Monday, 21/8/2017 | 3:48 UTC+0
රාවය

ඔලිම්පික් පුටුවට හොරගල් ඇහිලීම

ඒ. වික්‍රමසූරිය

ඔලිම්පික් නිල වරණය ළඟ ළඟම එතැයි පුවත අත ළඟම පළවෙමින් තිබේ. ක්‍රීඩා අමාත්‍යවරයා වියට්නාමයට ගොස් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සාමාජිකයන් හමුවී සියලු ගැටලු නිරාකරණය කර ගත් බව මාධ්‍ය පළ කොට තිබුණි.

ක්‍රීඩා පනතට ඇතුළත් රෙගුලාසි සම්බන්ධ කතාබහ කලක පටන් ඇදි ඇදී එන්නකි. එය මෙවර කතාබහෙන් පසු නැවතුණු බව ක්‍රීඩා අමාත්‍යවරයා කියන්නේය.
‘රෙගුලාසි සංශෝධන සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාව තමයි අපි වියට්නාමයේ පැවැත්වූයේ. ඒ අනුව සියලුම කරුණු ගැන පාර්ශ්ව දෙකම යම් එකඟතාවකට පැමිණියා. එකඟවෙලා අපි දැන් එම සංශෝධනය සිංහල, දෙමළ, ඉංග්‍රීසි පරිවර්තනයට යොමු කරලා තිබෙනවා. මම හිතනවා තව දවස් කිහිපයකින් අපට එය ලැබේවි. එතකොට අර සංශෝධනත් එකට ඇතුළත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඔක්තෝබර් නිම වෙන්න කලින් මෙය ඉවර කරන්න පුළුවන්. එහෙම කරලා අපි ඔලිම්පික් කමිටුවේ ඡන්දයට යනවා.’

මේ ක්‍රීඩා අමාත්‍යවරයා වියට්නාම් ගමනින් පසු මාධ්‍යයට කී දෑය. ඉතිහාසය පුරාම ක්‍රීඩා පනතට අනුව වැඩ නොකරන ක්‍රීඩා ඇමැත්තෝ පනත සංශෝධනය කරන්නට නම් රුසියෝය. 1973 සිට මේ පනත මෙරට ක්‍රීඩාව කරගෙන එන්නට බාධාවක් නොවීය. එහෙත් මෑත කාලය වන විට ඇතැමුන්ට එය බාධාවක් වී ඇත. ඒ නිසාම මේ අඩව් ඇල්ලීම සිදු විය. කෙසේ වෙතත් මේ ලියවිල්ල ඒ ගැන කතා කිරීමට නොවේ.

ඔලිම්පික් නිලවරණයක් පවත්වන බව ප්‍රකාශ වීමත් සමඟ මතුවන උනන්දුව ගැන කීමටය. ඔලිම්පික් කමිටුවේ බලය ඇල්ලීම ක්‍රීඩා සංගම් ප්‍රධානීන් බොහොමයකගේ නොනිමි ආශාවය. එහෙත් කාලාන්තරයක සිටම එයට පැවති බාධාව හේමසිරි ප්‍රනාන්දු මහතාය. ඔහු සතු ආධිපත්‍යය නිසා බොහෝ අය වටෙන් වටෙන් කෙණෙහිලිකම් කළද එළිපිට කරළියට නොආහ. ගිය වර ඩිලාන් පෙරේරා ඇමතිවරයා හේමසිරි ප්‍රනාන්දු මහතා සමඟ තරග කරන්නට ඉදිරිපත් වනුයේ පූර්ණ දේශපාලන රැකවරණය යටතේය. හිටපු ක්‍රීඩා අමාත්‍ය අලුත්ගමගේ එහි පෙරමුණේ රාළය. ක්‍රීඩා සංගම් විසි ගණනකින් බහුතරය ඒ මොහොතේ ඩිලාන් සමඟ සිටගත්තේ වැල යන අතට මැස්ස ගැසීම එසැමගේ යටි අරමුණ වන බැවිනි. ප්‍රශ්න පත්තරයක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට යන්නේ ඒ අතරතුරය. තවමත් ඊට පිළිතුරු සෙවීමට සිදුව ඇත. මේ කියනුයේ දැන් එය අහවර වී ගෙන එන බවය. එසේ නම් නැවත ඔලිම්පික් කමිටුවේ දොරගුළු හැරෙමින් පවතී. දැන් එයට රිංගීමට බොහෝ අය තුළ උනන්දුව ඇති වෙමින් පවතී. ඒ අතර ප්‍රධාන චරිතයකට පණ පොවනුයේ සුරාජ් දන්දෙණිය මහතා බව පැවසේ. ඔහුට පිටුපස සිට යෝධ ශක්තිය ලබා දෙනුයේ ඩයන් ගෝමස් මහතා බවද පැවසේ. මේ දිනවල ඔවුන් ඡන්ද දඩයමේ යෑමට පටන් ගෙන ඇත. මෙවර කෙසේ හෝ හේමසිරි ප්‍රනාන්දු මහතා පන්නා බලය ඇල්ලීම මේ සැමගේ පැතුමය.
දැන් අපට ඇති ප්‍රශ්නය හේමසිරි ප්‍රනාන්දු මහතා පන්නා එතැනට ඉන්නා අය ගැනය. ඔවුහු නියම යටිකුට්ටුකාරයෝය. ඒ එන අයගේ පින්තූර ගැනීම පමණක් අපි අදට කළෙමු.