රාවය

කුමාරපුරම්: ඝාතකයන් නැති ඝාතන විසිපහක්

කුමාරපුරම්:  ඝාතකයන් නැති  ඝාතන විසිපහක්

තරිඳු උඩුවරගෙදර | රේඛා නිලුක්ෂි හේරත්

කොළඹින් මූතූර් වලට ගොස් මූතූර්වලින් කිලිවෙඞ්ඩි වෙත යද්දී අප සිතාගෙන හිටියේ අසන්නට නියමිත කතා අතරින් සංවේදීම කතාව ලියා මේ සටහන ඇරඹිය යුතු බවයි. එහෙත් කිලිවෙඞ්ඩි සිට මූතූර් යන්නට බස්රියට නඟිද්දී අප සිටියේ මේ කතා අතරින් සංවේදීම කතාව කුමක්දැයි තෝරාගත නොහැකි උභතෝf කා්ටිකයකයි.
හෙට ඉපදෙන්නට සිටි දරුවා නැතිව මරණ ගණන විසිහතරකි. දරුවා මවගේ කුසින් එළියට විසිව තිබුණු නිසා සිරුරු ගණන විසිපහකි. වෙඩි වැදුණ පිරිස පනස් හතකට අධිකය. සියලු කතා එක මෙන් ඛේදජනක ඒවාය.

බස්රියෙන් බැස කුමාරපුරම් වෙත අප යද්දී ගමේ දරන්නට බැරි රස්නයත් සමඟ අප පිළිගන්නට කෙට්ටු උස මිනිසෙක් බලා සිටියේය. ඔහු ජේසුදාසන්ය. කාෂ්ඨක පොළොව සමඟ හැප්පී තෙහෙට්ටු මුහුණක් තිබුණද ජේසුදාසන්ගේ දෑස්වල බලා පොරොත්තුවක් තිබුණි. මේ භූමියේ අහිංසක මිනිසුන්ගේ ලේ හෙලූ අපරාධකරුවන්ට කවදා හෝ දඬුවම් කෙරෙනු දැකීම ඔහුගේ සිහිනයයි.

කුමාරපුරම්වල පොළොව කාෂ්ඨක අව්වෙන් වියලී පැළී ඇත. නියඟය ටකරං වහළවලටත් බිත්තිවලටත් දරාගන්නට බැරිව නිවාස පෝරණු බවට හරවා ඇති නිසා බොහෝ දෙනෙක් නිවාසවලින් එළියට පැමිණ සිටියහ. ඒ මිනිසුන්ට කියන්නට ඇති දේ දෙමළෙන් සිංහලට හරවා අකුරු බවට හරවන්න අපට අවැසි වී තිබුණි.

කුමාරපුරම්

කුමාරපුරම් ඝාතක භූමියක් බවට පත්වන්නේ 1996 පෙබරවාරි 11 වැනිදා සවස් වරුවේය. ගම්මානයේ ජීවත් වූ සාමකාමී සිවිල් වැසියන් 24 දෙනෙකු එදින වෙඩිතබා ඝාතනය කර තිබුණි.

ගම්වාසීන්ට වෙඩි තැබුවේ හමුදාව යැයි ගම්වාසීන් කියද්දී සිංහල නායකයන් මෙන්ම මාධ්‍ය පවා කීවේ එල්ටීටීඊ සාමාජිකයන් පිරිසක් හමුදා ඇඳුමට සමාන ඇඳුම් හැඳ කුමාරපුරම් ගම්වාසීන්ට වෙඩි තැබූ බවයි.

කුමාරපුරම් ගම්වාසීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩුව ප්‍රථමයෙන් මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ විභාග වූ අතර ඉන්පසුව ත්‍රිකුණාමලය මහාධිකරණයේත්, පසුව අනුරාධපුර උතුරමැද පළාත්බද මහාධිකරණයේ ජූරි සභාවක් ඉදිරියේත් විභාග කෙරිණි. මූතූර් දෙහිවත්ත හමුදා කඳවුරේ සිදුවීම වුණ සමයේ සේවය කළ හමුදා නිලධාරීන් අටදෙනෙකුට කාලයක් තිස්සේ මෙම සිදුවීම සම්බන්ධයෙන් චෝදනා 101ක් ගොනුකර තිබුණු අතර ඉන් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තිබේ. පසුගිය ජූලි 27 වැනිදා නඩුවේ තීන්දුව ලබාදෙමින් ඉතිරි හමුදා නිලධාරීන් හයදෙනා අනුරාධපුර මහාධි කරණයේ ජූරිය විසින් නිදහස් කර තිබුණි.
අප කුමාරපුරම් වෙත යද්දී දැනගෙන හිටියේ උඩින් කී කොටසයි.

මැරුවේ කවුද?

ඇතැම් පුවත්පත් අනූහයේ කුමාරපුරම් ගම්වාසීන් මැරුවේ හමුදාවෙන් නොවන බවත් හමුදා ඇඳුම් ඇඳගත් එල්ටීටීඊ සාමාජිකයන් බවත් ලියා තිබුණි.
අප සමඟ කතාකළ ජේසුදාසන් ඒ කතා ප්‍රතික්ෂේප කළේය.

‘අපට එල්ටීටීඊයත් එක්ක කවදාවත් සම්බන්ධයක් තිබිලා නැහැ. මේ පැත්තට එල්ටීටීඊ එකට එන්නවත් බැහැ. මේ ගම දෙපැත්තේම හමුදා කඳවුරු දෙකක් තියෙනවා. ඉන් එකක් තමයි දෙහිවත්ත කෑම්ප් එක. මෙතැන ඉඳන් කිලෝමීටරයක් විතර දුරින් තියෙන්නේ.

දෙහිවත්තට කොටින්ට එන්න පුළුවන් පනක්කාඩු පැත්තෙන්. සිද්ධිය දවසේ කොටි පනක්කාඩු පැත්තෙන් ඇවිත් හමුදාවට ඇටෑක් එකක් දීලා තියෙනවා. ඒ මෙහේට කිලෝමීටර් ගාණක් එහායින්. ඒකෙන් පස්සේ එතැන හිටපු කට්ටියක් කීවාලු කොටි දිව්වේ මේ පැත්තට කියලා. ඊට පස්සේයි ආමි එකෙන් එකපාරටම ගමට කඩාවැදිලා ආතක් පාතක් නැතිව වෙඩි තිබ්බේ.’

ඒ ආවේ හමුදා ඇඳුම් ඇඳගත්ත වෙනත් පිරිසක් කියලා කිව්වොත්? කොහොමද ඔයාලා හමුදාවේ අය කියලා අඳුනගත්තේ? අපි පළමුවෙන්ම නැඟුණු පැනය නිරවුල් කරගන්නට උත්සාහ කළෙමු.

‘හමුදා කෑම්ප් එක ඔතන කාලයක් තිස්සේ තියෙනවා. අපේ ගමේ ඉන්න මිනිස්සුන්ව අපට අඳුනගන්න බැරිද? ඒ අය අපි හොඳට දන්න එදිනෙදා හමුවෙන අය. අනික ඒ අය වෙඩි තියද්දී කතාකළේ සිංහලෙන්.’

ඇත්ත සෙවීම අධිකරණය සතුය. අප ආවේ මිනිසුන්ට කියන්නට ඇති දේ අසන්නටයි. ලුණුඇඹුල් නොදමා ඔවුන් කී කතා ලිවීමු.
ජේසුදාසන් කතාකරන අතර අප අසළට පැමිණි නාගරාජා කතාවට එක්වීය.
අරසරත්නම් නාගරාජා: ‘මගේ ඔළුවට වෙඩි වැදුණා. දකුණු පැත්තේ ඇහැ ළඟින් ඇතුළු වෙලා වම්පැත්තේ ඇහැ ළඟින් පිට වුණා. මේ එහාපැත්තේ තියෙන අපේ ගෙදරදී වෙඩි තිබ්බේ. බිත්තියට හේත්තු වෙලා උණ්ඩය වැදුණු හින්දා ඔළුව පිපුරුණේ නැහැ.’
‘එහා පැත්තේ තිබුණේ පවුලගේ නංගි පරමේෂ්වරීගේ ගෙදර.’ නාගරාජා තවත් කතාවක් පටන් ගත්තේය.

‘නංගීට බබෙක් හම්බවෙන්න හිටියා. එදා ක්ලිනික් ගිහින් තිබුණා. එයාට ඒ වෙලාවේම ඇඞ්මිට් වෙන්න කියලා තිබුණේ. ඒත් එයා බඩුත් අරගෙන ඊළඟ දවසේ එන්නම් කියලා ගෙදර ඇවිත් තිබුණා. එයා එදා වෙඩි පාරට අහුවුණා. පරමේෂ්වරීට තවත් දුවලා දෙන්නෙකුයි පුතෙකුයි හිටියා. ඒ අයව පරමේෂ්වරී ඇඟෙන් වහගෙන තිබුණා. එක දුවෙකුගේ කකුලට වෙඩි තියලා තිබුණා. ඒ ළමයාට වෙඩි තියද්දී අවුරුදු තුනයි වයස. දැන් ඒ කකුලේ ඇඟිලි නැහැ. පරමේෂ්වරීගේ ළමයි ඒකෙන් අනාථ වුණා.

ගොඩක් අය මෙතැන හන්දියේ තියෙන කඬේට දිව්වා. එක ගෑනු ළමයෙක් ඉස්කෝලේ ඇරිලා ටියුෂන් යන්න කඬේ ළඟට ඇවිත් තිබුණා. හමුදාවෙන් එද්දී බයට තමයි කඬේ ඇතුළට රිංගලා තිබුණේ. කඬේට වෙඩි තියද්දී හැමෝම මැරිලා වගේ වැටිලා ඉඳලා. ආමි එකෙන් කඬේ ඇතුළට ඇවිත් කකුලෙන් ගහලා පණපිටින් ඉන්නේ කවුද කියලා බලලා. ඒ වෙලාවේ ඒ ළමයා රාක්ක අස්සේ හැංගිලා ඉඳලා තියෙන්නේ. ඒ ළමයාව දැකලා හමුදාවෙන් ළමයාව අරගෙන ගිහින් දූෂණය කරලා මරලා දාලා තිබුණා. මුළු ඇඟ පුරාවටම වෙඩි වැලක් තියලා තිබුණා.’

තිරුවරානි: ‘මගේ මහත්තයාට වෙඩි තියනකොට මගේ බඬේ හිටපු දරුවාට මාස එකහමාරයි. දැන් ළමයාගේ වයස අවුරුදු විස්සයි. ඒ ළමයා තාත්තාව දැකලා නැහැ. පාර පැත්තෙන් වෙඩි සද්දය ඇහෙනකොට අපි දුවගෙන වෙන ගෙදරකට ආවා. අපි දොර වහගෙන හිටියේ. දොර කඩලා ගේ ඇතුළට වෙඩි තියන්න ගත්තා.
අපි කෑගැහුවා. අපට වෙඩි තියන්න එපා අපි වැරැද්දක් කරලා නැහැ කියලා.

ඒත් වෙඩි තියාගෙන හිටියා. කෑගහන ඒවා අහන තැනක නෙවෙයි එවුන් හිටියේ. ගොඩක් අයට වෙඩි වැදුණා. මගේ මහත්තයාටත් වැදුණා. මටයි තව අක්කා කෙනෙක්ටයි විතරයි වෙඩි වැදුණේ නැත්තේ. අපි බිම වැටිලා හිටියා. බයට කෑ ගහන්නේ නැතිව මැරිලා වගේ හිටියා. මහත්තයා විතරක් කෑගැහුවා බේරගන්න කියලා. මට එයා කෑගහද්දී ළඟට යන්න ඕනෑ වුණත් හෙල්ලෙන්නෙවත් නැතිව හිටියා. මට අඬන්න ඕනෑ වුණත් අඬන්න බැහැ. අඩු තරමේ ඒ වෙලාවේ හුස්ම ගත්තත් වෙඩි තියනවා. මහත්තයා ඒ විදියට ගොඩක් වෙලා කෙඳිරි ගෑවා. අපි හෙල්ලෙන්නේ නැතිව ගොඩක් වෙලා හිටියා. මම එයා ළඟට දුවගෙන එනකොට ලේ ගිහිල්ලා. ඉස්පිරිතාලෙට අරන් යන්න හැදුවත් ගම පුරාම හමුදාව කැරකි කැරකි ඊළඟ දවස වෙනකම් හිටියා. අපට එළියට බහින්නවත් පුළුවන් වුණේ නැහැ. පහුවදා එළිවෙලා ආමි එක බස් එකකින් ඇවිත් තමයි ඉස්පිරිතාලෙට අරන් ගියේ.’

සත්‍යප්‍රියා: ‘මට වෙඩි වැදෙනකොට වයස අවුරුදු විස්සයි. ගේ ඇතුළේ ඉන්නකොට ආමි එකෙන් කෑගැහුවා එළියට බැහැපල්ලා කියලා. ඒත් අපි එළියට බැස්සේ නැහැ වෙඩි තියන බව දන්න හින්දා. ඊට පස්සේ ජනේලෙන් වෙඩි තිබ්බා. ගියේ නැහැ, හතර වටේටම කැරකි කැරකි හිටියා. මට වෙඩි වැදිලා තිබුණේ. ඒත් කෙඳිරි ගෑවේවත් නැහැ. ආපහු වෙඩි තියයි කියලා බයට.’

තංගවේල් මරදායී: ‘මගේ තාත්තාගේ නම ශිෂ්ණන් ගෝවින්දන්. මහත්තයාගේ නම අරුණාචලම් තංගවේල්. එදා එකපාරටම දෙන්නෙක් ගෙට පැන්නා. මුලින්ම තාත්ාතට වෙඩි වැදිලා කකුල් කෑලිවලට කැඩිලා ගියා. එයා ඒ වෙලාවේ එතැනම මැරුණා. මගේ පැත්තට තුවක්කුව හරවද්දී මහත්තයා මාව කවර් කරලා මගේ ඉස්සරහින් හිටගත්තා. එයාගේ මුළු ඇඟ පුරාවටම වෙඩි වැදුණා. ජීවිතේ යන්තම් ඉතිරි වෙලා තිබුණා. දවස් පහළොවක් තිස්සේ මහත්තයා ඉස්පිරිතාලේ ඉඳලා මැරුණේ.’

වී. සිවමනී: ‘මගේ පුතාගේ වයස අවුරුදු දාහතරයි ඒක වෙද්දී. පුතා ඉස්කෝලේ ඇවිත් සෙල්ලම් කර කර ඉඳලා වෙඩි සද්දේ ඇහෙද්දී කඬේට ගිහින් හැංගුණාලු. කඬේ මේසේ අස්සේ ඉඳලා තියෙන්නේ. ඒ වෙලාවේ කඬේ හිටපු අයට වෙඩි තියද්දී පුතාට වෙඩි වැදිලා මැරිලා තිබුණා. මැරිලා වැටිලා ඉඳලා පහුවදා තමයි ආමි එකෙන් අරන් ගිහින් තියෙන්නේ.

පුතා මැරෙද්දී මම හිටියේ රට ගිහිල්ලා. මම රට ගියේ පුතාගේ අනාගතේ ගැන හිතලා. මම බස්සෙකට නඟින්න යනකොට පුතා මාව බදාගෙන යන්න එපා කියලා ඇඬුවා. මම හිතාගෙන හිටියේ පුතාට උගන්නන්න.

මම රට ඉඳන් කල්පනා කළේ පුතා ගැන. එන ගමන් බස් එකේදී කල්පනා කළේ පුතා ගැන. මම සතුටින් හිටියේ. මගේ අතේ සල්ලි තිබුණා. පුතාගේ අනාගතේ ලස්සන කරන්න මට පුළුවන්. ඒත් ගමට ඇවිත් බස්සෙකෙන් බැස්සාම දැනගත්තා මුන් මගෙ පුතාව මරලා දාලා කියලා.

පුතා එළවළු කොටුවක් හදලා. ඒකෙන් ලැබෙන සල්ලි එකතු කරලා. ඒ සල්ලිවලින් තමයි පුතාගේ දානය දුන්නේ. මම පුතාව හොයලා නැති තැන සොහොනක් හෙව්වා ස්මාරකයක් හදලා පහනක් පත්තු කරන්න. ඒත් ඔක්කෝම එක වළක දාලා. පුතාගේ වළක්වත් හොයාගන්න නැහැ.’

තිලකරාණි: ‘ආමි එකෙන් ඇවිත් කිව්වා ඔක්කෝම එළියට වරෙල්ලා කියලා. මායි අම්මායි අත් උස්සගෙන එළියට ආවා. අම්මා ඉල්ලුවා මගේ දුවට මොනවත් කරන්න එපා කියලා. අම්මා අඬද්දී එයාට වෙඩි තිබ්බා. මගේ ළඟ එයා වැටුණා. මාත් ඒ එක්කම සිහි නැතිවුණා. සිහිය එද්දී ලේ ගොඩක් මැද්දේ අම්මා වැටිලා හිටියා. මං දුවගෙන ගිහින් ගෙදරක හැංගිලා හිටියා. එළිවෙනකම් ඉඳලා තමයි ආයේ ගියේ. මගේ අම්මාගේ නම කමලා දේවී.

අම්මා හැර මට වෙන කවුරුවත් හිටියේ නැහැ. අම්මා නැතිවුණාට පස්සේ ආමි එකෙන් ඇවිත් ගෙදර වළං මුට්ටිවලට වෙඩි තියලා ගියා. මම ගෙදර යන්න බය වුණා. ඉස්කෝලේ යන්න විදියක් තිබුණේත් නැහැ. මම එක එක රස්සා කර කර තැනින් තැන වැටිලා ජීවත් වුණා.

බේරගන්න තිබුණා

‘ගොඩක් අයව ඒ වෙලාවේම ඉස්පිරිතාලේට අරන් ගියා නම් බේරගන්න තිබුණා. ගොඩක් අය ලේ ගිහිල්ලා තමයි මැරිලා තිබුණේ. තුනහමාර හතර විතර වෙලාවේ තමයි අපට වෙඩි තිබ්බේ. ඊළඟ දවසේ තමයි හමුදාවෙන් ඇවිත් ඉස්පිරිතාලෙට අරගෙන ගියේ. මැරුණ විසිහයදෙනාම එකම වළක වළදැම්මා. බැකෝ එකකින් තමයි වළ කැපුවේ.’ මියගියවුන් වළදැමූ කුමාරපුරම් සුසානභූමියේ සිට ජේසුදාසන් අපට කීවේය.

සමරන්න බැහැ

‘අපේ පවුලේ අයව මැරුණ දවසේ ඒක සමරලා පහනක් පත්තු කරන්නවත් හමුදාවෙන් දෙන්නේ නැහැ. සමහර අවුරුදුවල ළිපක්වත් පත්තු කරන්න දීලා නැහැ. ගෙදර ඉව්වත් පාරට ඇදලා දානවා. පහන් පත්තු කරලා මැරුණ අයව සමරන එක අපේ සංස්කෘතියේ තියෙන දෙයක්. ඒත් හමුදාවෙන් අපට සමරන්න දෙන්නේ නැහැ උඹලා කොටි සමරනවා කියලා.

හමුදාව එහෙම තමයි. මේ සිද්ධියට කලිනුත්, ඒකෙන් පස්සේ මේ මෑතක ආමි කෑම්ප් එක අයින් කරනතුරුත් අපි ගොඩක් පීඩා වින්දා කෑම්ප් එකෙන්. සතියකට සැරයක් අපේ ගමෙන් දහයක් පහළොවක් යන්න ඕනෑ කෑම්ප් එක සුද්ධ කරන්න. අපට කෑම විතරයි දෙන්නේ. ගමේ මිනිස්සු නිතර හමුදාවෙන් ගුටි කනවා. සිංහල නොදන්නාකම නිසා අපි ගුටිකාපු වෙලාවල් තියෙනවා. හමුදාවේ අය අපව පහතට දාලා හිතන්නේ.’

යුක්තිය මේකද?

‘දැන් අපි කාගෙන්ද අහන්නේ කියලාවත් දන්නේ නැහැ. ඇයි ඒ අයව නිදහස් කළේ. අපි එයාලාව අඳුනගත්තානේ. ඇයි අපට මෙහෙම කරන්නේ. අපි දෙමළ නිසා නේද? සිංහල අය මැරුණාම මිනී ගොඩ අරගෙන පරීක්ෂණ කරනවා. අපේ අය එක මිනීවළේ යටවෙලා ඉන්නවා. කවුරුත් ඒ ගැන බලන්නේ නැහැ. අන්තිමේ අපට වුණ වියදම් ටික විතරයි.

අපි මෙහේ ඉඳන් අනුරාධපුරයට උසාවි ගියේ වාහනයක් හයර් එකට අරගෙන. අපි ඔක්කෝටම යන්න බැරි නිසා දවසකට දහ දෙනා ගාණේ ගියේ. මාස ගණන් ගියා. උදේ ඉඳන් අපි එහේ ගිහින් ඉන්නවා. අපි එහෙම ගියේ අපට සාධාරණයක් වේවි කියන බලාපොරොත්තුවෙන්. අනික පොලීසියෙන් අපට කිව්වා උසාවි ගියේ නැත්නම් වොරන්ට් කරනවා කියලා.’

ඔවුන්ගේ වේදනා මීටත් එහා ගිය ඒවාය. ඇතැම් හැඟීම් වචන කරන්නට බැරි අධිකරණ තීන්දුවක් අභියෝගයට ලක්වෙන නිසාය. අනූහයේ හමුදා කඳවුරක් අසළම අහිංසක මිනිසුන් පිරි ගමකට යුද අවිවලින් වෙඩි තබා ඇත. ඒ මිනිසුන්ට මහාධිකරණයෙන් තීන්දුවක් දී ඇත. මහාධිකරණ තීන්දුවෙන් එහාට යුක්තිය හොයන්නට නොහැකිද?

අදටත් කුලී වැඩ කරන්නන් පිරුණු, අනුන්ගේ පව් බලෙන් කර පිට පටවන ලද මිනිසුන් පිරිසක් කඳුළු බොමින් යුක්තිය හොයමින් ඉන්නා බව පමණක් අපි දනිමු.ෙ