තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව


thadujeen

කේ.සංජීව

1984 ජූනි 13 වැනිදා උපත ලද මොහොමඞ් වසීම් තාජුඩීන් 2012 මැයි මස 17 වැනිදා මිය යනවිට 28 වියේ තරුණයෙකි. ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙකි. හැව්ලොක් ක්‍රීඩා සමාජයේ නායකයා මෙන්ම ලංකා රග්බි කණ්ඩායමේද ඔහු හිටපු සාමාජිකයෙක් ය. 2012 මැයි 17 නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසලින් අඩක් ගිනිගෙන දැවුණු ඔහුගේ රථය සහ ඔහුගේ සිරුර හමුවිය. එවක රාජපක්ෂ යුගය විය. වසීම් තාජුඩීන්ද රාජපක්ෂ පුතුන්ගේ ගජමිතුරෙක් ය. සමහරවිට කරදරකාර මිත්‍රයෙකු වන්නට ඇත. වසීම් තාජුඩීන් රාජපක්ෂ පුතුන්ගේ ගජමිතුරෙකු වුණත් ඔහුගේ මරණය පිළිබඳව එවක සාධාරණ පරීක්ෂණයක් සිදු නොවිණි. අවසානයේදී මේ මරණය රිය අනතුරක් නිසා සිදුවූ තවත් මරණයක් පමණක් ම විය. සැකසංකා බොහෝ පවුලේ අය සහ මිතුරන් අතර ඉතිරිකර තාජුඩීන් යන්න ගියේය. කාලය ගතවිණි. පාලනය වෙනස් විය. රජ පවුල කුජීත විය. තාජුඩීන් නැවත වළෙන් නැගිට්ටේය.

“මේක හරිම සූක්ෂ්ම විදියට කළ මර්ඩර් එකක්. එළියට එන්න එක පොයින්ට් එකක් තියලා නැහැ. මේක කළ අය හිතුවේ නැහැ මේක මේ විදියට මතුවෙයි කියලා. එහෙම පොඩි හරි සැකයක් තිබුණා නම් ඔය බොඩි එක ඔතැන තියෙන්න දෙන්නේ නැහැ. ඒක තමයි මේ ඝාතකයන්ට වුණු එකම වරද” මේ පොලිස් මිත්‍රයකු මට වරක් පැවසූ කතාවක් ය. එදා රිය අනතුරක් නිසා සිදුවූ මරණයක් අද ඝාතනයක් බවට පෙරළී ඇත. ඇත්තටම නම් සිදුවී ඇත්තේ ඝාතනයක් රිය අනතුරකින් සිදුවූ මරණයක් ලෙස කණපිට පෙරළා තිබූ ඒ අතීතය නැවත නිවැරදි පිටට පෙරළීමය. දැන් දැන් එදා ඝාතනයක් රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට පෙරළීමේ ඒ සාහසික නාටකයේ නොයෙක් ජවනිකා සහ භූමිකා මතුපිට සමාජය මතට පැමිණ ඇත.

නිසි පරීක්ෂණ සිදුවී ඇත

දැන් හෙළිවී ඇති කරුණුවලට අදාළව බලන විට එවක මෙම ඝාතනය පිළිබඳව නිසි පිළිවෙළට පරීක්ෂණ සිදුවී ඇත. එහෙත් එක් මොහොතකදී ඒ පරීක්ෂණ එක් පුද්ගලයෙකුගේ ඍජු බලපෑම මත නතරවී රිය අනතුරක් බවට පෙරළී ඇත. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඩීය) අධිකරණයට කරුණු වාර්තා කරමින් කියන්නේ එවක කොළඹ අපරාධ කොට්ඨාසය නිසි විමර්ශනයක් සිදුකර ඇති බවය. එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහ 2012.05.19 වැනි දින පොලිස් සමීප රූප ආවේෂණ (ජජඑඩ) කොට්ඨාසයට ගොස් මෙම මරණය පිළිබඳව පරීක්ෂණ සිදුවන බැවින් 2012.05.16 දිනයේ රාත්‍රී 11 සිට පසුදා උදෑසන 2 දක්වා කාලය ආවරණය වන පරිදි බේස්ලයින් පාර, හයිලෙවල් පාර (කිරුළපන මංසන්ධිය), නාරාහේන්පිට මංසන්ධිය ආදි ස්ථානවල සවිකර ඇති ජජඑඩ කැමරාවල පටිගතවූ දර්ශන සංරක්ෂණය කර තබන ලෙස උපදෙස් දී ඇත. ඒ පිළිබඳව එවක කොළඹ අපරාධ කොට්ඨාසය භාරව සිටි නිලධාරියා වන පොලිස් අධිකාරී ඩී.ආර්.එල්. රණවීර තමන්ගේ අත්සනින් ලිපියක් ජජඑඩ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට යොමු කර ඇති බවද වාර්තාවෙයි. පසුව ඉහත අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක සෝමතිලක අදාළ දසුන් සහිත සීඩී තැටි 4ක් ඉහත කොට්ඨාසයට ගෙන ගොස් පරීක්ෂාවට ලක්කර ඇත. එහෙත් නව රජය බලයට පැමිණ අලුතින් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඉහත දර්ශන සීඅයිඩීය භාරයට ගන්නා තෙක් නිසි ක්‍රමවේදයකට සංරක්ෂණය කර තබා තිබී නැත. අද මෙම දර්ශන විශ්ලේෂණය සඳහා කැනඩා ආයතනයකට යැව්වත් පලක් වී නැත. ඒ නිසා මේ ඔහේ දමා තිබීම ඝාතනය රිය අනතුරකට පෙරළීමේ කුමන්ත්‍රණයේම කොටසක් විය හැකිය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ මේ විමර්ශන පිළිබදව තවත් හෝඩුවාවක් පැමිණෙන්නේ පොලිස් කොස්තාපල් නිරාෂ් සුමින්ද වික්‍රමනායකගේ ප්‍රකාශයක් තුළිනි. ඔහුගේ ප්‍රකාශයකට අනුව, ඔහු එවක එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ් විජේසිංහගේ වාචික නියෝගය මත, 2012.05.20 දින තවත් පොලිස් නිලධාරියෙකු සමඟ බොරැල්ල පොලිස් ස්ථානයේ පිහිටුවා තිබෙන අපරාධ ස්ථාන පරීක්ෂණාගාරය (ිදජද) වෙත ගොස් තාජුඩීන්ගේ පරීක්ෂණවලට අදාළ ඡායාරූප සහිත සීඩී තැටි රැගෙන විත් අදාළ උසස් නිලධාරියාට (සමුද්‍ර විජේසිංහ) ලබා දී තිබේ. මෙම ප්‍රකාශය කොළඹ අපරාධ කොට්ඨාසයේ එවක රාජකාරි කළ පොලිස් කොස්තාපල් ඉසුරු සුරංජිත් ද තහවුරු කර සීඅයිඩීයට ප්‍රකාශ ලබා දී ඇත.

මේ පිළිබඳව සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙන එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ අංක 5 ඒකකයේ ස්ථානාධිපති සමුද්‍ර විජේසිංහ කියන්නේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රණවීර මහතාගේ නියෝගය අනුව තමා තාජුඩීන්ගේ මරණය පිළිබඳව පරීක්ෂණයක් සිදුකළ බවය. ඔහුගේම නියෝගය අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් කොල්ලකෑමක් සම්බන්ධව පැවති නඩුවකට (බී.6802/01/11) අදාළ නියෝගයක් උපයෝගී කරගෙන දුරකතන අංක කිහිපයක ඇමතුම් විස්තර ලබාගත් බවය. මෙය එක් පැත්තකින් අධිකරණයට සිදුකළ බරපතළ අපහාසයක්ය. ඊට අමතරව තාජුඩීන්ගේ දුරකතන අංකය (0777354500) එවක ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට ලබාදීම සඳහා රණවීර මහතාට ලබා දුන් බවත් ඔහු කියයි. මේ ප්‍රකාශ බලද්දී අපට පෙනෙන්නේ මොවුන් රටේ නීතියට පිටුපා කටයුතු කළ අයුරුය. අනෙක් පැත්තෙන් ඩයලොග් දුරකතන සමාගමේ ප්‍රධාන විමර්ශන නිලධාරී ප්‍රේමසිරි රත්නායක කියන්නේ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ඉල්ලීමට අනුව තාජුඩීන්ගේ දුරකතනයට අදාළ වාර්තාව ිමාැිය?හයදදගජදප යන විද්‍යුත් ලිපිනයට යොමුකළ බවය. මේ ලිපිනය පොලිස් පරීක්ෂක සමුද්‍ර සුදේශ්ගේ බව අනාවරණය වී ඇතැයි සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කරයි. මෙලෙස ඉදිරියට ගිය පරීක්ෂණ හිටිඅඩියේ නතර කර එය රිය අනතුරකින් සිදුවූ මරණයක් බවට පෙරළුවේ කාගේ උවමනාවට කවුරුන්ගේ නියෝග මතද?

සුමිත් සැකයි

නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරා දැන් සිටින්නේ මේ ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරයේය. ඔහු මේ ඝාතනය සහ එහි සැලසුම් පිළිබඳව කලින් දැනසිටියේදැයි සාධාරණ සැකයක් පවතින බව පොලීසිය කියයි. ඒ ඇයි?
2012.05.17 වැනි දින අලුයම 1ට පැය 1/4ක් පමණ ආසන්න වේලාවකදී ණූ 6543 දරන කාරය ශාලිකා ක්‍රීඩාංගණයට අසල පාරේ කාණුවකට වැටී ගිනිගෙන දැවෙමින් තිබෙන බව නාරාහේන්පිට පොලීසියට දුරකතන ඇමතුමක් ලැබී ඇත. මෙම පණිවිඩය ඒ අවස්ථාවේ ඇමතුම ලබාගත් නිලධාරියා නාරාහේන්පිට පොලීසියේ ප්‍රධානියා වන ඬේමියන් පෙරේරාට දැනුම් දී ඇති බවත්, පාමුර සහ ජංගම සංචාරයේ නියුතු සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බවත්, ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය ගින්න නිවා පරීක්ෂා කිරීමේදී වම්පස ආසනයේ පිළිස්සී මියගොස් ඇති අයෙකුගේ සිරුරක් හමුවූ බවත්, ඒ වේලාවේ එම ස්ථානයේ සිටී ඬේමියන් පෙරේරා දුරකතනයෙන් අපරාධ අංශයේ ලොක්කා වන සුමිත් පෙරේරාට කතා කර පරීක්ෂණ සිදුකරන ලෙස නියෝග කර ඇති බවත් අනාවරණය වී ඇතැයි සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කරයි. ඒ අනුව ඔහු පැමිණ විමර්ශන කළ බවත් අනාවරණය වී ඇත. මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන සීඅයිඩීය නිලධාරීන් සුමිත් පෙරේරා රහස් පොලීසියට කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර එම ප්‍රකාශ එකිනෙකට පරස්පර බව සීඅයිඩීය අධිකරණයට කියයි.

මෙහිදී තමාට අනතුර නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ඬේමියන් පෙරේරා විසින් දැනුම් දුන් බව කීවත් සුමිත් පෙරේරාගේ 0771736781 දුරකතනයට අදාළව ඩයලොග් ආයතනය ලබාදුන් දත්ත පරික්ෂා කරන විට ඬේමියන් පෙරේරාගේ 0727161221 දුරකතනය සමග ඉහත ඩයලොග් දුරකථනය අදාළ කාලය තුළ සම්බන්ධවී නැති බව නිරීක්ෂණය වී ඇතැයි සීඅයිඩීය කියයි. සුමිත් පෙරේරාට මෙම අනතුර දැනුම් දුන්නේ කවුරුන්ද? මේ නිසා මේ සිදුවීම මේ නිලධාරියා කලින් දැනසිටියේද යන්න බරපතළ ප්‍රශ්නයක් බව සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියයි.

පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා නාරාහේන්පිට පොලීසියේ පවත්වාගෙන ගොස් තිබෙන දෛනික තොරතුරු සටහන් පොතේ (ඍෂඊ) සහ ග්‍රහණ අපරාධ සටහන් තොරතුරු පොතේ (ඨක්‍ෂඊ) එකිනෙකට පරස්පර සටහන් මේ පරීක්ෂණ පිළිබඳව යොදා ඇති බවද අනාවරණය වී ඇත. එමෙන්ම ඬේමියන් පෙරේරාගේ දුරකතන වාර්තාව සහ සුමිත් පෙරේරාගේ දුරකතන වාර්තාව සංසන්දනයේදී සහ එහි ඇමතුම් විස්තර සහ ඒ ඇමතුම් සම්බන්ධ කළ සම්ප්‍රේෂණ කුලුනුවල ස්ථානීය නිරීක්ෂණයේදී සුමිත් පෙරේරා වරින්වර සීඅයිඩීයට පැමිණ කළ ප්‍රකාශ අතර බරපතළ පරස්පරතා මතුවී ඇත.

2012.05.17 පැය 01ට පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා විසින් උපපොලිස් පරීක්ෂක උපාලි සමග තමන්ගේ පුද්ගලික රථයෙන් නිල ඇඳුමින් නාරාහේන්පිට සිට පාර්ක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල සිද්ධිය වූ ස්ථානයට ගිය බව සහ එහිදී කළ නිරීක්ෂණ පිළිබඳව ඔහු ග්‍රහණ අපරාධ සටහන් පොතේ සටහන් තබා ඇතත් උපපොලිස් පරීක්ෂක උපාලි සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත්තේ තමන් අදාළ නිලධාරියා සමග එම පරීක්ෂණවලට නොගිය බවය. මේ අතර සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙන පොලිස් සැරයන් වීරසේකර කියන්නේ තමන් මියගිය තාජුඩීන්ගේ මුදල් පසුම්බිය කිරුළපන පොලිස් වසමේ රොබට් ගුණවර්ධන මාවතේ තිබී හමුවී කිරුළපන පොලිසියේ පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරාට දුන් බවයි. මේක ෂුවර් එකටම මර්ඩර් එකක් නැත්තං කොහොමද සර් වාහනේ ගිය එකාගේ පර්ස් එක කිරුළපන වැටෙන්නේ යැයි තමා ඒ වේලාවේ කියූ විට උඹ පණ්ඩිතයා නොවී හිටහන් කියා සුමිත් පෙරේරා තමාට කී බව ඔහු ඒ ප්‍රකාශයේදී කියයි.

මේ අතර 2012.05.21 නාරාහේන්පිට පොලීසියට යන මොහොමඞ් නව්ෂාඞ් හුසේන්, තමාගේ කාර් එකෙන් පවුලේ නෑයන් සමග තාජුඩීන් මල්ලී අනතුරට පත් ස්ථානයට 2012.05.20 වැනි දින රාත්‍රී 12.30ට ගිය බවත්, ඒ අවස්ථාවේදී ණධ3317 රථය අනතුරට පත් ස්ථානයට හරවා ලයිට් එළි දල්වා පුද්ගලයන් දෙදෙනෙකු ඒ රථයෙන් බැස මල්ලීගේ කාරය අනතුරට ලක්වූ ස්ථානය පරීක්ෂා කරනු තමන් දුටු බවත් පවසා පැමිණිල්ලක් සිදුකර ඇත. එහෙත් පැමිණිල්ලට කිසිදු විමර්ශනයක් නැත.

ඊළඟට 2012.05.20 නාරාහේන්පිට පොලීසියට පැමිණෙන මොහොමඞ් සකීර් බදුර්දීන් ප්‍රකාශයක් ලබාදෙමින් කියන්නේ, මියගිය වසීම් තාජුඩීන් සමඟ තමා 2012.05.16 රාත්‍රියේදී මත්පැන් පානය කළ බවත් ඊට පසු තාජුඩීන් තමාව ඇරලවා පිටව ගිය බවත් පසුව බලන විට තමා නිවසට ඇරලූ දින රාත්‍රී 12.32ට තාජුඩීන් තමාට දුරකතනයෙන් කතාකර ඇති බවත්ය. එහෙත් මේ ප්‍රකාශ කිසිවක් පසුපස නාරාහේන්පිට පොලීසිය පන්නන්නේ නැත. අඩුම තරමින් තාජුඩීන්ගේ ජංගම දුරකතනයට, මුදල් පසුම්බියට වුණේ කුමක්ද කියාවත් සෙවීමේ උවමනාවක් නාරාහේන්පිට පොලීසියට තිබී නැත. මේ සියලු කරුණු එක පෙළට ගොනුකරමින් අධිකරණයට කරුණු වාර්තා කරන සීඅයිඩීය කියන්නේ සුමිත් පෙරේරාගේ එවක මේ ගැන හැසිරීම සැක බවය. ඔහු අදාළ ඝාතනය දැනසිටියාදැයි සැක බවය. ඒ තත්ත්වය මත සුමිත් චම්පික පෙරේරා අත්අඩංගුවට පත්විණි. අවසානයේ සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙන සුමිත් කියන්නේ උසස් පොලිස් නිලධාරීන්ගේ නියෝග මත තාජුඩීන්ගේ මරණය මාරක රිය අනතුරක් ලෙස විමර්ශනය කළ බවය. උසස් නිලධාරීන් මේ පිළිබඳව ඉදිරියට පරීක්ෂණ නොකරන්නැයි තමාට උපදෙස් ලබාදුන් බවද ඔහු වැඩිදුරටත් කීවේය. මේ උසස් නිලධාරියා කවුරුද?

අනුර සේනානායකද?

පසුගිය මහින්ද යුගයේදී නිල නොලත් පොලිස්පති ලෙස වැජඹුණු කොළඹ දිසාව භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක දැන් සිටින්නේ බන්ධනාගාරයේය. ඒ මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ යට ගැසුවේයැයි සැකයට බඳුන් වීය. මේ සැකයට හේතු තිබේද?
මේ ඝාතනය පිළිබඳව පරීක්ෂණ සිදුවූ ආකාරය ගැන, එවක නාරාහේන්පිට පොලීසියේ හිටපු රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා වූ, දැනට පානදුර පොලිසියේ එම තනතුරේම කටයුතු කරන පොලිස් පරීක්ෂක තිස්ස සරත්චන්ද්‍ර කියන්නේ මෙවන් කතාවකි. මෙම අනතුර පිළිබඳව තමා දැනුවත් වන විට තමා කළුබෝවිල රෝහලේ එවක ප්‍රතිකාර ලබමින් සිටි පියා අසළ සිටි බවත් දැනගත් පසු නාරාහේන්පිට පොලීසියට පැමිණ නිලඇඳුම් ඇඳගෙන තමාට නිකුත් කර තිබූ යතුරු පැදියෙන් අදාළ ස්ථානයට ගිය බවත්, ඒ වෙලාවේ එම ස්ථානයේ අනුර සේනානායක මහතා සිටි බවත්, ඔහු තමාට කතා කර තමුසේ එන්නේ දැන්ද? තමුසෙලා පාරේ ඉන්නවා නම් මේවා වෙන්නේ නැහැ නේ, මේක ‘ෆේටල්’ එකක් විදියට සටහන් කරලා ඉන්ක්වරී කරනවා කියලා නියෝග කළ බවත්ය. මේ නියෝගය නිසා තමා මේ මරණය රිය අනතුරක් නිසා සිදුවූ මරණයක් බවට ව්‍යාජ සටහන් යෙදූ බවත් ඔහු වැඩිදුරටත් සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙමින් කියා ඇත.

ඝාතනයට ලක්වූ තාජුඩීන්ගේ පියා මොහොමඞ් සම්සුදීන් තාජුඩීන් සීඅයිඩීයට ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටින්නේ, තමා එවක සුමිත් පෙරේරාගේ දැනුම්දීමක් මත 2012.05.18 වැනි දින නාරාහේන්පිට පොලීසියට පැමිණ ඔහු හමුවූ බවය. එහිදී සුමිත් පෙරේරා තමන් අනුර සේනානායකගේ කොළඹ කාර්යාලයට රැගෙන ගිය බවත්, එහි ගොස් පුටුවක හිඳ සිටින විට පැමිණි අනුර සේනානායක ‘මරණය ගැන සොයා බැලුවා. මේක රිය අනතුරක් කනගාටුයි..’ යනුවෙන් කියූ බවත් ඔහු කියයි. දේවල් එකල සිද්ධ වුණේ මේ අයුරෙන්ය. මෙම සිද්ධිය තවත් දෙදෙනෙකු සනාථ කරන අතර ඔවුන් දිනුක රොෂාන් සහ දිල්ෂාන් බුද්ධිකය. මෙම කරුණ කිරුළපන එවක ස්ථානාධිපති අරුණ ශාමන්ත මහතාද සනාථ කරන බවට සීඅයිඩීය අධිකරණයට කරුණු වාර්තා කරයි.

මේ අතර අනතුර සිදුවූ ස්ථානයේ පදිංචි පුද්ගලයෙකු සීඅයිඩීයට ප්‍රකාශයක් දෙමින් කියා සිටින්නේ තමා මේ අනතුර පිළිබඳව 119 දුරකතනයට දැන්වූ බවය. මේ සිද්ධිය තමන්ගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කළ බවත් සිද්ධිය වූ අවස්ථාවේ කළු පැහැති කාරයකින් සිවිල් ඇඳුමින් සැරසී අනුර සේනානායක එම ස්ථානයට පැමිණ සිටි බවත් ය. අනුර සේනානායක සම්බන්ධයෙන් මේ සාක්ෂිය ඉතාමත් වැදගත්ය.

බෙල්ල සිදුරු කර කළවා අස්ථිය කුඩුකර නොයෙක් වදහිංසා මතින් තාජුඩීන් ඝාතනය කළ කතාව මෙන්ම අන්තිමට ඔහුගේ අස්ථි කොටස් සඟවා තබාගැනීම අතුරුදන් කිරීම මේ සියලු කුමන්ත්‍රණ මාගලක් මෙන් දිගය. අනුර සේනානායක, සුමිත් පෙරේරා ගැන මෙන්ම දොස්තර ආනන්ද සමරසේකර ගැනද කතා එමටය.
ඉදිරි සතියක ඉතිරිය කියවමු.