මහජන දේපළ ගසා කෑ ඒකාධිපති යනුකොවිච් පලායයි

 

පසුගිය නොවැම්බරයේ සිට පැවැති යුරෝමේදාන් නමින් හැඳින්වෙන මහජන උද්ඝෝෂණ හමුවේ යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් පාලනය ගෙන ගියේ ඉතා අපහසුවෙනි. පසුගිය 24දා එරට පාර්ලිමේන්තුවේ මන්තී‍්‍රවරුන් 334 දෙනාගෙන් 228 දෙනෙකු ම පක්ෂව ඡුන්දය පාවිච්චි කළ දෝෂාභියෝග යෝජනාවක් මගින් බලයෙන් පහකරන ලද යනුකොවිච් පලා ගියේ ය. ඒ සමගම යුක්රේනය එහැම පිටින් ම වාගේ උඩි යටිකුරු විණි.

සිවිල් අරගලය සංහිඳුවන්නට පියවර නොගනිමින් එහි දී එය මැඬ පවත්වනු වස් සිත්පිත් නොමැති අයුරින් සිය පුරවැසියන් ඝාතනය කරන්නට ඔහු නියෝග දුන් බව පාර්ලිමේන්තුවේ පිළිගැනීමයි. ඒ අනුව ඔහු තවදුරටත් ජනාධිපති ධුරයේ රාජකාරි කරන්නට සුදුස්සෙක් නොවේ. සිය රට අධික ලෙස ණයට යොමු කරමින් රාජ්‍ය භාණ්ඩාගාරය හිස් කිරීමෙන් නොනැවතී මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී නියෝග දීමෙන් ඔහු යුක්රේනය බාහිර ලෝකයා හමුවේ නින්දාවට පත් කරන ලදැ’යි එරට වැසියෝ චෝදනා කරති.

ඉන්පසු උප ජනාධිපති සහ සභානායක ඔලෙක්සන්දර් තුර්චිනොව් වැඩබලන ජනාධිපතිධුරයට පත් කැර ගැනිණි. පාර්ලිමේන්තුව කි‍්‍රයාත්මක ව පවතින අතර එළැඹෙන මැයි 25දා මහ මැතිවරණයක් පවත්වන්නට දැනටමත් යෝජනා සම්මත කැර ගනු ලැබ ඇත. යනුකොවිච් පරිපාලනය විසින් සිරගත කරනු ලැබූ හිටපු අගමැතිනි යූලියා ටිමෙෂෙන්කො නිදහස් කරනු ලැබුවා ය.

යනුකොවිච් පලාගියේ සිය කාර්යාලයේ තිබු ලිපිගොනු විශාල සංඛ්‍යාවක් පු`ඵස්සා දැමීමෙන් අනතුරුව බව වාර්තාවෙයි. තවත් විශාල සංඛ්‍යාවක් තඩාගයකට විසි කරනු ලැබ දැන් ගොඩ ගෙන වේලා සංරක්ෂණය කරන්නට පියවර ගනිමින් සිටින බව පැවසේ.
ජනාධිපති මන්දිරය සහ ඔහුගේ දේපල පාර්ලිමේන්තුවේ විශේෂ යෝජනාවක් මගින් රජයේ පාලනයට ගන්නා ලද අතර කොල්ලකෑම් වළක්වනු වස් ආරක්‍ෂාව රාජ්‍ය හමුදාවට භාර දෙනු ලැබී ය. ඉන්පසු පසුගිය සඳුදා මහජනයාට නැරඹීමට අවස්ථාව ලබා දෙන ලද අතර මාධ්‍ය ආවරණ ද ලබා දී ඇත. ඒ අනුව නිකුත් කරන ලද පින්තූර සිය ගණනක් අන්තර්ජාලයේ දැකිය හැකි ය. රන් ආලේපිත පුටු, ඉහළ පන්නයේ චෛනීස් කට්ටල යනාදියෙන් සැදුණු අභ්‍යන්තර මත්පැන් භාරය යුරෝ මිලියන ගණනක වැයකි. ඔහුට පෞද්ගලික සත්වෝද්‍යානයක් තිබි ඇති අතර උද්‍යානය විසිතුරු මලින් ගහණ ව පවතියි. විශාල වපසරියක පැතිර පවතින ගොල්ෆ් පිටියක් ද ඊට අන්තර්ගත ය. මේවා නරඹන ජනයා පවසන්නේ සිය රටේ පොදු ධනයට සිදුව ඇත්තේ කුමක්ද යන්න තමන්ට දැන් වටහා ගත හැකි බවයි.

යනුකොවිච් දැන් ඉන්නා තැනක් ගැන මෙතෙක් හෝඩුවාවක් නොමැත. සමහරවිට ඔහු රුසියාවේ රැුකවරණය ලබනවා විය හැකි ය. කෙසේවෙතත් පාර්ලිමේන්තු යෝජනාවකට අනුව ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරී තිබේ.
ප‍්‍රශ්නය යුකේ‍්‍රනියාවේ වුවත් මෙය රුසියාව එක් පසෙකත් ඇමරිකා එක්සත් ජනපදය ප‍්‍රමුඛ බටහිර ඇලිය අනෙක් පසත් සිට ගෙනයන සීතල යුද්ධයක් බව දැන් පැහැදිලි ය. ප‍්‍රශ්නය ඇතිවුණේ යුකේ‍්‍රනය යුරෝපා සංගමය සමග වෙළෙඳ ගිවිසුමක් අත්සන් කරන්නට ගොස් රුසියාවේ අවශ්‍යතාවට නතු වී එය අත්හැර දැමීමත් සමග ය. ඒ අතර රටේ අභ්‍යන්තර වියවුල් ද තිබුණේ ය. ඉතින් මිනිස්සු පාරට බැස්සෝ ය. දැන් රුසියාව ඇමරිකාවට සහ යුරෝපා සංගමයට මේ කාරණයේ ලා ඍජුවම දොස් කියයි. සමහරවිට නොබෝ දිනකින් ම යුකේ‍්‍රන රජය යුරෝපා සංගමය සමග වාණිජ ගිවිසුම අත්සන් කරන්නට ඉඩ ඇත.