එරට නොගිය 19 පහළ මෙරට දස්කම් – ජගත් පේ‍්‍රමචන්ද්‍ර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාර්තු මස 01දා අවසන් වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි තම ස්ථානවලින් විතැන් වෙමින් සිටී.

සියලූ විතැන්වීම් සමග තරගාවලිය ස`දහා සහභාගි වූ ශ‍්‍රී ලංකා යොවුන් කණ්ඩායම සම්බන්ධයෙන් මතුව ඇත්තේ තරමක ප‍්‍රශ්නකාරී තත්ත්වයන් ය. විශේෂයෙන්ම කණ්ඩායමේ සංයුතිය සහ තරගයෙන් තරගයට තවදුරටත් ක‍්‍රීඩකයන් අත්හදා බලමින් තරගවලට එක් කිරීම සම්බන්ධයෙන් ද බොහෝ දෙනෙක් චෝදනා කරති. තරගාවලියේ පළමු වටය නියෝජනය නොකළ ක‍්‍රීඩකයෝ අර්ධ අවසන් පූර්ව වටය නියෝජනය කරති. ඒ කණ්ඩායම පිළිබ`දව නොවැටහීම මිස අන් දෙයක් නොවන්නේ ය.

අපගේ උත්සාහය මේ සම්බන්ධයෙන් කතා කිරීම නොවේ. එහෙත් අප කතා කරන මාතෘකාවට පිවිසීමට ප‍්‍රථම මේ සම්බන්ධයෙන් දැනුවත් වීම වඩාත් වැදගත් යැයි සිතමු. ඒ ඉහත කාරණයට තර්ජනයක් වන බොහෝ කරුණු කාරණා ශ‍්‍රී ලංකා පාසල් ක‍්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ දී සිදුවෙන බැවින් ය.

මෙම තරගාවලියේ දක්ෂතා දක්වන්නන් අතර මේ වනවිට ලකුණු දහස සම්පූර්ණ කළෝ හය දෙනෙක් ද කඩුලූ 100ක් වාර්තා කළ අයෙක් ද සිටිති. මේ දක්ෂතා අතරට පැමිණි ඇතැමුන් ලෝක කුසලාන සංචිතවලින් ඉවතට විසිවූවෝ වෙති. ඇතැමුන් කිසිදු ඇගයීමක් නොලැබුවෝ වෙති. එසේ හෙයින් මොවුන්ගේ දක්ෂතා සම්බන්ධයෙන් හා ඒ පිළිබ`ද නිසි අවධානයක් වගකිව යුතු අය වෙතින් සිදුවීදැයි අප මේ ක‍්‍රීඩකයන්ගේ පුහුණුකරුවන්ගෙන් විමසුවෙමු. ඒ ඉහත කී බොහෝ කරුණු සම්බන්ධයෙන් පිළිතුරු මොවුන් විමසීමෙන් ම දැනගත හැකි යැයි තිබූ විශ්වාසය මතය.

ශානුක දුලාජ්

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය නියෝජනය කරන ශානුක, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක‍්‍රිකට් සංචිතයෙන් ඉවතට විසිවූ ක‍්‍රීඩකයෙකි. වමතින් පිත්ත හසුරුවන ශානුක මෙවර තරගාවලියේ දී පළමු කොටසේ ලකුණු දහස ලබා ගැනීමේ පළමු ක‍්‍රීඩකයා බවට පත් වූයේ තරග 13කට සහභාගි වෙමිනි. මෙම ලකුණු දහස ලබා ගැනීම ස`දහා ඔහු ශතක 5ක් වාර්තා කළ අතර ඔහුගේ හො`දම ඉනිම වන්නේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 178 යි.

‘ඔහු ලකුණු දහස ලබා ගත්තේ ශතක 5ක් සහ අර්ධ ශතක 7ක් වාර්තා කරලා. බැට්ස්මන් කෙනෙක් විදිහට පමණක් නෙවේ ශානුක බෝලර් කෙනෙක් ලෙසත් දක්ෂතා දක්වනවා. ඔහු මේ වනවිට කඩුලූ 50ක් ලබා ගෙන සිටිනවා. ශානුක ලෝක කුසලාන තරගාවලියට තෝරා ගන්නා සංචිතයේ 30 දෙනාට ඇතුළත් ව සිටියා. එහෙත් මොකක්දෝ හේතුවක් නිසා ශානුකට ලෝක කුසලාන තරගාවලිය ලැබෙන්නේ නැහැ. අප විද්‍යාලයේ ම ක‍්‍රීඩකයෙක් වන කුසල් මෙන්ඩිස් සමග ශානුකත් එකතු වූවා නම් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් මේ දේවල්වලින් සිදුවුණේ, හො`ද ප්ලේයර්ස්ලාට මෙහේ නතර වෙන්නත් පැරෂුට්කාරයන්ට ලෝක කුසලානයට සහභාගි වෙන්න අවස්ථාව ලැබීමත් පමණයි…’ වේල්ස් කුමාර විද්‍යාලයේ පුහුණුකරු සුරංග විජේනායක මහතා පැවැසුවේ ය.

නික්ෂි අහමඞ්

තරගාවලියේ පළමු කොටස නියෝජනය කරන කොළඹ සහිරා විද්‍යාලයේ නික්ෂි අහමඞ් තම ලකුණු දහස සම්පූර්ණ කළේ තරග 14කට සහභාගි වෙමිනි. අම්පාර ප‍්‍රදේශයෙන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අත්පොත් තබා දැනට වසර දෙකකට පමණ ඉහත දී සහිරා විද්‍යාලයට පැමිණි නික්ෂි කණ්ඩායමේ ආරම්භ පිතිකරුවා මෙන් ම ආරම්භක වේග පන්දු යවන්නා ද වේ.

‘නික්ෂි කියන්නේ නිරන්තරයෙන් ලකුණු අතර ඉන්න ක‍්‍රීඩකයෙක්. හො`ද අනාගතයක් හිමි ක‍්‍රීඩකයෙක්. ඒ වගේ ම නික්ෂි ලෝක කුසලාන කණ්ඩායමේ සිටිය යුතු ක‍්‍රීඩකයෙක්. ඔහු එම සංචිතයේ සිටියා. නික්ෂිට පළමු අවස්ථාවන්වලදී කැපී පෙනෙන යමක් කරන්න හැකි වුණේ නැහැ. මම හිතන්නේ ඒකයි නික්ෂිට අවසන් 15 දෙනාට එක්වෙන්න බැරි වුණේ…’ සහිරා විද්‍යාලයේ පුහුණුකරු මහේෂ් වීරසිංහ මහතා පැවැසුවේ ය.

මින්හාජ් ජලීල්

කොළඹ තර්ස්ටන් විද්‍යාලය නියෝජනය කරන ජලීල් තම ලකුණු දහස ලබා ගන්නේ තරග 14ක දී ශතක 4ක් ද සමගිනි. ඔහු සම්බන්ධයෙන් තර්ස්ටන් විද්‍යාලයේ පුහුණුකරු සමන් හේවාවිතාරණ මහතා පැවැසුවේ මෙවැන්නකි.

‘ජලීල්ගේ මම දකින විශේෂත්වය තමයි මේ වනවිටත් ඔහු වෘත්තීය මට්ටමේ ක‍්‍රීඩකයෙක්ගේ දක්ෂතා දැක්වීම. සාමාන්‍යයෙන් පාසල් මට්ටමේ ක‍්‍රීඩකයෙක්ගෙන් එවැන්නක් බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙත් ජලීල් පිටියට ගිය හැම ඉනිමක දී ම කතා කළ යුතු යමක් කරනවා. ඔහු ලෝක කුසලාන සංචිතයේ සිටි ක‍්‍රීඩකයෙක්. ඔහුට ලෝක කුසලානය තරග සංචාරය ගිලිහුණා. ඇතැම් විට එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් රැුසක් සිටින නිසා මේ තත්ත්වයට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙන්න ඇති. මම අද හිතනවා, ජලීල්ටත් මේ කණ්ඩායමේ ස්ථානයක් තිබුණා කියලා. ඒ වගේ ම ජලීල් සෑම වසරකම ලකුණු අතර සිටි ක‍්‍රීඩකයෙක්. මේ නිසා මම හිතනවා ජලීල් සම්බන්ධයෙන් වගකිවයුත්තන්ගේ අවධානය මීට වඩා යොමු විය යුතුව තිබුණා කියලා…’

තාරක ධනංජය

කොළඹ කේරි විද්‍යාලයේ නායක තාරක ධනංජය මෙවර තරගාවලියේ අඩුම තරග සංඛ්‍යාවක දී ලකුණු දහස සම්පූර්ණ කළ ක‍්‍රීඩකයා ලෙස වාර්තා පොත් අතරට එකතු වන්නේ ය. දෙවැනි කොටස නියෝජනය කරන ඔහු තරග 12ක දී මේ කඩඉමට පිවිසෙන්නේ ශතක 4ක් ද සමගිනි. කණ්ඩායමේ කඩුලූ රකින්නා වන්නේ ද තාරක ය.

‘එහෙත් අවාසනාවකට වගේ තාරක, ලෝක කුසලාන තියා දිස්ත‍්‍රික් හෝ පළාත් සංචිතයකවත් නැහැ. සමහර විට දිස්ත‍්‍රික් කෝච්ලා බලාපොරොත්තු වෙන්නේ ආරම්භක පිතිකරුවෙක් කිවුවාම මාවන් වගේ ටෙක්නික්ස් සහිත පිතිකරුවන් වෙන්න ඇති. එහෙත් තාරකගේ එහෙම දෙයක් නැහැ. ගහන්න පු`ඵවන් තැනදි ගහනවා. සමහර විට තාරකට මේ කොතැනකවත් ස්ථානයක් නොලැබෙන්න හේතුව ඒකම වෙන්න ඇති. කොහොම වුණත් තාරකගේ මේ ලකුණු දහස බොහෝ දෙනෙක්ගේ දෑස් පෑදෙන්න හේතු වෙන්න ඇති. එදා අහිමි වූ දේවල් මේ නිසාවත් තාරකට ඉදිරියේ දී ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් දිස්ත‍්‍රික් කණ්ඩායමක සංචිතයකට හෝ එක්වීමට මේ දක්ෂතා වැදගත් වෙයි කියලා හිතෙනවා…’ කේරි විද්‍යාලයේ පුහුණුකරු චමින්ද ප‍්‍රනාන්දු මහතා පැවැසුවේ ය.

ලසිත් ලක්ෂාන්

මාතර ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරන ලසිත් ලක්ෂාන් ලකුණු දහස ලබා ගැනීම ස`දහා තරග 14කට මුහුණ දෙන්නේ ය. හොරණ තක්ෂිලා විද්‍යාලයට එරෙහිව ලබා ගත් ලකුණු 181ක් ඔහුගේ හො`දම ඉනිම ලෙස සටහන් වන අතර තවත් ශතක 4ක් ඊට ඇතුළත් ය. ඔහු මේ වන විට කඩුලූ 50 සීමාව පසුකර ඇත.

‘ලසිත් මෙවර ලෝක කුසලාන කණ්ඩායම නියෝජනය කරයි කියන බලාපොරොත්තුව අපි කා තුළත් තිබුණා. එහෙත් අවාසනාවකට ඒ දේ වුණේ නැහැ. ලසිත් වයස අවුරුදු 15න් පහළ සහ 17න් පහළ ශ‍්‍රී ලංකා කණ්ඩායම් නියෝජනය කළා. ලෝක කුසලාන සංචිතයේ 30 දෙනාටත් සිටියා. එතැනින් එහාට නොතේරීම සම්බන්ධයෙන් ඇත්තේ පුදුමයක්. ඉන් එහාට යමක් කියන්න කැමැත්තක් නැහැ. ඔහුගේ දක්ෂතාවලට ලබන වසරේ තැනක් ලැබේවි කියලා හිතනවා. ඒත් මෙවර ඔහුට ස්ථානයක් නොලැබීම ඔහුගේ දක්ෂතාවලට අසාධාරණයක් කියලාත් හිතෙනවා…’ ශාන්ත තෝමස් විද්‍යාලයේ පුහුණුකරු චරිත් පල්ලියගේ මහතා පැවැසුවේ ය.