රාවය

විනිසුරුගේ මුහුණේ වසුරු ගෑ වර්ණකුලසූරිය

විනිසුරුගේ මුහුණේ වසුරු ගෑ වර්ණකුලසූරිය

කේ ඩබ්ලිව් ජනරංජන

ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ වාර්තා චිත්‍රපටිය මහජන ප්‍රදර්ශනයට එරෙහිව හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත්තේය. පසුගිය අඟහරුවාදා එහි පූර්ව දර්ශනය කොළඹ රීගල් සිනමාහලේදී පැවැත්වුණු අතර, සමාජයේ සෑම අංශයකම කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකරන විශාල පිරිසක් එය නැරඹීමට පැමිණ සිටියහ. එම දර්ශනයෙන් පසු සීමිත සිනමාහල් සංඛ්‍යාවක චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීමට ප්‍රසන්න සැලසුම්කොට තිබුණු අතර, ලෙනින් රත්නායක වාරණ නියෝගයක් ලබාගත්තේ එම පූර්ව දර්ශනයට පසු දිනයේය.

‘උසාවිය නිහඬයි’ චිත්‍රපටිය නිර්මාණය කොට ඇත්තේ මේ රටේ අන්ත දූෂිත අධිකරණ ක්‍ෂෙත්‍රයට එරෙහිව රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන් කළ ඓතිහාසික අරගලයේ එක් පදාසයක් පාදක කරගනිමිනි. ඒ කොටස මහව හිටපු මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකගේ භූමිකාවට අදාළය. තමා ඉදිරියේ ඇසෙන නඩුවල විත්තිකරුවන්ගේ භාර්යාවන් තම නිල මැදිරිය තුළදී මෙන්ම ප්‍රයෝගකාරී ලෙස තානායම්වලට ගෙන්වා ඒවායෙහිදී දූෂණය කළ ලෙනින් රත්නායක විනිසුරුවරයාගේ ඒ පාදඩ වැඩවලට පිම්පිකම් කළේ ඒ උසාවියේ වැඩකරන නීතිඥයන් දෙදෙනකු විසිනි. චිත්‍රපටිය තිරයේ දිගහැරෙන විට ඇස් පනාපිට පෙනෙන විනිසුරුගේ හා නීතිඥයන්ගේ නින්දිත ක්‍රියා දකින ප්‍රේක්‍ෂකයන්ගේ සිත් තුළ, අහෝ මේ නම් කුමන තුච්ඡ අධිකරණයක්දැ’යි පිළිකුලක්, හිරිකිතයක් නම් ඇතිවුණා නිසැකය. ඒ තරමට ප්‍රසන්නගේ රූපරාමු, චරිත හැසිරවීම මෙන්ම චිත්‍රපටියේ ගලායෑමද ප්‍රබලය. දූෂණයට ලක්වූ එක් තරුණ කාන්තාවකගේ රක්‍ෂිත බන්ධනාගාරගත සැමියා, ඒ වේදනාව හා අවමානය ඉවසනු නොහැකිව අසූචි බෑගයක් උසාවියට සඟවා ගෙනැවිත් විනිසුරු අසුනේ සිටි ලෙනින් රත්නායක විනිසුරුවරයාගේ මුහුණට දමා ගැසූ ආකාරයත්, එසේ දමාගසන ලද එක් අසූචි බෑගයක් උසාවියේ විදුලි පංකාවේ වැදී මුළු උසාවියම ගඳගස්වමින් හැම තැනම විසිරුණු ආකාරයත් චිත්‍රපටියේ දිගහැරෙන විට, මෙවැනි නින්දාසහගත අධිකරණයකට හිමිවිය යුතු යුක්ති සහගත ඉරණම එයම නොවේදැ’යි ප්‍රේක්‍ෂකයාට සිතෙන්නට ඇති බව ඒ මොහොතේ ප්‍රේක්‍ෂකාගාරයෙන් නැගුණු සමච්චල් සහගත ප්‍රතිචාරවලින් මොනවට පැහැදිලි විය.

මීට පෙර රාවය පුවත්පතේද, වික්ටර් අයිවන්ගේ ‘නොනිමි අරගලය’ පොතේද මේ සියලු කාරණා සවිස්තරාත්මකව සටහන්කොට ඇතිවා වුණත්, ඒ මුද්‍රිත අකුරු ඉක්මවා යන අතිවිශාල බලපෑමක් මේ චිත්‍රපටිය හරහා කෙරෙන බව පැහැදිලිය. ප්‍රසන්නගේ චිත්‍රපටිය එක් අතකින්, මුද්‍රිත මාධ්‍යය විසින් කරන ලද සටනක් සිනමා මාධ්‍යයට පරිවර්තනය කිරීමෙන් ඇතිකළ හැකි සුවිශාල සමාජ බලපෑම සංකේතවත් කරන්නකි. අනෙක් පැත්තෙන්, වික්ටර් අයිවන් මහතා රාවය හරහා කළ අධිකරණ ස්වාධීනත්වය උදෙසාවූ නොනිමි අරගලය යළිත් යෝධ පිම්මකින් ජනමනස තුළ ඔසොවා තැබීමකි.

දැන් ලෙනින් රත්නායක, උසාවිය නිහඬයි චිත්‍රපටියට එරෙහිව උසාවි ගොස් තිබේ. ලෙනින් රත්නායකට අදාළ චෝදනා හතරක් සම්බන්ධයෙන් විභාග කරලීමට එවකට අභියාචනාධිකරණ විනිසුරු වරුන් තිදෙනකුගෙන් සමන්විත පරීක්‍ෂණ මණ්ඩලයක් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද අතර, ලෙනින් රත්නායකට එරෙහිව චෝදනා හතරක් එම පරීක්‍ෂණ මණ්ඩලය විසින් විභාග කරන ලදි. ඒවා නම්, 1. විත්තිකාරියක නීතිඥයකු මගින් සිය නිලකාමරයට කැඳවා එහිදී ඈ සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම, 2. ඇය එදින අසනීප වීමෙන් පසු තම නියෝගය මතම රෝහල්ගත කොට සිටියදී පසුදින ඇය යම් ස්ථානයකට ගෙනගොස් පිස්තෝලයක් පෙන්වා බියගන්වා ඈ සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම. 3. තමා ඉදිරියේ අසන නඩුවක විත්තිකරුවකුගේ භාර්යාව කටඋත්තරයක් ලබාගැනීමට යැයි තානායමකට රවටාගෙන ගොස් ඇය සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම 4. ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාවේ සේවයේ සිටියදී රක්‍ෂණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් වැරදිකරු කොට වැඩ තහනම් කළ බව අනාවරණය නොකොට විනිසුරු පදවියක් ලබාගැනීම යනාදියයි. හානියට ලක්වූ කාන්තාවන් ඇතුළු පිරිසගෙන් හා ලෙනින් රත්නායකගෙන්ද සාක්‍ෂි විමසූ එම පරීක්‍ෂණ මණ්ඩලය අවසානයේ ඉහත චෝදනා හතරටම ලෙනින් රත්නායක වරදකරු කළේය.

1999දී මේ දූෂිත විනිසුරුවරයා අගය කරමින් ‘මුඞ්ලියර්’ යන නමින් සන්ඬේ ටයිම්ස් පුවත්පතට ලිපියක් ලිව්වේ නීතිඥ හේමන්ත වර්ණකුලසූරියය. පසුගිය සතියේ අපේ ලිපියෙන් ලෙනින් රත්නායක වර්ණනා කළ වර්ණකුලසූරියගේ ඒ වචන උපුටා දැක්වූයෙමු. ලෙනින් රත්නායකගේ කතාවෙන් ඇරඹෙන රාවයේ අරගලය පසුව නීතිපති සරත් එන් සිල්වාට එරෙහිවද, පසුව අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිවද දිගැදී ගියේය. එක් මොහොතක අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන එන තරම් දුරට එය ගොඩනැගුණේය. අපගේ මතකය නිවැරදි නම්, මේ දෝෂාභියෝග ක්‍රියාවලියේ මුල් අවස්ථාවේදී වර්ණකුලසූරිය හිටියේ දූෂිත අගවිනිසුරුට විරුද්ධව, දෝෂාභියෝගයට පක්‍ෂ පිලේය. ඒ අතරේ වර්ණකුලසූරිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වූ ස්විනිතා ගුණරත්න මහත්මියට අසභ්‍ය වචනයෙන් බැනවැදී ඇය සමඟ අරෝවක් ඇතිකර ගත්තේය. ඇය අගවිනිසුරු සරත් එන් සිල්වාට පැමිණිල්ලක් ඉදිරිපත් කළාය. සරත් එන් සිල්වා, වර්ණකුලසූරිය තමා වෙත ගෙන්වා ඔහුට එරෙහිව නීතිඥවරියගෙන් ඉදිරිපත්වී ඇති චෝදනා පෙන්වා, වර්ණකුලසූරියගේ කළු කබාය හෙටානිද්දා ගැළවෙන තරමට එම චෝදනා ප්‍රබල බව කිව්වේය. ඊට දින දෙක තුනකට පසුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැති පැදුරු පාටියකට පැමිණි දූෂිත අගවිනිසුරු සරත් එන් සිල්වා සාදරයෙන් පිළිගන්නා ලද්දේ වර්ණකුලසූරිය විසිනි. වර්ණකුලසූරියගේ අගවිනිසුරු විරෝධය වහා වෙනස්වී දින දෙක තුනකදී ඔහු මහා කළු ඔඩොක්කු කුක්කකු බවට රූපාන්තරණය වී තිබුණි.

මහින්ද රාජපක්‍ෂ පාලන කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරගේ පානදුර නිවසෙහි තිබුණු විස්කි බෝතල් කිහිපයක් හා ලැප්ටොප් පරිගණකයක් කිසිවකු විසින් හොරකම් කරන ලදි. මේ සම්බන්ධව තරුණයකු අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ළඟ තිබුණු මංගලගේ ලැප්ටොප් පරිගණකය පොලිසිය බාරයට ගන්නා ලදි. එය තැබුණේ පානදුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල කටුපිටිය භාරයේය. දින කිහිපයකට පසු මේ තරුණයා හේමන්ත වර්ණකුලසූරිය සමඟ සීඅයිඩීයට පැමිණ දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය. එහි සඳහන් වූයේ, තමා සහ මංගල අතර සමීප සම්බන්ධතාවක් තිබුණු බවත්, තමා දන්නා විදියට මේ ලැප්ටොප් එකේ අසභ්‍ය චිත්‍රපටි තිබෙන බවත්, ඒවා දෙදෙනාම එකට නරඹා ඇති බවත්ය. මේ කතාව ඒ දිනවල රාජපක්‍ෂවාදී මාධ්‍යවලට හොඳ කටගැස්මක් වී තිබුණේය. ඒ කියන කතාව ඇත්ත නම් එක පැත්තකින් ආණ්ඩුවට මංගලට දමාගසන්නට හොඳ ආයුධයක් හමුවේ. අනෙක් පැත්තෙන් පොලිසියටද ඉදිරි පියවර ගත හැකිය. මේ නිසා පොලිස්පතිවරයාගේද නියමයෙන් ලැප්ටොප් පරිගණකය තුළ ඇති දේ පරීක්‍ෂා කරන්නට කොළඹ විශ්වවිiාලයට භාරදෙන ලදි. ඔවුන්ගේ පරීක්‍ෂණවලට අනුව, ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටි තිබෙන බව හෙළිදරව් විය. එහෙත්, ඒවා පරිගණකයට ඇතුළුකොට තිබුණේ පරිගණකය කපිල කටුපිටිය පොලිස් අධිකාරිවරයාගේ භාරයේ තිබුණු දිනවකවානුවල බවත් එහිදී හෙළිවිය. පොලිසිය කළේ වහාම ඒ ගැන ඉදිරි පියවර ගැනීම අත්හැරීමය. වර්ණකුලසූරිය සමඟ පැමිණ සැකකරු සීඅයිඩීයට දුන් දිවුරුම් පෙත්සමේ කරුණු අමූලික බොරුවක් බව පැහැදිලිය.

දැන්, මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ තෝල්කයා වී සිටින්නේ මේ දුර්වර්ණ නීතිඥවරයාය. මහාධිකරණ විනිසුරුවරයාගේ දුරකතන ටැප් කර ඇති බවටද ඊමේල් හැක්කර ඇති බවටද කියන අවනඩුවක් පත්තර හා රූපවාහිනී චැනල හරහා පසුගිය සතියේ වපුරමින් සිටියේද මේ අපකීර්තිමත් මුඞ්ලියර්ය. ඒ ගැන කතාකරන්නට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ සංගමයේ රැස්වීමක් කැඳවන ලෙස වර්ණකුලසූරිය ඉල්ලා සිටියේය. ඒ අනුව පසුගිය 5වැනි බදාදා රැස්වීමක් කැඳවිණි. එහිදී වර්ණකුලසූරිය මේ චෝදනා ඉදිරිපත් කරමින් සද්ද බද්ද ඇතිව කතාකරන විට සභාවේ සිටි අනෙක් නීතිඥවරු ඊට එරෙහිව කරුණු දැක්වූහ. එවැනි සිදුවීමක් වී ඇද්ද යන්න ගැන වර්ණකුලසූරියම කියනවා මිස වෙනත් තොරතුරක් සංගමයට දැනගන්නට නැති බැවින්, සංගමයේ නියෝජිත පිරිසක් අදාළ විනිසුරු හමුවී කරුණු විමසා දැනගත යුතු බවත්, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මතයද විමසා දැනගත යුතු බවත් හිටපු සභාපතිවරයකු වූ ගුණරත්න වන්නිනායක කීවේය. තමාගේ මතයට කිසිදු සහායක් සභාවෙන් නොලැබෙන තත්ත්වයකදී අවසානයේ වර්ණකුලසූරියට සිදුවුණේ වන්නිනායකගේ අදහසට එකඟවී බොරු සද්දය අකුලා ගන්නටය.

මේ අතර, තමාගේ දුරකතන ටැප් කිරීම හා ඊමේල් හැක්කිරීම ගැන මැදිහත්වී ඒ ගැන විමර්ශනයක් කරන ලෙස හා නිල ප්‍රකාශයක් නිකුත් කරන ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයෙන් ඉල්ලා ලියුමක් පසුගිය සඳුදා (4) යවා තිබුණි. එහෙත් එවැනි පියවරක් ගැනීම මහාධිකරණ විනිසුරු සංගමය ප්‍රතික්‍ෂෙප කර තිබෙන බව දැනගන්නට තිබේ. ඒ එම සංගමයේම පූර්ව ආදර්ශ අනුව යමිනි. 2012 වර්ෂයේදී අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝගය ආ අවස්ථාවේදී එය අසාධාරණ හා අවනීතික ක්‍රියාවලියක් බව පැහැදිලිව දුටු එවකට මහාධිකරණ විනිසුරුවරු, ඊට එරෙහිව ප්‍රකාශයක් නිල වශයෙන් නිකුත් කළ යුතුයැ’යි සිය මහාධිකරණ විනිසුරු සංගමයේ සභාපතිගෙන් හා ලේකම්ගෙන් ඉල්ලා සිටියහ. මේ දෙදෙනා එවැන්නක් කිරීම තරයේ ප්‍රතික්‍ෂෙප කළහ. එවකට සංගමයේ සභාපති වුණේ මහාධිකරණ විනිසුරු (දැන් විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු) මාලනී ගුණරත්නය. ලේකම් වුණේ දැන් මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නය. තමාට අසාධාරණයක්වීයැයි හැඟෙන වේලාවක පවා ප්‍රකාශයක් නිකුත්කරවා ගැනීමට නොහැකි තත්ත්වයකට දෝෂාභියෝග කාලයේ සංගමයට පූර්ව ආදර්ශ දී තිබුණේ විනිසුරු ශිරාන් ගුණරත්නමය.

හොඳයි, ශිරාන් ගුණරත්න විනිසුරුගේ දුරකතන ටැප් කළාම යැයිද, ඊමේල් හැක් කළාමයැයිද සිතමු. ඔහු වහාම කළ යුතුව තිබුණේ ඒ ගැන අගවිනිසුරුවරයාට පැමිණිලි කිරීමය. ඉන්පසු සිය නිල කාමරයටම හෝ පොලිසිය කැඳවා පැමිණිල්ලක් කිරීමය. එවිට පොලිසිය ඒ ගැන විමර්ශනය පටන්ගන්නවා ඇත. එහෙත්, කෙහෙල් කැන වැට පැන්නා වාගේ, සියල්ලටම පෙර මේ බරපතළ කාරණය ගැන මාධ්‍ය පුස්වෙඩිල්ල පත්තු කළේ හේමන්ත වර්ණකුලසූරියයි. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රාදේශීය නියෝජිතයන්ගේ රැස්වීමේදී ඔහු මේ කාරණය ඉස්මතු කළේය. ඒ කතාවට හිරු ටීවී නාලිකාවද මුල් පෙළේ ප්‍රචාරයක් දුන්නේය.

විනිසුරු ශිරාන් ගුණරත්න බුද්ධිමත් වී නම්, වහාම කළ යුතුව තිබුණේ තමා වෙනුවෙන් තෝල්කකම් කරන වර්ණකුලසූරියට එම කාර්යභාරයෙන් වහාම ඉවත්වන ලෙස දන්වන හැටියට නීතිඥ සංගමයට හෝ අගවිනිසුරුට දැන්වීමයි. එසේ නොකිරීමෙන් දැන් අගතියට පත්වී ඇත්තේ මහාධිකරණ විනිසුරුවරයාමය. අප එසේ කියන්නේ ඇයි? වර්ණකුලසූරිය දැන් මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වාගේ නීතිඥවරයාය. දුමින්ද සිල්වා වර්ණකුලසූරියගේ සේවා දායකයාය. භාරත ලක්‍ෂ්මන් ඝාතනය ගැන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී ලඝු නොවන විභාගය හෙවත් මූලික පරීක්‍ෂණය පැවැත්වෙන විට දුමින්ද සිල්වා වෙනුවෙන් පෙනීහිටියේ වර්ණකුලසූරියයි. හිසට ඇතිවුණු තුවාල නිසා දුමින්ද සිල්වාට කිසිවක් මතක නැතැ’යි කියන නිදහසට කාරණය දුමින්ද වෙනුවෙන් උසාවියට කිව්වේ නීතිඥ වර්ණකුලසූරියයි. උසාවියේදී ඒ බව කිව්වා විතරක් නොවේ. හිස් කබලේ ආකෘතියක්ද රැගෙන විත්, උසාවියේ ගේට්ටුව අසලදී මාධ්‍යවලට ඒ කතාව ආලවට්ටම් දමා කීවේද වර්ණකුලසූරියයි. එහෙත් උගත් මහේස්ත්‍රාත්වරයා වර්ණකුලසූරියගේ ‘අමතක වීමේ’ තර්කය පිළිනොගෙන නඩු විභාගය මහාධිකරණයට තැබුවේය. ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ 2:1ක බහුතර තීරණය වුණේ දුමින්ද වරදකරු බවයි. ශිරාන් ගුණරත්න විනිසුරු දුමින්ද සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කළේය. නීති විරෝධී ස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් විත්තිකරුවන් සතුව තිබියදී සොයාගත් බවට නඩුවේ පැහැදිලි සාක්‍ෂි ඉදිරිපත්වී තිබියදීත් (මේ ගිනිඅවි එල්ටීටීඊ සංවිධානය භාවිත කළ ඒවා බවටද හෙළිවිය.) විත්තිකරුවන් සියලු දෙනා නිදහස් වීම නීතිය ගැන උනන්දුවක් දක්වන්නන්ගේ විමතියට හේතුවී ඇති බව සැප්තැම්බර් 11වැනිදා රාවය වාර්තා කළේය. ස්වයංක්‍රීය ගිනි අවි නීති විරෝධීව සන්තකයේ තබාගැනීමේ වරද සඳහා අපේ නීතියේ දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමයි.

එහෙව් පසුබිමක ශිරාන් ගුණරත්න විනිසුරුගේ දුරකතන ටැප් කිරීම හා ඊමේල් හැක්කිරීම ගැන මාධ්‍ය සංදර්ශනයට දුමින්දගේ නීතිඥ වර්ණකුලසූරියත්, දුමින්දගේ සහෝදරයාගේ හිරු චැනලයත් ඉදිරිපත්වීම අප තේරුම්ගත යුත්තේ කෙසේද? සිදුවී ඇත්තේ තමාගේ සියොලඟෙහි ගෑවී ඇති වසුරු හොඳින් අනා වර්ණකුලසූරිය, මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්නගේ හිසෙහි ආලේප කිරීමක් වැනි දෙයක් නොවේද? ඊටත් වැඩිය අධිකරණයේ කීර්තිය හා ස්වාධීනත්වය ගැන කතාකරන්නට වර්ණකුලසූරියට ඇත්තේ කුමන අයිතියක්ද? මේ මජර ගලන අධිකරණ කුණුගොඬේ සුපර් ස්ටාර් කෙනකු වන වර්ණකුලසූරිය අධිකරණ ගරුත්වය ගැන කතාකරන විට නොහිම් පිළිකුලක්, හිරිකිතයක්, අපුලක් ඇඟ පුරා දිවයන බව අපි ගිය සතියේත් ලීවෙමු.

විනිසුරුවරයාට එවැනි අකරතැබ්බයක් සිදුවී ඇති බව වර්ණකුලසූරිය දන්නේ කොහොමද? විනිසුරුවරයා ඔහුට ඒ ගැන කිව්වාද? වර්ණකුලසූරිය හොයා දැනගත්තාද? තමාට එවැන්නක් දැනගත හැකිවී නම්, වර්ණකුලසූරිය මාධ්‍ය පුස්වෙඩිල්ල පත්තුකරන්නට පෙර ඒ ගැන අවශ්‍ය තැන්වලට විනිසුරුවරයා පැමිණිලි නොකළේ ඇයි?
වර්ණකුලසූරියට වුවමනා නම් දුරකථන ටැප් කිරීම ගැන තමා අධ්‍යක්‍ෂ ධුරයක් දරන විදුලි සංදේශ නියාමන කොමිසම තුළින්ම සොයාබැලීමට හැකිය. එහි අධ්‍යක්‍ෂධුරයක් මේ අපකීර්තිමත් පුද්ගලයාට ප්‍රදානය කළේ ජනාධිපතිවරයා විසිනි. නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂධුරයට නීතිඥවරයකු පත්කළ යුතු නම්, එවැනි තනතුරකට ගැළපෙන, විශ්වාසවන්ත, කීර්තිමත්, නීතිය දන්නා, සුපිළිපන්භාවයෙන් යුත්, ගෞරවනීය නීතිඥවරුන් සොයාගන්නට ජනාධිපතිවරයාට පහසුවෙන්ම ඉඩ තිබුණි. වර්ණකුලසූරිය මෙතැනට උස්සා තැබෙන්නේ මුළු රටම තමන්ගේ මාධ්‍ය ආධිපත්‍යයට බාගැනීමේ සිහිනයක ගැලී සිටින මහරාජාවරයකු විසින් බවද දැනගන්නට තිබේ.

අමතක නොකළ යුතු භයානක පැත්තක් වර්ණකුලසූරියගේ මේ දුෂ්ට ප්‍රයත්නයේ තිබේ. දුරකථන ටැප් කිරීම ගැන ඔහුගේ චෝදනාව අඩුවැඩි වශයෙන් එල්ලවන්නේ සීඅයිඩීය වෙතටය. භාරත ලක්‍ෂ්මන් ඝාතනයට අදාළව සීඅයිඩීය වෙනුවෙන් විශිෂ්ට ලෙස විමර්ශන මෙහෙයවූවේ සහකාර පොලිස් අධිකාරී ශානි අබේසේකරය. ශානි අබේසේකර යනු පොලිසියේ සිටින අතිවිශිෂ්ට විමර්ශන නිලධාරියකු බව සියල්ලෝ දනිති. ඒ නිසාම, ඔහු මහින්ද රාජපක්‍ෂ රෙජීමයේ හිටපු හොරුන්ට, අපරාධකරුවන්ට ඇහැට පෙනෙන්නට බැරි කෙනකු, වෛරක්කාරයකු වී තිබේ. ප්‍රකට ජාතිවාදියකු වන බෙංගමුවේ නාලක හිමියන් විසින් වරෙක ප්‍රසිද්ධියේ ශානි අබේසේකර හඳුන්වන ලද්දේ දේශද්‍රෝහියකු ලෙසය. ඒ එක්නැලිගොඩ ඝාතනය ගැන පරීක්‍ෂණ පවත්වා ඊට වගකිවයුතු හමුදා බුද්ධි අංශ නිලධාරීන් නීතිය ඉදිරියට පැමිණවීම නිසාය. මහින්ද පාර්ශ්වයේ වෑයම වන්නේ ශානි අබේසේකර ඇතුළු මේ විශිෂ්ට නිලධාරීන් බියගන්වා, අපවාදයට ලක්කොට, තමන්ට එරෙහිව කෙරෙන අපරාධ පරීක්‍ෂණ දුර්වල කරගැනීමය. වර්ණකුලසූරිය මේ ඉදිරියට ගෙනයන්නේද ඒ දුෂ්ට ක්‍රියාන්විතයමය. ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ මේ අවලාද හරහා ශානි අබේසේකර වැන්නන් දඩයම් කරගැනීමටය. එහෙත්, වාසනාවකට මේ කොන්ද පණ ඇති නිලධාරීන් ඒ අවලාදවලින් බියට පත්වන්නේවත්, ඒ තර්ජනවලට යටත්වන්නේවත් නැතිව, අපරාධකරුවන්ගෙන් දූෂිතයන්ගෙන් තොර ලංකාවක් සඳහා තමන්ගේ දෛව රාජකාරිය නොකඩවා ඉටුකරමින් සිටිති.
ඒ අතර ජනාධිපතිවරයා මෙවැනි අපකීර්තිමත් පුද්ගලයන්ට ආණ්ඩුවේ ඉහළ තනතුරු ප්‍රදානය කරමින් ආණ්ඩුවේද තමාගේද කීර්තිනාමයට හානි පමුණුවාගනියි.