අපිව එල්ලලා මරන්න මදනිගේ දුක්ගැනවිල්ල අසන්න

මරණීය දණ්ඩනය නියම වූවන්ට බන්ධනාගාරය තුළ හිමිවන්නේ වෙනත් සිරකරුවන්ට වඩා සුවිශේෂී ස්ථානයකි. අනුකම්පාසහගත සැලකීමකි. දඬුවම් කාලය තුළ අනෙකුත් සිරකරුවන්ට පැවරෙන බන්ධනාගාරයේ යම් යම් කාර්යයන්ගෙන් මොවුහු මුක්තිය ලැබූවෝ වෙති. අනෙකුත් සිරකරුවන්ගෙන් හා සිරකරු නියාමන ක‍්‍රමවලින්ද ඈත්ව තබන මොවුන් බර වැඩ ගැනීමේ සිට නිලධාරීන්ගේ අවශ්‍යතා ඉටුකිරීම් වැනි සේවාවලින්ද ඈත්කර ඇත. මරණීය දණ්ඩනය නියම වූ හෙවත් ‘මදනි’ යනුවෙන් මෙම පිරිස බන්ධනාගාරය තුළ හඳුන්වනු ලබති. ඔවුන් උසාවියෙන් ලද දඬුවම ප‍්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා තැබීම වුවද 1976 ජූනි 23 වැනිදායින් පසුව ජනාධිපතිවරුන් කිහිපදෙනකුම මාරු වුවද ඔවුන් එල්ලීමට දිනයක් නියම නොකෙරිණි. ඒ අනුව ‘මදනි’ උසාවියෙන් සිරගෙට ගෙන ආවේ එල්ලන තුරු රඳවා තැබීමට වුවද 1976න් පසුව ඔවුහු නොලද දඬුවමක් අද දක්වා භුක්ති විඳිති. එනම් නිදහස් වන දිනයක් හෝ අනෙකුත් සාමාන්‍ය රැුඳවියන්ට හිමිවන නිශ්චිත සිරකාලයක් හෝ ඒ සිර කාලයෙන් වාර්ෂික අඩුවීමක් හෝ නොලද මදනි සිරකරුවන් ගණන අද වන විට 427කි. නිදහස් වන දිනයක් හෝ නිදහස් වන බලාපොරොත්තුවක් නොලද ඔවුහු එල්ලා තැබෙන දිනය නියම වනතුරු එදා මෙදාතුර බලා හිඳිති.

මදනි ජීවිතය

සවස 5ට වැසෙන අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරය තුළ ඔවුහු රාත‍්‍රිය ගෙවති. ඒ තුළ එකිනෙකාට අයත් පනිට්ටුය. වැසිකිළි පහසුකමක් නොමැති ඔවුන්ට රාත‍්‍රියට ඒ අවශ්‍යතාව ඉටුකර ගැනීම සඳහා ඇත්තේ එකී පනිට්ටුවය. නැතිනම් කට කැපූ ප්ලාස්ටික් කෑන් එකකි. ඊට අමතරව තම තමන්ට අයත් ඇඳුම් කඩමාලූද බන්ධනාගාර ගතවූවෙකුට හිමි ප‍්‍රධානම දේපළ වන කන පිඟාන හා කෝප්පයද සනීපාරක්ෂක දෑද ඔවුන්ට හිමිය. 1976ට පෙර මෙකී කාමරයක සිටියේ එක මදනි පුද්ගලයෙකි. එකී කාමරය බන්ධනාගාර භාෂාවට අනුව සෙල් එකකි. එහි තදබදයක් තිබුණේද නැත. ඒ එල්ලන දිනය ඉක්මනින් බන්ධනාගාරයට ලැබුණු බැවිනි. ඉන්පසු තත්ත්වය වෙනස් විය. මදනි පුද්ගල රැුඳවීම් ප‍්‍රමාණය 1976න් පසුව ඉහළ ගිය අතර කෙමෙන් කෙමෙන් එක් පුද්ගලයකු වෙනුවට මදනි පුද්ගලයන් තිදෙනකු එක සිරමැදිරියක රඳවා තැබිණි. එක සිරමැදිරියක දෙදෙනකු රැුඳවීම නොකළ අතර තිදෙනකු එකට දැමීම කළේ මෙලෙස රැුඳවූවන් දෙදෙනකු අතර ගැටුමකින් අයකු මියගියහොත් ඒ සඳහා සාක්ෂියක් තිබිය යුතුය යන පූර්ව නිගමනයේ සිටය. අද තත්ත්වය ඊටත් වඩා වෙනස්ය. මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක නොවී වසර 30කට ආසන්න බැවින් එක් කාමරයක රඳවා සිටින මදනි අවම වශයෙන් 5කි. නැතිනම් වැඩිම 7කි. උදේ 6 වනතුරු මේ පිිරිසට අයත් කකුස්සි බාල්දිද මේ සිර කාමරය තුළය.

දහවල් කාලය

උදෑසන හයට ඇරෙන සිර කාමරවලින් එළියට එන ඔවුන්ට එතැන් පටන් නැවතත් ඇත්තේද වසන ලද ශාලාවකි. නැතිනම් කොරිඩෝවකි. ඒ සුළු නිදහස් වීම ආරම්භයත් සමග ඔවුන්ට අල්ලට සීනි ටිකක් සමග හිමිවන්නේ කහට කෝප්පයකි. උදෑසන ආහාරය ග‍්‍රෑම් 176ක පාන් කෑල්ලක් සහ පොල්සම්බෝල හැන්දකි. ඒ ඔවුන්ගේ දවසේ ආරම්භයයි. උදෑසන 8.30 හෝ 9 පමණ වන විට දවසේ ඔවුන් සතුටු වන අවස්ථාව උදාවෙයි. ඒ ව්‍යායාම වේලාවයි. පැය භාගයක වෙලාවක් සඳහා ඔවුන් වසා තිබූ කොරිඩෝවෙන් හෝ කුඩා ශාලාවෙන් එළියට ගැනෙන අතර පිටතට යා නොහැකි කුඩා බිම් කඩක් තුළ ඔවුන්ගේ දෛනික ව්‍යායාම, වැසිකිළි යෑම රෙදි සේදීමේ සිට හිරු එළිය දකින ප‍්‍රීතිමත් අවස්ථාව උදාවෙයි. ඔවුන්ගේ සිර ජීවිතය තුළ ඇති දීර්ඝ පැය 24 තුළින් ඉක්මනින්ම ගෙවී යන සතුටුදායක පැය භාගය ගෙවී ගිය පසු ඔවුහු නැවතත් ශාලාවට හෝ කුඩා කොරිඩෝවට ගාල් කැරෙති. එහි සවස 5 වනතුරු සිරවෙති.

දවල් 10.30ට හෝ 11.00ට දහවල් කෑමට කල්දේරම් බත් ග‍්‍රෑම් 225ක් සමග ව්‍යංජන ග‍්‍රෑම් 56ක්, මාළු ග‍්‍රෑම් 56ක් සහ පලා වර්ගයකින් ග‍්‍රෑම් 28ක්ද බන්ධනාගාර අණපනත් අනුව ඔවුන්ට හිමිවෙයි. සිරවුණු කොරිඩෝව තුළ දහවල් ආහාරය ගන්නා ඔවුන්ට එතැන් පටන් හවස 5 වනතුරු දාම් ලෑල්ලට හෝ කැරම් ලෑල්ලට වාඩිවිය හැකිය. බන්ධනාගාර භාෂාවට අනුව ඔවුන්ගේ දහවල් දවස ගෙවෙන්නේ මේ මදනි වාට්ටුව තුළය. සවස 5ට හෝ ඊට පෙර ලැබෙන බත් ග‍්‍රෑම් 170 සමග ඔවුහු නැවතත් තම තමන්ගේ වැසිකිළි පනිට්ටුද අනෙක් අතින් ගෙන සිරමැදිරිය තුළ තම කාමර සගයන් සමග සිරවෙති. බන්ධනාගාරයෙන් බන්ධනා ගාරයට මේ සම්ප‍්‍රදායන්ද යම් තරමකට වෙනස් වෙයි.

ඔවුන්ට පිටත සමාජය හෝ අනෙකුත් සිරකරුවන්ට හිමි සිරකරු වරප‍්‍රසාද හෝ සිරකරු සුබසාධන වැඩ කඳවුරු හෝ තුළට වී වැඩෙහි යෙදීමට අවස්ථාව නොලැබෙන්නේය. බාහිර පරිසර ආශ‍්‍රයක් හෝ බන්ධනාගාර තුළ වැඩෙහි යෙදීමක් නොමැති තැන තම චිත්තවේග සමනය කැරගැනීම සඳහා ඔවුහු ක‍්‍රම සොයති. ඒ සෙවීම තුළ ඔවුන්ට බන්ධනාගාරයේදී පහසුවෙන්ම හමුවන්නේ මත්ද්‍රව්‍යය. තවත් පිරිසක් කෲරත්වය සොයති. තවත් පිරිසක් පැනයන්නට උත්සාහ කරති. ඔවුන්ගේ චිත්තවේග අතෙකින් සියයට දාහක් සාධාරණය. ඔවුන් අතින් සිතා මතා වූ වරදක් ඇති බව සැබෑය. නැතිනම් අත්වැරැුද්දකින් වූ සමාජයේ වරදකින්ම ඔවුන් අතින් වූ වරදක් ඇති බව සැබෑය. ඒ සඳහා ඔවුහු වසර 12ක්, 15ක් 20ක් නැතිනම් ඊටත් වඩා කාලයක් බලාපොරොත්තුවක්, ජීවිතයක්, පවුලක්, දරුමල්ලෙකු, කෑමක් බීමක් තබා හිරු එළියවත් නොදැක ජීවත් වෙති. එල්ලනවාටත් වඩා වැඩි දැඩි දඬුවමක් දැනටමත් ඔවුන් ගෙවා හමාරය. කෑමබීමත්, වැසිකිළියත් නිදාගැනීමත් එකම තැනක ඇති, කළුවරත්, අපිරිසිදුකමත් උරුම ඔවුහු ජීවිතයෙන් අඩකට වඩා කාලයක් එකුදු බලාපොරොත්තුවක් හෝ නැති අපා ජීවිතයකට උරුමකම් කියති.

විසිට්ස් සහ ඔවුන්ගේ පවුල්

මදනි රැුඳවියකුට තම පවුලේ ඥාතියකු දැකිය හැක්කේ සතියකට එක් වතාවකි. එවන් බැහැදැකීමක් බන්ධනාගාර භාෂාව අනුව විසිට් එකකි. ඒ විසිට් එකට හිමි කාලය විනාඩි 15කි. වැලි හලන රයිසි දැලක් තුළින් මදනි රැුඳවියකුට එක් විසිට් එකක් තුළ තම දුවාදරුවන්, බිරිඳ බැලිය හැක. ඒ බැලීමට අවසර ඇත්තේද තුන්දෙනකුට පමණි. මදනි රැුඳවියකුට ගෙදරින් ගෙන එන කෑමබීම තහනම්ය. ඔවුන්ට ගෙදරින් ලබාගත හැක්කේ දත් බෙහෙත්, සබන් වැනි සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණි. ඒවාද බන්ධනාගාර නිලධාරීන් විසින් ඉහළ සිට පහළට පහළ සිට ඉහළට පොඩිකර පරීක්ෂාකර බැලූ ඒවාය. බන්ධනාගාරයෙන් කියවන්නට කලාතුරකින් ලබාදෙන තෝරාගත් පිටු කිහිපයක් පමණක් ඇති දිනමිණ, සිළුමිණ වැනි රජයේ පුවත්පත් කෑලිවලට අමතරව රටේ තොටේ දෙයක් කියවන්න අවස්ථාවක් ලැබෙන්නේ මේ විසිට් එකකිනි. ඒ පුවත්පත් ඇතුළට ගතහැකි නිසා නොව ගෙදරින් එන උදවිය සබන් කෑල්ල, දත් බෙහෙත් පැකැට්ටුව ඔතාදෙන පත්තර පිටු කෑල්ලට පිංසිද්ධ වන්නටය.

මදනිට ලැබෙන මේ විසිට් එක කාලයක් යනවිට නිරස වන්නේ නිරායාසයෙනි. ඒ සඳහා බලපාන හේතු කාරණාද බොහෝය. මදනිගේ පවුල් පරිසරයද, පවුලේ ආර්ථිකය මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද ඊට බලපාන බව කවුරුත් දන්නා ප‍්‍රසිද්ධ රහසකි. ගෙදර ආර්ථිකය මෙහෙය වූ පුද්ගලයා මදනි වූ විට පවුල ගෙනයෑමේ වගකීම පැටවෙන්නේ බිරිඳ මතය. මරණීය දණ්ඩනය නියම වී බන්ධනාගාරගතව සිටින සැමියා සහ දරුවන් නඩත්තු කිරීමට බිරිඳ රැුකියාවකට යායුතුමය. ඒ කාර්ය බහුලත්වය මත විසිට් එක සතියෙන් සතිය, මාසයෙන් මාසය කල් දැමෙනු ඇත. කෙදිනකවත් නැවත එළියට ඒමේ මගක් නොදකින කල අතිශය බහුතරයක් බිරින්දෑවරු වෙනත් මිනිසකු සමග දීග කති. එතැන් පටන් ඇයට බන්ධනාගාරය අමතක වනු ඇත. දරවෝ සිටිත් නම් ඔවුන් උස්මහත් වන්නට වන්නට කාලයක් පුරා නොදුටු තම පියා හෝ ඥාතියා අමතක වනු ඇත. නැතිනම් ලැජ්ජාවට බලන්න නොඑනු ඇත. මේ කතා දෙක තුනම නැති එකෙකුගේ කතාව ඊටත් වඩා වෙනස් විය හැක. බිරිඳ ඇහැට කනට පෙනේ නම් හෝ දුව ඇහැට කනට පෙනේ නම් බිරිඳගේ පතිගුණ තිබුණත්, දුවගේ පිය සෙනෙහස තිබුණත් ඔවුන් සිරගෙට ගෙන්වීම මදනි රඳවුවෝ ප‍්‍රතික්ෂේප කරති. එවැන්නියක බන්ධනාගාර විසිට් සඳහා පැමිණි විට වැඩි විසිට් කාලයක්, වැඩි විසිට් දින ගණනක්, රාත‍්‍රියට නිදාගන්න තැනක්, එහෙමත් නැතිනම් වැඩිපුර යමක් ඇතුළට දෙන්න බන්ධනාගාර මහත්වරු බොහෝ ඇප උපකාර කරති. ඒ ලිංගික අල්ලසකට යටත්වය. කෙදිනකවත් තමන්ට එළියට එන්න අවස්ථාවක් නොලැබෙන බව හා බන්ධනාගාර ජේලර් මහතුන්ගේ කරුණාවේ දිග පළල කෙළවර වන තැන දන්නා හෙයින් මදනි රැුඳවියෝ අකමැත්තෙන් වුවද දහස් වාරයක් සිතින් මැරි මැරී විසිට් ප‍්‍රතික්ෂේප කරති.

අවාසනාව ජීවිතයම කරගත් ඔවුහු කලකිරීමත්, විඳවීමත් ජීවිතයේ ප‍්‍රධානතම අංගය කරගනිති. අතපය වාරු ඇති එකෙක් දෙන්නෙක් බිත්ති කුරුටු ගාති. ශෝකය එහි ලියති. තව එකෙක් බලාගත් අත බලා සිටිති. තව එකෙක් ඔළුව බිත්තියේ හප්පති. කරන්න වැඩක්, සිතන්න යමක්, අනාගතයක්, පවුල් ජීවිතයක්, නිදහසක් නොදකින ඔවුහු බලාපොරොත්තුවක් නැති ජීවිතය තුළ මන්දමානසිකයෝ වෙති. පැනයන්න උත්සාහ කරති. ඒ සියල්ල නැති තැන මත්වෙති. ඇඟට වාරුවක් ඇති එකා මදනි ජීවිතය ගෙවාගන්න මෙකී ක‍්‍රම තුනෙන් එකක් තෝරාගන්නා විට අතපය වාරු නැතිව වයසට ගියාහු වාරු නැතිව අසූචි මලමුත‍්‍රා මතම වැතිර ජීවත් වෙති. ඔවුන් විසිට් කරන්නෙක්, සැප දුක් බලන්නෙක් බන්ධනාගාරය තුළ හෝ ඉන් පිටතද නැත. ඔවුහු බන්ධනාගාර තුළම මියයති.

මදනි ජීවිතය ඔවුන්ගේ මුවින්

‘අපේ අතින් වරදක් වුණා තමයි. ඒ වරද කවදාවත් හදන්න බැරි බවත් ඇත්ත. ඒත්… අපි කරපු වරදට අපේ ළමයි, අපේ බිරින්දෑවරු පළි නැහැ. මේ අපා ජීවිතයට එන කිසිම කෙනෙක් ආයෙත් වරදක් කරාවි කියලා හිතන්න බැහැ. අපි ගෙවන්නේ ඒ තරම් පව් ජීවිතයක්. අපිට ඉර එළියක් දකින්න නැහැ. ඇඟට දාඩිය ටිකක් එන්න ඇවිදින්න ඉඩක් නැහැ. බලාපොරොත්තුවක් නැති එක වගේ හත්අට දෙනෙක් එක්ක, එකම කාමරේක කන්න බැරි කෑම එක්ක, බොන්න බැරි බීම එක්ක අපි අපේම අසූචි මලමුත‍්‍රා එක්ක ජීවත්වෙනවාට ජීවත් වෙනවා. මේ අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක් ඇරුණාම අනිත් කවුරුවත් කුලියට මිනීමරපු අයවත්, කුඩු මුදලාලිලාවත් නෙවෙයි. සමහරු පෙර කරපු ලොකු පව්වලට අහුවෙලා. දන්නේවත්, දැකපුවත් නැති මිනීමැරුම්වලට, නඩුවලට පටලලා එල්ලලා මරන්න නියම වුණු අය. මේ බෝගම්බරම අපි එක්ක ඉන්නවා එකම පවුලේ අයියලා මල්ලිලා පස්දෙනෙක්. රණ්ඩුවකදී එක මනුස්සයෙක් මැරිලා. මරලා තියෙන්නේ එක්කෙනෙක්. ඒත් කවුරුවත් තමන්ගේ සහෝදරයන් පාවලා නොදුන් නිසා උසාවියෙන් ඒ පස්දෙනාවම එල්ලා මරන්න තීරණය කළා. තවත් සමහරු ආව හදිසි කේන්තියට තල්ලූ කළාම වැටිලා ඔළුව වැදිලා මැරිච්ච අය නිසා එල්ලන්න නියම වුණු අය. ඒකෙන් අපි කියන්නේ නෑ අපි හරි අය හෝ හොඳ අය කියලා. ඒත් අපි අවුරුදු 15ක් 20ක් තිස්සේ මේ ගෙවන ජීවිතේ මොකක්ද? අපේ පවුල් අපි නිසා ගෙවන ජීවිතේ මොකක්ද?

මෙතන ඉන්න ගොඩක් අය තමන්ගේ දරුවා මොන වගේද, උස් මහත් වෙලාද කියලාවත් දැකලා නෑ. තව සමහරුන්ගේ බිරින්දෑවරු අවුරුදු ගාණකින් දැකලා නැහැ. බලන්න එන්නේත් නැහැ. අපිව එල්ලා මැරුවා නම් අපේ දරුවෝ, අපේ බිරින්දෑවරුන්, අපේ පවුල් අපි වෙනුවෙන් දානයක් මානයක් දීලා මතු ආත්මෙක මේ වගේ අවාසනාවක් නොවෙන්න කියලා අපේ ආත්මවලට ප‍්‍රාර්ථනා කරාවි. මේ අපායේ ගෙවුණ කාලේ ජීවිතය කියන්නේ මොකක්ද හරි වැරැුද්ද මොකද්ද කියලා හොඳටම තේරුම් ගත්තා. මේ ගෙවපු පවත් එක්ක ආයෙත් මෙතනට එන්නවත්, වරදක් කරන්නවත් අපිට බැහැ. අපි පෙර ආත්මවල මහා පවක් කරපු අය. හතුරෙකුටවත් අපිට වුණු දේ නොවෙන්නයි අපි හැම මොහොතකම ප‍්‍රාර්ථනා කරන්නේ. අවුරුදු 15ක් 20ක් තිස්සේ දරුවෙක්ගේ හඬක්, බිරිඳගේ කෑමක් නැතුව, නෑදෑයෙක් අම්මෙක් නොදැක, ඉර එළියක්, නැවුම් හුළඟක් නොදකින, නොවිඳින අපිව නිදහස් කරන්න. නැතිනම් ජීවිත සමාවක් දීලා බලපත‍්‍ර හෝ බන්ධනාගාර සමාලෝචනවලින් අපිව නිදහස් කරන්න. මේ මුකුත්ම බැරි නම් සිය දහස් වාරයක් හිතින් එල්ලිලා මැරෙන අපිව එල්ලලා මරන්න.’