අවසාන අවස්ථාවද?

දැන් ඇරැඹී තිබෙන ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් විසින් ඉදිරිපත් කරනු ලැබීමට බලාපොරොත්තු වන යෝජනාවේ දළ කෙටුම්පත මේ වන විට සාමාජික රටවල් අතර බෙදා හැර තිබේ. ඒ ඒ සාමාජික රටවල් ඊට දක්වන ප‍්‍රතිචාර අනුව එහි වචන, වාක්‍ය හා අදහස් ද වෙනස් වීමට ඉඩ තිබෙන නමුත් සමස්තයක් ලෙස ගත් විට ඉන් අවධාරණය කැරෙන්නේ යුද්ධය පැවැති සමයේ ලංකාවේ මානව හිමිකම් කඩවීම්, මානුෂීය නීති උල්ලංඝනය කිරීම් හා පශ්චාත් යුදකාලීන ලංකාවේ නීතියේ පාලනය බිඳ වැටීම් ගැන ය.

යුද කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් ගැන මෙන්ම මානුෂීය නීති කඩ කිරීම් ගැන ද විශ්වාසවන්ත, අපක්‍ෂපාතී පරීක්‍ෂණ පැවැත්වීමට ලංකාව අසමත් වීම නිසා, ඒ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට ද ඉන් යෝජනා කැරෙයි. එහෙත්, ඒ සඳහා ජාත්‍යන්තර කමිටුවක් පත් කරනු වෙනුවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියට ඒ පරීක්‍ෂණය පැවැත්වීම සඳහා බලතල පැවරිය යුතු බවක් ද යෝජනාවෙන් කියැවෙයි. මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සිය පරීක්‍ෂණය, එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්, අදාළ විෂයන් පිළිබඳ විශේෂ විධාන පත‍්‍රධාරීන් ආදීන් යොදාගෙන පැවැත්විය යුතු බව ද, ඒ පිළිබඳ වාචික වාර්තාවක් මීළඟ සැසිවාරයට හා විස්තරාත්මක ලිඛිත වාර්තාවක් ඉන්පසු සැසිවාරයට ඉදිරිපත් කළ යුතු බව ද යෝජනාවෙන් තව දුරටත් කියැවෙයි.

එක් අතෙකින් බලන විට මෙම යෝජනාව ලංකාවට තවත් අවස්ථාවක් නොහොත් කාලයක් දීමකි. ඒ ලැබෙන ඉදිරි කාලය තුළ හා අවස්ථාව තුළ ලංකාව කටයුතු කරන්නේ කෙසේද යන්න ද මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ ස්වරූපය කෙරෙහි වැදගත් බලපෑමක් කරන්නට ඉඩ ඇත්තේ ය.

එහෙත් හැම දා මත් මෙන් ලංකාව මේ යෝජනාව ද පිළිගන්නේ සතුරු ආකල්පයකින් බව දැනටමත් පෙනෙන්ට තිබේ. මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතු විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් මහතාගේ කේන්ද්‍රීය ප‍්‍රවේශය වූයේ, මානව හිමිකම් මහ කොමසාරිස්වරිය සිය බල අධිකාරිය ඉක්මවා ගොස් කටයුතු කර ඇති බව කීම ය. එනිසා ඇගේ වාර්තාව පිළිගත නොහැකි බව ද ඔහු කීවේ ය.

ඊට අමතරව ලංකාව සම්බන්ධයෙන් වූ චෝදනා පිළිබඳ කිසියම් අසාර්ථක පිළිතුරු සැපයීමක් ද ඔහු කළේ ය. උදාහරණයක් ලෙස මුස්ලිම්, කතෝලික ආගමික ස්ථානවලට හා ව්‍යාපාරික ආයතනවලට පසුගිය කාලයේ සිදුවූ පහරදීම් ආණ්ඩුව විසින් කරන ලද්දක් නොවන බව ද, ඒවා සම්බන්ධයෙන් නොපමාව නීතිමය පියවර ගෙන ඇති බව ද ඔහු අවධාරණය කළේය. එහෙත්, අප මතක තබා ගත යුතු දේ නම්, දැන් ලෝකයේ තොරතුරු සන්නිවේදනය ඉතා දියුණු බව ය. පසුගිය කාලයේ ලංකාවේ සිදුවූ එවැනි තිරශ්චීන ක‍්‍රියාවන් ගැන ලෝකයා දැනගත්තේ සිද්ධිය සිදු වී විනාඩි කිහිපයක් ඇතුළත ය. එසේම, ලංකාවේ ආණ්ඩුව එම පහරදීම් ඍජුව නොකළත්, ඒවාට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කිරීම වුවමනාවෙන් ම පැහැර හැරීමෙන් පමණක් නොව, එවැනි ප‍්‍රහාරකයන් සමග ආණ්ඩුවේ වැදගත් නිලධාරීන් එක පෙළට සිටගැනීමෙන් ද, වක‍්‍ර අනුමැතියක් හා දිරි ගැන්වීමක් එම ප‍්‍රහාරයන්ට දුන් බව ලෝකයා ඒ තරමට ම දනියි. එවැනි තත්ත්වයක් යටතේ, කොදෙව් මානසිකත්වයෙකින් යුතු ව ලෝක වේදිකාවක් ඉදිරියේ කරුණු කියාපෑම අසාර්ථක උත්සාහයක් පමණකි.
ලංකාව තේරුම් ගත යුත්තේ, අවම වශයෙන් මේ ලැබෙන අවසාන අවස්ථාවෙන් වත් ප‍්‍රයෝජනයක් ගත යුතු බව ය. මහ කොමසාරිස්වරියගේ පරීක්‍ෂණයට හැකි සෑම ආකාරයකින් ම සහයෝගය දෙමින් කටයුතු කිරීම ය.

අනෙක් අතට එක්සත් ජාතීන් දැනටමත් සිටින්නේ ලංකාව ගැන අතිවිශාල තොරතුරු සම්භාරයක් අතැ’ති ව ය. මීට පෙර මහ ලේකම්වරයා විසින් පත් කරන ලද ප‍්‍රවීණයන්ගේ කමිටුව විසින් ඒ බොහෝ තොරතුරු එක් රැුස් කොට තිබේ. කිසියම් ආකාරයකින් ලංකාව මහ කොමසාරිස්වරියගේ පරීක්‍ෂණය පිළිනොගෙන හෝ ඊට සහයෝගය නොදී කටයුතු කළහොත් විය හැකි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ එම ප‍්‍රවීණයන්ගේ වාර්තාවේ තොරතුරු මහ කොමසාරිස්වරිය හරහා නිල වශයෙන් පිළිගනු ලැබීම ය.

මේ තත්ත්වය යටතේ ලංකාවේ ඉදිරි හැසිරීම ඉතාම බැරෑරුම් හා දූරදර්ශී විය යුතු බව ආණ්ඩුව ද, ආණ්ඩුවේ ගජමිතුරෝ ද තේරුම් ගත යුත්තෝ ය. නැති ව, යෝජනාව ඉදිරිපත් කළ රටවල මානව හිමිකම් උල්ලංඝනයන් ගැන බැන අඬගැසීමෙන් ඒ අවශ්‍යතාවට අබමල් රේණුවක තරම් වත් දායකත්වයක් සිදු නොවෙයි.