රාවය

ශෂීන්ද්‍රට හා ගාමිණී සෙනරත්ට කැමති ලේක්හවුස් පාලකයෝ

ශෂීන්ද්‍රට හා ගාමිණී සෙනරත්ට කැමති ලේක්හවුස් පාලකයෝ

ලසන්ත රුහුණගේ

වැටුප් වැඩි කිරීම ඇතුළු සාමූහික ගිවිසුම් අයිතිය ඉල්ලා ලේක්හවුස් සේවක සංගමය විසින් පසුගිය දිනවල පවත්වන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලදී කියවුණු එක් ඉල්ලීමක් වූයේ එම ආයතනය මහජන සේවා ජනමාධ්‍ය ආයතනයක් බවට පත් කරන ලෙසය. එම ඉල්ලීම අරභයා ලේක්හවුස් සේවක සංගමය අධිකරණය හමුවටද ගොස් තිබූ අතර ඊට හේතුවී තිබුණේ ලේක්හවුසිය රජයට පවරා ගැනීමේ පනත ප්‍රකාරව මහජන සේවා ජනමාධ්‍ය ආයතනයක් ලෙස පරිවර්තනය කිරීම සඳහා එහි අයිතිය පුළුල් කරන ලෙස කරන ලද ඉල්ලීමය.

මේ කිසිම අවස්ථාවකදී ලේක්හවුස් පාලනාධිකාරිය වූ දේශපාලන පත්වීම්ලාභීන්වත් ඔවුන්ට පත්වීම් ලබා දුන් ආණ්ඩුකරණයේ නියැලුණු ඒ ඒ දේශපාලන පක්ෂවත් ඉල්ලීමට කන් දුන්නේ නැත. ඊට හේතුව වූයේ අනෙකුත් රාජ්‍ය මාධ්‍ය ආයතන මෙන්ම ලේක්හවුස් ආයතනයද රාජ්‍ය මාධ්‍ය ආයතන ලෙස නොව ආණ්ඩුකරණයේ නියැලි දේශපාලන පක්ෂයේ මාධ්‍ය ආයතන ලෙස පවත්වාගෙන යෑමේ වුවමනාවය.

එකී වුවමනාව සඳහා කවදාවත් ආණ්ඩුකරණයේ යෙදෙන දේශපාලන පක්ෂ රාජ්‍ය හෙවත් මහජනයාට අයිති රාජ්‍ය මාධ්‍ය ආයතනවල අයිතිය පුළුල් කිරීම හෝ එම ආයතන මහජන සේවා ජනමාධ්‍ය ආයතන බවට පත්කිරීම හෝ සිදුනොකරන බවට හොඳම උදාහරණය වත්මන් යහපාලන ආණ්ඩුවය. වත්මන් ආණ්ඩුවේ ජනමාධ්‍ය න්‍යාය පත්‍රය තුළ මාධ්‍ය ප්‍රතිසංස්කරණය නමින් හඳුන්වන තමන්ට අවශ්‍ය ආකාරයට මාධ්‍ය නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් ඔවුන්ට අවශ්‍යය. ඒ සඳහා මේ ප්‍රතිසංස්කරණ ඉල්ලීම් අපේ නොවේයැ’යි කියන ජනමාධ්‍ය සංවිධාන ගොනාට ඇන්දවීමේ ක්‍රියාන්විතයක්ද ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් පවතින්නේය.
මේ ජනමාධ්‍ය ප්‍රතිසංස්කරණ කතිකාවේදී ආණ්ඩුව මුලින්ම කළ යුත්තේ ‘ඔවාදෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට’ යන්න ක්‍රියාත්මක කිරීමය. එය කළහැක්කේ ලේක්හවුසිය ඇතුළු රාජ්‍ය මාධ්‍ය ආයතනවල අයිතිය පුළුල් කර ඒවා මහජන සේවා ජනමාධ්‍ය ආයතන ලෙස පරිවර්තනය කිරීමෙන්ය. එම ආයතන සඳහා ඇති දේශපාලන බලපෑම් ඉවත් කිරීමෙන්ය. දේශපාලන හෙංචයියන් එම ආයතනවල තීන්දු තීරණ ගන්නන් වශයෙන් පත් නොකිරීමෙන්ය.

එහෙත් ලේක්හවුස් ආයතනය දෙස අවධානය යොමුකිරීමේදී පමණක් වුව ඒ කිසිවක් සිදුනොවන බව තේරුම්ගත හැකිය. උදාහරණයකට අද එහි පුවත්පත් කර්තෘලා වැහිවැහැලාය. එහි පත්තරවල අප දන්නා නිල කර්තෘවරුන් සිටියද සැබෑ ලෙසට කර්තෘකම කරන්නේ වෙනත් අයවලුන්ය. උපදේශක කර්තෘ ආදි නම්වලින් යුත් මේ අය සිය පත්වීම් බලධාරීන්ගේ වුවමනා එපාකම් ඉටුකරන්නෝය. නිල කර්තෘලා කරන්නට දෙයක් නැතිව පුටු රත්කරමින් ඔහේ සිටින්නෝය.

එම නිසාම මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනවලද රාජ්‍ය හෙවත් මහජනයාගේ ප්‍රාග්ධන හිමිකාරීත්වය වෙනුවට ක්‍රියාත්මක වන්නේ, පෞද්ගලික මාධ්‍ය ආයතනවල ප්‍රාග්ධන හිමිකාරීත්වය මෙන් දේශපාලනඥයන්ගේ හා ඔවුන් විසින් පත්වීම් ලබාදෙන සභාපති අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු නිලධාරීන්ගේ තීන්දු තීරණය, පෞද්ගලික ජනමාධ්‍යයේ මෙන්ම මෙම රාජ්‍ය මාධ්‍ය ආයතනවලද කර්තෘ මණ්ඩල නිදහසක් නැත. පළකිරීමට නියමිත ප්‍රධාන පුවත ඇතුළු සියලු දේ එහි සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට යොමු කළ යුතුය. ඔවුන්ගේ අනුමැතිය නැත්නම් පුවත් පළවීම බොරුය.

ලේක්හවුස් ආයතනයේ ඊට අදාළ සුවිශේෂී සිදුවීමක් වී ඇත්තේ පසුගිය අගෝස්තු 19 දිනට පළවීමට නියමිතව තිබී ඇති ‘දිනමිණ’ පුවත්පත සම්බන්ධයෙනි. එදින දිනමිණේ මුල් පුවත ලෙස සකස්ව තිබී ඇත්තේ ‘ශෂීන්ද්‍රගේ ගාමිණී සෙනරත්ගේ කෝටි 76ක වංචාවක් ගැන පරීක්ෂණ’ යන මුල් පුවත් සිරස්තලයය. එහෙත් එම පුවත ගලවා දමන්නැයි ආයතන බලධාරීන් නියෝග කර තිබේ. ඒ අනුව මුල් පුවත ලෙස පසුව සකස් කර පළකර ඇත්තේ ‘වත්කම් බැරකම් ඉදිරිපත් නොකළැ’යි මහින්දගේ ප්‍රධාන ආරක්ෂක මේජර් නෙවිල්ට නඩු 5ක්’ යන ප්‍රධාන පුවතට අදාළ සිරස්තලයය.

එසේ ඉවත් කරන්නට නියෝග ලද පුවත එම පුවත්පතේ මුල්පිටුවේ හෝ වෙනත් පිටුවකද පළවන්නේ නැත. පුවත් දෙකේ වටිනාකම ගැන බැලූ විට ඉවත් කරන ලද පුවත නැවුම්ය. අලුත්ය. එය ඊට පෙර ශෂීන්ද්‍ර රාජපක්ෂට හෝ ගාමිණී සෙනරත්ට එල්ල වී තිබූ චෝදනාවක් නොවන්නේය. මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂකයා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පරීක්ෂණ ආරම්භ කර තිබූ බව ඊට පෙර විටින් විට වාර්තා වී තිබූ කරුණක්ය. එහිදී අලුතින් සිදුවී තිබුණේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් නඩු පැවරීම පමණය.
අගෝස්තු 19 දින පළවූ අනෙකුත් සමහර දිනපතා පුවත්පත් විසින් පළකර තිබූ ලේක්හවුස් පාලනාධිකාරිය විසින් ගලවා දැමූ පුවත අනුව බදුල්ල කන්දකැටිය හා හසලක උඩවත්ත යන මාර්ග ඉදිකිරීමේදී රුපියල් කෝටි 76ක වංචාවක් සිදුවී ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත එෆ්සීඅයිඩීය හෙවත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එම කොට්ඨාසය ඒ සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලද කරුණු වාර්තා කිරීම පුවතට නිමිත්ත වී ඇත. එහිදී එෆ්සීඅයිඩීය අධිකරණයට වැඩිදුරටත් දන්වා ඇත්තේ කිලෝමීටර් 21ක් වූ ඒ මාර්ග ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 764ක මුදලකට කොමුති ඉංජිනියරින් සමාගමට ලබාදී ඇති බවත්, එම සමාගම මැලේසියාවේ එච්සීඑම් සමාගම සමග ඉදිකිරීම් සිදුකරන බවට දන්වා ඇතත්, එවැනි සම්බන්ධයක් එම විදේශීය සමාගම සමග නැති බවත්, කොන්ත්‍රාත් මුදලින් රුපියල් කෝටි 15ක් උන්ඩියල් ක්‍රමයට (නීති විරෝධීව මුදල් රටින් පිටකිරීම හා රටට ගෙන්වා ගැනීම) ඕස්ටේ්‍රලියාවට යවා ඇති බවට තොරතුරු ඇති බවත්ය.

මෙම මුල් පුවත ලේක්හවුස් පාලනාධිකාරිය විසින් ගැලවීමේ සිදුවීමෙන් කරුණු දෙකක් අනාවරණය කරයි. ඉන් එකක් වන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව තගරි ස්වරූපයෙන් මාධ්‍ය ප්‍රතිසංස්කරණයැයි කියමින් මාධ්‍ය නියාමන නීති හෝ රෙගුලාසි ගෙන එන්නට උත්සාහ කළද ආණ්ඩුවට රාජ්‍ය මාධ්‍ය ආයතනවලටත් කර්තෘ මණ්ඩල නිදහස ලබාදෙන්නට නොහැකි වී ඇති බවයි. එහි අනෙක් කාරණය ඊටත් වඩා වත්මන් ආණ්ඩුවේ යහපාලන පොරොන්දු සමඟ ගත් කල භයානකය. ඒ පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයට අදාළ වංචා දූෂණ හෝ එකී වංචා දූෂණවලට වගකිවයුතු ප්‍රධාන පුද්ගලයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාදාමයක් ආණ්ඩුවේ දේශපාලනඥයන් හෝ ඔවුන් විසින් බලය පවරන ලද ලේක්හවුස් පාලනාධිකාරිය විසින් ක්‍රියාත්මක කරමින් තිබෙන බවය. අනෙක් අතින් එය තොරතුරු දැනගැනීමේ පනත වැනි ඉදිරිගාමී පනතක් සම්මත කළ ආණ්ඩුවක පාලනය යටතේ ඇති ආයතනයකින් සිදුනොවිය යුතු මේ රටේ යහපාලනය වෙනුවෙන් කැපවූ ජනතාව දැනගත යුතු කරුණකි.

එෆ්සීඅයිඩීය විසින් අධිකරණයට සැලකර ඇති එම මාර්ග කොන්ත්‍රාත්තුව ලබා දුන් කොමුති ඉංජිනියරින් සර්විසස් පෞද්ගලික සමාගම යනු කුමක්ද? රාවය පසුගිය සැප්තැම්බර් 11 දින පුවත්පත මගින් හෙළිදරව් කරන ලද, පසුගිය ජනාධිපතිවරණයට පෙර එනම් 2014 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 218ක චෙක්පත් (මුදල් චෙක්පත්) මාරු කළ සිදුවීමට අදාළව රුපියල් මිලියන 5 බැගින් වූ මුදල් චෙක්පත් දෙකක් ලබාදී ඇති කොන්ත්‍රාත් සමාගමය. අදාළ චෙක්පත් මාරු කර තිබුණේ එවකට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලයේ හා ජනාධිපති කාර්ය මණ්ඩලයේ සේවය කළ ඒ.එම්.එම්.බී. අබේසිංහ නමැත්තාය.

මේ අබේසිංහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි කාර්යාලයේ හෝ ජනාධිපති කාර්යාලයේ හෝ කටයුතු කර නැත. ඔහු හැමදාම හිඳ ඇත්තේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් සමඟ අරලියගහ මන්දිරයේය. ගාමිණී සෙනරත් ගැන අමුතුවෙන් දැනුම් තේරුම් ඇති මේ රටේ පුරවැසියන්ට කිවයුතු නැතත් නැවතත් මතක් කරදීම සුදුසුය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ළඟ සිටි ඔහුගේ සමීප වැඩකටයුතු සිදුකළ සමීපතමයා ඔහු යැයි කීවොත් එය නිවැරදිය. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී වැනි භාරධුර වගකීමක් සහිතව සිටියදී ඊට අමතරව රාජ්‍ය ආයතන ගණනාවක වගකීම් හිටපු ජනාධිපතිවරයා ඔහුට පවරන්නේ ඒ නිසාමය. මේ තත්ත්වය එදා විපක්ෂයේ සිටියදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලි මේන්තුවේදී ප්‍රශ්න කර තිබුණි. දෙදහසක් පමණ වන ජනාධිපති කාර්ය මණ්ඩලයක්ද පාලනය කරමින් තවත් රාජ්‍ය ආයතන ගණනාවක් ඔහු පාලනය කරන්නේ කෙසේදැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක එහිදී ප්‍රශ්න කර තිබුණේ ‘මුහුණු සයක් හා අත් දොළසක්’ ඔහුට ඇතිද යන්න උත්ප්‍රාසාත්මකව විමසමින්ය.

මේ ගාමිණී සෙනරත් එදා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුරට අමතරව දැරූ රාජ්‍ය ආයතන තනතුරු වන්නේ මහජන බැංකුවේ සභාපති, ලිට්රෝ ගෑස් ටර්මිනල් ලංකා සමාගමේ සභාපති, කැන්විල් හෝල්ඩින්ග්ස් සමාගමේ සභාපති, (සිනෝලංකා හෝටල් සමාගම), පීපල්ස් ලීසිං සමාගමේ සභාපති හා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ සභාපති යන තනතුරුය.

අයථා ලෙස මුදල් ඉපැයීම ගැන ගාමිණී සෙනරත්ට මේ වනවිටත් එල්ල වී ඇති චෝදනා රාශියකි. ඔහුගේ නමින් හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ නමින් එම දේපළ ඇති බවට එම චෝදනා එල්ල වී ඇත. කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි තෙමහල් නිවසක් හා ඊට යාබද නිවසත්, මරදාන පොලිසිය අසල ඇති තෙමහල් ගොඩනැගිල්ලත්, අතුරුගිරියේ පිහිටි අක්කර පහක පමණ භූමියක ඇති ප්‍රෝමේට් කර්මාන්ත ශාලාවත්, මාලබේ අරංගල පිහිටි ප්‍රෝමේට් කර්මාන්ත ශාලාවත්, බත්තරමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත ඉඩමත්, පාදුක්ක මීගොඩ පිහිටි ඉඩමත්, බොල්ගොඩ පිහිටි ඉඩමත්, හක්මන ඇති ඉඩමත්, හම්බන්තොට බඳගිරියේ ඇති ඉඩමත්, අනුරාධපුරයේ ඇති ඉඩමත්, බොරැල්ල මාතා පාරේ ඇති නිවසත් හා නුවරඑළියේ ග්‍රෙගරි වැව පාරේ ඇති සුපිරි නිවස හා ඉඩමත් ඒ අතර කියැවෙන චෝදනා බවට පත්වී ඇත.

මේ ගාමිණී සෙනරත් ගැන ඒ නිසාම අමුතුවෙන් කිවයුතු නැත. ශෂීන්ද්‍ර රාජපක්ෂද එසේමය. ඔහු එවක ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයාට අමතරව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් ඔහුගේ බාප්පාගේ පෞද්ගලික ලේකම්ය. අමතරව ජනාධිපති බාප්පා විසින් වෙනස් කරන ලද නීතියේ පිහිටෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය විධායකයේ අනුග්‍රහයෙන් භුක්ති විඳි පුද්ගලයාය.

ලංකාවේ මාර්ග පද්ධතිය අයත් වන්නේ පරිපාලන ආයතන තුනකටය. එකක් පළාත් පාලන ආයතනය. අනෙක පළාත් සභාය. අනෙක මධ්‍යම ආණ්ඩුවය. එෆ්සීඅයිඩීයේ පැමිණිල්ලට අදාළ මාර්ග පළාත් සභාවට අයත් මාර්ග විය යුතුය. ඌව පළාත් එවක මහ ඇමතිවරයා වශයෙනුත්, සිය බාප්පා වූ එවක මහාමාර්ග ඇමති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් වශයෙනුත් ශෂීන්ද්‍ර රාජපක්ෂ එම ගනුදෙනුවට සහභාගිවූවාදැයි අපට සැක සිතිය හැකිය. එමෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත්ද එයට සහභාගි වී ඇතැයි අපට සැක සිතිය හැකිය. එහෙත් අපට සැක උපදින්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ හා ගාමිණී සෙනරත් ආරක්ෂා කිරීමට ලේක්හවුස් පාලකයන්ට ඇති වුවමනාව පිළිබඳවය.