රාවය

නම පමණක් වෙනස් වූ පිළිකා රෝහල

නම පමණක් වෙනස් වූ පිළිකා රෝහල

රේඛා නිලුක්ෂි හේරත්

මහරගම පිළිකා රෝහලට අපේක්ෂා රෝහල යන නම ලබාදුන්නේ මේ වසරේ ජනවාරි පළමුවැනිදා සිටය. අපේක්ෂා රෝහලට අලුත් ගොඩනැඟිල්ලක් ලබාදී එය විවෘත කිරීම ළඟදී ජනාධිපතිවරයා අතින් සිදුවිය. ඒ ගොඩනැඟිල්ලෙන් තවමත් කිසිම ප්‍රයෝජනයක් ගෙන නැතත් දෙතුන් පාරක්ම විවෘත කළ බව ඇතුල් වෙද්දීම ඒ ගැන වෛද්‍යවරයෙකුගෙන් ඇසූ පසු ඔහු කීය. ඒ දොරටුවෙන් ඇතුළු වුණු අපට දිගින් දිගටම අසන්නට ලැබුණේ රෝහලේ අඩුපාඩු ගැනමය. කිසිදු අපේක්ෂාවක් නැති බවය. රෝහලේ නම වෙනස් කිරීමෙන් අපේක්ෂාවක් ගෙන ආ හැකිද?

අප අපේක්ෂා රෝහලට ගිය පස්වැනිදා හවස්වරුවේ රෝහල් භූමියේදී පිළිකා රෝගියෙකුගේ කකුල බල්ලෙකු සපා කා විශාල කලබලයක් ඇතිව තිබුණි. එම රෝගියාගේ එක් පාදයක් පිළිකාව හේතුවෙන් ඉවත් කර තිබුණු අතර බල්ලෙකු සපා කා තිබුණේ ඉතිරි පාදයයි. මේ වනවිට ඒ රෝගියා කළුබෝවිල රෝහලට මාරු කර යවා ඇත. හවස් වරුවේ රෝහලේ පරිපාලනය බල්ලන් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. කාලයක් තිස්සේ රෝහල් භූමියේ සැරිසරමින් මීට පෙර වෛද්‍යවරුන් පවා සපා කෑ බල්ලන් තොගයට නම් මේ රෝහල අපේක්ෂාවේ රෝහලක් විය හැකිය. එහෙත් බල්ලන් ඉවත් කරන්නටවත් බැරි තරම් රෝහලේ පරිපාලනය දුර්වල වී ඇත. මේ වෙද්දී කාර්ය මණ්ඩලයේ පවා අපේක්ෂා භංග කරන වේදනාවේ රෝහලක් ලෙසින් මේ රෝහල පවතින්නේය. මේ රෝහලේ අඩුපාඩු කිහිපයක් පිළිබඳව බලු කලබලය අතරේ අපට අදහස් දැක්වූ කිහිපදෙනෙකු ඇසුරින් සකස් කළ ලිපියකි.

පවිත්‍රතාව

රෝහලේ දකින්නට ලැබුණු විශාලම ගැටලුව වන්නේ අපවිත්‍ර වීමයි. වාට්ටුවල වැසිකිළි පමණක් නොව පොළොව පවා අපිරිසිදු තත්ත්වයේ පැවතුණි. ඇතැම් තැන්වල ජනෙල් පඩි දූවිලිවලින් පිරී තිබුණි.

“අපි ජීවිත කාලයෙන් තුනෙන් එකක් ඉන්නේ හොස්පිට්ල්වල. ඉතින් රෝහල්වල කාර්ය මණ්ඩලවල වගකීමක් තමයි මේවායේ පිරිසිදුකම ගැන බලාගන්න එක. ඒත් කාටවත් එහෙම වුවමනාවක් නැහැ. වෘත්තීය සමිති කොච්චර දේවල්වලට සටන් කළත් මේවා ගැන කතාකරන්නේ නැහැ. තමන් ඉන්නේ කුණුගොඩක බව කියන්නේ නැහැ.” එක් වෛද්‍යවරයෙක් අප සමඟ පැවසීය.

ලංකාවේ රෝහල් පිරිසිදු කිරීම සඳහා ජාතික වශයෙන් ටෙන්ඩර් කැඳවා බාර දී ඇති අතර රෝහලේ පරිපාලනයට පිරිසිදු කිරීමේ සේවය නිසියාකාරයෙන් වග නොකියන බව වෛද්‍යවරු අප සමඟ පැවසූහ. එපමණක් නොව පිරිසිදු කිරීම සඳහා යොදවා ඇති සේවකයන් කාර්යක්ෂම නොවීමද ගැටලුවක් යැයි ඔවුහු පැහැදිලි කළහ.

“මගේ වයස හැට අටයි. මම කාලයක් තිස්සේ මෙතැන සේවය කරනවා. උදේ හතේ ඉඳලා හවස හතරයි හතළිස්පහ වෙනකන් මෙතැන වැඩ කරන්න ඕනෑ. සමහර දවස්වල පහ පහුවෙනවා. වැඩියෙන් වැඩ කළා කියලා අතිකාල දෙන්නේ නැහැ. දවසේ පඩිය රුපියල් හයසීයයි.” අප සමඟ අදහස් දැක්වූ පිරිසිදු කිරීමේ සේවකයෙක් පැවසීය.

අපේක්ෂා රෝහලේ ඇවිදින අපට සියැසින් දකින්නට ලැබුණේ ආබාධිත පුද්ගලයන් සහ ඉතා වියපත් පුද්ගලයන් සැලකිය යුතු ප්‍රමාණයක් රෝහල පිරිසිදු කිරීම සඳහා යොදා ඇති බවයි.

“දවසකට මේ වාට්ටුවක ටොයිලට් එකක් කිහිප වතාවක් පිරිසිදු කරන්න ඕනෑ. එහෙත් මෙහේ එක පාරක් නැත්නම් දෙපාරක් තමයි පිරිසිදු කරන්නේ. ඒත් ඒකත් හරියට කෙරෙන්නේ නැහැ. බොහොම අඩු පඩියට ගත්ත වියපත් අයට කාර්යක්ෂමව මේ වැඬේ කරන්නත් බැහැ. රෝගීන් යන වැසිකිළියක් ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න ඕනෑ. මම දැකලා තියෙනවා මොප් එක ආධාරයෙන් ඇවිදිනවා සමහර පිරිසිදු කරන අය. තවත් දවසක් පිරිසිදු කරන්නෙක් ෆිට් එක හැදිලා වැටෙනවා මම දැකලා තියෙනවා.” එක් වෛද්‍යවරියක් අප සමඟ පැවසුවාය.

“ලෝකයේ වෙන රටවල එක එක රෝගවලට ඩයට් ප්ලෑන් තියෙනවා. ඒ රෝගීන්ට තියෙන වෙනත් ලෙඩ ගැන කෑම දෙනකොට සලකනවා. ඒත් ලංකාවේ දෙන කෑම ටිකවත් හරියට දෙන්නේ නැහැ. වෙන රටවල රෝගීන් රෝගී අයිතිවාසිකම් ගැන දන්නවා. ඒ අය මේවා ගැන ප්‍රශ්න කරනවා. ඒත් ලංකාවේ රෝගීන්ට ලොකු අවබෝධයක් නැහැ. කතාකළොත් බැණුම් අහන්න වෙනවා. පිටරටවල මෙඩිකල් ලෝ කියන එක ගොඩාක් ජනප්‍රියයි. ඒ වෙනුවෙන් වෙනම විශේෂඥ නීතිඥවරු පවා ඉන්නවා. රෝගීන් නඩු පවරලා වන්දි ගන්න අවස්ථා තියෙනවා. අපට පුදුම මෙහේ රෝගීන් මේවා සාමාන්‍ය තත්ත්වයක් විදියට සලකන්නේ ඇයි කියන එක. මේවා ගැන කතා කරන්නේ නැත්තේ ඇයි කියන එක. අපි ඔයාලාට කතා කළේත් මේ ගැන සංවාදයක් ඇති කරන්න ඕනෑ නිසායි.”

ලියුකේමියාව වැළඳුණු දහසය හැවිරිදි රෝගී දරුවෙකුගේ පියෙක් අප සමඟ මෙසේ අදහස් දැක්වීය.
“මගේ පුතාට අවුරුදු දාසය ලබලා නැහැ. එහෙත් ටික දවසක් වැඩිහිටි වාට්ටුවේ ළමයාව තියාගත්තා. පළමුවැනි වාට්ටුවේ. ඒ ටොයිලට්වලට යන්නවත් බැහැ. මම රණ්ඩු වුණා මෙහෙම ටොයිලට්වලට යන්නවත් පුළුවන්ද කියලා. නර්ස් මට බැන්නා ඔයාගේ පුතාට විතරක් නෙවෙයි ලියුකේමියාව තියෙන්නේ තවත් ලියුකේමියා ලෙඞ්ඩු ඉන්නවා කියලා. පාරේ ලේ ටිකක් හැලුණොත් ඇවිත් සුද්ධ කරන්න කෙනෙක් නැහැ. ඒක උඩින් කාඞ්බෝඞ් කෑල්ලක් දානවා. මම දරුවාගේ ටිකට් බලෙන්ම කපාගත්තා එදා. අපි ගිහින් දවස් දෙකකට පස්සේ විසබීජ ගිහින් ඒ වාට්ටුවේ හතර දෙනෙක් මැරුණා කියලා මට පස්සේ හිතවත් ඩොක්ටර් කෙනෙක් කිව්වා. ඒ මේ අවුරුද්දේ මාර්තු මාසේ මුල. ඒ සිද්ධියෙන් වාට්ටු වැහුවා. සතියකට විතර පස්සේ තමයි ඇරියේ.”

පෝෂණය

අපේක්ෂා රෝහලේ අනෙක් ප්‍රධාන ගැටලුවක් වන්නේ රෝගීන්ට ලබාදෙන ආහාරවල රෝගීන්ට ගැළපෙන ආකාරයේ පෝෂණය ලබාදීමේ කිසිදු සැලැස්මක් නැතිවීමයි. කොන්ත්‍රාත්කරුවෝ තමන්ට හිතෙන ඕනෑම ආහාරයක් රෝගීන්ට ලබාදෙති. රෝගීන්ට උපදෙස් ලබාදීම සඳහා අපේක්ෂා රෝහලේ සිටින පෝෂණ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරිය ඒ සම්බන්ධයෙන් පශ්චාත් උපාධියක්ද ලබා ඇත. එහෙත් ඇගේ උපදෙස්වලට ඇහුම්කන්දීම තබා ඇයට කාර්යාලයක් ලබාදීමටවත් පියවර ගෙන නැත. ඒ රෝහලේ සාමාන්‍ය කාර්ය මණ්ඩලයට පවා කාර්යාල ලබාදී ඇති පසුබිමකය.

පිළිකා රෝගය වැළඳෙන රෝගීන් කෘශ වී ඇදී යන්නේ රෝගයටත් වඩා පෝෂණය සම්බන්ධ ගැටලු නිසාය. රෝගියෙකුට ආහාර රුචිය නැතිවීම එයට හේතුවයි. ලෝකයේ වෙනත් රටවල පිළිකා රෝගය වැළඳෙන අය ඒ සමඟ සටන් කරන්නේ ආහාර සහ මානසික තත්ත්වය ශක්තිමත්ව තබාගන්නට පසුබිමක් ඒ රටවල රෝහල් තුළ ඇති නිසාය. එහෙත් මහරගම පිළිකා රෝහලේ ඒ පසුබිම කිසිසේත්ම නැත.

එපමණක් නොව රෝහලේ ඇතැම් සුළු සේවකයන්ටත් රෝහලේ ආහාර ලැබෙන අතර ඔවුන්ද ඒ ආහාර ගෙන නිහඬව සිටින්නේ මේවාට ඉඩ දෙමින්ය.

මානසික සුවය

රෝගීන් මානසිකව දුර්වල වීම මෙන්ම රෝහලේ අපිරිසිදුකම නිසා විෂබීජ ශරීරගත වීමෙන් රෝගීන් විශාල ප්‍රමාණයක් මියයන බව අප සමඟ අදහස් දක්වමින් රෝහලේ වෛද්‍යවරු කීහ. පිළිකා රෝගීන්ගේ සිරුරේ ප්‍රතිශක්තිය හීන නිසා ඉක්මනින් විෂබීජවලට සිරුර ප්‍රතිචාර දක්වන්නේය. මෙවැනි රෝගියෙකුට සැලකිය යුතු තරම් පෞද්ගලික අවකාශයක් ලබාදිය යුතුය. එහෙත් අපේක්ෂා රෝහලේ රෝගීන් එක ගොඬේ සිටින්නේ රෝගයක් ඉක්මනින්ම පැතිරෙන්නට අවකාශ සපයමින්ය. විෂබීජ ඉක්මනින් ශරීරගත වන්නට අවකාශ දෙමින්ය.

“රෝගියෙකුගේ පවුලේ අය අපි ගැන විශ්වාසයක් තියලා තමයි රෝගියෙක්ව රෝහලට ඇතුල් කරගන්නේ. එයාලා හිතන්නේ අපි රෝගියාව සනීප කරලා එවයි කියලා. කවුරුත් හිතන්නේ නැහැ අපි රෝගීන්ව රෝගයෙන් මිය යනවාටත් වඩා ඉක්මනින් මියයන විදියේ උගුලක් අටවලා තියෙනවා කියලා.” වෛද්‍යවරයෙක් එසේ පැවසීය.

“රෝගියෙකුට සතුටින් ඉන්න පුළුවන් පසුබිමක් මිසක් රෝගී අදහස් වැඩි කරවන පසුබිමක් රෝහලකට දෙන්න බැහැ. ලංකාවේ සමහර රෝහල් ඒවායේ පරිපාලකයන්ගේ දක්ෂතාව නිසා බොහොම සුවදායී විදියට හදලා තියෙනවා. ඒත් සංස්කෘතියක් විදියට කවුරුත් ලංකාවේ රෝහල් ඒ විදියට පවත්වාගෙන යන්න උත්සාහ කරන්නේ නැහැ.”

රෝගීන් සමඟ සමීපව ගනුදෙනු කරන්නට වෛද්‍යවරුන්ට සහ සාත්තු සේවකයන්ට නොහැකි වී ඇත. එක් ප්‍රධාන හේතුවක් වන්නේ පරිසරයේ ඇති ඍණාත්මක ගතියයි. රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද මෙවන් පරිසරයක වැඩකිරීම තිත්ත වී ඇත. ඔවුහු ඉක්මනින්ම තෙහෙට්ටු වෙති.

ච“ලෙඞ්ඩුන්ට දවස තිස්සේ බෙහෙත් විදිනවා. ඒත් ඉන්න වෙලා තියෙන්නේ පුටු උඩ.” රෝහල ඇතුළට ගිය අපට වාට්ටුවක සිටි වෛද්‍යවරයෙකු පැවසුවේ සේලයින් එකක් තබාගෙන පුටුවක් උඩ ඉඳගෙන සිටින රෝගියෙකු පෙන්වමිනි. රෝගීන්ට ලැබී ඇත්තේ කුඩා අවකාශයකි.

ලෝකයේ සියලු රටවල් පිළිකාවලට දෙන උසස් බෙහෙත් වර්ග ලංකාවේද ලබාදෙන්නේය. ලෝකයේ අනිත් රටවලත් නැති තරම් දක්ෂ වෛද්‍ය සහ හෙද සම්පතක් මේ රටේ ඇති බව කියැවෙන්නේය. එහෙත් ලංකාවේ රෝගියෙකුට රෝගයක් සමඟ සටන් කරන්නට අපහසු වී ඇත්තේ මේ ක්‍රමයේ ගැටලුව නිසාය.
මේවා වෙනුවෙන් අලුතින් මුදල් වෙන් කරන්නට අවැසි නැත. අලුතින් මහන්සි වෙන්නට අවැසි නැත. ලැබෙන ප්‍රතිපාදන යටතේ වැඩකරන ක්‍රමය වෙනස් කිරීම පමණකි අවශ්‍ය වෙන්නේ.

මහරගම පිළිකා රෝහලේ – අධ්‍යක්ෂ විල්ෆ්‍රඞ් කුමාරසිංහ

කෑමවලට ටෙන්ඩර් දීලා තියෙන්නේ අපි නෙවෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්. වික්‍රමරත්න කියලා ආයතනයකින් තමයි කෑම ටෙන්ඩර් බාරගෙන තියෙන්නේ. පෝෂණය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා බලන්න. මම ඒ ගැන වැඩිපුර දන්නේ නැහැ. පිරිසිදු කිරීම සම්බන්ධයෙනුත් අමාත්‍යාංශයෙන් අමිල් ක්ලීනර්ස් කියන ආයතනයට බාරදීලා තියෙනවා. ආබාධිත හෝ වැඩිහිටි අයව වැඩට ගන්න බැහැ එතැන. එහෙම අයව දාන්න එපා කියලායි අපි කියලා තියෙන්නේ. අපි නොදැනුවත්ව එහෙම වෙලාද කියලා දන්නේ නැහැ. ඒක අපි හොයලා බලන්නම්. අපට හොරෙන් ඔය අඩුපාඩු තියෙනවාද කියලා දන්නේ නැහැ. ඕනෑම තැනක ප්‍රශ්න එනවානේ. ඒවා විසඳගෙන ඉදිරියට යන්න ඕනෑ. ඔබ කියපු දේවල් පිළිබඳව වැඩිපුර හොයලා බලන්නම්.