Wednesday, 23/8/2017 | 8:02 UTC+0
රාවය

වැදගත් වෘත්තිකයන් නිරුවත් වීම

මහාචාර්ය සරත් විජේසූරිය

නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය රටේ අනාගතය වෙනු වෙන් ආරක්ෂා කර ගැනීමේ සංවාදයක් සමාජයේ පවතියි. නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය මේ රටේ දුප්පත්කම හා සමාජ අසාධාරණය තුනී කිරීමට දේශපාලනිකව සිදු කෙරී තිබෙන වැදගත්ම දේශපාලන ප්‍රතිසංස්කරණය වන්නේය. අභාග්‍යය වන්නේ නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණ පුද්ගලයන් සේ සැලකෙන රටේ ඉහළම වෘත්තිකයන්ගෙන් බහුතරයක් අද වන විට පෞද්ගලික න්‍යාය පත්‍ර ඔස්සේ ආත්මාර්ථකාමී ජීවිත ගත කිරීමය. රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් දායකවන්නේ සුළුතරයකි.

අප නිතරම පාර්ලිමේන්තුවේ සිට අධිකරණය දක්වා රජයේ සෑම උසස් ආයතනයකම දකින්නේ විපරීත වූ සොබාවයන්ය. අවලස්සණ තත්වයන්ය. ඒ විපරීතභාවයට හා අවලස්ණ තත්වයට වග කිව යුත්තේ ඒ ඒ ආයතනවල ප්‍රධාන භූමිකා නිරූපණය කරන්නෝ වෙති. එනම් නිදහස් අධ්‍යාපනයෙන් පිබිදුණ වෘත්තිකයෝ වෙති.

වෛද්‍යවරු

වෛද්‍ය වෘත්තිය කෙරේ දීර්ඝ කාලයක් තිස්සේ සමාජයේ තිබුණේ ගෞරවයකි. රටේ අසරණ රෝගීන් පළිහක් බවට පත් කරගෙන නිතරම ‘මස් රාත්තලම’ ඉල්ලමින් සිදු කළ තර්ජන ගර්ජන හේතුවෙන් අද වන විට වෛද්‍යරයා කෙරේ සමාජය තුළ තිබුණ සැබෑ ගෞරවය බරපතළ අන්දමට නාය ගොස් ඇත. ප්‍රතිකාර ලබා ගැනීමට වෛද්‍යවරයෙකු වෙත යන කවර මටට්මක පුද්ගලයෙකු තුළ වුව වෛද්‍යවරයා කෙරේ සැබෑ ගෞරවයක් නැත. එය සුළු කොට තැකිය යුතු නැති ඛේදයකි. ලංකාවේ වෛද්‍යරුන්ගේ සමාජ ගෞරවය කවර තත්වයක ද යන්න නිර්ණය කිරීම උදෙසා ජනමත විචාරණයක් පැවැත්වුවහොත් ලැබෙන ප්‍රතිඵලය නිසැකව පවසන්නේ ඍණ අගයකි.

මීගමුවේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති පදවිය හොබවන පූජකවරයෙකු මා සමඟ දිනක් පැවසූ පුවතක් ද මෙහ‘දි සිහි වෙයි. සිය පාසලේ දරුවෙකුගේ දෙමාපියන් ගැනය පූජක තුමා විස්තර කළේ. දරුවාගේ මව සහ පියා දෙදෙනාම වෛද්‍ය වෘත්තියේ නිමග්නව සිටිති. දෙදෙනාම සවසට නිවසේ දී රෝගී‘න් බැලීම සිදු කරති. එක දිනක් කිසිදු රෝග‘යෙකු ප්‍රතිකාර ගැනීමට පැමිණ නැත. ඒ ගැන සොයා බලන ලෙස නිවසේ සේවකයාට පවසා තිබේ. ඒ සේවකයා ටික වේලාවකින් ගෙනැවිත් දෙන්නේ ගේට්ටුවේ අලවා තිබෙන දැන්වීමකි. ඒ දැන්වීමේ සඳහන්ව තිබෙන්නේ, ‘අද දින රෝගීන් බලනු නොලැබේ’ යන්නයි. මේ දැන්වීම ගේට්ටුවේ අලවා තිබෙන්නේ දරුවන් දෙදෙනා බව ද දැන ගෙන ඇත. දරුවන් දෙදෙනාගෙන් ඒ ගැන විමසන විට දෙදෙනාම දෙමාපියන්ට පවසා තිබෙන්නේ ‘අද අපි දෙන්නාව බලන්න’ යන්නය. මේ සිද්ධියෙන් කම්පාවට පත් ඒ දෙමාපියන් පාසලට පැමිණ විදුහල්පති පූජකතුමා මුණ ගැසී දැඩි සසලතාවකින් දරුවන්ගේ තත්වය ගැන විමසා සිටි බවත්, තමන් දරුවන් වෙනුවෙන් කාලය කැප නොකිරීම ගැන කනගාටුව පළ කරමින් වෙනස්වීමට වහාම පියවර ගන්නා බවත් පැවසූ බවද විදුහල්පති පූජකතුමා මා සමඟ පැවසූ බව ද මෙහ‘ සඳහන් කළ යුතුය.

පෞද්ගලික රෝහලකදී වෛද්‍යවරයෙකු මුණ ගැසීමට රෝග‘යෙකු මුදල් ගෙවා වේලාවක් වෙන් කර ගත්ත ද, බොහෝ වෛද්‍යරුන් රෝගීන් බැලීමට පැමිණෙන්නේ අසාමාන්‍ය අන්දමින් ප්‍රමාදවය. ඒ තව තැනක හෝ දෙතැනක රෝගීන් බලන බැවිනි. වෛද්‍යරයෙකු මේ වෙහෙසට හා අපහසුතාවට පත් කරන්නේ රෝගියෙකි. දියුණු රටක නම් එය නෛතික පියවර ගැනීමට තරම් වරදකි. මෙහි විද්‍යාමාන අනෙක් ඛේදය නම් වෛද්‍යවරයා ද ධනය උපයන තරමට තම ජීවිතයේ සතුට විනාශ කර ගන්නා තත්වයයි. වෙහෙස නොබලා රෝගීන් බලන්නේ හුදු සේවයක් වශයෙන්ම ද? නැත. එසේ නම් වැදගත් කාලයක් තමන් සේවය කරන රෝහලේ දි රෝගීන් සඳහා කැප කළ යුතුය. එසේ කරන්නේ නැත. වෙහෙස නොබලා පෞද්ගලික රෝහල්වල රෝගීන් බලන්නේ ලැබෙන මුදල් ප්‍රමාණය අමතක නොකළ හැකි බැවිනි. තිත්ත ඇත්ත එයයි.

රාජපක්ෂකරණය වුණ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, අද විදහා පාන්නේ ඒකාබද්ධ විපක්ෂයේ අනන්‍යතාවම බව හොඳින්ම පැහැදිලිය. මානව නිදහස කෙළෙසන ලද රාජ්‍ය පාලනයකින් නිදහස් වුණ රට වැසියන් ගැන නොව වෛද්‍යවරුන් කල්පනා කරන්නේ, ඒ නිදහස අහ‘මි කළ පාලකයන් ගැනය ඔවුන් සසලව සිටින්නේ. තතු කෙසේ වෙතත්, දරුවන්ට සුපිරි පාසල් ලබා ගැනීමට කළ අරගලයේදී වෛද්‍යරුන් මුළු මහත් සමාජය අබිමුව නිරුවත් වුණ අන්දම නම් අතිශයින් ශෝචනීය වේ. කිසිම සිවිල් බලයක් නැති දෙමාපියන් දරුවෙකුට පාසලක් සොයා ගැනීමට නොහැකිව අසරණව සිටින පසුබිමක, වෛiවරුන් තමන්ගේ සිවිල් බලය විදහාපාමින් කටයුතු කළ අන්දම පොදු සමාජයේම පිළිකුලට භාජනය විය.

නීතිඥවරු

ලංකාවේ වෛද්‍ය වෘත්තිය කෙරේ සමාජය තුළ විශාල ගෞරවයක් පැවතුණ ද, නීතිඥ වෘත්තිය ගැන එවැනි මට්ටමක ගෞරවයක් නොතිබුණ බව මගේ පිළිගැනීමයි. පොදුවේ නීතිඥවරුන්ට පටබැඳුණ නාමය ‘කාක්කන්’ යන්නයි. උසාවියකට නීතියේ පිළිසරණ සොයා පැමිණෙන කෙනෙකු වසර ගණන් රස්තියාදු වෙන්නේ රටේ නීතිය ක්‍රියාත්මක වීමේ අවලස්සණ ස්වරූපය නිසාය. මේ නිසා නීතිඥයන් කෙරේ මෙන්ම විනිසුරුවන් කෙරේ ද සමාජයේ පවතින්නේ සැඟවුණ වෛරයකි. අධිකරණය හා බැඳුණ ප්‍රකට පිරුළක් අපේ සමාජයේ ඇත. එය නම්, ‘නඩු යන්නෝ වැනසෙන්නෝ’ යන්නයි. මේ වැනසීම සිදු වන්නේ කෙසේ ද? අසාධාරණයක් හේතු කොටගෙන නීතියේ පිළිසරණ සොයා යන්නෙකු වැනසෙන්නේ ඒ සඳහා නීතිඥ ගාස්තු ගෙවීමේ තත්වය පුද්ගලයාගේ ආර්ථිකයට අනුරූපව බරපතළ බැවිනි.
විශේෂ රෝග සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සිටින්නා මෙන්ම, විවිධ නඩු කටයුතු සඳහා ද විශේෂඥ නීතිඥවරු සිටිති. පොදුවේ විශේෂඥ වෛද්‍යවරුන් සම්බන්ධ කාරණාව නම්, තමන් ප්‍රතිකාර කරන රෝග‘යාගේ ධනවත්කම හා බලවත්කම නොසැලකීමයි. විශේෂඥ නීතිඥවරුන්ගේ කැපවීම පවතින්නේ සේවාදායකයාගේ ධනවත්ක ම හා බලවත්කමට අනුරූප වය යන්න අද දවසේ පැහැදිලිව විද්‍යාමාන වන්නකි.

ශීලාචාර රටක් ගොඩ නැඟීමට, නීති ගරුක මිනිසුන් ජීවත්වන රටක් ගොඩ නැඟීමට යම් අවකාශයක් ඇත යන්න පිළිබඳ ලැබුණ ප්‍රබල සංඥාවකි, භාරත ඝාතනය හා සම්බන්ධ විනිසුරු මඬුල්ලේ දෙපළක් ලබා දුන් තීන්දුව. ඒ සංඥාවෙන් නීති ගරුක පුරවැසියන් ජීවත්වීමේ අයිතිය පිළිබඳ අපේක්ෂා දල්වා ගන්නා විට, හේමන්ත වර්ණකුලසූරිය වෙර දරන්නේ අශීලාචාර රටකට යළි පාර කැපීමටය. මනුෂ්‍යයෙකුගේ ආයු කාලය පිළිබඳ අප කාටත් අවබෝධයක් ඇත. මා කල්පනා කරන්නේ හේමන්ත වර්ණකුලසූරිය සිය වෘත්තියෙන් සිය කුසලතාවෙන් අසාමාන්‍ය ධනයක් රැස් කරගෙන ඇතත් ඔහුට ආයු කාලය වැඩි කර ගත නොහැකි බවයි. එබැවින් සිය දැනුම හා සේවාව කැප කළ යුත්තේ යහපත වෙනුවෙන් මිස අයහපත වෙනුවෙන් නොවන්නේය. භාරත ඝාතන නඩු තීන්දුව මුල් කරගෙන හේමන්ත වර්ණකුලසූරියගේ හැසිරීම ශීලාචාර නීතිඥ ප්‍රජාවට විශාල අවමානයක් බව මගේ අවංක හැඟීමයි. ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු සමාජය අබිමුව නිරුවත් වීම සමස්ත වෘත්තියටම සිදු කළ දරුණු අවමානයකි.

රාජ්‍ය නිලධාරියෝ

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධ ප්‍රශ්නවලට මුල් වී සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් අඩු වැඩි වශයෙන් බැසිල් රාජපක්ෂගේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට දායකවූවන් බව මේ වන විට මනාව පැහැදිලිය. රජයේ උසස් පදවියක් දරන ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරිනියක මා සමඟ පවසා සිටියේ, බැසිල් හා සම්බන්ධ චෝදනා සම්බන්ධව ඇත්ත නොකියන හැම පුද්ගලයෙකුම, බැසිල් වෙනුවෙන් වෙනුවෙන් කතා කරන හැම නිලධාරියෙකුම විවිධ ස්වරූපවලින් හරි හම්බ කර ගත් පුද්ගලයන් බවයි. එක් නිලධානියක හම්බ කර ගත් අන්දම කොතරම් නිර්මාණශීලී දැයි ඇය විස්තර කළේ මෙලෙසටයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යනු සියලු දේශපාලන ව්‍යාපෘති දියත් කළ අමාත්‍යාංශයයි. මේ අමාත්‍යාංශයේ සේවය කළ නිලධාරිනියකගේ සැමියා සේවය කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේය. අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ඉදි කළ මහින්දෝදය විද්‍යාගාරවලට පරිගණක මිලදී ගැනීමේ කටයුත්තේ එක් අංශයක නිල කටයුතු මේ නිලධාරිනියගේ සැමියාට භාර දීමට අවශ්‍ය පියවර මේ තැනැත්තිය ගෙන තිබේ. මේ නිලධාරිනියගේ සැමියා ඒ රාජකාරිය කොතරම් හොඳින් ඉටු කර තිබේ ද යත්, වාහන සෝදන කුඩා ව්‍යාපාරයක් කරගෙන ග‘ය ඔහුගේ සහෝදරයා පෙට්රල් ෂෙඞ් තුනක හිමිකරුවෙකු වී තිබේ. මේ නිලධාරිනිය විවාහ වුණ පසුව ඇගේ සැමියා සමඟ ලබා ගත් බැංකු ණයවලින් මිලට ගත් පර්චස් පහළොවක ණය වී හදා ගත් නිවස පමණක් ඔවුන් සතුව තිබුණ එකම දේපළ බව තමන් ඉතා හොඳින් දන්නා බව මට කරුණු පැහැදිලි කළ නිලධාරිනිය පැවසුවේ ගේ හදා ගන්නා කාලයේ ඇගේ රත්තරන් බඩු උගස් කර තිබු නිසා මංගල උත්සව කිහ‘පයකට ඇගේ කන කර බඩු ඉල්ලා ගෙන ග‘ය බව ද විස්තර කරමිනි. මේ නිලධාරිනිය විස්තර කළේ බැසිල් රාජපක්ෂගේ අමාත්‍යාංශය වචනයේ පරිසමාප්ත ආකාරයෙන්ම මහා භාණ්ඩාගාරය ලෙස හැඳින්වුණ බවයි. ඒ අමාත්‍යාංශයෙන් හතර අතට මුදල් පොම්ප කළ බැවින් කාට වුව යමක් කර ගැනීමට තිබුණ අවස්ථා අපමණ බවත්, ඒවාට බැසිල්ගෙන් මෙන්ම පීබී ජයසුන්දරගෙන් බාධා නොතිබුණ බවත්ය. ඉතා සංවේගයෙන් මේ නිලධාරිනිය මා සමඟ පවසා සිටියේ, ඉතා අවංක, නීති ගරුක සිවිල් නිලධාරීන් ගණනාවක් බැසිල්ගේ අමාත්‍යාංශයට හා ඊට අනුබද්ධ ආයතනවලට සම්බන්ධව රාජකාරි කිරීම සමඟ‘න් අන්ත දූෂිතයන් බවට පත්වුණ බවයි. ඔවුන් අද දවසේ විවෘතවම අවධාරණය කරන්නේ මොන අන්දමකින් හෝ බැසිල් රාජපක්ෂ රටේ නායකයා වන බවලු. ඒ වෙනුවෙන් තමන් ජීවිත පරිත්‍යාගයෙන් කැපවී වැඩ කරන බවලු.

අද දවසේ රාජ්‍ය සේවයේ ස්වරූප දෙකක් කැපී පෙනේ. එක් ස්වරූපයක් පෙන්නුම් කරන්නේ රාජපක්ෂ වරුන්ගේ පාලනය අවසන්වීම පිළිබඳ සන්තාපයයි. අනෙක් ස්වරූපය පෙන්නුම් කරන්නේ නීති ගරුකව කැපවීමෙන් වැඩ කිරීමට දක්වන මැලිකමයි.

යථාර්ථය

රටේ අනාගතය වෙනුවෙන් ජනවාරි 08 වෙනිදා සිදු වුණ පෙරළිය ගැන ගෞරවනීය පුරවැසියන් අතර වෛද්‍යරුන් ද, නීතිඥයන් ද, විනිසුරුවරුන් ද, සිවිල් නිලධාරීන් ද සිටින බව මෙහ‘දී කිව යුතුය. මේ වෘත්තිකයන් අතරින් ඇතැම් පිරිස් පැවති පාලනය වෙනස් කිරීමේ ලා පුරෝගාමී මෙහෙවරක නිමග්නව සිටි බව ද කිව යුතුය. තව දුරටත් වඩා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම් ගෞරවනීය තත්වයක ඇත. විශාල ධනස්කන්ධ රැගෙන දෙපා ළඟට රාජපක්ෂවරුන් වෙනුවෙන් අවශ්‍ය සහාය ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන් විස්මයට පත් කරමින් තමන් දරන ආස්ථානයන් වෙනස් කර නොගත් පුද්ගලයෝ ද සිටිති. රාජපක්ෂවරුන්ට අවශ්‍ය වන්නේ හැම දෙයක් සම්බන්ධව කල් මැරීමටය. ඒ කුමට ද? මිල ගෙවන්නට සුදුසු වේලාව අල්ලා ගැනීමටය. අභාග්‍යය වන්නේ මේ යථාර්ථය රටේ පාලකයන්ගේ ඉඳුරන්ට ගෝචර නොවීමයි. පාලකයන් අසංවේදී ස්වරූප දෙකක් ගැන අද අසන්නට ලැබේ.

එක් ස්වරූපයක් වන්නේ, අසාධාරණයට අයුක්තියට එරෙහිව කතා කරන හා පෙනී සිටින පුද්ගලයන් මහ පොළොවෙන් තුරන් කිරීමට සුදු වෑන් වෙනුවට මෝටර් බයිසිකල් සංස්කෘතියක් නිර්මාණය කිරීමට පිඹුරු පත් සකස් කිරීමක් ගැනය. එසේ නොමැතිව රටේ තාරුණ්‍යයට හෙටක් උදා නොවන බවය අත මිට සරු කර ගත් දැන උගත් උදවිය ද වියරුවෙන් මෙන් මධුමතින් වුව පවසන්නේ.

අනෙක් ස්වරූපය නම්, මහින්ද රාජපක්ෂගෙන් තනතුරු වරදාන ලබා ගත්, හරි හම්බ කර ගත්, දරුවන්ගේ ප්‍රශ්න නිරාකරණය කර ගත්, පුද්ගලයන් කිසිදු හිරිකිතයකින් තොරව වත්මන් ජනාධිපතිවරයාගේ දෙපතුල ළඟට පැමිණ රාජපක්ෂවරුන්ට දෙසා බෑමය. ඒ කුමක් සඳහා ද? පල් වල ඉහ ගෙන කෑම සඳහාය. ‘අපේ නිරුවත වසා ගැනීමට අපි අකමැති නම් තොපිට තිබෙන ගාය කුමක් දැයි’ ඔවුන් ජනවාරි 08 වෙනසට දායකවූවන්ට පණිවිඩ එවන තත්වයක් ද තිබේ.