තහනම හේතුවක් කරගනිමින් සැඟවුණු විජේවීර එතැන් සිට සිය අනුගාමිකයන් ආයුධ සන්නද්ධ කැරැුල්ලකට සූදානම් කළේය.

ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවීම

ඉන්පසු එළැඹෙන යුගය (1985න් ආරම්භ වී 2009න් අවසන් වන) ප‍්‍රචණ්ඩ අරගලවලින් ගහණ මිනිසුන් දස දහස් ගණන් ඝාතනයට ලක්වූ කෙළවරක් නැති තරමට ලේ හැලූණු බිහිසුණු හා අන්ධකාර යුගයක් වීයැ’යි කිව හැකිය.

මුලදී උතුරේ දෙමළ ඊලමක් වෙනුවෙන් පෙනී සිටින සන්නද්ධ කල්ලි දුසිමකට වැඩි ගණනක් තිබුණද ඒ සියලූදෙනා අබිබවා ප‍්‍රතිකල්ලිවල නායකයන් හා අනුගාමිකයන් විශාල පිරිසක් මරා දමමින් දෙමළ ඊලමක් වෙනුවෙන් සටන්කිරීමේ තනි අයිතිය තමන් හා තමන්ගේ කණ්ඩායම වෙත හිමිකර ගැනීමට ප‍්‍රභාකරන් සමත් විය. ඊට අතිරේකව එම තත්ත්වය දිනාගැනීම සඳහා ප‍්‍රභාකරන්ට සාම්ප‍්‍රදායික දෙමළ නායකයන් විශාල සංඛ්‍යාවක්ද මරා දැමීමට සිදුවී තිබුණි. 1985 වසරේ අවසානය වන විට යාපනේ අර්ධද්වීපයේ සිටි ආරක්ෂක හමුදාවල ක‍්‍රියාකාරීත්වය බැරක්කවලට සීමා කොට එම අර්ධද්වීපයේ පාලනය තමන් වෙත නතුකර ගැනීමට ප‍්‍රභාකරන් හා ඔහුගේ කල්ලිය සමත් වී තිබුණි. ප‍්‍රභාකරන්ගේ ආධිපත්‍යයෙන් යාපනේ අර්ධද්වීපය මුදාගැනීම සඳහා 1987 මැයිවලදී දියත් කරන ලද හමුදා මෙහෙයුමක් ඉන්දියාවේ මැදිහත්වීම නිසා අතරමගදී අත්හරින්නට සිදුවූ අතර අවසානයේ ඉන්දියාව සමග ගිවිසුමක් ඇතිකර ගැනීමට ලංකාවට සිදුවිය.
ඉන්දියානු මැදිහත්වීම දකුණේ සිංහල ජනයාගේ බලවත් විරෝධයට හේතුවී තිබුණු අතර ඇතිව තිබූ එම උද්වේගකර වටාපිටාව ප‍්‍රයෝජනයට ගනිමින් විජේවීරගේ ජනතා විමුක්ති පෙරමුණ ආක‍්‍රමණික ඉන්දියානු හමුදාවට එරෙහිව කෙරෙන දේශපේ‍්‍රමී යුද්ධයක වේශයෙන් සිය සන්නද්ධ කැරැුල්ල කරළියට ගත්තේය. ඒ වනවිට ලංකාවේ ඉන්දියානු සාම හමුදාවක් නොවී නම් එකවිට උතුරේත් දකුණේත් ඇතිවන ප‍්‍රචණ්ඩ කැරලි දෙකකට මුහුණ දෙන්නට සිදුවන තත්ත්වයක් ඉදිරියේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය මුළුමනින් බිඳ වැටෙන තත්ත්වයක් පවා ඇතිවන්නට ඉඩ තිබුණි. ඉන්දු-ලංකා ගිවිසුම හේතු කොටගෙන උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ආරක්ෂාව බලාගැනීමේ වගකීම ඉන්දියානු හමුදාවට භාරදී ජේවීවී කැරැුල්ල මැඬපැවැත්වීම සඳහා ආරක්ෂක හමුදාවන්ගේ පූර්ණ ශක්තිය යොදාගැනීමේ හැකියාව ආණ්ඩුවට ලැබුණේය. ආණ්ඩුව ඊට අතිරේකව දේශපාලකයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන්ට පුද්ගලික අතුරු හමුදා පවත්වාගෙන යන්ට ඉඩදෙමින් එම අතුරු හමුදාවන්ට අවශ්‍ය ආයුධ හා පුහුණුව ලබාදීම මගින් කැරැුල්ල මැඬපැවැත්වීම සඳහා රටේ නමගිය අපරාධකරුවන්ගේ ශක්තියද උපරිම මට්ටමකින් යොදා ගත්තේය.

මීට පෙරද සැකෙවින් විස්තර කරන ලද ආකාරයට විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භ කළ කාලයේ සිටම මැරවරයන් හා අපරාධකරුවන් රාජ්‍යයට ආයතන ගතකිරීමත් සිදුවී තිබුණු අතර ජේවීපී කැරැුල්ල මර්දනය කිරීම සඳහා ඔවුන්ගේ ශක්තිය උපරිම ලෙස යොදාගන්නා ක‍්‍රියාමාර්ගයක් තුළ මැරවරයන් හා අපරාධකරුවන් ආයතනගත කෙරෙන ක‍්‍රියාවලියේ වේගවත් ප‍්‍රසාරණයක් ඇතිවෙමින් තිබුණේයැ’යි කිව හැකිය. දේශපාලනඥයන් අපරාධකරුවන්ගේ ආරක්ෂාව මත යැපෙන තත්ත්වයක් ඇතිවීම තුළ අපරාධකරුවන්ට දේශපාලන රැුකවරණය ඇතිව හා නීතියට බයක් නැතිව සිය අපරාධ කටයුතුවල නිරතවීමේ හැකියාව ලැබුණි. ඒ සමග මේ ගණයට වැටෙන අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වීම බිඳ වැටී රටේ අපරාධකරුවන්ගේ සංඛ්‍යාවේ සේ ම ඔවුන් කරන අපරාධවල සංඛ්‍යාවේද වේගවත් වර්ධනයක් ඇති කිරීමට හේතුවෙමින් තිබුණි. ඒ සමග අපරාධකරුවන් රටේ ධනවත් හා බලවත් සමාජ කණ්ඩායමක් බවට වර්ධනයවෙමින් ජාතික ආර්ථිකයේ කළු අංශයද වේගවත් ලෙස වර්ධනයවෙමින් ඒ සමග අපරාධකරණය හා සමාජ පාදඩකරණයද වේගවත් ලෙස වර්ධනයවෙමින් තිබුණේයැ’යි කිව හැකිය.

ජේවීපී කැරැුල්ල මැඬලීම පිණිස රජය කැරැුල්ල මුදාහැර තිබුණු කෲරත්වය ඉක්මවා යන ප‍්‍රතිකෲරත්වයක් මුදාහැර තිබුණද වසර දෙකකට වැඩි කාලයක් එම කැරැුල්ල අල්ලාගෙන සිටීමට කැරලිකරුවෝ් සමත් වූහ. ඒ නිසා දකුණේ සිංහල ජනතාවද ද්වන්ද්ව බලය නමැති ගිරයට හසුවූ පුවක්ගෙඩියක් බවට පත්වුණේය. ඒ බිහිසුණු කාලවකවානුව තුළ එකිනෙකාට එරෙහිව සටන් කළ ප‍්‍රතිපක්ෂ දෙක මුදාහරින ලද කෲරත්වයේ ආතතියෙන් ජීවත්වීමට වාසනාව හිමිකරගත් දකුණේ සිංහල ජනතාවගේ අධ්‍යාත්මයේ සංවේදී අංශද මරණයට පත්වෙමින් හෝ විකෘතිභාවයට පත්වෙමින් තිබුණේය.

ජේවීපී කැරැල්ල මර්දනය කිරීම

ජනාධිපති ජයවර්ධන මරා දැමීම මුලසිටම කැරලිකරුවන්ගේ වැදගත් අරමුණක් වී තිබුණද එම අරමුණ ජයගැනීමට ඔවුන් සමත් වූයේ නැතත් ජනාධිපති ජයවර්ධනගේ හොඳම හිතවතුන් හා ආධාරකරුවන් විශාල සංඛ්‍යාවක් ඔහුට පෙනෙන ලෙස මරා දමමින් ඔහු නොමරා මරන තත්ත්වයකට පත්කිරීමට කැරලිකරුවෝ සමත් වූහ. ඔහුට විශ‍්‍රාම යන්නට සිදුවූයේ කැරැුල්ල උච්චතම තත්ත්වයකට ගමන් ගනිමින් තිබූ අවස්ථාවකදීය. තුන්වැනි ධුර කාලයක් පිළිබඳවද ඔහුට සිහිනයක් තිබුණද රටේ පැවති බිහිසුණු වටාපිටාව විසින් එම සිහිනය අත්හැරීමට ඔහුට බල කළේය. අවසානයේ ඔහු පරාජිතයකු ලෙස විශ‍්‍රාම ගියේ සාමකාමී යහපත් දියුණු රටක් උරුම කරදී නොව විනාශයෙන් විනාශයට යන රටක් උරුම කරදෙමිනි.

රටේ තිබුණු එම බිහිසුණු වටාපිටාව දක්ෂ ලෙස ප‍්‍රයෝජනයට ගනිමින් 1988 ජනාධිපතිවරණය ජයගැනීමට රණසිංහ පේ‍්‍රමදාස සමත් විය. ඔහුගේ ජයග‍්‍රහණය තහවුරු කිරීම සඳහා ඉන්දියාව හා ඉන්දියානු සාමසාධක හමුදාව පමණක් නොව උතුරු පළාත් සභාවේ බලය හිමිකරගෙන සිටි වර්ධරාජා පෙරුමාල්ද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. තමා බලයට පත්වුවහොත් ඉන්දු-ලංකා ගිවිසුම අවලංගු කරන බවට මැතිවරණයේදී සිරිමා බණ්ඩාරනායක ප‍්‍රකාශ කර තිබුණු තත්ත්වය ඉදිරියේ ඉන්දියානු විරෝධී ස්ථාවරයක සිටියද එවැනි ප‍්‍රකාශයක් නොකළ රණසිංහ පේ‍්‍රමදාසට ආධාර කරනවා විනා සිය පැරණි මිතුරියට උදව් කිරීමේ හැකියාවක් ඉන්දියාවට නොතිබුණේය.
පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජයගැනීම සඳහා ඉන්දියානු සාධකය දක්ෂ ලෙස හා සටකපට ලෙස ප‍්‍රයෝජනයට ගත්තද ජයග‍්‍රහණය හිමිකර ගැනීමෙන් පසු ජේවීපීය අත තිබූ ඉන්දියානු විරෝධී ධජය තමන්ට හිමිකර ගනිමින් ජේවීපී කැරැුල්ල පරාජය කිරීම සඳහා ඉන්දියානු සාම සාධක හමුදා ඉවත් කරගන්නා ලෙස ඉන්දියාවට බල කරන තැනකට යෑමෙන් නොනැවතී ඉන්දියානු හමුදාවන්ගෙන් එල්ල වූ ප‍්‍රහාර නිසා බෙලහීන තත්ත්වයට පත්ව සිටි එල්ටීටීඊයට රැුකවරණය පමණක් නොව ඔවුන්ට මුදල් හා අවි ආයුධද ලබාදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඔහු අවසානයේ ජේවීපී කැරැුල්ල පරාජය කළේ එල්ටීටීඊ කැරැුල්ල වඩා විශාල හා විනාශකාරී කැරැුල්ලක් බවට පත්කරමිනි.

ජේවීපී කැරැුල්ල පරාජය කිරීම නිසා දකුණේ සිංහල ජනතාවට හුස්ම ගැනීමේ නිදහසක් ලැබුණද එල්ටීටීඊ කැරැුල්ල උතුරට පමණක් සීමා නොවූ දකුණටද බලපාන දැවැන්ත කැරැුල්ලක් බවට වර්ධනය වෙමින් පැවති තත්ත්වය තුළ උතුරේ දෙමළ ජනතාවට පමණක් නොව දකුණේ සිංහල ජනතාවටද ජීවත්වන්නට සිදුවී තිබුණේ මරණ බියෙනි.

අවුරුදු 17කට පසු 1994දී ශ‍්‍රීලනිප පොදු පෙරමුණ ලෙස බලයට පත්වන අවස්ථාව වනවිට නොවෙනස්වන ආණ්ඩු පාලනයක් සඳහා දූෂිත ආණ්ඩුක‍්‍රමයක් නිර්මාණය කළ එජාපය නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි තරමට ඓතිහාසික වශයෙන් බෙලහීන තත්ත්වයකට පත් දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව තිබුණේය. එම පක්ෂයේ හොඳම නායකයන් වැඩි පිරිසකගේ ජීවිත එම පක්ෂය විසින් ඇති කරන ලද දුෂ්ඨ ක‍්‍රමය විසින්ම බිලිගෙන තිබුණි.

පොදු පෙරමුණු යුගය

පොදු පෙරමුණේ නායිකාව බලයට පත්ව තිබුණේ තිබුණු දූෂිත දේශපාලන ක‍්‍රමය අහෝසි කොට ඊට පෙර පැවති පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයට නැවත යන බවට දිවුරා පොරොන්දුවෙමිනි. එහෙත් ඇය ඇතුළු නව පාලක පක්ෂය ජනාධිපති ක‍්‍රමයේ රස උපරිම ලෙස උරාබොන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා මිස තිබුණු දූෂිත ක‍්‍රමය වෙනස් කිරීමට උනන්දුවක් දැක්වූයේ නැත. එල්ටීටීඊයෙන් එල්ල වන බිහිසුණු ප‍්‍රහාර නිසා මරණ බිය රටේ රජකරන තත්ත්වයක් තිබියදීත් රටේ පොදු වස්තුව කොල්ලකන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. මැතිවරණවලදී මහජන මතයද කොල්ලකෑවේය. අපරාධකරණය හා පාදඩකරණයද මහා ප‍්‍රවාහයක් ලෙස වර්ධනය වෙමින් තවදුරටත් ජාතික ආර්ථිකයේ කළු කොටසද වේගයෙන් වර්ධනය වෙමින් තිබුණේය. ආයතන ක‍්‍රමයේ ගරාහැලීමද වේගවත් ලෙස වර්ධනය වෙමින් තිබුණේය. කොටින්ම බලයට පත්ව සිටි ශ‍්‍රීලනිප ක‍්‍රමය නිර්මාණය කළ එජාපයටත් වඩා හොඳින් තිබුණු දූෂිත ක‍්‍රමය ආරක්ෂා කරගනිමින් එය ඉදිරියට ගෙනයන්නන් බවට පත්ව සිටියේය. එජාප පාලන බලයේ සිටි කාලයේදී ශ‍්‍රීලනිප ඇද වැටී තිබුණු අසරණ හා කාලකණ්ණිභාවයට සමාන තත්ත්වයකට එජාප ඇද වැටී තිබුණේය. ආණ්ඩුවේ ඉදිරි ගමනට අභියෝගයක් තිබුණේ විරුද්ධ පක්ෂ නොව ප‍්‍රභාකරන්ය. විටින් විට ප‍්‍රභාකරන්ගෙන් එල්ල වන බිහිසුණු ප‍්‍රහාරවලින් මුළු රටම ත‍්‍රස්ත කිරීමට හේතුවී තිබුණි.

ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තර ආරාවුල් උග‍්‍රවී ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් කිසියම් පිරිසක් විරුද්ධ පක්ෂයට එකතුවීම නිසා ඇතිවූ අර්බුදයක් කෙළවර වූයේ නැවත එජාපයට පාර්ලිමේන්තු ජයග‍්‍රහණයක් ලැබීමෙනි. ජනාධිපති බලය එක පක්ෂයක් අත තිබියදී වෙනත් පක්ෂයකට පාර්ලිමේන්තු බලය ලැබුණු පළමු අවස්ථාව එය විය. ඒ ලැබුණු බලය ප‍්‍රශස්ත ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට එම පක්ෂය සමත් වූයේ නැත. ප‍්‍රභාකරන් සමග ඇති කරගත් අවබෝධතා ගිවිසුම 2005 ජනාධිපතිවරණය තෙක් අල්ලාගෙන සිටීම සඳහා ක‍්‍රියාවට නගන ලද වැඩපිළිවෙළක් ලෙස සැලකිය හැකි වුවද ඒ මගින් ප‍්‍රභාකරන්ට සිය යුද වැඩපිළිවෙළ කිසියම් කාලසීමාවකට නතර කරන්නට සිදුවීම නිසා එය ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරය බෙලහීන කරන සාධකයක් ලෙස ක‍්‍රියා කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ

චන්ද්‍රිකාගේ දෙවැනි ධුර කාලය අවසන්වීමෙන් පසු පැවති ජනාධිපතිවරණයෙන් ළඟ ළඟ තරගයකින් ජයගැනීමට මහින්ද රාජපක්ෂ සමත් විය. ප‍්‍රභාකරන්ගේ ඡුන්ද තහනම එම ජයග‍්‍රහණය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑවේය. ඒ මගින් ප‍්‍රභාකරන් තමන්ගේ මිනීවළ හාරන්නා බලයට පත් කරගත්තේය.

ප‍්‍රභාකරන්ගේ චණ්ඩිකමට බිය නොවන චණ්ඩි නායකයකු සිංහල ජනතාවටද ලැබුණේය. අවසානයේ එතෙක් අපරාජිත තත්ත්වයක් හිමිකරගෙන සිටි ප‍්‍රභාකරන් ඇතුළු ඔහුගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරය මුලින් උපුටා දමමින් නිදහසින් පසු ලංකාව බිහිකළ ලොකුම දේශපාලන වීරයා බවට පත්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වූයේය.
ප‍්‍රභාකරන් පරාජය කරන ලද වීරයාට ප‍්‍රභාකරන් පරාජය කිරීමට අවශ්‍ය ආත්ම ශක්තිය සමග බාහු බලය තිබුණද ඉන්පසු සාමය දිනාගැනීමට අවශ්‍ය කරන ප‍්‍රඥාව නොතිබුණේය. ප‍්‍රභාකරන් හා ඔහුගේ ව්‍යාපාරය පරාජය කිරීමත් සමග එක් ඓතිහාසික යුගයක් අවසන්වී නව ඓතිහාසික යුගයක් ආරම්භ කළ යුතුව තිබෙන බව තේරුම් ගැනීමට ඔහු අසමත් විය. ප‍්‍රභාකරන් පරාජය කරන අවස්ථාව වනවිට ඓතිහාසික අර්ථයෙන් සමස්ත සමාජ ක‍්‍රමය සේ ම සමස්ත දේශපාලන ආයතන ක‍්‍රමයද පූර්ණ ප‍්‍රතිසන්ධානයකට හා ප‍්‍රතිසංවිධානයකට ලක් නොකොට ඉදිරියට යා නොහැකි තරමට ඒ සියල්ල ගරා හැලූණු තත්ත්වයකට පත්ව තිබුණේය. අන්තර් වාර්ගික ආගමික හා කුල සම්බන්ධතා අවුල් ජාලාවක් බවට පත්ව තිබුණේය. නීතියේ පාලනය බිඳ වැටී අපරාධකරණය හා සමාජ පාදඩකරණය මුළු මහත් සමාජයම ගිලගන්නා තත්ත්වයකට පත්ව තිබුණේය.

සියලූ ජනවර්ගවලට අයත් දේශීය ජනතාව අතර පමණක් නොව ලෝක මට්ටමෙන්ද ශ්‍රේෂ්ඨ නායකයකු බවට පත්වීමට වෙනත් කිසිදු නායකයකුට නොලැබුණු තරමේ අවස්ථාවක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබුණේය. එහෙත් ඒ අවස්ථාව ප‍්‍රශස්ත හා නිර්මාණාත්මක ලෙස ප‍්‍රයෝජනයට ගැනීමට ඔහු අසමත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය.

ඔහු අතින් පරාජය වූයේ විදේශීය ආක‍්‍රමණික හමුදාවක් නොව දේශීය ජනවර්ගයකට අයත් යක්ෂාවේශ වූ තරුණ පිරිසකි. උතුරේ දමිළයන් අතර පමණක් නොව දකුණේ සිංහලයන් අතරද එසේ යක්ෂාවේශ වී ක‍්‍රියාකළ තරුණ පිරිසක් සිටියෝය. ඔහු ප‍්‍රඥාවන්ත නායකයකු වී නම් දස දහස් ගණන් සිංහල හා දෙමළ තරුණ කොල්ලන් හා කෙල්ලන් තම ජීවිත පරදුවට තබා සටන් කරන තැනට ගියේ ඇයිද කියා සොයා බලන තැනකට යායුතුව තිබුණි. එවැනි සොයා බැලීමකට ගියේ නම් ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධානම සාධක දෙක ලෙස සැලකිය හැකි එක්සත් ජාතියක් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්ප සහිත සමාජයක් ඇතිකර ගැනීමට අසමත්වීම ලංකාව මුහුණ දී තිබෙන විස්තීර්ණ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධක බව තේරුම් ගන්නට හැකිවන්නට ඉඩ තිබුණා සේ ම ඊට අවශ්‍ය විසඳුම් මොනවාද යන්නද තේරුම්ගත හැකිවන්නටද ඉඩ තිබුණි.

ඒ වෙනුවට ජනාධිපතිවරයා තෝරාගත් මාර්ගය වූයේ දුගඳ හමන තරමට කුණුවී තිබුණු දේශපාලන හා සමාජ ක‍්‍රමය ප‍්‍රතිසන්ධානයකට හා ප‍්‍රතිසංවිධානයකට ලක්කිරීමෙන් තොරව ඒවා තවදුරටත් ආරක්ෂා කරගනිමින් ඉදිරියට යන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.
ඒ මගින් ශ‍්‍රී ලංකාව ප‍්‍රභාකරන් බලවත්ව සිටි කාලයේ තිබුණු අර්බුදයටත් වඩා තියුණු හා සංකීර්ණ අර්බුදයකට රට තල්ලූ කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය.

සමහරවිට විය හැකි දේ උතුරේ සිදුවූ දේ ට සමාන විය හැකිය. ප‍්‍රභාකරන් සියලූ දෙමළ නායකයන් ඝාතනය කොට දෙමළ ජනයාට සිටින එකම නායකයා බවට පත්වූයේය. ප‍්‍රභාකරන්ගේ විනාශයත් සමග දෙමළ ජනයා නායකයන් නැති අරාජක ජනතාවක් බවට පත්වූයේය. ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රතිපක්ෂ නායකයන් මරා දැමුවේ නැතත් ඓතිහාසික අර්ථයෙන් ඔහු බලයට පත්වූයේ අන් සියලූ දේශපාලන නායකයන්ට තිබෙන වැදගත්කම අහිමි කරමිනි. ඒ මගින් ඔහු සිංහල ජනයාට සිටින එකම නායකයා බවට පත්වූයේය. දැන් ඔහු තමන්ට තිබෙන පිළිගැනීම අහිමි කරගනිමින් සිටින්නේ විකල්ප නායකයන් මතුවීමකින් තොරවය. ඒ මගින් දෙමළ ජනතාව සේ ම සමහරවිට සිංහල ජනතාවද නායකයන් නැති අරාජික තත්ත්වයකට පත්වෙමින් රටද අරාජික තත්ත්වයකට පත්විය හැකිය.