සෙල්ලමේ ඉත්තෝ

 

ඇත්තේ හොඳ හා නරක ලෙසින් ඇති ජර්මනි දෙකක් නොවේ. කපටිකම තුළින් හොඳම දේ දුෂ්ඨත්වයට හැරවූ එකක් පමණි. (තෝමස් මාන්, ජර්මනිය හා ජර්මානුවෝ)

2011දී ඇරඹී පෙරදිග සිට අපරදිග දක්වා හමාගිය අසහන රැුල්ල ගැන ජෝශප් ස්ටිග්ලිට්ස්ගේ අදහස් දැක්වීම ඇරඹුණේ, ‘‘ආර්ථික හා දේශපාලන පද්ධතීන්ගේ අසමත්වීම පොදුවේ තේරුම්ගත හැක්කේ ඒ දෙකම මූලිකවම අසාධාරණ නිසා බවය’’ යන ප‍්‍රකාශයෙනි. 2011 ශ‍්‍රී ලංකාවට නම් නිහඬ වසරක් විය. සිංහල ජනතාවගෙන් බහුතරයක් පාලකයන් යුද ජයග‍්‍රහණය කළා සේ ම සංවර්ධනයේ ප‍්‍රතිලාභද ලබාදෙනු ඇතැ’යි සිහින දකිමින් සිටියහ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ සමීක්ෂණයකින් හෙළිවූයේ 2011දී සිංහලයන් 70%ක විශාල බහුතරයක් ඉදිරි වසර දෙකේදී සාමාන්‍ය ආර්ථික තත්ත්වය යහපත් වනු ඇතැ’යි දැඩි ලෙස බලාපොරොත්තු වූ බවය. මෙසේ විශ්වාසයක් ඇතිවූයේ බහුතරයක් සිංහල ජනතාව තමන්ගේ ආර්ථික තත්ත්වය මෙන්ම රටේ ආර්ථිකයත් යුද්ධයෙන් පසු දියුණු වනු ඇතැ’යි තිබූ පිළිගැනීම මතය.

මේ සුබසාධනය පිළිබඳ හැඟීම, විශ්වාසය සහ අපේක්ෂා ඊළඟ වසර දෙක තුළදී වාෂ්පවීමට පටන් ගනී. එහෙත් මේ වනවිට රාජපක්ෂලා ජනතාවගේ අතෘප්තිය වාර්ගික ආගමික අංශ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි. ඉදිරි වසර දෙක තුළදී අලූත් දේශපාලන ආර්ථික හා සමාජයීය අදහස් ජනතාවගේ සිත්සතන් තුළට බහාලීමට බොදු බල සේනාව සහ තවත් එවැනි අන්තවාදී සංවිධාන පාලක සහෝදරයන්ගේ පූර්ණ අනුග‍්‍රහය යටතේ පියවර ගත්හ. මින් සෑහෙන දුරට ජනතාව වල්මත් කිරීමට හැකිවිය. දේශපාලන හා ආර්ථික ක‍්‍රම තුළ අසාධාරණත්වයක් ඇත්තේ සුළු ජාතීන් නිසා බවද සිංහල ජාතියේ ආරක්ෂාවට සුළු ජාතීන්ගේ තර්ජන ඇති බැවින් සාමයේ ප‍්‍රතිලාභ ජනතාවට ලබාදීමට නොහැකි වී ඇති බවද පවසන ලදි. ප‍්‍රධාන ප‍්‍රශ්නය රාජපක්ෂලාගේ වැරදි පාලනය නොව සුළු ජාතීන් වරප‍්‍රසාද ලැබීම හෝ මංකොල්ලකෑම බවට පත්විය.

ශ‍්‍රී ලංකාව තුළ තරුණ විරැුකියාව 25%-30%ක ඉහළ මට්ටමක පවතී. උගත් විරැුකියා මට්ටම 10.2%කි. රාජපක්ෂ ආර්ථික ප‍්‍රතිපත්ති තුළින් ජාතික වශයෙන් රැුකියා අවස්ථා හෝ ආදායම් හෝ ජනනය නොවන බැවින් තරුණයන් වාර්ගික හා ආගමික ලෙසින් වෙන් කිරීමට සහෝදර කල්ලිය කාලය හා උත්සාහය යෙදුවෝය. ඔවුන් එකිනෙකා භේද කරන ලදි. තමන්ට පොදු අවාසනාවක් උදාකළ උන්ට විරුද්ධව එක්සත්වීම වැළැක්වීමට මීට වඩා හොඳ උපායක් තිබේද? ශ‍්‍රී ලංකාව තවත් රටක් සමග දේශ සීමාවකින් වෙන්වී තිබුණේ නම් ලේසියෙන්ම දේශසීමා අර්බුද ඇවිළවීමට තිබුණි. ඉන්දීය නැත්නම් බටහිර ආක‍්‍රමණයක් ගැන බියක් ඇවිලවීමට උත්සාහ දැරුවත් විමල් වීරවංශගේ උපවාසය තනිකර විහිළුවක් වූයෙන් එය සාර්ථක වූයේ නැත. සුළු ජාතික භීතිකාව බලගතු එකකි. එයින් වෙනස් හා නොතේරෙන දෙයට ඇති මානව විකර්ෂණය යොදාගත හැක්කේය. අතීතයේද එය සාර්ථක වී තිබේ.

ස්වභාෂා, හර්තාල් සහ සිංහල පමණයි.

‘සිංහල පමණයි’ උමතුව ඇතිවීමට, එය නැවත නැවත උත්සන්නවීමට සහ සුළු වාර්ගික භීතිකාවන් ඇතිකර ගැනීමට නිසඟ හෝ අනිවාර්ය හේතුවක් නොමැත. 1953 හර්තාලයෙන් ඉස්මතු වූ සමාජ ආර්ථික අසහනය වසර දෙකකට පසුව වාර්ගික හා ආගමික අසහනයක් බවට පෙරළන ලද්දේ කෙසේද? ඒ වෙනස් කිරීම තේරුම් ගැනීම වැදගත්වන්නේ රාජපක්ෂ ලාගේ උත්සාහයද ලංකාව ඒ සමානම ප‍්‍රපාතයකට ඇදගන යෑම වන බැවිනි.

1953 හර්තාලයේදී සියලූ වාර්ගික හා ආගමික ලාංකිකයෝ තමන්ගේ පාලකයන්ට එරෙහිව නැගීසිටියහ. එය ජාතිවාදයක් අසලකවත් නැති අව්‍යාජ ජනතා නැගිටීමක් විය. එහි ජවය හා දිශාව එලෙසින්ම ඉදිරියට ගියේ නම් 1956 හානිය හා ඉන් ඇතිවූ විපත් මෙන්ම 30 වසරක යුද්ධයද වළක්වා ගත හැකිව තිබුණි. නිදහස සඳහා කරන ලද අරගලය තුළත් ඉන් පසුවත් විශේෂයෙන් මධ්‍යම පන්තිය තුළ ඉංග‍්‍රීසිය වෙනුවට දේශීය භාෂා ක‍්‍රමිකව ආදේශ කිරීමේ වුවමනාව තිබිණ. ඉහළ පෙළැන්තියේ බහුතරයක් මීට එකඟව සිටියහ. 1955 වන තෙක් තිබුණේ ‘සිංහල පමණක් ඉල්ලීම’ නොව ‘ස්වභාෂා’ ව්‍යාපාරයයි. ‘සිංහල පමණයි’ බලෙන් දමිළ ජනතාව වෙත පැටවීමට පෙර බොහෝ දමිළයෝ සිංහල ඉගෙන ගැනීමේ අවශ්‍යතාව පිළිගෙන සිටියහ.

1938 සහ 1940දී හින්දු අධ්‍යාපන මණ්ඩලයට උතුරේ පාසල්වල සිංහල අනිවාර්ය විෂයයක් ලෙස හඳුන්වා දෙන ලදී. රට පුරාම පාසල්වල සිංහල හා දෙමළ භාෂාවන් අනිවාර්ය කළයුතුයැ’යි යාපනේ තරුණ සම්මේලනය ඉල්ලා සිටියේය. 1943දී ජේ.ආර්. ජයවර්ධන සිංහල පමණක් පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විට ප‍්‍රධාන ජනවර්ග තුනේ නායකයන් තිදෙනෙකු වන සී.ඩබ්.ඩබ්. කන්නන්ගර, වී නල්ලයියා සහ ටී.බී. ජයා පනතෙහි භාෂා සමානත්වයක් ඇතිවන පරිදි සංශෝධන ඉදිරිපත් කළහ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සමභාෂා ප‍්‍රතිපත්තිය පිළිගත් අතර 1952 මැතිවරණය තරග කළේ ඒ පදනම මතය. එහිදී ලැබූ අනපේක්ෂිත පරාජයද බණ්ඩාරනායකට ස්වභාෂා ප‍්‍රතිපත්තිය ඉවත දමා සිංහල පමණක් ප‍්‍රතිපත්තියට යෑමට හේතු නොවීය. ඊට මාරුවූයේ 1955දීය. බණ්ඩාරනායක නිල වශයෙන්ම හර්තාලයෙන් ඉවත් වී සිටි අතර හර්තාලය කෙළින්ම වාමාංශික පක්ෂ ලැබූ ජයග‍්‍රහණයකි. 1952 මැතිවරණයේදී ලසසපය ශ‍්‍රීලනිපය ආසන්නයටම ඡුන්ද ලබාගත් අතර පොදුවේ වම ලැබූ ඡුන්ද සංඛ්‍යාව ශ‍්‍රීලනිපය ලැබූ ඡුන්ද සංඛ්‍යාවට වඩා වැඩිවිය. හර්තාලයේ සාර්ථකත්වය මත වාමාංශික පක්ෂවලට ඊළඟ මැති වරණයේදී එජාපය පරදවා සභාග ආණ්ඩුවක් පිහිටුවා ගැනීමේ සැබෑ හැකියාවක් තිබුණි. මින් එජාපයට විකල්පයක් වීමේ ශ‍්‍රීලනිප වුවමනාව හා බණ්ඩාරනායකගේ අගමැති වීමේ සිහිනය බිඳවැටීමට ඉඩ තිබුණි. මෙහිදී බණ්ඩාරනායක සිංහල පමණක් ප‍්‍රතිපත්තියට මාරුවී විපක්ෂ අවකාශය තුළ ජාතිවාදී බලවේගවලට ප‍්‍රමුඛත්වයක් ලබාගැනීමට ඉඩ සැලැසුවේය. එජාපය මේ මාරුවීමට එරෙහිව සටන් කිරීම වෙනුවට කළේ මාස කීපයකදී ඒ අවස්ථාවාදයට යටවීමය. වාමාංශය සමතැන් ප‍්‍රතිපත්තියේ සිටියත් සිංහල ජාතිවාදීන් වූ ශ‍්‍රීලනිප, එජාප හවුල හා මැතිවරණ ගිවිසුමකට ගියේය. එම ප‍්‍රතිපත්ති විරහිත ගිවිසුම හේතුවෙන් බණ්ඩාරනායක ජය ගත්තේය.

ඒ අනුව 1956 සිංහල පමණයි තුළ කිසිදු නොවැළැක්විය හැකි හෝ අනිවාර්යභාවයක් තිබුණේ නැත. 1955 තෙක්ම ‘සිංහල පමණයි’ ජනතාව සහ ඉහළ පෙළැන්තිය පසෙකට දමා තිබූ සටන් පාඨයක් විය. ස්වභාෂා වෙනුවෙන් පැවති ජනතා ඉල්ලීම බලයට කෑදර සුළු පිරිසක් තමන්ගේ උන්නතිය සඳහා ‘සිංහල පමණයි’ බවට හරවන ලදි. එය සාර්ථක කරගැනීමට හැකිවුණේ දකුණේ කිසිම ප‍්‍රධාන පක්ෂයක් ඊට විරුද්ධ නොවීම නිසාය.

මෙම බෙදීම හේතුවෙන් සිංහල හා දෙමළ ජාතිකවාද පොදු ශ‍්‍රී ලාංකික අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා එක් දිශාවකට ගමන් කරනු වෙනුවට එකිනෙකාට එරෙහිව විරුද්ධත්වය තුළින් ශක්තිය රැුස්කර ගන්නා බලවේග බවට පත්විය. 1956දී ‘සිංහල පමණයි’ වෙනුවට ස්වභාෂා ප‍්‍රතිපත්තියේ සිටියේ නම් රටට හා එහි ජාතීන්ට අත්වූ ඉරණම මෙතරම් ලේ හලන එකක් නොවීමට ඉඩ තිබුණි.

ආර්ථික ප‍්‍රශ්න උග‍්‍රවී ජනතා අසහනය වැලිවේරියේ හෝ වනාතමුල්ලේ මෙන් මතුවී එනවිට වෙනත් භාෂාවක් කතා කරන වෙනත් දෙවියකු අදහන සතුරෙකු පිළිබඳ මිථ්‍යාවක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවක් රාජපක්ෂලාට හටගනී. විදේශ කටයුතු ඇමතිවරයා එක්සත් ජනපදයේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර ලේකම්වරයා සමග පල්ලි සහ මුස්ලිම් දේවස් ථානවලට කරනු ලබන පහරදීම් සාධාරණීකරණය කරමින් කතා කළේ රාජපක්ෂලාගේ සුළු ජාතික භීතිකාව තහවුරු කිරීමටය. ‘ජනයා කුපිත කළ සිදුවීම්වලට සම්බන්ධ ස්ථාන ඇමතිවරයා විසින් නිරීක්ෂණය කිරීමේදී පෙනී ගියේ ඒවා පල්ලි නොව තාවකාලික යාඥා මධ්‍යස්ථාන බවය.’

බොබ් ඩිලන් මෙඞ්ගාර් ඉවෑන්ස්ගේ ඝාතකයා පිළිබඳ ගීතයෙන් ඉතිහාසය විසින් ඝාතකයන් ‘සෙල්ලමේ ඉත්තන්’ පමණක් බවට තීන්දු කරන බව කියයි. නැවත වරක සිංහලයන්ගේ සහ ශ‍්‍රී ලංකාවේ ඉරණම එයම නොවේවා.