Untitled-1

Untitled-1

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවාදය


kathu

 

ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අලුතෙන් නිර්මාණය කරන බවට දුන් පොරොන්දු ඉටු කරමින් ඒ සඳහා වන ක්‍රියාදාමයක් පවත්වා ගෙන යයි.
එක් පැත්තකින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජනතාවගේ අදහස් එකතු කිරීමේ කමිටුවක් පත් කොට, ඒ හරහා එකතු කරන ලද මහජන අදහස් ඇතුළත් කොට වාර්තාවක් ද දැන් නිකුත් කොට තිබේ. ඒ අතර, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කමිටු හයකට බෙදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික තේමාවන් හා ප්‍රතිපත්ති ගැන පක්‍ෂවල අදහස් විමසීම හා මූලික රාමු සකස් කිරීම සිදුවෙයි. දැනගන්නට තිබෙන ආකාරයට ඒ ඒ කමිටුවල අවසන් වාර්තා ද සකස් කොට තිබේ. ඊට අමතර ව, ඒ ගැන කටයුතු කරන මෙහෙයුම් කමිටුවක් අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන අතර එය ඉහත කමිටු හයේ වාර්තා සම්බන්ධ ඉදිරි පියවර සිදු කරනු ඇත.

මේ වන තෙක් ව්‍යවස්ථා කෙටුම්පතක් සැකසී නැති බව කියැවෙන නමුත්, බැලූ බැල්මට මේ ක්‍රියාවලිය ප්‍රජාතන්ත්‍රවාදී ය. සියල්ලන් ඇතුළු කරගන්නාසුලු ය.
සකස් කර ගන්නා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් පළමු ව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක අනුමැතියක් එයින් ලබා ගත යුතු අතර, පසු ව ජනමත විචාරණයකට ඉදිරිපත් කොට මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට පනස් එකක ජන අනුමැතියක් ඊට ලබා ගත යුතු ය. මේ පියවර අනුව, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නීතිගත වීමට නම් ඊට ජනමත විචාරණයක දී ජන අනුමැතිය ලැබීම අත්‍යවශ්‍ය බව පැහැදිලි වෙයි.

ජන අනුමැතියක් ලබා ගැනීමට නම් ඒ ව්‍යවස්ථා කෙටුම්පත තමන්ගේ වුවමනාවන්, අභිලාෂයන් තහවුරු කරන බවට ජනතාව තුළ සෑහීමක් ඇති විය යුතු ය. එහි තේරුම උතුරේ, නැගෙනහිර මෙන් ම දකුණේ ද ජනතාව ඒ කෙටුම්පතේ විධිවිධාන ගැන අඩුවැඩි වශයෙන් සෑහීමට පත් විය යුතු බව යි.
කෙටුම්පත් සම්පාදන ක්‍රියාවලියේ දී කාර්යක්‍ෂමතාවකින් ක්‍රියාත්මක වන ආණ්ඩුව, අකාර්යක්‍ෂම හා අසමත් වී ඇති බව පෙනෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන මහජනතාව අතර සංවාදයක් ඇති කිරීමෙහි ලා ය.

මේ ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් බලයට පැමිණෙන්නේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන සමාජයේ එවකටත් ඇතිව තිබුණු සංවාදයේ තර්කානුකූල පියවරක් හැටියට බවත්, පසුගිය කාලය පුරා ම සමාජයේ දැනුවත් පුද්ගල තීරු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන කෙටුම්පත් පවා සකස් කොට තිබුණු බවත් ඇත්ත ය. එහෙත්, ජනමත විචාරණයක දී ඡන්දය දෙන්නේ ඒ දැනුවත් තීරුව පමණක් නොවේ. වෙනත් විදියකින් කිවහොත්, සියයට පනස් එකක ඡන්දයකින් ව්‍යවස්ථා කෙටුම්පත දිනවන්නට ඒ දැනුවත් සමාජ තීරුවට පමණක් නොහැකි ය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යන්නෙහි වැදගත්කමක් තමන්ගේ ජීවිතයට නැතැ’යි සිතන සාමාන්‍ය ජනතාවගේ ඡන්දයත් අවශ්‍ය වෙයි.
වැදගත් වන්නේ, මේ ජනතාව අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අදහස් ව්‍යාප්ත කිරීමට ආණ්ඩුව ගෙන ඇති පියවර මොනවාද යන්නයි.

ඒ අර්ථයෙන් ආණ්ඩුවේ සන්නිවේදන ව්‍යාපෘතිය අසමත් තත්ත්වයට පත් වී ඇති බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තවමත් කෙටුම්පත් වී නැති වුණත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික මූලධර්ම පිළිබඳ සංවාදයක්, සාකච්ඡාවක් සමාජය තුළ ඇති කිරීමට ඉන් බාධාවක් නැත.
විශේෂයෙන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සිය නැතිවී ගිය බලය යළි ලබා ගැනීමේ ව්‍යාපෘතියට බලවත් බාධාවක් ලෙස සිතන බලවේග ව්‍යවස්ථාවක් යනු බිල්ලෙකි’යි කියමින් රට පුරා ම ප්‍රබල මිථ්‍යාවක් වපුරනු දක්නට තිබේ. ඒ මිථ්‍යාවන්ට එරෙහි ව ප්‍රමාණවත් ප්‍රතිචාරයක් දක්වන්නටත්, තමන් ඇත්ත වශයෙන් ම කරන්නේ කුමක්දැ’යි මහජනතාවට ඒත්තු ගන්වන්නටත් ආණ්ඩුව දක්වන්නේ මාරාන්තික පසුබෑමකි.

මේ සන්නිවේදන රික්තයේ භයානක ප්‍රතිඵලය විය හැක්කේ, එක්කෝ ජනමත විචාරණයක දී අලුත් ව්‍යවස්ථා කෙටුම්පත පරාජය වීම ය. නැතිනම්, ජනමත විචාරණයක දී පරාජය විය හැකි බව පෙන්වා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ඉදිරියට නොගෙන හමස් පෙට්ටියට දැමීම ය.
ජනවාරි 8වැනිදා දේශපාලන වෙනස කළ මේ රටේ ජනතාව ඒ ප්‍රතිඵල දෙකෙන් එකක්වත් භාර නොගන්නා බව පැහැදිලි ය.
එසේ නම්, ඉතිරි ව ඇත්තේ එකකි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මහජන අවබෝධය අවුළුවා, එය මහජනතාවගේ කාර්යයක් බවට පත් කොට, මහජන අනුමැතිය ඊට ලබා ගැනීමට විශේෂ ක්‍රියාවලියක් දියත් කිරීමයි. ඒ හදිසි වගකීම ඇත්තේ ආණ්ඩුවට ය.