Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

වෙමින් තිබෙන්නේ කුමක්ද? අපට කළ හැක්කේ කුමක්ද?

වික්ටර් අයිවන්

ජනවාරි විප්ලවය හා ආශ්‍රයෙන් සිදුවී තිබෙන හා සිදුවෙමින් තිබෙන දේවල් සමස්තයක් වශයෙන් ගත්විට අනාගතය ගැන පෙනෙන චිත්‍රය මෙසේය. ජනවාරි විප්ලවය තිබූ දූෂිත හා පීඩාකාරී පාලනය පරාජය කළේය. ඒ නිසා රටට කිසියම් ප්‍රමාණයක සැනසීමක් ලැබුණේය. ඒ නිසා ජාත්‍යන්තර තහංචි පනවන තත්ත්වයෙන් රට අත් මිදුණේය. ඒ තත්ත්වය රට බිහිසුණු කඩා වැටීමකට තිබුණු ඉඩ නැති කළේය. සුළු ජාතීන් සම්බන්ධයෙන්ද නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහනශීලී විය. එනිසා සුළු ජාතීන්ටද භීතියෙන් තොරව ජීවත්විය හැකි තත්ත්වයක් ඇතිවිය. එහෙත් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට අවශ්‍ය කරන ලොකු ප්‍රතිසංස්කරණවලට යෑමේ වුවමනාවක් හෝ හැකියාවක් ආණ්ඩුවට තිබෙන බවක් පෙනෙන්නට නැත. එහි අවසාන ප්‍රතිඵලය වනවා ඇත්තේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය උග්‍රවී වඩා විශාල අර්බුදයකට තල්ලුවීමය.

ජනවාරි විප්ලවයට ආවේණික සීමා

ජනවාරි විප්ලවයට ආවේණික මෙම සීමිත බව එම විප්ලවයේ ආරම්භක දේශපාලන දර්ශනය තුළද හොඳින් අන්තර්ගතවී තිබුණි. විප්ලවයේ ප්‍රබලතම අභිලාෂය වී තිබුණේ රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. විප්ලවයට දායක වූ බලවේගයන් අතර පොදු එකඟත්වයක් තිබුණේද ඒ සඳහා පමණය. ඊට අතිරේකව රට මුහුණ දී තිබුණු අර්බුදය ජයගැනීම සඳහා ඇති කළ යුතුව තිබුණු ප්‍රතිසංස්කරණ ගැන එම විප්ලවයේ න්‍යාය පත්‍රයට ඇතුළත්ව තිබුණේ නැත. ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සඳහන් වී තිබුණද එයද සඳහන් වී තිබුණේ නිරවුල් ආකාරයකට නොව අවුල්සහගත ආකාරයකටය. ඊට අතිරේකව ඇති කරන්නට අපේක්ෂා කරන ලොකු වෙනස්කම් ගැන එහි සඳහන් වූයේ නැත. රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ අරමුණ සම්බන්ධයෙන් හැර ඉන් පරිබාහිර ලොකු දේවල් ගැන කතාබහක් තිබුණේම නැති තරම්ය.

විප්ලවය ජයගැනීමෙන් පසුවද රාජපක්ෂ පාලන කාලයේදී සිදුවූ වංචා හා සාහසිකකම් ගැන කෙරෙන කතාබහ හැරුණු විට ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීම සඳහා ඇති කරන්නට යන ලොකු ප්‍රතිසංස්කරණ ගැන කෙරෙන කතාබහක් අසන්නට ලැබුණේම නැති තරම්ය. සරල කතාබහක් තිබුණේ නම් තිබුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පමණය. ඒ ගැන පවා සරල දැක්මක් මිස ලොකු දැක්මක් තිබෙන බව පෙනෙන්නට තිබුණේ නැත.

ආයතන ක්‍රමයේ අවුල

යහපාලන ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වනවිට රටේ සමස්ත ආයතන ක්‍රමයම තිබුණේ දූෂණයෙන් පිරුණු අකාර්යක්ෂම තත්ත්වයකය. නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවද, නීතිය ක්‍රියාත්මක කරන පොලිසියද, නීතිය පසිඳලන අධිකරණයද බදු එකතු කරන ආයතනද තිබුණේ ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීමට බැරිතරම් කුණුවූ හා විකෘති වූ තත්ත්වයකය. අන්තර් වාර්ගික හා ආගමික සම්බන්ධතා තිබුණේද අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය.

යහපත් ඉදිරි ගමනක් සඳහා ඒ සියල්ල අලුතෙන් ප්‍රතිනිර්මාණය කරන තැනකට යායුතුව තිබුණි. එය අවශ්‍යයෙන්ම සම්පූර්ණ කරගත යුතුව තිබුණ අර්බුදය ජයගැනීම සඳහා අවශ්‍ය වැදගත් ඓතිහාසික කොන්දේසියක් බවට පත්ව තිබුණි. යහපාලන ආණ්ඩුවේ නායකයන්ට ඒ සඳහා වන ශක්තිමත් පෙර දැක්මක් නොතිබුණු අතර බලයට පත්වීමෙන් පසුව හෝ ඒ සඳහා වන දැක්මක් ඇතිකර ගැනීමටද අසමත් විය. අගමැති රනිල් වික්‍රමසිංහට ආර්ථික සිහිනයක් තිබෙන බව පෙනෙන්නට ඇතත් ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමෙන් තොරව ඔහුගේ එම ආර්ථික සිහිනය පවා සැබෑ කරගැනීමට හැකිවනු ඇතැයි සිතිය නොහැකිය. යහපාලන ආණ්ඩුවේ නායකයන්ට ව්‍යවස්ථාදායක සභාව සමඟ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආයතන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණුවීමට තිබුණු ලොකුම හා එකම විසඳුම විය.

මීට පෙරද සලකා බලා ඇති ආකාරයට ආයතන ක්‍රමය සාමාන්‍ය තත්ත්වයක තිබුණේ නම් එවැනි ක්‍රමයක් ආයතන ක්‍රමය කාර්යක්ෂම හා ඵලදායී කිරීමට හේතුවන්නට ඉඩ තිබුණි. එහෙත් සමස්ත ආයතන ක්‍රමය තිබුණේ විකෘති වූ හා කුණුවූ තත්ත්වයකය. එවැනි තත්ත්වයක තිබෙන ආයතන ක්‍රමයකට ස්වාධීන කොමිෂන් සභා ක්‍රමයක් හඳුන්වාදීමෙන් ඇති කළ හැකි කිසිදු වෙනසක් නැත. කුණුවී තිබුණු ආයතන ක්‍රමයට විසඳුම් සෙවීම ව්‍යවස්ථා සභාවේ පරමාර්ථයක් නොවීය. ව්‍යවස්ථා සභාව කොමිෂන් සභාවලට හා වෙනත් තනතුරුවලට පුද්ගලයන් පත් කළේද එම ආයතන ක්‍රමය පවත්වාගෙන යෑම සඳහා මිස පත්කරන්නන් ලවා ඒවා ප්‍රතිසංස්කරණය කිරීමේ අරමුණින් නොවේ. ඒ තත්ත්වය යටතේ ව්‍යවස්ථා සභා ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වන ස්වාධීන කොමිෂන් සභාවලට කළ හැකි ඵලදායි කාර්යභාරයක් නැත.

අයාලේ යෑම

පාර්ලිමේන්තුව ප්‍රතිසංස්කරණය කරන තැනකට නොගොස් මන්ත්‍රීවරුන්ට වැඩි වැඩියෙන් වරදාන ලබාදෙන ක්‍රමයක් මගින් නීති සම්පාදනයට අවශ්‍ය සහාය මන්ත්‍රීවරුන්ගෙන් ලබාගැනීමට අපේක්ෂා කරන බවක් පෙනෙන්නට තිබේ. ඒ තත්ත්වය පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන විකෘතිය උග්‍ර කිරීමට හේතුවීමෙන් නොනැවතී යහපාලන ආණ්ඩුව කෙරෙහි වන මහජන විශ්වාසය පළුදු කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියාකරමින් පවතී. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අධිකරණයට නව අගවිනිසුරුවරයෙකු පත්කරනු ලැබුවත් එනිසා අධිකරණයේ ගමන් මගේ ලොකු වෙනසක් ඇතිවූයේ නැත. අධිකරණය තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ පාලන කාලයේදී අධිකරණය පක්ෂපාත තත්ත්වයක තබා ගැනීම සඳහා තෝරා ගත් විනිසුරුවරුන් කණ්ඩායමකට බදුලු දිස්ත්‍රික්කයේ තිබෙන කතරගම දේවාල ඉඩම්වලින් අක්කර 15 බැගින් ලබාදී තිබේ. විනිසුරුවරුන්ට එවැනි දීමනා ලබාගත නොහැකිය. අධිකරණයට අදාළව ඒ කාලයේ සිදුවී තිබෙන එවැනි ගනුදෙනු ගැන කිසිදු සොයා බැලීමක් කර තිබෙන බවක් පෙනෙන්නට නැත. මීට අතිරේකව බදු එකතු කරන සියලු ආයතන තිබෙන්නේද අන්ත දූෂිත හා අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය.

ප්‍රභාකරන් පරාජය කළ මහින්ද රාජපක්ෂට වැරදුණේ ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ලේ වැගිරෙන ප්‍රචණ්ඩ පරිසරයක තිබී කුණුවූ තත්ත්වයකට පත්ව තිබූ සමාජ ක්‍රමය හා රාජ්‍යය ඒ තත්ත්වයෙන් මුදාගැනීමට අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගැනීමට අසමත්වීම නිසාය. ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කළ යහපාලන ආණ්ඩුවේ නායකයන් දැන් කරමින් තිබෙන්නේද මහින්ද කළ වරදමය.

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පමණක් ලංකාව මුහුණ දී තිබූ අර්බුදය ජයගැනීමට නොහැකි බව තේරුම් ගැනීමට මහින්ද අසමත්වූවා සේ ම මහින්ද පරාජය කළ ඔහුගේ අනුප්‍රාප්තික නායකයන් දෙදෙනාද මහින්ද පරාජය කිරීමෙන් පමණක් ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ජයගැනීමට නොහැකි බව තේරුම් ගැනීමට අසමත් වී තිබේ. ඒ වරද වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂට ලොකු වන්දියක් ගෙවන්නට සිදුවිය. යහපාලන ආණ්ඩුවේ නායකයන්ටද ඒ වෙනුවෙන් ලොකු වන්දියක් ගෙවන්නට සිදුවිය හැකිය.

දර්ශනයේ දුගීභාවය

මහින්ද රාජපක්ෂ පරාජය කළ ජයග්‍රාහී නායකයන්ට තිබුණේ මහින්ද පරාජය කිරීම සඳහා වන සීමිත ඉදිරි දර්ශනයක් පමණය. සීමිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩසටහන පවා අපේක්ෂා කළ ආකාරයට සම්පූර්ණ කිරීමට අසමත් විය. එම සීමිත ප්‍රතිසංස්කරණ වැඩසටහන පවා සකස් කර තිබුණේ ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ සම්මතයකට අතිරේකව ජනමත විචාරණයකින්ද අනුමැතිය ලබාගත යුතුයි කියන සරල සිද්ධාන්තය පවා නොසලකාය. එම වැඩසටහනේ න්‍යායවාදීන් ඒ බව තේරුම් ගත්තේ ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයටත් ගියාට පසුවය. ඉන්පසු ඒ සඳහා ජනමත විචාරණයකට යෑමේ ආත්ම විශ්වාසයද ජයග්‍රාහකයන්ට නොතිබුණේය. ඒ කෙරෙහි ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පොදු එකඟත්වයක් නොතිබීමේ සාධකයද බලපෑවේය. ජනාධිපති සමඟ එකතු වී සිටි සමහර පුද්ගලයන් ජනාධිපතිවරයාට තිබෙන බලය හීනවී අගමැතිට තිබෙන තිබෙන බලය වර්ධනය වනවා දකින්නට කැමති නොවීය. ඒ අනුව දැන් අපට උරුම වී තිබෙන්නේ අශෝභන ලෙස අණ්ඩ දැමූ අවුල්සහගත ව්‍යවස්ථාවකි. ඒ ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාවක් ඉදිරියට ගැනීමේ අවංක වුවමනාවක් හෝ හැකියාවක් තිබෙන බවද පෙනෙන්නට නැත.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතියෙන් පමණක් නව ව්‍යවස්ථාවක් ඇති කරගත නොහැකිය. එය ජනමත විචාරණයකින්ද අනුමත කරගත යුතුය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ආණ්ඩුවේ නායකයන් කතා කරනමුත් එය අනුමත කරගැනීම සඳහා ජනමත විචාරණයකට යෑමට අවශ්‍ය කරන ආත්ම ශක්තිය ආණ්ඩුවේ නායකයන්ට තිබෙන බවක් පෙනෙන්නට නැත. ජනාධිපති ක්‍රමය අහෝසි නොකොට එය තවදුරටත් පවත්වාගෙන යෑමට උනන්දුවක් දක්වන ප්‍රවණතා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කරළියට ඒම වළකමින් තිබෙන්නේ ජනමත විචාරණයකට ගොස් එය ජයගැනීමට අසමත් වෙතොත් සියල්ල අවසන් වනවා නේද කියන තර්කය ඉදිරියට ගනිමිනි. නව ව්‍යවස්ථාව කෙටුම්පත් කරගැනීමට යොදාගෙන තිබෙන ක්‍රමය තුළ හොඳ ව්‍යවස්ථාවක් සකස්වීමට ඉඩක් නැති අතර ව්‍යවස්ථාවක් හදා ගත්තද එය නීතිගත කිරීමත් සිදුවීමටද ඉඩක් නැත. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත වූ එහෙත් ජනමත විචාරණයකට ඉදිරිපත් නොකරන ව්‍යවස්ථාවක් නීත්‍යනුකූල ලෙස සැලකිය නොහැකිය.

ආණ්ඩුව වෙඩි තියන්නේ එක පැහැදිලි එක ඉලක්කයකට නොව නොපැහැදිලි ඉලක්ක ගණනාවකටය. ආණ්ඩුවට ක්‍රියාකරන්නට සිදුවී තිබෙන්නේද එක පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව නොව අපැහැදිලි හා පරස්පර විරෝධී න්‍යාය පත්‍ර ගණනාවකට අනුකූලවය. ආණ්ඩුවේ නායකයන් කතා කරන්නට වැඩි උනන්දුවක් දක්වන්නේද බුද්ධිමත් ජනතාවට නොව උපාසක අම්මලාටය. විසඳීමට වැඩි උනන්දුවක් දක්වන්නේද ප්‍රමුඛ වැදගත්කමක් තිබෙන ප්‍රශ්න නොව නොවැදගත් ප්‍රශ්නය. ආණ්ඩුවේ දැතිරෝද කැරකෙමින් තිබෙන්නේද නිසි වේගයකින් තොරව අක්‍රමවත් ආකාරයටකටය. අඩුම වශයෙන් ආණ්ඩුවට තවමත් රාජ්‍ය බලය හොඳින් අන්තර්ග්‍රහණය කරගැනීමටවත් හැකිවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

ආලෝකය වෙනුවට අඳුර

මෙම වටාපිටාව තුළ එක තැන පල්වෙන ආර්ථිකයක් මිස වර්ධනය වන ආර්ථිකයක් බලාපොරොත්තු විය නොහැකිය. උපාසක අම්මලාට වැදගත් වන ප්‍රශ්න ගැන මිස ව්‍යුහමය වෙනසක් ඇති කිරීමට බලපාන ප්‍රශ්නවලට අතගැසීමක් සිදුවීමටද ඉඩක් නැත. සුළු ජාතීන්ට අදාළ ප්‍රශ්නවලදීද සහනශීලී ආකල්පයකින් එහාට ගිය දෙයක් බලාපොරොත්තු විය නොහැකිය. කිසිම දෙයක් හරිහැටි සිදුනොවීම, අකාර්යක්ෂමතාව මුළු රටම වෙලාගත් පිළිකාවක් බවට පත්වී ඇතැයි කිව හැකිය. ඒත් එම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමේ හැකියාව තමන්ට ඇති බව පෙන්නුම් කිරීමට ආණ්ඩුව සමත් වී නැත. මෙම අවාසනාවන්ත තත්ත්වය ඉදිරියේ ක්‍රමයෙන් ආණ්ඩුව කෙරෙහි තිබෙන මහජන විශ්වාසය වාෂ්ප වී යනු නොවැළැක්විය හැකිය. ඒ සමග ආණ්ඩුව මහජන බලය අහිමි කරගත් මුළුමනින් රාජ්‍ය බලයේ පිහිටෙන් පමණක් පවත්වාගෙන යන ආණ්ඩුවක තත්ත්වයකට පත්වනු ඇත.

ආණ්ඩුවේ ඇතිවී තිබෙන මෙම ගරාහැලීම ප්‍රධාන ආණ්ඩු විරෝධී ව්‍යාපාරය බවට පත්ව තිබෙන මහින්ද රාජපක්ෂ දේශපාලන කණ්ඩායම ශක්තිමත් කොට නැවත බලයට එන තත්ත්වයක් ඇති කරනු ඇතැයි සිතිය නොහැකිය. රාජපක්ෂ පවුලේ අයට හා එම ව්‍යාපාරයේ වෙනත් කැපීපෙනෙන පුද්ගලයන්ට එල්ල වී තිබෙන චෝදනාවල ස්වභාවය ඉතාමත් බරපතළය. ඒ නඩු විභාගවලින් සමාජයට අසන්නට ලැබෙන දේවල් ඔවුන්ට තිබෙන පිළිගැනීම තවදුරටත් දුර්වල කිරීමට හේතුවනු නොවැළැක්විය හැකිය. අධිකරණයේ අවුල්සහගත තත්ත්වයක් තිබුණද සමහර නඩුකරවලින් ඔවුන්ගෙන් සමහරෙකු වරදකරුවන් වී සිරදඬුවම් ලබන තත්ත්වයක් පවා ඇතිවිය හැකිය. ඒ අර්ථයෙන් එම ව්‍යාපාරය කිසියම් ප්‍රමාණයකට බලය පෙන්වන ව්‍යාපාරයක් ලෙස පවතිනු ඇතත්, නැවත බලයට පත්වන ව්‍යාපාරයක් බවට පත්වීමේ හැකියාවක් නැත. ප්‍රධාන ධාරාවෙන් පරිබාහිරව විකල්ප ව්‍යාපාර ලෙස පෙනී සිටින සිංහල දෙමළ කුඩා දේශපාලන පක්ෂවලටද ඇතිවෙමින් තිබෙන දේශපාලන හිඩැස පිරවීමේ හැකියාවක් නැත.

පෙනෙන අන්දමට දැනට සිදුවෙමින් තිබෙන්නේ වර්තමාන දේශපාලන ධාරාවේ සිටින සියලු ලොකු කුඩා දේශපාලන පක්ෂ ඓතිහාසික අර්ථයෙන් ඒවාහි අවසන් ගමන කරා යමින් තිබෙන බවය. මේ සියලු දේශපාලන පක්ෂ අඩු වැඩි වශයෙන් මේ රටේ සිදුවූ මහා විනාශයන්ට වගකිව යුතුය. ඒ සියලු දේශපාලන පක්ෂවල අත්වල අඩු වැඩි වශයෙන් ලේද කැත කුණුද තැවරී ඇතැයි කිව හැකිය. ඒ සියලු දේශපාලන පක්ෂ හුඟාක් පැරණිය. ජවිපෙ පවා අවුරුදු 52ක් පැරණිය. ඒ සියලු දේශපාලන පක්ෂ තවමත් ජීවත්වෙමින් සිටිනුයේ ඒවා ඉපදුණු පරණ කාලේමය. ලෝකය බොහෝ වෙනස් වී නවීන වී ඇතත් එම දේශපාලන පක්ෂ දෘෂ්ටිමය වශයෙන් හෝ සංවිධානාත්මක වශයෙන් නවීන වීමට සමත් වී නැත.

ලංකාවට නිදහස ලැබෙන අවස්ථාව වන විට ඒ කාලයේ රටක දියුණුව මැනීම සඳහා යොදා ගත් හැම මිනුම් දණ්ඩකටම අනුව ලංකාව ආසියානු රටවල් අතර දියුණුම තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. යටිතල පහසුකම්වලදී ලංකාව ඒ සියලු රටවල් අතර කැපීපෙනෙන තත්ත්වයක් හිමිකරගෙන තිබුණේය. ඒ කාලයේ පැවති තත්ත්වය අනුව රටේ හැම තැනකටම විහිදුණු මාර්ග පද්ධතියක් අපට තිබුණි. කිලෝමීටර් 1000ක දුම්රිය මාර්ග සමග කාර්යක්ෂම හා ලාභදායී දුම්රිය සේවයක් අපට තිබුණි. කොළඹ නගරයේ ට්‍රෑම් කාර් සේවයක් සේ ම ට්‍රොලි බස් සේවයක්ද තිබුණි. ඒක පුද්ගල ආදායමේදී ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණය. අධ්‍යාපනයට හා මහජන සෞඛ්‍යයට අදාළ මිනුම්දඬු අනුවද ලංකාව ආසියානු රටවල් අතර දියුණුම තත්ත්වයක් හිමිකරගෙන සිටියේය. ලංකාවට දියුණු සිවිල් සේවයක්ද ගෞරවයට හේතුවූ අධිකරණ සේවයක්ද හොඳ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්ද තිබුණි.

නායකයන්ගේ පුංචිකම

නූතන යුගයේදී ලංකාව බිහිකරන ලද දේශපාලන නායකයන් දැවැන්ත හෝ ශ්‍රේෂ්ඨ නායකයන් ලෙස සැලකිය නොහැකිය. ඒ සියලුදෙනාට කෙටි දැක්මක් මිස දුර දැක්මක් නොතිබුණි. ඒ සියලු නායකයෝ නිදහස ලැබෙන විට ලංකාව හිමිකරගෙන තිබුණු දියුණුව ආරක්ෂා කරගනිමින් ඒ දියුණුව අඛණ්ඩ ලෙස ඉදිරියට ගෙනයෑමට අසමත් වූහ. රටේ ජීවත් වන සියලුදෙනා භේදයකින් තොරව සමාන අයිතිවාසිකම් ඇති සමාන ගෞරවය ඇති මනුෂ්‍යයන් ලෙස සලකා ක්‍රියාකරන්නට එම නායකයෝ අසමත් වූහ.

වර්ගභේදය, කුලභේදය හා ආගම්භේදය නැති කරනවා වෙනුවට ඒවා පෝෂණය කළෝය. ඒ මගින් පටු දේශපාලන වාසි ලබා ගත්තෝය. බි්‍රතාන්‍ය යටත්විජිතවාදයෙන් ලැබී තිබුණු නවීන ජාතික රාජ්‍ය ක්‍රමයේ යහපැවැත්ම සඳහා එක්සත් ජාතියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව තේරුම් ගැනීමට අසමත් වූහ. ජාතිය එක්සේසත් කරනවා වෙනුවට ගොඩනැගෙමින් තිබුණු ජාතිය භේදභින්න කොට කැබලි කළෝය. රට සාරවත් කරනවා වෙනුවට රටේ සාරය උරා බීවෝය. රටේ ආණ්ඩු ක්‍රමය, අධිකරණ ක්‍රමය හා නිලධර ක්‍රමය දූෂිත කළෝය. රට කෙළවරක් නැති තරමට ලේ හලන රටක් බවට පත් කළෝය. දැන හෝ නොදැන තමන් අතින් සිදුවී තිබෙන බරපතළ වැරදි ගැන කම්පාවට පත් නොවී කනගාටුව ප්‍රකාශ නොකළ දේශපාලන ව්‍යාපාර දේශපාලන දර්ශනයෙන් ඉවත් වන තත්ත්වයක් ඇතිවීමෙන් අයහපතක් වන්නේ නැත.

එහෙත් දැන් ඒ දේ සිදුවෙන්නට යන්නේ ඒ නිසා ඇතිවන හිඩැස පිරවීමට අවශ්‍ය කරන විකල්ප ව්‍යාපාර ඇතිවීමෙන් තොරවය. එය කිසියම් ආකාරයක අරාජක තත්ත්වයක් ඇති කිරීමට හේතුවනු ඇති අතර විකල්ප ව්‍යාපාර බිහිවීම සිදුවනු ඇත්තේ එම අරාජක කාලයේදීම විය හැකිය.
දැනුවත් පුරවැසියන් සංවිධානාත්මක තැනකට ගත හැකි නම් අරාජිකත්වයක් ඇතිවීමෙන් ඇතිවන හානිය අවම කරගත හැකිය. ගම් මට්ටමෙන් නගර මට්ටමෙන් හා වැඩපොළ මට්ටමෙන් පුරවැසි සංවිධාන ඇති කරගත හැකි නම් හා නැවත ඒවා එකට එකතු කරමින් පුරවැසි මධ්‍යස්ථානයක් ඇතිකර ගනිමින් ජනතාවට අධ්‍යාපනයක් ලබාදෙමින් ඔවුන් ජාලගත කරන ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි නම් රටට සිදුවන්නට යන විපත සැපතක් බවට පත් කරගත හැකිය. එළැඹෙන්නට යන සංක්‍රාන්ති සමයේදී රටට යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය කරන ශක්තිමත් පදනමක් ඒ මගින් ඇති කළ හැකිය.

පුරවැසි සමාජ ව්‍යාපාරයක්

එවැනි ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ විය යුත්තේ ප්‍රචණ්ඩ ගැටුම් හා වෙනත් හේතු නිසා විකෘති තත්ත්වයකට පත්ව තිබෙන ශ්‍රී ලාංකික සමාජයේ අධ්‍යාත්මය ප්‍රකෘති කොට එය විකසිත කරවීමය. සමාජ මනස වර්ග භේදයෙන්, කුලභේදයෙන් හා ආගම් භේදයෙන් තොර කොට පිරිසිදු කිරීමය. භේදයකින් තොරව ලංකාවේ සියලු මිනිසුන්ට සමාන අයිතිවාසිකම් හා මනුෂ්‍ය ගෞරවය ලබාදීමට කටයුතු කිරීමය. එමගින් ජාතිය ගොඩනැගීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමය. සමාජ මනස කෙරෙහි බලපා තිබෙන මිථ්‍යා විශ්වාසයන්ගේ හා අවිද්‍යාවේ බලපෑමෙන් සමාජ මතය නිදහස් කොට සමාජය නවීන ලෙසත් තර්කානුකූල හා සාධාරණ ලෙසත් කල්පනා කරන සමාජයක් බවට පත්කිරීමය.

එසේ ගොඩනගන ව්‍යාපාරයක් ශ්‍රී ලංකා සමාජය නියෝජනය කරන විවිධ ජන කණ්ඩායම්වල හොඳ මිශ්‍රණයක් විය යුතුය. එය සිංහල දෙමළ මුස්ලිම් යන ජන කණ්ඩායම් තුනට සීමා නොවී ඉනුත් එහාට ගිය සුළු ජාතික කණ්ඩායම් ඇතුළත් කරගන්නා සියලු කුල, සියලු ආගම්වලට අයත් ස්ත්‍රී පුරුෂයන්ගෙන් සමන්විත වන ව්‍යාපාරයක් විය යුතුය. එයට ආරම්භයේ සිටම ශක්තිමත් දෘෂ්ටිමය සැකිල්ලක් තිබිය යුතු අතර එම සැකිල්ල එල්ල වන විවේචන හා වාද විවාද ඔස්සේ වැඩිදුර පෝෂණය කරගත යුතුය.

එවැනි පුරවැසි ව්‍යාපාරයක සංවිධාන ව්‍යුහය ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී අඩිතාලමක පිහිටුවා ගැනීමද වැදගත්ය. එය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම හොඳින් පවත්වාගෙන යා යුතුය. වෙනස් මත දරන පුද්ගලයකුට හෝ කණ්ඩායමකට සංවිධානය තුළ පැවතීමේ හැකියාව තිබිය යුතුවා සේ ම ඔවුන් දරන මතය නිල මතය බවට පත්කර ගැනීමට උත්සාහ කිරීමට ඉඩ ලැබෙන ආකාරයට සංවිධාන ප්‍රතිපත්ති සකස් විය යුතුය. සියලු තීන්දු ගැනීම් සිදුවිය යුත්තේ ක්‍රමවත් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකටය. අභ්‍යන්තරයේ සිදුවන සියලු දේ විනිවිදව දැකිය හැකි තත්ත්වයක තබාගත යුතුය. විදේශ මාර්ගවලින් මුදල් ලබාගන්නා තැනට නොයා යුතු අතර සියලු කටයුතු සිදුකළ යුත්තේ සාමාජික මුදල්වලිනි. අවසාන විග්‍රහයේදී එම ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දැක්විය හැකි හොඳ ආදර්ශ මාදිලියක් විය යුතුය. ව්‍යාපාරයේ සාමාජිකයන් කුල භේදයෙන්, වර්ග භේදයෙන්, ආගම් භේදයෙන් තොර විය යුතුය. අහිංසාවාදී විය යුතු අතර වෛරයෙන් තොර විය යුතුය. සාධාරණ හා සත්‍යගරුක විය යුතු අතර දූෂණයෙන් හා අගතියෙන් තොර විය යුතුය. බහුත්වවාදී හා අනාගමික විය යුතුය.

අඳුර දුරලීම

එවැනි පුරවැසි සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීමට සමත් වී එය දහස් ගණනින් නොව ලක්ෂ ගණනින් පුරවැසියන් එකතු කරගන්නා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට සමත් වේ නම් එය සමාජය කෙරෙහිත්, රාජ්‍යය කෙරෙහිත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන ක්‍රම කෙරෙහිත් සුවිශාල බලපෑමක් ඇති කිරීමට හේතුවනු ඇත. ඒ මගින් රෝගී හා විකෘති තත්ත්වයක තිබෙන ශ්‍රී ලාංකික සමාජ-අධ්‍යාත්මය නිරෝගී කොට එය නව ජීවයකින් ක්‍රියාකරන තැනකට ගත හැකිය. ප්‍රචණ්ඩ ගැටුම් ඇති කර තිබෙන තුවාල සුව කළ හැකිය. සමාජය නව පුරුෂාර්ථවලින් යුතු තර්කානුකූලව, සාධාරණව හා බහුත්වවාදී ලෙස සිතන පතන නවීන සමාජයක් බවට පත් කළ හැකිය. කැබලි වී තිබෙන ජාතිය එක්සේසත් කළ හැකිය. ආරක්ෂා කරගත යුතු අනන්‍යතාවන් ආරක්ෂා කරගනිමින් ශ්‍රී ලාංකික අනන්‍යතාව ප්‍රමුඛ තත්ත්වයෙහිලා සලකන සමාජයක් ඇති කරගත හැකිය. ඒ මගින් ඇතිවන වෙනස්කම් රටේ ආණ්ඩුකරණය කෙරෙහිත් ආගම් කෙරෙහිත්, කලාව හා විද්‍යාව කෙරෙහිත් සාධනීය අර්ථයෙන් ලොකු බලපෑමක් ඇති කිරීමට හේතුවනු ඇත. දේශපාලකයන් ඔවුන්ගේ මනාපයට දෙන බොරු ප්‍රතිසංස්කරණ වෙනුවට රටේ හා ජනයාගේ පොදු යහපතට හේතුවන සැබෑ ප්‍රතිසංස්කරණ ඇති කර ගැනීමට හේතුවන තත්ත්වයක් උදාවනු ඇත. එම වටාපිටාව අධ්‍යාත්මික සංස්කෘතික හා විද්‍යා-තාක්ෂණ යන අංශවල උත්පාදන ශක්තිය වර්ධනය කොට ඒ හැම අංශයකම නව නිර්මාණ හෝ නව නිපැයුම් ඇති කිරීමට හේතුවනු ඇත. අවසාන විග්‍රහයේදී දැන් එක තැන පල්වෙන තත්ත්වයක තිබෙන රට සාමකාමී ලෙසත් ප්‍රබෝධමත් ලෙසත් වේගයෙන් දියුණුව කරාත් යන රටක් බවට පත්කිරීමට හේතුවනු ඇත.

යහපත් සමාජ විපර්යාසයක් ඇති කිරීමට හේතුවන බලවත් සමාජ ව්‍යාපාරයක් ඇති කර ගැනීම පිළිබඳ අදහස් සැබෑ කරගත නොහැකි බොරු සිහිනයක් නොව සැබෑ කරගත හැකි සිහිනයකි. ඒ සඳහා සුදුසු සමාජ වටාපිටාවක් රටේ පවතී. රට යහපත් තැනකට ගැනීමට උනන්දුවක් දක්වන විශාල සමාජ තීරුවක් රටේ සිටින්නේය. විවිධ වයස් කාණ්ඩවලට අයත් ඔවුහු උගත්ය. විචාරශීලීය. අගතියෙන් තොරව පුළුල් දෘෂ්ටි කෝණයකින් දේවල් බැලීමේ හැකියාව ඔවුන්ට ඇත්තේය. රටේ අසමත්කම කෙරෙහි බලපා තිබෙන හේතු පිළිබඳව ඔවුන්ට අවබෝධයක් තිබෙන්නේය. ඒ සමඟ ජාතික මට්ටමෙන් හා ප්‍රාදේශීය මට්ටමෙන් විවිධ අයිතිවාසිකම් අරගලවලට නායකත්වය දී පන්නරයක් ලබාගත් සැලකිය යුතු පිරිසක්ද රටේ සිටින්නෝය. මේ දෙපිරිස අතර සිටින ක්‍රියාකාරීන්ට එකට එකතු වී දීප ව්‍යාප්ත මට්ටමෙන් ක්‍රියාත්මක වන පුරවැසි ව්‍යාපාරයක් ඇති කරගත හැකි නම් ඒ අරමුණ වෙනුවෙන් ඇපකැපවී ක්‍රියාකරන්නට සමත් වේ නම් ඒ සිහිනය සැබෑ කරගැනීමට අමාරු නැත. මේ අදහස සංවාදයට ලක් කිරීම වැදගත්ය.