රග්බි, පාපන්දු එල්ලේ ක‍්‍රීඩාවල එල්ලය සෙවීම

ගෙවුණු සති අන්තයේ සෑම තැනකම ක‍්‍රීඩා තරගය. විටෙක ඒවා සැණකෙළිය. ව්‍යාජ මුහුණුවරය. ක‍්‍රීඩා තරග පැවැත්වීම හරහාම ක‍්‍රීඩාව සංවර්ධනය වන්නේ නම් ඇතැම් ක‍්‍රීඩා අද අහස උසට ගොස් තිබිය යුතුය. එය එසේ නොවන්නේ මේ හුදෙක් තරග සැබෑ ක‍්‍රීඩාවේ අරමුණින් නොවන බැවිනි. මේ හැම එකක්ම එලෙසයැ’යිද අපි නොකියමු.

දැයට කිරුළට සාපේක්ෂව එල්ලේ තරගාවලියක් පැවැත්විය. එහි එල්ලය එල්ලේ සම්මේලනයේ සභාපති යෝෂිත රාජපක්ෂ සතුටු කිරීමටය. එසේත් නැතිනම් ඔහුට ලකුණු දාගැනීමටය. මෙරට ක‍්‍රීඩාව සංවර්ධනය කිරීමට නම් රාජපක්ෂවරුන් හෝ රාජපක්ෂවරුන්ට ළංවූ අයකු හෝ වීම වටිනා බව මේ වනවිට ඕනෑවටත් වඩා පසක් කොට හමාරය. එල්ලේ ක‍්‍රීඩාව කොළඹ ජනප‍්‍රිය ක‍්‍රීඩාවකි. එහි වටිනාකම පහුගිය වසරවල රාජපක්ෂවරුන් අවබෝධ කරගත්තේ ඒ වටා රොක්වන කොළඹ පහළ ජන ස්ථරයේ උනන්දුවත් සමගය. මේ දිගු දේශපාලන ගමනක් යෑමේ නියම පන්තියය. ඔවුන්ට ළංවිය හැකි ක‍්‍රමය ඔවුන්ගේ සෙල්ලමට බැසීමය. ඒ අනුව රාජපක්ෂවරු එල්ලේ ක‍්‍රීඩාවට බැස්සෝය. දැන් එල්ලේ රාජපක්ෂවරුන් අතේය. එහි නිවැරදි එල්ලය එල්ලේ ක‍්‍රීඩාව නගා සිටුවීමම නම් අගනේය. එහෙත්…

අනෙක් අතට මෙරට වැඩි අවධානයක් ගත්තේ රග්බි තරගාවලියය. එහි අවසාන තරගයය. අන් කවරදාටත් වඩා රාජපක්ෂවරුන්ට එය සතුටුදායක අත්දැකීමක් විය. ඒ නාවික හමුදාව රග්බි කිරුළ දිනාගැනීමය. ජනපති විසින් බාල පුතාට කුසලානය ලබාදෙන පින්තූරය. ක‍්‍රීඩා පිටු බදාගෙන තිබුණේ නොපිරිහෙළා ඉටුකළ යුතු යුතුකමක් ඉටුකරන අයුරිනි. පියා මව දෙදෙනාම සිනා මුහුණින් පුතාට සම්මාන පිරිනැමීය. මෙරට රග්බි ක‍්‍රීඩාව ව්‍යාප්ත කිරීම, රග්බි තරගාවලි පැවැත්වීමේ එකම අරමුණ එයය. එනම් තම දරුවන්ගේ සුබ සිද්ධියය. මෙරට රග්බි ක‍්‍රීඩාව එකවරම නින්දෙන් ඇහැරුණු සේ වර්ධනය වූයේ රාජපක්ෂ පුතුන් රග්බි ක‍්‍රීඩාවේ නියැලි නිසාය. රග්බි තරගයක් උපන් තේකට නොබැලූ ප‍්‍රභූ පන්තියක්ද ඒ වටා එක්වූයේ ජනපති පුතුන්ට අත්පුඩි ගැසීමට, විසිල් ගැසීමටය. මේ සැබෑ රග්බිලෝලීන් නොවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.

නුවර ආධිපත්‍යය මුලසිටම රාජපක්ෂ පුතුන්ගේ රග්බි ක‍්‍රීඩාවට බාධාවක් වූ බැවින් පසුව එය මෙල්ල කරන සූත්තරයද නාවිකයන්ටම භාර දුන් අතර තරග කිහිපයකදීම ගිනි අවි ගිනි කෙළි සංදර්ශන ඇතුලේ නිමාවූ වටාපිටාවක් තිබුණි. එය උග‍්‍රවන තැන නුවරුන් තරගයක් නොදීම පරාජය වන තැනට ඉබේටම පත්විය. අද නාවිකයන් ජයගනුයේ අවංක ක‍්‍රීඩාශීලීත්වයෙන්ද යන්න උභතෝකෝටිකය. අද මෙරටින් බිහිවූ දක්ෂතම රග්බි ක‍්‍රීඩකයන් කවුදැ’යි ඇසුවහොත් උපන් දරුවා පවා කියනුයේ නාමල් රාජපක්ෂ, යෝෂිත, රෝහිත බවය. මෙයට කදිම නිදසුන රග්බි ක‍්‍රීඩාවෙන් සමුගන්නා නාමල් රාජපක්ෂට උපහාර දැක්වීමෙන්ම තහවුරු විය. නාමල් උපහාර ලබන්න තරම් මහා රග්බි ක‍්‍රීඩකයෙක්ද? මේ මහා දහවලේ සිදුවන විහිළුය. නාලක වීරක්කොඩි වැනි රගර් ක‍්‍රීඩකයෙකුට එහා ගිය වටිනාකමක් අද නාමල්ට හිමිවී ඇත. ඒ අනුව ක‍්‍රීඩාව යන දිශාව පැහැදිලිය. එනම් නිස්සෝ සුදුස්සෝ පමණක් නොව විශිෂ්ටතමයෝද වන යුගයකි. එහෙව් කලෙක කුමන ක‍්‍රීඩාවක්ද?

මේ අතර තවත් අන්තයක පාපන්දු තරගාවලියෙහි අවසාන අදියර පැවැත්වුණි. මේ ගැනද කිවයුතුමය. මෙරට පාපන්දු ක‍්‍රීඩාව එක් කලෙක අගාධයේ පතුල සිඹිමින් සිටියේය. ඒ මනිලාල් ප‍්‍රනාන්දු යුගයේදීය. ගෙවුණු තිස් වසරක පාපන්දු යුගය ඔහුගේය. මෙරට පාපන්දුව බල්ලාට ගිය කලක් ලෙස එකල දිස්විය. ඒ තරමටම එය පිරිහුණි. පාපන්දුව කිව් සැණින් මනිලාල් කීමට සෑම මුවගක්ම හුරුවිය. ඒ තරමට මනිලාල් සහ පාපන්දු දෙකක් නොව එකක් විය. ඒ හරහා පාපන්දුව දුර්වල වී මනිලාල් යෝධයෙක් විය.

මෙරට පාපන්දුව දුප්පත් වන විට මනිලාල් ධන කුවේරයෙක් විය. ඒ පාපන්දුවේම පිිහිටෙනි. අද සියල්ල උඩු යටිකුරු වී ඇත. පාපන්දුව ඇතත් ඒ සමග මනිලාල් නමක් නොකිය වේ. තරගාවලියක් අවසන හාර පන්සියයක් ක‍්‍රීඩාංගණයකට ගෙන්වා ගැනීමට නොහැකි වූ පාපන්දු යුගය නිමාවිය. මේ වනවිට දහස් සංඛ්‍යාත ජනයා පාපන්දුවට ලොබ බඳින තත්ත්වයක් නිර්මාණය වී ඇත. මේ සැබෑ ක‍්‍රීඩාලෝලීන්ය. පාපන්දුව අතහැර සිටි ක‍්‍රීඩාපේ‍්‍රමීන්ය. ඔවුහු දහස් ගණනින් පසුගිය සතිඅන්තයේ සුගතදාස ක‍්‍රීඩාංගණය බදු ගත්තෝය. ඒ එෆ්.ඒ. කුසලාන පාපන්දු අවසන් තරගය නැරඹීමටය. එහිදී ජයගත්තේ යුද හමුදාවය. පරාජය වූයේ කළුතරය. එය එක්තරා ආකාරයකට මනිලාල්ගේ ඇද වැටීමම පිටිය හරහාද ප‍්‍රදර්ශනය වීමකි. ඒ මනිලාල් කළුතර වීම නිසාය. මෙහිදී එකිනෙකාට විවිධ චෝදනා රංජිත් රුද්‍රිගු සම්බන්ධයෙන් ඇති බව නියතය. ඇතැමුන් අපෙන් අසන්නේද මනිලාල් ගැන ලියූ අප රංජිත් රුද්‍රිගු ගැන නොලියන්නේ මන්ද යන්නය. එසේ අසන අය ගැන අපට දුකය. වෙන කිවයුතු දෙයක් නැත්තේය. රංජිත් ආ සැණින් පාපන්දුව අහස උසට ගමන් නොකළමුත් අද පාපන්දුව අවදි වී ඇති බව පැහැදිලිය. එය රංජිත්ගේ ප‍්‍රාතිහාර්යයකට වඩා මනිලාල්ගේ බංකොළොත් භාවයය. කොටින්ම රංජිත් අද වැඩකරුවකු වී ඇත්තේ මනිලාල් පාපන්දු සංවර්ධනයට කිසිවක් නොකළ නිසාය. ඔහු යමක් කළේ නම් රංජිත්ගේ වැඩ මැජික් නොවනු ඇත. එහෙත් රංජිත් අතට ගත්තේ මනිලාල් යටකරගෙන සිටි යෂ්ටිය බව කිවයුතු අතර ඒ නිසාම රංජිත් මැජික්කාරයකු වී ඇත. රංජිත් පාපන්දුව දියුණු කිරීමට උපරිම දත කන අයුරු පෙනේ. එය ඉතා හොඳ ලක්ෂණයකි. රංජිත්ට මනිලාල් අබිබවා යාහැකි නියම මග එයය. මේ සමාජයට නිරන්තරයෙන් හුරු කරනු ලබන්නේ මූසිල නරක බවය. එහෙත් යථාර්ථය තුළ ගුත්තිල යනු කුහකයකු විනා මහා චරිතයක් නොවන බව පැහැදිලිය. ගුත්තිලලා හැමදා බැලූවේ සදාකල් බැබලෙන්නටය. එසේ නොවේ නම් තමාගේ තැන මුලින්ම මූසිලට පිදිය යුතුව තිබුණේ ගුත්තිලය. එය එසේ නොවිණ. මෙය පරම්පරාගතව පවතී. රංජිත් ඔය දේ නොකරන්න විනාශ වන්නේ මෙරට පාපන්දුවය. එයට බ්ලැටර් අනුග‍්‍රහය සැපයූ බව සැබෑය. බ්ලැටර් මනිලාල් අතහරින සැණින් එය ඩැහැ ගන්නට රංජිත් නොසිටියේ නම් තවම පාපන්දුව මනිලාල්ගේය. එසේ නම් මේ බංකොළොත්බව එසේමය. අද පාපන්දුව පිබිදී ඇත. එය ඉහළට යා හැකි ප‍්‍රබල සාධකයකි. මීට පෙර පාපන්දුව අතහැර තිබුණි. දැන් එය වැළඳගෙන ඇත. එය සුගතදාස ක‍්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව අත්පත් කරගැනීමෙන්ම පාපන්දුලෝලීහු ගිය සතියේ සනාථ කළහ. නිවැරදි මාවතේම යන්නේ නම් රංජිත් අනාථ නොවන බව පැහැදිලිය.

අවසාන වශයෙන් කිවයුත්තේ ක‍්‍රීඩා කිහිපයකට ඇති මෙරට මහා ඉඩ චූල ගණයේ ක‍්‍රීඩාවලටද අත්විය යුතු බවය. එය ඇති කිරීම ක‍්‍රීඩා අමාත්‍යාංශයේ වගකීමකි. එමෙන්ම එකී ක‍්‍රීඩා සංගම්වලටද පත්වන අය ක‍්‍රීඩාව බඩවඩා ගැනීමක් කර නොගෙන මූසිලලාට හෝ භාරදී යන ක‍්‍රමවේදයකට මුලපිරිය යුතු බවය. එසේ නොවී රාජපක්ෂකරණය වූ පමණින් මෙරට ක‍්‍රීඩාව දියුණුවේයැ’යි සිතීම මුලාවකි. දැන දැනම අනාථවීමක් පමණය.